Colombo Telegraph

සරත් සිල්වා සහ මහින්ද රාජපක්ෂගේ තෙවැනි වාරය – සරත් එන්. සිල්වා විසිනි

සරත් එන්. සිල්වා

2014 අගොස්තු 24 වැනි දා ‘ද සන්ඩේ අයිලන්ඞ්’ පුවත්පතේ ‘පොලිටිකල් වොච්’ කොලමේ පළවූ ඉහත සඳහන් උද්ධෘතයෙන් යුත් ලිපියට පිළිතුරක් වශයෙන් මෙය ලියමි. එම ලිපිය, ඊට කලින් අගෝස්තු 17 වැනි දා මා විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකට ප‍්‍රතිචාරයක් යැයි පෙනේ. එම සම්මුඛ සාකච්ඡාවේ දී මා මතු කෙළේ නීතිමය ප‍්‍රශ්නයකි. එනම්, දෙවරක් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වර්තමාන ජනාධිපතිවරයා, තවත් වාරයකට එම තනතුරට තේරී පත්වීම සඳහා නීතිය ඉදිරියේ සුදුස්සෙකු වන්නේද යන්නයි. එසේ ඔහු සුදුස්සෙකු නොවන්නේ නම්, තවත් වාරයක් සඳහා එම තනතුරට තේරී පත්වීමට හැකියාව තමන්ට ඇතැ යි යන පදනම උඩ, වර්තමාන ධුර කාලයෙන් වසර හතරක් ගත වූ පසු, අකාල ජනාධිපතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කිරීමට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (3) (අ) වගන්තිය යටතේ ඔහුට බලයක් ඇත් ද යන්නයි.

මීට අදාළ නීතිය ගැන මා විසින් කරන ලද පැහැදිළි විශ්ලේෂණයකින් පසුව මා කියා ඇත්තේ, දැනට සිටින ජනාධිපතිවරයා දෙවරක් එම ධුරයට පත්ව ඇති හෙයින් නැවත එම තනතුරට පත්වීමට නීතියෙන් නුසුදුස්සෙකු වන බවත්, තවත් අකාල ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට බලයක් නැති බවත් ය. එම නීතිමය නොහැකියාව නොසළකා එවැනි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඔහු නියෝග කළොත්, මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම නීති විරෝධී අකාල ජනාධිපතිවරණය පැවැත්වීම නතර කරන ලෙස ඉල්ලා මා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් මම කීවෙමි. 2016 නොවැම්බර් මාසය දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට ජනාධිපතිවරයාට අයිතිය ඇති බවත් මා පැහැදිළිව කියා තිබේ. එම දවසට කලින් මැතිවරණ කොමසාරිස්වරයා නව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙවැනි පැහැදිළි කිරීමක් කර තිබියදී, අදාල ලියුම්කරු මෙසේ ප‍්‍රකාශ කරයි: ‘‘ඊළඟ ජනාධිපතිවරණයට අවහිර කිරීමට සිල්වා නඩු මගට බැසීමට යයි.’’

මා කොහෙත්ම එවැන්නක් කියා නැත. මගේ උවමනාව වන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කාලයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු දැකීමයි.

මා මතු කළ ගැටළුව පදනම් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය මත ය. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය.’’

ජනතා ස්වෛරීත්වය අභ්‍යාස කිරීමට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික වගන්තිය වන්නේ අංක 4 දරණ වගන්තියයි. එම වගන්තියට නොගැළපෙන ඕනෑම නීතියක් ජනමත විචාරණයකින් අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නොයෙක් අවස්ථාවල තීරණය කොට තිබේ. 4 (ආ) වගන්තියේ මෙසේ කියැවෙයි: ‘‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය.’’

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (2) වගන්තියෙන් පැනවෙන නුසුදුසු කම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) නැමැති මූලික වගන්තියට අදාළ කළ විට, අනාගත මැතිවරණයකින් ලැබෙන විධායක බලයක් අභ්‍යාස කිරීමට, ජනාධිපති ධුරයට දෙවරක් පත්වූ පුද්ගලයෙකු නුසුදුසු වන්නේය.

මෙය ඉතා බරපතල අයෝග්‍යතාවකි. එම අයෝග්‍යතාව හැකි තාක් කල් තියා පුද්ගලයෙකුට ආදේශ කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ අයවළුන් වගබලාගෙන ඇත්තේ එබැවිනි. ඒ නිසා, මේ නුසුදුසු කම හෙවත් අයෝග්‍යතාව ආරම්භ වන්නේ යමෙකු මැතිවරණයකින් තේරී පත්වූ දවසේම බව දත යුතුය. එනම්, දිවුරුම් දීමට හෝ එම ධුරයේ වැඩ බාර ගැනීමට කලිනි. සහතික වශයෙන්ම, නව ධුරයේ කිසි රාජකාරි කටයුත්තක් කිරීමට මත්තෙනි.

ජනරජයේ උත්තරීතර නීතිය වශයෙන් ගැනෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ මෙය පරම නුසුදුසු කමකි. මේ විදිහට නුසුදුස්සන් වී ඇත්තේ තුන් දෙනෙකු පමණි. පළමුවැන්නා වුණේ, ජේ. ආර්. ජයවර්ධන ය. දෙවැන්නා වුණේ, චන්ද්‍රිකා කුමාරණතුංග ය. තෙවැන්නා වුණේ, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. මෙසේ අතීත කාලයෙන් ඒ කාරණය මා සඳහන් කරන්නේ හිතාමතාම ය. මන්ද යත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ නුසුදුස්සෙකු වුණේ, දෙවැනි වරට ඔහු තේරී පත්වූ දවසේම, එනම් 2010 ජනවාරි 27 වැනි දාම වන බැවිනි. ජනාධිපති ජයවර්ධන, මේ ජනරජ ව්‍යවස්ථාවේ එකී පරම නීතියට ගරු කරමින් ගෙදර ගියේය. ජනාධිපති කුමාරණතුංත් එසේම කළාය. එහෙත් තෙවැන්නා වෙනත් ආකාරයකින් සිතන්ට විය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමියි ඔහු දුන් ප‍්‍රතිඥාව මත විශ්වාසය තැබූ ජනතාවක් විසින් ඔහුට පවරන ලද බලයම පාවිච්චි කරමින් මෙම නුසුදුසුතාව තමන් අභිභවනය කරමියි ඔහු සිතීය.

මැතිවරණයේදී ජනතාවට දෙන ලද උදාර ප‍්‍රතිඥාව මත තේරී පත්වීමෙන් පසු වහා ක‍්‍රියාත්මක වූ ඔහු, තමා සභාපතිත්වය දරණ කැබිනට් ඇමති මණ්ඩලය ඉදිරියට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. මේ සංශෝධනය රටේ සහ ජනතාවගේ යහපත සඳහා ගෙන එන ලද්දක් නොවේ. එය මුළුමණින්ම, මහින්ද රාජපක්ෂගේ සුභසිද්ධිය වෙනුවෙනි. මෙම සංශෝධනය හරහා තමා කැමති කාලයක් බලයේ සිටීමට ඔහු අපේක්ෂා කරන අතරේම, අනිත් පැත්තෙන්, 17 වැනි සංශෝධනය හරහා මර්දනය කොට තිබූ කර්කශ සහ පීඩාකාරී විධායක බලය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරුණි. 1978 ව්‍යවස්ථාව යටතේ පැවති වඩාත් ප‍්‍රගතිගාමී ව්‍යවස්ථාමය පැනවීම වුණේ 17 වැනි සංශෝධනයයි. එය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබුණේ ඒකච්ඡුන්දයෙනි. රාජපක්ෂම පවා ඊට ඡුන්දය පාවිච්චි කොට තිබුණි. මේ ආකාරයට, හැබැහින් සිදුවුණේ, ජනතාවට දුන් පොරොන්දුවේ සපුරා ප‍්‍රතිපක්ෂයයි.

අපේ සැලකිල්ල මෙහි දී යොමු වන්නේ පළමු කාරණය සම්බන්ධයෙන් පමණි. 18 වැනි සංශෝධනයේ 2 වගන්තියෙන් නිකංම කියැවෙන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන් 31 වැනි වගන්තියේ 2 වැනි ෙඡ්දය අවලංගු වන බව පමණි. එම ෙඡ්දය එයාකාරයෙන් අවලංගු කිරීම මගින් තමා කැමති වාර ගණනක් තමාට බලයට පත්වීමට හැකි වෙතැයි ජනාධිපතිවරයා සිතන්නට ඇත. එහෙත් රටේ වාසනාවට, 31 (2) වගන්තිය යටතේ මේ නුසුදුසු කම ක‍්‍රියාත්මක වන නිශ්චිත ආකාරය ඔහු වටහාගෙන නොතිබුණි. එනම්, එම වගන්තිය ඔහු සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ, දෙවැනි වරට ඔහු ඡුන්දයෙන් තේරී පත්වූ දවසේම හෙවත් 2010 ජනවාරි 27 වැනි දාම වන බව ඔහු තේරුම්ගෙන නැත. අනිත් අතට, එම වගන්තිය අවලංගු වීම ක‍්‍රියාත්මක වන්නේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කථානායකවරයා විසින් සහතික කරන ලද 2010 සැප්තැම්බර් වැනි දා සිට ය.

මීට වෙනස්ව තමාගේ මතය ඉදිරිපත් කිරීම සඳහා ඉහත සඳහන් ලියුම්කරු ඇමරිකාවේ නඩු වාර්තා කිහිපයක් උපුටා දක්වා ඇත. ඒ අනුව, මෙකී සංශෝධනය (18) අතීතයටත් බලපාන බවට ඔහු තර්ක කරයි. ඔහු උපුටා දක්වා ඇති අධිකරණ විනිශ්චයන් මගින් සනාථ කෙරෙන්නේ, අතීතයට බලපාන නීති සම්පාදනය කර ගැනීමට ව්‍යවස්ථාදායකයට බලය ඇති බවත්, යම් නීතියක් එසේ සම්පාදනය කර ගත්තොත්, එම අතීතයට බලපාන නීතිය අධිකරණය පිළිගන්නා බවත් පමණි. එම කාරණය සනාථ කිරීම සඳහා ඇමරිකානු නඩු වාර්තාවලට යාමට ලියුම්කරු වෙහෙස නොවිය යුතුව තිබුණි.

අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය, ‘‘අතීතයට බලපාන්නා වූ නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇතැ’’ යි පැහැදිළිව පෙන්වා දෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80 (1) වැනි වගන්තිය අනුව, පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වන්නේ කථානායකවරයා විසින් එය සහතික කළ විට ය. එය ක‍්‍රියාත්මක වන්නේ එදා පටන් ඉදිරියට ය. නීති සාමාන්‍යයෙන් ක‍්‍රියාත්මක වන්නේ, ආපස්සට නොව ඉදිරියට ය. යම් නීතියක් ආපස්සට බලපැවැත්වීමක් අවශ්‍ය කෙරෙයි නම්, එසේ බලපවත්වන්නේ කුමන දවසේ සිට දැ යි පනත් කෙටුම්පතේ පැහැදිළිව සඳහන් විය යුතුය.

දැන් මේ කියන කාරණය සම්බන්ධයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය අවලංගු වුණේ 2010 සැප්තැම්බර් 9 වැනි දා ය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුසුදුසුකම ක‍්‍රියාත්මක වන්නේ ඊට මාස 8 කට කලින් සිටයි. උපකල්පනීයව ගත්තොත්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නුසුදුසුකම ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය විණි නම් කළ යුතුව තිබුණේ, ‘‘31 (2) වගන්තිය 2010 ජනවාරි 26 වැනි දා සිට අවලංගු කෙරේ’’ යනුවෙන් සඳහන් කිරීමයි. ඊටත් වඩා ත්‍යාගශීලීව කුමාරණතුංග මැතිණියගේ නුසුදුසුකමත් ඉවත් කිරීමට අවශ්‍ය විණි නම්, 1999 දෙසැම්බර් 21 වැනි දා සිට බලපවත්වන පරිදි එය අවලංගු කළ යුතුව තිබුණි. අවශ්‍යම නම්, 31 (2) වගන්තියක් කිසි දවසක පනවාගෙන නොතිබුණේ යැයි කියැවෙන පනතක් වුව සම්මත කර ගැනීමට පුලූවන් කම තිබුණි. එසේ විණි නම්, ජේ. ආර්. ජයවර්ධන, මරණයෙන් පසුව පවා ඊට සුදුසුකම් ලබන්නේය. මා දැක් වූ මේ උපකල්පනීය අවස්ථා, ව්‍යවස්ථාමය ක‍්‍රියාවලිය විහිළුවක් බවට පත්කරනු ඇත. තිරසාර ස්ථාවරය වන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තියක් අවලංගු කිරීම අතීතයට බලනොපවත්වන බව ය. ජනරජයේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එම නීතියෙන් පැනවෙන කිසිවක් උදුරා ගත නොහැක.

*2014 අගෝස්තු 30 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ  “Sarath N Silva & MR’s Third Term” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page