24 April, 2024

Blog

2014 වසර, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ වසර වේවා යි පතමු

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ලංකාව වූ කලී, කේවල තාරකාවේ රාජධානියයි. සකල සියල්ල, අපේ නායකයාගේ අතේ ය. මීයෙකු ඩැහැගත් පූසෙකුගේ වන් නිරතුරු තෘප්තියක් මහින්ද රාජපක්ෂගේ මුහුණේ තිබේ. ඒ, ඔහු අතොරක් නැතිව සිනාසෙන හෙයිනි. පෙර කල ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා ගියා සේ වත්මන්් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා යාපනේට යද්දී, කර කියාගත හැකි දෙයක් නැති තාවකාලික අසරණ තත්වයකට අපේ නායකයා පත්ව සිටියදී පවා ඔහු උඩුරැුවුල නලවා සිනාසුණේය.

අපි අපට අවංක වෙමු. අද ශ‍්‍රී ලංකාවේ ඇත්තේ, රාජපක්ෂ නායකත්වයෙන් යුත්, අර්ධ-ඒකාධිපති හමුදා ආඥාදායකත්වයකි. නිදහසෙන් පසු දශක ගණනාවක් තිස්සේ අපේ නිදහස් දීපයේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රීය ආයිත්තම්, ඔහුගේ පාලන තන්ත‍්‍රයත් එක දිගටම පැළඳ සිටී. එරටේ නිතිපතා මැතිවරණ පැවැත්වෙයි. පාර්ලිමේන්තුවක් තිබේ. විපක්ෂ දේශපාලන පක්ෂ තිබේ. කිසිවක ඇදක් පළුද්දක් කැළලක් නැතැ යි පිටස්තරයෙකුට පෙනෙන ගානයි. කෙසේ වෙතත්, මේ කියන අපේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වනාහී, මතුපිට පොත්තක් පමණි. දෘෂ්‍යමානය සහ යථාර්ථය, ඉතා තදින් එකිනෙකින් ඈත් වෙමින් තිබේ. පර්යන්තයේ ගොඩනැගෙමින් පවතින සහ මීට මාස කිහිපයකට කලින් වැලිවේරියේ දී මෙන්, ඕනෑ වූ විට පොලිස් රාජකාරි සඳහා පවා සේවයට කැඳවන හමුදා ඒකකවලින් රැුකවරණය ලබන ස්වෛරී බලධාරියෙකු බලයේ සිටී. මහජන විරෝධතා සහ නැගිටීම්, ඔහු යටතේ කුඩුපට්ටම් කෙරේ. කලක් ගෞරවනීය පිළිගැනීමට ලක්ව තිබූ ස්වාධීන අධිකරණ පද්ධතිය, විරෝධතාකරුවන්ට සහ විධායක බල අපහරණයට ලක්වූ වින්දිතයන්ට එරෙහි තීන්දු දෙන සුවච කීකරු අධිකරණයක තත්වයට පිරිහෙලා තිබේ.

පාර්ලිමේන්තුවේ සිටින ජාතික හෙළ උරුම භික්ෂූන්ගේ සාමූහික හැසිරීම තුළ, දෘෂ්‍යමානයේ සහ යථාර්ථයේ චමත්කාර සාම්‍යයක් අපට පෙනේ. සිවුරු පොරවාගෙන ධර්මය වදාරණ මේ භික්ෂූන් ආණ්ඩුවේ අශෝභන ක‍්‍රියාකලාපය ඉදිරියේ රකින මුනිවත හරහා පල කෙරෙන්නේ, ඉහළ පෙළේ දූෂණය ඔවුන් අනුදක්නා බවයි. ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය කෙලසීම, විවේචකයන්ට එරෙහිව මෙහෙයවෙන රාජ්‍ය හිංසනය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කැසිනෝ සූදු ආදිය අනුදක්නා බවයි. ජාතික හෙළ උරුමයේ ප‍්‍රයෝජ්‍ය වටිනාකම, එය සතු සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතමය අගය තුළ රැුඳෙන්නකි. අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයන් මගින් තමන්ගේ වාසියට විවිධ දෘෂ්ටිවාදයන් සේවයට ගැනීම පෙර සිට පැවත එන්නකි. අපේ පාලන තන්ත‍්‍රයේ දෘෂ්ටිවාදයත් එවැන්නකි. බල අපහරණය සහ බලයේ අකාර්යක්ෂමතාව දෙස ඇස් කන් වසාගෙන සිටින මැතිවරණමය සහායක බලකොටුවක් ගොඩනගා ගැනීමේ සහ පවත්වා ගැනීමේ පරිපාටිමය පදනම වන්නේ, එවැනි දෘෂ්ටිවාදයකි.

ජාතිකවාදය සහ යුදෙව් විරෝධය, ඇඩොල්ෆ් හිට්ලර්ගේ දෘෂ්ටිවාදී පදනම විය. ජාතිකවාදය, මුසෝලිනීගේ දෘෂ්ටිවාදය විය. ලංකා පාලන තන්ත‍්‍රයට සමකාලීන අරුතක් සැපයීමට මෙන්, උතුරු කොරියාවේ ‘සහෘද නායකයාගේ’ දෘෂ්ටිවාදයත්, ජාතිකවාදයමයි. කොමියුනිස්ට් දෘෂ්ටිවාදය, සෝවියට් දේශය බංකොලොත් කොට නැතිබංගස්තාන කෙළේය. ජාතික දෘෂ්ටිවාදය, ජර්මනිය අගාධයට හෙලූවේය. එයාකාරයෙන්ම, සිංහල=බෞද්ධ ජාතිකවාදයත් තුඩුදෙනු ඇත්තේ, ශ‍්‍රී ලංකාද්වීපය බෙදා කෑලි කිරීමටයි. ඊලාම් දේශයක් ගැන මියගිය සිහිනය යථාවක් කරගත හැකි තරමට එම පිස්සුව වර්ධනය වන තෙක්, ත‍්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතුරු පතුරු සහ ලෝකය පුරා සිටින ඔවුන්ගේ සහායකයෝ බලා හිඳිති.

‘බුද්ධ පුත‍්‍රයන්’ නමින් වෙස්ගන්වා ගත් තවත් සිවුරුකාර කල්ලියක්, මුස්ලිම් සහ කතෝලික පල්ලි ගිනිලමින්, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ හරක් මස් කඩ වසා දමමින් කරක් ගහන සැටි දකින විට, ඉහත කී පිස්සුවට ඉබාගාතේ බෝ වෙන්ට ඉඩ හැර ඇති බව පැහැදිළි වෙයි. මොවුන් ඇත්තෙන්ම පන්සල්වලින් පැමිණි පිරිස් නම් ඔවුන්ට නැවත එම පන්සල්වලට යන්නැ යි කියන ආණ්ඩුවක් අපට නැත. බොදුබල සේනාව, රාවණා බලය ඈ, කී නොකී කල්ලි, බාධාවකින් තොරව අද ක‍්‍රියාත්මක වන්නේ රාජ්‍ය අනුමැතිය තුළ නිර්මාණය කෙරුණු පරිසරයකයි.

ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් හැබෑවට සේවය කරන නැණවත් පාලකයෝ, ඉහත කී ජාතික අන්තවාදයන්ගේ ඛේදනීය ඓතිහාසික ප‍්‍රතිවිපාකවලින් පාඩම් උගනිති. එම පාඩම්වලට අනුකූලව හැඩගැසෙති. එහෙත් එවැනි පාලන තන්ත‍්‍රයක් ලංකාවට තිබේ ද? එසේ තිබේ නම්, එවැනි පාලනයක් විසින් නැව් නොඑන නිරර්ථක වරාය ව්‍යපෘති සඳහා මහජන මුදල් කාබාසිනියා නොකරනු ඇත. ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළවල් සඳහා, ක‍්‍රීඩාවලින් තොර (හම්බන්තොට) ජාත්‍යන්තර කී‍්‍රඩාගාර සඳහා, මුදල් නැතිනාස්ති නොකරනු ඇත. එසේම, ‘මිහින් එයා’ වැනි ගුවන් සේවා ගුවනේ නොරඳවනු ඇත. සෝමාරි අමාත්‍යාංශ පවත්වා ගැනීමට, තමන්ගේ කොල්ලන්ට සහ කෙල්ලන්ට රැුකියා සැපයීම සඳහා අනවශ්‍ය විදේශ සේවා තනතුරු ඇති කිරීමට මහජන මුදල් අපතේ නොහරිනු ඇත. හැරෙන හැරෙන පැත්තට රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරනු ඇත. අධිකරණයේ ස්වාධීනත්වය නසාලනු නැත. අපේ පාසල්වලින් 400 ක් වසා නොදමනු ඇත. ජීවිතය ගැටගසන බෙහෙත් ඉල්ලන පිළිකා රෝගීන් රස්තියාදු කරවමින් අපේ රෝහල් බේත්හේත් නැති හිඟමනට නොවට්ටනු ඇත.

මහින්ද රාජපක්ෂ යනු, කාලයක් මානව හිමිකම් වෙනුවෙන් වීදි බට සටන්කාමියෙකි. ‘පාද යාත‍්‍රා’ නැමැති දීර්ඝ පා ගමනක ද ඔහු යෙදුණි. එවැන්නෙකු බලයට පැමිණි පසු, මැන්ඬේලා වැන්නෙකුගේ දීර්ඝ පා ගමන්වල කේඩෑරි සෙවනැල්ලක් හෝ වන්නට පුළුවන් කම තිබුණි. එය වුව අපට සෑහෙනු ඇත. රටට අර්ථවත් සහ තිරසාර දායකත්වයක් සැපයීමට අවශ්‍ය කරන සෑම බලයක්මත්, ජනතා සහයෝගයක්මත් ඔහුට තිබුණි. විශේෂයෙන්, ජෙනරාල් ෆොන්සේකාගේ සහ ඔහුගේ මිනිසුන්ගේ සහායෙන් ත‍්‍රස්තවාදය වැනසීමෙන් පසු ඔහුට කළ නොහැකි කිසිවක් විණි ද? පුනරුත්ථාපනය සහ ප‍්‍රතිෂ්ඨාපනය සඳහා වන නොමසුරු ආධාර සැපයීමට සමස්ත ලෝකයා බලා සිටියදී, අහසම මිස වෙන යම් සීමාවක් නම් පාලකයාට තිබුණේ නැත. වසර තුන් දහසක ලංකා ඉතිහාසයේ වෙන කිසි පාලකයෙකුට එවැනි අවස්ථාවක් නොතිබිණැ යි කීම ඇත්තෙන්ම අතිශයෝක්තියක් නොවේ.

එහෙත් අපේ නායකයාට තිබුණේ වෙනස් වර්ගයක ජාන ය. ඔහුගේ චරිතය වෙනස් ය. සමාජ දැක්ම, ප‍්‍රශ්නකාරී ය. ජේ.ආර්. ගේ බහුබූත ව්‍යවස්ථාව පරම ආඥාදායකත්වයක් බවට පෙරලා ගැනීමේ විභවයෙන් ඔහු මත් විය. ඔහු ප‍්‍රිය කෙළේ, ‘බලකාමී යුවඅධිපති’ කැලකගේ සහායෙන් බලය හොබවන ‘පරමාධිපතියෙකුගේ’ මොඩලයකටයි. පරමාධිපතියාට සපයන සේවාව වෙනුවෙන්, මේ කියන සහායක කැලට ඔවුන්ගේ කුඩා වැයික්කි තුළ යෝධ ප‍්‍රතිලාභ එක්රැුස් කර ගැනීමට අවසර දෙනු ලැබේ. ඒ අතර, තුලන සහ සංවරණ ක‍්‍රියාවලියේ සකල පරිපාටි බෙලහීන කෙරෙන බවට පරමාධිපතියා වගබලාගනී. ඇක්ටන් සාමිවරයා වරක් කී ප‍්‍රකට කියමන, එනම්, ‘බලය, දූෂණයට අතවනයි, පරම බලය, පරම දූෂණයට අතවනයි’ යන්න, රට විනාශයට හෙලමින්, අද අප ඉදිරියේ සත්‍යයක් වී තිබේ.

පාලන තන්ත‍්‍රයකට සිය ක‍්‍රියාකාරීත්වය සඳහා බලය අවශ්‍ය කරන බව සැබවි. ඒ ගැන සැකයක් නැත. එහෙත් නිදහසේ පටන් අප සතුව පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන්, අපමණවත් දෑ සාක්ෂාත් කර නොගත්තේ ද? වරින් වර ඒ හරහා පක්ෂ අතර බලය මාරු නොකෙරුණේ ද? යෝධ වාරිමාර්ග ව්‍යාපෘති ගොඩනගා, අපේ රජවරුන්ගේ පැරණි මහා වාරි ශිෂ්ඨාචාරය නැවත පණ නොගැන්නුවෙම් ද? ගල්ඔය, මින්නේරිය, පරාක‍්‍රම සමුද්‍රය, කවුඩුළු වැව ඊට නිදසුන් නොවෙත් ද? එතකොට, මෑත කාලීන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය? නිදහස් වෙළඳ කලාපය? තවද, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල සහ තෘතීය අධ්‍යාපනික ආයතන ගොඩනොනැගුවෙම් ද? එතකොට, උසස් සෞඛ්‍ය සේවාවක්? සෑම වාර්ගික සහ ආගමික ජන ප‍්‍රජාවක් අතරේ එකමුතුවෙන් ගොඩනැගුණු එක්සත් ශ‍්‍රී ලංකාවක් ඒ ක‍්‍රමය තුළ අපට නොතිබුණේ ද?

ඒ සියල්ලටමත් වඩා, ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අප ජයගත්තේ, හුදෙක් හදිසි රෙගුලාසි යටතේ ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් යටතේ නොවේ ද? අපේ ඒ දුෂ්කරම අවස්ථාවේ දී පවා එකී ප‍්‍රතිපාදන අපට ප‍්‍රමාණවත් නොවිණි ද? එසේ නම්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයකුත් අපට අවශ්‍ය කෙළේ ඇයි? මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ අධිකරණය දේශපාලනීකරණයට නතු කිරීමට අපට අවශ්‍ය කෙළේ ඇයි?

අප අද ඉන්නේ ඒ වැරැුද්ද තුළ යි. මෙතැනින් අප යන්නේ කොතැනට දැ යි සිතා ගැනීම අසීරු නැත.

*2013 දෙසැම්බර් 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Let’s Hope Year 2014 Will Herald The Restoration Of Democracy In Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    We need people of this calibre now. Even the opposition does not summarise the present situation of the country ,which should be known to the masses, and tell the government that all sri lankans are not asses

  • 0
    0

    කව්රු ආණ්ඩුව කලත් ඒකාධිපතයක් තමයි තියෙන්නෙ.ප්‍රේමදාස කලත් චන්ද්‍රිකා කලත්.ප්‍රේමදාසගේ කාලෙ භීෂණ යුගයක් තිබුන කියල මේ මිනිස්සුන්ට මතක නැහැ දැන්

  • 1
    0

    [Edited out] , why are you so jealous about our leader. [Edited out], suddanta kade yanawada
    ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.