25 April, 2024

Blog

දත කට මැදගෙන බලා ඉන්න පවුලක්

සරත් ද අල්විස්

Sarath De Alwis

Sarath De Alwis

‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක් කරන එක.’’ – 2009 ජුලි 8 වැනි දා, ‘ද හින්දු’ පත‍්‍රයේ කතුවරයාට මහින්ද රාජපක්ෂ දුන් සම්මුඛ සාකච්ඡුාවකින් කොටසක්

අපි නැවතත් රජරටට පැමිණ සිටිමු. තම රාජධානිය ආපසු ඉල්ලා සිටින පවුලක දැඩි අධිෂ්ඨානය ප‍්‍රදර්ශනය කළ චමත්කාර රංග පීඨයක් බවට අනුරාධපුරය පත්විය. ඉතිහාසය යනු, එකඟතාව ලත් බොරු වැළක් යැයි, නැපෝලියන් බොනපාට් කීවේය. එය සහසුද්දෙන්ම නිවැරදි නැත. සමහර විට, යුද්ධයක ජයග‍්‍රාහකයාගේ සහ පරාජිතයාගේ භූමිකාවන් ඉතිහාසය විසින් තීන්දු කරනු ලබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එය නිවැරදි විය හැකිය.

2009 මැයි 19 වැනි දා ප‍්‍රභාකරන් මළේය. ජයග‍්‍රාහී මහින්ද රාජපක්ෂ ඊට පසුව දා රුපියල් 1000 අළුත් නෝට්ටුවකට සිය අත්සන තැබීය. උඩු රැුවුලක් සහිත, කුරහන් සාටකය කරේ එල්ලා ගත් ජයග‍්‍රාහී රාජපක්ෂ, කෘතඥතා පූර්වක ජාතියක සම්මානය සහ නමස්කාරය සංකේතීයව පිළිගන්නා සෙයක් පෙන්වමින් දෑත් ඔසවාගෙන එම නෝට්ටුවේ පෙනී සිටියේය. එහි පසුපැත්තේ සිටියේ, අත්පත් කරගත් භූමියේ සිංහ කොඩිය ඔසවන සෙබළ කැළකි.

එවන් ‘අනුස්මරණ නෝට්ටුවක් නිකුත් කිරීමට තීරණය කෙරුණේ, මානුෂීය මෙහෙයුම නිමාවකට පත්කළ දවසට පසුව දා’ බව එදා මහ බැංකුව සනාථ කෙළේය.

අති සාර්ථක දේශපාලනික වංචාව

අපේ ඉතිහාසයේ වඩාත් සාර්ථක, කේවල දේශපාලනික වංචාව ඇරැුඹුණේ එලෙසිනි. එදා සිට ඕපපාතික දේශපේ‍්‍රමියෙක් අපට ලැබුණි. ඔහුගේ සුවිශේෂී දේශපාලනික සාර්ථකත්වය රැුඳුණේ, හොඳින් සහ නරකින් මෙන්ම, අන්ත අශෝභන ආකාරයෙන් ද, විසම්මුතිය හෙවත් වෙනස් අදහස් නිහඬ කිරීමට ඔහු දැක්වූ හැකියාවෙනි. මිථ්‍යාව, ඉතිහාසය බවට හැරවීමෙහි ඔහු හපනෙකි. ඔහුගේ රාජ්‍ය තන්ත‍්‍රය, එවැනිම ඔටුනු පළන් තවත් බල අපහාරකයෙකු වූ නැපෝලියන්ගේ කෙරුවාවට දෙවැනි නැත. මිනිසුන් දක්කන උත්තෝලන ඇත්තේ දෙකක් පමණි. එකක් වන්නේ, බියයි. අනික වන්නේ, ස්වාර්ථයයි. අවසානයේ බැලූ විට, ඉතිහාසය යනු, ‘‘බොහෝ කොට අණ්ඩපාලයන් වන පාලකයන් විසින් සහ බොහෝ කොට ගොබ්බයන් වන සොල්දාදුවන් විසින් ඉදිරිපත් කෙරෙන, වැඩිමනත් නොවැදගත් සිදුවීම් පිළිබඳ ඉදිරිපත් කෙරෙන බෙහෙවින් සාවද්‍ය අර්ථකථනයකි’’.

Namal Mahinda April 14, 2015හිටපු ජනාධිපතිවරයා, ‘‘රටට නව ජීවයක් සහ නව ආරම්භයක්’’ යන තේමාව යටතේ පසුගිය 17 වැනි සිකුරාදා සිය පුනරාගමනය ඇරැුඹීය. මේ සොඳුරු ආඥාදායකයා සමග එකඟත්වය නොදැක්වූ අප කවදත් සිටියේ බියෙන් බව, අතීතය මතක් කර ගැනීම සඳහා මෙහි සඳහන් කළ යුතුව තිබේ. සිදුවීම් විග‍්‍රහ කර ගැනීමට අප සතුව තිබූ හැකියාව අපි සාමූහිකව පාවා දුන්නෙමු. විරෝධය පෑමට අවශ්‍ය ධෛර්යය, එකී භීතිය නිසා අපෙන් තුරන්ව තිබුණි. ජනවාරි 8 වැනි දා තෙක් අප සිටියේ අහක බලාගෙනයි. අපව බිය වද්දන කරුණු ගැන කතා කිරීමට අපට හයිය ආවේ පසුගිය මාස හයේදී ය.

ව්‍යාජ ඉතිහාසය ඉරා දැමීම

කුරිරු බෝධිසත්වයාගේ පුනරාගමනය ගැන හොල්මන් කරන තර්ජනය ඉදිරියේ, ව්‍යාජ ඉතිහාසය ඉරා දැමීම තවදුරටත් පැහැර හැරිය නොහැකි ජාතික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. පැකර් සමග පෝකර් ක‍්‍රීඩාවේ යෙදෙන අතරේ, මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පසු ගත වූ පස් අවුරුදු කාල සීමාව තිස්සේ කෙළේ, නූතන මෙන්ම මධ්‍යතන ඉතිහාසයත් නැවත ලිවීමයි.

ඔහු ‘දේශපේ‍්‍රමීත්වයක්’ නිර්මාණය කෙළේය. එය තුළ තිබු තමන්ට නොදිරවන දෑ, සතුරාගේ බාල ප‍්‍රචාරයන් වශයෙන් ඔහු බැහැර කෙළේය. ‘ඛේදය’ සහ ‘රෞද්‍රත්වය’ මත සීනි තැවරීමේ කාර්යය ඔහු භාර කෙළේ, ‘පාර්සල් කළ’ සදාචාරය සැපයීම සඳහා නාගරික පන්සල් අරක්ගත් නව ආරක බෞද්ධ චීවරධාරීන්ටයි. ජනතාව මත අභ්‍යාස කළ ප‍්‍රජාපීඩක අධිකාරිය ව්‍යාප්ත කැරැුවීම සඳහා ඔහු නිර්මාණාත්මකව මාධ්‍ය උපයෝජනය කරගත්තේය. අර්ධ-උගත් බොහෝ දෙනා ඊට වසඟ වුණි. උගතුන්ව, එක්කෝ අපහාසයට ලක්කෙරුණි. නැත්නම්, මහින්දගේ ‘ඇඟට ගුණ සත්‍යය’ භාර ගැනීම දක්වා තල්ලූ කෙරුණි.

විධායකයේ තැති ගැන්වීම්වලට නොනැමී මුහුණදුන් අතලොස්සක් විනිසුරන්ගේ අධිකරණමය තීන්දු පැත්තකට වීසි කරමින් තමන්ගේම වන කැලෑ නීති ලියූ දේශපාලනික ඇම්බැට්ටයෝ, දැන් අප වෙනුවෙන් නව රටක් සහ නව ආරම්භයක් ගෙන දෙම්හයි පාරම්බාති. ’උන්’ සහ ‘අප’ නැමැති, එකිනෙකාගෙන් බෙදා වෙන් කළ ඒ කුණුහරුප භාෂාව, නැවතත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනය තුළට හෙමින් සීරුවේ රිංගමින් සිටී. හතර වටින් නැගී එන ඒ තර්ජනය හමුවේ, ‘කුරිරු බෝධිසත්වයාව’ විසංයෝජනය කිරීම අත්‍යාවශ්‍ය කෙරේ. හින්දු පුවත්පතේ කතුවරයා සමග පැවති සාකච්ඡුාවේදී මහින්දගේ වචනවලින්ම පිළිගෙන තිබූ පරිදි, රාජපක්ෂ යුද්ධය දිනුවා නොව, සිදුවුණේ ප‍්‍රභාකරන් යුද්ධයෙන් පැරදීමයි.

වාසනාවේ හුරතලා

නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ බලයට පත් සියලූ නායකයන් අතුරින් පැහැදිළිවම වාසනාවේ බඩපිස්සා වුණේ මහින්ද රාජපක්ෂයි. ජේ. ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ ඞී. බී. විජේතුංග ආදී සියලූ නායකයන්ව, රටෙන් කෑල්ලක් ඉල්ලා ප‍්‍රභාකරන් විසින් අභියෝගයට ලක්කොට තිබුණි. ජාත්‍යන්තර නිරීක්ෂකයන් තරග විනිසුරුවරුන් වශයෙන් තබාගෙන රටේ භූමි භාගයක් අල්ලාගෙන සිටි ප‍්‍රභාකරන්ව මහින්ද රාජපක්ෂ විසින් අභියෝගයට ලක්කරන ලදි. ගරිල්ලා සටන් ක‍්‍රමයකට නොගොස්, සම්ප‍්‍රදායික සංග‍්‍රාමයක් මතම ප‍්‍රභාකරන් රැුඳී සිටියේ මන්දැයි මහින්ද රාජපක්ෂ තුළ කුකුසක් ඇති කෙළේ එම තත්වය විසිනි.

එසේම, රටෙන් විශාල කොටසක් අල්ලාගෙන සිටි එවැනි නොසන්සිඳෙන ත‍්‍රස්තවාදියෙකු විසින් රනිල් වික‍්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ කෙනෙකුව තෝරා ගැනීමට ඉදිරිපත් වීමත්, මහින්ද රාජපක්ෂට ලැබුණු තවත් අහඹු වාසනාවකි.

හින්දු පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡුාව, අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍ර තුළ වාර්තාගතව තිබේ. එම සාකච්ඡුාව ගැන මහින්ද රාජපක්ෂ මොන තරම් සෑහීමකට පත්ව සිටියේද යත්, එය පළවූ විගසින් එහි කතුවරයා ‘ශ‍්‍රී ලංකා රත්න විභූෂණ’ සම්මානයෙන්ද පිදුම් ලැබීය.

විවිධ හේතු නිසා යුද්ධ ජය ගැනීමට පිළිවන. පරාජය වීමට පිළිවන. ඇමරිකානුවන් යුද්ධය පරාජය වුණේ වියට්නාමයේදී නොව, වොෂින්ටන් නුවර මහ පාරේදී ය. එය, ‘රතු නැපෝලියන්’ නමින් විරුදාවලී ලත් ජෙනරාල් ගියප් ද සිය මතක සටහන් තුළ ලියා තිබේ.

බොහෝ ගල්මුල්වලට ලක්වන සටන් විරාම ගිවිසුම තුළින්, සැබෑ භූමියක සැබෑ නායකයා තමන්ය යන මායාව කොටි නායකයා තුළ ඇති කොට තිබුණි. ප‍්‍රභාකරන්, ජෙනරාල් ගියප්ව කියවා තිබුණේ නැත. ඩියන් බියන් පූ මහා සටනින් පසු ජෙනරාල් ගියප් මෙසේ ලීවේය: ‘‘විප්ලවීය යුද්ධයක ජයග‍්‍රාහී තීරක සාධකය වන්නේ, ශක්තිමත් පසුපෙළ වළල්ලක් පවත්වා ගැනීමයි’’.

රනිල් වික‍්‍රමසිංහ ගැන බොහෝ විවේචන මේ ලියුම්කරුට තිබේ. සටන් විරාම ගිවිසුමේ බොහෝ අඩුපාඩු තිබෙන්නටත් ඇත. එහෙත්, ප‍්‍රභාකරන්ට ඉහත කී ‘පසුපෙළ වළල්ලක්’ නොදී ඔහුව උගුලට හසු කරගන්නා ලද්දේ සටන් විරාම ගිවිසුම මගිනි.

කොටස් තුනකින් පළවූ ඉහත කී සම්මුඛ සාකච්ඡුාව තුළ ඉතා අගනා පාඩම් අපට හමු වෙයි. සාකච්ඡුාව යන අතරතුරේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වරක් සාකච්ඡුාවට මැදිහත් වී මෙසේ කියයි: ‘‘2006 අපේ‍්‍රල් මාසේ හමුදාපතිවරයාව ඝාතනය කරන්න තැත් කළ අවස්ථාවේ, මේ අල්ලපු කාමරේ ඉඳං ජනාධිපතිතුමා කිව්වා, ‘පාඩමකටත් එක්ක, එක බෝම්බ වටයක් දාන්න, ඊට පස්සේ නවත්තන්න’ කියලා.’’

එවිට කතාවට මැදිහත් වන මහා ගැලවුම්කරුවා සහ සෙන්පතියා වන ජනාධිපතිවරයා, හින්දු කතුවරයාට මෙසේ කියයි: ‘‘ඔව්, මං කිව්වා, හැබැයි, එක සැරයක් විතරක්. අපි හුඟාක් පරිස්සම් වුණා. අපි පුළුවන් තරං බැලූවා, සාකච්ඡුාවෙන්ම විසඳගන්න.’’

පරමසාර ඛේදනීය වීරයා

මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවේ නැත. ජයග‍්‍රහණයක් තුළට ඔහු කඩාපාත් වුණා පමණි. මේ සම්මුඛ සාකච්ඡුාව ඔහු දෙන්නේ, වාසනාවේ දෙවඟන තමාට දානය කර ඇති මහා කුසලානයේ පූර්ණ වටිනාකම තේරුම් ගැනීමට බොහෝ කලකට පෙරයි. විපක්ෂය 2010 දී ඔහුගේ ප‍්‍රතිවාදියා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාව ඉදිරිපත් කිරීමේදී, තමන් ලද තෑග්ගේ වටිනාකම ඔහුට හරි හැටි වැටහුණි. ඒ අනුව, ජෙනරාල් ෆොන්සේකාව හිරේ දැමුණි.

මහින්ද රාජපක්ෂ යනු, පරමසාර ඛේදනීය වීරයෙකි. සිය කරුමය ඔහු වටහාගත යුතුව තිබේ. එය ඔහුගේම ක‍්‍රියාකාරකම් තුළින් උපන්නක් බවත් ඔහු වටහාගත යුතුව තිබේ. දත කට මැදගෙන බලා ඉන්න පවුලක බල ලෝභය වෙනුවෙන්, තවත් ගැටුම්කාරී අදියරක් මේ රට වෙනුවෙන් අප නිර්මාණය කරගත යුතු නැත.

*2015 ජුලි 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ “The Fluid Prejudice In Writing History” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.