6 May, 2021

Blog

ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ බරසාරත්වය සඳහා වන උපායමාර්ග

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

පවතින ආණ්ඩුකරණයේ තත්වය ගැන මොන තරම් සැකසාංකා පළවෙතත්, නිරන්තරයෙන් පැවැත්වෙන ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ශ‍්‍රී ලාංකිකයන්ට ලැබී තිබේ. එහෙත් අනිත් අතට, මහජන කටයුතු පාලනය සම්බන්ධයෙන් තමන්ට බලයක් නැතැ යි යන හැඟීමක් ද ඔවුන්ගෙන් බහුතරයක් තුළ තිබේ. තමන්ගේ දුබල බව පිළිබඳ ඒ හැඟීම ඔවුන් තුළ ඇති වන්නේ, විවිධ තල තුළදී තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය කෙරෙහි බලපෑම් කිරීමේ වැඩි හැකියාවක් ඔවුන්ට නැති කම නිසා ය. එසේ හෙයින් මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලැබීම, වැදගත් කාරණා සම්බන්ධයෙන් තම අදහස් උදහස් සහ අභිමතයන් දන්වා සිටීම සඳහා වන අවස්ථාවක් ඔවුන්ට නැති කමට ආදේශකයක් වන්නේ නැත. බොහෝ විට ප‍්‍රසිද්ධ විරෝධතාවන්ට සහ උද්ඝෝෂණවලට හේතුවන්නේ එවැනි අවස්ථාවක් නැති කම ය. ඒ තත්වය තුළ මතුවන ප‍්‍රශ්නය වන්නේ: තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ පුරවැසියන්ගේ අදහස් උදහස් සහ වරණයන් සැලකිල්ලට ගැනීමට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හැකි වන්නේ කෙසේද යන්නයි. වෙනත් වචනවලින් කිවහොත්, වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් වන මහජන මතය මැනෙන යාන්ත‍්‍රණයක් හෝ යාන්ත‍්‍රණ ආයතනගත කරගත හැක්කේ කෙසේද? එය කළ හැකි වන්නේ නම්, අද අප රටේ බොහෝ දුරට හෑල්ලූ වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලිය වඩාත් බරසාර කර ගැනීමට රුකුලක් වෙනවා සිකුරුයි.

මහජන අදහස් උදහස් සහ ඕනෑ එපාකම් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දැනෙන්නේ ජාතික මට්ටමේ දී පමණක් නොවේ. පලාත් පාලන ආයතන මට්ටම දක්වාම එය විහිදෙයි. කවුරුත් දන්නා පරිදි, බොහෝ පුරවැසියෝ ජාතික ආණ්ඩුවෙන් මෙන්ම පළාත් මට්ටමේ උප-ජාතික ආයතන වන පළාත් සභා සහ පලාත් පාලන ආයතන මට්ටමෙන් ද වියෝ වී සිටිති. වෙනත් රටවල මෙන් එම අවශ්‍යතාවට ආමන්ත‍්‍රණය කිරීම සඳහා කිසි ක‍්‍රමයක් අපට නැත. උදාහරණයකට ස්විට්සර්ලන්තය ගතහොත්, වැදගත් ජාතික සහ ප‍්‍රාදේශීය ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජනමත විචාරණයන් පැවැත්වීමේ සම්ප‍්‍රදායක් තිබේ. ජනමාධ්‍ය සහභාගීත්වයෙන් ද යුතුව ඒ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ඇති කර ගැනීමෙන් පසු ජනතාවට තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප‍්‍රකාශ කිරීමට එරටේ ඉඩක් තිබේ. අදාළ වන ප‍්‍රශ්නය සමහර විට යුරෝපා සංගමයට එකතු වන්නේද නැද්ද යන්න විය හැකිය. එසේ නැතහොත්, ප‍්‍රාදේශීය ප‍්‍රජාවකට බලපාන යම් වීදියක් පදිකයන් සඳහා වෙන් කර ගැනීමක් පිළිබඳව විය හැකිය. තවත් රටවල ජනතා සහභාගීත්වය ලබාගන්නා වෙනත් ක‍්‍රම තිබේ. මීට වසර කිහිපයකට පෙර ඔස්ටේ‍්‍රලියාවේ තරුණයෝ 20,000 ක් විවිධ පළාත්වලින් පැමිණ ජාතික තරුණ උපදේශන සම්මන්ත‍්‍රණයක් පැවැත්වූහ. තවත් රටවල, නිරන්තරයෙන් පැවැත්වෙන ජනමත විමසුම් තිබේ. වැදගත් ප‍්‍රශ්න අළලා මේවා පැවැත්වෙන්නේ ස්වාධීන ආයතන හරහා ය. එවිට පුරවැසියන්ගේ උදහස් උදහස් සහ ඕනෑ එපාකම් මොනවාදැ යි දැන ගැනීමට දේශපාලන නායකයන්ට හැකි වන්නේය.

ඉහත සඳහන් කෙරුණේ, ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින් ගන්නා තීරණ කෙරෙහි පුරවැසියන්ට බලපෑම් කළ හැකි අවස්ථාවන්ට උදාහරණ කිහිපයකි. එවැනි තත්වයක් තුළ ඡන්දදායකයා පැත්තක සිට බලා සිටින්නෙකු වන්නේ නැත. මැතිවරණයකින් පසු ගණන් නොගැනෙන කෙනෙකු බවට පත්වන්නේ නැත. එසේම ජනතා කැමැත්ත නොසළකා හිතුමතේ වැඩ කිරීමට දේශපාලඥයාට සහ ඔහුගේ ගැත්තන්ට හැකි වන්නේ ද නැත. එසේ නොමැතිව අපේ රටවල මෙන් කටයුතු සිද්ධ වුණොත්, විවිධ කාරණා සම්බන්ධයෙන් ජනතාව නොසන්සුන් විය හැකිය. තමන්ගේ අදහස් පාලකයන්ට දැනවීමේ විධිමත් ක‍්‍රමයක් නැති වන විට ඔවුන් සාහසික වන්නට ද පුලූවන. කාර්මික නීති යටතේ ඇති කොට තිබෙන වෘත්තීය සමිති හරහා සේවකයන්ට බොහෝ වාසි අත්වී තිබෙන බව අපි කවුරුත් දනිමු. එසේම කාර්මික ලෝකයේ සාමය ද ඒ මගින් ආරක්ෂා වෙයි.

මහජන උද්ඝෝෂණ සහ විරෝධතා අද බොහෝ රටවල්වල දක්නට ලැබෙයි. විටෙක මේ ව්‍යාපාර ප‍්‍රචණ්ඩ වෙමින් හානිකර ප‍්‍රතිවිපාක ගෙන දෙයි. සාමාන්‍යයෙන් එවැනි විරෝධතාවන්ට ඉවහල් වන්නේ, සමාජයේ සෑහෙන කොටසකගේ අසහනය සහ අතෘප්තියයි. විශේෂයෙන් ඔවුන්ගේ දුක්ගැනවිලිවලට පාලකයන් වැඩිමනත් කන් නොදෙන විට එවැනි තත්වයන් ඇති වෙයි. මෙවැනි ව්‍යාපාරවලට හැම විටකම ජනතාවගෙන් බහුතරයක සහයෝගය නොලැබෙතත්, ඔවුන්ගේ තිරසාර භාවය සහ කැපවීම මත විටෙක ආණ්ඩු පෙරැුලීමට ද ඔවුන්ට හැකි වෙයි. මෑතක මැද පෙරදිග ඇතැම් රටවල්වලින් අපි ඒ බව අත්දැක්කෙමු. තවත් සමහර අවස්ථාවල, අතෘප්තියට පත් කණ්ඩායම් එක දිගටම විරෝධතාවන්හි නියැලීම නිසා මෘග ඝාතනයන් ද සිදුවිය හැකිය. අපේ රට ඇතුළු තවත් බොහෝ රටවල් ඒ තත්වයට මුහුණදී තිබේ. එබැවින් හැම විටකම, ජනතා මතය පිරික්සා දැන ගැනීම සහ එම ජනතා මත ඉදිරිපත් කිරීමේ සාමකාමී මාර්ග පැවතීම රටකට වැඩදායක ය. ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහාත්, දේශපාලනික ගැටුම් සහ සමාජ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහාත්, සාමය සහ සමාජ සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාත් එය අත්‍යාවශ්‍ය ය.

එවැනි යහපත් තත්වයක් ඇති කර ගැනීමේ ශක්‍යතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට තිබේ. එසේ නොමැතිව, විටින් විට මැතිවරණ පැවැත්වීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අර්ථවත් වන්නේ නැත. එවැනි මැතිවරණ සාමාන්‍ය ජනතාවට අදාළ වන්නේ හෝ ප‍්‍රයෝජනවත් වන්නේ නැත. වැදගත් වන්නේ, ජනතා අදහස්, අපේක්ෂාවන් සහ අභිලාෂයන් කෙරෙහි කොතෙක් දුරට නායකයන් සංවේදී වන්නේද යන්නයි. ජනතාවගේ ඒ අදහස් උදහස්, අපේක්ෂා සහ අභිලාෂයන් දෙස විපරමින් බැලූවොත් අපට පෙනී යන්නේ, සංවර්ධනය ගැන, දේශපාලන ස්ථාවරත්වය ගැන සහ සමෘද්ධිය ගැන හුදු දේශපාලනික සටන්පාඨවලින් එහාට යන ප‍්‍රතිචාරයක් නායකයන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වන බවයි. අපරාධ සම්බන්ධයෙන් වේවා, අධ්‍යාපනය සම්බන්ධයෙන් වේවා, පරිසර දූෂණය, ගමනාගමනය හෝ සමාජ අසමානත්වය ගැන වේවා, ඒවාට උචිත ආකාරයෙන් සහ නිශ්චිත ආකාරයෙන් ආමන්ත‍්‍රණය කිරීමක් පාලකයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේය.

*2014 නොවැම්බර් 3 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  “Strategies for Deepening Democracy” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මම දේශපාලනය කල අයෙක් හෝ දේශපාලන විද්‍යාව හැදෑරූ අයෙක් නොවෙමි. නමුත් පුද්ගලයෙක් හැටියට දේශපාලනය ගැන උනන්දුවක් මට තිබේ. මට දැනෙන අාකාරයට ප්‍රජාතන්ත්‍රවාදය විය යුත්තේ දේශපාලන පක්‍ෂයක නායකත්වයේ තීරණ පහලට පැටවීම නොව පහල අදහස් ඉහලට එ්මට ඉඩදීමය. එය ලංකාවේ සිදු නොවේ. ලංකාවේ දේශපාලන පක්‍ෂවලට අැත්තේ ඔලුවෙන් හිටවූ ප්‍රජාතන්ත්‍රවාදයකි.

    අද, ලංකාවේ කිසිම දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශිය සාමාජකයන්ට තමන්ගේ අාසන සංවිධායකයා තෝරාගත නොහැක. සෑම පක්‍ෂයකම නායකයා තමන්ට කැමති අාසන සංවිධායකයෙක් හෝ දෙදනෙක් අාසන වලට දක්කයි. බොහෝ විට නායකයාගේ සංවිධායකයා වන්නේ ඔහුගේ එහෙයියෙක්ය. එ් පත්කිරීම ගැන අදාල අාසනයේ පක්‍ෂ ක්‍රියාකාරීන්ට කල හැකි දෙයක් නැත. ඔවුන්ට කල හැක්කේ ‘නායකයාගේ සංවිධායකයාට’ එහෙයි කියා පක්‍ෂ නායකයාගේ මතය කරේ තබා ගෙන යාම පමණය. එජාපය ජනතාවට කිට්ටු නැත්තේත් දිගින් දිගටම පරදින්නේත් එනිසාය.

    අද තිබෙන ක්‍රමය අනුව අවංක දේශපාලඥයන්ට ප්‍රධාන පක්‍ෂ දෙකේම සංවිධායක කමක් ලැබුනත් දිනන්නට බැරිය. අාසනයේ පක්‍ෂ සාමාජිකයන්ගේ සහාය අැතිව හෝ නැතිව මහා ධනස්කන්දයක් වියදම් කලහැකි සංවිධායකයින් දත්ටික පෙන්නවූ පෝස්ටර් දිස්ත්‍රික්කය පුරාම අලවා ජනතාව මුලා කොට මනාප එකතුකරගෙන මංත්‍රි වෙයි. මේ යන ක්‍රමයට වැඩිකල් නොගොස්ම යුක්ක්‍රේනයේ මෙන් ලංකාවේත් මංත්‍රිලා වෙන්නේ ඔලිගාච්ලාය. පක්‍ෂ ක්‍රියාකාරීන්ට තමන්ගේ ප්‍රාදේශිය නායකයින් සංවිධායකයින් ලෙස පත් කර ගැනීමටවත් එම ප්‍රාදේශිය නායකයින්ට පක්‍ෂයේ බහුතර චන්දයෙන් පක්‍ෂයේ නායකයා වීමටවත් නොහැක. එනිසා අද ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අැති ලොකුම අභියෝගය විධායක ජනාධිපති ධූරය නොව පක්‍ෂවල ප්‍රජාතන්ත්‍රවාදය නැති එකය.
    ලංකාවට අැති ලොකුම හෙන ගෙඩිය 18වන සංශෝධනය නොව බලහත්කාරයෙන් තල්ලුකල 13වන සංශෝධනයය.

    විධායක ජනාධිපති ධූරය එ්කාධිපතිවාදය කරා රට ගෙනයන්නක් නොවන්නේ යයි මා කියන්නේ ජේඅාර්ගේ ව්‍යවස්තාවේ මොන එ්කාධිපති නීති තිබුනත් බැරිවෙලාවත් අාණ්ඩු පක්‍ෂයේ මංත්‍රිලා කල්ලි ගැසී විපක්‍ෂයට එකතු උවහොත් විධායක ජනපතිගේ අාණ්ඩුව කම්මුතු වන හැටි අප දැක අැති නිසාය. විධායක ජනපති චන්ද්‍රිකා 2001දී නිකම්ම නිකම් ජනපති උනේ එසේය. ඔය වැඩේ විධායක ජනපතිකම එන්නට කලිනුත් ලංකා පාර්ලිමේන්තුවේ ඔිනෑතරම් වෙලා තිබෙනවාය.

    ඉතින් මහා බලගතුයයි කියන විධායක ජනපතිත් මංත්‍රිලාට බයය. පාර්ලිමේන්තුවේ 6න් 5ක බහුතර අාසන සංඛ්‍යාවක් තිබූ ජේඅාර් පවා අගමැතිගේ සිට සෑම මංත්‍රිවරයෙකුගේම දාතම නැති ඉල්ලා අස්වීමේ ලිපියක් ලඟ තබාගත්තේ එනිසාය. 2005 සිටම මහින්දගේ අාණ්ඩුවත් හවුලක්ය. එනිසා ජේඅාර් කල වැඩකිඩ කරන්නට මහින්දට බැරිය. මහින්දගේ අාණ්ඩුවට ජේවීපිය එකතු නොවූ නිසා එහි ස්තාවරත්වයක්ද නොවීය. නමුත් මහින්ද අලුත් ක්‍රමයකට තම අාණ්ඩුවේ ස්තාවරත්වය හදා ගත්තේය. අාණ්ඩුවේ දොර සෑලූන් දොරක් යයි මහින්ද කීවේ එනිසාය.

    මංත්‍රීලාගේ අැමතිකමට අැති ලොල් බව මහින්ද දනී. අාණ්ඩුපක්‍ෂයේ මංත්‍රිලාට පමණක් නොව විපක්‍ෂයේ අයටත් අැතිතරම් අැමතිකම් මහින්ද බෙදුවේ එ් මගින් තම අාණ්ඩුවේ ස්තාවරත්වය හදාගන්ටය. විපක්‍ෂයේ මංත්‍රිලාත් අාණ්ඩුවේ සිටින නිසා කල්ලි ගසන්නට මංත්‍රිවරු බයය. යුද්ධය දිනුවේ මහින්දගේ අාණ්ඩුව පෙරලා දමන්නට බැරිවූ නිසාය. මංගල 2007දී මහින්ද සමග අාරවුලක් හදාගෙන විපක්‍ෂයට ගොස් අාණ්ඩුව පෙරලා දමන්නට උත්සාහ කලේය. චන්ද්‍රිකාගේ මංත්‍රිවරු 25ක් ඔහුට එකතුවීමට අාණ්ඩුවේ සිටිනවා කියා ප්‍රචාරය කලත් ඔහුට එකතු උනේ අනුර සහ ශ්‍රිපති පමණය. අනුර අාපසු අාවේය, ගියේය, අන්තිමේදී අනුර නන්ත්තාරවිය. අද ලංකාවේ සාමය රඳා පවතින්නේත් අාර්තික ප්‍රගතියක් අැත්තේත් රාජපක්‍ෂ අාණ්ඩුව ස්ථාවර නිසා බව පැහැදිලිය.

    නමුත් චන්ද නොතියා ජනාධිපති තනතුරේ රැඳී සිටින්නට රාජපක්‍ෂට තබා කිසිම ජනපතියෙකුට බැරිය. මහින්ද නම් නියමිත දිනයට පෙර චන්ද තියයි. චන්ද එපා යයි කියන්නේ විපක්‍ෂයයි. මැතිවරණ වලින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිඹු වෙන්නේ නැති බව උගත්තු කියයි. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අපවැනි සාමාන්‍ය මිනිසුන්ට නම් මේක මහ හතර බීරි කතාවක්ය.

    විධායක ජනපති තනතුර අහෝසි කරන්නට ලිඛිතව පොරොන්දු දී, තමන් දිවුරා රැකීමට පොරොන්දුවූ ව්‍යවස්තාවට බහුබූතයක් යයි කියමින් වසර 11ක්ම විධායක ජනපති තනතුර හෙබවු සහ වික්ටර් අයිවන් විසින් පොතක්ම ලියා චෙෞරව රැඡින යයි නම්කල සහ නඩුවකින් ධූරය අවසන් කිරීමට සිදුවූ චන්ද්‍රිකාටත් දෙවරක්ම විධායක ජනපති වීමට චන්දය ඉල්ලා පැරදුන රනිල්ටත් දැන් දැන් විධායක ජනපති තනතුර තිත්තවී අැතිසේය. රනිල් නම් හරියටම අර මිදි තිත්තයි කිව් නරියා වගේය. චන්ද්‍රිකා නම් කුහුකම කුහක ගැහැනියකි. මහාචාර්ය තුමා කුමක් කීවත් අද විරුද්ධ පක්‍ෂ කරගන යන ක්‍රියාවලියෙන්ම ලංකාවට අාවේනික ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ අැති බව මොනවට පැහැදිලි වෙයි.

    කැන්ටොන් ස්වරාජ්‍ය වලින් පටන් ගෙන පසුව කොන් ෆෙඩරල් වී 19 වන ශතවර්ශයේ ෆෙඩරල් වූ ස්විට්සර්ලන්තයේ ක්‍රම සහ විධි එක් සේසත් රටක්වූ අධිරාඡ්‍යවාදීන් එ්කීය රටක් ලෙස පාලනය කල ශ්‍රි ලංකාවට ගැලපෙන්නේ නැත, අති විශාල රටක් වන ඉන්දියාවට ගැලපෙන්නේත් නැත. ඉන්දියාවේ ක්‍රමය ශ්‍රි ලංකාවට ගැලපෙන්නේත් නැත. ඉන්දියාව සහ ශ්‍රි ලංකාව ස්විට්සර්ලන්තයේ ක්‍රම සහ විධි අනුගමනය කලේ නම් කැබලි කීයට කැඩේදැයි සහ ඉන්පසු අප්‍රිකාවේ මෙන් මාරාන්තික යුද්ධ කීයක් අැතිවේදැයි කිව නොහැකිය. ඉන්දියාව එරට ව්‍යවස්ථාවට වෙන්වීම තහනම් කරන 16වන සංශෝධනය 1963 තරම් අෑත අතීතයේදීම ගෙන අාවේ එනිසයි.

    මහජනයා කෙලින්ම පත්කරන විධායක ජනපති වෙනුවට ඔලිගාච් මංත්‍රිලා පත්කරන අගමැති කෙනෙකුට රට පාලනය කිරීමේ බලය පැවරුවහොත් ශ්‍රි ලංකාව වෙන්නේත් යුක්ක්‍රේනයට වී අැති දේය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.