Colombo Telegraph

මරණයේ දී මට සිදුවන්නේ කුමක් ද?

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

‘‘මරණයෙන් මතු ජීවිතය පිළිබඳව ඇති සැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැන්නක් පවතී ද නැද්ද යන්න නොව, පැවතුණත් එයින් විසඳෙන ප‍්‍රශ්නය කුමක් ද යන්නයි’’ – ලූඞ්විග් විට්ගන්ස්ටයින්

කිසිවක් නැත, මම කියමි. මගේ අහමෙන් (මම ය, මාගේ ය යන හැඟීමෙන්) කිසිවක් ඉතිරි වන්නේ නැත. මගේ සිරුර ද, ආදාහනයක දී නම් ගින්නේ ද, භූමදානයක් නම් ඉහඳ පණුවන්ගේ ද සහායෙන්, වෙනත් පදාර්ථ තුළට (අළු, පස් ආදී වශයෙන්) විනාශ වී යනු ඇත. භෞතික ශරීරය රැක ගැනීමට කිසිවකට නොහැක. මොළය මරණයට පත්වීමත් සමග මගේ විඥානයත් වැනසී යන නිසා, මරණයෙන් පසු මට සිදුවන්නේ කුමක් දැ යි මා නොදන්නවා ඇත. විශේෂයෙන්, දේකාර්ත්ගෙන් පසු බොහෝ දෙනා විසින් විශ්වාස කරන්නට යෙදුණු පරිදි, සිරුරේ සහ මනසේ ද්විත්වයක් ඇති බවට සාක්ෂි නැත. කොතැනකටවත් යන්නට ආත්මයක් නැත. වෙනත් ගැබකට යන්නට කිසිවක් ඉතිරි වන්නේ නැත.

හොඳට හෝ නරකට, මහල්ලා සදහටම කුජීතයි. ඔහුගේ ජීවිතය අපි අනුස්මරණය කරමු. ඒ ජීවිතය තුළ තිබූ යහපත, වෙනත් අය වෙත ඔහු ගෙනා සොම්නස, අපි අනුස්මරණය කරමු. ඔහු නරක කෙනෙකු වුවත්, ‘ආයුබෝවන් යාළුවා’ කියා අපි ඔහුගෙන් සමුගමු. අපේ කෙටිකාලීන සහ  ඕනෑම මොහොතක වැනසී යා හැකි මේ ජීවිතය, අනිත් අයගෙන් පලිගන්ට හෝ අනිත් අය ගැන උද්ධච්ච නිගමනයන්ට එළැඹෙන්ට හෝ තරම් නොවේ.

මරණය යනු, ආගමක් නොඅදහන පුද්ගලයෙකුට මුහුණදීමට සිදුවන ඉතා අසීරු අවස්ථාවක් බව මම පිළිගනිමි. සියල්ල සදහට අහවර වී ය යන විශ්වාසයේ එල්ලී සිටීම පහසු නැත. එය බොහෝ දෙනාට සිත් සනහන විශ්වාසයක් නොවේ. මරණය අපේ ජීවිත තුළ හොල්මන් කරයි. අපි එයින් බිරාන්ත වෙමු. තමන්ව හැර දා ගිය ප‍්‍රියවන්තයා/ප‍්‍රියවන්තිය දැන් කොතැනකවත් නැතැ යි සිතා ගැනීම හෝ ඔහු/ඇය සමග තමන්ට තිබු සකල සන්නිවේදනයන් ¥රිභූත වී ඇතැ යි සිතා ගැනීම සැනසිල්ලක් නොවේ. අනිත් අතට, මතු ආත්මයක් ගැන විශ්වාසයක් තිබුණොත් ඉහත කී ගැටළුවට පහසුවෙන් මුහුණදිය හැකිය. ඔක්කොම ඒ විදිහට ඉවරයක් වෙන්නේ කොහොම ද? යන ප‍්‍රශ්නය හිතට සැනසිල්ලකි. මරණයෙන් පසු යම් කිසි විදිහක හෝ පැවැත්මක් තිබිය යුතුය. යම් ආධ්‍යාත්මික ක්ෂේත‍්‍රයක? නැත්නම්, ගොළුබෙල්ලෙක්, ගෙම්ඹෙක් හෝ සර්පයෙක් වශයෙන්වත්, රජෙකු වශයෙන් නොවුණත්?

දේවවාදී හෝ අදේවවාදී  ඕනෑම ආගමක එක කාර්යභාරයක් වන්නේ, මරණය භාරගැනීම සඳහා වන, පහසු සහ ‘අර්ථවත්’ මාර්ගයක් විවර කර දීමයි. ප‍්‍රංශයෙන් සහ ස්පාඤ්ඤයෙන් සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, මීට පෙර වසර 10,000-45,000 ක් අතර කාලයක විසූ ‘උත්තර පැලියොලිතික’ මිනිසා පවා අලෞකික පැවැත්මක් ගැන විශ්වාස කළ බව තහවුරු වෙයි. ‘‘මිනිසා හැම විටකම ලෝක දෙකක් ගැන විශ්වාස කළ බව පෙනේ. දෛනිකව දිවි ගෙවන භෞතික ලෝකය සහ අනාගත සම්බන්ධකම් ගොඩනගා ගැනීමට යත්න දරණ ආධ්‍යාත්මික ලෝකය වශයෙනි.’’ යනුවෙන්, ඥාන විභාගාත්මක පුරාවිද්‍යාඥ ඬේවිඞ් ලූවිස් විලියම්ස් කියයි.

ෂ්‍යාමන් ජයසිංහ වන මට මතු පැවැත්මකින් පවා සැනසීමක් ලැබේ යැයි විශ්වාස කිරීම හේතුවාදී අවබෝධයකට ගෝචර නොවන්නකි. මරණයෙන් පසු යම් ස්වර්ග රාජ්‍යයකට මා පිවිසියත්, ඒ, මේ ෂ්‍යාමන් ජයසිංහ හෝ මොන විදිහකින්වත් ඔහුට සමාන වන්නෙකු හෝ නොවේ. මගේ වර්තමාන සවිඥානක අනන්‍යතාව එතැනට යන්නේ නැත. මගේ මේ සිරුර, කායිකව එහි යන්නේ නැති බවත් හොඳටම පැහැදිළියි. ඉතිං මොකෝ? පුනරුත්පත්තියත් එවැන්නක් නොවේද? එසේ තිබියදී, ඊළඟ ආත්මයක් ගැන මේ ආත්මයේ දී දැනුවත් වීමේ ඇති ඵලය කිම? පාඨකය, ඔබ මීට පෙර සිටි ආත්ම භවයක් ගැන දැන් දන්නේ ද? ඔබ එදා දෙවියක්, සර්පයෙක් වී ද? එසේ නැත්නම්, ශ‍්‍රී ලංකාව වැනි රටක ජීවත් වීමට තරම් දැනටමත් අවාසනාවන්තව ඇති තත්වය තුළ, පෙර භවයේත් දේශපාලඥයන් විසින් සදහටම රවටන ලද දුගී ගොවියෙකු වී ද, මහ භාණ්ඩාගාරය කොල්ලකන පාලක පවුලක සාමාජිකයෙකු වී ද, කුඩා ළමුන් ලිංගික අපහරණයට ලක්කරන  ඕනෑම සාසනයක සාමාජිකයෙකු වී ද, ඒ කිසිවක් නැත්නම්, සතේ අතේ නැති සරළ කවටයෙක්වත් වී ද? මේ කිසිවක් දැනගත නොහැකි තත්වය තුළ, ඒ ගැන වෙහෙසෙනු කුමට?

ආධ්‍යාත්මික තලයක සිදුවෙති යි කියන මතු භවයක් ගැන විශ්වාස කිරීමට නම්, අප ජීවත් වන මේ භවය තුළින් ඊට සාක්ෂි සොයාගත හැකි විය යුතුයි. එය කළ හැක්කේ, විද්‍යාත්මක ගවේෂණයකින් පමණි. ඥානයේ එකම ප‍්‍රභවය විද්‍යාව නොවේ යැයි කියා හෝ ආගම යනු එහි තවත් ප‍්‍රභවයක් යැයි සිතා ගැනීම හෝ ප‍්‍රමාණවත් වන්නේ නැත. ලෝකය ගැන දැනගත හැකි, එකිනෙකින් ස්වාධීන වූ, මාර්ග දෙකක් තිබිය නොහැක. එවැනි පරීක්ෂණයකින් කිසි මතු භවයක් ගැන තොරතුරු හෙළි කොට නැත්නම්, ඒ ගැන විශ්වාසය තබා වෙහෙසෙන්නේ ඇයි?

මේ සියල්ල, ශුද්ධ වූ බයිබලයේ හෝ වෙනත් ශුද්ධ වූ ධර්ම ග‍්‍රන්ථයක් තුළ දෙවියන් වහන්සේගේ හෙළිදරව්වක් වශයෙන් අඩංගුව ඇතැ යි, ආගම්වාදීන් මෙහි දී දැන් කෑගැසිය හැක. එසේ නම් ඒ, කුමන ‘හෙළිදරව් වචනය’ ද? කුමන ශුද්ධ වූ ග‍්‍රන්ථය ද? ඉස්ලාම් ආගමේ ද? හින්දුවාදයේ ද? යුදෙව්වාදයේ ද? ක‍්‍රිස්තියානියේ ද? සරොආස්ත‍්‍රවාදයේ ද? නැත්නම්, බුද්ධාගමේ සූත‍්‍ර පිටකයේ හෝ අභිධර්ම පිටකයේ ද? මීට කලින් මගේ ලිපියේ සඳහන් කළ පරිදි, දර්ශනවාදයක් වශයෙන් ගත් කල බුද්ධාගම, විද්‍යාවට ගෞරවනීය සමීපත්වයක් දරයි. එහෙත් ඒ, බෝධි පූජා ගැන විශ්වාස කරන, වෙනත් ආත්මයකට පින්දිය හැකැ යි සිතන, අප අවට අවකාශයේ දෙවි දේවතාවුන් සරති යි අදහන හෝ වෙසක් දවසේ බෙර්වික් පන්සලේ අප දුටු ආකාරයේ අපායක් ගැන විශ්වාස කරන බුද්ධාගමක් නොවේ.

ඊටත් වඩා, ශුද්ධ වු මෙකී ආගමික ග‍්‍රන්ථ නිර්වචනය කිරීම මොන තරම් කර්කශ අභ්‍යාසයක් වී ඇත් ද යත්, ඒවා ලේ වැකි සංග‍්‍රාම සහ යුද්ධවලට තුඩුදී ඇති අතර, තවමත් මිනිස් ජීවිත සහ දේපළ ඒ මගින් විනාශ කෙරෙනු ලැබේ. කුරානය සහ බයිබලය ගැන විශ්වාසය තබන අය අතර දීර්ඝ කාලයක් තිස්සේ ඇති වු කුරුස යුද්ධ සහ ආගමික වධබන්ධනයට පාර කැපූ ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ගැටුම් ඊට නිදසුන් ය. ඉස්ලාම් ආගමේ සුන්නි සහ ෂියා නිකායිකයන් අතර අදටත් කෙරීගෙන යන මිනිස් ඝාතන තවත් නිදසුන් ය. සාමාන්‍ය බුද්ධියක් ඇති මිනිසාට මේ සියල්ල විහිළුවක් විය යුතුය. ශුද්ධ වු වචනය පිළිබඳ එකඟතාවකට පැමිණීමට ආගම්වාදීන්ටම නුපුලූවන් නම්, මා වැනි අනාගමිකයෙකු එයින් කුමන නිර්වචනය පිළිගත යුතු යැයි අපේක්ෂා කරන්න ද?

ඓතිහාසිකව ගත් විට, මිනිස් දැනුමේ පැවති හිඩැස් පැහැදිළි කිරීමට ආගම කවදත් ඉදිරිපත්ව ඇති බව පෙනේ. ඒ හැම අවස්ථාවකම, විද්‍යාව ඉදිරිපත්ව එම හිඩැස පැහැදිළි කළ පසු ආගමට තමන්ගේ අදහසත් සමග පසුබසින්ට සිදුව ඇත. ආගමේ පිලා කෝෂයෙන් වැඩෙන විද්‍යාව, ධර්ම ග‍්‍රන්ථවල සඳහන් ශුද්ධ වූ පැහැදිළි කිරීම් එකින් එක ඉවත් කොට, ඒ වෙනුවට ස්වභාව ධර්මයේ පැහැදිළි කිරීමකින් එම හිඩැස් පුරවයි. ලෝකායතවාදය (සියල්ල ලෞකික ය යන්න)  වර්ධනය වෙමින් තිබුණ ද, තවමත් බොහෝ දෙනාට මතු භවය පිළිබඳ ප‍්‍රශ්නය, අවබෝධ කරගත නොහැකි ගැටළුවකි.

ආගම්කාරයන්ටම මිස එම ගැටළුව නිරාකරණය කළ හැක්කේ වෙන කාට ද? මළගියවුන්ට අදාළව පනවාගෙන ඇති සංකීර්ණ සහ විචිත‍්‍ර නානාවිධ වතාවත් හරහා ආගම හොඳට හම්බ කරයි. මළගිය ඇත්තන් වෙනුවෙන් ජීවතුන් අතර සිටින පිරිස් මේ වතාවත් හරහා විශාල ආර්ථික බරක් දරණ අතර එය පූජකයන්ට, මුල්ලාවරුන්ට සහ කෝවිල්වලට සරු ඉල්ලමකි. මේ අසළ පිහිටි තායිවාන බෞද්ධ පන්සලෙන්, මළගිය ඇත්තන්ට පින්දීමේ ටෝකන් පත් ඩොලර්වලට විකිණේ.

ආගම විසින් නිර්මාණය කොට ඇති ඊළඟ භවය පිළිබඳ විශ්වාසය මගින් කර ඇත්තේ ජනතාව හීලෑ කිරීමකි. දැන් ඔබ මුහුණදෙන අසාධාරණය ගැන කලබල නොවන්න, ඔවුන් ඔබට කියනු ඇත. ඔබ අද කරන යහපතට පාරාදීසයේ දී මහානිසංශ ලැබෙනු ඇත. තඩි හාම්පුතා වෙනුවෙන් කඹුරන්න, කැරලි ගැහිල්ලක් ගැන නොහිතන්න. මෙය ඔබේ කරුමය යි. ඒ කරුමය ගෙවෙන තෙක් ඉවසන්න. කාල් මාක්ස් මෙහිදී ටක්කෙටම හරි ය. එදිරිවාදී දෙවියෙකුගේ නාමයක් වෙනුවෙන් කොපමණ නම් මිනිස් ඝාතන යුක්ති සහගත කෙරෙන්නේ ද? ඇමරිකාවේ 9/11 ත‍්‍රස්තවාදී සිද්ධියට සහභාගී වූ මිනීමරු දිවිපුදන්නන්ට, ඊට තෑගි වශයෙන් කන්‍යාවන් ගණනාවක් සමග සදාතන ස්වර්ගයක් පොරොන්දු වී තිබුණි.

මෙවැනි තකතිරු විශ්වාස මගින් කෙරෙන්නේ, මිනිස් ජීවිතය පිළිබඳ සංකල්පය හෑල්ලූ කොට, මරණයේ අභිවාදනය උත්කර්ෂවත් කිරීම නොවේ ද?

මරණය සහ මරණින් මතු භවයක් පිළිබඳ ස්වභාව ධර්මයේ පැහැදිළි කිරීම් වටහා ගැනීමට තරම් මිනිසා අසමත් වන තාක් කල්, මරණය ගැන ආගම සතු අධිකාරිය දිගටම පැවතෙනු ඇත. ඒ සම්බන්ධයෙන් ආගම සපයන සැනසිල්ල, එවැනි මොහොතක (මා වැනි) අනාගමිකයෙකුට සැපයිය හැකි පැහැදිළි කිරීමකට වඩා ආකර්ශණීය බවට සැකයක් නැත. මරණයට මුහුණදීමේ දී, ඇදහිලි සහ විශ්වාස මතින් සැපයෙන අස්වැසිල්ල අතිමහත් ය. ඊළඟ භවයක් පිළිබඳ විශ්වාසය එයින් එකකි. ශෝකයට පත් කෙනා වෙනුවෙන් සැපයෙන සත්කාරය තවත් එකකි. ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදාය තුළ, මොසාගේ ‘මෘතශාන්තිකර්ම’ සංධවනිය තරම්, යුදෙව් සම්ප‍්‍රදාය තුළ මළ ගැහැනිය ගැන ගැයෙන සොලමන්ගේ ගීතිකා තරම්, භික්ෂූන් වහන්සේට බෞද්ධයන් පිළිගන්වන හත්දවසේ හෝ තුන්මාසේ ආදී දානමාන තරම් ප‍්‍රබල දෙයක් හිතක සැනසිල්ලකට තවත් තිබිය හැකි ද? මේ සෑම වතාවතකදීම, මළගිය ඇත්තාගේ මතකය වටා සහ ශෝකයට පත් අයවළුන්ගේ රුදුරු කම්පාව වටා හිතමිත‍්‍රාදීහූ එක්රොක් වෙති.

*2013 ජුලි 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ What Happens To Me At Death? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page