Colombo Telegraph

ගම්ලත්ට පසු ගම්ලත්?

දිමුතු සමන් වෙත්තසිංහ

(හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක්)

පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි.

සුචරිත ගම්ලත්

හරීන්ද්‍ර දසනායක විසින් මතු කරන මා විසින් සඳහන් කරන ලද ” නිර්ධන පංතියට සංස්කෘතියක් ඇද්ද?” යන මාතෘකාව යටතේ වූ විවාදය ගුවන් විදුලියේ ‘රූපණ මණ්ඩපය’ නම් සංවාද වැඩසටහනෙන් විකාශය වූයේ 1994 ජුනි මාසයේ දිනයක ය. තිලක් ජයරත්න විසින් නිෂ්පාදනය කරන ලදුව ධම්ම ජාගොඩ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන පිළිබඳව සහ එහි ගම්ලතුන් දැරූ ආධිපත්‍යය ගැන වටිනා සිහි කැඳවීමක් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් පසුගිය සිළුමිණට සැපයූ ලිපියකින් කර තිබුණි.

සැබවින්ම උක්ත සංවාදයේ දී ගම්ලත් නිර්ධනයාට සංස්කෘතියක් නැති බව ප්‍රකාශ කිරීම සහ එසේ ඇත්නම් ඒ සවසට තැබැරුමේ දී මධුවිත තොල ගා ගැනීමෙන් බව ව්‍යාජෝක්තියෙන් ප්‍රකාශ කිරීම තුළින් සංස්කෘතිය ගැන ඔහු උසස් ස්ථාවරයක් දැරූ බව මගේ ලිපියේ මවිසින් ප්‍රකාශ කරන්නට යෙදුනි. මගේ තර්කය වූයේ බුර්ෂුවා හෝ ප්‍රභු සංස්කෘතිය යැයි හැඳින් වූ දෙයෙහි උසස් බවට එරෙහිව පොදු ජනයාගේ සංස්කෘතිය සහ වෙනත් චූල සංස්කෘතීන් යම් යම් වාම ප්‍රවණතාවයන්ගෙන් මෙන්ම පශ්චාත් නූතනවාදීන්ගෙන් ද ප්‍රගතිශීලී යැයි ඇගයුණු තත්වයක් තුළ සහ මාක්ස්වාදී විචාරකයෙක් වූ රෙජී සිරිවර්ධන පවා බෙතෝවන්ගේ නිර්මාණ සහ බයිලා සම තත්වයේ ලා තැබීමට උත්සාහ කළ තත්වයක් තුළ ගම්ලතුන්ගේ අදහස අතිශයින් තීරණාත්මක බවයි. මෙම ගුවන් විදුලි සාකච්ඡාවේ දී ගම්ලත්ට එරෙහිව දිවංගත ගාමිණී විජේතුංග කුළු ගැන්වූ ආස්ථානය ද පශ්චාත් නූතනවාදී ඌණ පූරණයක්ම විය. ඔහු පශ්චාත් ධනවාදී යුගයේ දැනුම සහ කළමණාකරණය මුල් කරගෙන කම්කරු පංතියේ ඇති වූ විපර්යාසය විග්‍රහ කළේය.නමුත් මීට ගම්ලත්ගේ සරල පිළිතුර වූයේ මෙම විපර්යාසයන් නිසා නිර්ධන පංතිය නම් සාධකය අහෝසි නොවන බවයි.

ගාමිණී විජේතුංග පසුව 1994 ජුනි 26 දින සිළුමිණ පත්‍රයේ “නුවන් යොමුව” නම් තම කොලමෙහි “මාක්ස් නැවතුණු තැන අපිත් නවතිමු ද?” යන මාතෘකාව යටතේ මෙම විග්‍රහය තව දුරටත් ඉදිරියට ගෙන ආවේය. නමුත්, හරීන්ද්‍ර දසනායකගේ වටමඬල ලිපියේ “ගාමිණී විජේතුංග සිළුමිණ පුවත්පතට සැපයු “මාක්ස් නැවතුණු තැන අපිත් නවතිමු ද?” යන ලිපියෙන් නිර්ධනයාට සංස්කෘතියක් නැත්නම් කලාවක් කොයින්දැයි ප්‍රශ්න කර මාක්ස්වාදී කලා විචාරය වර්ධනය වූ ආකාරය පෙන්වාදෙයි.” යනුවෙන් දැක්වුවත් එවැනි උදෘතයක් විජේතුංගගේ ලිපියේ කොතැනකවත් නැති අතර ඔහු වෙනත් කිසිවක් පටලවාගෙන ඇති බව පැහැදිළිය. එමෙන්ම එවැනි මතයක් ගම්ලත්ගේ පමණක් නොව විජේතුංගගේ ද ආස්ථානයට පරස්පර යමක් වන හෙයින් එය නිවැරදි නොකිරීම ජීවතුන් අතර නැති ඔවුන් දෙදෙනාටම කරන අයහපතකි. සැබවින්ම, විජේතුංගගේ ලිපියේ ඇත්තේ දැනුම නිසා පංති සමාජයේ ඇතිවූ වෙනස්කම් හැරුණු විට සංස්කෘතිය පාරිභෝජන භාණ්ඩයක් වීම පිළිබඳ සාකච්ඡාවක් මිස අන් කිසිවක් නොවේ.

බැලූ බැල්මට ප්‍රතිගාමී යැයි පෙනී යන්නේ වුවත්, හරීන්ද්‍ර අන්තවාදී යැයි පෙනෙන්නේ යැයි කීවත් “නිර්ධනයාට සංස්කෘතියක් නැත” යන ගම්ලත්ගේ මතය සම්භාව්‍ය මාක්ස්වාදී ස්ථාවරය මෙන්ම ට්‍රොට්ස්කිවාදී ස්ථාවරය ද වේ. තවද මෙම සංවාදයේදී ද ඔහු සංස්කෘතිය වෙත එළඹුනේ ධනේෂ්වර ක්‍රමය තුළ නිෂ්පාදන මාධ්‍යන්ගේ හිමිකාරත්වය පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී දෘෂ්ටියෙනි.ගම්ලතුන්ගේ තර්කය යුක්ති යුක්ත කරන සඳහන් අතර මාක්ස්ගේ “දේශපාලන ආර්ථික විද්‍යාවට විචාරයක්” කෘතියේ පෙරවදනෙහි “නිෂ්පාදන සබඳතා සමස්ථයෙන් සමාජයේ ආර්ථික ව්‍යුහය ද එම පදනම මත නීතිමය දේශපාලනික උපරි ව්‍යුහයක් ගොඩනැගෙන…..අතර ද්‍රව්‍යමය ජීවිතයේ නිෂ්පාදන මාදිලිය විසින් සමාජීය, දේශපාලන හා බුද්ධිමය ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාදාමය සකසයි.” යන උදෘතය මෙන්ම නිර්ධන පාංතික සංස්කෘතියක භව්‍යතාවය ද එවැනි කලාවක පැවැත්මද ප්‍රශ්න කරන ට්‍රොට්ස්කිගේ “සාහිත්‍යය සහ විප්ලවය”(Literature and Revolution) කෘතියේ නිර්ධන පාංතික සංස්කෘතිය සහ නිර්ධන පාංතික කලාව (Proletarian Culture and Proletarian Art) යන සවැනි පරිච්ඡේදය ද ඇති බව “විකටරූප විවාදය” පරිශීලනය කළෝ දනිති. එමනිසා “මූලධාර්මික වුවත් සුනම්‍ය මාක්ස්වාදය සහ භාවිත විචාරය (Practical Criticism) සංයෝගයෙන් බිහිවූ “සාහිත්‍යය සහ විප්ලවය” යන කෘතිය මාක්ස්වාදී නොවන විචාරකයන් සඳහා පීඩාකාරී කෘතියකැ යි ද, එෆ්.ආර්.ලීවීස් (F.R. Leavis ) විසින් එහි කතුවරයා මෙම “භයානක ලෙසින් බුද්ධිමත් මාක්ස්වාදියා” යැයි හැඳින්වූ බව ද ඉංග්‍රීසි මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයෙක් වන ටෙරී ඊගල්ටන් (Terry Eagleton) ඔහුගේ “මාක්ස්වාදය හා සාහිත්‍ය විචාරය” ( Marxism and Literary Criticism) යන කෘතියේ දක්වන හෙයින් ට්‍රොට්ස්කිවාදය අනුදත් සාහිත්‍ය විචාරකයන්ට තම කර්තව්‍යයේ ලා කිසියම් ස්වාධීනත්වයක් හිමි වූ බව පෙනේ. සාහිත්‍ය කලාවෙන් යථාර්තය ජය ගැනීම හෝ විප්ලවකාරී කාර්යක් කල නොහැකි බව සහ ඉන් කෙරෙන්නේ යථාර්තය පිළිඹිබු කිරීම හෝ ඥානනය කිරීම බව ගම්ලතුන් දැකීම අර්ථවත් වන්නේ මෙම පසුබිම තුළය.

ඒ කෙසේ වුවත්, කලා විහීන ජනප්‍රිය සංස්කෘතිය ඇගයිමේ පිලිස්තීනුවාදයක ඔහු නොගිලෙන්නේත්, උසස් භාෂා ප්‍රමිතීන් උදෙසා කැපවන්නේත්(ප්‍රගතිශීලී නොවේ යැයි කෙනෙක් දකින ‘හඩු බස’ වැනි යෙදුම් සලකන විට )උසස් සාහිත්‍ය කලාවක් වෙනුවෙන් සැමදා පෙනී සිටින්නේත්, ගුරු භක්තියෙන් දේශපාලන ව්‍යාපාර හැර පියා පැමිණෙන්නේත් ට්‍රොට්ස්කිවාදී විචාර මගේ පිටුබලයෙන් ද එසේත් නැතහොත් පෙර අපර දෙදිග සම්භාව්‍ය භාෂා ශාස්ත්‍රයන්හි ඔහු ලැබු ශික්ෂණයෙන් මඩනා ලද හැදියාවකින් සහ චරිතයකින්ද යන්න තවදුරටත් විවාදාභිමුඛය.

සුනන්ද මහේන්ද්‍රයන්ගේ සිළුමිණ ලිපියේ මේ සම්බන්ධයෙන් වැදගත් ඉඟියක් පල කර ඇත. එනම් “සංස්කෘත රසවාදය” හැර අන් විචාර පද්ධතියක් තිබිය නොහැකිය යන දැඩි මතයක එල්බ ගත්තෙක් ලංකාවට පැමිණීමෙන් පසුව මාක්ස්වාදියෙකු බවට පත්වූයේ කෙසේද ?යන්නයි. එමෙන්ම ඔහුගේ පූර්ව මාක්ස්වාදී ශාස්ත්‍රීය ජීවිතය පිළිබඳ වැදගත් සාක්ෂියක් ලෙස (මාගේ මුල් ලිපියේ ද සඳහන් කරන ලද ) 1971 දී ප්‍රදීප ප්‍රකාශකයන් විසින් පල කරන ලද “සාහිත්‍ය ලෝකය හා සැබැ ලෝකය” කෘතිය සැලකිය හැක. නමුත් හරීන්ද්‍ර දසනායක මෙම කෘතිය කලාව පිළිබඳ මාක්ස්වාදී සංකල්ප සිංහලෙන් පැහැදිළි කරන කෘතියක් යැයි වටමඬල ලිපියෙහි දැක්වීම නොමඟ යවන සුළු ය. ගම්ලතුන්ගේ ග්‍රන්ථ නාමාවලීන් වල වත් සඳහන් නොවන මෙම කෘතියේ සඳහනක් කිසිදු මාක්ස්වාදී විචාරකයෙකුට නැති අතර ඇත්තේ සම්භාව්‍ය දාර්ශනිකයන් හා විචාරකයන්ට සඳහන්ය.අන්තර්ගතය කලාත්මක විනිශ්චය හා රසවාදය ආදී දේ ගැනය. එසේ නම් සම්භාව්‍ය දර්ශනයේ සහ සාහිත්‍යයේ ශාස්ත්‍රීය ශික්ෂණය ලැබූවෙක් මාක්ස්වාදියෙකු වූයේ කෙසේද? එම නිසාම ඔහුගේ ශික්ෂණයේ හෝ චරිතයේ පරිවර්තනයක් සිදු වූයේද? රේමන්ඩ් විලියම්ස් (Raymond Williams) ගේ “මාක්ස්වාදය සහ සාහිත්‍යය” (Marxism and Literature) කෘතියේ උදෘතයකින් මෙය අවසන් කරමි.

“මූලික වශයෙන්, සංස්කෘතික හෝ සාහිත්‍යමය හේතු නිසා කෙනෙක් මාක්ස්වාදියෙකු බවට පත්නොවන තරම් ය. එසේ වන්නේ බලකරන සුළු දේශපාලන හා ආර්ථික හේතු නිසාය.”

Back to Home page