20 January, 2026

Blog

මහාචාර්ය ගණනාත් ඔබේසේකර: සටහනක් ලියන්න මගේ හිතේ කවදාවත් තිබුනේ නෑ

සසංක පෙරේරා

සසංක පෙරේරා

මහාචාර්ය ඔබේසේකර ගැන කිසිඳු මතක සටහනක් ලියන්න මගේ හිතේ කවදාවත් තිබුනේ නෑ. ඒ ඔහුගේ ගෝලීය බුද්ධිමය ව්‍යායාමය මා අගය නොකරන නිසා නොව, ඔහුගෙන්ම ඉගෙනගත් වෙනත් කාරණයක් නිසා. ඒ තමයි, ශාස්ත්‍රීය කටයුතු සහ අත්‍යාවශ්‍ය සමාජ මැදිහත්වීම්වලට අමතරව, නිකරුනේ ප්‍රසිද්ධ අවකාශයේ කරක්ගහන එක කාලය නාස්ති කිරීමක් කියන එක. ඒක මගේ පියාගෙනුත් ඉගෙනගත් දෙයක් නිසා සහ මමත් පුද්ගලිකව විශ්වාස කරන දෙයකුත් නිසා, ඒ වගේ කටයුතුවලින් බොහෝ විට මම ඈත්වී සිටියා.

කොහොම නමුත්, ඔහුගේ සහ රන්ජනී ඔබේසේකර මහත්මියගේ පුද්ගලික පොත් එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාරදීම නිමිත්තෙන් ඔහු ගැන ලියවී තිබුන බොහෝ දේ කියවීමෙන් පසු සහ විශේෂයෙන් හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ සටහන කියවීමෙන් පසුව, මටත් හිතුන ඔහුගෙන් මට ලැබුන බලපෑම ගැන යමක් ලියන එක ඔහු ගැන වඩාත් පුළුල්ව දැනගන්න අවශ්‍ය උදවියට යම් ප්‍රයෝජනයක් වෙයි කියලා. එහෙම උනදුවක් තියෙන බවත් මට පේන්න තිබුනා.

මහාචාර්ය ගනනාත් ඔබේසේකර

ඔබේසේකර මහතා සහ ඔහුගේ බිරිඳ මා මගේ ජීවිත කාලය තුලම හොඳින් දැන සිටියත්, සමීපව ඇසුරු කළ අය ලෙස හැඳින්වීම වැරදියි. නමුත් යමෙකුගේ ජීවිතයෙන් සහ දැනුමෙන් ආලෝකය ලබාගැනීමට සමීපත්වය අවශ්‍යයයි කියලා මම හිතන්නේ නැහැ. එතනදී අවශ්‍ය වෙන්නේ, මේ වගේ උදවියගේ දැනුමෙන් සහ ජීවිතවලින් ලබාගත හැකි දේ සමීපව සහ මැනැවින් හැදෑරීමයි. පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඔහුගෙන්, ඔහුගේ බිරිඳගෙන් සහ ඔවුන් වරින්වර ජීවත් වූ නිවාස සරසා තිබූ ආකාරයෙන් මා බොහෝ දේ ඉගෙන ගත්තා. චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට් ගැන මම ඉස්සෙල්ලම ඇහුවෙත්, ඔහුව මුණගැහුනෙත් මහාචාර්ය ඔබේසේකර මාර්ගයෙන්. ඒ වගේම, චිත්‍ර ශිල්පී ස්ටැන්ලි කිරින්දේ ගැන මා දැනගත්තෙත් බොහෝ කාලයකට පෙර ඇසුරුකරන්න ලැබුනෙත්, මගේ පියා මෙන්ම මහාචාර්ය ඔබේසේකර හරහා.

මෙතැන තියෙන පුද්ගලික වැදගත්කම ලංකාවේ සිටි කේන්ද්‍රීය චිත්‍ර ශිල්පීන් දෙපොලක් කුඩා කාලයේදීම මුණගැසීම හෝ ඇසුරු කිරීම නොව, දෘශ්‍ය කලාව ජීවිතයට බොහෝ සෙයින් සමීපකර ගැනීමේ සංස්කෘතික පුරුද්ද පැහැදිලිවම මට ලැබුනේ මහාචාර්ය ඔබේසේකරගෙන් වීමයි. පිකාසෝ සහ ඩෙගා වැනි යුරෝපීය සිත්තරුන්ගේ කෞතුකාගාර මට්ටමේ මුද්‍රිත පිටපත් අප ජීවත්ව සිටි සාමාන්‍ය මධ්‍යම පාන්තික නිවෙස්වල බිත්තිවලට ලැබුනේ ඔහුගේ විදේශ සංචාරවලට සහ රුචිකත්වයට පින් සිද්ද වෙන්නයි. මෙවන් සංස්කෘතික බලපෑමක් මගේම පවුලෙන් ලැබෙන්න තිබුන ඉඩකඩ ඉතාමත් සීමිතයි.

නොයෙකුත් හේතු නිසා, ඔහුගේ මුල් පුස්තකාලයෙන් යම් පොත්පත් අපේ නිවසට ආවා. ශේක්ස්පියර්ගේ සිට කෆ්කා දක්වා නොයෙකුත් පොතපත මා පාසල් යන කාලෙම බැරි මරගාතේ කියවන්න උත්සාහ ගත්තෙත්, ඒ අයගේ රචනා ගැන යම් රුචි අරුචිකම් බොහෝ කලයකට පෙර සිට වර්ධනය වුනෙත් මේ නිසා කියලයි මම හිතන්නේ. එදා ඉදන් අද දක්වාම, ශේක්ස්පියර් මට එච්චර දිරවන්නේ නැහැ කිව්වොත් මහාචාර්ය ඔබේසේකර ට යම් කණගාටුවක් දැනෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි, කෆ්කා ගැන මම ඒ වගේ කතාවක් කියන්නේ නැහැ.

මම මේ දේ කිව්වේ හේතුවක් ඇතිව. ඒ තමයි, මේ උදාහරණයේ වගේ, අපේ පුද්ගලික සංස්කෘතික හා දැනුම් රුචිකත්ව නොයෙකුත් මූලාශ්‍රවලින් උකහාගත් ඒවා විය හැකි වුනත්, ඒවා ඒ මූලාශ්‍රවලින් අපේ ජීවිතවලට ඇතුලුවෙන කොට, ඒවා අපට සුදුසු ලෙසින් හැඩගසා ගන්න එක අපේ වැඩක්. ඒක කරගන්න අවශ්‍ය දැනුම හා පෞරුෂය ගොඩනගා ගන්න අපිට හැකියවාක් තියෙන්නත් ඕනේ. ඒ වගේම, එවැනි නොයෙකුත් බලපෑම් ආවේ කොහෙන් ද කියන එකත් අපි අමතක නොකළ යුතුයි. ඒවාට බලපෑම් කළේ කව්ද, කොහොමද ආදී දේ අපි දැනගෙන තියෙන්න ඕනේ. මේ කාරණා ගැන වඩාත් න්‍යායිකව තේරුම් ගන්න පුළුවන් වුනේ නම් මීට දශක ගණනකට පසු පියෙර් බෝද්යෝ ගේ ‘Metamorphosis of Taste’ කෘතිය කියෙව්වට පස්සේ සහ ඒකේ යම් යම් කරුණු මම උගන්වපු පන්තිවලට ගෙනාවට පස්සේ.

බුද්ධිමය කටයුතු සම්බන්ධයෙන් තියෙන්නේ මීට වඩා වෙනස් අත්දැකීම්. මහාචාර්ය ඔබේසේකර සහ මම විධිමත් මානව විද්‍යා පුහුණුවක් ලැබූ අය වුනත්, අපේ පර්යේෂණ හා න්‍යායික උනන්දු සහ දැනුමේ දේශපාලනය එකිනෙකාගෙන් බෙහෙවින් වෙනස්. නමුත් ඔහුගේ මැදිහත්වීම නොමැතිව උසස් අධ්‍යාපනය සඳහා මුලින් කැලිෆෝනියා සරසවියටත්, පසුව පශ්චාත් උපාධි පුහුණුව සඳහා ප්‍රින්ස්ටන් සරසවියටත් යන්න මට අවස්තාව නොලැබෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බා. මගේ පියා 1980 ගණන්වල ඔහුගේ ටයිප්රයිටරයෙන් ලියලා ඇමරිකාවේ සරසවි විසිගනනකට විතර ඇප්ලිකේෂන් යැව්වා මා වෙනුවෙන්. ඒ කාලේ මට ටයිප්කරන්න බෑ. නමුත් ඒවායින්, අවශ්‍ය ඇප්ලිකේෂන් ගාස්තු ගෙවන්න අපිට වත්කම තිබුනේ කීපයකට විතරයි. මෙතනදී තමයි, මහාචාර්ය ඔබේසේකර කැලිෆෝනියා, වර්ජිනියා සහ ඉලිනොයි සරසවිවලට අවශ්‍ය ඇප්ලිකේෂන් ගාස්තු ලබා දුන්නේ. මේ මුදල් පරිත්‍යාගය මම හුගක් අගය කරනවා. මට ඒක තාමත් මතක තියෙන්නෙත් ඒ නිසයි. ඔහු එවන් උදව් උපකාර තවත් බොහෝ දෙනාට ලබාදීලා තියෙන බව මම දන්නවා.

මට දැන් හිතෙනවා, ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා හැකි විටෙක මගේ සරසවියේ ඉන්න නොයෙක් දෙනාට අඬබෙර ගහන්නේ නැතිව උදව් උපකාර කිරීමේ පුරුද්ද මට ආවේ ඔහුගෙන් මෙන්ම මගේ දෙමාපියන්ගෙන් කියලා. මේ ගැන කුඩා කාලේ ඉදලා අහලා සහ දැකලා තිබුන නිසා.

මහාචාර්ය ඔබේසේකරගෙන් මම හිතන්නේ ශාස්ත්‍රීය ජීවිතය සම්බන්ධයෙන් මම ඉගෙනගත් වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි, පර්යේෂණ ක්‍රියාවලියේදී (ඒ ක්ෂේත්‍ර පර්යේෂණ හෝ ද්විතීයික තොරතුරු මත පදනම් වූ ඉතිහාසමය පර්යේෂණ හෝ වුනත්) ‘ෂෝට් කට් ගන්න එපා’ කියන එක. ඒ කියන්නේ ඕනෑම පර්යේෂණයක් සඳහා ඊට අවශ්‍ය කාලය අනිවාර්යයෙන් ගතකරන්න කියන එක සහ ඒ වගේ වැඩවලදී හදිස්සි වෙන්න එපා කියන එකයි. වැදි සමාජය පිළිබඳ ඔහු කළ පර්යේෂණය සඳහා, ඒ වන විට වයස අවුරුදු 80 පහුකරල හිටියත්, තරුණ පර්යේෂණ කණ්ඩායමක් එක්ක මාස ගණනක් බිබිල, මහියංගණය, දඹාන වගේ ප්‍රදේශවල ජීවත් වෙමින් කළ පර්යේෂණ කටයුතු මේ සඳහා ඉතාමත් හොද මෑත කාලීන උදාහරණයක් හැටියටයි මම දකින්නේ.

යමක් පළකිරීම සම්බන්ධයෙනුත් මම බොහෝ කාලයකට ඉස්සර ඔහුගෙන් ඉගෙනගත් දෙයක් තමයි, ඒ සඳහා අවශ්‍ය කාලය ගතකරන්න කියන එක. මේක වඩාත් වදගත් වෙන්නේ වර්තමාන ලංකාවේදී, බී. ඒ. උපාධි නිබන්ධනයක් වුනත් පොතක් හැටියට පළකරන්න තියෙන හදිසිය දැක්කම. මේ පොත්වලින් අලුතින් යමක් බුද්ධිමය කතිකාවට එක්නොවීම සහ ඒවා පදනම් වී තියෙන පර්යේෂණ ඉතාමත් කෙටි කාලයකින් මහා හදිස්සියේ කළ ඒවා බව කව්රුත් හිතට ගන්නේ නැහැ. මට මතක හැටියට මහාචාර්ය ඔබේසේකර ගේ ‘The Cult of the Goddess Pattini’ කෘතිය අවුරුදු 20 ක විතර පර්යේෂණයක සහ ලිවීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.

දෙවන කාරණය තමයි, ඔහුගේ සැම පොතකම හෝ රචනයකම පේන්න තියෙන විදියට, න්‍යාය කියන දේ මනෝ මූලික ව්‍යුක්ත ව්‍යායාමයක් ලෙස බිම් මට්ටමේ යථාවන්ට කිසිම සම්බන්ධකමක් නැතිව තමන්ගේ ලියකියවලිවලට ගේන්න එපා කියන එක. ඒ කියන්නේ, සමාජ න්‍යාය ජනප්‍රියත්වය සඳහා යොදාගන්නා සැරසිල්ලක් හෝ තමන්ගේ පාණ්ඩිත්වය පෙන්වීමට යොදාගන්න සංකේතයක් නෙවේ. ඒ වෙනුවට එයින් විය යුත්තේ පර්යේෂණ ක්‍රියාවලියෙන් මතු කරගත් ආනුභවික තොරතුරු හා කියවීම් මත පදනම් වූ සමාජ සංසිද්ධියක් හෝ ගැටළුවක් තේරුම්කරන එක. මේක ලංකාවට වඩාත් වැදගත් වෙන්නේ සමාජ න්‍යාය එහෙම පිටින්ම විසිකරලා දාලා හෝ අවතක්සේරුවට ලක්කර තියෙන ශාස්ත්‍රාලීය සන්ධර්භය සහ සමාජ න්‍යාය හා දර්ශනය පිළිබඳ ශාස්ත්‍රාලයීය අවකාශයට ඔබ්බෙන් පැනනැගී ඇති ‘පරිපථනීය, සන්නාසි වේශධාරී, ඝෝෂාකාරී පුද්ගලයින්, කුඩා කණ්ඩායම් හා පුද්ගල එකතු’ විසින් නිරතුරුවම දේශනාකරන ‘දර්ශනය හා සමාජ-න්‍යාය’ යැයි කියන ජනප්‍රිය කතිකාමය සන්දර්භය සිහියට ගන්නා විටයි.
තවත් එක කාරණයක් තියෙනවා මම හිතන විදියට හුගක් වැදගත්. ඒ තමයි තමන්ගේ දැනුම (විධිමත්ව සම්පාදනය කළ දැනුම වගේම ජීවිතයෙන් ලද අත්දැකීම් කියන දෙවර්ගයම) ‘අවශ්‍ය වෙලාවට’ සමාජයීය හා දේශපාලන මැදිහත්වීම් සඳහා ප්‍රසිද්ධ අවකාශයට ගෙනඒමේ වැදගත්කම. මේකෙන් මම අදහස් කරන්නේ දැන් දැන් බොහෝ විට ලංකාවේ සිදුවෙන ආකාරයට, හැම වෙලාවේම, හැම දෙයකටම සමාජ මාධ්‍යයට ඇවිත් ලෝකේ ඇති නැති හැම දේ ගැනම කොටන එක නෙවේ. මහාචාර්ය ඔබේසේකර දේශපාලන ප්‍රචණ්ඩත්වය, ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්වය, කුඩා දරුවන් මහණකිරීමේ ඇති ආදිනව වගේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තමන්ගේ දැනුම සහ අදහස් පුවත්පත් මගින් ප්‍රසිද්ධ අවකාශයට අරගෙන ඇවිත් තියෙනවා. මහාචාර්ය නෝම් චොම්ස්කි සහ මහාචාර්ය එඩ්වර්ඩ් සයීඩ් වගේ අයත් මේ සම්ප්‍රදාය තමන්ගේ සමාජ හා දේශපාලන මැදිහත්වීම්වලින් පෙන්නලා දීල තියෙනවා.

නමුත් මෙතනදී වැදගත් වෙන්නේ, මා කලින් සඳහන් කළ ‘අවශ්‍ය වෙලාවට’ කියන පද දෙක. ඒ කියන්නේ මෙවන් මැදහත්වීම් කළ යුත්තේ කොහොමද කියන කාරණයයි. මේ හැම දෙනාම පෙන්නලා දීල තියෙන වැදගත්ම කරුණ තමයි, එසේ කිරීමේදී තමන් එක එක දේශපාලන පක්ෂවල හෝ පුද්ගලයින්ගේ වන්දිබට්ටයින් නොවිය යුතු බව. දේශපාලනය සමග තමන් ප්‍රායෝගිකව පවත්වාගත යුතු දුරස්ත බව මම හිතන්නේ හුගක් වැදගත් දෙයක්. එහෙම නැතිව, ශාස්ත්‍රඥයින්ට දේශපාලන කටයුතු සම්බන්දයෙන් විචාර-පූර්වක වෙන්න බැරි බව ඉහත සඳහන් කළ මහාචාර්යවරු හොදින් පෙන්නලා දීලා තියෙනවා. මම මේ කාරණාව විශේෂයෙන්ම කිව්වේ, මමත් මේ ස්ථාවරයට පුළුවන් හැම වෙලාවෙම සමීප වෙලා කටයුතු කරන්න උත්සාහ කරන නිසාම නෙවේ.

වඩාත් වැදගත් වෙන්නේ, ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වෙලා ඉන්න ලංකාවේ බොහෝ ශාස්ත්‍රඥයින්ට තමන්ගේ ශාස්ත්‍රීය වැඩ, සමාජ දේශපාලන මැදිහත්වීම් සහ පටු දේශපාලන අවශ්‍යතා අතර අනිවාර්යයෙන් තිබිය යුතු දුර පවත්වාගෙන යන්න ඇති නොහැකියාව පැහැදිලිව පෙනෙනනවා කියන කාරණය මතුකරන්නයි.

නමුත් මේ කියපු එක දෙයකින්වත් කියවෙන්නේ නැහැ, මහාචාර්ය ඔබේසේකරගේ සියළුම න්‍යායික හා විධික්‍රමික ප්‍රවේශ සමග මම එකඟ වෙනවා කියලා. මේ ඇතැම් දේ ගැන මම සැරින් සැරේ ඔහු සමග කතාකරලා හෝ ලියුම් ගනුදෙනු කරගෙන තියෙනවා. නමුත් ඒ බොහෝ දේ මම ප්‍රසිද්ධ අවකාශයේ ඉදිරිපත් කරලා නැහැ. ඒක කරන්න අවශ්‍යයත් නැහැ. ඒ වගේ දේවල් කරන්න ඕන තරම් කට්ටිය ලොව පුරා ඉන්නවා.

ඔහුගේ රචනා ලෝකයේ බොහෝ තැන්වල මානව විද්‍යාව, සංස්කෘතික අධ්‍යයන, දේශපාලන විද්‍යාව, ඉතිහාසය සහ මනෝ විද්‍යාව වගේ විෂයන්ට බලපෑම් කරලා තියෙනවා. මගේ විශ්වාසයේ හැටියට මේ බලපෑම අඩුම තැනක් වෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල. මහාචාර්ය සුනිල් සෙනෙවි සහ ලියනගේ අමරකීර්ති හා කථිකාචාර්ය සමල් හේමචන්ද්‍ර මේ ගැන ලඟදී කළ කතාබහේදී පෙන්නලා දීල තිබුන ඒ උදවියගේ පන්තිවලට සහ චින්තනයට මහාචාර්ය ඔබේසේකරගේ රචනා බලපාල තිබුන අන්දම. නමුත් මට පේන්නේ මේක ශාස්ත්‍රඥයින් අතලොස්සකගේ පුද්ගලික උනන්දුව නිසා සිදුවෙන ව්‍යායාමයක් විදියට. මෙතැන තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි ඔහුගේ ලියකියවිලි බොහෝමයක් සිංහල භාෂාවෙන් කියවන්නට තවමත් හැකියාවක් නොතිබීම. ඔහුගේ ‘Medusa’s Hair: An Essay on Personal Symbols and Religious Experience’ කෘතිය මහාචාර්ය යෝශිකෝ අශිව විසින් ජපන් භාෂාවට පරිවර්තනය කර, පළකරලා තිබ්බත්, එහි සාරාංශයක්වත් සිංහලෙන් නැහැ.

මේ තත්ත්වය තුළ, කැලණිය විශ්වවිද්‍යාලයේ චින්තක රණසිංහ ඇතුළු කණ්ඩායමක් සම්පාදනය කළ මහාචාර්ය ඔබේසේකරගේ තෝරාගත් ලිපි කිහිපයක සිංහල පරිවර්තන එකතුව බුද්ධිමය ව්‍යතිරේකයක්.

මේ තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් තමයි තමන්ගේ රචනා සිංහලෙන් තිබිය යුතුයි යන කාරණය ගැන මහාචාර්ය ඔබේසේකරට පුද්ගලික උනන්දුවක් නොතිබීම. එතැන තියෙන දැනුමේ දේශපාලනය ගැන ඔහුට එතරම් තේරුමක් තිබුන බව මේ ගැන කතාකළ නොයෙකුත් අවස්ථාවල මට පෙනුනේ නැහැ. ඒක හැබැයි තමන්ගේ ජීවිත කාලය තුලම ඉංග්‍රීසියෙන් සහ ලංකාවෙන් පිටත ශාස්ත්‍රීය මෙහෙයේ යෙදුන ඔහු වැනි අයෙකුට සමාන්‍ය දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ, ඒක කරන්න පුළුවන් හා එයින් ඍජුවම ප්‍රයෝජන ගන්න පුළුවන් ලංකාවේ සිටින ශාස්ත්‍රඥයින් ඒ කටයුත්තට නායකත්වය නොදීම.
මට මතක ඇති විදියට ඔහු බොහෝ විට මා හා පැවසූ දෙයක් වුනේ, උනදුවක් ඇති අය මෙය කළ යුතු බවයි.

නමුත්, චින්තක රණසිංහ ඇතුළු කණ්ඩායමේ උත්සාහය සහ මම, හරීන්ද්‍ර දසනායක, කතිකා සංවාද මණ්ඩපය සහ තව කීපදෙනෙක් කළ, අතන මෙතැන පළවී ඇති ඔහුගේ රචනාවල සිංහල පරිවර්තන අතලොස්ස ඇරුනම, ඔහු සම්පාදනය කර ඇති අතිවිශාල දැනුම සිංහල බස ඔස්සේ ලංකාවේ විශ්වවිද්‍යාලවලට ගෙනඑන්න දීර්ඝකාලීන උත්සාහයක් කව්රුන් හෝ අරගෙන තියෙන බව මට පෙනෙනෙන් නැහැ. එහෙම ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාලයකවත් තියෙන බව මම අහලත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඒ ගැන සැරින් සැරේ, අතන මෙතන කරන කතාබහ විතරයි.

මහාචාර්ය ගණනාත් සහ රංජිනී ඔබේසේකරගේ පොත්පත් පේරාදෙණිය සරසවියට තෑගී කළ මේ මොහොතේ ඊට කලගුණ සැලකීමේ හොඳම ක්‍රමය නම්, දැනට සිංහලෙන් පළවී නොමැති ඔහුගේ නොයෙකුත් රචනා සිංහලයට ගෙනඒම සඳහා දීර්ඝකාලීන උත්සාහයක් කල් නොයවා ක්‍රියාත්මක කිරීමයි. ඒකට මගේ උපකාර අවශ්‍ය නම්, ඒ වගේ ව්‍යායාමවලට නායකත්වය දෙන උදවියට ඕනෑම වෙලාවක මාත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.