23 June, 2021

Blog

රජයේ අධ්‍යාපන පද්ධතියේ මුළාව විනිවිදීම

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි මම ඇසුවෙමි. විවිධ විෂයයන්ට අදාළව පාසලෙන් දෙන ලද දැනුම නිෂ්ඵල බව එයින් අති බහුතරයකගේ මතය විය. පාසල් පොතපතින් උගන්වන දේවල්, පාසලෙන් පිට බාහිර ලෝකයට අදාළ කිරීමේ ප‍්‍රයත්නයක් ගුරුවරුන්ගේ පැත්තෙන් නොගැනෙන බවත්, ගැනුනත්, ඒ ඉතා අල්ප වශයෙන් බවත් ඉන් බොහෝ දෙනෙක් කීහ.

මේ වනාහී, පාඨමාලා සංවර්ධනය සහ ශික්ෂණ ශාස්ත‍්‍රය පිළිබඳ විද්වත් වාදවිවාද ගැන පළපුරුද්දක් නැති ශිෂ්‍ය පිරිසක් නිසා, ඔවුන්ගේ හැඟීම්, සිය පාසල් දිවිය තුළ ඔවුන් ලද සැබෑ අත්දැකීම්වල අව්‍යාජ පිළිබිඹුවකැ යි ගත හැකිය. පාසල් අධ්‍යාපන හිනිමගේ ඉහළටම ඔවුන් පැමිණ සිටියත්, එම ක‍්‍රමය ගැන ඔවුන්ගේ විශ්වාසය එසේ බිඳී තිබීම මෙහි දී විශේෂ වැදගත්කමක් ගනී. ඔවුන්ගේ කලකිරීම එසේ නම්, ඔවුන් තරම් අධ්‍යාපනයේ ඉහළට නොපැමිණි ඉතිරි ශිෂ්‍ය ප‍්‍රජාව තුළ පැවතිය හැකි හැඟීම කෙනෙකුට හිතාගත හැකිය.

පාසල් අධ්‍යාපනය, සැබෑ ලෝකයෙන් වියෝ වී තිබීම තුළ ප‍්‍රශ්න ගණනාවක් මතුකෙරේ. මුලින්ම, බොහෝ විට ගුරුවරුන් කියා දෙන දේවල් ලියාගෙන කටපාඩම් කිරීම සහ තරගකාරී විභාගවලින් සමත් වීමට, හුදෙක් එම මතකය පාවිච්චි කිරීම මෙහි දී සිදුවෙයි. ඊළඟට, උසස්ම ප‍්‍රතිඵල ලබාගන්නා අතලොස්සක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව රටේ ජනාධිපතිවරයාවත් බැහැදැකීමට එක්කරගෙන ගොස්, ඒ ගැන රටක් වශයෙන් මොන තරම් ආඩම්බර වන්නේ දැ යි පෙන්වමින් උත්කර්ෂයට නැංවෙයි. දෙවැනුව, සංකල්පීය දැනුම සහ තථ්‍ය දැනුම අතර සහසම්බන්ධයක් ශිෂ්‍යයන්ට නොවැටහෙයි. අනිත් පැත්තෙන්, සැබෑ ජීවන යථාව සමග ඒවායේ අදාළත්වයක් නොපෙනෙයි. ශාක වර්ධනය, සත්ව චර්යාව, වලාකුළු නිර්මාණය වැනි කාරණයක දී වේවා, අන්තර්-ප‍්‍රජා සම්බන්ධතා වැනි කාරණයක දී වේවා, තත්වය එයයි. තෙවැනුව, ඉගෙනගන්නා දේවල් තුළ ප‍්‍රායෝගික දිසානතියක් නැති හෙයින්, එම දැනුමේ ප‍්‍රායෝගික වටිනාකමක් ශිෂ්‍යයා නොදකියි. අවසාන වශයෙන්, තමන්ගේ සංකල්පීය සහ දත්තමය දැනුම, අදාළ ක්ෂේත‍්‍රවල නව ශක්‍යතා පිරික්සීම සඳහා ප‍්‍රායෝගික භාවිතයේ යෙදවීමේ අවස්ථාවක් ඔවුන්ට නොලැබේ. කෘෂිකර්මයේ දී වේවා, කසළ කළමනාකරණයේ දී වේවා, බලශක්ති නිෂ්පාදනයේ දී හෝ නූතන සන්නිවේදනයේ දී වේවා, තත්වය එයයි.

ස්මරණ ශක්තිය පරීක්ෂාවට ලක්කරන තරගකාරී විභාග සඳහාම බොහෝ විට සකස් වූ පාසල් අධ්‍යාපන ක‍්‍රමයක් තුළ තවත් නිෂේධනීය පැති තිබේ. ශිෂ්‍යයන් සහ දෙමාපියන් වැඩි උනන්දුවක් දක්වන්නේ විභාග ප‍්‍රතිඵල ගැන නිසා ඔවුන්ට පෞද්ගලික උපකාරක පංති මත පරායත්ත වීමට සිදුවෙයි. ඒ හේතුවෙන් ශිෂ්‍යාට අවශ්‍ය කරන විනෝද ක‍්‍රියා, පරිසර ගවේෂණ, ප‍්‍රජා ක‍්‍රියාකාරකම්, අමතර පොතපත කියැවීම, ක‍්‍රීඩා සහ ගෙදරදොර සමාජ සහ ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා ඇති කාලය අල්ප වෙයි. ඒ සියල්ල, පොෟද්ගලික උපකාරක පංති වෙනුවෙන් බොහෝ විට දැරීමට සිදුවන ඉසිලිය නොහැකි වියදමට අමතරව ය. හිටපු ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන්ගෙන් සමහරෙකු අද රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරුවලට පත්කරනු ලැබ ඇත්තේ, සමහර විට, අහම්බයකින් නොවිය හැකිය. දෙවැනුව, විභාග ඉලක්ක කරගත් පාසල් අධ්‍යාපනය නිසා, වෙනත් බොහෝ වැදගත් නිපුණතා සහ දක්ෂතා අත්කර ගැනීමෙන් සිසුන්ව වළකයි. සදාචාර සහ පෞරුෂ සංවර්ධනය, දෙවැනි සහ තෙවැනි භාෂාවක් උගැනීම, අන්තර්-පුද්ගල සහ සංවිධානමය නිපුණතා සංවර්ධනය, කෙනෙකු පි‍්‍රය කරන ක්ෂේත‍්‍රයක් තුළ ලබන පුහුණුව සහ ප‍්‍රජා ක‍්‍රියාකාරකම්වල නිරත වීම වැනි දේවල් මොන තරම් වැදගත් ද යත්, අධ්‍යාපනික විෂයයන්ට ලැබෙන අවධානයට සමාන අවධානයක් ඒවාට ද ලැබිය යුතුය. පාසලෙන් පසු ලෝකයටත්, ප‍්‍රජා ජීවිතයටත් පිවිසෙන ළමා සහ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ දේවල් ඉතා වැදගත් වන්නේය.

ඉහත සඳහන් බරපතල ඌනතා, රටේ බොහෝ සමාජ සහ ආර්ථික ප‍්‍රශ්නවලට තුඩුදී තිබේ. අධ්‍යාපන ක‍්‍රමය තුළින් නිෂ්පාදනය කෙරෙන ගුණාත්මක වශයෙන් බාල ශ‍්‍රමය, රටේ තරුණ ශ‍්‍රමයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට එරෙහිව ඇති ප‍්‍රධාන බාධකයකි. අපේ ආයතනවලින් බොහොමයක ගුණාත්මක භාවය පහළ අඩියක තිබෙන්නේත්, ඒවා කාර්යක්ෂම නොවන්නේත්, ඒවාට උරාගන්නා ශ‍්‍රම බලකායේ පහළ ගුණාත්මක භාවය නිසා ය. විධිමත් අධ්‍යාපනයේ නිෂ්ඵල භාවය වටහා ගන්නා බොහෝ පිරිමි ළමෝ මගදීම හැලෙති. විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන 142,000 ක් ශිෂ්‍ය ප‍්‍රජාවෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් ගැහැනු ය. බොහෝ තරුණයෝ පාසල් හැර ගොස්, ත‍්‍රීවීලර් රියැදුරුන්, පදික වේදිකා වෙළඳුන් සහ නුපුහුණු සංක‍්‍රමණික කම්කරුවන් වශයෙන් රැුකියා කරති. තවත් අය දේශපාලඥයන්ගේ පස්සෙන් යති. යොවුන් වියේ පසුවන බොහොමයක් දෙනා, විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වන අන්තර්-පුද්ගල සම්බන්ධතාවල දී ප‍්‍රශ්න ඇති කරගන්නා අතර, ලිංගික අපහරණයන්, බාල වයස්කාර ගැබ් ගැනීම් සහ සියදිවි නසාගැනීම් ආදියට පැටලෙති. වෘත්තීය උපදේශන පද්ධතියක් නැති තැන, මේ නරක ප‍්‍රවණතා නතර කිරීමට පාසල් අධ්‍යාපන ක‍්‍රමයට කළ හැකි සේවය ඉතා අල්ප ය.

රටේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමේ හදිසි වැදගත්කම මතුවන්නේ එවැනි සන්දර්භයක් තුළ ය. එහෙත්, අතමිට සරු වරප‍්‍රසාදිත සුළුතරයකට, බලගතු දේශපාලඥයන්ට, ඉහළ තැන්වලට සම්බන්ධකම් ඇති නිලධාරීන්ට, පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ තමන්ගේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට කවදත් පිළිවන් කම තිබේ. මේ කණ්ඩායම්, සම්පත් බහුල පාසල්වලට තමන්ගේ දරුවන්ව ඇතුලත් කරවන අතර උපකාරක පංතිවල ද ආධාරයෙන් විභාග ඉහළින් සමත් වන බවට වගබලාගනු ලැබේ. තවත් බොහෝ දෙනා දරුවන්ව විදේශ අධ්‍යාපනයට යවනු ලැබේ. මා කතා කළ බොහෝ උපාධි අපේක්ෂකයන්ගේ මතය වන්නේ, මේ අධ්‍යාපන ක‍්‍රමය බලධාරීන් විසින් ප‍්‍රතිසංවිධානය නොකරන්නේ, එයින් පීඩාවට පත්වන්නේ රටත්, රටේ වරප‍්‍රසාද අහිමි පීඩිතයන් බහුතරයත් නිසා බවයි. එය, වරප‍්‍රසාදිත බලපුලූවන්කාරයන්ට බලපාන ප‍්‍රශ්නයක් නොවේ. අනිත් අතට, අධ්‍යාපනය ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා, අද වැය කරනවාට වඩා, අමතර විශාල සම්පත් ප‍්‍රමාණයක් අවශ්‍ය කෙරේ. පාසල් උපකරණ මිළ දී ගැනීම, පංති කාමරයෙන් සහ පාසලෙන් පිටස්තරව කෙරෙන අධ්‍යාපන කටයුතු, ගුරුවරුන් පුහුණු කිරීම, අධ්‍යාපන ක‍්‍රියාකාරකම්වලට දායක වීම සඳහා අධ්‍යාපන විශේෂඥයන්ට ආරාධනා කිරීම ආදියට මුදල් අවශ්‍ය කෙරේ. අනිත් පැත්තෙන්, වර්තමානයේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 යාන්තමට ප‍්‍රමාණවත් වන්නේ, මේ දෝෂ සහගත, අකාර්යක්ෂම සහ අසමාන අධ්‍යාපන ක‍්‍රමය පවත්වාගෙන යාමට පමණි. පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත‍්‍රය මුළුමණින්ම පාහේ අතහැර දමා තිබීම ගැන කතා කිරීමත් පලක් නැත.

අවසාන වශයෙන්, අධ්‍යාපනය යනු සමාජයේ පවතින සෑම ලෙඩකටම කෝකටත් තෛලයක් නොවන බව කිව යුතුය. එනිසා, අධ්‍යාපනය වටා පවතින පුළුල් සන්දර්භයත් සැලකිල්ලට ගැනීම වැදගත් ය. රටේ සමස්ත ආර්ථික සහ සමාජ සැලසුම් සම්පාදනයකින් පරිබාහිරව අධ්‍යාපනය සැලසුම් කළ නොහේ. ඉහතින් සඳහන් කළ ආකාරයේ අධ්‍යාපනික ප‍්‍රතිසංවිධාන මේ මොහොතේ අත්‍යවශ්‍ය වන නමුත්, එවැනි ප‍්‍රතිසංවිධාන සාර්ථක විය හැක්කේ, රටේ සංවර්ධනය සහ මහජන සුභසිද්ධිය සඳහා වන සමස්ත ජාතික සැලසුම් පද්ධතියක කොටසක් වශයෙන් ඒවා ක‍්‍රියාත්මක වන්නේ නම් පමණි. එසේ වෙතත්, දේශපාලන සැකැස්මේ ප‍්‍රමුඛතා ලැයිස්තුව තුළ සැලසුම් සම්පාදනය පස්සටම දැමෙන වර්තමාන සන්දර්භය තුළ වුවත්, රටේ අධ්‍යාපනය අඩු වශයෙන් ඇතුළතින්වත් ප‍්‍රතිසංස්කරණය විය යුතුව තිබේ: තමන්ගේ ජීවිතවලට අදාළත්වයක් නැති අධ්‍යාපන ක‍්‍රමයක් සමග එක දිගටම ජීවත් වීමට තරුණ පරම්පරාවට නොහැකි බැවිනි.

එය හඳුනාගෙන සිටින නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමතිවරයා, එම පළාතේ අධ්‍යාපන පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කොට තිබේ. අනිත් පළාත් සභා ද කළ යුත්තේ, කොළඹින් නායකත්වය ලැබෙන තෙක් බලා නොසිට, ඒ ප‍්‍රයත්නයට උර දීමයි.

*2014 පෙබරවාරි 24 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Disillusionment with the Public Education System in Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    There is the opportunity for intrapreneuring teachers to start tuition classes to teach about the world beyond what is included in the school curriculum.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.