
පසුගිය දා පැවැත්වුණු ‘ජනබලය කොළඹට‘ රැළිය සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂවලට හුරු පරිදිමි සැමට විහිළු සම්පාදනය කරමින් අවසාන විය. ජනපතිවරයාත් අගමැතිවරයාත් පැය ගණනාවක් කාර්යාල තුළ සිරකොට තැබූ බවට ඒකාබද්ධයේ ඇතැම් අය උදම් අනුවද මෙම රැළිය ආරම්භ කිරීමට මත්තෙන් කොළඹ කොටුව ආසන්නයේ තිබුණු ‘පෙර සූදානම‘ දෑසින් දුටු මට අන් කුමක් වෙතත්, එහි ඇති විහිළුකාරී ස්වභාවය දැකගත හැකි විය. ඒ අතරම, මෙරට ඡන්දදායක සාමාන්‍ය ජන මනසේ අසරණ සහ වහල් ස්වභාවය ගැනද ඇති වූයේ අනුකම්පාවකි. සාමාන්‍යයෙන් මෙවන් රැළියකට සහභාගී වීමේදී මත්පැන් පානය කිරීම, ගීත ගායනා කිරීම ආදිය අමුතු දේවල් නොවේ. පිරිසක් රැස් වන තැනක ඒවා සාමාන්‍ය දේවල්ය. කෙසේ වෙතත්, මහින්ද භක්තිකයන් එහිදී මහ මග ප්‍රකට කළ විකට හැසිරීම් නම් අපට ඉඟි කළේ තවමත් මහින්ද දෘෂ්ටිවාදයට සිය සාම්ප්‍රදායික වහල් මානසිකත්වයක් සහිත අනුගාමික පිරිසෙන් ඔබ්බට ගෙන යාමට අසමත් වී ඇති බවයි.
වත්මන් ආණ්ඩුවේ අසාර්ථකකම ගැන කලකිරීමෙන් පසු වන අය 2020 දී නැවතත් රාජපක්ෂ ආණ්ඩුවක් බිහි වීමට ඉඩක් තිබේදැයි සැකයෙන් සිටින මොහොතක නාමල් රාජපක්ෂගේ ‘සිඟිති ආතල්‘ එකෙන් ඇත්තටම සිදු වූයේ ඔවුන්ගේ දේශපාලනික උපායමාර්ගයේ අපරිණත ස්වභාවය ප්‍රකට කිරීම පමණක් නොවේ. විශේෂයෙන්ම මහින්ද පිලේ සිටින අය අතර පවා භේදයක් ඇති වන තැනට ඔන්න මෙන්න තත්ත්වයක් ඉන් උදා වූ බව ඔවුන් මාධ්‍ය වෙත කරන ඇතැම් ප්‍රකාශ කෙරෙන් සනාථ වෙයි. “රනිල් ගොනා” යැයි පෝර්ටබල් ස්පීකරයකින් උගුර කඩාගෙන බෙරිහන් දුන් විමල් වීරවංසගේ රංගනයද ‘අබරා සිල් ගත් න්‍යායය‘ අනුගමනය කරන්නට ගිය පිරිස නිසා ‘අල‘ වී යාමද දෛවයේ සරදමක් මෙනි. මහින්ද ගිය වර පොට වරද්දා ගත්තේද නොගැලපෙන අවස්ථාවේදී අනුවණ චණ්ඩි තීරණ ගන්නට යාමෙනි. මෙවර ඔහු වෙනුවෙන් ඒ වගකීම ප්‍රතයා කරට ගෙන තිබෙන සෙයකි. රට්ටුන් නම් කියන්නේ මහින්ද ‘පීචං‘ කරන ව්‍යාපෘතිය හොඳටම කරන්නේ ඔහුගේ විරුද්ධවාදීන් නොව නාමල් සහ ඒකාබද්ධයේ කට්ටිය බවයි.
මිනිසුන් විකණලා හෝ තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමේ කැත පුරුද්ද ඒකාබද්ධයට ඇබ්බැහියක් මෙන් හුරු වූ එකක් බව විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ තවත් අවස්ථාවාදී දේශපාලනික අනාථයන් ප්‍රකට කළේ හුදෙක් වචනයෙන් පමණක් නොවේ. තමන්ගේ දේශපාලනික බඩවියත රැකගනු වස් ‘රජ්ජුරුවන් වහන්සේ‘ පවා අන්දවා, ප්‍රසිද්ධ සමාජයේ විකට කාරයෙකු බව තැනට කඩේ යැවීමෙන් ඔවුහු ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කළහ. මේ නිසා හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් නම්බුකාර ලෙස ඉන්නට තිබුණු ඉඩ අහුරා ගැනීම ගැන මහින්දටම චෝදනා කිරීමද හරිදැයි නැවත සිතන්නට සිදු වේ. මේ උදා වී ඇත්තේ මහින්දගේ විකිණෙන කාලයයි. අන් අයගේ ගමන වෙනුවෙන් සවුත්තු වීමේ කැපකිරීම් පුණ්‍ය කර්මය ඉටු කිරීමේ කාලයයි.
මෙම රැළියේදී බෙදා හරින ලද ‘ෆ්‍රයිඩ් රයිස්‘ කෑම පාර්සල්වල ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර එවන් නිර්මාණශීලී විහිළු අස්සේ කතා කළ යුතු, පුරවැසියන් වශයෙන් අප කණගාටුවටත් කම්පාවටත් පත් විය යුතු සිදුවීමක්ද ඇත. මෙම කෑම පාර්සලයෙහි එක්තරා කේටරින් සේවාවක නමට පහළින් ලොකු අකුරින් මුද්‍රණය කර ඇති දුරකතන අංකයක් තිබේ. එහෙත් මේ දුරකතන අංකය අදාළ කේටරින් සේවාවට කිසිම සම්බන්ධයක් නැති, එයින් ලාභයක් උපයා නොගත් පුද්ගලයෙකුගේ බව ඔහුගෙන්ම දැනගැනීමට ලැබීම අපට නම් ගම්‍ය කරන්නේ මහින්දලා තවමත් අර රස්තියාදුකාර, ගෝත්‍රික දේශපාලනයෙන් එහාට අඟලක්වත් තියා නැති බවකි. අප කළ විමසීමකදී අදාළ පුද්ගලයා කියා සිටියේ මෙයට තමන්ගේ කිසි සම්බන්ධයක් නැති බවත්, ආහාර පෙට්ටි මුද්‍රණය කළ මුද්‍රණාලයේදී “ඕඩර් එක භාර දුන් අය” කුමක් හෝ “පොතකින් බලා” තම අනුදැනීමකින් තොරව දුරකතන අංකය ලබා දී ඇති බවයි. මෙය අදාළ කේටරින් සේවාවට අදාළ කාරණයක් නොවන බවත් ඔහු කියයි. ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ මේ දෙය සිදු කර ඇත්තේ රැළිය සංවිධානය කළ අයට සම්බන්ධ පාර්ශ්වයක් විසින් බවයි. මෙය “අන්එතිකල් වැඩක්” බවත්, “නඩු දාන්න” හිතෙන බවත් එම පුද්ගලයා පවසයි. ඔහු වැඩිදරටත් කියන්නේ මේ ගැන ලැබෙන දුරකතන ඇමතුම් නිසාම මහත් කරදරයක් වී ඇති බවයි. මෙම පුද්ගලයා රාජපක්ෂවාදියෙකුද, නැතිද යන්න අපට අදාළ නැත. අපට අදාළ වන්නේ කිසිම අනුදැනීමකින් තොරව, අඩුම තරමින් කැමැත්ත අකැමැත්ත විමසීමකින්වත් තොරව මෙරට පුරවැසියෙකුගේ අනන්‍යතාවට අදාළ සාධකයක් මෙලෙස අන්තිම සදාචාර විරෝධී ලෙස අවභාවිත කිරීමේ පහත් ප්‍රයත්නයයි. සමහරවිට කලින් පම්පෝරි ගැසුවාක් මෙන් රැළියට පසු දා අළුත් ආණ්ඩුව දිවුරුම් දුන්නා නම් මේ ටික මෙහෙම ලියන්නට ඉඩක් නොතිබෙනු ඇත! මහින්ද භක්තිකයන් ටික ‘මහින්ද ගුලි‘ කා කළින්ම පෙරළීමෙන් ඒ වැඩේද අවුල් වී ගියේය.
ආණ්ඩු පෙරළීම කෙසේ වෙතත්, ජනවාරි 08 හැරවුම්කාරකය අහෝසි කරගත් පසුව ප්‍රජාතන්ත්‍රවාදය කැමති ජනතාව අතර ඇති වූ දැඩි අප්‍රසාදය හේතුවෙන් 2020 දී ගෙදර යන්නට වේදැයි විචිකිච්ඡාවෙන් පසු වූ රජය මේ සිද්ධිය නිසා තිබුණාට වඩා ස්ථාවර වුණා මෙනි. නාමල් බේබි ගේ අපූරු සංවිධාන නිපුණතා නිසා අන්තිමට සිදු වූයේ මහින්ද දෘෂ්ටිවාදය වටේ එල්ලි එල්ලී සිටි අනාථයින් අතරත් එකාට එකා නැති වීමේ තත්ත්වයක් නිර්මාණය වීම පමණි. නාමල්ලා වැඩක් දුන්නොත් එහෙමය. මේ ආකාරයටම රජ පටුව බෙදාගන්නට රජ පවුලේ අයියලා මල්ලිලාම කොටා ගන්නා දවසක් එන්නටද බැරි නැත. අප පිළිකෙව් කරන්නේ මේ මජර දේශපාලන ක්‍රමයයි. ඒ හැර, යහපාලන ආණ්ඩුව සාධාරණීකරණය කරන්නටවත්, එය වෙනුවෙන් පෙනී සිටින්නටවත් කිසිම අවශ්‍යතාවක් අපට නැත. එය අසාර්ථක වී අවසානය. එතෙකුදු වුවත් යම් හෙයකින් මහින්දලා බලයේ සිටියා නම් මේ විකාර රංගන පාන්නට නම් ඉඩක් නොලැබෙනු ඇත. රාජපක්ෂවාදය පරාජය කළ යුත්තේ මෙන්න මේ ගෝත්‍රික චරිත ස්වභාවය නිසාය.
ටෙලිකොම් පරිශ්‍රයේ සිට මහින්ද සුළඟ දිගේ බස්වල ගසාගෙන ආ ‘බලවේග‘ අතරින් මා කැමතිම සටන් පාඨයක් විය. එක අතකින් එය ජනතා හෘද සාක්ෂියේ අවිඥානික නැගී ඒමක්දැයි මම නොදනිමි. මහින්ද රාජපක්ෂගේ පින්තූර ඔසවාගෙන හුරේ දමමින් සිටි පිරිසක් “අපි කාටද බය?” යැයි හඬ නගා කෑ ගසද්දී එහිම සිටි අනිත් පිරිස ඉතුරු හරිය සම්පූර්ණ කළේ කට බොරු කළත් දිව බොරු කරන්නෑ යන කතාව ඔප්පු කරමින් මෙනි. “අපිට කවුද බය?”. ඒ ඔවුන්ගේ සටන් පාඨයයි. කෙසේ වෙතත්, මේ කියන්නේ සාකල්‍යයෙන්ම ඇත්තකි. මේ කෑ ගසන්නේද මෙරට ජන සමාජයෙන් කොටසකි. ඔවුන් ‘අපිට කවුද බය‘ යැයි හඬ නැගීමෙහි රූපකාර්ථවත් ගැඹුරක්ද ඇතැයි සිතෙන්නේ අර කෑම පැකට්ටුවත් එක්කම බලෙන් විකුණන ලද පුද්ගලයාගේ සිද්ධිය හා එය සම්බන්ධ කළ විට ය. පුරවැසි අපට කවුරුත් බව නැත. පුරවැසියන්ට බය දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ එළිපත්තටවත් ලංකාවේ බහුතර ජන මනස හීනෙකින්වත් ළංවී නොමැත.
නාමල්! පෙරළනවා කියා මෙහෙමත් පෙරළන්න හොඳ නැත. ලෝකය ඉස්සරහට ගමන් කරන විට ශිෂ්ටාචාරය අත්හැර අප ආපස්සට යනවාද? ලංකාව මිනිස්සුන්ට ජීවත් වන්නට හිතකර පරිසරයක් බවට පත්කර ගන්නවාද? යන්න මෙරට පුරවැසියන් තමන් ගැන කැක්කුමකින් විසඳා ගත යුතු ප්‍රශ්නයකි. ඔහොම යං!
ශ්‍යාම් / September 8, 2018
අශාන් ඔබ වැදගත් කරුණු කිහිපයක් ඉස් මතු කරනවා. අපේ සමාජය ගැන විශාල කම්පාවක් ඔබගේ මේ ලිපිය කියවීමෙන් ඇති වුනා. දිගටම ලියන්න.
/