Colombo Telegraph

ගෝඨාභයගේ අවතාරය

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

‘‘නිදහස කියා යමක් ඇතොත්, ඒ වනාහී, මිනිසුන් ආසා නොකරන දේවල් ඔවුන්ට කීමට තවත් කෙනෙකුට ඇති අයිතියයි’’ -ජෝර්ජ් ඕවල්

අමතකයට එරෙහිව කරන මතකයේ අරගලය

අපේ දේශය අරා අවතාරයක් හොල්මන් කරයි. ඒ, 2020 දී ගෝඨාභය ජනාධිපති පදවියට පත්වීමේ අවතාරයයි. 2015 ජනවාරි 8 වැනි දාට කලින්, මේ රටේ බල මර්මස්ථාන ඔස්සේ සිදු කළ ගෝඨාභය රාජපක්ෂගේ කෙරුවාවල් ගැන එදා අප බිය වූ අයුරු දැන් අපට අමතකව තිබේ. කෙසේ වෙතත්, ඒ ගැන වැඩිමනත් තැවුල් වීමට, මා දැන් මහළු වැඩි ය.

මේ වචන මා ලියන්නේ බියෙන් නොව, බිඳුණු සිතිනි. දාර්ශනික නවකතාකරුවෙකු වන මිලාන් කුන්දේරා, උදානාත්මක චාරුත්වයෙන් යුතුව වරක් ලියා ඇති පරිදි, බලයට එරෙහිව කරන අපගේ අරගලය වූ කලී, අමතකයට එරෙහිව මතකය විසින් ගෙන යන අරගලයකි.

රතුපස්වල වෙඩි තැබීම තවත් එක් හුදු අහඹුවක් පමණක් බව, ඊයේ උදේ රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් දිනේෂ් ගුණවර්ධන කීවේය. තම ප‍්‍රදේශයේ තුනී ලෑලි කම්හලක් තැනීම සඳහා සිංහරාජ වැසි වනාන්තරය වැනසූ, මාක්ස්වාදයේ පියාගේ පුතණ්ඩියා එසේ කීම අරුමයක් නොවේ. හැමෝම කර ගහගෙන යන අතීතයේ බර කදමළු කාටත් තිබේ.

වරදට ඉඩ දෙන ජනාධිපතිවරයෙක්

වරදට ඉඩ දෙන සිරිසේන ජනාධිපතිවරයෙකු ටිකෙන් ටික නපුරටම ආකස්මික වන තත්වයක් තුළ, අපේ බහුතර ගෝත‍්‍රයේ බහුතරයකගේ ප‍්‍රාථමික සිත්සතන් තුළට ගෝඨාභයගේ සිංහල-බෞද්ධ උත්තමවාදී දෘෂ්ටිය කාවැදීම නතර කිරීමේ හැකියාවක් දැන් ඇත්තේම නැති ගානයි. මේ ෆෝස්තියානු (බලය සඳහා ආත්මය පාවා දෙන) කපුකම කරන බව කියන්නේ, ජනාධිපතිවරයාගේ සල්ලිකාර මල්ලී වන ඩඞ්ලි සිරිසේන ය. එහි අරුමයක් නැත. ප‍්‍රකෝටිපතියන් වැජඹෙන්නේ බලගතු නායකයන්ගේ සෙවණේ ය. නිර්ලජ්ජිත සහ කෛරාටික ඉසිවරයෙකුට ඔබින විශ‍්‍රාමික මුල්ලක් ජනාධිපති තාත්තා සඳහා දැන් වෙන්ව තිබේ.

ජනාධිපතිවරයෙකුගේ නිවට කම

අපේ සුපිරිසිදු උරුමයක් සේ සිංහල-බෞද්ධ පූජක මාෆියාවක් විසින් අප වෙත පටවනු ලබන මිථ්‍යාවන් සහ පුරාණෝක්ති තුළ සිර වී සිටින අප, මේ මොහොතට සහ මේ යුගයට ඔබින මානව ප‍්‍රගතිය වැළඳ ගන්නා සහායක සංස්කෘතියක සරණ ලැබීමෙන් වියෝ කොට තිබේ. ජනාධිපති සිරිසේනගේ නිවට භාවයට ස්තුති වන්නට, සිදුවිය නොහැකි යැයි කලින් සිතූ දේවල් අද වන විට නොවැළැක්විය හැකි දේවල් බවට පත්ව තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට මේ පාර්ලිමේන්තුවත් අසමත් වුණොත් ඒ සියල්ල එසේම සිදු වනු ඇත.

එසේ වුණොත්, මේ අසිරිමත් දිවයිනේ උත්තරීතර නීති තනන්නා බවට ගෝඨාභය රාජපක්ෂ පත්වෙනු නියති. ඊටත් වඩා වින්නැහිය වන්නේ, සිංහල-බෞද්ධ ගෝත‍්‍රයේ ගැලවුම්කාර වේශයෙන් එවැන්නක් සිදුවීමයි.

අප දැන් කරුණු නිවැරදිව පෙළගස්වා ගත යුතුව තිබේ. මහින්ද තන්ත‍්‍රයේ සල්ලාලකම් බොහෝ දෙනාගේ පිළිකුලට හේතු වන අතරේම, රටේ සිටි සහ සිටින ප‍්‍රබල නායකයා වන්නේත් ඔහු ය. ජනතා විශ්වාසය දිනා ගත හැකි වෙනත් නායකයෙකු නැති තත්වයක් තුළ, ඔහු පමණටත් වඩා ලොකුවට සහ උසට කැපී පෙනෙයි. ගත වූ වසර තුනේ නාඩගම ඒ බව මොනවට පැහැදිළි කෙළේය. බොරු කකුල්කාර සිරිසේනට මහින්දගේ අහලකටවත් ළං විය නොහේ. 2015 මහින්ද පාලනය පෙරලා දැමූ සන්ධානය මුළුමණින් ජවය ලද්දේ, ඔහුගේ සොහොයුරා වන, එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ දියත් වුණු නගරංකාර කල්ලි-තන්ත‍්‍රය පිළිබඳව පැවති සාමූහික සන්ත‍්‍රාසය තුළිනි.

ගෝඨාභය: දේහ ශාස්ත‍්‍රයක්

ගෝඨාභය යනු, සෙබළෙකුට වඩා නූල් සූත්තරකාරයෙකු බව, වාර්තා දෙස් දෙයි. යුද්ධයේ උච්ච අවස්ථාවේදී ඔහු හමුදාවේ ක‍්‍රියාන්විත සේවය හැර දා ගියේය. ශ‍්‍රී ලාංකික පුරවැසි භාවය අතහැර වෙනත් රටකට පැන්නේය. ඉන් පසු, වැඩිමහල් සහෝදරයා රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව වන තෙක් ඔහු උපන් රටට කිසි දවසක අඩියක් තිබ්බේ නැත.

ඔහු සමාන වන්නේ, සංග‍්‍රාම භූමියේ පලිහ දමා විකල්ලෙන් පැන ගිය, ඇතන්ස් පුරවරයේ ජෙනරාල් ක්ලියොනිමස්ට ය. එහෙත් මේ පලා යාම ගෝඨාභය වෙනත් ආකාරයකින් පසුව හිලව් කර ගත්තේය. ඒ, තමා යනු යමක් කළ හැකි කෙනෙකු බවට මතයක් ගොඩනැංවීමෙනි. අවසානයේ චාටුකාර චරිතාපදානකරුවෙකු ලවා ‘‘ගෝඨාගේ යුද්ධය’’ නමින් තඩි පොතකුත් ලියවාගෙන, රණ විරුවෙකු වශයෙන් අභිෂේක ලද්දේය.

යුද්ධය ජය ගත් සෙබළාව ඔහු හිරේ දැම්මේය. ජයග‍්‍රහණයේ ඔප්පුව සංඝ රත්නය ලවා ලියවා ගත්තේය. බලය පිළිබඳ ලිස්සන ගහේ නැගීමට අද ඔහු හැම අතකින්ම සුදුසුකම් ලැබ සිටී. ඔහු එය තලූ මරමින් කරනු ඇත. ඒ සඳහා ලිස්සන ගහේ ග‍්‍රීස් තමන්ගේ සිවුරුවලින් පිස දා, ලිස්සන ගහත් වඩාත් පහසු කෝණයකට නවා දීම, කරුණාබර සංඝ රත්නයෙන් ඉෂ්ට සිද්ධ කෙරෙනු ඇත.

යක්ෂයාට වුව උගේ කොටස දිය යුතුය

සියල්ල එසේ වී මුත්, සුජාත රාජ්‍යයක් සඳහා රණකාමී වීම, යහපත් වූත් ගුණවත් වූත් වගකීමක් වන්නේය යන්න, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සංකල්පගත කෙළේ ඔහු බව අප පිළිගත යුතුය. යුද්ධයෙන් පසුව ඔහු එය දේශපාලනික ව්‍යාපෘතියක් බවට පත්කර ගත්තේය. ජාතියක සාමූහික පරිකල්පනය පුබුදුවනු වස්, නිල ඇඳුමක සාඩම්බරයත්, මියගිය සෙබළුන් සැමරීමත් ඒ සඳහා ඔහු මනාව පාවිච්චියට ගත්තේය.

ඒ හරහා ගෝඨාභය වෙනුවෙන් වන සිංහල-බෞද්ධ ඡුන්ද පදනමක් බිහි වීම අහඹු අතුරු ඵලයකි. එහි වරද ගෝඨාභයට පැටවිය හැකි නොවේ. එසේ වෙතත්, අවදානම ඉදිරියේ සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව සාමාන්‍ය අවබෝධයෙන් අපට වැටහේ. ඔහුගේ සෙබළ මුලාදෑණීන් වන විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ විශ‍්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර, ජනාධිපති ගෝඨාභය කෙනෙකු ගැන අප බිය විය යුත්තේ මන්ද යන්න අපට සජීවීව පෙන්වමින් සිටිති.

මේ විරුවා පිළිබඳ රූපකය ගොඩනැගීම සඳහා බරපතල සදාචාරමය වියදමක් අප දරා තිබේ. ඒ මගින්, සුළුතර ප‍්‍රජාවන් සඳහා වන අවම සහකම්පනය පවා බැහැර කොට ඇති අප, එම ප‍්‍රජාවන්ගේ සැබෑ දුක් අඳෝනා සිංහලයන්ගේ පැවැත්මට තර්ජනයක් වශයෙන් අර්ථ ගන්වාගෙන තිබේ. සුළු ජාතිකයන් සමග- දෙමළ ප‍්‍රජාව සමග- වන ඕනෑම සහකම්පනයක්, බියගුළු කමක්, බොරු ලෙඩක් සහ පලා යාමක් වශයෙන් ගැනීමට සමාජය පුහුණු කෙරුණි. එය, හිතාමතා සකස් කළ උපාය මාර්ගයකි. සත්‍යය, තමාගේ පුද්ගල න්‍යාය පත‍්‍රයට ඔබින ආකාරයන් යළි අර්ථගැන්වීම, මේ මිනිසා සතු විශේෂ ශක්තියයි.

ගෝඨාභයව නතර කළ යුත්තේ ඇයි?

ජනාධිපති ගෝඨාභය කෙනෙකු පිළිබඳ අනාගතය, බියකරු ප‍්‍රති-යුතෝපියාවකි. (සමාජයක් සර්වාංගයෙන් කිලිපොලවන අඳුරු අනාගතයකි). ඒ මගින්, සිංහල බහුතරය, වීර සහ ප‍්‍රති-වීර වශයෙන් දෙවගකට බෙදනු ඇත. එහිදී සතුරා වන්නේ සුළු ජාතිකයන් බව අමුතුවෙන් කිව යුතු නැත.
ඔහු බලයට ඒම නතර කළ යුතුව ඇත. ඒ ඇයි? ඔහු දුෂ්ට නිසා ය. පලිගන්නා නිසා ය. ජාතිවාදී නිසා ය. බල අපයෝජක මනෝ ව්‍යාධියකින් පෙලෙන නිසා ය.

අපේ අබග්ගය තේරුම් ගැනීමට කාලයයි, මේ. අප වනාහී, තුනීයට වැසූ, අර්ධ-පූජක සමාජ තන්ත‍්‍රයකි. තද කොළ පාට දේශප්‍රේමී සෙබළ ඇඳුමක් සහ දේශපේ‍්‍රමී පූජක සිවුරක විචිත‍්‍ර මිශ‍්‍රණයක අප දැවටී සිටී. සැබෑ සිංහල ජාතිකවාදීන් හෝ සිවුරු පොරවා ගත් නග්න දේශපාලනික ක‍්‍රියාධරයන් විය හැකි සිංහල-බෞද්ධ සඟ සසුනක් සමග මේ වන විට ගෝඨාභය අගේට හාද වී සිටී.

සංඝයාව නිරාවරණය කර ගැනීම

ශ‍්‍රී ලංකාවේ කහ සිවුර යනු, ලෞකික සම්පතින් නිස්සරණ වීමක් නොව, ඊට ප‍්‍රතිලෝමව, ඉහළ සමාජ තලයකට අවතීර්ණ වීමකි. සිවුර දා ගත් සැණින් ඔවුහූ අමුතු විනෝදාංශවලට ඇබ්බැහි වෙති. සමහරු අලි ඇති කරති. උන්ට කවති පොවති. එසේ කිරීමේදී අපවත් කෙරෙති.

මේ පූජක තන්ත‍්‍රය ප‍්‍රභූවාදී ය. ඔවුන්ගේ පන්සල්, සමාජ සෝබනය දනවන, නින්දගම් මන්දිරයන් ය. බැතිමතුන් සහ අනුගාමිකයන් කෙරෙහි ඒ ඔස්සේ අභ්‍යාස කෙරෙන බිහිසුණු මායා බලයේ රශ්මිය, ඔවුන්ගෙන් නිරතුරුව විහිදෙයි. සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් පිළිබඳ තමන්ගේම වන අර්ථ නිරූපණ ඔවුන්ට තිබේ. (උදාහරණයක් වශයෙන්, එක්නැලිගොඩට එල්.ටී.ටී.ඊ. සබඳතා තිබුණේ නම් සහ ලසන්ත වික‍්‍රමතුංගට විදේශ එන්.ජී. ඕ. සබඳතා තිබුණේ නම්, ඔවුන්ට මානව හිමිකම් අහිමි වන්නේය).

ඔවුහූ තම ශ‍්‍රාවකයන් සඳහාත්, තමන් සඳහාමත් වන නිසි කල්ක‍්‍රියාව ගැන නූල් සූත්තර දේශනා තැබීමේ හපන්නු ය. තමන් සඳහා වන, නිසඟ වූත්, ස්වභාවික වූත් ගරුත්වයක් ඔවුහූ ඉල්ලා සිටිති. ගතානුගතිකත්වය සහ ඒ මගින් ඇති කොට තිබෙන සමාජ ප‍්‍රමිතීන්හි ප‍්‍රාණඇපකරුවන්ව සිටින ජනතාවක් වෙත ඔවුන් අභ්‍යාස කරන බලය සුළුපටු නොවේ. ගෝඨාභයගේ මහ සෙල්ලමේ අත්‍යාවශ්‍ය දේශපාලනික කසකරුවන් වන්නේ මොවුන් ය.

අධිපතියා ස්වකීය අනුග‍්‍රාහකත්වයෙන් මොවුන්ව ඇද බැඳ ගනී. අධිපතිවාදය සුජාත කර දීමෙන් ඔවුහූ පෙරලා අධිපතියාට ණය පියවති. බුද්ධ දේශනාව සඳහා වන ඔවුන්ගේ ඇල්ම බැල්ම විහිදෙන්නේ, තමන්ගේ ලිමුසින් රථයේ එන්ජින් ධාරිතාවේ තරමට ය. මේ ලියුම්කරු, දැනට 75 වැනි වියේ පසු වන, සක‍්‍රීය බෞද්ධයෙකි. මගේ මළගමේ දී කිසි කසාවත් වතාවතක් නොකළ යුතු බවට මගේ දරුවන්ට මා උපදෙස් දී තිබේ. අනවශ්‍ය බරක් අවශ්‍ය නැත.

සිහින අපේක්ෂකයා

ගෝඨාභය රාජපක්ෂ යනු, මේ නිහීන සිංහල-බෞද්ධ සංඝ පැලැන්තියේ සිහින අපේක්ෂකයා ය. උඩරට රජ කාලයේ සිටම, සියවස් ගණනාවක් තිස්සේ ඔවුන් සිය නිවණට ගොස් ඇත්තේ, තිරය පසුපස කෙරෙන කුමන්ත‍්‍රණ දේශපාලනය ඔස්සේ ය.

සිදුහත් කුමරු මාළිගය හැරපියා යද්දී, ගිහි ජීවිතය අත්හලේය. අපේ සොල්දාදු දේශපාලකයා ඊටත් වඩා අත්හලේය. ඔහු වරක් ශ‍්‍රී ලාංකීය පුරවැසි භාවය අත්හලේය. දැන් තමාගේ ඇමරිකානු පුරවැසි භාවයත් අතහැරීමට සපථ කොට ඇත. ඒ අනුව ගත් විට, එය ද්විත්ව අතහැරීමකි. පෙරටුගාමී විනිර්මුක්තියක්.

ඉදිරියේ ඇති අගාධය

පීතෘ-මූලික රාජ්‍යයක්, සක‍්‍රීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බවට පරිවර්තනය කිරීමට ගන්නා ආයාසයේ නිරර්ථකත්වය, පසුගිය තෙවසරක කාලය තුළ පෙන්නුම් කොට තිබේ. පීතෘ-මූලික රාජ්‍යයක බලයේ මූලාශ‍්‍ර (තරාතිරම සහ ධනය) කේන්ද්‍රගත වන්නේ රාජ්‍යය තුළ ය. දේශපාලනික පංතියත්, පූජක පංතියත්, එලා ගත් දඩයම බෙදාහදා ගැනීමේ අන්‍යොන්‍ය හවුලක කල්ලි ගැසී සිටී.

ලංකාව පරිපූර්ණ බලකොටු රාජ්‍යයක් බවට පත් කිරීමේ හැකියාව, කැමැත්ත සහ නිපුණත්වය ගෝඨාභයට තිබේ. ජනාධිපති ගෝඨාභය කෙනෙකු විසින් හොබවනු ලබන රාජ්‍යයක ස්වභාවය, ‘‘එඩිතර නව ලෝකය’’ නැමැති සිය කෘතියේදී ඇල්ඩස් හක්ස්ලි විස්තර කොට තිබේ. එය කාර්යක්ෂම, අධිකාරීවාදී රාජ්‍යයක් වනු ඇත. ඒ වනාහී, ‘දේශපාලනික ලොකු ලොක්කන්ගේ සහ පරිවාර කළමනාකරුවන්ගේ සර්ව බලධාරී විධායකයක් විසින් වහල් ජනතාවක් පාලනය කරනු ලබන රාජ්‍යයකි. එහිදී, එම ජනතාවට බලහත්කාරය පෑමේ අවශ්‍යතාවක් නැත. මන්ද යත්, තමන්ගේ දාස භාවයට එම ජනතාව ආදරය කරන බැවිනි.’

*2018 මාර්තු 15 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Specter Of Gotabaya නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page