23 October, 2017

ශ‍්‍රී ලංකාව: දෘෂ්ටියේ පටලැවිල්ලක්?

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන් විකෘති වී ඇති අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින බොහෝ සමාජ ප‍්‍රශ්න පල්වෙමින් තිබේ. ප‍්‍රශස්ත මට්ටමින් ක‍්‍රියාත්මක නොවන දේශපාලන යන්ත‍්‍රයට, කොන් වුණු ජන කොටස් සහ ප‍්‍රගතිශීලී බලවේග වෙතින් ඉදිරිපත් වෙන මොනම තාර්කික සහ සාධාරණ ඉල්ලීමක්වත් ග‍්‍රහණය කර ගැනෙන ප‍්‍රමුක ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමේ හැකියාවක් නැති සෙයක් දිස් වෙයි. මේ තත්වය උදා වී ඇත්තේ, ආණ්ඩු වෙනසින් අවුරුදු දෙකකටත් ආසන්න කාලයක් ගත වෙමින් තිබියදී ය. 2015 මැතිවරණවලින් පසුව රටේ බොහෝ දෙනා, රටේ කටයුතු කළමනාකරණයේ කැපී පෙනෙන වෙනසක් අපේක්ෂා කළ බව නොරහසකි. එහෙත්, ආරම්භයේ යම් ප‍්‍රගතිගාමී පියවර කිහිපයක් ගැනුණේ වී නමුත්, මෑත කාලීන සිදුවීම් බොහෝ දෙනාගේ අපේක්ෂා බිඳ දමා ඇත.

කලින් පැවති රජය යටතේ පැවති ආර්ථික තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය විද්වතුන් සහ ආර්ථික විද්‍යාඥයන්ගේ නිර්දය විවේචනයට ලක්විය. එය දේශපාලනික අරමුණු පෙරදැරිව, දේශීය සහ විදේශීය පාර්ශ්වකරුවන් අතලොස්සකගේ පටු පරමාර්ථ ඔස්සේ ගමන් කළ ක‍්‍රියාවලියක් බව එම විවේචනය තුළ කියැවුණි. ප‍්‍රවීණ විශේෂඥයන්ගේ ග‍්‍රහණය යටතේ පැවති, බොහෝ කලකට පෙර අහෝසි වී තිබූ ජාතික සැලසුම් මණ්ඩලයට ආදේශනයක් වශයෙන් මීට දශක දෙකකට පමණ ඉහතදී පිහිටැවුණු ‘ආර්ථික සංවර්ධන මණ්ඩලය’ අකර්මණ්‍ය වී තිබුණි. එහෙත් අද අප සිටින්නේ කොතැනද? අද ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදනය මොන තරම් පාරදෘශ්‍ය ද? ආර්ථික තීරණ ගැනීමේ සංකීර්ණ ක‍්‍රියාවලියට සහභාගී වන වෘත්තීය ආර්ථික විද්‍යාඥයන් සහ වෙනත් විශේෂඥයන් කවුරුන්ද? අද රටේ ආර්ථික යහපාලනයක් තිබේද? මේ ප‍්‍රශ්නවලට දිය හැකි පිළිතුරු නීරස විය හැකිය.

ආණ්ඩුවේ අළුත් ආර්ථික ප‍්‍රතිපත්තිවලින් තමන්ට ලැබෙන ප‍්‍රතිලාභ කවරේදැයි බලාගෙන සිටින, උගත් එහෙත් අවවරප‍්‍රසාදිත තරුණයන්, දිළිඳු ග‍්‍රාමීය ගොවීන් සහ අනියම් සේවානියුක්තිකයන් වැනි අතමිට සරු නැති පිරිස බොහෝ ය. අවශ්‍ය කරන්නේ, ආර්ථිකයේ බහු-විධ ගැටළුවලට ආමන්ත‍්‍රණය කළ හැකි බහු-විධ එළැඹුමකි. එහෙත් වඩාත් නානාංගීකරණය වූ සහ ඵලදායී වූ ඉදිරි දිසාවකට ආර්ථිකය මෙහෙයවිය හැකි ප‍්‍රධාන ප‍්‍රතිපත්ති තල්ලූවක් පෙනෙන්ට නැත. ඊටත් වඩා, නාස්තිකාරී සහ දැරිය නොහැකි ආකාරයේ පෞද්ගලික පරිභෝජනය අඩු කෙරෙන සහ ඇති-නැති පරතරය පටු කෙරෙන උපායමාර්ග ඇති බවක්ද නොපෙනේ. ශ‍්‍රමය පිළිබඳ ගැටළුකාරී ප‍්‍රශ්නය තවමත් නොවිසඳී පවතී. බොහෝ සේවකයන්ට පේන තෙක් මානයක බලාපොරොත්තුවක් රඳවා ගත හැකි ඉඩක් ඇති බවක් නොපෙනේ. කෘෂිකර්මය ආකර්ශනීය නොවන තත්වයක දිගටම පවතින අතර, ඉඩම් අක්කර දහස් ගණනක් පුරන් වෙන්නට හැර තිබේ. අඩු වශයෙන් එවැනි ඉඩම් විකල්ප භෝග වගාවන් සඳහාවත් යෙදැවීමේ උත්හාසයක් පෙනෙන්ට තිබේද?

ශ‍්‍රී ලාංකේය සමාජය, වාර්ගික, ආගමික සහ දෘෂ්ටිවාදී පදනම් මත බරපතලව බෙදී ගොස් ඇත. එම බෙදීම් තවත් උත්සන්න කිරීමට, දේශපාලනය, අධ්‍යාපනය සහ මාධ්‍ය උර දී ඇති බවක් පෙනේ. එක දිගටම නොවිසඳී පවතින සමාජ විෂමතා එම තත්වය තවත් නරක් කොට ඇත්තේය. වෙනත් ප‍්‍රජාවක් උසුලන සෞභාග්‍යයක් තමන්ගේ දුර්භාග්‍යයේ හේතුවක් වශයෙන් බොහෝ දෙනා සිතති. සම්පත් සඳහා වන තරගය, එය ඉඩම් වෙනුවෙන් වේවා, මුදල් වෙනුවෙන් හෝ රැුකියා අවස්ථා වෙනුවෙන් වේවා සැලකෙන්නේ, ශූන්‍ය-ඓක්‍යය ක‍්‍රීඩාවක් හෙවත් එකෙකුගේ ලාභය වෙනකෙකුගේ අලාභයක් වශයෙන් ගැනෙන තරගයක් වශයෙනි. දේශපාලනික අනුග‍්‍රහයන් සහ ඥාති සංග‍්‍රහය ඇතුළු පෞද්ගලික සම්බන්ධතා මත මහජන සම්පත් බෙදාහදා ගැනීමේ දීර්ඝ කාලීන පුරුද්දත්, අඩු වශයෙන් එක්තරා දුරකටවත්, මීට හේතු වී ඇතැයි කිව හැකිය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ජනප‍්‍රියවාදී සහ අන්ත ජාතිකවාදී බලවේග විසින් දීර්ඝ කාලයක් තිස්සේ හසුරුවනු ලැබීම නිසා, විටින් විට බලයට පත් සෑම ආණ්ඩුවක්ම බොහෝ විට ජනප‍්‍රිය සහ ජාතිකවාදී රැුල්ලට ගසාගෙන ගොස් තිබේ. එය, අතිශය වැදගත් ආර්ථික, සමාජ සහ දේශපාලනික ප‍්‍රශ්නවලට අදාල ප‍්‍රතිපත්ති සම්පාදනයේදීත් අපට දැක ගත හැකිය. එවැනි තීරණවලින් සමහරක්, කාලයක් තිස්සේ විශාල පිරිසකගේ ජීවිතවලට බලපා තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇතැම්හු රට හැර ගියහ. විශේෂඥ දැනුමැති දහස් ගණන් මිනිසුන් රටට අහිමි විය. එවැනි තත්වයක් නිසා ඇති වූ මෑත කාලීන අබග්ගයෙන් ගොඩ ඒමට තවමත් අපට පුළුවන් වී නැත.

විවිධ මහජන ප‍්‍රතිපත්තිවලින් ඇති විය හැකි පලවිපාක ගැන වැඩි අවබෝධයක් නැති ජනතාව දැනුම්වත් කිරීම ඒ ගැන දැනුම් තේරුම් ඇති අයවළුන්ගේ වගකීමකි. එවිට, වඩාත් තාර්කික සහ වැදගත් ප‍්‍රතිපත්තිවලට එම ජනතාවගේ අනුකුලත්වය ලබා ගත හැකි වනු ඇත. එසේ වීමට, මාධ්‍ය තුළ කෙරෙන සංවාදයන්හිදී එකිනෙක ප‍්‍රතිපත්ති පිළිබඳ විවිධ අදහස් උදහස් ඉදිරිපත් කිරීම සහ අදාළ තොරතුරු නිවැරදිව සම්පේ‍්‍රෂණය කිරීම වැදගත් ය. එහෙත් බොහෝ විට සිදුවන්නේ, එකිනෙකාට පසමිතුරු කණ්ඩායම් දෙකක් තම තමන්ගේ අවශ්‍යතා සහ අගතීන්ට මුල් තැන දෙමින් ප‍්‍රශ්නය තවත් අවුල් කර ගනිමින් වාද කර ගන්නවා මිස පොදු එකඟතාවක් ඇති කර ගැනීමට උත්සාහ කිරීමක් නොවේ. මාධ්‍යයේ වගකීම වන්නේ අගතියෙන් තොර තොරතුරු ඉදිරිපත් කිරීමේ අවකාශයක් සැපයීමයි. එහෙත් එවැන්නක් බොහෝ විට සිදු නොවේ. එසේ වන්නේ බොහෝ කාලයක් තිස්සේ දේශපාලනික බලපෑමට යටත්ව වැඩ කිරීමට අපේ මාධ්‍ය හුරුපුරුදු වී සිටීමයි. එවැනි මාධ්‍ය ආවරණයක් තුළ, වැදගත් ප‍්‍රතිපත්ති කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ සාධාරණ මතයක් ඇති වීම වළකාලනු ලැබේ.

ජාතික සංහිඳියාව, 2015 මැතිවරණ සමයේ බෙහෙවින් කතාබහට වුණි. බලයට පත්වෙන ආණ්ඩුව තුළ, හදිසි වැදගත්කමක් ඇති කාරණයක් වශයෙන් ඊට ප‍්‍රමුඛතාව ලැබෙනු ඇතැයි කියැවුණි. අළුත් ආණ්ඩුව පත්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වැදගත් පියවර කිහිපයක් ගැනුණේ වී නමුත් ජාතික සංහිඳියාව සඳහා වන ඒකාබද්ධ සංයුක්ත ජාතික වැඩපිළිවෙලකට එය යොමු නොවිණ. මීට පෙර මා ලියූ ලිපියකදී, මීට අදාළ ජාතික සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහභාගී කරගන්නා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දී තිබේ. එහෙත් අද අපට දකින්ට ලැබෙන්නේ, එකිනෙකට සම්බන්ධයක් නැති ක‍්‍රියාකාරකම් පෙලකි. පොදු දැක්මක් සහ ඒ ඒ ක‍්‍රියාකාරකම් අතරේ තිබිය යුතු පොදු න්‍යාය පත‍්‍රයක් ඇති බවක් පෙනෙන්ට නැත. මේ අතර, අන්තර්-වාර්ගික සබඳතා පලූදු වෙමින් ඇති බවට සංඥා නිකුත් වෙයි. එවැනි තත්වයක් තුළ, වාර්ගික විරසකය වපුරන ඒජන්තයන් ඉදිරි අනාගතයේදී කෑකෝගසමින්, අද තිබෙන ලිහිල් සාමය කඩා ඉහිරවන වෑයමින් වැළැක්වීම අසීරු වන්නට පුළුවන. එය, වාර්ගික යුද්ධයකින් බෙහෙවින් බැටකෑ රටක් ඉදිරියේ පවතින භයානක තත්වයකි.

ඉහත සඳහන් කළ පරිදි, සමාජ විෂමතා නොනැසී පැවතීම, ජාතිකවාදයේ විවිධාකාර ස්වරූපයන් හිස එසැවීම පහසු කරවන සරු පසක් නිර්මාණය කරයි. ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ජයග‍්‍රහණය සඳහා පාවිච්චියට ගත්තේ, වෙනත් කාරණාවන්ට අමතරව, නිර්-කාර්මීකරණයෙන් අගතියට පත් සුදු ජාතිකයන්, කම්කරුවන් සහ වෘත්තිකයන්වයි. කවුරුත් දන්නා පරිදි, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් විශාල බහුතරයක් මෑත කාලයක පටන් ආර්ථික පීඩාවට පත්ව ඇතිවා පමණක් නොව, ඔවුන් සාපේක්ෂ වශයෙන් සමාජ විහිනතාවටද මුහුණදී සිටින බව පෙනේ. එය වඩාත් සිදුවන්නේ, සමාජ පංති ප‍්‍රභේදයන් වෙන් කොට හඳුනාගන්නා ප‍්‍රධාන නිර්ණායකය බවට පුද්ගල පරිභෝජනය පත්ව තිබීම හේතුවෙනි.

සම්ප‍්‍රදායිකව පොදු පරිභෝජන මාදිලියකට හුරු වී තිබුණු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවා, උසස් මට්ටමේ සේවාවන් සහ අධ්‍යාපනික සාර්ථකත්වයන් අත්කර ගැනීමේ ප‍්‍රධාන සාධකයක් බවට පෞද්ගලික පරිභෝජනය පත්ව තිබේ. එම තත්වයට ප‍්‍රතිකර්ම යෙදිය හැක්කේ, හුදෙක් මහජන මුදල් තව තවත් අධ්‍යාපනයට පොම්ප කිරීමෙන් නොව, සාර්ථක ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් සකසා ගැනීමෙනි. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්ට නැත.

නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් තුළ සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටළුවලට ආමන්ත‍්‍රණය කෙරෙන්නේ, අනුභූතික සාක්ෂි මත පදනම් වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති හරහා ය. ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය පහසු කරවන විශ්වසනීය ජාතික ආයතන ස්ථාපිත කළ කල්හි, හිතුමතේ තීරණ ගැනීමේ අවශ්‍යතාවක් දේශපාලඥයන්ගේ පැත්තෙන් මතු නොවේ. ඒ ආකාරයෙන්, ජනතාව ඉදිරියේ ඔවුන්ගේ සෝබනය අවම කෙරෙන අතර, අනිත් පැත්තෙන්, තීන්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වසනීයත්වය වර්ධනය කෙරෙන්නේය. ඒ නිසා, යම් ප‍්‍රතිපත්තියක් ජනතාව විසින් පිළිගනු ලැබීම හුදෙක් දේශපාලඥයන්ගේ ජනප‍්‍රියත්වය මත නොරැුඳෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ පල් වෙමින් තිබෙන බොහෝ ප‍්‍රශ්න අවුරුදු කිහිපයක් තුළ නිරාකරණය කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කිරීම සාධාරණ නැත. ඒ සඳහා තිබූ බොහෝ අවස්ථා යුද්ධය නිසා රටට අහිමි විය. එහෙත් ඒ කාරණය ජනතාවගේ පොදුවේ තේරුම්ගෙන නැත. වැඩියත්ම පාරම්බාන්නේ යුද්ධය අවසන් කිරීම ගැනයි. භෞතික යටිතල සංවර්ධනය විශාල සාර්ථකත්වයක් වශයෙන් ඔසවා තැබෙන අතරේ ඒ සඳහා කරට ගත් මහා ණය කන්දරාව ගැන සහ ආවස්ථික පිරිවැය ගැන සාමාන්‍යයෙන් කතා නොකෙරේ. මේ කාලය තුළ සිවිල් නිදහස කප්පාදු කෙරුණු තත්වය තුළ බොහෝ දෙනාට රට හැර ගිය අතර තවත් බොහෝ දෙනා රටට නැවත පැමිණීමෙන් වැළකී සිටියහ. රට පිළිබඳව එසේ ගොඩනැගුණු නිෂේධනීය චිත‍්‍රය නිසා බොහෝ සෙයින් සෘජු විදේශ ආයෝජන අධෛර්යමත් කෙරුණි. මේ ප‍්‍රශ්න පිළිබඳ පක්ෂ පාටවලින් බැහැරව කතා නොකිරීම හේතුවෙන් ඒ ගැන හරි අවබෝධයක් ලබා ගැනීමට බොහෝ දෙනා අසමත්ව සිටිති. ලංකාව වැනි, විටින් විට ආණ්ඩු මාරු වන බහු-පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක එය බරපතල ප‍්‍රශ්නයකි. එවැනි දේශපාලන වාතාවරණයක් තුළ, බුද්ධි ගෝචර අදහස් උදහස් සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙනවා වෙනුවට සිදුවන්නේ, ජනප‍්‍රියවාදී හැඟීම් ඔස්සේ දේශපාලඥයන්ව මෙහෙවනු ලැබීමයි. අද අප ඉන්නේ එවැනි තත්වයකයි. වසර දෙකකට පෙර ඇති කර ගත් වෙනස තුළින් අපේක්ෂා කළ උසස් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපි තවමත් අපොහොසත්ව සිටිමු. එසේ දිනෙන් දින වර්ධනය වන අපේක්ෂා භංගත්වය විසින් ප‍්‍රගතිශීලී බලවේග දිය කර හරිනු ලැබීම තුළින් පාර කැපෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පහරන දක්ෂිණාංශික රාජ්‍ය තන්ත‍්‍රයක හිස එසැවීමටයි.

*2016 දෙසැම්බර් 29 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Sri Lanka Blurring of A Vision?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.