Colombo Telegraph

ලිබරල්වාදය, ජාතිකවාදය සහ ම්ලේච්ඡත්වය

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

ඊයේ පෙරෙයිදා වන තෙක් ශ‍්‍රී ලාංකිකයන් ජීවත් වුණේ ලිබරල් සමාජ වටිනාකම් නොතැකූ පාලනයක් යටතේ ය. ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය තර්ජනයට ලක්වෙමින් ඇතැ යි කී එම පාලන තන්ත‍්‍රය, ජාතිකවාදී හැඟීම් අවුස්සමින් ජනතා මතය තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට හැම පියවරක්ම ගත්තේය. ඒ සමග සෑම රාජ්‍ය ආයතනයක්ම පාහේ තමන්ගේ දේශපාලනික සගයන්ගේ අතට පත්කරමින් ඔවුන් හරහා එම පාලන තන්ත‍්‍රයේත් එහි නායකයන්ගේත් අභිමතාර්ථ සාධනය කර ගැනීමට බැලීය. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටි අපට එය හොඳින් පෙනුණි. අපේ විශ්ව විද්‍යාල පෙර නොවු විරූ අන්දමින් දේශපාලනීකරණය විය. මේ අතර, සාමාන්‍ය ජනතාව මුහුණදෙමින් සිටියේ හුදෙක් දේශපාලනික හා දෘෂ්ටිවාදීමය ප‍්‍රශ්නවලට පමණක් නොවන බවත් අප අමතක නොකළ යුතුය.

සාමාන්‍ය පුරවැසියන් ඉදිරියේ තිබූ සමාජ-ආර්ථික ප‍්‍රශ්න විවිධාකාර විය. වැඩි වන ජීවන වියදම, අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ගුණාත්මක පිරිහීම සහ අසමානත්වය, සමාජයේ කොන් වූ කොටස්වලට සමාජ ආරක්ෂණයක් නොවීම, තරුණ විරැුකියාව, අපරාධ රැුල්ල, මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් අවභාවිතය, ළමා අපහරණය සහ පරිසර විනාශය ඒ අතර විය. මේ සමාජ-ආර්ථික ප‍්‍රශ්න මුල් අදින්නේ ආර්ථිකයේ සහ සමාජයේ ගැඹුරු ව්‍යුහයන් තුළිනි. ඒවා එක රැුයකින් විසඳිය හැකි නොවේ. අනිත් අතට, මේවා විසඳීම සඳහා අවශ්‍ය කෙරෙන ප‍්‍රතිපත්තිමය නවීකරණයන් සහ ආයතනික සංවර්ධනයන් සඳහා යම් කාලයක් අවශ්‍ය කෙරේ. ඒ සමගම, මීට අවශ්‍ය කෙරෙන විවිධ මැදිහත්වීම් සඳහා යෙදිය යුතු ආයෝජනයත් විශාල එකක් වන අතර එය පහසුවෙන් සොයාගත හැකි නොවේ. එසේ වතුදු, වෙනසක් ඇති කිරීම සහ තමන්ගේ ජීවන අවස්ථා වර්ධනය කර ගැනීම සඳහා හදිසි පියවර ගත යුතු බවට ජනතාව තුළ පවතින අපේක්ෂාවත් ස්වභාවික ය. ඒ සම්බන්ධයෙන් වන පමා වීම් සහ අතපසු වීම් ගැන ජනතා අප‍්‍රසාදය පළවිය හැකි අතර එයම විපක්ෂය තිරිහන් කිරීමට ද සමත් විය හැකිය. එය රටේ යහපත අපේක්ෂා කරන මිනිසුන්ගේ සැලකිල්ලට ලක්වීම ස්වභාවික ය. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් ළඟදී ඒමට නියමිත වාතාවරණය තුළ එය තවත් තාර්කික ය. මේ ගැන වංක අරමුණු ඇති කොටස් විසින් සාමාන්‍ය ජනතාව නොමග යැවිය හැකි වෙතත්, පවතින සැබෑ තත්වයන් ගැන යථාර්ථවාදීව සිතා බැලීමේ සහ ඒ අනුව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක්, පුරවැසි සවිඥානිකත්වයෙන් යුත් දැනුවත් කොටස්වලට තිබේ. එහෙත් මේ කියන සංකීර්ණතා සහ දුෂ්කරතා ගැන සාකච්ඡුා කිරීමට වර්තමාන මාධ්‍ය අවකාශය තුළ ඇත්තේ මද ඉඩකඩකි.

ඉස්සර සේම තවමත් ගුගුරන වාචාලයන්ගේ බහට යට වෙන අයවළුන්ට, අහිංසකයන් ඝාතනය වෙනු එක දිගටම දකින්නට ලැබෙනු ඇත.

සාධාරණ සහ තිරසාර සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ සාමය සඳහා වන කෙටි මං නැත. ඒවා සාක්ෂාත් කරගත හැක්කේ, දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන නැණවත් මූල්‍ය ආයෝජනයන් සහ මානව සම්පත් හරහා ශක්තිමත් කෙරෙන දීර්ඝ කාලීන, ජාතික ඒකාබද්ධ සැලසුම් හරහා පමණි. මේ සියල්ල සඳහා අවශ්‍ය කරන කාලය, අපේ ඇතැම් උද්වේගශීලී සහ ප‍්‍රතිසංස්කරණ ලැදි පුරවැසි කොටස් සහ මාධ්‍යවේදීන් ඉල්ලා සිටින ආකාරයෙන්, මාස ගණන්වලින් ගිණිය හැක්කක් නොවේ. මේ නිසා අද තිබෙන ලොකුම ප‍්‍රශ්නය වන්නේ, අවශ්‍ය කරන ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් සංගෘහිත කොට ක‍්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය කරන කාලය වර්තමාන නායකයන්ට ලැබේද යන්නයි. දේශපාලන නායකයන්ගේ ක‍්‍රියාකාරකම් සහ පැහැර හැරීම් පිළිබඳව අහක බලාගෙන සිටිය යුතු බවක් මෙයින් අදහස් නොවේ. ඇතැම් මාධ්‍යවේදීන් විද්‍යුත් මාධ්‍ය තුළ සාකච්ඡුා මෙහෙයවන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ වර්තමාන ආණ්ඩුවට ප‍්‍රමාණවත් කාලයක් දීමට ඔවුන්ගේ ඉවසීමක් නැති බවයි.

රට සහ ජනතාව කෙරෙහි ඇති විය හැකි අනිටු ප‍්‍රතිවිපාක ගැන තැකීමකින් තොරව පැවති පාලක කල්ලිය සෑම ක්ෂේත‍්‍රයකම පාහේ හිතුවක්කාරී තීන්දු ගැනෙන විට මේ රටේ ජනතාව නිශ්ශබ්දව බලා උන්හ. රජයේ මාධ්‍ය මුළුමණින් පාලක ඒකාධිකාරීත්වයක් වශයෙන් පැවති අතර විකල්ප මතවලට කිසි ඉඩක් ඒවායේ නොවුණි. මා රූපවාහිනී සාකච්ඡුාවලට නිතර සහභාගී වන්නෙකු වුවත්, 2005 සිට රාජ්‍ය නාලිකාවලින් මාව මුළුමණින් බැහැර කෙරුණි. හේතුව, මගෙන් නිදහස් මත ප‍්‍රකාශ වීමයි. එසේ මහ දවල් මාධ්‍ය භාවිතය අපහරණයට ලක්වීම නිසා, එතරම් දැනුම් තේරුම් නැති සාමාන්‍ය මිනිසුන්, විශේෂයෙන් ග‍්‍රාමීය ජනතාව නොමග යැවුණි. යුද්ධය අවසානයකට පත්කිරීම, තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා පාවිච්චි කළ පාලක කල්ලිය ඒ සඳහා වාහකය කර ගත්තේ මහජාතික ප‍්‍රජාව තුළ වාර්ගික සහ ජාතික හැඟීම් ඇවිස්සීමයි. එයම, සුළුතර දෙමළ ජනතාවගේ හිත් බිඳෙව්වේය. මේ තත්වය, දකුණේ් ඇතැම් පෙදෙස්වල සිංහල බෞද්ධ කල්ලි විසින් සුළුතර මුස්ලිම් ප‍්‍රජාවට වාචික සහ කායික අඩන්තේට්ටම් කිරීම් නතර කිරීමට පැවති පාලනය විසින් පියවර නොගැනීම නිසා තවත් දරුණු විය.

මේ අතර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ පිළිසකරණීය බලශක්තිය වැනි ඵලදායී නිමැවුම් අංශ කෙරෙහිත්, අධ්‍යාපනය, පර්යේෂණය, තාක්ෂණය, සෞඛ්‍ය, පොදු ප‍්‍රවාහණය සහ සමාජ ආරක්ෂණය වැනි ක්ෂේත‍්‍රයන්හි සංවර්ධනය කෙරෙහිත් රාජ්‍ය ආයෝජන යොමු විය යුතුව පැවති අවස්ථාවක, පැවති පාලනය එම ආයෝජන හරවා තිබුණේ යටිතල සංවර්ධනය කෙරෙහි ය. මේ අතර, පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සිටි බොහොමයක් දෙනාගේ අවධානය මුළුමණින්ම පාහේ යොමු වුණේ ආණ්ඩුකරණය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප‍්‍රශ්න කෙරෙහි ය. මෙය, එදා විපක්ෂයේ දේශපාලඥයන් තුළ සේම මාධ්‍යවේදීන් සහ සිවිල් ව්‍යාපාර තුළ ද දැකිය හැකි විය. එසේ හෙයින් නව ආණ්ඩුව ගෙන යා යුතු ආර්ථික සහ සමාජ ප‍්‍රතිපත්ති කවරාකාර විය යුතු ද යන ප‍්‍රශ්නයට නිසි අවධානය යොමු නොවුණි.

ඒ සියල්ලෙන් පෙනී යන්නේ, මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා අවශ්‍ය කළ වඩාත් පුළුල් දේශපාලනික සන්ධානය පවත්වා ගැනීම සඳහා ලිබරල් දේශපාලනික වැඩපිළිවෙලකට එකඟ වෙමින් වඩාත් ප‍්‍රශ්නකාරී ප‍්‍රතිපත්තිමය ගැටළු පසෙකින් තැබීමට එදා විපක්ෂයට බල කෙරුණු බවයි. එසේ වුවද, මැතිවරණයෙන් පසුව ජනතා ඉල්ලීම් සැපිරීම සඳහා ආර්ථික සහ සමාජ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම අත්‍යාවශ්‍ය වන්නේය. ඒ සඳහා පැහැදිළි ආර්ථික සහ සමාජ ප‍්‍රතිපත්තිමය රාමුවක් සකසා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. එවැන්නක් ලිබරල්වාදී හෝ නව-ලිබරල්වාදී රාමුවක් තුළ කළ හැක්කක් නොවේ. උදාහරණයක් වශයෙන්, තරුණ ශ‍්‍රමය පිටරටට ඇදී යාම පාලනය කර ගැනීමත්, (ලංකාවේ ඵලදායී ශ‍්‍රම බලකයෙන් සියයට 20 ක් පමණ සිටින්නේ විදේශ රැුකියාවන්හි ය), වර්තමානයේ ලංකාවේ රැුකියා ක්ෂේත‍්‍රයෙන් සියයට 60 ක් පමණ වන අවිධිමත් අංශය අඩු කර ගැනීමත් කළ හැක්කේ, නිසි ආදායම් උත්පාදනය කෙරෙන, විධිමත් සහ ඵලදායී රැුකියා අවස්ථා රට තුළ නිර්මාණය කිරීමෙන් පමණි.

රටක වැසියන් ජීවත් වන සමාජ සහ ආර්ථික තත්වයන් සෑහීමකට පත්විය හැකි මට්ටමක නොතිබෙන විට, සමාජයේ විවිධ බෙදීම් ඔස්සේ තමන් වෙත එල්ල වෙතැ යි සිතන තර්ජන ගැන සහ හතුරන් ගැන වැඩියෙන් තැකීීමට කෙනෙක් පෙළඹෙති. ජාතිකවාදීන් යහමින් පාවිච්චියට ගන්නේ එවැනි අවස්ථාවන් ය. එවිට තමන්ගේ දේශපාලනික ඕනෑඑපාකම් මත, ආචීර්ණකල්පික වෙනස්කම් ඔස්සේ මිනිසුන් භේදභින්න කිරීමට ඔවුන්ට පිළිවන. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති වන අන්තර්-වාර්ගික නොසන්සුන්තාවන් විසින් එම තත්වය තවත් උග‍්‍ර කරයි. එවැනි තත්වයක්, ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඔබින්නේ නැත. එබැවින් එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සෑම ප‍්‍රජාවකගේම සුභසිද්ධිය පිණිස වන්නේය. එසේ නොවුණහොත්, සෑම පාර්ශ්වයකම සිටින අන්තවාදී කණ්ඩායම් මේ රට ම්ලේච්ඡත්වය දෙසට තල්ලූ කරනවා සිකුරුයි. එසේ වන විට, ඉස්සර සේම තවමත් ගුගුරන වාචාලයන්ගේ බහට යට වෙන අයවළුන්ට, අහිංසකයන් ඝාතනය වෙනු එක දිගටම දකින්නට ලැබෙනු ඇත. අපේම ඉතිහාසයෙන් මෙන්ම, ලෝකයේ වෙනත් තැන්වලින් අසන්නට දකින්නට ලැබෙන ඇදහිය නොහැකි අමානුෂික ක‍්‍රියාවන්ගෙන් ද අප පාඩම් උගත යුතුව තිබේ.

*2015 මාර්තු 2 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Liberalism, Nationalism and Barbarism” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Back to Home page