22 September, 2020

Blog

නිර්-ආගමිකත්වය උදෙසා

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය හැදෑරූ සිව් වසර තුළ ආගම ගැන මා තුළ උපන් සංශයවාදය (සැකය) යළි සනාථ කිරීමේ අවශ්‍යතාව නැවතත් හටගෙන තිබේ.

අධ්‍යාත්මික දේවල් ගැන මම උදක්ම විශ්වාස කරමි. විස්තරාත්මකව කිවහොත්, සහසංවේදී වීම හෙවත් අනුන්ගේ දුක මගේ දුකක් කර ගැනීම, අනුන් විපතට පත් විටෙක ඔවුන් සමග මා ද අනන්‍ය වීම වැනි මනුෂ්‍ය භාව ගුණයට ගැනෙන දේවල්: කරුණාව, දයාව, ආලය පෑම සහ ආලයට ලක්වීම, නිර්මාණාත්මක වීම, කලාකෘතියකට හෝ සාහිත්‍යයට සංවේදී වීම වැනි ආධ්‍යාත්මික භාව ගුණ මම උදක්ම අගය කරමි. අපගේ සදාචාර ප‍්‍රකෘතිය ජනනය වන්නේ, දයාව, සත්‍යවාදීත්වය සහ සහසංවේදීත්වයෙනි. එය, පැහැදිළිවම ආගමකට මොනම සම්බන්ධයක්වත් ඇති දෙයක් නොවේ. ‘‘තමාට සිදුවෙනු දැකීමට නොකැමැති කිසිවක් අනුන්ට නොකරව’’ යනුවෙන් කොන්ෆියුසියස් කීය. සදාචාරයේ සාමාන්‍ය තර්කණය එයයි.

අනිත් අතට, ආගම් හරහා සදාචාර හැසිරීම භීතිය මත පදනම් කිරීම නිසා අපේ ආධ්‍යාත්මික සහ සදාචාරමය සංවේදය මොට කරනු ලැබේ. නපුරක් කළොත් ‘අවසාන විනිශ්චය දිනයේ’ දී ඔබව නිරයට කැපවෙනු ඇත. මෙවැනි බියක් නිසා, වැරදි නොකරන පුද්ගලයා යහපත් පුද්ගලයෙකු වන්නේ නැත. යහපත කළ යුත්තේ ස්වයං-අවබෝධයකිනි. ස්වේච්ඡුාවෙනි. ජනප‍්‍රිය බුද්ධාගමේ සහ හින්දු ආගමේ පවා බිය නැමැති සාධකය තිබේ. ලෝවැඩ සඟරාව නරකාදිය ගැන කතා කරයි. එය, පව්කාරයන් ගින්නේ පිලිස්සෙන ක‍්‍රිස්තියානි ආගමේ නිරයට සමාන ය. විදග්ධ බුද්ධාගමේ සහ හින්දු ආගමේ පවා ඉගැන්වෙන නරක ප‍්‍රතිසන්ධියක් ලැබීමේ ශක්‍යතාව තුළින් ජනිත කෙරෙන අවදානම මගින් ද කෙරෙන්නේ භීතිය හරහා සදාචාර හැසිරීමක් අපේක්ෂා කිරීමයි.

මිනිස් සවිඥානකත්වයේ වර්ධනය සහ දියුණුව ද, ආගම මගින් මොට කරනු ලැබේ. ඒ, ප‍්‍රබන්ධිත ‘යථාර්ථයක්’ මිනිසුන් මතට ඉහළින් පැටවීමෙනි. විශ්වය පිළිබඳවත්, ජීවිතයේ අර්ථය පිළිබඳවත් අපගේ ස්වාධීන ඥානනයකට ඉඩ නොතබමින්, සමස්ත දේවධර්මයක් හෝ පාරභෞතිකවාදයක් අප මතට පටවනු ලැබේ. එවිට අප කරන්නේ, සිතීම නතර කිරීමයි. බැටළු රැුලක් වන්නැ යි අපට කියාදෙයි. බයිබලය, කුරානය සහ ටෝරා පනත් අනුගමනය කරන්නැ යි ඉල්ලා සිටී.

බුද්ධාගම සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් තත්වයකි. බුදුරජාණන් වහන්සේම චින්තනයේ නිදහසට අනුබල දුන්නේය. තමා කියන නිසාවත්, වෙනත් විශ්වාස කටහැකි පුද්ගලයන් කියන නිසාවත්, සම්ප‍්‍රදායයෙන් එන නිසාවත්, පොතපතේ තියෙන නිසාවත් යමක් පිළිනොගන්නැ යි කී උන්වහන්සේ, රන්කරුවෙකු ගින්නෙන් රත්රන් පිරික්සන්නා සේ තමාගේ ධර්මයත් පිරික්සා බලා පිළිගන්නැ යි කීහ. (කාලාම සූත‍්‍රය). කෙසේ වෙතත්, ස්ථාපිත බෞද්ධ ධූරාවලිය මේ සා නිදහසක් ප‍්‍රදානය කරන්නේ නැත. බුද්ධාගම පිළිබඳ අසම්මත අර්ථකථනයක් වූ ‘බවතරණය’ ලිවීම නිසා එල්ල වූ අනේක අපවාද හේතුවෙන් මාර්ටින් වික‍්‍රමසිංහ මියගියේ බෙහෙවින් කලකිරුණු පුද්ගලයෙකු වශයෙනි.

‘මං ක‍්‍රිස්තියානි’, ‘මං මුස්ලිම්’, ‘මං හින්දු’, ‘මං බෞද්ධ’ ආදී වශයෙන් මිනිස්සු තමන්ව හඳුන්වා ගනිති. එවැනි අනන්‍යතාවක් පවරා ගැනීමෙන් තමන් කරන්නේ යථාර්ථය පිළිබඳ එක් ස්ථාපිත පර්යාලෝකයකට කල්තියාම තමන්ව කොටු කර ගැනීමකැ යි කෙනෙකුට නොවැටහෙන්නේ මන්ද? එයින් සිදුවන්නේ, කෙනෙකුගේ මනස විවෘතව තබා ගැනීම දුෂ්කර වීම හේතුවෙන් වෙනත් පර්යාලෝක සසඳා බැලීමටවත්, ස්වාධීන සවිඥානක මනුෂ්‍යයෙකු වශයෙන් නිදහස් විනිශ්චයකට පැමිණීමටවත් නොහැකි වීම ය. නිදහස්, බුද්ධිමත් ජීවියෙකුගේ දැක්ම, විලංගුවලට යට නොවෙයි. ‘ශුද්ධ වූ පොතක්’ හෝ එවැනි පොතක් අර්ථකථනය කරන්නන්ගෙන් හෝ ඔහුගේ දැක්මට විලංගු නොවැටෙයි. සත්‍යය පිළිබඳ එවැනි බාහිර සම්පාදකයෙකු මත යැපීම නියාලූ පුද්ගලයෙකුට පහසුවක් විය හැකි වෙතත්, විචාරශීලී මනසකට එවැන්නක් මායිම් නොවෙයි.

යථාර්ථය අවබෝධ කර ගැනීමට මිනිසුන්ට හැකි වන්නේ විද්‍යාවෙන්ම පමණි. එහෙත් ස්වකීය ආගමික විශ්වාස දැදුරු කරන විද්‍යාඥයන්ගේ නව සොයා ගැනීම් ප‍්‍රතික්ෂේප කිරීමට දේවධර්මාචාර්යවරු අසාර්ථක උත්සාහයක් ගෙන ඇත. විශ්වයට අදාළ ප‍්‍රස්තුත හෝ නිගමන මුළුමණින්ම අයත් වන්නේ විද්‍යාවේ පරිපථයටයි. දේවධර්මවාදය දැනුමේ මූලාශ‍්‍රයක් නොව, දැනුමේ මූලාශ‍්‍රය වන්නේ විද්‍යාවමයි. උදාහරණයක් වශයෙන්, දෙවියන් වහන්සේ පවතී ද යන ප‍්‍රශ්නය සාක්ෂි මත විමසා බැලීම අයත් වන්නේ විද්‍යාවට ය. එය, විශ්වය පිළිබඳත්, විශ්වය තුළ අපට හිමි ස්ථානය පිළිබඳවත් අප සතු දැනුමට අදාළ වන වැදගත් ප‍්‍රශ්නයකි. බුද්ධාගමේ සහ හින්දු ආගමේ කියැවෙන පුනරුත්පත්තියත් එවැනි තවත් වැදගත් ප‍්‍රශ්නයකි. එවැනි අනුභූතික ක්ෂේත‍්‍ර පිළිබඳ අපගේ දැනුම සොයා යාම ආගමකට බාර කළ යුතු නැත.

අද අපට තියෙන ආගම් මිනිසුන් අතරේ ස්ථාපිතව ඇත්තේ විද්‍යාලෝකය බිහි වීමට පෙර කාලයක ය. විද්‍යාත්මක චින්තනයක් සහ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් නොපැවතුණු කාලයේ, අපට යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා සහාය වීම පැවරී තිබුණේ දේවධර්මාචාර්යවරුන්ට ය. එහිදී ඔවුහූ විශ්වාස කළ නොහැකි පල්හෑලි ගොන්නක් දෙසාබෑහ. ඒ අනුව, පෘථුවියේ වයස අවුරුදු 10,000 කැයි අපට කියාදෙනු ලැබුණි. මුළු විශ්වයම දෙවියන් වහන්සේ විසින් දින හතක දී මැවූ බව කියාදෙනු ලැබුණි. විශ්වයේ කේන්ද්‍රය පෘථුවිය යැයි කාලාන්තරයක් තිස්සේ කියාදෙන ලදි. එය එසේ නොවේ යැයි සොයාගත් කොපර්නිකස්ට, තමා දරුණු බොරුවක් කී බව ප‍්‍රසිද්ධියේ පිළිගන්නට බල කරන ලදි. අද පවා, ජීව විද්‍යාත්මක පරිණාමය ඉගැන්වීම සමහර ඇමරිකානු පාසල්වල තහනම් කොට ඇත. චාර්ල්ස් ඩාවින් තම නව මං හෙළි කළ සොයාගැනීම් ප‍්‍රකාශයට පත්කිරීමට මොන තරම් බිය වීද යත්, ඔහු එය ප‍්‍රසිද්ධියට පත්කිරීම පමා කළා පමණක් නොව, අවසානයේ දී එය ලෝකයාට ඉදිරිපත් කෙළේ ද දියාරු ආකාරයකිනි. මළ මිනිසුන්ට මරණයෙන් නැගී සිටිය හැකි බව හෝ ගර්භාෂයෙන් ගර්භාෂයට, මිනිස් ආත්ම භවයකින් ගොළුබෙලි ආත්ම භවයකට සහ නැවත මිනිස් ආත්ම භවයකට ආදී වශයෙන් සංසාරයේ සැරිසැරිය හැකි බව අපට කියාදෙනු ලැබේ. මේ අනුව, අන්ත ප‍්‍රබන්ධ කතා විශ්වාස කිරීමට අනුගාමිකයාට බල කෙරේ. අනර්ථයකින් තොර සම්භෝගය සඳහා කාමයේ යෙදීම අපට තහනම් කෙරේ. අනවශ්‍ය දරු ගැබ් පාලනය කිරීම සහ ලෙඩ රෝගවලින් වැළකීම සඳහා උපත් පාලන කොපු පාවිච්චි කිරීම තහනම් කෙරේ. ලැයිස්තුව තවත් බොහෝ දිග ය. ජීවිතාරක්ෂාව සඳහා මෙපමණකින් නතර වීම යෙහෙකි.

සෑම ආගමකම පොදු හුයක් වන්නේ, අප මුහුණදෙන වර්තමාන යථාර්ථය අතෘප්තිමත් සහ මායාකාරී බවටත්, ඒ නිසා අවසාන සහනයක් වෙනුවෙන් කැපවිය යුතු බවටත් වන විශ්වාසයකි. ඒ අර්ථයෙන් ගත් විට, ආගම් යනු මරණය පිළිබඳව ගොඩනැගෙන ආධානග‍්‍රාහී ලබ්ධීන් ය. මේ මතු භවය පිළිබඳ විශ්වාසය නිසා සැබෑ ආගමිකයා කරන්නේ, අප දන්නා එකම ජීවිතය වන වර්තමාන සැබෑ දිවියේ සැපතින් සහ අසිරියෙන් ඉවත් වීමයි. ජීවිතයෙන් එසේ ඉවත් වීම වෙනුවට, අපේ මිනිස් සගයන් වෙනුවෙන් සුන්දර වූ අසරණ සරණයේ නොයෙදෙන්නේ ඇයි? එය, වඩාත් ඵලදායී හෝ අවම කුහකත්වයෙන් යුක්ත නොවන්නේ ද?

අපෙන් බොහොමයක් දෙනාට ආගමක් ලැබෙන්නේ උත්පත්තියේ දීම දෙමාපියන් විසින් ආගමක් පටවන නිසා ය. කිතුණුවෝ එසේ භෞතීස්ම කෙරෙත්. දරුවෙකු ක‍්‍රිස්තියානි, මුස්ලිම් හෝ බෞද්ධ වශයෙන් සැළකීම ඇත්තෙන්ම අයෝග්‍ය ය. මන්ද යත්, එවැනි අනන්‍යතාවක් ගැන දරුවා සවිඥානක නැති බැවිනි. එහෙත් ශී‍්‍ර ලංකාවේ අපේ උප්පැන්න සහතිකවල, ලිංගිකත්වය සහ ජාතිය සඳහන් වන්නා සේ ආගම ද සඳහන් වෙයි. ආගම වැනි විශ්වාස පද්ධතියක්, පුද්ගලයෙකුගේ නිත්‍ය අනන්‍යතා සළකුණක් විය හැක්කේ කෙසේ ද?

උපතේ දී කෙරෙන මේ නාමකරණය නිසා එසේ නම් කරන ලද ආගමට කෙනෙකු ඉතා ප‍්‍රබල ආකාරයකින් බැඳෙයි. ආගම, රටක ඇති වඩාත් ප‍්‍රබල සමාජානුයුක්ත මෙවලම්වලින් එකකි. එම සමාජායනය මොන තරම් අප වසා පැතිරෙන්නේ ද යත්, අපේ මනෝභාවයන් එකී ආගමික කෝව තුළින් සැපයෙන ලෝකය හෝ යථාර්ථය සදාතනිකව වැළඳගන්නා තරමට ඒ සමග ගැටගැසෙයි. දරුවන් වශයෙන් අප වැඩෙන්නේ, ‘උඩ අහසේ අප දෙස බලා සිටින ගැලවුම්කරුවෙකු අපේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරතැ ’ යි යන විශ්වාසයත් සමගිනි. ඔහු නම් අතිශය කාර්යබහුල ගැලවුම්කරුවෙකු විය යුතුය! ‘අපේ ඉරණම අල්ලා දෙවියන් වහන්සේ විසින් නියම කෙරෙති’ යි කියා විශ්වාස කිරීමට ද, අපට අනර්ථයක් සිදුවෙද්දී පවා ‘අල්ලා දෙවියන්ට ආශීර්වාද වේවා’ යි ද යාච්ඤා කිරීමට ද අපට කියාදෙති.

ලෝකය පුරා වෙසෙන අනුගාමිකයන් ආගමේ නාමයෙන් දිවි දීමට, සටන් කිරීමට සහ ඝාතනය කිරීමට පේ වීම පුදුමයක් නොවේ. දෙමාපියන්, මිතුරන්, පවුල, පාසල, පල්ලිය ඇතුළු දේවගැතියන්, මුල්ලාවරුන් සහ ස්වාමිවරුන්ගේ මැදිහත් වීමෙන් ප‍්‍රබන්ධිත යථාර්ථයක් අනුගාමිකයාට සැපයෙන අතර, රැලෙන් පැන්නොත් ඇති විය හැකි බරපතල ප‍්‍රතිවිපාක ගැන නිරතුරුව අනතුරු අඟවනු ලැබේ. ආගම, ජගත් සමාජයේ ගැටුම් සහ යුද්ධ ඇති කරන වඩාත් භේදකාරී බලවේගවලින් එකක් වීම බෙහෙවින් උත්ප‍්‍රාසාත්මක ය. මෙය කියවන පාඨක ඔබ බෞද්ධයෙකු විය හැකිය. එහෙත් යම් හෙයකින් ඔබ ඇෆ්ගනිස්ථානයේ උපන්නේ නම් කතාව වෙනස් එකක් වනු ඇත. එහි දී තලිබාන්වරුන් සමග එකතු වී ඔබ ඒ ශ්‍රේෂ්ඨ බාමියන් බුද්ධ ප‍්‍රතිමා විනාශ කරන්නට ද තිබුණි.

මේ සමස්තය එකම විකාරයකි: ඔබ සටන් කරන්නේ, අතදරුවෙකු වශයෙන් ඔබ මත පටවන ලද අනන්‍යතාවක් වෙනුවෙනි. මුල්ලාවරුන් සහ භික්ෂූන් විසින් සහමුලින් නිර්මාණය කර දෙන ලද යථාර්ථයක් වෙනුවෙනි. ඔබ මැරෙන්නේත්, සෙස්සන්ව මරන්නේත් ඒ වෙනුවෙනි. එය පිස්සුවක් නොවෙයි ද?

ආගම් අදහන සියලූ අනුගාමිකයන් අන්ධ සහ නියාලූ පුද්ගලයන් යැයි මම නොකියමි. බොහෝ දෙනාගේ තර්ක බුද්ධිය තියුණු ය. එහෙත්, උපතින් ලැබුණු ආගම, සමාජමය පහසුව හෝ සිතේ සාමය හෝ හුදෙක් පුරුද්දක් නිසා හෝ අතනාරිති. අවසානයේ කී පිරිස ස්වකීය ආගමේ ඇතැම් දේවල් පිළිගන්නා අතර තවත් දේවල් බැහැර කරති.

මේ අතර, ආගම වෙළඳාමක් කරගන්නා වංචනිකයෝ ද සිටිති. බලය සඳහා හෝ ලාභය සඳහා එවැන්නෝ ආගම පාවිච්චි කරති. ජනතාව ගොදුරු කරගන්නා ආගමික භක්ෂයෝ ඔවුහු ය.

මෙකී ප‍්‍රතිවිරෝධතා කෙතෙක් තිබියේ වී නමුත් ආගමේ වසඟය කිසි දා වියැකෙන එකක් නැත. ආගම් අපේ පොකැට්ටුවට විදින ප‍්‍රමාණය ද සුළුපටු නැත. ඒ වටා සමස්ත කර්මාන්තයක්ම බිහි වී ඇති අතර අනුගාමිකයන් අනේකවිධ දානමාන දිය යුතුය. ‘රිදෙන තෙක් දෙන්නැ’ යි කී ඇමරිකානු ශුභාරංචිකරුවකෙු ගැන ප‍්‍රසිද්ධ කතාවක් ද තිබේ. ළඟදී මා ගිය තායිවාන පන්සලක, මළගිය ප‍්‍රාණකාරයන්ට පින්දීම ඩොලර් දහයක මුදලකට සපයන ලදි. එසේ කිරීමත් මොන තරම් දයාවන්ත ක‍්‍රියාවක් ද !

*2013 මැයි 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ In Defence Of The Non-Religious ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    I am the secretary of Sri Lanka Rationalist Association. Firstly I highly appreciated Ur article. Secondly I would like to invite U for a lecture in our usual monthly lecture session for June. Normally we hold it in a week day evening at Dr. N.M. Rerera centre , Borella. My contact no 0727 449 599
    Regards !

  • 0
    0

    CT:
    Why is article suddenly inacessible:Censored?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.