29 September, 2020

Blog

බැසිලියානු දේශපාලනයේ සමාජ වටිනාකම

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය දා උත්සව සභාවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළහොත් එදිනම පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු  බවයි. වෛරී දේශපාලන ප්‍රකාශයන් කීමේ කට වාචාල දේශපාලකයකු වන විමල් වීරවංශ ප්‍රකාශ කරන දෑ ශිෂ්ඨ සම්පන්න සමාජයකට වැදගත් නොවූවත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසාත් ඔහුගේ ප්‍රකාශයන්ගෙන් මානසිකව තෘප්තිමත් වන අශ්ලීල ජන කොටසක් මෙරටේ සිටින නිසාත් මෙවැනි ප්‍රකාශයන් පිළිකුලෙන් බැහැර කරමින් ඒවා දේශපාලනිකව අගු පිළට තල්ලු කර දැමිය යුතුය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි විමල් වීරවංශ ප්‍රකාශ කළේ බරපතල වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිය දී ඔහු විසින් ලියන ලද ග්‍රන්ථයක් එළි දක්වන්න උත්සවයක දී ය. සාමාන්‍යයෙන් විමල් වීරවංශ වැනි දේශපාලකයන් ඔළු ගෙඩි ගණනින් ලබන්නේ අසීමිත තෘප්තියකි. 2002 තරම් ඈතක දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයකු සිටිය දී ජනාධිපති මන්දිරය වැටලීමට යන්නට විමල් වීරවංශට වුවමනා විය. එසේ අදහස් පළ කළේ ද එදා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියක් කොළඹ පැවැති අවස්ථාවක දී ය. ඒ අනුව විමල් වීරවංශ ඔළු ගෙඩි වලින් තෘප්තියට පත්වන බොළද දේශපාලකයකු වන අතර ඔහුගේ වාචාල කට හැකර කතා එළියට පනින්නේ ඔළු ගෙඩි දැක ස්වයං තෘප්තියට පත්වීමෙනි.

රාජ්‍ය නායකයා ජීවත්වන නිවසට හෝ ඔහුගේ කාර්යාලයට හෝ කඩා පැනීම විප්ලවීය දේශපාලනයක අවසන් තුරුම්පුව ලෙස ක්‍රියාත්මක වන්නකි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුව අවලංගු කිරීම ද විප්ලවීය දේශපාලනයක කූට ප්‍රාප්තියකි. ඒ සියළු දේශපාලන ක්‍රියා සිදුවන්නේ විශාල මහජන නැගිටීමක අවසන් මොහොතේ බලය අල්ලා ගැනීමේ පියවර ලෙසිනි. ඒවා අවම වශයෙන් නාමික ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ ශිෂ්ඨ සම්පන්න දේශපාලන භාවිතයන් නොවේ. විශාල මහජන නැගිටීමකින් ඒකාධිපති ෆැසිස්ට්වාදී ආණ්ඩුවක් බලයෙන් පහ කිරීම සදහා ගත යුතු දේශපාලන නැගි සිටීම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් තුළ ක්‍රියාත්මක කිරීමට තැත් කිරීම සාතිශය විහිළුවකි. දේශපාලන අශ්ලීලකමකි.

එහෙත් විමල් වීරවංශ ඉතිහාසය පුරා උත්සාහ ගත්තේ ඒකාධිපති මිලේඡ ආණ්ඩුවකට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු දේශපාලන නැගී සිටීම් ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු කරන්න යෑමයි. 2002 දී ජනාධිපති මන්දිරයට වට කරන්නට යන්නට විමල් වීරවංශ කතා කරද්දී දයාන් ජයතික හාස්‍යයෙන් යුතුව පුවත්පතකට ලියා තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලහත්කාරයෙන් ඇද දමනකම් ඉන්දියන් සාගරයේ නැංගුරම් ලා ඇති ඉන්දීය යුද නැව් අහක බලාගෙන ඉදීවිද යන්නයි. එහෙත් විමල් වීරවංශට ගෝලීය භූ දේශපාලන අත්දැකීම් නොමැති නිසා ඔවු එදා පාඩම් ඉගෙන ගත්තේ නැත.

එනිසා ඔහු අද ද කතා කරන්නේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට ය. මෙවැනි කතා ආණ්ඩු විරෝධී පාදඩ ජන කොටස් අතර ආකර්ශනීය වන අතර එවැනි වාචාල කතා කියන්නන් ආණ්ඩු විරෝධී එඩිතර නායකයන් ලෙස එම පාදඩ ජන කොටස් අතර ජනප්‍රියවීම සාමාන්‍ය ලක්ෂණයකි. විමල් වීරවංශ එදා මෙදා තුර හැමදාම උත්සාහ ගන්නේ වාචාල හා කට කැඩිච්ච කතා කියමින් අශ්ලීල පාදඩ ජන කොටස් අතර වීරයකු වන්නට ය. විමල් වීරවංශ යනු විධිමත් හෝ අවිධිමත් හෝ නොවිධිමත් හෝ අධ්‍යාපනයක් ලැබූවකු නොවේ. ඔහු දේශපාලකයකු වුවද සමාජයෙන් ඉගෙන ගන්නකු ද නොවේ. ඔහු නිතරම සූදානම්ව සිටින්නේ සමාජයට පාඩම් ඉගැන්වීමට ය. පාදඩ සමාජ ස්ථරයක නිල ඇල්ලීමට විමල් වීරවංශට ඇති හැකියාව නම් අගය කළ යුතුය. එහෙත් ඒ හැකියාව විසින් පෝෂණය කරන්නේ අශ්ලීල සමාජ ගති ලක්ෂණ නිසා සමස්තයක් ලෙස ඔහුව ගය කළ හැකි නොවේ.

විමල් වීරවංශ වෙළෙද පළ ආර්ථික ක්‍රමයට එරෙහිව කෙතරම් කතා කළත් ඊට කෙතරම් එරෙහි වුවත් ඔහු 1978 සුජාත දරුවෙකි. ඔහු පෝෂණය වන්නේත් ජීවත්වන්නේත් 1978 සමාජ ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. කෘෂිකාර්මික හා කාර්මික අංශයන් පස්සට තල්ලු කරමින් සේවා ආර්ථිකයට ශ්‍රී ලංකාව යොමු වුනේ 1978 ආර්ථික ප්‍රතිසංකරණ වලිනි. සේවා ආර්ථිකයකින් පෝෂණය වන්නේ පාදඩ ආර්ථික ක්‍රියාකාරකම් ය. එවැනි ආර්තික රාමුවක ශක්තිමත් වන්නේ පාදඩ සංස්කෘතියකි. සමාජ වටිනාකම් වලට අවම අගයක් ලැබෙන අගය කළ යුතු සංස්කෘතික ලක්ෂණ ඇත්තේම නැති එවැනි සමාජ කුලකයක දේශපාලන නියෝජිතයා ලෙස විමල් වීරවංශ වැනි දේශපාලකයන්ට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි. ගහට පොත්තත් පොත්තට ගහත් ලෙස පාදඩ සමාජ තීරුවත් විමල් වීරවංශත් එකිනෙකින් යැපේ.

මහින්ද රාජපක්ෂ රෙජීමයේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය නියෝජනය කළ එක් කුඩා පක්ෂයක් වූයේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණයි. සත්‍ය වශයෙන්ම කිවහොත් විමල් වීරවංශ නියෝජනය කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුවේ පාදඩ පාර්ශ්වයයි. එනිසා කට වාචාල කතා කියමින් දෙමළ හා මුස්ලිම් ජන කොටස් වලට අශ්ලීල ලෙස වාග් ප්‍රහාර එල්ල කරමින් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කර ගැනීමට ඔහු ගත් උත්සාහය අති විශාල ය. ඒ නිසා සිංහල වගවාදී ආස්ථානයක යහමින් දේශපාලනය කිරීමට විමල් වීරවංශට සිදු විය. එයම පෙරළා රාජපක්ෂ රෙජීමයේ කඩා වැටීමට හේතු වූයේ දෙමළ හා මුස්ලිම් ජන කොටස් රෙජීමය අත හැර යෑම නිසා ය. ඒ අර්ථයෙන් ඔහු රාජපක්ෂ රෙජීමයට කළ හානිය බරපතල ය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තම සහෝදරයාගේ රෙජීමය කඩා වැටීමට බරපතල ලෙස දායක වූ අතර ඒ සදහා බලපෑ අනෙක් සාධක ද මනා ලෙස දනී. වත්මන් ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය නගා සිටුවීමේ දී සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් බරපතල බාධාවක් බව ඔහු දනී. තවදුරටත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය හා තදින් බැදී සිටින්නේ නම් අලුත් ආණ්ඩුවක් හදන්නට සිදුවන්නේ වර්ගවාදී සිංහලයන් සමග පමණක් බව ඔහු මනාව තේරුම් ගෙන ඇත. ඊට අවම වශයෙන් සිංහල ජන කොටසේ සමාජ  ප්‍රජාතාන්ත්‍රික උනන්දුවක් සහිත පිරිස් පවා සහාය නොදෙන බව ස්ථිරය. එහෙව් ස්ථාවරයකින් දේශපාලනය ඇතුළුවීම දේශපාලන නූල් සූත්තරකාරයකු වන බැසිල් රාජපක්ෂට ඉගැන්විය යුතු කරුණක් නොවේ. ඔහු විමල් වීරවංශ හා ගැටුමකට යන්නේ එබැවිනි.

බැසිල් රාජපක්ෂට එල්ල වූ දූෂණ හා වංචා චෝදනාවන් අමතක කිරීමට විමල් වීරවංශලාට සිදුවූයේ ඊට වඩා තමන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම තමන්ට වාසිසහගත බැවිනි. එනිසා මුලින් නැගූ විරෝධය හකුලා ගනිමින් බැසිල් රාජපක්ෂ හා මිතුරුවීමට විමල් වීරවංශට පසුව සිදු විය. එහෙත් තමන්ගේම ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ උත්සාහයට විමල් වීරවංශ බාධාවක් වනවිට ඔහුව එළවා දැමීමට බැසිල් රාජපක්ෂ පසුබට නොවේ. කෙතරම් බෙරිහන් දුන්නත් විමල් වීරවංශගේ දේශපාලන අපරිනත බව එළියට පනින්නේ එතැනිනි.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ විමල් වීරවංශගේ නූගත් කතාව හරහා ඔහුට දැලක් එළීමට බැසිල් රාජපක්ෂට ඉඩක් ලැබී ඇත. විමල්ගේ කතාවට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක කල එළි බසින්නේ එනිසා විය හැකිය. තම පක්ෂ නායකයාගේ ප්‍රකාශයක් තරයේ හෙලා දකිමින් අදහස් පළ කිරීමට තරම් පියසිරි විජේනායක ඉක්මන් වීම අහඹුවක් විය නොහැක. කොහොමත් ජාතික නිදහස් පෙරමුණ අභ්‍යන්තරිකව බරපතල බිදුම් සහිත පක්ෂයකි. මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ එම පක්ෂයෙන් ඉවත් කිරීමට පවා සමහරු ක්‍රියා කරමින් සිටියහ. එහෙත් යම්කිසි බාහිර බලපෑමකින් එය අඩපණ වුණි. නැවතත් ඉසමත්තට එන්නේ ඒ මූලික පිපිරුමේ කම්පනයන් ය.

විමල් වීරවංශගේ දේශපාලනය ශිෂ්ඨ සම්පන්න නැත. ඔහුගේ දේශපාලන භාවිතාව තුළ අවම ආචාරධාර්මික ලක්ෂණයන් හෝ නොපෙන්වයි. විනයගරුක සමාජ වටිනාකම් නොමැති දේශපාලන භාවිතාවක් පමණක් නොව පුද්ගල හැසිරීමක් හෝ වැඩි කල් පවතින්නක් නොවේ. එවැනි ක්‍රියාකාරකම් කඩා වැටීමත් විනාශවීමත් තාර්කික ය. අද විමල් වීරවංශ තල්ලු වෙමින් පවතින්නේ එවැනි දේශපාලන අගාධයකට ය.

විමල් වීරවංශගේ දේපාලනය බල රහිත කිරීමේ බැසිලියානු දේශපාලනය තාර්කික වටිනාකම්ක් සහිත යහපත් දේශපලාන ප්‍රවේශයක් වන්නේ එබැවිනි. තවදුරටත් විමල් වීරවංශගේ පාදඩ අශ්ලීල හැසිරීම් හා භාවිතාවන් නිෂ්ක්‍රීය කළ හැක්කේ බැසිලියානු පන්නයේ දේශපාලන තීන්දුවකට හා ක්‍රියාවකට පමණි. පාදඩ ජන කොටස ප්‍රබල ලෙස ශක්තිමත් මොහොතක දේශපාලන සංවාදයන්ගෙන් හා සාකච්ඡාවෙන් විමල් වීරවංශගේ අශ්ලීල දේශපාලනය පරාජය කළ නොහැක. පාදඩ දේශපාලනය ක්‍රියාත්මක විය යුත්තේ පන්ති පදනමෙනි. එහෙත් මෙරටේ පාදඩ සමාජ ස්ථරයට නියෝජනයක් ලබා දෙන්නෙ මැද පාන්තික දේශපාලනයෙනි. එය අහෝසි කර පන්ති දේශපාලනයකට පාදඩ සමාජ තීරුව තල්ලු කිරීම අනිවාර්යෙන් කළ යුත්තකි.

ඒ සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන මහන්සිය අගය කළ යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.