22 September, 2020

Blog

නව ව්‍යවස්ථාවක් සැකසීම: ප‍්‍රජාතන්ත්‍ර​වාදය තුළ සැඟව ඇති සැහැසි තන්ත්‍ර​යෙන් වළකින්න

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

ප‍්‍රජාතන්ත්‍ර​වාදයක් තුළ තිබිය හැකි ප‍්‍රජාපීඩක, සැහැසි පාලන තන්ත‍්‍රයකට යට නොවන්නැයි ඉල්ලා සිටීම, වචනාර්ථයෙන් ගත් කල පරස්පරයක් සේ පෙනී යා හැකිය. මන්ද යත්, ප‍්‍රජාතන්ත්‍ර​වාදය යනු ‘ජනතාව විසින් ජනතාව සඳහා ඇති කරගන්නා ජනතාවගේ ආණ්ඩුවක්’ බවට පොදු සම්මතයක් ඇති බැවිනි. මේ නිසා, එවැනි පාලන ක‍්‍රමයක් ජනතාවට හානිකර විය නොහැකි බව, සාමාන්‍යයෙන් නම්, නොකිවමනා ය.

එහෙත් ප‍්‍රජාතන්ත්‍ර​වාදය ක‍්‍රියාත්මක වන ආකාරය දෙස විමසිල්ලෙන් බැලූවොත්, ඉහත කී නිගමනය තුළ ඇති පරස්පරතා පෙනී යනු ඇත. සකල ජනතාව සියලූ තන්හි සතුටු කිරීම ප‍්‍රායෝගිකව කළ නොහැක්කක් නිසා, ප‍්‍රජාතන්ත්‍ර​වාදය තුළ කෙරෙන්නේ, බහුතරයේ උවමනාව සුලූතරයේ උවමනාවට ඉහළින් තැබීමයි. එහෙත් ඒ මගින් ඇති කරගන්නා විසඳුම තුළ, බහුතරයේ සංඛ්‍යාත්මක ශක්තිය මගින් සුළුතරයේ තාර්කික සහ ආචාරධර්මීය ආස්ථානයන් පරදුවට හෙලිය හැකිය. එහිදී, බහුතරයේ අදහස වැරදි එකක් වුවත් කම් නැත. ජයගන්නේ එයයි.

70 දශකයේදී මා ලියූ ‘‘උමතුසංවරුසාව’’ වේදිකා නාට්‍යය තුළින් නාට්‍යානුසාරයෙන් ගෙනහැරපෑමට මා අදහස් කෙළේ එම සත්‍යයි. නාට්‍යයේ කතා වස්තුව පදනම් වන්නේ මිථ්‍යාමය වැස්සක් වටා ය. මේ වැස්සට හසුවන ඕනෑම කෙනෙකු පිස්සු වැටෙන බවට අනාවැකියක් රජතුමාගේ පුරෝහිතයා ප‍්‍රකාශයට පත්කොට තිබුණි. මේ තත්වය තුළ, වැස්සෙන් තෙමෙන්ට එළියට එන ඕනෑම කෙනෙකු දුටු තැන වෙඩි තබා මරණ බව ප‍්‍රසිද්ධ කළ රජතුමා, එම නියෝගය ක‍්‍රියාත්මක කිරීම සඳහා සිය හේවායන්ද සේවයේ යෙදැවීය. එහෙත්, වැස්ස පටන් ගත් පසු, වැස්සෙන් තෙමීමේ ආශාවක් කා තුළත් ඇති විය. රජ පවුලේ සාමාජිකයෝ සහ හේවායෝ පවා ඒ ආශාවට යට වූහ. එම පෙළඹැවීමෙන් ගැලවී සිටියේ, රජතුමාත්, පුරෝහිතයාත් පමණි. මිනිස්සු පාරට පැන වැස්සේ තෙමී උමතුවෙන් නටන්ට වූහ. ඉන් පිස්සු වැටුණු ඔවුහූ, ඉරට සඳ කීහ. එපමණක් නොව, තම මතයට අනුගතව, රජතුමා සහ අග‍්‍ර පුරෝහිතයාත් එසේම පැවසිය යුතු බවට නියෝග කළහ. එසේ නොකළොත් ඔවුන් දෙන්නාගේ හිස ගසා දැමීමට ඒ සැහැසි ජනයා සැරසුණහ. අවසානයේ ඔවුන් දෙන්නා කෙළේ, වැස්සෙන් පනිට්ටුවකට රැුස් කරගෙන සිටි වතුර ටිකක් තමනුත් නාගෙන කැමැත්තෙන්ම උමතුවට පත්වීමයි.

ලැදියාවන් අතර ඝට්ටනයක්

ඉහත කී කතාවෙන් නිරූපණය කෙරෙන්නේ, ප‍්‍රජාතන්ත්‍ර​වාදය තුළ සැඟව පැවතිය හැකි සැහැසි පාලනයේ ස්වභාවයයි. මේ යටතේ තීරණාත්මක වන්නේ, යම් මතයකට එකඟ වන සංඛ්‍යාව මිස, එම මතයේ වලංගු භාවය හෝ සාධාරණත්වය හෝ නොවේ. එය එසේ නොවුණි නම්, සොක‍්‍රටීස් සහ ක‍්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ මුළු ආයු කාලයම ජීවත් වෙනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් එරටේ ජීවත් වන බහුතරය විසින් පාලනය කරනු ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් පාර්ලිමේන්තුවාදී ක‍්‍රමයක් තුළ ඒ බලය, මැතිවරණයෙන් පසු වියැකී යයි. ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයෝ තමන්ගේ අතට බලය ගෙන, ඡුන්දායකයන්ගේ නමින් රට පාලනය කරති. එහෙත් ඡන්දදායකයන් ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය එකී කාලය තුළ පළුදු වී තිබෙන්ට පුලූවන. එසේ වුවද, එම නියෝජිතයන්ව බලයෙන් පහකළ හැක්කේ, කලාතුරකින් සිදුවන විප්ලවයකින් හැරුණු කොට, ඊළඟ මැතිවරණයකින් පමණි. මේ කාලය තුළ එකී නියෝජිතයන් කරන්නේ තමන්ගේ මනාපයට රට පාලනය කිරීමයි. එහිදී, ස්වභාවිකවම, ඔවුන්ගේ ඕනෑ එපාකම් ජනතාවගේ අවශ්‍යතා පරයා ඉස්මත්තට එයි. ඡන්දදායකයන් දරිද්‍රතාව පත්ලේ ගිලී සිටියදීත්, මන්ත‍්‍රීවරුන් සිය වැටුප් වැඩි කර ගැනීමටත්, ආර්ථිකයක් කඩා වැටෙන විටත් තම සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කර ගැනීමටත් පෙළඹීම අපට තේරුම්ගත හැකි වෙනත් ක‍්‍රමයක් වේද?

Maithripala Ranil W Piv Via MS's FBදින 100 වැඩ සටහන යටතේ ක‍්‍රියාවට නැංවූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජනතා අභිලාෂයක් සන්තෘප්ත කැරැුවීමකි. ඇමතිවරුන් සංඛ්‍යාව ඒ මගින් 35 කට සීමා කිරීම රට පුරා මහත් ප‍්‍රසාදයට හේතුවක් විය. එහෙත් එම සංශෝධනය තුළටම හොරෙන් ඇතුල් කොට තිබූ තවත් වගන්තියක් යටතේ ඉහත කී සීමාව මාස කිහිපයක් ගතවන්ටත් පෙර උල්ලංඝනය කෙරුණි. මේ කියන හොර වගන්තිය පදනම්ව තිබුණේ වැරදි තර්කනයක් මතයි. එනම්, ඇමති මණ්ඩලයක ප‍්‍රමාණය තීරණය විය යුත්තේ රටක් ඉදිරියේ ඇති කාර්යභාරයේ ප‍්‍රමාණය උඩ නොව, තනතුරු ලෝභයෙන් හැසිරෙන දේශපාලඥයන්ව බා ගැනීමේ හැකියාව උඩ බවයි. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් ගානටම ආසන්න සංඛ්‍යාවක් ඇමතිවරුන් වශයෙන් පත්කර ගැනීමට පාලකයන්ට හැකි වු අතර එම ආණ්ඩුව බලයට පත්කිරීමට දරදිය ඇද්ද ජනතාවට එම නාස්තියේ බර දරා ගැනීමට සිදුවිය. මේ වූ කලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සැඟව පවතින සැහැසි බල අපයෝජනයේ ශක්‍යතාවට එක් උදාහරණයක් පමණි. එවැනි අපයෝජනයන් සිදුවන්නේ ජනතාවගේ නාමයෙන් යැයි පෙන්නුම් කළත්, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ජනතා නියෝජිතයන් සිය සුඛ විහරණය සලසා ගැනීමයි. (එයිනුත් ඇතැමෙකු ජනතාව විසින් ඡුන්දයෙන් පරාජය කළ අයවළුන් වීමද මෙහිදී විශේෂත්වයක් ගනී).

ව්‍යවස්ථාව යක්ෂාවේශ ගැන්වීම

යටත්විජිත පාලන සමයේදී ජනතාවට අදාළ තීරණ ගනු ලැබුවේ බි‍්‍රතාන්‍ය රාජ්‍ය නිලධාරීන් විසිනි. එම තීරණ සම්බන්ධයෙන් ඔවුන්ට පෞද්ගලික ලැදියාවන් නොතිබූ හෙයින් ඒවා අනිවාර්යයෙන්ම, පවතින විෂයමූලික තත්වයන්ට අනුකූල විය. එසේ හෙයින්, සෝල්බරි ව්‍යවස්ථාව දක්වා ඇති කරගත් ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුළ පුද්ගල පක්ෂපාතීත්වයන් නොවීය.

එහෙත් දේශීය ජනතා නියෝජිතයන් විසින් මුල් වරට සකස් කරගන්නා ලද 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ප‍්‍රජාපීඩකත්වයේ අඩුවැඩිය නොමදව තිබුණි. එසේ වුණේ, එම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලිය තුළ නීති ක්ෂේත‍්‍රයේ සහ දේශපාලන ක්ෂේත‍්‍රයේ විදග්ධයන්ද සිටියදීය. මේ ව්‍යවස්ථාව සම්මත කරගත් පාර්ලිමේන්තුව මුළුමණින් සමන්විත වුණේ ඡුන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන්ගෙනි. මේ අත්තනෝමතික ප‍්‍රවණතාව 1978 ව්‍යවස්ථාව හරහා තවත් ඉදිරියට ගෙන යන ලදි. විටින් විට බලයට පත්වු ජනාධිපතිවරුන් මේ අක‍්‍රමිකතාව ඉවත් කිරීමට පොරොන්දු වුවත්, ඒ කිසිවෙකු එසේ කෙළේ නැත. හේතුව, එසේ කිරීම තමන්ට පෞද්ගලිකව අවාසි සහගත විය හැකි බව ඔවුන් දත් හෙයිනි. 18 වැනි සංශෝධනය හරහා මේ අත්තනෝමතිකත්වය එදා පාලකයා චිරස්ථායී කරගත්තේය. මේ සියල්ල කෙළේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙනි/ ජනතා අභිලාෂය මෙසේ අපයෝජනය කෙරෙන්නේ, එම ජනතාව විසින්ම පාර්ලිමේන්තුවට පත්කර යැවෙන නියෝජිතයන්ගේ ඕනෑඑපාකම් විසින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමහර විට ඔවුන් එසේ කරන්ට ඇත්තේ, සිය ඒකාධිපති නායකයාගේ තර්ජනය යටතේ විය හැකිය.

අතීතයේ සිදුවී ඇති එවැනි දේවල්, වර්තමානයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේදී පාඩමට ගත යුතුව තිබේ. දැනට සිටින මන්ත‍්‍රීවරුන් ඊට සහභාගී වුණොත් සිදුවන්නේ, ඔවුන්ගේ පුද්ගල අවශ්‍යතා සහ ජනතා අවශ්‍යතා අතර ගැටුමක් ඇති හෙයින් අදාළ නව ව්‍යවස්ථාවත් විකෘති වීමයි. පුරවැසි අවශ්‍යතාවන්ට ඉහළින් ස්වකීය අවශ්‍යතා ඔසවා තැබීම සඳහා වන වගන්ති ඔවුන් විසින් ඊට ඇතුළත් කිරීම හෝ නොකිරීම හරහා එවැන්නක් සිදුවිය හැකිය. එනම්, තම අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා තමන්ම තීරකයන් බවට පත්වීමකි.

ක‍්‍රියාවලිය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම

මෙවැනි තත්වයක් තුළ ගත හැකි පැහැදිළි ආරක්ෂණ පියවරක් වන්නේ, ක‍්‍රියාකාරී දේශපාලඥයන්ගේ පුද්ගල අගතීන්ට යට නොවනු වස්, නව ආණ්ඩුක‍්‍රමය ‘ව්‍යවස්ථා සභාවක්’ මගින් කෙටුම්පත් කිරීමයි. ප‍්‍රංශයේ මෙන්ම කාම්බෝජයේද, හිටපු ජනාධිපතිවරුන් ‘ව්‍යවස්ථා සභාවේ’ නිල නියෝජිතයන් වන මුත්, ඔවුන් දේශපාලනික ක‍්‍රියාකාරීත්වයේ යෙදන්නේ නම්, ඔවුන්ව මෙවැනි ක‍්‍රියාවලියකින් ඉවත් කෙරේ. ප‍්‍රංශයේ ‘ව්‍යවස්ථා සභාව’ මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ නැති බව සැබවි. එහෙත්, ජාතික මැතිවරණ සම්බන්ධයෙන් වන ක‍්‍රියාවලිය ඔවුන්ගේ සභාපතිත්වය යටතේ සිදුවන අතර, සම්මත කරගන්නා අණපනත්වල ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන් තීන්දු කරන්නේද ඔවුන් ය. කෙසේ වෙතත්, ප‍්‍රායෝගික දේශපාලනයේ නිරත වන අයවළුන් මෑත් කොට තබා ගනිමින් නීති සම්පාදනය නිර්දේශපාලනීකරණය කිරීමේ අභිප‍්‍රාය මේ තත්වය පසුපස ඇති බව පැහැදිළි ය.

පාර්ලිමේන්තුවේ සිටින කිසි මන්ත‍්‍රීවරයෙකු ‘ව්‍යවස්ථා සභාවට’ ඇතුළත් කර නොගන්නවා සේම, ‘ව්‍යවස්ථා සභාවට’ සාමාජිකයන් පත්කර ගැනීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් මැදිහත් විය යුතුද නැත. එහෙත්, ‘ව්‍යවස්ථා සභාවේ’ ව්‍යුහාත්මක රාමුව කෙසේ විය යුතුදැයි අපෞද්ගලික පදනමක් මත නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට පුලූවන. උදාහරණයක් වශයෙන්, විශ්ව විද්‍යාල, වෘත්තීය ආයතන සහ පංගුකාරී කණ්ඩායම් විසින් මේ ‘ව්‍යවස්ථා සභාවට’ නාමයෝජනා කළ යුතු සංඛ්‍යාවන් කෙතෙක් විය යුතුදැයි තීන්දු කිරීම පාර්ලිමේන්තුවට පැවරිය හැකිය. ‘ව්‍යවස්ථා සභාව’ මගින් සකස් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ඒ සඳහා මොන තරම් විදග්ධ පිරිස් සහභාගී වුවත්, ඇතැම් සීමාවන්ට යටත් විය හැකි බව පැහැදිළියි. ඒ නිසා එම කෙටුම්පත තුන්වැනි පාර්ශ්වයක පරීක්ෂණයටද භාජනය කළ යුතුය. එම කාර්යය, ‘ව්‍යවස්ථා අධිකරණයක්’ වශයෙන් අසුන් ගන්නා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරිය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිර්දේශිත ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට එය කෙතෙක් දුරට අනුගතද යන්න එහිදී සළකා බැලිය හැකිව තිබේ. මේ කෙටුම්පත අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ, ‘ව්‍යවස්ථා සභාවෙන්’ සම්මත වූ පසුවයි.

ව්‍යවස්ථා කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලට පාර්ලිමේන්තුව විරුද්ධ වන්නේ නම්, එය නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ හැකිය. සමහර විට, ‘ව්‍යවස්ථා සභාව’ සමග සාකච්ඡුා කොට, ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය. ප‍්‍රශස්ත වන්නේ, එයාකාරයෙන් සංශෝධනය කරගන්නා ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසු රටේ ව්‍යවස්ථාව බවට පත්කර ගැනීමයි.

මේවා, කියන තරම් පහසුවෙන් කළ හැකි දේවල් නොවේ. මන්ද යත්, ව්‍යවස්ථාවේ අඩංගු යමක් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන්ට පටහැනි වන්නේ නම්, මන්ත‍්‍රීවරුන් ඒ ගැන අහක බලාගෙන සිටිතැයි සිතිය නොහැකි බැවිනි. එවිට, ස්ථාවර නියෝගවල ඇති යම් අවසරයක් පාවිච්චි කරමින් එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ඔවුන් අඩාල කළ හැකිය. ඇත්ත වශයෙන්ම, මෙතැන යම් නොපෑහීමක් නැතුවා නොවේ. එක පැත්තකින්, නියෝජිත මන්ත‍්‍රීවරුන් නොපිළිගන්නා යමක් ඔවුන්ට බලෙන් පැටවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි ය. අනිත් පැත්තෙන්, දේශීය වශයෙන් සකසා ගත් ව්‍යවස්ථාවන් මගින් පෙන්නුම් කොට ඇති පරිදි, මහජන නියෝජිතයන් ඉල්ලා සිටින වගන්ති, පොදුවේ ජනතාවට හානිකර විය හැකිය.

ජනතාව අවසන් බේරුම්කරුවන් වශයෙන්

මේ ප‍්‍රශ්නයට විසඳුමක් විය හැක්කේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් විරෝධය පාන වගන්ති, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණ ක‍්‍රියාවලියෙන් පසුව වුව, ජනමත විචාරණයක් සඳහා ජනතාවට ඉදිරිපත් කිරීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවසාන ප‍්‍රතිලාභීන් වන ජනතාව විසින්ම එසේ අපරානුමත කරගත් ව්‍යවස්ථාව අනතුරුව රටේ උත්තරීතර නීතිය බවට පත්වෙයි. ඒ වන විට එය, විශේෂඥයන්ගේ නිසි සොයා බැලීමට ලක්ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ නෛතික නිරීක්ෂණයන්ට ලක්ව, ජනතාවගේ අනුමැතියටද ලක්ව තිබෙන අතර, ඒ ක‍්‍රියාවලිය තුළ මැදිහත්කාර පාර්ශ්වයක් සේ කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ගේ ආත්මාර්ථකාමී අගතීන්ගෙන් නිදහස් ලියවිල්ලක්ද වන්නේය.

එසේ නොමැතිව, අතීතයේදී කළා සේ, තාවකාලිකව බලයේ සිටින පිරිසක සිතැඟියා පරිදි සකස් කරගන්නා ලියවිල්ලක් ජනතාව මත බලහත්කාරයෙන් පැටවීම, දීර්ඝ කාලීනව ජනතාවට අනර්ථයක්ම වනු ඇත. ‘යහපාලනය’ තුළ මේ අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න, යහපාලනයේ තරම මැන බැලෙන අවස්ථාවක් සේ සැළකිය හැකිය.

*2015 සැප්තැම්බර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Framing A New Constitution; Avoid The Hidden Tyranny Of Democracy” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    මගේ මේ ලිපිය සිංහලට පරිවර්තනය කර පළ කිරීම ගැන ‘යහපාලනය ලංකා’ටත් මෙම ප්‍රකාශනයේ කර්තෘ තුමාටත් කෘතඥ වෙමි. මා විසින්ම සිංහලෙන් ලිවූ මුල් ලිපියක් තරමටම පරිවර්තනය සාර්ථක වී ඇත. එහෙත් මාතෘකාවේ සඳහන් ‘සැහැසි තන්ත්‍රය’ට අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඒ වචනය යොදා ඇත්තේ ඉංගිරිසි පිටපතේ ‘tyranny’ වෙනුවට ය. ‘tyranny’ යන ඉංගිරිසි වචනයේ සැහැසි බව අවශ්‍යයෙන්ම ගැබ්වී නැත. ඊට වඩා අදාළ වන්නේ මර්ධනය යි. ඒකාධිපති බව යි. සෑම ‘tyrannt’ කෙනෙක්ම සාහසික නැති නමුත් මර්ධනකාරී ය. ඒකාධිපති ය. මගේ ලිපියෙන් ද මා අවධාරණය කරන්නට තැත් කරන්නේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ සැඟවී ඇති ඒකාධිකාරය යි. එබැවින් මාතෘකාව ‘නව ව්‍යවස්ථාවක් සැකසීම: ප‍්‍රජාතන්ත්‍රවාදය තුළ සැඟව ඇති ඒකාධිකාරයෙන් වළකින්න’ යනුවෙන් යෙදුවේ නම් වඩා උචිතය යි මම සිතමි.
    ‘කලම්බු ටෙලිග්‍රාෆ්’හි පළ වන ඉංගිරිසි ලිපි සිංහලට පරිවර්තනය කිරීමේ වැදගත් කම මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි. ඉංගිරිසි පාඨකයන්ට ඒ ලිපිවල ගැබ් වන අදහස් උකහා ගැනීම සඳහා තවත් බොහෝ මූලාශ්‍ර ඇත. එහෙත් සිංහල පමණක් උගතුන්ට දැනීම පුළුල් කර ගැනීමට ඇති මූලාශ්‍ර සීමිත ය. එබැවින් මෙම අඩවියේ පළවන සෑම ලිපියක්ම සිංහලට පෙරළා, පළකිරීම ජාතිහිතයිෂී, භාෂාමාමක, ද්විභාෂා විද්වතුන්ගේ යුතුකම කි. ඒ සත්ව්‍යාපාරයට අත දීම සඳහා කතුතුමා තෝරා එවන ලිපි මහේ වයසට හා සෞඛ්‍යයට ගැලපෙන පරිදි, සතියට එක බැගින් මව්බසට නැගීමට එකඟ වෙමි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් දෙබස උගතුන්ගේ සහාය ලැබුණොත්, සෑම ලිපියක්ම මව්බසින් පළවන දිනය ළඟලඟම එනු නියත ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.