27 September, 2020

Blog

සකී‍්‍රය රාජ්‍යයක් ඇති බව දර්ශනය විය යුත්තේ මැතිවරණ සමයකදී පමණක් නොවේ

සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ

රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත‍්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ නීතිරීති හදති. ප‍්‍රතිපත්ති සම්පාදනය කරති. නිලධාරියෝ ඒවා ක‍්‍රියාවේ යොදවති. යහපාලනය සඳහා මේ දෙපිරිස අතර මනා සුසංයෝගයක් අවශ්‍ය කෙරේ.

බි‍්‍රතාන්‍ය රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශය වන ‘‘එහෙමයි, අගමැතිතුමනි’’ නැමැති වැඩ සටහන, ආතක්පාතක් නැති අගමැතිවරයෙකු ගැන කියැවෙන විකට රූපික ඉදිරිපත් කිරීමකි. ඔහු සිටින්නේ, ඔහු මෙන්ම ආතක්පාතක් නැති, එහෙත් කෛරාටික නිලධාරී තන්ත‍්‍රයක ග‍්‍රහණයේය. යථාර්ථය ඊට වඩා සංකීර්ණ බවට සැකයක් නැත. ශ‍්‍රී ලංකාවේදී අප අත්දැක ඇත්තේ, යටත්විජිත සමයේ සිටි අදීන සහ ප්‍රෞඪ රාජ්‍ය නිලධාරියා, මෑතක සිට නිර්ලජ්ජී හෙංචයියෙකු බවට පිරිහී ඇති ආකාරයකි. අපේ රාජ්‍යයේ අඩුවැඩිය අප ඉදිරියේ වැඩියත්ම ප‍්‍රදර්ශනය වන අවස්ථාව මැතිවරණ සමයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ අලූත් මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම අතර පවතින නොනගත කාලය, මැතිවරණ දෙපාර්තමේන්තුවට සිය දක්ෂතා පෙන්වීමට ලැබෙන අගනා කාලයකි. 2010 ජනාධිපතිවරණ සමයේ ඇති වූ අමිහිරි අත්දැකීම් තුළින් තමන් ආතතියට පත්වූ බව හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ අවස්ථාවේ, එම නොනගත කාලය පවා සිය රාජකාරිය සඳහා නිසියාකාරයෙන් යොදවා ගැනීමට නිලධාරී තන්ත‍්‍රය අසමත් වූ බව පෙන්නුම් කෙළේය.

2015 ජනාධිපතිවරණය, ඒ සම්බන්ධයෙන් ගත් විට, එක්තරා හැරවුම් ලක්ෂ්‍යකි. අලූත් මැතිවරණ කොමසාරිස්වරයා තමන් වෙත එල්ල වූ සියලූ පීඩනවලට හොඳින් මුහුණදුන්නා පමණක් නොව, මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අවම බලය පමණක් නොව, හිසටම වෙඩි තැබීම දක්වා පවා යන උපරිම බලයත් පාවිච්චි කළ යුතු බව ප‍්‍රසිද්ධියේ කීමට තරම් නිර්භය විය. ජුනි 27 සහ අගොස්තු 17 වැනි දා දක්වා වන කාලය තුළ තමන් සතුව පැවති අමතර බලය නිසියාකාරයෙන් පරිහරණය කළ මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ නිලධාරීහූ, පොලීසිය සහ වෙනත් අදාළ අංශ මෙහෙයවමින් අපේ ඉතිහාසයේ වඩාත් සාමකාමී මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහ.

Mahindaඅපේ රාජ්‍යයට කළ හැකිව පවතින කර්තව්‍යයේ නිවැරදි ස්වභාවය එකී ආදර්ශයෙන් අවබෝධ කර ගත් අපි, වෙනත් රාජ්‍ය අංශවලටත් එසේ කටයුතු කළ නොහැක්කේ මන්දැයි දැන් අපෙන්ම ප‍්‍රශ්න කරගත යුතුව තිබේ. මැතිවරණ දෙපාර්තමේන්තුවේ එකී ක‍්‍රියාකලාපය රටේ පැවතිය යුතු සාමාන්‍ය ස්වභාවය විය යුතුව තිබියදී, එය විශේෂිත ස්වභාවයක් වුණේ මන්ද යන්න අපෙන් දැන් ප‍්‍රශ්න කරගත යුතුය.

කීර්තිමත් කාලය

යටත්විජිත කාලයේ සිටි ආදායම් පාලක නිලධාරිවරයා, පරිපාලන ක්ෂේත‍්‍රයේ සිටි රජ කෙනෙකු මෙන් විය. මෙවැනි නිලධාරීන් බොහෝ විට එවැනි තනතුරුවලට පත්ව ආවේ, ඔක්ස්ෆර්ඞ් හෝ කේම්බි‍්‍රජ් වැනි විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබා අවසන් වූ ගමන් ය. කේම්බි‍්‍රජ් උපාධිධාරියෙකු වූ ජෝන් ඩොයිලි 1801 දී ලංකාවට ආවේ, ඔහු 27 වියැතිව සිටියදී ය. ලංකාවේ ඔහුගේ සමස්ත සේවා කාලය තුළ, කොළඹ, මාතර සහ නුවර රජයේ ආදායම් පාලකවරයා වශයෙන් කටයුතු කරන අතරේ ඔහු සිංහල භාෂාව උගත්තේය. ලංකාවේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගත්තේය. රට කරවන නිලමේලා සමග මිතුරුකම් ඇති කර ගත්තේය. ඒ හරහා, කන්ද උඩරට එවකට රජ කරමින් සිටි ලංකාවේ අවසාන රජු 1815 දී පරාජය කිරීමට කටයුතු කෙළේය.

ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් බී. ඒ. උපාධිය ලද ලෙනාඞ් වුල්ෆ්, ඊට ශත වර්ෂයකට පසුව, 24 වියැතිව සිටියදී ලංකාවට පැමිණ, යාපනේ ආදායම් පාලක නිලධාරියා බවට පත්විය. 1913 දී ලියූ ‘බැද්දේගම’ නවකතාව හරහා, ලංකාවේ එදා විසූ සිංහල ගැමියා ගැන හෙලූ සානුකම්පික ආකල්පය නිසා ඔහු ප‍්‍රසිද්ධියට පත්විය. එච්. සී. පී. බෙල්, ලෙනාඞ් වුල්ෆ්ගේ සමකාලීනයෙකි. 1890 සිට 1912 දක්වා ලංකාවේ ඉතා වැදගත් පුරාවිද්‍යා ගවේෂණ කළ විද්වතෙකු වශයෙන් ඔහු ගෞරවයට පත්වෙයි. මෙවැනි විදේශිකයන් සේම ප‍්‍රසිද්ධියට පත් දේශීය රාජ්‍ය නිලධාරීහුද එදා උන්හ. උදාහරණයක් වශයෙන්, බෙල්ගේ අනුප‍්‍රාප්තිකයා වූ සෙනරත් පරණවිතාන තවමත් අපේ ගෞරවාදාරයට පාත‍්‍ර වෙයි.

නිදහසින් පසු අලූත් නිලධාරී පැලැන්තියක් බිහි විය. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා බිහි වුණේ, ලංකාවේ මධ්‍ය මහා විද්‍යාලවලිනි. 1957 දී සිවිල් සේවයට බැඳුණු ලීල් ගුණසේකර, හම්බන්තොට ගැන ලියූ ලෙනාඞ් වුල්ෆ්ගෙන් අවුරුදු 50 කට පමණ පසු, අනුරාධපුරයේ වෙසෙන ගැමියා ගැන කීර්තිමත් නවකතාවක් ලීවේය.

තමන් සේවය කළ ජනතාව කෙරෙහි අවබෝධයකින් කටයුතු කළ උගත් රාජ්‍ය නිලධාරීන්ගේ පරම්පරාවට ලීල් ගුණසේකර අයත් වෙයි. අවුරුදු උත්සව, පාසල් ක‍්‍රීඩා තරග සහ තෑගි ප‍්‍රදානෝත්සව වැනි වැදගත් ප‍්‍රජා කටයුතුවල බොහෝ විට ගෞරවනීය ආරාධිතයන් වුණේ, එවැනි සිවිල් නිලධාරීන් හෝ ප‍්‍රාදේශීය පොලිස් වසම් ප‍්‍රධානීන් ය. ඔවුන්ව සැළකුණේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන් හෝ වෙනත් ප‍්‍රාදේශීය මහජන නියෝජිතයන් තරමටම හෝ, සමහර විට ඔවුන්ටත් වඩා වැදගත්, ප‍්‍රභූන් වශයෙනි.

එහෙත් සියල්ල යහතින් සිදුවුණේ නැත. බලසම්පන්න වෙමින් සිටි සහ කෙමෙන් වර්ධනය වෙමින් සිටි එවැනි රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයක් රටේ සංවර්ධනයට බාධාවක් යැයි දේශපාලඥයන්ට හැෙඟන්නට විය.

ලෙඩා මරා බඩ ශුද්ධ කිරීම

රාජ්‍ය ඇමතිවරයා වශයෙන් සිටි ජේ. ආර්. ජයවර්ධන එදා තම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කර ගත්තේ, සිවිල් සේවයට අයත් නැති ආනන්ද තිස්ස ද අල්විස්වයි. ආනන්ද තිස්ස ද අල්විස් ලංකාවේ සංචාරක කර්මාන්තය දියත් කිරීම සඳහා වැඩ කළත්, ඔහුව අමාත්‍යාංශ ලේකම් තනතුරට පත්කර ගැනීම හරහා ජේ. ආර්. ජයවර්ධන කෙළේ, දේශපාලනික පත්වීම් සඳහා රාජ්‍ය පරිපාලනයේ දොරටු විවර කිරීමයි.

ඊළඟට, 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ සන්ධාන ආණ්ඩුව බලයට ආවේ, රාජ්‍ය ආයතන ගැන සොයා බලන නිරීක්ෂණ යාන්ත‍්‍රණයක් වශයෙන් ‘ජනතා කමිටු’ පත්කරන බවට පොරොන්දු දෙමිනි. මේ ‘ජනතා කමිටු’ එදා මහත් සේ රටේ අපකීර්තියට පත්විය. එහෙත්, රාජ්‍ය පරිපාලනය තුළට දේශපාලඥයා මැදිහත් විය යුතුය සහ ඔහුට මැදිහත් විය හැකිය යන්න, ඉන් පසු සදහට සමාජගත විය.

1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ‘චිට්’ ක‍්‍රමය හඳුන්වා දුනි. එතැන් පටන්, කෙනෙකුට රැුකියාවක් ලබා ගැනීම සඳහා යම් මන්ත‍්‍රීවරයෙකුගේ ලියුමක් අවශ්‍ය විය. එතැන් පටන් රාජ්‍ය යාන්ත‍්‍රණය, දේශපාලනික අනුග‍්‍රහයේ තෝතැන්නක් වූ අතර, නිදහස පිළිබඳ යම් හෝ සේයාවක්වත් එම රාජ්‍ය සේවය තුළ එතෙක් තිබිණි නම්, එය ද වළලා දැමුණි.

තක්කඩි රාජ්‍ය නිලධාරියාගේ නැගීම

නිලධාරී තන්ත‍්‍රය ප‍්‍රපාතයටම ඇද වැටුණේ ගත වූ පස් වසර තුළයි. දශක කිහිපයක් තිස්සේ විවිධාකාරයෙන් තැති ගැන්මට ලක්ව සිටි රාජ්‍ය නිලධාරියා, පවතින තත්වයට අනුගත වන්නට කෙමෙන් උගත්තේය. දේශපාලඥයන් දෙන නියෝග පමණක් කිරීමට උගත් ඔහු/ඇය, එම නියෝග නීත්‍යානුකූල වන්නේද නැද්ද යන්න නොතැකුවේය. ඇතැම්හු, එම ක‍්‍රියාවලිය තුළ, තමන්ගේ සාක්කුද පුරවා ගත්හ.

අමාත්‍යාංශයක හෝ රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියා වන්නේ, එහි ප‍්‍රධාන ගිණුම් පාලක නිලධාරියා මිස, එම අමාත්‍යාංශ භාර දේශපාලඥයා නොවේ. මේ නිසා, හොරකමක් ගැන චෝදනාවට ලක්වන ඕනෑම දේශපාලඥයෙකු පසුපස, යම් රාජ්‍ය නිලධාරියෙකු ද සිටිය යුතු බව අමතක නොකළ යුතුය. පසුගිය පාලන සමය තුළ අප දුටු මෙකී දේශපාලනික-නිලධාරී දෙපාර්ශ්වයේ අක‍්‍රමිකතා වනාහී, විශාල ප‍්‍රශ්නයක මතුපිට පොත්තක් පමණි.

නොතකා හැරීම හරහා සිදුවන අපරාධත් කෙමෙන් වර්ධනය වෙමින් තිබේ. මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෑකකදී හෙලි කළ පරිදි, 1976 මහවැලි ව්‍යාපෘතිය යටතේ පදිංචි කළ 4685 ක් ගොවීන් අතරින් තම ඉඩම්වලට ඔප්පු ලබා ගැනීමට මේ දක්වා සමත්ව සිටින්නේ ගොවීන් 83 දෙනෙකු පමණි. ඔප්පුවක් යනු, අදාළ නිවැරදි තොරතුරු යම් කඩදාසියක ලියා, බලධාරියාගේ අත්සන යොදන ඉතා සරළ කටයුත්තකි. එහෙත් ඒ දෙය පවා කිරීමට නිලධාරීන් අසමත්ව ඇත. ඒ මගින් දහස් ගණනක් අසරණ ජනයා, මහත් දුකටත් ගැහැටටත් පත්කොට ඇත. 2010 දක්වා මහවැලි කටයුතු ඇමතිවරයා වශයෙන් සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන බව මෙහිදී මතක් කිරීම වැදගත් ය. එහෙත් ඔහුට පවා තම නිලධාරීන් ලවා මේ සරළ කාර්ය ඉටු කර ගැනීමට හැකි වී නැත.

ජනවාරි 8 හැරවුම් ලක්ෂ්‍යයක් වශයෙන්

තැපැල් ඡන්දය, පෙරහැරක් ඉදිරියේ යන කසකරුවන්ට සමානයි. තැපැල් ඡන්ද සමන්විත වන්නේ, මැතිවරණය දවසේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන්ගේ ඡන්දවලිනි. ජනවාරි 8 වැනි දා තැපැල් ඡන්දයේ යාපනේ ප‍්‍රතිඵලයෙන් සියයට 70 ක් මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් වැටී ඇති බව දැනගත් විට මහින්ද රාජපක්ෂ තමන්ට අත්වීමට නියමිත ඉරණම තේරුම් ගන්නට ඇත. යාපනේ තැපැල් ඡන්දවලින් අතිබහුතරය සමන්විත වුණේ හමුදා නිලධාරීන්ගෙනි.

සමස්ත රටේ අවසාන තැපැල් ඡන්දවලින් සියයට 51 ක් වැටී තිබුණේ මෛත‍්‍රීපාල සිරිසේනටයි. එය ඉතා වැදගත් සංසිද්ධියකි. මන්ද යත්, 1988 න් පසු කිසි දවසක එක්සත් ජාතික පක්ෂය සියයට 40 කට වැඩි තැපැල් ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගෙන නැති බැවිනි. 2010 මහ මැතිවරණයේදී ඔවුන්ට ලැබුණේ තැපැල් ඡන්දවලින් සියයට 20 ක් පමණි. පසුගිය දා පැවති 2015 මහ මැතිවරණයේදී ඔවුන්ට සියයට 45 ක තැපැල් ඡන්ද ප‍්‍රතිශතයක් ලැබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ සියයට 40 ක් පමණි.

රාජ්‍ය සේවයේ අනාගතය

තමන්ට හිතෛෂී පාලකයෙකුට එරෙහිව 2015 දී ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඡන්දය පාවිච්චි කිරීමට රාජ්‍ය සේවකයන් තීරණය කෙළේ ඇයි? පැවති රාජ්‍ය සේවක සංඛ්‍යාව 14 ලක්ෂයක් දක්වා දෙගුණයකින් වැඩි කෙළේ මහින්ද රාජපක්ෂයි. එසේම, එම රැුකියාවන් ඕනෑම මිළක් ගෙවා ආරක්ෂා කරගන්නා බවටත් ඔහු ප‍්‍රතිඥා දී තිබුණි. එහෙත් ජනවාරි මාසයේදීත්, අගෝස්තු මාසයේදීත් ඒ පිරිස් ඡන්දය පාවිච්චි කෙළේ ඔහුට එරෙහිවයි.

අප මේ අත්දකිමින් සිටින්නේ, අපේ රාජ්‍ය සේවය තූළ දැනට ඇති වෙමින් පවතින යම් පිබිදීමක්ද? නිවැරදිව රාජකාරිය කිරීම තුළ ඇති ගෞරවාන්විත භාවය සහ නම්බුකාර භාවය, මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආදර්ශය හරහා අපේ රාජ්‍ය සේවකයන් අවසානයේදී අවබෝධ කර ගනිමින් සිටින බවක් එයින් ගම්‍යමාන වේද?

*2015 අගෝස්තු 19 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ“A Functioning State Should Not Be Seen Only at Election Time” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Our people has not understood who Mahinda is when they know it it would be too late.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.