27 April, 2024

Blog

ස්ථාපන සභාවෙන් දේශපාලන බලපෑම් ඉවත් කරමු

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ 2015 සැප්තැම්බර 23 පළ වූ “ස්ථාපන සභාවට නියෝජිතයන් තේරීමේදී සිවිල් සමාජය අවමානයට ලක්වෙලා” යන ප්‍රවෘත්තීයට ලැබී තිබුණු ප්‍රතිචාර උඩින් පල්ලෙන් කියවද්දී, ඒ සභාවට මා සුදුසු යයි දෙදෙනෙකු යෝජනා කර තිබෙනු දැක විශ්මයට පත් වීමි. ඉන් එක අයෙකු මට අමුත්තකු වූ අතර අනිත් තැනැත්තා මා සමග එක පන්තියේ ඉගෙන පසුව සම්භාවනීය විදේශ සේවයට ඉස්සරහ දොරෙන් ඇතුල් වී, ප්‍රංශයේ අපේ තානාපති වශයෙන් සේවය අවසන් කළ කෙනෙක් විය. පාසල් බැඳීම් යන දුර! දෙකෝටියකට වැඩි ජනගහනයක් ඇති රටක දෙන්නෙක් කරන යෝජනාව මහා කජ්ජක් නො වේ. ඒ නම්බුවට මා පුද්ගලිකව සතුටු වුණ නමුත්, මුළු රටම එක් වී ඒ තනතුර මට පිරිනැමුවත් මම එය නො පිළිගනිමි. මේ ලිපිය ඊට හේතු දැක්වීමේ ප්‍රයත්නයකි.

හේතු දක්වන්නට පෙර සභාවේ නාමය ගැන යමක් කිව යුතුව තිබේ. මේ ඒකකයට “ව්‍යවස්ථා සභාව” කියන්නේ ඇයි? ව්‍යවස්ථාව කින්නේ රටක පදනම වූ මූලික නීතිය යි. “ව්‍යවස්ථා සභාව”ට ව්‍යවස්ථාව සමග ඇති එකම සම්බන්ධය එය ව්‍යවස්ථාවේ කොටසක් වීම පමණි. එහෙත් ව්‍යවස්ථාවේ අනිත් කොටස්වලට ඒ පදය නාම විශේෂණයක් වශයෙන් යොදනු නො ලැබේ. උදාහරණයක් වශයෙන් පාරලිමේන්තුව ‘ව්‍යවස්ථා පාරලිමේන්තුව’ නමින් හැඳින්වෙන්නේ නැත. ඒ ඒ කොමිෂන් සභා පිහිටුවන්නා, ව්‍යවථාපනය කරන්නා යන අර්ථය ආරෝපණය කිරීමට කෙටුම්පත්කරු විසින් ඒ පදය වරදවා යෙදූ බවක් පෙනේ. කොමිෂන් සභා ව්‍යවස්තාපිත කරන සභාව “ව්‍යවස්ථා සභාව” යයි ඔහු සැලකූ බවක් ගම්‍යමාන ය. ඊට ‘ස්ථාපන (ව්‍යවස්තාපන) සභාව’ යන නාමය යෙදුවේ නම් මේ පටලැවිල්ල වළකාගත හැකිව තිබුණි. සිංහල කෙටුම්පත්කරු ඊට ‘ආණ්ඩුක්‍රම’ යන විරුදාවලිය ද පෙරදැරි කිරීම නිසා ප්‍රශ්නය තවත් සංකීර්ණ වී තිබේ. ඉංගිරිසි පිටපතේ ඒ සභාව “Constituting Council” යයි හඳුන්වා තිබුනේ නම් ඔහු ඊට ‘ස්ථාපන සභාව’ සභාව’ යයි නම් කරනු ඇත.

ප්‍රධාන මාතෘකාවට ප්‍රවිෂ්වට කිව යුතුව ඇත්තේ, ශ්‍රී ලංකාවේ “ව්‍යවස්ථා සභාව” පිහිටුවීමට මුල් හේතුව දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රියාකළ හැකි ස්වාධීන ඒකකයක් පිහිටුවීම යයි කියන බව ය. එහෙත් ඒ සභාවේ සාමාජිකයන් තෝරාගන්නා ක්‍රමයෙන්ම ඒ අභිලාෂය බිඳ වැටෙයි. එහි සාමාජිකයන් දහ දෙනාගෙන් තුන් දෙනෙක් ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෝ ය. එක අයෙක් රටේ ඉහළම දේශපාලනඥයා වන ජනාධිපතිගේ නියෝජිතයෙකි. තව පස් දෙනෙකු තෝරනු ලබන්නේ පාරලිමේන්තුවේ දෙපැත්ත නියෝජනය කරන ප්‍රධානින් දෙදෙනා විසිනි. දස වන සාමාජිකයා සුළු පක්ෂවල නියෝජිතයෙකි. සභාවේ සත් දෙනෙකුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් බව මෙනෙහි කළ යුතුය. පෞද්ගලික නියෝජිතයන් වන්නේ ඉතිරි තුන් දෙනා පමණි.

දේශපාලන බලපෑම්

පෙර කී ව්‍යූහය පෙන්වන්නේ නිරුවත් දේශපාලන පීඩනයකි. පළමු තුන් දෙනා, එනම් කතානායක, අගමැති හා විරුද්ධ පක්ෂයේ නායක ක්‍රියාකාරී දේශපාලනඥයන් බැවින් ඔවුනොවුන්ගේ පක්ෂවල නියාමනයන්ට ඔවුන් යටත් වන බව පැහැදිලිය. ජනාධිපතිගේ නියෝජිතයා එතුමාගේ සිතැඟිවලින් මෙහෙයවනු ලැබීම ස්වභාවික ය. එසේම අගමැති හා විරුද්ධ පක්ෂයේ නායක විසින් තෝරනු ලබන සාමාජිකයන් පස් දෙනා තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ යෝජකයන්ගේ අභිමතයට අනුකුල වන්නට පෙළඹීම අරුමයක් නො වේ. මේ පස් දෙනාගෙන් දෙදෙනෙක්ම අද ඇමති පදවි දැරීම නිසා බලපෑම් තවත් තීව්‍ර වේ. සුළු පක්ෂවලින් තෝරන සාමාජිකයා ඒ පක්ෂවල පන්නරය දරනු ඇත.

nominations to the Constitutional Councilව්‍යවස්ථාවේ 41 A (4) වගන්තිය යුක්ති ගරුකව මෙසේ ප්‍රකාශ කර යි:- “මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ සඳහන් තැනැත්තන් පස් දෙනා නම් කිරිමෙදී අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්‍ෂයේ නායකවරයා විසින් වෘත්තීය හා සමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ව ලක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹු වන බව සහතික වීම පිණිස පාර්ලිමේන්තුවේ නියෝජනය වන දේසපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නායකයන් විමසිය යුත්තේ ය”. එහෙත් එසේ කිරීම කියන තරම් ලේසි නැත. පැවරීම කෙතරම ප්‍රශංසනීය වුව ද, පාරලිමේන්තුවේ පවතින ආරාවුල් දැක පුරුදු කිසිවෙකු මේ සද්ප්‍රාර්ථනාව සැබවින් ඉටුවේ යයි විශ්වාස නො කරනු ඇත. සභාව පිහිටු විමෙදී ක්‍රියාත්මක වන දේසපාලන බලපෑම් එහි තීරණවල ද පිළිඹිබු වීම අනිවාර්ය ය. තක්කාලි පැලයක් සිටුවා ඉන් අඹ නෙලා ගන්නට නො හැක.

ස්ථාපන සභාවට පත්කරනු ලබන ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයන් පක්ෂ බේධයෙන් මිදී අපේක්ෂිත මට්ටමේ සේවයක් කරන්නට ඉඩ ඇත. එහෙත් අද සමාජයේ එබඳු ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෝ විරලයහ. කෙසේ වෙතත්, උත්තුංග අපේක්ෂා මත පිහිටා නීති සම්පාදනය නො කළ යුතුය. ලෙයින් මසින් සැදුනු ලෞකිකයන් අතර පැනනැගිය හැකි ඕනෑම අවස්ථාවකට ගැලපෙන සේ නීති සකස්විය යුතුය. සභාව ක්‍රියාත්මක වීමෙදී පැන නැගිය හැකි තවත් විෂමතාවයක් නම් සාමාජිකයන් අතර ඇති බල පරිමාවයි. එක පසෙක රටේ දෙවැනි තුන්වැනි පුරවැසියෝය. පෞද්ගලික සාමාජිකයන් කෙතරම් සුදුසුකම් ඇත්තන් වුවත්, අපේ සංස්කෘතියට අනුව, ඔවුන් පෙර කී බලවතුන් හා ගැටෙන්නට පසුබට විය හැක. යම් හෙයකින් දේශපාලන බලවතුන් නොතකා ඔවුන් ක්‍රියා කළත්, සභාවේ බහුතරය වන ඒ බලවතුන්ගේ ඡන්දයෙන් ඔවුන් පරාජයට පත්වනු නියත ය. මේ බඳු විසම පරිසරයක සම්මුතියෙන් ගන්නා තීරණ අවශ්‍යයෙන්ම ඒකපාක්ෂික ය. මේ වැනි පසුබිමක, තමන්ට ලැදී දේශපාලන බලවතුන් රජයන තේරීම් සභාවක් ඉදිරියේ නුසුදුස්සෙකු වුව ද උපරිම සුදුසුකම් ඇති නිර්දේශපාලන විශිෂ්ටයෙකු අභිබවා යාම පුදුමයක් නො වේ.

මේ අනුව ස්වාධීන කොමිෂන් සභා අන්වර්ථ කිරීමේ පරමාර්ථය එවා පත් කරන ක්‍රමය නිසා ආරම්භයේදීම නිෂේධනය වෙයි. නව රජය යටතේ ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එක දේසපාලකයෙකුගෙන් ඉවත් කරගන්නා ලද බලය දේසපාලකයන් කණ්ඩායමකට පවරා මඳක් ප්‍රසාරණය කිරීම යි. මෙරට ස්ථාපන සභාවක් පත්කිරීමට මුල් වුයේ ප්‍රධාන විධායකයා කෙරෙහි වූ අවිශ්වාසය හා සැකය බව පෙනේ. එහෙත් මුල් ස්ථාපන සභාව නිර්මාණය කිරීමෙන් පසුව දෙන ලද පත්විම්වල ද කැපී පෙනෙන වෙනසක් දක්නට නො ලැබිණි. අලුත් ක්‍රමය යටතේ පැන නැගුනු ආරවුල් වලට හේතු වුයේ ද දේසපාලන කරුණු ය. පරිපාලනයෙන් දේසපාලනය ඉවත් කරන්නට දැරූ ප්‍රයත්නය නිසා ප්‍රශ්න තවත් උග්‍ර වූ අතර ඊට දේශපාලනයම හේතුවීම තුළ පරස්පර විරෝධී බවක් පෙනේ.

විදේශ ප්‍රතිපදා

දියුණු රටවල් ඔවුන්ගේ පරිපාලනය උවමනාවෙන්ම දේශපාලනයෙන් ඉවත් කොට තබති. අපේ ස්ථාපන සභාවෙන් කෙරෙන්නේ ස්වාධින කොමිසන් සභා පිහිටුවා එවා අධීක්ෂණ කිරීම හා උසස් තනතුරුවලට කරන පත්වීම් පිළිබඳව ජනාධිපතිතුමාට උපදෙස් දීමට සිමා වූ ක්‍රියාවලියකි. තථ්‍ය වශයෙන් එය සුදුස්සන් තෝරන ආයතනයකි. පොදු නිතිය ක්‍රියාත්මක වන රටවල එබඳු ආයතනික තීරණ පැවරෙන්නේ ඒ ඒ මට්ටම්වල ප්‍රධාන විධායකයාට ය. නැත හොත් රාජ්‍ය නායකයා හෝ අදාළ ඇමතිවරයා වින් පත්කරනු ලබන මණ්ඩලයකට ය. කැනඩාවේ හා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කිරීම අදාළ ඇමතිට පැවරේ. බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සේවයේ ප්‍රධානියා කෙළින්ම අගමැති යටතේ සේවය කරයි.

වෙනත් රටවල ව්‍යවස්තා සභාවලින් කෙරෙන කටයුතු අපේ සභාවේ කාර්යභාරයට වෙනස් වුවත්, සිවිල් නිතිය බලපාන රටවල පවා ඒවායේ සංයුතියෙන් විදැහෙන්නේ දේශපාලනය ගාවා නො ගන්නා ප්‍රවණතාවයකි. ප්‍රංසයේ එම සභාවේ සභාපති පත් කරන්නේ ජනරජයේ ජනාධිපති ය. ඊට ජනාධිපති, හා රාජ්‍යසභාවේ ද සෙනෙට් සභාවේ ද ප්‍රධානින් විසින් එක සාමාජිකයෙකු බැගින් පත්කරනු ලැබේ. කාම්බෝජයේ සභාවට රජු විසින් ද රාජසභාව හා උත්තුංග මණ්ඩලය විසින් ද සාමාජිකයන් තුන් දෙනෙකු බැගින් පත් කෙරේ. කසකස්තාන් ජනරජයේ ව්‍යවස්ථා සභාවේ සභාපති හා සාමාජිකයන් දෙදෙනෙක් ජනාධිපති විසින් පත්කෙරෙන අතර සෙනෙට් සභාව හා මන්ත්‍රී මණ්ඩලය විසින් සාමාජිකයන් දෙදෙනෙකු බැගින් නම් කෙරේ. අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ, මේ රටවල ඒ ඒ ආයතන නාමයෝජනා ඉදිරිපත් කරන්නේ සමස්ථයක් වශයෙන් මිස පක්ෂ හෝ වර්ග බේධ අනුව නො වීමයි. අපේ පාරලිමේන්තුව සමස්ථයක් වශයෙන්, රහස් ඡන්දයෙන් තීරණ ගන්නේ නම්, දෙසපාලන හෝ පුද්ගලික බලපෑම් නැති නාමයෝජනා අප රටේ ද ප්‍රචලිත කළ හැකි ය.

දියුණු රටවල පරිපාලන ක්‍රියාවලියෙන් දේසපාලනය ඉවත් කරන හැටි පාඩමකට ගත යුතුය. ක්‍රියාත්මක දේශපාලනඥයන්ට ඔවුන්ගේ සභාවල තැනක් නැත. ප්‍රංසයේ හා කාම්භෝජයේ හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්තා සභාවේ තැනක් වෙන්කර ඇතත්,දේශපාලනයෙන් සමු නො ගත් කෙනෙකුට එහි අසුන් ගත නො හැක. අප රටේ ඉහළම තනතුරු දරන දේශපාලනඥයන් තුන් දෙකෙක් අපේ සභාවේ සාමාජිකයෝ ය. සභා රැස්විමකදී ඔවුන් තුන්දෙනාගේ සහභාගිත්වය නිසා සාමාන්‍ය සාමාජිකයන් කෙරෙහි ඇතිවන බලපෑම අමුතුවෙන් කිව යුතු නො වේ. එබඳු පීඩිත පරිසරයක ස්වාධින, සමබර, නිර්භීත තීරණ ගත හැකි ද?

ඉදිරි මග

18 වන සංශෝධනය යටතේ එක පුද්ගලයෙකු තුළ කේන්ද්‍ර ගත කරන ලද බලය 19 වන සංශෝධනය යටතේ නිෂ්ප්‍රභ කරන්නට දරන තැත අවතක්සේරු කිරීමට යෝජනා නො කරමි. පිළියම් යොදන්නට යාමේ දී ඉහත සඳහන් ප්‍රශ්න පැනනැගී ඇතත්, පැවති ඒකාධිපති බලය බිඳ හෙළීම ප්‍රශංසනීය ය. බඩගින්නේ සිටි අයෙකුට හීල්බතත් භෝජනයකි. ලැබුණු සැපතට පිටුපෑම මෝඩකමකි. දැන් කළ යුතුව ඇත්තේ ඒ සැපත තහවුරු කර ගැනීම ය. එය ද කළ යුත්තේ දැන් කෙරීගෙන යන පිළියම්වලට බාධාවක් නොවන පරිදි ය. ගඟ මැද හරකුන් මාරු කිරීම අන්තරා දායක ය. යෝජිත අලුත් ව්‍යවස්ථාව මෙහි දක්වා ඇති අඩුපාඩු මකා ගැනීමට ඇති හොඳම අවස්ථාව කි.

නව ව්‍යවස්ථාව සම්පාදනය කරන විද්වතුන්ගේ අවධානයට පහත සඳහන් කරුණු යොමු වේවා!

  • දැන් පවතින ‘ව්‍යවස්ථා සභාව’ වෙනුවට ස්වාධින ‘ස්ථාපන සභාවක්’ පිහිටුවීම
  • ඒ සභාවට කිසිම ක්‍රියාකාරී දේශපාලනඥයකු ඇතළත් නො විය යුතු ය.
  • සභාවේ සියලුම සාමාජිකයන් ඒ ඒ වෘත්තීන්හි, ආයතනයන්හි හෝ සංවිධානයන්හි ගැඹුරු දැනුමක් හා පුළුල් අත්දැකීමක් ඇති කැපී පෙනෙන ප්‍රමුඛයන් විය යුතු ය.
  • ඔවුන් පාරලිමේන්තුවට නිර්දේශ කළ යුත්තේ අද්ධ්‍යාපන, සීවිල් සමාජ ආයතන හා වෘත්තීය සමාගම් වැනි සම්මානයට පත් වූ රටේ පතළ සංවිධානවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් කුලාජියක් විසිනි.
  • එම නිර්දේශ පාරලිමේන්තුව හෝ වෙනත් ව්‍යවස්ථා සභාවක් විසින් සම්මත කළ යුතු නම්, එසේ කළ යුත්තේ රහස් ඡන්දයකිනි. ඊට කිසිම පුද්ගලයෙකුගේ හෝ නිලයක පෞද්ගලික සම්බන්ධයක් නො තිබිය යුතු ය.
  • නාම යෝජනා කරන්නට බලය ඇති කිසිවකු තමාගේ සහභාගිත්වයෙන් පත් කරන ලද ඒකකයක සාමාජිකයකු නොවිය යුතු ය.
Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.