14 April, 2021

Blog

අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාරට පිළිතුරක්

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

‘වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11 ක්’ මැයින් මා ලියූ ලිපිය පල කිරීම අරමුණු කර ගෙන නොකල ද එය තම වෙබ් අඩවියේ පල කිරීම ගැන මම කුමුදු ට ස්තූතිවන්ත වෙමි. තම පිළිතුරට කුමුදු යොදන හෙඩිම ‘ලංකාවත් දැන් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලා ද?’ යන්න ය. පශ්චාත් යන වචනය කුමන නාම පදයකට විශේෂණයක් ලෙස හෝ යෙදීමට මම අකමැත්තෙමි. එහෙත් එම විශේෂණය යෙදීමට මගේ විරුද්ධත්වයක් නැත. කුමුදුගේ හෙඩිමෙන් සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි හේ අදහස් කරන්නේ නම් මගේ මූලික විවේචනය එල්ල වන්නේ එයට ය. කිසියම් රටවල් ගණනාවක වෙන් කළ හැකි අවධි හරහා සමාජ විකාශනය සිදුව ඇති බවට අපමණ උදාහරණ දිය හැකි වුව ද යුග දෙකේ නැත්නම් අවධි දෙකේ සමාජ පරිවර්තන න්‍යාය පොදුවේ ගත්කල වර්තමාන ලෝක සන්දර්භය තුළ වලංගු නොවන්නේ ය යන ප්‍රස්තූතයෙන් ය මා මගේ විග්‍රහය අරඹන්නේ. අසමාන සහ සම්මිශ්‍රණ වර්ධනයන් පිළිබඳ න්‍යායයේ හරය එය ය.

මා දකින විධියට කුමුදු තම තර්ක ගොනු කරන්නේ අවධි දෙකේ සමාජ පරිවර්තන න්‍යාය ඇතුළත පිහිටමින් ය. හේ සාධාරණ ප්‍රශ්නයක් මතු කරයි. අප අද ශ්‍රී ලංකාව තුළ මුහුණ දෙන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ තර්ජනය සුලු කොට තැකිය යුතු ද? එසේ කළ හැකි ද? සත්තකින්ම නැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ තර්ජනය තනි කොට ගෙන එය විසඳිය හැකි ද? ‘යථාර්ථවාදී’ ව බලන විට මෙම තර්ජනයට මුහුණ දීමට ඇති එකම ‘යථාර්ථවාදී’ බලවේගය වන්නේ එක්සත් ජාතික පක්ෂය ය. 1994 දී නම් චන්ද්‍රිකා ප්‍රධාන කොට ගත් ජනතා සන්ධානය ය. මෙම විසඳුම් පසුපස හඹා යෑමෙන් සෙතක් වී ද? වේ ද? මෙම තත්ත්වය පෙන්වන්නේ අද ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයයන් පවා සාක්ෂාත් කිරීමට ධනේශ්වර පක්ෂ වලට නොහැකි බව ය. එපමනෙක් නොවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කළ යුතු ය. එය ශ්‍රී ලංකාවට සීමා වූවක් නොවේ. අද එය කැමරන් ට හා ඔබාමා ට පවා කරන්නට සිදුව ඇත. සත්තකින්ම කැමරන් හා ඔබාමා එය කරන ප්‍රමාණය, වේගය සහ විධිය මහින්ද රාජපක්ෂ කරන ප්‍රමාණය, වේගය සහ විධියට වඩා වෙනස් ය. පැහැදිළිවම 1980 ගණන්වලින් පසු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලය නොබිඳිය හැකි ලෙස නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි අරගලය හා බැ‍ඳේ. අවධි දෙකේ අදහස වලංගු නොවන්නේ එහෙයිනි. එකක් ඉවර කොට අනෙක කරන්නට ගිය හැම විටකම වගේ සිදුවන්නේ පරාජයකි. මෙය එක තැන දුවන සෙල්ලමකි. සමාජ බලවේගවල චලිතය හා එම බලවේග වලට කළ හැකි දේ අසීමිත නොවේ. රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවක් මෙම ආණ්ඩුවේ ම කාබන් කොපියක් වන්නට බැරි නැත. සුලු කොට තැකිය යුතු නැති ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ තර්ජනයට වන්නේ කුමක් ද? කුමුදු මෙයට සූත්‍රයක් නිර්මාණය කරයි. වම එම බලවේගය හා එක්ව ගමන් කොට එම ප්‍රශ්නය මතු කරහොත් පසුව රනිල්ගේ ආණ්ඩුවක් යටතේ දී නැවත උද්ඝෝෂණය ඇරඹිය හැක. මා යෝජනා කරන්නේ එයට හාත්පසින් වෙනස්ව වම ස්වාධීනව මෙම සටන දැන් ආරම්භ කළ යුතු බව ය. රනිල් ට හෝ රතන හාමුදුරුවන් ට විධායක ජනපති ක්‍රමයට ප්‍රතිසංස්කරණ ගෙන එන්නට අවශ්‍ය නම් එම යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ආ හැක. එවන් දේශපාලන ව්‍යාපෘතියක් තිබේ ද? නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වඩා හොඳට, වික්ටර් අයිවන් පවා සතුටු කළ හැකි පරිදි ක්‍රියාවට දැමීමට නම් කොයි ආණ්ඩුවටත් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මැඩලීමට ය. මෙම වැරදි දේශපාලනයෙන් අප වැටෙන්නේ නැවත පළවෙනි කොටුවට ම ය.

කුසුම් කියන පරිදිම නව ලිබරල්වාදය සමජාතික ප්‍රතිපත්ති සමූහයක් නොවේ. එය සංස්කෘතියකි. පංති ව්‍යාපෘතියකි. එය නම්‍ය ය. අවශ්‍ය වෙනස් පිලිගනී. මහින්දගේ රාජ්‍ය මැදිහත්වීම කෙරෙන්නේ නව ලිබරල් ආකෘතිය තුළම ය. IMF සහ ලෝක බැංකුව එයට ඉඩ හරියි. මහින්ද රාජපක්ෂ නැගෙනහිර ආසියා සංවර්ධන මොඩලයෙන් ගත් රාජ්‍ය මැදිහත්වීම නව ලිබරලිවාදයට අන්තර්ගත කළේ ය. එය කිසියම් නිර්මාණාත්මක අදහසකි.

මා අද ප්‍රශ්නය දෙස බලන්නේ රට සංවර්ධනය කෙරේ ද ජනයාගේ අයිතීන් ආරක්ෂා වේ ද යන ආසන්න ප්‍රශ්න වල දෘෂ්ටියෙන් නොවේ. වාම විකල්පයක් නැවත ගොඩනැගීමේ පර්යාලෝකයෙන් ය. එය කුමුදු ගේ ‘ප්‍රජාතන්ත්‍ර අවකාශය පුලුල් කිරීමේ’ ඉදිරි දැක්මෙන් වෙනස් ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.