26 April, 2024

Blog

විය යුතු ලෙසින්ම, මානව හිමිකම් සවිඥානකත්වයෙන් ලෝකය අරක්ගනී

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

අපේ බොහෝ දෙනා මානව හිමිකම්වල සැබෑ වටිනාකම වටහා ගැනීමට අසමත් වන සෙයක් පෙනේ. එය අපගේ විඥානය මතුපිටින් සැරිසරන්නේ, හුදෙක් වියුක්ත දෙයක් හැටියට හෝ සමහරවිට, ප්ලේටොනික ලෝකයක පවතින බාහිර දෙයක් හැටියට ය. ලංකාවේ දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා පිරිස්- විශේෂයෙන් ලංකාවේ අයිතිය ගැන ස්වයං-මුළාවක පැටලූණු පිටරටවල වෙසෙන අවරසිකයෝ-මානව හිමිකම් පිළිබඳ කතිකාවට ගෑවුණු ඕනෑම දෙයකට ගරහති. ලබව මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ළං වන විට ආණ්ඩුවේ නායකයෝ එම සමස්ත සංකල්පය ගැනම කුලප්පු වෙති. විශේෂ සංවේදී අවස්ථා කෙසේ වෙතත්, මානව හිමිකම් සංකල්පය යනු, හුදෙක් පුද්ගලයන් වශයෙන් ඔබේත් මගේත් මූලික අභිමානය ගැන කාරණයකි. අපි අපෙන්ම මේ ප‍්‍රශ්නය අසා ගමු: අභිමානයෙන් යුතුව, ආරක්ෂිතව සහ බියෙන් තොරව ජීවත් වීමට අපට ඉඩ තිබිය යුතු නැත් ද? එම ප‍්‍රශ්නය තුළ, වියුක්ත සංකල්පයක් ජීවමාන යථාර්ථයක් බවට පත්වෙයි.

මානව හිමිකම් පිළිබඳ ගෝලීය සවිඥානකත්වයේ විප්ලවයක් අද අපි අත්දකිමින් සිටිමු. එයින් මා අදහස් කරන්නේ, මානව හිමිකම් එල්ලය පස්සේ හඹා යාම, මූලික වශයෙන් ගත් විට, නූතන ප‍්‍රපංචයක් වන බවයි. මානව ශිෂ්ඨාචාරය තුළ අතීතයේ දී විවිධාකාරයේ කෲරතර සහ අකාරුණික සැළකීම්වලට මිනිසා ගොදුරු වී ඇති බව නොරහසකි. එකල බටහිර සමෘද්ධිමත් කොටස් අතරේ වහල් ක‍්‍රමය පිළිගත් සමාචාරයක් විය. ඇතැම් විට එය සමාජ විලාසිතාවක් ද විය. ආගමික සහ දේශපාලනික විසම්මුතිකයන් තාඩන පීඩනවලට ලක්කිරීම, සාමාන්‍ය දෙයක් විය. එකල පල්ලිය මගින් පවත්වාගෙන ගිය ස්පාඤ්ඤ දණ්ඩාධිකරණ මතක ද? එසේම, ආදිවාසීන්ව තලා පෙලීම සහ කැලේට ගොස් ඔවුන්ව දඩයම් කිරීම ඉස්සර ඕස්ටේ‍්‍රලියාවේ එක්තරා ක‍්‍රීඩාවක් වන් විය. දැන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සාකච්ඡුාවල දී එවැනි අතීත කරුණු ගෙනහැර පාමින් බටහිර බලවතුන්ව තඩිබෑම, මානව හිමිකම් පිළිබඳ ශ‍්‍රී ලාංකීය විවේචකයෝ පුරුද්දක් කරගෙන සිටිති. එවැනි විවේචනවල සාවද්‍යතාව වන්නේ, එකී සිදුවීම් අතීතයේ පැවති සමාජ ස්වභාවයක් හෝ යම් යුගයකට ආවේණික යුග ධර්මතාවක් ය යන්න නොසළකා හැරීමයි. එවැනි හැසිරීම් අද නොපිළිගැනේ. එපමණක් නොව, පිළිකුලෙන් යුතුව බැහැර කෙරේ. පැරණි යුගයෙන් නව යුගය වෙන් කරන පැහැදිළි බෙදුම් රේඛාව දැන් ඇඳී ඇත. ඊට අප ගරු කළ යුතුය. රටවල් හෝ ජාතීන් වශයෙන් ගැනෙන විවිධ මිනිස් සාමූහිකත්වයන් අරා බලය හොබවන්නන්ට, ඒ අතීත කල්ක‍්‍රියාවේ නියැලීමට අපට ඉඩ හැරිය නොහැක. මිනිස් ශිෂ්ඨාචාරය පෙරට යා යුතුය.

බටහිර බලවතුන් අද පවා මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් සුදනන් යැයි මම නොකියමි. එම කාරණයේ දී ඔවුන් ද පැහැදිළිවම වැරදිකරුවන් ය. විශේෂයෙන්, ජෝර්ජ් බුෂ්ගේ ‘භීෂණයට එරෙහි යුද්ධයෙන්’ පසු ඇමරිකාවත්, ඔවුන්ගේ සගයනුත් එවැනි චෝදනාවන්ට පෑහෙන්නන් ය. ගුවන්තනමෝ බොක්කේ පවත්වාගෙන ගිය ඇමරිකානු නාවික කඳවුර, කුරිරු වදහිංසාවේ තිප්පොලක් විය. ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක‍්‍රමණය කරනු ලැබීම අපේ කෝපය ඇවිස්සුවේය. කෙසේ වෙතත්, ඒ සියල්ල, සැප්තැම්බර් 9 මහා ප‍්‍රහාරය මගින් ඇමරිකානු සහ යුරෝපීය ශිෂ්ඨාචාරයට එල්ල කරන ලද තර්ජනය හමුවේ දැක්වු ප‍්‍රතිචාරයක් වශයෙන් සළකා මතකයෙන් මැකී යනු ඇතැ යි අපේක්ෂා කළ හැකිය.
සමහර විට, සිංහල මෙන්ම දෙමළ ජනතාවගේ ද පැවැත්මට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් මාරාන්තික තර්ජනයක් එල්ල විණැ යි යන යම් තාක් හේතු සහගත තර්කය, ශ‍්‍රී ලංකා ආණ්ඩුව පැත්තෙනුත් ඉදිරිපත් කිරීමට බැරි කමක් නැත. එය, ‘‘මරණ බිංදුවයි’’ යන ගොබ්බ තර්කයට වඩා ශක්තිමත් හේතුවාචකයකි. දක්ෂ අද්වකාත්වරයෙකුගේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවට තදින්ම තිබේ: ඒ, බල්ලන් සේ ඉවක්බවක් නැතිව හපා නොකා, එළැඹි සිහියෙන් යුතුව කටයුතු කිරීමට ය. ඒ අනුව, සංග‍්‍රාම අවශ්‍යතාවට පිටින් සාපරාධී ක‍්‍රියාවල යෙදුණු අය ගැන පරීක්ෂණ පවත්වා දඩුවම් කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව පියවර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

යුද්ධයක් කරගෙන යාමේ දී පිළිපැදීමට බැඳී ඇති රෙගුලාසිවලට අදාළ නීතිරීති, මානව හිමිකම් පිළිබඳ නව ගෝලීය සවිඥානකත්වයේ අත්‍යාවශ්‍ය පරිමණ්ඩලයකි. යුද්ධය තුළ ඒ නීති චේතනාන්විතව උල්ලංඝණය කර ඇති සහ නිර්ලජ්ජී ආකාරයෙන් හැසිරී ඇති අයවළුන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව පවත්වන ඕනෑම පරීක්ෂණයක් අවසානයේ, නීතිය ඉදිරියට පැමිණවිය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන්, ප‍්‍රභාකරන්ගේ පුතා ඝාතනය කළ කවුරුන් හෝ කර ඇත්තේ, සමාව දිය නොහැකි සාපරාධී ක‍්‍රියාවකි. එම පුතා, පියාගේ පිස්සුවට නෑකමක් නැති, අහිංසක දරුවෙකි. දෙමාපියන්ගේ පව්වවලට දරුවන් කර ගැසිය යුතු නැත. ඒ අතරේ, ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කොට, මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදුවීමට ඉඩ නොදෙමින්, දෙමළ ජනතාවගේ අභිමානය පිළිබඳ ප‍්‍රශ්නය උතුරේ හමුදා කඳවුරු පිහිටුවීමෙන් විසඳිය හැකිය යන විශ්වාසයෙන් මිදී, අවංක ජාතික සංහිඳියාවකට අඩිතාලම දැමිය යුතුව තිබේ.

ගෝලීය සවිඥානකත්වයේ විප්ලවය පිළිබද අපේ මූලික කතාවට නැවත එමු. ජෙනරාල් පිනෝචේගේ සාපරාධී කුරිරුකම් ඊට පනස් වසකට පෙර, එනම් 1923 දී සිදු විණි නම්, එය එදා කිසිවෙකුගේ සැලකිල්ලට ලක් නොවෙනු ඇත. මැතිවරණයකින් බලයට පත් ආණ්ඩුවක් පෙරලා 1973 දී බලය ගත් ඔහු, අනේක වධහිංසා කිරීම් සහ දේශපාලන විරුද්ධවාදීන් දහස් ගණනින් ඝාතනය කිරීම සහ අතුරුදහන් කැරැුවීමාදිය සිය සිරිත කර ගත්තේය. ඊට වසර පනහකට පෙර, එනම් 1923 දී, වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතියක් නොතිබුණි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයක් නොතිබුණි. ජන සංහාරවලට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රඥප්ති නොතිබුණි. බී.බී.සී. රූපවාහිනී නාලිකා නොතිබුණි. එසේම, 1923 දී නම්, චිලී රටේ චිලී ජාතිකයන්ව වධබන්ධනයට පත්කිරීම ගැන ස්පාඤ්ඤයේ අධිකරණයක දී පිනෝචේට එරෙහිව නඩු නොපැවරෙනු ඇත. තව ද, නඩු විභාගයට මුහුණදීම සඳහා පිනෝචේව බි‍්‍රතාන්‍ය මගින් චිලී රටට භාර දීමක් ද සිදු නොවනු ඇත.

1215 තරම් ඈත කාලයක දී, බි‍්‍රතාන්‍ය මැග්නා කාර්ටා ප‍්‍රඥප්තිය හෝ මානව හිමිකම් පිළිබඳ ලියවිල්ලක් ලෝකයාට තිබුණි. ඊටත් එපිට අතීතයක දී, ‘මිනිස් ගරුත්වය, මිනිස් සමානාත්මතාව, සෙස්සන්ගේ සභානුභූතිය සහ ගෞරවය සහිත ප‍්‍රජාවන් සේ ජීවත් වීමට ඇති අවශ්‍යතාව, පුද්ගල නිදහස පිළිබඳ අවශ්‍යතාව සහ ජීවිතයට ඇති ආරක්ෂාව ආදී, මානව හිමිකම් පිළිබඳ නූතන සවිඥානකත්වයට සමාන සාරධර්ම එදා ප‍්‍රධාන ආගම් තුළ ගැබ්ව තිබුණි. ඒ අනුව බලන විට, මිනිස් වර්ගයාගේ සංස්කෘතික චාරයේ කොටසක් වශයෙන් මූලික මිනිස් වටිනාකම් කවදත් තිබී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, එදා සහ අද අතර එක් තියුණු වෙනසක් තිබේ. එදා ඒවා සැළකුණේ පාලකයෙකුගෙන් ඉටු විය යුතු යුතුකම් වශයෙනි. අද ඒවා සැළකෙන්නේ ජනතාව සතු අයිතිවාසිකම් වශයෙනි. ඒ අනුව බලන විට, එම පැරණි සංස්කෘතීන් තුළ ‘පුද්ගලයාට වඩා ප‍්‍රජාව ප‍්‍රධාන තන්හි ලා සලකමින් ඉහත කී වටිනාකම් ක‍්‍රියාන්විත වුණේ, නීතියකට වඩා, අධිකාරීවාදී අනිවාරකයන් හරහා හෝ සමාජ ආචාර විධීන් හරහා’ බව අපට පෙනේ.

ගෝලීය සමාජ සවිඥානකත්වය තුළ මෙම විප්ලවය හටගත්තේ සහ වර්ධනය වුණේ, හිට්ලර්ගේ පරාජයෙන් අනතුරුව ගත වූ අඩ සියවස තුළ යැයි අපට කිව හැකිය. මහ පරිමාණ කෲර ක‍්‍රියාකාරකම් තවමත් සිදුවෙයි. එසේ වෙතත්, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ලෝකයේ ඉහළම රාජ්‍ය සන්ධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත්ම ප‍්‍රමුඛතාව බවට අද පත්ව තිබෙන බව පිළිගත් සත්‍යයකි. ජාත්‍යන්තර තලයේ මෙන්ම, කලාපීය තලයේ ද, මීට අදාළ නීතිරීති සහ ප‍්‍රඥප්ති සමුදායක් අද වන විට දළු ලා වැඞී තිබේ. ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය’ සහ ඊට අදාළ වෙනත් විවිධ ප‍්‍රඥප්තීන් වූ කලී, ඊට වඩා දැවැන්ත ජාත්‍යන්තර නීති සංග‍්‍රහයක හුදු අරටුව පමණි. උදාහරණයක් වශයෙන්, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් සහ සරණාගත අයිතිවාසිකම් වෙනුවෙන් ද, ජාතිවාදී කුඩුකේඩුකම්, ජනසංහාර සහ වධහිංසා පැමිණවීම්වලට එරෙහිව ද බොහෝ රටවල් අත්සන් කොට අපරානුමත කරන ලද ප‍්‍රඥප්ති රාශියක්, ඉහත කී පුළුල් ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයට ඇතුළත් වෙයි. එසේම, මානව හිමිකම් ක‍්‍රියාවේ යෙදැවීම සඳහා වන යාන්ත‍්‍රණ රාශියක් ද සකස් කරනු ලැබ තිබේ. ඒවාට, වාර්තා කිරීමේ යාන්ත‍්‍රණ, පිරික්සුම් උපක‍්‍රම, මහජන විභාග, විශේෂ මැදිහත්වීම්, විමර්ශන ආයතන, පැමිණිලි ඉදිරිපත් කිරීමේ පරිපාටි, ද්වි-පාර්ශ්වීය සහ බහු-පාර්ශ්වීය මට්ටමේ ආර්ථික සම්බාධක පැනවීම් ආදියේ සිට, හමුදාමය වශයෙන් මැදිහත්වීම දක්වා වන ක‍්‍රියාමාර්ග අන්තර්ගත වෙයි.
කෙසේ වෙතත්, මේ සියල්ල තවමත් තිබෙන්නේ ගොඩනැගෙමිනි. අප ජීවත් වන ලෝකය සර්ව සම්පූර්ණ එකක් නොවන බැවින්, එක දිගටම මානව හිමිකම් උල්ලංඝණයන් සිදුවෙයි. එසේ වෙතත්, මානව හිමිකම් පිළිබඳ සවිඥානකත්වයේ ගෝලීය විප්ලවය, නතර කළ හැකි දෙයක් නොවේ. සකල සමස්තය ආවරණය කරගන්නා එහි පරාසය තුළට, අද නැත්නම් හෙට මිනිස් වර්ගයා අන්තර්ග‍්‍රහණය විය යුතුව තිබේ.

සීග‍්‍ර තොරතුරු විකාශයත්, මිනිසාගේ අධ්‍යාපනය සහ සෞභාග්‍යයත් සඳහා වන මෙවලම් නූතන තාක්ෂණයෙන් අද මිනිසාට දායාද කොට ඇත. මානව හිමිකම් පිළිබඳ සවිඥානකත්වයේ ජගත් විප්ලය දිගෑදෙන්නේ, තාක්ෂණයේ එකී වර්ධනය මත යි. එය, විය යුත්තකි. මන්ද යත්, අපගේ මේ එකම දිවියේ දී, අභිමානයෙන් යුතුව, සැනසිල්ලෙන් සහ සුරක්ෂිතව, නිදහස් පුද්ගලයන් වශයෙන් ජීවත් වීමේ උරුමයක්, ඔබටත් මටත් ඇති බැවිනි. ඒ මූලික ආරක්ෂණයන් නැතොත්, ජීවිතය ‘නපුරු, මුරුග සහ කෙටි’ එකක් වනු නියති.
ප්ලාස්ටික් ඒකාධිපතියන්ට අපේ ජීවිත ඔවුන්ගේ වාසිය සඳහා පාලනය කිරීමට ඉඩ දිය නොහැක. තමන් අතේ ඇති ආයුධ බලෙන් මුළු ජනතාවක් සිය ග‍්‍රහණයේ රඳවා ගැනීමට යම් පුද්ගලයෙකුට හෝ ඔහුගේ හෙංචයියන්ට ඇති අයිතිය කවරේ ද? ආණ්ඩුවක් නිදහසේ තෝරා පත්කර ගැනීමට සේම එම ආණ්ඩුව කුණු වූ විට එය පෙරලා දැමීමටත් ඇති ශක්තිය හරහා පුද්ගලයාම ස්වකීය ඉරණම තීන්දු කර ගත යුතුව තිබේ.

*2013 දෙසැම්බර් 31 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Human Rights Consciousness Is Gripping The World – And So It Must Be නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    mema lipi janatavate menma pasal sisun rajaye niladareen atarate yana krame vedayak sitiya yutuye atam desapalana paksa postar valata viyadam karane mudal mema vage lipi aduma vasayen paaksikayan atare vat bedane krame vedayak ati kalot hondai.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.