Colombo Telegraph

මහින්ද රාජපක්ෂ ඔහුගේ ‘කාලිංග නිමේෂය’ නැති කරගත්තේ කෙසේද යත්…

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ක‍්‍රිස්තු පූර්ව 262 දී පමණ හටගත් ප‍්‍රකට කාලිංග යුද්ධය වූ කලී, ඉන්දියානු ඉතිහාසය තුළ මෙන්ම බෞද්ධ ඉතිහාසය තුළත්, අශෝක අධිරාජයා ගමන් ගත් පුද්ගල සංචාරයක තීරණාත්මක නිමේෂයකි. මෞර්ය වංශික අශෝක රජු මේ යුද්ධය දියත් කෙළේ, සිය අධිරාජ්‍ය තුළට කාලිංග දේශය ඈඳා ගැනීමටයි. එහි දී දහස් ගණන් මිනිස්සු මියගියහ. ලේ වැකි අඟපසඟ සහිත ඔවුන්ගේ මළ සිරුරු හැම තැනකම දකින්ට ලැබුණි. එම දර්ශනය මගින් අශෝකගේ මනෝ ධාතුව තුළ ආධ්‍යාත්මික විප්ලවයක් ජනිත කෙරුණි. යුද්ධයේ ඒ මහා ඛේදවාචකයෙන් සැලී ගිය රජු, පුද්ගලයෙකු වශයෙන් මොන තරම් වෙනසකට භාජනය විණි ද යත්, හිංසාව සපුරා බැහැර කළ ඔහුගේ සන්තානය තුළ සියලූ මිනිස් වර්ගයා කෙරෙහි වන කණගාටුවක් සහ කරුණාවක් උපන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු බුද්ධාගමට හැරුණි. සාමය සහ අවිහිංසාව පිළිබඳ ගැඹුරු පණිවිඩයක් රැුගත් එම ආගම මගින් ඒ වන විටමත් ඔහුගේ උපවිඥානය වෙළාගෙන තිබුණි. යුද්ධයේ නිස්සාරත්වය සහ ඉන් ඇති කෙරුණු විනාශය, නාස්තිය සහ අධිකතර ශෝකය, ඔහුගේ ස්මරණය තුළ අපූරුවට චිත‍්‍රණය විය. ඒ මොහොතේ පටන්, මිනිස් සත්වයා කෙරෙහි වන ආදර කරුණාව රජයන භාග්‍යමත් දේශයක් බවට සිය අධිරාජ්‍යය පත්කිරීම ඔහු සිය ආණ්ඩුවේ කේන්ද්‍රීය තේමාව කරගත් සැටි, ඉතිහාසඥයන් වාර්තා කර තිබේ. සංග‍්‍රාම විජයග‍්‍රහණය පිළිබඳ නිසැක කෞෂල්‍යය ඒ වන විට ඔහු ඔප්පු කොට තිබුණි. දැන් ඔහු පෙන්නුම් කෙළේ, සාමය තුළ තමාගේ ශ්‍රේෂ්ඨත්වයත්, උදාරත්වයත් ය. ඔහුගේ අණසක යටතේ පැවති ඒ මහා උපමහද්වීපයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඔහු දියත් කළ ව්‍යාපෘති මාලාවකින් ඒ බව සනාථ කෙරුණි.

බුද්ධාගමට ඉන් සැලසුනු සෙත වැදගත් ය. දැන් එම ආගමට අනුග‍්‍රාහක පාලකයෙකු සිටී. ලෝකයේ සෑම ආගමක්ම ව්‍යාප්ත වී ඇත්තේ, එම ආගමට හැරෙන බලගතු පාලකයෙකු හෝ රජ කෙනෙකු මාර්ගයෙනි. ක‍්‍රිස්තියානි ආගමට කොන්ස්ටන්ටයින් අධිරාජයා මෙන්ම, ඉස්ලාම දහමට මහම්මද්තුමාමත් කෙසේ වී ද, ඒ ආකාරයෙන්ම, බුද්ධාගමට අශෝක අධිරාජයා වැදගත් විය. ‘‘මිනිස් ක‍්‍රියාකාරකම් තුළ නැගෙන මහෝඝයක දී, වාසනාව ගෙනෙන ප‍්‍රවාහයක් තිබේ. ඒ ප‍්‍රවාහය මගහැරුණොත්, ඔවුන්ගේ මුළු ජීවන ගමනම, තකතිරු අළාමුළාවේ ගැලී යයි’’ යැයි කවියා කියයි. අශෝක අධිරාජයාට, කාලිංග අත්දැකීම, ඒ මහා ප‍්‍රවාහය විය. සම්ප‍්‍රදායික පාලකයන් අරක්ගෙන සිටි චතුරශ‍්‍රයෙන් ඉවතට ආණ්ඩුකරණය රැුගෙන ආ ඔහු, මුළුමණින්ම අළුත් සහ අපූර්ව ආණ්ඩු මාදිලියක් තැනුවේය. සෑම කාලයටම අදාළ, වයෝපූර්ණ සහ අසහාය ඓතිහාසික යෝධයෙකු බවට ඔහුව පත්කෙළේ එයයි. එවක් පටන්, අශෝක අධිරාජයා පිළිබඳ ඉතිහාසඥයන්ගේ වර්ණනා අපමණවත් ලියැවී තිබේ. ‘‘ලෝකයේ කෙටි ඉතිහාසය’’ නැමති සිය ග‍්‍රන්ථයේ එච්. ජී. වේල්ස් මෙසේ ලියයි: ‘‘ලෝක ඉතිහාසයේ දසදහස් ගණන් වන කුළුණු මධ්‍යයේ අශෝකගේ නාමය විරාජමානයි: එය තරුවකි.’’

එවැනි වික‍්‍රමයක් අත්කර ගත් අවස්ථාවක් ඉතිහාසයේ තවත් නැත. ඉතිං, අපේම මහින්ද රාජපක්ෂගෙන් එවැන්නක් අපේක්ෂා කරන්නට නම් කෙනෙකු පිස්සෙකු විය යුතුය. එහෙත් අනිත් අතට, ත‍්‍රස්තවාදයට එරෙහි තිස් අවුරුදු යුද්ධයෙන් ලද ජයග‍්‍රහණය හරහා තිරසාර සංහිඳියාවක් සහ එක්සත් භාවයක් ගොඩනගමින්, ජනතාව සඳහා වන කාර්යක්ෂම පරිපාලනයක් සහ සමෘද්ධියක් ජනතාවට අත්කර දෙන ආණ්ඩුකරණ මාදිලියක් මහින්ද රාජපක්ෂට ස්ථාපිත කළ හැකිව තිබිණැ යි සිතා ගැනීමට කෙනෙකුට බැරි කමක් නැත. එසේ කිරීමට මහින්ද රාජපක්ෂ අසමත් වීම නිසා එම ජයග‍්‍රහණය මහා පුස්සක් බවට පත්ව, යුදකාමී බෙදුම්වාදයකට නැවත අත වැනීමකට ළංවුණි.

බලගතු මතයක්, තිරශ්චීන බලයෙන්ම නසාලීමට පුලූවන් කමක් කෙනෙකුට නැත. එය, දඟරයක් සේ, සමහර විට වඩාත් බිහිසුණු අන්දමින්, නැවත පොලා පනී. එම මතය නිෂ්ක‍්‍රීය කළ හැක්කේ සහ එහි අදාළත්වය අහෝසි කළ හැක්කේ, අව්‍යාජ සමගි ක‍්‍රියාදාමයකින් පමණි. ආධ්‍යාත්මික සහ බුද්ධිමය විභවයක් අශෝකට තිබුණි. මහින්දට එවැන්නක් නැත. වෙනස එයයි.

එවැනි ආධ්‍යාමිකතාවක කළලයක්වත් මහින්ද රාජපක්ෂට නොපැවති බව, ජයග‍්‍රහණය උත්කර්ෂයට නැංවීමට ඔහු ගත් තීරණයෙන්ම පෙන්නුම් කෙරුණි. සිදුවූ විනාශය ගැන අශෝක රජු බලවත් ශෝකයට පත්විය. මහින්ද රජුට අංශුමාත‍්‍රයක් හෝ එවැනි ශෝකයක නොවුණි. ඔහු කාහල නාදය පිම්ඹේය. රටේ අනාගතය තකා තමන් එවැන්නක් නොකළ යුතු බවට මෙලෝ වැටහීමක් නැතිව තවමත් ඒ කාහල නාදය ඔහු පතුරුවයි. ඔහුගේ පාලන කාලය තුළ ජාතික සංහිඳියාවක් අත්කර ගත නොහැකි බවට එය සාක්ෂියකි. එවැන්නක් සඳහා අද ආණ්ඩු වෙනසක් අවශ්‍ය කෙරේ.

පාලන තන්ත‍්‍රය අසමත්ව ඇත්තේ රට එක්සත් කිරීමට පමණක් නොව. අන්තවාදී වාගාලාප මගින් වෙනත් භයානක වාර්ගික අගතීන් උග‍්‍ර කොට රටේ ජාතික එක්සත් භාවය කබලෙන් ලිපට හෙලීිමටත් ආණ්ඩුව මුල් වී තිබේ. මේ දක්වා අප දැක නොතිබුණු බෞද්ධ භික්ෂුන්ගේ අශෝභන කලහකාරීත්වයකට අයාලේ යාමට ඉඩ හැර ආණ්ඩුව අහක බලාගෙන සිටීමෙන් පෙනෙන්නේ, එය ඔවුන්ගේ අනුදැනුමෙන් සිදුවන්නක් බවයි. තමන් පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවේචනයක යෙදෙන්නන්ට පවා කිසි සමාවක් නොදෙන ආණ්ඩුවක්, මේ පිරිස ගැන එසේ ඉවසීමෙන් සිටීම, එවැනි අන්තවාදී සහ අවිචාරවත් කොටස් පසුපසින් ආණ්ඩුව සිටින බවට කෙනෙකු තුළ සාධාරණ සැක උපදවන්නකි. ඒ නිසාම, ජාතික සමගිය සහ එක්සත් භාවය කෙරෙහි නියුක්ත වීමට මේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ඔප්පු කෙරේ.

ඇහැකන පෙනෙන ශ‍්‍රී ලාංකිකයන් අද දකින්නේ, කාලිංග අත්දැකීමේ ප‍්‍රතිපක්ෂ ගමන් පථයකි. ලැබූ ජයග‍්‍රහණය, තමන්ගේ බල පදනම වඩාත් ව්‍යාප්ත කර ගැනීමටත්, සුරක්ෂිත කර ගැනීමටත් පාවිච්චි කිරීම සුරුවිරු කමකි යි ආණ්ඩුව සිතුවේය. එහි මුල් පියවර වුණේ, සරත් ෆොන්සේකාව දර්ශනයෙන් ඉවත් කිරීමයි. වෙනත් පාර්ශ්වකරුවන් සමග ජයග‍්‍රහණය බෙදාහදා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නොවුණි. ඊළඟ පියවර වුණේ, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමයි. ඊළඟට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමයි. එයින් ද නොනැවතුණු ආණ්ඩුව, ඉතා විවාදාපන්න ආකාරයකින් අගවිනිසුරුවරියවත් පන්නා ගත්තේය. එහි දී එල්ල වූ විවේචන හෝ වෙනත් අදහස් උදහස් ගැන කිසි තැකීමක් ආණ්ඩුවේ ඇත්තන්ට නොවුණි.

එවැනි දඬු අඬු සියල්ල සකසා ගැනීමෙන් පසු, ආණ්ඩුව දැන් ක‍්‍රියා කරන්නේ, කිසිවකට යටත් නැති, හිතුමතේ ඕනෑම දෙයක් කළ හැකි රටාවකිනි. ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය රැුස්වෙන අවස්ථාවේ දී පවා, රටේ මානව හිමිකම් උල්ලංඝණයන් දෛනික මට්ටමකින් සිදුවෙයි. දැවැන්ත ප‍්‍රාග්ධන ව්‍යාපෘති, කිසි පාරදෘෂ්‍ය භාවයකින් තොරව ක‍්‍රියාත්මක කෙරේ. මහාමාර්ග ව්‍යාපෘතිවලින් රටට යම් සෙතක් ඇතත්, වෙනත් ව්‍යාපෘති බොහොමයක් සුදු අලින් ය. ආණ්ඩුවේ  දූෂිත දේශපාලඥයන් කොන්ත‍්‍රාත්කරුවන්ට ලෝහ, වැලි ආදිය සැපයීමේ ක‍්‍රියාවලියක් තුළ, පර්යන්ත සැපයුම් අංශයේදී  දූෂණය බෙදී යන සැටි, දිවයින පුවත්පත පසුගිය දවසක වාර්තා කොට තිබුණි. මේ දේශපාලඥයන්ගේ බිය ගැන්වීම්වලට යටත්ව කොන්ත‍්‍රාත්කරුවන්ට වැඩි කිරීමට සිදුව ඇති සැටි පැහැදිළි කර තිබුණු එම වාර්තාව, බල තන්ත‍්‍රයේ ඉහළ සිට පහළට ජරාව කෑම මනාව විස්තර කොට තිබුණි. මේ  දූෂණය පිළිබඳ සාධකයත් සමස්ත වියදමට ඇතුළත් වන හෙයින්, ඒ සියලූ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන්නේ මහජනතාවට අසීමිත බරක් පටවමිනි. මේ සැපයුම් වළල්ල තුළ කූට ජාවාරමට ඉඩ දී තිබීම හරහා, අවශ්‍ය වූ විටෙක සහාය ලබාගත හැකි දේශපාලනික ආධාරකරුවන් නඩයක් ද ආණ්ඩුව සපයා ගන්නේ යැයි මම අනුමාන කරමි.

දැවැන්ත කැබිනට් මණ්ඩලයේ බොහොමයක් දෙනා මොනම කාර්යශූරත්වයක්වත් ඇත්තන් නොවේ. අමාත්‍යාංශ තුළ මොනම ප‍්‍රතිපත්ති සංවර්ධනයක්වත් සිදුවන්නේ නැත. ¥ෂණය ආයතනගත කෙරී ඇති අතර අපචාර එමටයි. මහා මත්ද්‍රව්‍ය ජාවාරමකට අගමැතිවරයාගේ කාර්යාලය පවා සම්බන්ධ වී ඇත. ඒවා සියල්ල දැන් යට ගසා තිබේ.

ඩයස්පෝරා ශ‍්‍රී ලාංකිකයන් වන අපි ශ‍්‍රී ලංකාවෙන් එන බොහෝ ටෙලි නාට්‍ය නරඹමු. තණ්හාධික බව,  දූෂණය සහ නග්න අවස්ථාවාදය එම චරිත තුළ නිතර නිරූපණය කෙරේ. කිසිවෙකු විශ්වාස කළ නොහැක. අවංක මිනිසා හැම විටකම මෝඩයෙකු වෙයි. අධ්‍යාපනය හෑල්ලූ කෙරෙයි. මේ වින්දන කලාවන්ගෙන් නිරූපණය කෙරෙන්නේ සමාජ වටිනාකම් වන හෙයින්, ශ‍්‍රී ලංකාවේ සමාජය පරිවර්තනය වෙමින් ඇති සැටි මේ හරහා නියෝජනය වන්නේ යැයි කෙනෙකුට සිතාගත හැකිය. පැහැදිළිවම, ඉච්ඡුා භංගත්වයක හෝ සම්මත විරෝධී භාවයකට අපේ සමාජය යට වෙමින් සිටින බව පෙනෙන්ට තිබේ.

ඒ අයුරින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට, ඒ මහා කාලිංග නිමේෂය අතහැරී ඇත. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියට ලංකාවේ ආණ්ඩුව කුදලාගෙන යනු ලැබීම, එය සංකේතවත් කරයි. ඒ වූ කලී, ඓතිහාසික කාලිංග නිමේෂයේ සපුරා ප‍්‍රතිපක්ෂයයි.
අප වැනි යටහත් පහත් පුරවැසියන්ට කළ හැක්කේ, සිදුවිය හැකිව තිබූ දෑ ගැන මෙසේ ආවර්ජනා කිරීම පමණි.

*2014 මාර්තු 22 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ How Mahinda Rajapaksa Lost His Kalinga Moment නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page