28 October, 2020

Blog

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම: ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රිස්මයෙන් එබී බැලීමක්

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ශ‍්‍රී ලංකාව අද හැඳින්විය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් ද, ඒකාධිපති රටක් වශයෙන් ද යන්න අරභයා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළ වුණු ඇතැම් අදහස් ඕනෑ කමින් කියැවිමි.

සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා ඔස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණය පැවැත්වෙන තත්වය තුළ, ඔස්ටේ‍්‍රලියාව වාසස්ථාන කරගත් ශ‍්‍රී ලාංකිකයන් වන අප ඉහත කී සංවාදයට සහභාගී වීම, කදිම අවස්ථාවක් ප‍්‍රයෝජනයට ගැනීමකි. මැතිවරණ කාලයක රටක හැසිරීම, එරටේ පෘථුල දේශපාලන සංස්කෘතියේ වරුණ කියාපාන අගනා කැඩපතකි. ඔස්ටේ‍්‍රලියාවේ පවතින තත්වය දිහා බලන්න. එවිට, ඒ සමග සන්සන්දනය කරමින්, ලංකාවේ තත්වය පිළිබඳ විනිශ්චයකට එළැඹිය හැකි වනු ඇත.

අද (7) ඔස්ටේ‍්‍රලියාවේ මැතිවරණ දිනයයි. ගත වූ සති හයක කාලය තුළ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වුණි. එහි ඉදිරියෙන් සිටි ප‍්‍රධාන ප‍්‍රතිමල්ලවයන් වූයේ, පාලන බලය හොබවන ඔස්ටේ‍්‍රලියානු කම්කරු පක්ෂයත්, ලිබරල් පක්ෂයේ සහ ජාතික පක්ෂයේ විපක්ෂ සන්ධානයත් ය. එනම්, විපක්ෂයේ ටෝනි ඇබොට්ට එරෙහිව අගමැති කෙවින් රුඞ් ය. (විපක්ෂයේ ටෝනි ඇබොට් මේ මැතිවරණයෙන් ජයගත්තේය- පරිවර්තක)

මෙරටේ පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාර, විනීත භාවයෙන්, යහපත් කල්ක‍්‍රියාවෙන් සහ නීතියේ දැඩි ආධිපත්‍යයෙන් ගැටගැසී තිබේ. උත්තරීතර වන්නේ නීතියම මිස, පාලක පක්ෂයක කිසි ජගතෙකු නොවේ. අධිකරණය ස්වාධීන වන අතර, එය ඉදිරියට පැමිණවෙන ඕනෑම ආරාවුලක්, සාධාරණව සහ අපක්ෂපාතීව විසඳීමට එය සැදී පැහැදී සිටින්නේය. ජනතාව අධිකරණය කෙරෙහි විශ්වාසය තබති. මන්ද යත්, දේශපාලන බලයට යටත් නැති දීර්ඝ කාලීනව ස්ථාපිත කෙරුණු අධීනත්වයක් ඊට හිමිවන බැවිනි. මේ දක්වා සිටි දේශපාලඥයෝ ඒ අධිකරණ ස්වාධීන්තවයට සහාය පෑහ. විනිසුරන්ව පාගන්ට හදන ඕනෑම දේශපාලඥයෙකු දෙස නෝක්කාඩුවෙන් බැලීමට මෙරටේ ජනතාවට පුහුණුවක් තිබේ. නීතියේ ආධිපත්‍යය අකුරට ක‍්‍රියාත්මක කිරීමේ සමස්ත ප‍්‍රතිඵලය වී ඇත්තේ, සාමය සහ මහජන විශ්වාසය ස්ථාපිත වීමයි.

මෙරටේ මැතිවරණ ව්‍යාපාර සාමකාමී ය: මිනිමැරුම් නැත, පැහැර ගැනීම් නැත, දේශපාලන අල්ලස් නැත, පූජකයන් හෝ හාමුදුරුවරුන් නැත, පිරිත් නූල් නැත: ආගමික යාතිකා නැත, නක්ෂස්ත‍්‍රකරුවන් නැත, සාමයට ලැදි ප‍්‍රදේශවාසීන්ට කන්කරච්චලයක් වන සහ එකිනොකට මඩ ගසා ගන්නා ශබ්ද විකාශන යන්ත‍්‍ර නැත. මහජන රැුස්වීම් නැත. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය බොහෝ සෙයින් කෙරෙන්නේ, රූපවාහිනිය සහ වෙනත් මාධ්‍යන් හරහා ය. ප‍්‍රධාන නායකයන් දෙදෙනා අතර, ප‍්‍රතිපත්ති පිළිබඳ රූපවාහිනී විවාදයක් පැවැත්වුණි. එහෙත් බිත්ති ගානේ පෝස්ටර් අලවා තිබුණේ නැත. එවැනි ප‍්‍රචාරක දැන්වීම් දැකිය හැක්කේ, වෙළඳ මධ්‍යස්ථානවල පිළිවෙලකට ප‍්‍රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරුවල පමණි. කිසිවෙකුගේ පෝස්ටරයක් තවත් කෙනෙකු ඉරා දමන්නේවත්, විකෘති කරන්නේවත් නැත. දේශපාලන නායකයන් විවිධ වෙළඳ මධ්‍යස්ථානවල සහ ප‍්‍රජා මධ්‍යස්ථානවල ජනතාව සමග අදහස් හුවමාරු කරගනු දැකිය හැකිය. සෑම සඳුදාවකම, කිසි පක්ෂපාතීත්වයකින් තොර ජනමත විමසුම් පවත්වා ඒවා ප‍්‍රසිද්ධ කරනු ලැබේ. ඒවා හරියට, කාලගුණ අනාවැකි මෙනි.

පක්ෂ නායකයෝ සහ මැතිවරණ ව්‍යාපාර සංවිධායකවරු එම අදහස්වලට අනුගත වන්ට තැත් කරති. වරක් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අපේක්ෂාවෙන් සිටි ඇතැමෙක් තමන් පිළිබඳ ඇතැම් අපකීර්තිමත් චෝදනා නැගෙන්ට වූ විට මැතිවරණයේ අතරමග දී තරගයෙන් ඉවත්වූහ. එවැනි එක් අපේක්ෂකයෙකු ආබාධිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් කළ එක් අප‍්‍රසන්න ප‍්‍රකාශයක් හේතුකොටගෙන හටගත් ආන්දෝලනය තුළ, වඩා සුදුස්සෙකුට එම ස්ථානය පවරමින් තරගයෙන් ඉල්ලා අස්විය.

අද වැනි මැතිවරණ දවසක ඡන්ද පෙට්ටි අතුරුදහන් නොවන බවට විශ්වාසයක් මේ රටේ ජනතාවට තිබේ. මොනව විදිහකවත් ‘කම්පියුටර් ජිල්මාට්වලට’ ඉඩක් නැති බවත් ඔවුහූ දනිති. මන්ද යත්, මැතිවරණය නිදහස් එකක් වන බැවිනි.

කෙසේ වෙතත්, මේ රටේ සියල්ල සර්ව සම්පූර්ණ යැයි ගැනීමට තරම් කෙනෙකු නෝන්ජල් විය යුතු නැත. මේ ක‍්‍රියාවලීන් අසම්පූර්ණ විය හැකිය. හේතුව, ඒවා මෙහෙයවන ගැහැනුන් සහ පිරිමින් කිසි දවසක සර්ව සම්පූර්ණ නැති නිසා ය. මාධ්‍ය තුළ අගතිගාමී පක්ෂපාතීත්වයන් ද දක්නට ලැබේ. එහෙත් ප‍්‍රකාශනයේ නිදහස ඉල්ලා සිටින කිසිවෙකු හෝ කිසි පක්ෂයක් මාධ්‍යයෙන් බැහැර කෙරෙන්නේ නැත. වෙනත් පාර්ශ්වවල අදහස්වලට අවහිර කරන සහ ප‍්‍රකාශනයේ ඒකාධිකාරීත්වයක් දරණ ආණ්ඩුවේ මාධ්‍ය ආයතන මෙහි නැත. මාධ්‍යවේදීන් බලගතු දේශපාලඥයන් ඉදිරියේ දෙකට තුනට නැමෙන දර්ශන මෙහි දකින්නට නැත. මේ සංස්කෘතිය තුළ දේශපාලඥයන් මහජනයාගේ වෛරයට පාත‍්‍ර වෙතොත් ඒ ඉතා කලාතුරකිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආඥාදායකත්වය පිළිබඳ සංකල්ප මූලික වශයෙන් දනවන්නේ සාපේක්ෂ අරුත් ය. ඒවා ගැන විනිශ්චයන්ට එළැඹිම සඳහා ඒවා ස්ථානගත කළ යුත්තේ පුළුල් පේ‍්‍රක්ෂාවලියක් තුළයි. ඒ කිසිවක් පරම අරුත් දනවන ප‍්‍රපංචයන් නොවේ. කිසි සමාජයකට, පරම පූජණීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ප‍්‍රවිශ්ඨ වීමේ හැකියාවක් නැත. එසේ වෙතත්, පාලකයන් විසින් රටක් පාලනය කරනු ලබන මාදිලිය ඉහත කී පේ‍්‍රක්ෂාවලියේ අගතිගාමි සහ භයානක අන්තයන් වෙත සේන්දු වන විට, ඒ ගැන රටේ පුරවැසියෝ විමසිලිමත් විය යුත්තෝය. ඔස්ටේ‍්‍රලියාවේ පවතින ඉහත සඳහන් තත්වය දෙස බැලීමෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රසන්න වටපිටාවෙන් තමන් කොතෙක් ඈත් වී ඇත් ද යන්න ශ‍්‍රී ලාංකිකයන්ට දැනගත හැකි වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ශ‍්‍රී ලංකාව සුරක්ෂිත ස්ථානයක් වන බවට වගබලා ගැනීම ශ‍්‍රී ලංකාවේ නායකයන්ට පැවරෙන වගකීමකි. එවැනි නායකයෝ අතීතයේ සිටියහ. ඞී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඞී. බී. විජේතුංග වැනි නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් ප‍්‍රකාශනය සහ සමාජ වෙනසක් සඳහා වන වටපිටාවක් සැකසීමට හැම උත්සාහයක්ම ගෙන තිබුණි.

ගොඩනැගෙමින් තිබූ ඒ මහා සම්ප‍්‍රදාය, අවාසනාවකට මෙන්, පසු කලෙක විනාශයට පත්වුණි. හේතුව සරළ ය: ඔවුන්ගෙන් පසු බලයට පත් අනුප‍්‍රාප්තිකයෝ, රටේ අභිවෘද්ධියට පෙර තමන්ගේ අභිවෘද්ධිය කරට ගත්හ. (වත්මන් නායකයා එහි දී කැපී පෙනේ). පුද්ගල මමංකාරයෙන් ඔවුන්ගේ හිස් ඉදිමුණි. මේ අය සිතුවේ සහ සිතන්නේ, ජනතා වරමකින් තාවකාලිකව තමන්ට පවරන භාරකාරත්වය, තමන්ට රජ විය හැකි පෞද්ගලික බූදලයක් කියා ය. නායකයන් ඡුන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක‍්‍රියාවලිය තුළ නිසඟයෙන් පවතින, ගම්‍යමාන විශ්වාසයක් පිළිබඳ මූලධර්මය, නීතියේ පාරිභාෂික ව්‍යවහාරය තුළ කෙනෙකුට හමු වෙයි. ඒ ගම්‍යමාන විශ්වාසය තුළ අන්තර්ගත වන්නේ, ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමට නායකයා සමත් වන්නේය යන්නත්, සකල කළමනාවලදී ඔහු/ඇය සාධාරණ සහ යුක්ති සහගත විය යුතුය යන්නත් ය. නායකයෙකුගේ එවැනි ආදර්ශයක්, මුලින්ම ඇමතිවරුන්ට ද, අනතුරුව පළාත්බද ධූරාවලීන් හරහා ගම්බද මට්ටමට ද ව්‍යාප්ත වන්නේය.

*2013 සැප්තැම්බර් 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  The State Of Lankan Democracy: A Look Through The Australian Prism නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.