20 April, 2024

Blog

සම්මුතිකරණයේදී ස්වාධීන කොමිෂන් සභාවලට පැවරෙන වගකීම

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

මට සිතෙන අන්දමට, මෑතකදී අපට අසන්නට ලැබුණු ඉතාම සංවේග දායක ප්‍රවෘත්තිය, සාදයකට ගොස් ආපසු එමින් සිටියදී සිදු වූ, යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය යි. එහිදී දුෂ්කර පරිසරයක සිට සෞභාග්‍යය හා ප්‍රභූත්වය දෙසට ගමන් කරමින් සිටි, තරුණ ජීවිත දෙකක් දළු දමන්නටත් පෙර විනාශ විය.

මා ඔවුන්ගේ වයසට ආසන්න වයසේ දී, සිවිල් සේවා ආධුනිකයෙකු වසයෙන්, අර්ධද්වීපය සිසාරා ගමන් කළ ආකාරය මට තවමත් මතක ය.. දවසක් මා ගෙදර එද්දී ටයරයක් සිදුරුවීම නිසා අසරණව, මම මගේ රථය අසල මග බලා ගෙන සිටියෙමි. මගේ අබග්ගය දුටු ටැක්සි රියෑදුරෙක් ඔහුගේ වාහනය නතර කර, මගේ සහායට ඉදිරිපත් විය.. ඔහු අමතර රෝදය ඔසවා දිමටට පවා මට ඉඩ නොදී, කඩිසරව මගේ රෝදය මාරු කළේය. සමු ගනිද්දී, ඔහු කළ උදව්ව ට ගෙවීමක් කිරීමට මගේ මුදල් පසුම්බිය අදිනු දුටු රියදුරා මුදල් බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. සදාතනික ප්‍රජා වටිනාකම් වාණිජකරණය කරන්නට දැරූ මගේ ප්‍රයත්නය ඔහුට වේදනාවක් වූ බව ප්‍රත්‍යක්ෂ විය.

ඡන්ද දිනා ගැනීම සඳහා ජාතිවාදය ආයුධයක් කරගත් දෙපැත්තේම දේශපාලනඥයන් විසින් එවැනි වටිනා සාරධර්ම හා සහෝදරත්වය පළුදු කරන ලදී. එහෙත් ඒ සූරාකෑම නො තැකු දෙපැත්තේම පොදු ජනතාව වාර්ගික මිත්‍රත්වය පවත්වාගෙන යෑම සඳහා එඩිතරව වෙර දැරුහ. ඉහත සඳහන් සිද්ධිය, ‘ශ්‍රී’ අර්බුදය උපරිම මට්ටමේ පැවැති අවස්තාවක, ‘ශ්‍රී’ අංක තහඩු සහිත මගේ රථයෙන් ගමන් කරද්දී සිදුවීම ඒ ප්‍රයත්නයට හොඳ සාක්ෂියකි.

මම පෙර කී සිද්ධියට අවුරුදු හතළිහකට පසු, උතුරේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ බලකායේ සභාපති ලෙස, එල්ටීටීඊ කැරැල්ල පැවති සමයේ පැතිරී තිබුණු මානසික පීඩනය යටතේ, යාපනය පුරා සංචාරය කෙළමි. මට කිසිදු ආරක්ෂක ආවරණයක් නො වූ නමුත්, මා සම්පූරණයෙන්ම සුරක්ෂිත විය. ඒ පෞද්ගලික අත්දැකීම් නිසා, මට උතුරේ හොඳහිත සහ ආගන්තුක සත්කාරය පිළිබඳව දැඩි විශ්වාශයක් ඇත

දරුණු ගැටුම් අවසන් වී ඇති අවස්තාවක, සංහිඳියාව සහ යහපාලනයට කැප වූ රජයක් යටතේ, ඒ තත්වය පිරිහී යාම විශ්මය ජනක ය. පසුගිය රජය යටතේ විනය පවත්වා ගැනීමට හැකි වුයේ එවකට පැවති නිර්දය පීඩනය නිසා විය හැක. යහපාලනයට ඒ ස්ථාවරය වෙනස් කිරීමට අවශ්‍ය නම්, සාමකාමී සහජිවනයක් උදාකිරීම සඳහා අත ඉක්මන් කළ යුතුව තිබේ. ඉන්ද්‍රජාල යෂ්ටියක් වැනීමෙන් හෝ තොරතෝංචියක් නැති කයිවාරු ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඒ අරමුණට යා නො හැක.

වත්මන් රජය යටතේ උද්ගත වන ජාතිවාදී ගැටුම් සොයා ගැනීමට වැඩි දුර යාමට අවශ්‍ය නැත. නව ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමට උඩරට නැටුමක් සංවිධානය කළ යාපනය විශ්ව විද්‍යාලයේ සමහර සිංහල සිසුන්ට එල්ල වුයේ යයි කියන ප්‍රහාරය පැහැදිල නිදසුනකි. ඒ සිද්ධිය හින්දු සිද්ධස්ථානයක් වැඳපුදාගෙන පැමිණෙමින් සිටි දමිළ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයෙන් පේරාදෙණියේදී අනුගමනය විය. නවතම සිද්ධිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුගේ මරණය පිළිබඳව උතුරේ ස්ථානගත ආරක්ෂක නිලධාරීන් පිරිසකට එරෙහිව එල්ල වන චෝදනාව යි. මුහුකුරා එන මේ අර්බුදය තුළ සැඟවී ඇත්තේ අන්තරායදායක බලවේගයකි.

ඇති තතු මුවාකිරීමෙන් නැගී එන කුණාටුව නතර කිරීමට කිසි සේත් ඉඩක් නැත. නව රජය සංහිඳියාව උදෙසා කැපවී ඇති බව ප්‍රකාශ කළත්, බලයට පැමිණි පසු, එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රබල ආයතන පිහිටුවිමට වැඩි යමක් සිදු වී නැත. ඇත්ත වශයෙන්ම, සහභාග රජයේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙක අතර ස්වභාවයෙන්ම පැනනැගිය හැකි මතබේධ සමනය කිරීමේ ප්‍රශ්නය දෙස සානුකම්පිකව බැලිය යුතුව ඇත. එදා මෙදා තුර විරුද්ධවාදීන්ව සිටි කණ්ඩායම් දෙකක් එකට එක් කිරීමට හැකි වීමම ඓතිහාසික ජයග්‍රහණයකි. එහෙත් සභාග රජයේ නව හවුල්කරුවන් රාජ්‍ය නෞකාව සාර්ථකව යාත්‍රා කිරීමට අසමත් වුව හොත් ඒ සන්ධානයෙන් වැඩක් නැත.

සභාග රජයේ මතබේධ නිසා මතුවන හිඩැස් පිරවීමට උදව් කිරීම විශේෂ කොමිෂන් සභාවල යුතුකමකි. එවැනි එක් යුතුකමක් පොලිස් කොමිසම මත පැවරේ. එනම් සැබෑ ජාතික සංයුතියක් ඇති පොලිස් බලකායක් නිර්මාණය කිරීම යි. සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් වසර හතකට පසුව ද, පොලිස් හමුදාවට ගැටුම් පවැති සමයේ බලපෑ සීමාවන්ගෙන් මිදී ඉදිරියට යාමට නො හැකිව තිබේ. අවුරුදු හතරකට පෙර පොලිස් සාමාජිකයින් වශයෙන් සුළුතර පුරවැසියන් බඳවා ගැනීම සඳහා ගත් උත්සාහය මම පුද්ගලිකව දනිමි. එහෙත් ඊට ලැබුණු ප්‍රතිචාරය අවම වුයේ, රුදුරු ගැටුම විසින් ජනනය වුණු විරොධ ආකල්ප නිසා යයි මට සිතේ. වාසනාවකට මෙන් එම මානසිකත්වය පශ්චාත්-යුද්ධ සමාජ සංවිධානය යටතේ පහ වී ගිය බව පෙනී යයි. ප්‍රබුද්ධ බහුතර දෙමළ නායකත්වය තුළ නැගී එන ලිබරල්වාදය යටතේ, දෙමළ පුරවැසියන් සිය ගනණින් පොලිසියට එක්වීමට පැමිණෙන බව පතළ ය. එහෙත් තවමත් ඒ ප්‍රවණතාවය පොලිස් දෙපාර්තමේන්තුවේ මහජන ප්‍රතිරූපය මත බලපෑමක් කිරීමට සමත් වී නැත.

ඉහත සඳහන් සිසුන් දෙදෙනාට මුණගැසුණු පොලිස් කණ්ඩායමේ එක දෙමළ නිලධාරියෙකුවත් සිටියේදැයි මම නොදනිමි. . අවම වශයෙන් එක් දෙමළ භටයෙකු ඔවුන් අතර සිටියේ නම්, මෙම සිදුවීමට උතුරේ ප්‍රතිචාරය බෙහෙවින් වෙනස් වනු ඇතයි මම විශ්වාස කරමි. පොලිස් කණ්ඩායම තුළ ප්‍රදේශයේ ජනවාර්ගික ව්‍යව්හය නියෝජනය වුයේ නම්, මේ ඛේදවාචකයට දකුණේ සමාන සිද්ධියකදී දැක්වෙන ප්‍රතික්‍රියාවකට වැඩි යමක් නිර්මාණය නො වනු ඇත. මෙහිදී පොලිස් කොමිසම උත්සුක විය යුත්තේ ආරක්ෂක තත්ත්වය අමතක නො කර, පොලිසියේ ප්‍රාදේශිය ස්වරුපය ගොඩනඟා ගැනීමට අවංක උත්සාහයක් දරිරීමට ය. මෙම සරසවි සිසුන්ගේ මරණ සාපරාධී ක්‍රියාවක් නිසා සිදු වී ඇති බව ඔප්පු වුවහොත්, සමාන තත්ත්වයන් තුළ, දකුණේ සිදු වන දේ අනුව යමින්, අපරාධකරුවන්ට එරෙහිව විනිවිද පෙනෙන නීතිමය පියවර නො පමාව ගත යුතු ය.

මා දෙමළ සිසුන්ට සිදු වූ ඛේදවාචකයට එරෙහිව එක හඬින් නැගී, දිවයින පුරා පෙළපාළි ගිය සියලු විශ්ව විද්යාලවල සිසුන් දෙස බලා සිටියේ ඉමහත් ආශ්වාදයකිනි. වසර කිහිපයකට බාල වූ යේ නම් මා ද සතුටින්, ඔවුන් හා එක් වන්නට ඉඩ තිබුණි. සමහර අන්තවාදීන් මේ ඇබැද්දියේ එල්ලී, වාර්ගික ආතතිය ඇති කිරීමට ගත් උත්සාහය මොට වී යන්නට වඩාත්ම බලවත් හේතුව වුයේ සිසුන්ගේ ජාතික සමගි ප්‍රදර්ශනය බව මම ස්ථිරව අදහමි. මෙම විරෝධතා දුටු සුළු ජාතීන් රටේ අති මහත් බහුතරය වාර්ගික වෙනස්කම් නො සලකන බව, ඒත්තු ගන්නට ඇත.

මේ අත්දැකීම පිටුතල කර ගෙන, විශ්ව විද්යාල තුල වාර්ගික සහෝදරත්වය නිර්මාණය කළ හැකි මැදිහත් ආකල්ප දරන අන්තර් විශ්ව ශිෂ්‍ය උපදේශක කමිටුවක් ගොඩනගා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වහාම උත්සුක විය යුතුය. විශ්වවිද්‍යාල තුළ වාර්ගික ගැටුම් පැනනැගිමේ නැඹුරුවක් ඇති අවස්ථාවක දී උපදේශක කමිටුවේ නියෝජිතයන් එම ස්ථානයට ප්‍රථමයෙන්ම යා යුතුය. මෙකී සමගි කාරක සභාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් නො කළ යුතු අතර එය අන්තර් ශිෂ්‍ය සමිති එදිරිවාදිකම් බැහැර කරන ක්‍රියාවලියකින් පිහිටුවිය යුතුය. එය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පිහිටි, ප්‍රමාණවත් අරමුදල් හා පහසුකම් ඇති, දීප්තිමත් සාධකයක් බවට පත්කර ගැනීමට ක්‍රියා කළ මැනවි.

දේශපාලනික එදිරිවාදිකම් හමුවේ සංහිඳියාව හඳුන්වාදීමේ අරගලයේ දී යහපාලනයේ බර සැහැල්ලු කිරීමට උදව් කිරීමට ඔවුන්ගේ ගතානුගතික චර්යාවේන් පිටත, නිර්මාණශීලී යමක් කිරීම අනෙක් ස්වාධීන කොමිෂන් සභාවලට පවා පැවරෙන යුතුකමකි. උදාහරණයක් වශයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාවට, උතුරු සරණාගත අර්බුදය තුළ ඉටු කිරීමට වැදගත් භූමිකාවක් ඇත. අපරාධ සැකකරුවන්ට නීති උපදෙස් ඇහිරීමට යෝජිත පියවරට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීම නිවැරදි දිශාවට තැබූ පියවරකි. උද්ගත වන රැකියා අවස්ථා ඒ ඒ ප්‍රජාව අතර සාධාරණ ආකාරයකට බෙදාහැරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව උකුසු ඇසක් යොමු කළ යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.