18 September, 2018

Blog

රාජපක්ෂ නඩයේ ගැලවිජ්ජා-දේශපාලනය සහ ආර්ථික යථාර්ථය

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

මොංගෝලියානු රණකාමී ගෙන්ජිස් කාන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට කලින් 1227 දී ලෝකයේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීය. ඒ, ස්ටේප්ස් කඳු වැටි තරණය කරමින්, සන්ත‍්‍රාසය වපුරා සකල සන්තකය අත්කර ගැනීම සඳහා හතර අතේ ලේ ගංගා වගුරුවමිනි.

ගෙන්ජිස් කාන්ගේ දුෂ්ට සේනා සේම, මහින්ද රාජපක්ෂ බලවේගත් කොළඹ ආක‍්‍රමණය කිරීමට කැසකැවීය. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රීයව පිහිටුවා ගත් ආණ්ඩුව පෙරලා දමා නැවත වතාවක් බලය ඩැහැගැනීමට ය. කුමක් සඳහා ද යන ප‍්‍රශ්නය එහිදී මතුවෙයි. ගෙන්ජිස් කාන්ට අරමුණක් තිබුණි. එතකොට මහින්දට?

මේ ආණ්ඩුව ජනතා වරමෙන් ලද බලය අවසන් වීමට තව අවුරුදු එක හමාරක් තිබේ. රාජපක්ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් කළා සේ, සීමාව ඉක්මවා තම බලය දිග් කර ගැනීමට මේ ආණ්ඩුව බලන්නේ නැත. රාජපක්ෂලාට මෙන් පරවේණියෙන් බලය පැවරීමට සහෝදරයන් ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නැත. දෙන ලද පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුව වගවීමට බැඳ ගැනීමේ තීරණාත්මක අයිතිය ජනතාවට ලැබෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, මේ පාලන කාලය අවසානයේදී පමණි. එහෙත් කොළඹ වටලා ආණ්ඩු බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාවක් දැන් මහින්දට ඇති වී තිබේ. ඒ කුමක් සඳහා ද?

වතුර යට තද කරගෙන සිටින රබර් බෝලයක් වතුර මතුපිටට තෙරපීමට දඟලන්නා සේ මේ පැනය නැවත නැවතත් මතුවෙයි. ඒකාධිපතියෙකුට සමාන බලතල සහිතව ඔහු දශකයක්ම රට පාලනය කෙළේය. එතරම් අවස්ථාවක් තිබියදීත් කරගත නොහැකි වූ, එහෙත් දැන් කරගත යුතුව ඇතැයි ඔහු සිතන දෙය කුමක් ද?

වැරදිකාරයන් විමුක්තිදායකයන් ලෙස?

වැරදිකරුවන්ට විමුක්තිදායකයන් සේ පෙනී සිටිය හැකිය. ඔවුන් කළා යැයි කියන අපමණ වැරදි සම්බන්ධයෙන් මහින්දත් ඔහුගේ ගෝලබාලයොත් නීතිය ඉදිරියේ සැකකරුවන්ව සිටිති. ව්‍යවස්ථාවෙන් සැපයෙන මුක්තිය හේතුවෙන් මහින්දට ඒවායින් ගැලවිය හැකි වන්නේය. එහෙත් ඔහුගේ අණ පරිදි ඒ වැරදි ක‍්‍රියාත්මක කළ පුද්ගලයෝ අමාරුවේ වැටෙති. හරියට, ලලිත් වීරතුංග මෙනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැදගත් ආයතනවල භාරකාරත්වය බොහෝ කොට ඔහු පැවරුවේ තම නෑසියන්ට සහ අන්තේවාසිකයන්ට ය. ඒ හැම එකෙක්ම ඒවා වවාගෙන කෑවේය. ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් පත්කර යැවූ ඔහුගේ බෑනා, බරපතල දූෂණ සහ වංචා චෝදනාවන්ගෙන් පලා ගොස් මේ වන විට නීතියට කට්ටි පනිමින් සිටී. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය භාර දුන් ඔහුගේ මස්සිනා දැන් එම ආයතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ නිරුවත් වෙමින් සිටී. මේ දෙන්නාගේ දූෂණවලට අදාළ මුදල කෝටි ගණනකි. තානාපති කාර්යාලයක් බංකොලොත් වන්නේ නැත. එහෙත්, අහසේ පියාසර කළ යුතු ශ‍්‍රී ලංකන් ගුවන් සේවය අද වන විට බිමට සමතලා වී තිබේ.

මහින්දට තවත් නෑයෙක් සිටියේය. ඒ, අනිත් බෑනා උදයංග වීරතුංගයි. ඔහු රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා විය. වර්තමානයේ මතුවන ඉතා බරපතල දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් ඔහු උත්තර බැඳිය යුතුව තිබේ. එසේම, ‘වියත් මග’ සහ ‘එළිය’ වැනි හැටහුටාමාරක් සංවිධාන අද අටවාගෙන සිටින, එදා මහා බලසම්පන්න, මහින්දගේ අනිත් මල්ලී වන ගෝඨාභයට විරුද්ධව නැගී ඇති මිග් යානා ගනුදෙනුවකත් මේ උදයංග වීරතුංග පැටලී සිටී. මේ චූදිතයන් තමන් නිර්දෝෂී යැයි සිතන්නේ නම්, නීතියෙන් පිට පැන සිටීමට මෙතරම් වෙර දරන්නේ ඇයි?

මීට අමතරව, ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ මැර කල්ලි විසින් සිදු කළැයි කියන ප‍්‍රමුඛ පෙළේ ඝාතන සහ තිරිසන් පහරදීම්වලට අදාළ සිද්ධි සම්බන්ධයෙන් බරපතල සැකයට ලක්ව සිටී. තුවාල වීමෙන් විරූප වූ මාධ්‍යවේදී කීත් නොයාර්ගේ ඡායාරූපයක් පසුගිය දා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි.

ඔවුන්ගේ කෙරුවාව පිළිබඳ ලැයිස්තුව තව දීර්ඝ ය. එසේම, මහින්දගේ තවත් බලගතු මල්ලී කෙනෙකු වන බැසිල් රාජපක්ෂ ද මෙහිදී අමතක කළ නොහේ. ඔහුට විරුද්ධව දැන් අධිකරණය ඉදිරියේ නඩු විභාග කෙරේ. මුදල් ලබා ගත්තේ කෙසේදැයි පැහැදිළි කළ නොහැකි විශාල නිවසක් ඔහු තනා ඇති බව කියැවේ. ඒ සම්බන්ධයෙන් ඔහු නිදහසට කියන එකම කාරණය වන්නේ එම නිවස තමාගේ නොවන බවයි. ඉතිං, අයිතිකාරයෙක් නැති, විශාල නිවසක් දැන් ඉතිරිව තිබේ. මේ නිවස තැනීමේ වැඩ කටයුතු භාරව සිටියේ ඔහුගේ බිරිඳ බව කියැවෙතත්, ඒ දෙන්නාම දැන් ඒ නිවසෙන් අත් හොදාගෙන තිබේ. රාජපක්ෂ සමයෙන් අපට උරුමව ඇති එක අභිරහසකි, එය.

බඩ අල්ලගෙන සිනාසිය යුතු තවත් අභිරහසක් තිබේ. ඒ, මහින්දගේ පුතා යෝෂිත මිල දී ගත් තවත් ගෙයක් සම්බන්ධයෙනි. යෝෂිත කියන්නේ ඒ නිවස තැනීම සඳහා ඔහුගේ ආච්චි අම්මා තමාට මුදල් දුන් බව ය. ආච්චි අම්මා කියන්නේ, දෙව්ලොවින් ආ සුරඟනක් මැණික් මල්ලක් තමාට දුන් බවත්, එය විකුණා තමාගේ හුරතල් මුණුබුරාගේ ගේ තැනීම සඳහා ඔහුට එම මුදල් දුන් බවත් ය. ඊසොප්ගේ සුරංගනා කතා මෙච්චර ලස්සණ ද?

රාජපක්ෂ නඩය යටිමඩි ගසා ගත්තේ යැයි කියන ධනය ප‍්‍රකෝටි ගණනකි. මහින්දගේ ලේකම් ගාමිණී සෙනරත් දැන් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටී. ඊට අදාළ වන්නේ දසලක්ෂ කිහිපයකි. වාර්තා වන පරිදි, රාජපක්ෂලාගේ නඩය පොඩි ගණන් ගෙන නැත. මහින්ද රාජපක්ෂ අවුරුදු දහයක් තිස්සේ මේ අවකල් ක‍්‍රියා දෙස බලා සිටියා විනා, වර්තමාන පාලකයන් මෙන් අඩු වශයෙන් දූෂණයට විරුද්ධ බව කතාවටවත් කියා නැති වීම හෝ තර්ජනාංගුලියක්වත් ඔසවා නොතිබීම කියාපාන්නේ, ඒ අවකල් ක‍්‍රියාවන්ගෙන් කොටසක ඔහුත් ප‍්‍රතිලාභියෙකු වූ බව ය.

ඒ පාලන කාලය තුළ සිදු වූ මිනීමරු ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් තත්වයත් එසේමැයි. විවිධ මාධ්‍යවේදීන් ඝාතනය වීම සහ අතුරුදහන් වීම දැන් පරීක්ෂාවට ලක්කෙරේ. මේ පරීක්ෂණවල යම් අවසානයක් ඇති වෙතත්, ඒ අපරාධ සිදුකළ පුද්ගලයන් පමණක් හසු වී ඔවුන්ට උපදෙස් දුන් පුද්ගලයන් නිරුපද්‍රිතව සිටිනු ඇත. මේ ව්‍යවස්ථාවෙන් සැපයෙන යුක්තිය මොන තරම් විකෘති වී ගිය යුක්තියක් ද? ඒ ව්‍යවස්ථාවෙන් රට බේරා ගන්නෙමි යි බොරු කී මහින්ද රාජපක්ෂ, දැන් එය වෙනස් කර ගැනීමට උත්සාහ දරණ මොහොතේ ඒ උත්සාහයට එරෙහිව පෙනී සිටී. එහි අදහස වන්නේ, මහින්දට යළි බලයට ඒමට අවශ්‍ය කරන්නේ, ඒ පරණ ව්‍යවස්ථාවත් සමගම වන බවයි.

මූල්‍ය අර්බුදය

මහින්දගේ පාලනය රටට ඉතිරි කොට ගියේ විශාල මූල්‍ය අර්බුදයකි. ඒ වන විට රටේ ජාතික ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 82 ක් විය. ඔවුන් පටන් ගත් කිසි ව්‍යාපෘතියක ආදායමකින්, ඒවා සඳහා ලබා ගත් ණය ගෙවා දැමීමේ හැකියාවක් නොවීය. රටට ප‍්‍රයෝජනවත් වන අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘතිවලින් පවා ලැබුණු ආදායම ඊට ප‍්‍රමාණවත් නොවීය. ඒ හැරුණු කොට, ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොළ සහ නැව් නොඑන හම්බන්තොට වරාය ආදී සුදු අලි, ජනතාවගේ වියදමින් මහින්දගේ හිස් මමංකාරය පුම්ඹා ගැනීමේ ව්‍යාපෘති බවට පත්ව තිබුණි.

අරමුණක් නැත

ගෙන්ජිස් කාන්ගේ හමුදා මෙන් නොව, මහින්දගේ එවන් හමුදා සටන් කෙළේ ජාතික අරමුණක් ඇතිව නොවේ. එහෙත් තමා යටතේ ඇති වූ ඒ අවාසනාවන්ත තත්වය පිළිබඳව තවමත් මහින්ද කණගාටු වන බවක් නොපෙන්වීම භයානක කාරණයකි. ඔහුට එසේ කළ නොහැක්කේ, ඔහු සදාචාර සාරධර්මවල බරක් දන්නා පුද්ගලයෙකු නොවන බැවිනි. ඒ නිසාම, එදාට වඩා වෙනස් පාලන ක‍්‍රමයක් පිළිබඳ අදහසක් ජනතාවට ඉදිරිපත් කිරීමට අදටත් වැඩපිළිවෙලක් ඔහුට නොමැත.

අරමුණු නැතිවාම නොවේ. එහෙත් ඒවා පෞද්ගලික අරමුණු ය. එනම්, විවිධ අධිකරණ ඉදිරියේ විභාග වන නඩු ඉවත් කරගෙන ඔහුගේ අන්තේවාසිකයන්ව ඒ නඩුහබවලින් මුදවා ගැනීම එක පැත්තක තිබේ. අනිත් අරමුණ වන්නේ, තවත් ධනය ගොඩගසා ගැනීම ය. හිට්ලර්ට පවා අරමුණක් තිබුණි. එනම්, යුදෙව්වන්ව ජර්මනියෙන් තුරන් කර ගැනීමයි. කෙසේ වෙතත්, මහින්ද එවැනි සංහාරයක් ගැන නොසිතන බව ඔහුට කරන සාධාරණයක් වශයෙන් කිව යුතුය. හැබැයි, බලයේ සිටීම සඳහා එක ජාතියක් තව ජාතියක් සමග කෙටවීමට නම් ඔහු පසුබට නොවනු ඇත. ඒ අර්ථයෙන් ගත් විට, ඔහුගේ සිංහල ජාතිකවාදී සටන් පාඨ සමීප වන්නේ, ෆැසිස්ට් පන්නයටයි.

ගැලවිජ්ජා-දේශපාලනය

රාජපක්ෂ බලවේග, රටේ පවතින තත්වය තමන්ගේ ගැලවිජ්ජා-දේශපාලනය තුළට කොටු කර ගැනීමට බලන බව පැහැදිළි ය. රටේ දේශපාලන ක‍්‍රීඩාව තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා කළ හැකි සෑම උප්පරවැට්ටියක්ම ඔවුන් තම ප‍්‍රයෝජනයට ගනු ඇත. පරාජයට පත්වූ දා සිට ඒ අනුව ඔවුන් දෙයාකාරයක උපාය මාර්ගයක් අවස්ථා දෙකකදී අනුගමනය කොට තිබේ.

පළමුවැන්න වුණේ, තමන් නැවත බලයට එන බව අඟවා, තීරණ ගැනීමේ මට්ටමේ සිටින නිලධාරීන්ව බිය ගැන්වීමට බැලීමයි. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ, රාජපක්ෂලාට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ගවලින් අදාළ නිලධාරීන්ව සහ දේශපාලඥයන්ව අධෛර්යමත් කිරීමයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් දේශපාලඥයන් පවා ඒ උගුලට කලක් හසු විය.

දෙවැන්න වුණේ, තමන්ට එරෙහිව එල්ල වන දූෂණ ක‍්‍රියාවන්ට අදාළ චෝදනාවන්ම පෙරලා ආණ්ඩු පක්ෂය වෙත එල්ල කිරීමයි. හොරගෙඩියන් කරන්නේ අනෙක් අයත් හොරගෙඩියන් වශයෙන් හුවා දැක්වීමට බැලීමයි. ඔවුන්ගේ අවාසනාවට, ආණ්ඩුවට එරෙහිව ඝාතන චෝදනා ගෙන ඒමට ඔවුන්ට නොහැකි විය. හේතුව, මේ ආණ්ඩුව එවැනි ඝාතන කිසිවක් සිදු කොට නැති නිසාත්, තමන්ට රිසි සේ ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වීමට අයිතිය අඩුවක් නැතිව පවරා දී ඇති නිසාත් ය. එවැනි විරෝධතාවලදී වැඩිම වුණොත් ලැබෙන්නේ ආණ්ඩුවේ රබර් බුලට් ප‍්‍රහාරයක් පමණි. එය ආණ්ඩුව බුද්ධිමත් භාවය කියාපාන්නකි.

ගැලවිජ්ජා-දේශපාලනයෙන් ආර්ථිකයට පලක් නැත

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට වැරදුණු තැන් නිවැරදි කර ගැනීම තවදුරටත් කල් දැමිය හැකි දෙයක් නොවේ. ලංකාවේ බොහෝ ප‍්‍රශ්නවල මුල ඇත්තේ ආර්ථිකය තුළ ය. එය පිළිසකර කර නොගත්තොත් ලාංකීය සමාජය බිඳ වැටෙනු ඇත. එහෙත් මහින්දගේ කල්ලිය ඒ සඳහා කිසි විසඳුමක් ඉදිරිපත් කොට නැත. ගෝඨාභයට නම් ආර්ථික සැලැස්මක් ඇතැයි කියනු ලැබේ. හැබැයි එය ද, රනිල් වික‍්‍රමසිංහගෙන් ණයට ගත් එකකි.

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ දුර්වලත්වය ව්‍යුත්පන්න වන මූලාශ‍්‍ර දෙකක් තිබේ. මුලින්ම අපට මූල්‍ය අංශයේ හිඟයක් තිබේ. එසේ වී ඇත්තේ, ආදායම වැඩි කර නොගෙන වියදම් වැඩි කර ගැනීමේ ජාතික පුරුද්දකට අප ඇබ්බැහි වී සිටීමයි. අපේ ගැලවිජ්ජා-දේශපාලනයත් ඊට වගකිව යුතුය. අපේ දේශපාලඥයෝ බදු අය කර ගැනීමට පස්ස ගසති. වියදම් කිරීමට දෙවරක් නොසිතති.

ජනතාවත් සිතන්ට පුරුදුව සිටින්නේ, තමන්ට අවශ්‍ය සකල කළමනාව ආණ්ඩුවෙන් තමන්ට ලැබිය යුතු බවයි. එහෙත් ඒ සියල්ල ලබා දීම සඳහා අවශ්‍ය කරන වියදම් සොයා ගැනීමට ආණ්ඩුවට ඉඩ හැරීමට ජනතාව කැමති නැත. වියදම් කළ හැක්කේ ආදයමක් ඇතොත් පමණක් ය යන ආර්ථික විද්‍යාවේ සරළ සත්‍යය දේශපාලඥයා වටහාගෙනත් නැත. ජනතාව වටහාගෙනත් නැත. ජනප‍්‍රිය දේශපාලනය තුළ එවැනි අවබෝධයකට ඇත්තෙන්ම ඉඩක් ඉතිරිව නැත.

දෙවැනි දුර්වලතාව පැනනගින්නේ ආර්ථිකයේ පවතින මූලික ව්‍යුහාත්මක අවුලකිනි. එනම්, අපට ඇත්තේ ණයබර ආර්ථිකයකි. නිදහස ලබා ගත් දා පටන් එක දිගටම වාගේ ලංකාවට තිබී ඇත්තේ හිඟ වෙළඳ ශේෂයකි. අප රටට ආනයනය කරන ප‍්‍රමාණය එන්න එන්නම වැඩි වුව ද, ඒ වියදම සොයා ගැනීමට අවශ්‍ය පමණින් අප අපනයන කරන ප‍්‍රමාණය ඉහළ යන්නේ නැත. පසුගිය වසර තුනක කාලය තුළ අපේ අපනයනයන්ගේ වර්ධනයක් පෙන්නුම් කොට තිබුණත්, ආනයන බිල ඊටත් වඩා ඉහළ යාමක් දක්නට තිබේ. එවිට ඇති වන ගෙවුම් ශේෂයේ අර්බුදය පියවා ගැනීමට සිදුවන්නේ, විදේශ රටවල සේවය කරන අපේ ශ‍්‍රමිකයන් එවන ආදායම සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඒ බිල පියවා ගැනීමට යෙදවීමෙනි.

මෙය අපේ ජීවන තත්වයට කෙලින්ම බලපාන අතර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි රාජ්‍ය සේවාවන් කෙරෙහි ද නරක අන්දමින් බලපායි. මේ නිසා ආර්ථික වර්ධනය සඳහා වන ආයෝජන වහා සපයා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් වෙයි. ඒ සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය මට්ටමින් ව්‍යාපාර දියුණු කිරීම සඳහා ආණ්ඩුව දිරිදීම් කිරීමට පටන්ගෙන තිබීම අගේ කළ යුතුය.

යහපාලන ආණ්ඩුව, ගැලවිජ්ජා-දේශපාලනයට වෙනස්ව, ආර්ථිකය යළි සැලසුම්ගත කිරීම කෙරෙහි හිත යොමු කොට තිබේ. ප‍්‍රාදේශීය මට්ටමින් අලූතින් ව්‍යාපාර පටන් ගන්නා තරුණයන්ට අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා දෙන ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඒ සම්බන්ධයෙන් ප‍්‍රශස්ත පියවරකි. දැනට මොණරාගලින් ආරම්භ කොට ඇති එම වැඩපිළිවෙල අනතුරුව අනුරාධපුරය ඇතුළු අනිත් පළාත්වලට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිවැරදි මාවතකට ප‍්‍රවිෂ්ටව ඇති බව පැහැදිළියි. මුලින්ම ප‍්‍රජාතන්ත‍්‍රීය නිදහස ස්ථාපිත කර දුන් යහපාලන ආණ්ඩුව, දැන් ආර්ථිකය හැඩගැස්වීමේ නිවැරදි මාවත හඳුනාගෙන තිබේ. ආණ්ඩුව ඒ ගන්නා ප‍්‍රයත්නය අඩාල කිරීමට රාජපක්ෂ කල්ලියේ ගැලවිජ්ජා-දේශපාලනය වලිකයි. රට ගැන යම් තැකීමක් මහින්දට තිබේ නම් ඔහු ගැලවිජ්ජා-දේශපාලනය අතහැර රටේ ආර්ථික සංවර්ධනය ගැන බරසාරව සිතිය යුතුව තිබේ.

2018 සැප්තැම්බර් 2 වැනි දා‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Politrix Of Rajapaksa Hordes & The Reality Of Economics නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.