28 March, 2024

Blog

එක්සත් ජාතික පක්ෂය දෙදරා යයිද?

සුදත් චන්ද්‍රසේකර

සුදත් චන්ද්‍රසේකර

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උග්‍රවෙමින් පැවතීම, අද දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. අභ්‍යන්තර ප්‍රශ්ණ අද ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ ජනතාව ඉදිරියේ සාකච්ඡා කිරීම දක්වා දරුණු තත්වයකට පැමිනීම එතරම් සුභදායක නොවන්නේ තව මාස කීපයකින් මැතිවරණ කීපයකට මුහුණ දීමට සිදුව ඇති බැවිනි. නොවැම්බර් මස 24 වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදි ජනාධිපතිවරණය පැවැත්වීමත්, සැප්තැම්බර් මස අගබාගයේදී ඒ සදහා නාම යෝජනා බාර දීමත් සිදුවන බැවින්, තව දුරටත් මෙම ගැටුම් සමග ඉදිරියට යෑම අසුභවාදි පෙරනිමිත්තකි. 

දැනටමත් පොහොට්ටුව සිය මැතිවරණ ව්‍යාපාරයට පිවිස ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ ද තව දින කීපයකින් තම අපේක්ෂකයා නම් කරණු ඇත. එක්සත් ජාතික පාක්ෂිකයා මංමුලා කිරීම කණගාටුදායකය.

පසුගිය පලාත් පාළන මැතිවරණයේදි, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 26%කට ආසන්න ප්‍රමාණයකට පහත වැටි ඇති බැවින්, තව දුරටත් සංධානගත නොවි, තනි පක්ෂයක් ලෙසට ජයග්‍රහණය කල නොහැකි බව මනාව පැහැදිලිවේ. නමුත් තත්වය එසේ තිබිය දී, කුඩා පක්ෂ කීපයක් සමග සංධානයක් ගොඩ නැගිමේදීත්, එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තුලද, බෙදීමක් සිදුව ඇති නිසා, සංධානය හෝ පෙරමුණ පිහිටුවීමද තව තවත් පස්සට යෑම තුලින් ගැටඵව තවත් සංකීර්ණ වී ඇත.

මේ වනවිට දෙපාර්ෂවයම පෙරමුණක් පිහිටුවීමට එකගතාවයට පැමිණ තිබීම තාවකාලික අස්වැසිල්ලක් වූවද, එක් පාර්ශවයක් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුවද, අනෙක් පාර්ෂවය අපේක්ෂකයෙකු නම් කිරීමට පෙරද, පෙරමුණ පිහිටුවීමට උත්සාහ කිරීම තුලින් නව අර්බුදය නිර්මානය වී ඇත. එක් කණ්ඩායමක් කල්පනා කරන්නේ ඉදිරිපත් කරන අපේක්ෂකයා කලින් නම් කලහොත් පෙරමුණට සම්බන්ධවන පක්ෂ එම අපේක්ෂකයාට අකමැතිනම්, පෙරමුණ පිහිටුවීමට බාධා පැමිනෙණ බැවින්, පෙරමුණේ සියඵ පක්ෂවල එකගතාවයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවයි. එසේ නොකලහොත් සමහර පක්ෂ පෙරමුණට එකතුවීම ප්‍රථික්ෂේප කල විට එම ඡන්ද තම අපේක්ෂකයාට අහිමිවීම තුළින් ජයග්‍රහනයක් ලබා ගැනීමට නොහැකි බවයි.

අනෙක් කණ්ඩායම කල්පනා කරන්නේ පෙරමුණ පිහිටුවීමෙන් අනතුරුව, බහුතර ඡන්ද පදනමක් ඇති එක්සත් ජාතික පක්ෂයෙන් තමන් කැමති අපේක්ෂකයෙකු ඉදිරිපත් කල විට පෙරමුණේ නායකයින් එම අපේක්ෂකයාගේ නම ප්‍රථික්ෂේප කලහොත් තම අපේක්ෂකයාට ඇති අවස්ථාව මගහැරී යන බැවින්, අපේක්ෂකයා නම් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයටම හිමිවිය යුතු බවකි. එහෙයින් ඔවුන් දරන්නේ  අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුව පෙරමුන පිහිටවිය යුතුය යන මතයයි. 

මෙම මත ගැටුම තුල කන්ඩායම් දෙකකටම බෙදි සිටියද, තවමත් අපේක්ෂකයෙකු ද තෝරා ගෙන නැත. එක් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරන අතර, එයට විරුද්ධ පිරිස කිසිදු නමක් යෝජනා නොකරන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කල පසු තම අපේක්ෂකයගේ නම ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය යයි පවසමිනි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති දූරය බලාපොරොත්තුව සිටියද, ජනාධිපති අපේක්ෂකත්වය සදහා කිසිසේත්ම ඉදිරිපත් නොවනු ඇත. කටකථා මගින් කරු ජයසූරිය, චම්පික රණවක මහත්වරුන්ගේ නම් කියවුනද, සජිත් පිලේ මෙන් එම නම් කිසිවෙකුත් ඉදිරියට ගෙනවිත් නැත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය සියඵ පාර්ශවවල කැමැත්තෙන්, සියඵ දෙනාගේ ආශිර්වාදයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලහොත්, තවත් අවුරුදු දහයකට, පහලොවකට විපක්ෂයටම යනු ඇත.

තත්වය මේ තරමටම උණුසුම් නම් අවසානය කුමක් විය හැකිද?

මෙම දෙපාර්ෂවයටම පොදු එකගතාවයකට පැමිනීමට නොහැකි වුවහොත්, එක් පාර්ශවයකට වෙන්වී යැමට සිදුවිම වැලැක්විය නොහැකිය. දැනට දෙපාර්ශවයම ගමන් ගන්නා දිසාවන් අනුව පැහැදිලිව පෙනි යන්නේ එක්වීමට වඩා, වෙන්වීමට උත්සාහ කිරීම හෝ බලහත්කාරයෙන් යමක් සිදු කිරීමට දෙපාර්ශවයම ගන්නා උත්සාහයකි.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන කාලයේ ශාක්‍ය කෝලිය දෙවංශික රජ දරුවන්ගේ කලහයක් මුල් කොට ගෙන ඇති වූ, වාද විවාද නිසා මිනිසුන් පමණක් නොව තිරිසන් ගත සතුන් ද විනාශයට පත්වන බව පෙන්වා දීම සඳහා වටු කුරුලු ජාතක කතාව දේශනා කරන ලදී. එම දේශනාව එක්  ජාතික පක්ෂ නායකයින්ට වඩාත් යෝග්‍ය බව මට හැගේ. එක් වී සැනසෙමුද ? වෙන් වී වැනසෙමුද ?

මෙහි අවසන් ප්‍රථිපලය එක් කණ්ඩායමක් ඉවත්වීම නොවේද? නැතහොත් පක්ෂයේ දෙදරා යෑමක් නොවේද? අවසානයේ නැවත වරක් පරාජය වන්නේ පාක්ෂිකයා නොවේද? අපි මෙහි තීන්දුව කාලයට බාර කරමු.

*සුදත් චන්ද්‍රසේකර, අගමැතිගේ හිටපු පුද්ගලික ලේකම් සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    රනිල් හරියට රට පාලනය කලා නම් කවදාවත් මේ තත්වය උදාවන්නේ නැහැ. චන්දය ලබා දුන් 62 ලක්ෂ්යෙහි හර්ද ස්පන්දනය හඳුනාගන්න බැරි තරමටම රනිල් මුරණ්ඩු පාලකයෙක් වුවා පමණක් නොව රාජපක්ෂලාට උවමනා ලෙසට රට පාලනය වෙන්න ඉඩ හැරියා . රට බල්ලටම ගියා . නීතියක් විනයක් නැති ගෝත්‍රික රටක් බවට පත් වුනා. අඩුම වශයෙන් රාජපක්ෂලා ගෙන් වත් අවුරුදු 5 කට රට ගෙනියන්න සහයෝගය ලැබුණේ නැහැ. අන්තිමට හොරු රජ වුනා. රජවූ පාලකයෝ හොරු බවට හංවඩු ගැහුනා. නිලකාස හොරු නිදොස්කොට නිදහස් වුනා. පක්ෂය සහ පාක්ෂිකයා කෙරෙහි අබමල් රේණුවක තරම්වත් හිතුවේ නැහැ. රනිල්ට හිතුනේ මොකක්ද ඒ වෙනුවෙන් පෙනී හිටිය මිසක් පාක්ෂිකයා කෙරෙහි උනන්දුවක් දැක්වුයේ නැහැ.
    රට හරියට පාලනය කරන්න බැරිවුනේ රටේ පාලකයා UNP එකෙන් පළිගත් නිසා කියන එක නිදහසට කාරණයක් නෙවෙයි. පාලකයා ව්‍යවස්ථා විරෝදී ලෙස කටයුතු කරද්දී නීති මගින් කටයුතු කරන්න අවස්ථා කීපයක්ම උදාවෙද්දී ඒවා මග හැර කිසිවක් නොදන්නා කෙනෙකු සේ කටයුතු කලා. එසේ කලානම් ප්‍රතිපලය කුමක් වුවත් අදටත් ජනතාව සිටින්නේ රනිල් ඔබ සමගයි.. දැන් ඉතින් කුම්බලාවෝ කෑවනම් සුඛ විඳපන් බළලෝ කියල තමයි කණගාටුවෙන් වුවත් කියන්නට තිබෙන්නේ. කොහොමත් දැන් පක්ෂයේත් විනයක් නැහැ. ඉන්න අයත් ඔහේ ඉබාගාතේ යන අය
    දැන් වත් ඉදිරිපත්වෙලා රට කරගෙන යන්න පුළුවන් දක්ෂයෙක් තෝරාගන්න. ජනාධිපතිවරණය සඳහා. සජිත් ප්‍රේමදාස කියන්නේ පරිනත දේශපාලකයෙක් නෙවෙයි. මයිත්රීපලගේ සහ කිළී මහාරාජාගේ ඇම කාගෙන උන්ගේ පදේට නටන සජිත්ගෙන් කිසිසේත්ම රටට හොඳ පාලනයක් බලාපොරොත්තුවෙන්න බැහැ මයිත්රීපාලටත් අවශ්‍ය වන්නේ UNP එක දේශපාලන වශයෙන් විනාශ කරන්නයි.
    ඔබට දැන් ඉතිරිව ඇත්තේ අන් කිසිවක් නොව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමයි.

  • 4
    0

    මොනම දැක්මක් වත් නැති අදුරධර්ශි නිවට බියගුළු පාලනයෙන් පක්ෂය, පාක්ෂිකයින් පමණක් නොව පොදුවේ රටට සිදුවූ විපත අපමණය. මේ පාලනයෙන් වාසි ලබාදුන්නේ සහ ලබා ගත්තේ රාජපක්ෂ වරුන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයින් පමණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.