26 April, 2024

Blog

ගෝත්‍රික පාවාදෙන්නන්ගේ ‘විපත් මඟ’

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මහින්ද රාජපක්ෂ පාලන කාලය සිහිබුද්ධියක් ඇති බොහෝ දෙනකු හැඳින්වූයේ ගෝත්‍රිකයන්ගේ වනචාරී දශකය ලෙසය. ඒ දශකය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් ලැබුණේ නැත; ශිෂ්ටත්වයට ඉඩක් ලැබුණේ නැත; යහපාලනයට ඉඩක් ලැබුණේ නැත; මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරුත්වයක් ලැබුණේ නැත. හැම අතින්ම පෙනෙන්නට තිබුණේ භයංකාරත්වයේ ලකුණුය. ඒ තත්ත්වය තුළ එය වනචාරි ගෝත්‍රික දශකයක් ලෙස හැඳින්වීම පුදුමයක් නොවේ. ඒ ගෝත්‍රික තත්ත්වයෙන් 2015දී නිදහස් වූ පසු මහජනතාව බලාපොරොත්තු වූයේ ශිෂ්ටසම්පන්න රටකි; වඩාත් යහපත් තත්ත්වයකි.

සියයට සියයක් නොවුණත් අද වන විට ඒ බලාපොරොත්තුව බොහෝ දුරට ඉටු වී ඇත; ගෝත්‍රික වනචාරී පාලනයෙන් රට නිදහස් වී ඇත; රටේ අගමැතිවරයා වුවත් කොමිසමක් ඉදිරියට කැඳවීමට හැකි අයුරින් නීතිය සාධාරණ වී ඇත. කැමැත්තෙන් සාක්ෂි දෙන තරමටම පාලකයන් ශිෂ්ටසම්පන්න වී ඇත. රටේ නායකයාගේ සහෝදරයා රිය අනතුරකට සැකකරුවකු ලෙස දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන තරමට රටේ නීතිය සාධාරණ වී ඇත. රජයේ ප්‍රබලතම කැබිනට් ඇමැතිවරු තිදෙනකු චෝදනා එල්ල වූ සැණින්, පරීක්ෂණවලට පහසු වීම සඳහා ධූරවලින් ඉවත් කරන තරමට පාලකයන් ශිෂ්ටසම්පන්න වී ඇත.

කෙසේ වෙතත් වර්තමාන පාලනය යනු 100%ක් සර්ව සම්පූර්ණ එකකැයි ඉන් නොකියවේ. අඩුපාඩු නැතිවා නොවේ. ඒත් ඒ අඩුපාඩු මඟහැරගනිමින් ඉදිරියට යෑමේ පැහැදිලි උත්සාහයක් අපට පෙනෙන්නට ඇත. ඒ උත්සාහය නොදිරවන පිරිසක්ද සිටිති. ඒ පසුගිය වනචර ගෝත්‍රික දශකයේ ප්‍රතිලාභ භුක්ති විඳි පිරිසය. ඒ කීප දෙනෙක් පසුගියදා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහායට එරෙහිව තලු මරමින් මහජනතාව ප්‍රකෝප කරන ප්‍රකාශ සිදු කළහ. ඉන් එක් අයෙක් වන්නේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි.

වියත්මඟ‘ යැයි තමන්ම කියාගන්නා පිරිසක් අමතමින් කමල් ගුණරත්න, ‘නව ව්‍යවස්ථාවට සහාය වන්නන් දේශද්‍රෝහීන් බවත්, දේශද්‍රෝහීන්ට හිමි විය යුතු දඬුවම මරණය’ බවත් ප්‍රකාශ කළේය. තවදුරටත් ඔහු කියා සිටියේ ’88-’89 සමයේ මෙන් ‘දේශද්‍රෝහීන්ට මරණය’ යන ලේබලය ගසා එසේ සිදු කළ යුතු බවත්, එසේ මරාදමන්නන්ගේ දේහය අඟල් 6කට පහළින් ගෙන යා යුතු බවත්ය. මෙය ස්වයං විසංවාදයකි. මේ ප්‍රකාශය අසන විට අපට මතක් වන්නේ ප්‍රකට ත්‍රිරෝද රථ වැකියකි. ‘පැතුවේ ලස්සන දවසක්, ඒත් සැමදා මහමග.’ ත්‍රිරෝද රථ රියැදුරා ලස්සන දවසක් උදා කරගන්න නම් මුදල් උපයාගත යුතුය. ඒ සඳහා ඔහු වැඩිපුර සිටිය යුත්තේ මහමඟය. එහෙත් ඔහු අකැමැතිමත් එයටය. කමල් ගුණරත්නද කියන්නේ එබඳුම කතාවකි. එදා දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතුයැයි පැවසූ දේශප්‍රේමීන් ත්‍රස්තවාදීන්යැයි කමල් පවසයි; එලෙස පවසන ගමන්ම දේශද්‍රෝහීන්ට මරණය ලබාදිය යුතුයැයි ඔහුද කියයි. මේ ඔවුන්ගේ අමන අවස්ථාවාදයේ ස්වභාවයය.

”History repeats itself first as tragedy second as farce” – ”ඉතිහාසය නැවත් වරක් සිදු වේ. ඒ ප්‍රථමයෙන් ඛේදවාචකයක් ලෙසත්, අනතුරුව ප්‍රහසනයක් ලෙසත්ය” යනුවෙන් කාල් මාක්ස්ගේ ප්‍රකට කියමනක් ඇත. කමල් ගුණරත්නගේ හැසිරීම දකින විට අපට මෙවැනි ප්‍රකාශ සිහි වීම පුදුමයක් නොවේ. අපේ රටේ රණවිරුවන්ට පසුගිය කාලය පුරා සැලකුවේ උත්කර්ෂයට නඟමිනි. ඔවුන් වෙනුවෙන් බෝධිපුජා, දේවකන්නලව් රට පුරා පැවැත්විණි. ඔවුන් මුරදේවතාවුන් ලෙස දේවත්වයටද නැංවිණි. එහෙත් කමල් ගුණරත්න වැන්නවුන් තව දුරටත් එසේ සැලකිය යුතුදැයි මහජනතාව සිතාබැලිය යුතු කාලයක් උදා වී ඇත. ඔවුන් සිතන්නේ මෙරටේ බලපවතින්නේ මිලිටරි නීතිය කියා විය යුතුය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ඔවුන්ට වැටහෙන්නේ නැති බවක් පෙනෙයි. රටක මූලික නීතිය ඇත්තේ සැමට ඉහළින්ය. එය උල්ලංඝනය කිරීමට සමත් කිසිවකු ඇත්තේ නැත. යුද හමුදාව තුළ සිදු කළ කතා, සාමාන්‍ය සමාජයේදී සිදු කළ නොහැකි බව කමල් ගුණරත්නලා වටහාගෙන නැතිද, නැත් නම් දැන දැන තර්ජන සිදු කරනවාදැයි බරපතළව සිතා බැලිය යුතුව ඇත. ඔහු තවදුරටත් හමුදා නිලධාරියෙක් නොවේ. ශිෂ්ට වටිනාකම් ගරුකරන ම්ලේච්ඡත්වය පිළිකුල් කරන සමාජයක හැසිරෙන ආකාරය කමල් ගුණරත්නලා තේරුම්ගත යුතුව තිබේ. ප්‍රතිවිරුද්ධ මතධාරීන් ඝාතනය කිරීමට අනුබල දෙනවා නම් මේ රටේ ශිෂ්ටසම්පන්න රටක් විය නොහැකිය. මේ රටේ ඉතිහාසය පුරා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කළ විරුද්ධ මතධාරීහු සිටියහ. රාජපක්ෂ පාලන කාලය තුළ ඉන් සමහරු සුදු වෑන් සංස්කෘතිය හරහා මර්දනයටද ලක් වූහ. එහෙත් ඒ වනචාරී යුගයට නැවත මේ රට පත් කිරීමට වර්තමාන පාලනයට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැත.

එවන් පරිසරයක කමල් ගුණරත්න වැනි රාජපක්ෂවාදීන්ගේ මේ ප්‍රකාශ සැහැල්ලුවෙන් තැකිය නොහැකිය. දියුණු රටවල ප්‍රතිවිරුද්ධ මත ඇත් නම්, සංවාදයෙන් විසංවාදයෙන් නිරාකරණය කරගැනීම සිදු කෙරේ. වෙනත් මත දරන්නන් සමූලඝාතනය කර ප්‍රශ්න විසඳීම ගෝත්‍රික නොවන ජන සමාජයකට කෙසේ වත් හිතකර නොවේ. කමල් ගුණරත්න පසුගිය කාලය පුරා කළ-කී දෑ, රණවිරුන්වන් නින්දාවට පත් කරයි. රණවිරුවන්ට අපහාස කරයි. ඔහු පසුගිය වසරේ ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ යන නමින් පොතක් ලියා පළ කළේය. මේ පොත මඟින් ඔහු වක්‍රකාරයෙන් අපේ හමුදාව සිදු කළායැයි චෝදනා එල්ල වන යුද අපරාධ සිදු කළ බවට සනාථ කිරීමටද දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කර තිබේ. නිරායුධ වැසියන්ට එරෙහිව රජයේ හමුදා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට සාක්ෂි ඔහු එහිදී සපයා තිබේ. ඔහුගේ පොතේ එක් තැනක සදහන් වී ඇත්තේ මෙසේය:

‘යාපනය මහ විදුහලේ සිට නගරය දෙසට ගිය හමුදා සෙබළුන් පිරිසක් තම සටන් සගයාගේ මරණයට එරෙහිව පළි ගැනීම සදහා පෞද්ගලික දේපළ විනාශ කරමින් නීති විරෝධී ආකාරයෙන් හැසිරෙනු දැකීම මට තෘප්තියක් ගෙනදුන් බව පිළිගනිමි’

මෙය විකෘති මිනිසකුගේ ප්‍රකාශයක් නොවේද? නිරායුධ මිනිසුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවකදී සතුටු විය හැක්කේ විකෘති මනසක් ඇති පුද්ගලයකුට මිසක් අන් කවරකුටද? දඩයමක් එළාගත් විට ගයමින් වයමින් සතුටු වීම අප්‍රිකාවේ මිනීමරු ගෝත්‍රික ලක්ෂණයකි. එවැනි තත්ත්වයකට පත් වීමට ශිෂ්ටසම්පන්න රටක පිළිගත් විනයක් සහිත හමුදාවක ඉහළ නිලධාරියකුට පත් වීමට හැකිද? යුද නිලධාරියකු ලෙස කමල් ගුණරත්නගේ දක්ෂතා පිළිබඳ අපි ප්‍රශ්න නොකරමු. එහෙත් යුද්දෙට ගිය පමණින් ඔහු විනයවත් සැබෑ හමුදා නිලධාරියෙක් වන්නේ නැත. අපේ රටේ ඉතිහාසයේ අපට හමු වන යුද වීරයෝ කටින් යුද ක්‍රියාන්විත කළ අය නොවෙති. ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි රණ විරුවන් යුද්ධය ගැන මාධ්‍ය ප්‍රකාශ සිදු කරමින් තමන්ම උත්කර්ෂ‍යට නංවාගත්තේ නැත; වඩමාරච්චි මෙහෙයුම තමන්යැයි හැඟවීමට පොත් ලියා පළ කළේ නැත; රණමඟ ඔස්සේ ‘හංදිකඩාල්’ හෝ රණමග ඔස්සේ ‘ගෙවල්කඩාල්’ ලෙස යුද මෙහෙයුම් ම්ලේච්ඡ මෙහෙයුම් බවට සමාජගත කළේ නැත. සැබෑ යුද විරුවෝ් ‘සාමය’ ගෙන ඒම වෙනුවෙන් සටන් කරන අය මිස, විකෘති ආශා වෙනුවෙන් යුද කරන අය නොවෙති.

රාජපක්ෂ පාලනයෙන් යැපුණු පුද්ගලයන් ‘රට පාවා දෙන්නේ යැයි’ වර්තමාන අග්‍රාමාත්‍යවරයාට මඩ ගැසූ වාර බොහෝය; ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මඩ ගැසූ වාර බෝහෝය. එහෙත් මෑත කාලයේ ඓතිහාසික පාවාදීම සිදු කළේ, අද නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන් මරාදැමිය යුතු බව ප්‍රකාශ කරන කමල් ණරත්නලාම බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. කමල් ගුණරත්නගේ කුප්‍රකට චරිත ස්වභාවය හෙළි වන සිදු වීමක් 2016 දෙසැම්බර් 14 වැනිදා සිදු විය. එදින අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකුට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේදී කමල් ගුණරත්න ගෙල මිරිකා තර්ජනය කළේය. තම ගෙල මිරිකූ හිටපු මේජර් ජනරාල්වරයා තමන්ගේ ‘ඇට කුඩු කරන බවට’ තර්ජනය කළ බව ඒ සිසුවා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කළේය. මුලදී ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් තමා ඒ දිනයේ විදෙස්ගතව සිටි බව ගුණරත්න ප්‍රකාශ කළ අතර, දෙසැම්බර් 12 වැනිදා ඔහු විදේශයක සිට මෙරටට පැමිණි බව හෙළි වීම නිසා පසුව වරද පිළිගත්තේය. මේ විනයවත් හමුදා නිලධරයකුගෙන් රටේ මහජනතාව බලාපොරොත්තු වන හැසිරීමක් නොවේ.

කමල් ගුණරත්නගේ ක්‍රියාකලාපය මෙන්ම පිළිකුල්සහගත අන් සිදුවීම වන්නේ කමල් ගුණරත්න නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන් මරාදැමිය යුතු බව ප්‍රකාශ කරද්දී ‘වියත්මඟ’ නම් සභාවෙන් නැඟුණු අත්පොළසන් නාදයයි. මෙයින් පැහැදිලි වන්නේ එම පිරිසගේ විකෘති මානසිකත්වයේ තරමයි. ‘වියත්මඟ’ තුළ සංවිධානගත වී ඇති පුද්ගලයන් පිළිබඳ සලකා බැලීමේදී එය පුදුමයකුත් නොවේ. මෙහි සිටින බොහෝ දෙනෙක් චෝදනා ලැබ මේ වන විට ඇප පිට සිටිනා අයය. තව සමහරු උපන්ගෙයි සොරුය. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වියත් සාකච්ඡාවක් මුවාවෙන් මේ රට ගමන් කරමින් පවතින මාවතෙන් ‘විපත් මඟකට’ යළි යොමු කිරීමය. රාජපක්ෂ පාලන කාලය තුළ නීතිය සමඟ හැංගිමුත්තන් කළ, නීතිය අභිසාරිකාවක බවට පත් කළ පුද්ගලයන්ගේ මේ ක්‍රියාකලාපය පිළිබඳ සලකන කල, මේ රටේ මහජනතාවට ඇති ලොකුම සහනය වන්නේ මේ වනචාරී මානසිකත්වයෙන් ගැලවීමට 2015 ජනවාරි 8 ලැබුණු අවස්ථාවයි.

මේ රටේ ප්‍රගතිශීලී මහජනතාවට මාර්ග දෙකකින් එකක් තෝරාගැනීමට සිදුව තිබේ. ඒ ‘විපත්මඟ’ ගෙන එන ගෝඨාභයගේ ‘යුද්ධයද’ නැත් නම් යහමඟ පෙන්වන ‘සාමයද’ යන්නයි. සැබවින්ම රටක් ප්‍රගතිශීලි වන්නේ, දියුණු වන්නේ, ඉදිරිගාමි වන්නේ ආදරණීය හදවත් තුළින් නැඟෙන සාමයේ සුමිහිරි ගීතයෙන් මිස යුද්ධයේ විලාපයෙන් නොවන බව සියලු දෙනා තේරුම් ගත යුතුව තිබේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.