25 April, 2024

Blog

ETCA හෙවත් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළදපොල හිලෑ කිරීමේ වැයම

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයට පෙර සදහන් කලේ සර්ව ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබද ගිවිසුම (CEPA) පිලිබදව තම සංචාරයේදී ඉන්දියානු බලධාරීන් සමග සාකච්චා නොකරන බව ය. එහෙත් සංචාරය සමග අපට අසන්නට ලැබුනේ එතෙක් සාකච්චාවට ලක් වෙමින් තිබු සර්ව ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබද ගිවිසුම (CEPA) වෙනුවට ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් (ETCA) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට කටයුතු සම්පාදනය කෙරෙන බව ය. මෙය ඉදිරි මාස කිහිපය තුල අත්සන් කෙරෙන බව ද ප්‍රකාශයට පත්ව ඇත. එමෙන්ම මෙම ගිවිසුමේ අසම්පුර්ණ ඉංග්‍රීසි පිටපතක් මේ වන විට එම ප්‍රශ්නය පිළිබද උනන්දුවක් දක්වන පිරිස් අතර සංසරණය වෙමින් පවතින බව ද නොරහසකි. මේ වන විටත් මෙම ප්‍රශ්නය ගැන කතිකාවක් ඇරඹි ඇත. මෙම ගිවිසුම සහ එහි ප්‍රථිපල ගැන මෙන්ම එය ශ්‍රී ලංකාවට කෙසේ බල පාන්නේ ද යන්න ගැන සාකච්චාව මෙය ලියන නිමේෂය වනතුරු බොහෝ දුරට වෘත්තියවේදීන්ට සිමා වී ඇති බවෙක් ද පෙනෙන්නට ඇත. මෙරට දේශපාලන පක්ෂ අතරින් මෙම කෙටුම්පත ගැන මා දන්නා තරමින් විස්තරාත්මක විග්‍රහයක් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණි. හිටපු විදේශ ඇමති මහාචාර්ය ජි එල් පිරිස් දැනට ක්‍රියාත්මක වන ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම 2000 සිට ක්‍රියාත්මක වූ අයුරු ගැන කල පසු විපරමක් ඇසුරෙන් ETCA ගැන කිසියම් අනතුරු ඇගවීමක් කර තිබිණ. මා දන්නා තරමින් එය පල වුයේ ඉංග්‍රීසි පුවත් පත් වල පමණි. මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ ETCA පිළිබද විග්‍රහයක් හැකිතාක් සරලව ඉදිරිපත් කිරීමට ය.

දකුණු ආසියාතික කලාපයේ රටවල් (ඉන්දියාව, පකිස්තානය, බංගලා දේශය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මාල දිවයින සහ ඇෆ්ඝනිස්ථානය) අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කිරීම එකී රටවල් විජිත ග්‍රහණයෙන් මිදුන තැන් සිටම වාගේ අවධාරණය කල කරුණෙකි. එවන් ගිවිසුම් වෙනත් කලාපයන්හි ඇතිවන අතර දකුණු ආසියාව ඒ දෙසට ගමන් ගත්තේ මන්ද ගාමිව ය. මෙහි ලා වැදගත් නිශ්චිත පියවරක් වුයේ කලාපිය සහයෝගිතාවය පිළිබද දකුණු ආසියානු ගිවිසුම (SAARC) අත්සන් කිරීම ය. ආරම්භයේ සිටම එය විවිධ සැකයයන් හා විචිකිච්චාවන් මත ගොඩ නැගුනකි. කෙසේ වුව ද සාක් සංවිධානයට මෙම වසර වනවිට වසර 30ක් ගෙවින. වසර 30ක් එකට සිටීම ද ජයග්‍රහණයකි. කලාපිය අභ්‍යන්තර වෙළදාම ප්‍රවර්ධනය කිරීම අරමුණෙන් සාක් සංවිධානය ප්‍රධාන වෙළද ගිවිසුම් දෙකකට අත්සන් තැබුවේ ය. ඒ දකුණු ආසියා වරනාත්මක වෙළද ගිවිසුම (South Asian Preferential Trade Agreement) සහ එයින් ඔබ්බට යමින් දකුණු ආසියා නිදහස් වෙළද ගිවිසුම (South Asian Free Trade Agreement) ය. මෙම ගිවිසුම් දකුණු ආසියාතික කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කිරීම සදහා ගත ඉදිරි පියවරයන් හැටියට නම්කළ හැකි වුව ද එම ගිවිසුම් වල ප්‍රායෝගික ජයග්‍රහණයන් බෙහෙවින් සීමිත ය. සප්ටා සහ සෆ්ටා අපේක්ෂිත ලෙස දකුණු ආසියා කලාපය තුල වෙළදාම ප්‍රසාරණය නොවීමට බලපාන හේතු ගණනාවකි. ඒවා දේශපාලන සාධක සමග මිශ්‍ර වීම නිසා එම සාධකයෝ වඩාත් සංකීර්ණ වුහ. මෙම ප්‍රශ්නයට සාමාජික රටවල් ආමන්ත්‍රණය කලේ එකී ප්‍රශ්න විසදා ගැන්මට යාම මගින් නොව ඒ වෙනුවට ද්විපාර්ශවිය ගිවිසුම් ඇති කර ගැන්මෙන් ය. ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම (ISLFTA) එවැන්නකි. සර්වා ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබද ගිවිසුම (CEPA) යෝජනා කිරීමෙන් ඉන්දියාව අදහස් කලේ ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම මගින් ආවරණය නොවූ අංශ ද ඇතුලත් වන පරිදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ගනුදෙනු පරිමාණය සහ අන්තර්ගතය පුළුල් කිරීමට ය.

ඇස් බැන්ඳුමක්

CEPA ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව දැඩි උත්සාහයක් ගත්ත ද මෙරට දේශිය කාර්මික කරුවන් සහ වෘත්තිකයන්ගේ බලවත් නොසතුට හේතු කොටගෙන පහුගිය රජය විවිධ හේතුන් ඉදිරිපත් කරමින් එය අත්සන් කිරීමෙන් කට්ටි පැන්නේ ය. එනයින් CEPA ගිවිසුම සාකච්චා මට්ටමෙන් ඔබ්බට ගියේ නැත. “යහපාලන” ආණ්ඩුව තැත් කරන්නේ වෙනත් නමකින් එම ගිවිසුමට අන්තර්ගතය අතින් බෙහෙවින් සමාන ETCA ගිවිසුම අත්සන් කිරීම ය. මෑතකදී මෙරට විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට යැවු ලිපියකින් අලුත් ආණ්ඩුව ආර්ථික ජාතිකවාදී වැඩ පිළිවෙල සම්පුර්ණයෙන් අමතක කිරීමට ගන්නා උත්සාහය ගැන තම නොසතුට පළකර සිටියහ. එකී විද්වතුන් ඉදිරිපත් කර ඇති ආර්ථික ජාතිකවාදී ප්‍රවේශයකින් බලන්නේ නම් ETCA මෙම මොහාතේ මෙරටට අවශ්‍ය ද? එම ගිවිසුම හරහා මෙරට ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇතිවෙයි ද? ETCA පිටුපස ඉන්දියාවේ අභිප්‍රායයන් මොනවා ද? ETCA අත්සන් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉක්මන් වන්නේ මක් නිසා ද? මෙම සහ මෙයට ඇදුන ප්‍රශ්න බරපතල ලෙස සාකච්ඡා කිරීම රට ගැන කල්පනා කරන හැම කෙනෙකුගේ යුතු කමකි.

ETCA අත්සන් කළහොත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සේවා වෙළදාම සම්බන්ධ සිමා ඉවත් කෙරේ. එම සේවා අතරට, වෘත්තිය සේවාවන්, පර්යේෂණ සහ සංවර්ධන සේවාවන්, අධ්‍යාපන සේවාවන්, විදුලි සංදේශ සේවාවන්, ඉදිකිරීම් ආශ්‍රිත ඉංජිනේරු සේවාවන්, පරිගණක සේවාවන්, ඉඩම් ගනුදෙනු ආශ්‍රිත සේවාවන්, සෞඛ්‍ය සහ සමාජීය සේවාවන්, පරිසර සේවාවන්, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවන් වැනි සේවා අංශ සම්පුර්ණයෙන්ම ඇතුලත් වේ. සරලව සදහන් කළහොත් කුණු එකතු කිරීමේ සිට වෛද්‍ය සේවා සැපයීම දක්වාත්, ඉඩම් හුවමාරු ගනුදෙනු සම්බන්ධ සේවාවල සිට මහාමාර්ග දුමරිය මාර්ග ඉදිකිරිම ආශ්‍රිත සේවා දක්වාත්, කරනවෑමියන්ගේ සිට පරිගණක ඉන්ගිනේරු සේවා දක්වාත් සියලු සේවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහසේ හුවමාරු කල හැකි භාණ්ඩ බවට පත්වෙනු ඇත. CEPA උත්සාහ කල දේ මෙයට බොහෝ දෙයින් සමාන ය. ඇත්තටම පෙනෙන්නේ අරමුණු සහ අන්තර්ගතය අතින් එය CEPA ගිවිසුම සංශෝධනය කිරීමෙන් සකස් කල එකක් බව ය.

මෙවන් ගිවිසුමක් අත්සන් කිරීම සාධාරණියකරණය කිරීමට ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ එමගින් දෙරටටම වාසියක් අත්වන්නේ ය ප්‍රස්තුතය ය. විවිධ රටවල් සාපේක්ෂ වූ වාසිදායක තත්ත්වයනට හිමිකම් කියයි. එමනිසා රටවල් අතර වෙළදාම මගින් එයට සම්බන්ධ රටවල් හැම එකකටම පෙර තිබු තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් ලගා කර ගත හැක. 19 වෙනි සියවස මුල ඩේවිඩ් රිකාඩෝ නමැති ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කර මෙම තර්කය නිවැරදි එකක් වන්නේ ඉතාමත් විශේෂ වූ තත්ත්ව යටතේ ය. එහෙත් එම විශේෂ වූ තත්ත්ව සාමාන්‍ය තත්ත්වය ලෙස සලකා ආර්ථික ආදර්ශ සකස් කරන ආර්ථික විද්‍යාඥයෝ ජාත්‍යන්තර වෙළදාම පිළිබද සහමුලින්ම සාවද්‍ය නිගමනයනට එළඹීමට දෙෂපාලනඥයනට උපදෙස් දෙති. මෙවන් ගිවිසුමකින් ඉන්දියාවට විශාල වාසියක් ලැබිය හැකි හෙයින් ඉන්දීය ආණ්ඩුව සහ එහි උපදේශකවරුන් මෙවන් ගිවිසුමක් ලංකාව මත පැටවීමට උත්සාහ ගන්නේ මක් නිසා ද යන්නේ තේරුම් ගැන්ම අපහසු නොවේ.

කෙසේ වුව ද කඩි මුඩියේ මෙවන් ගිවිසුමක් අත්සන් කර ගැන්මට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය මන් ද? මෙය තේරුම් ගැන්මට නම් මෙම නිගමනය, ‘යහපාලන’ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබා ඇති කෙටි සහ මැදිකාලින ආර්ථික මුලෝපාය සමග සම්බන්ධ කොට කියවිය යුතු ය. එය ද ප්‍රමාණවත් නොවේ. මෙම කරුණ නිසි පරිදි වටහා ගැන්මට දේශපාලන ආර්ථික විද්‍යා ප්‍රවේශයක් අවශ්‍ය වේ. ‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වීම සමග, ශ්‍රී ලංකාව බටහිර අක්ෂිගත වීමේ දිසානතියක් පෙන්වයි. ඉන්දියන් සාගරය තුල ඉන්දියාවේ වුවමනාවන් බටහිර රටවල් සමග සමපාත වන හෙයින් ඉන්දියාව සහ බටහිර රටවල් ‘යහපාලන’ ආණ්ඩුව බිහිවීමට වින්නඹු දායකත්වය සැපයි ය. ඒ හරහා මෙවන් ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඉන්දියාවට හැකිකමක් ද ඇත. ඒ අනුව අපට හේතු දෙකක් වෙන් කල හැක. පලවැන්න වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළද පොළ හිලෑ කර පාලනය කිරීමට ආණ්ඩුවේ කෙටි සහ මැදිකාලින ආර්ථික මුලෝපාය තුල ආණ්ඩුවට ඇති වුවමනාව ය. ඉන්දීය ශ්‍රමික තරගය ශ්‍රී ලංකා ශ්‍රම වෙළද පොලට හදුන්වා දීම මගින් පහත වැටුප්, අයහපත් වැඩ තත්ත්ව සහ දුර්වල කම්කරු නීති ක්‍රියාවට නැගීම පහසු කෙරෙනු ඇත. එමගින් විදේශ සහ දේශීය ප්‍රාග්ධන ආයෝජනයට රුකුලක් ලබා ගත හැකි යැයි ආණ්ඩුව අපේකෂා කරනු ඇත. දෙවැනි හේතුව වන්නේ, ඉන්දියාව සතුටු කිරීමට ‘යහපාලන’ ආණ්ඩුවට ඇති දේශපාලන වුවමනාව ය. එය මෙරට මහජන අභිමතයට එරෙහි සහ ජාතික ස්වාධිනත්වය දුර්වල කෙරෙන සාධකයක් බව පුන පුනා කීම අනවශ්‍ය ය.

අවම ලන්සුව කුමක් ද?

මෑතකදී මෙරට විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට යැවු ලිපියකින් අවධාරණය කල ආර්ථික ජාතිකවාදය යනු ආවෘත ආර්ථිකයකට ආපසු යාමේ යෝජනාවක් නොවේ. විවෘත ආර්ථිකයක් තල ජාතික ආර්ථික වුවමනාවන් තීරණ ගැන්මේ දී මුල් තැනක ලා සැලකිය යුතු ය යන යෝජනාවකි එය. එවන් තීරණ ගැන්මේ ක්‍රියාවලියක දී ETCA වැනි ගිවිසුමක් අත්සන් කිරීමට පෙර අඩුම ලන්සුවෙන් සලකා බැලිය යුතු කරුණු දෙකකි. පලවැන්න, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගෙන මේ වනවිට ක්‍රියාත්මක වන ආර්ථික ගනුදෙනු පිළිබද ගිවිසුම් වල ප්‍රගතිය ය. දෙවැන්න, අලුත් ගිවිසුමේ වගන්ති ප්‍රකාර අතිවිය හැකි ප්‍රථිපල කුමන ස්වභාවයක් ගන්නේ ද යන්න ය. මෙම කරුණු අපි කෙටියෙන් සලකා බලමු.

ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම (ISLFTA) මේ වනවිට වසර 15ක් ක්‍රියාත්මකව ඇත. ඒ මගින් රටවල් දෙක අතර භාණ්ඩ වෙළදාමේ පරිමාව බෙහෙවින් වැඩි වී ඇත. එනම් ශ්‍රී ලංකාව ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ පරිමාව මෙනම් ඉන්දියාව ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩ ප්‍රමාණය ද වැඩි වී ඇත. එම කරුණ පමනෙක් සැලකිල්ලට ගතහොත් ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් අප දෙරට අතර වෙළදාමේ පරතරය සැලකිල්ලට ගතහොත් මෙම වසර 15 තුල එය තව දුරටත් ශ්‍රී ලංකාවට අවාසි වන ආකාරයට හැසිරී ඇත්තේ ය. මෙයට හේතුව ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ භාණ්ඩ වල පරිමාව සහ වටිනාකම විශාල වශයෙන් වැඩිව ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යැවූ භාණ්ඩ වල පරිමාව සහ වටිනාකම වැඩිව ඇත්තේ දෙරට අතර වෙළද ශේෂය ශ්‍රී ලංකාවට තව දුරටත් අවාසි වන පරිද්දෙනි. 1 වෙනි සටහන බලන්න.SL

මෙසේ වීමට ප්‍රධාන හේතුව බදු නොවන සිමාකරණයන් බරපතල ලෙස ශ්‍රී ලංකා අපනයනයන්ට එරෙහිව ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන හෙයිනි. එමනිසා වර්තමානයේ ක්‍රියාත්මකවන ගිවිසුම් වල මෙම අසමමිතිකතා පිළිබද නිරවුල් කර ගැන්මක් නොකොට නව ගිවිසුම් වලට යාමෙන් ඇතිවිය හැකි ප්‍රතිපල කවරේ ද?

අත්සන් කරන්නට යන ETCA ගිවිසුම ISLFTA වලින් ඔබ්බට ගොස් අප මුලින් පෙන්වූ ආකාරයට සේවා අංශ ද ආවරණය කර ගත්තකි. එමගින් විවිධ වෘත්තින් සදහා දෙරට අතර ශ්‍රමය හුවමාරු කර ගත හැකිවේ. මෙවන් ගිවිසුමකින් ශ්‍රී ලංකාවට වාසියක් ලැබිය හැක්කේ ගිවිසුම ඇති කරගන්නා රටේ ශ්‍රමය සදහා ගෙවීම ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉහල අගයක පවතින්නේ නම් සහ ශ්‍රම සැපයුම ගත්විට දෙරට අතර සමතාවයක් පවතින්නේ නම් ය. අඩුම තරමේ දෙරට අතර ගනුදෙනුව සමතල බිමක කෙරෙන්නක් (level playing field) නම් ය. මෙහිදී තත්වය බෙහෙවින් ඉන්දියාවට වාසි වන්නකි. ඉන්දියාවේ ශ්‍රම අතිරික්තය යොදා ගනිමින් මෙරට හැම අංශයකම වගේ ශ්‍රම වෙළදපොල හිලෑකර හැසිරවීමට හැර මෙමගින් වෙන යහපතක් නම් දැකිය නොහේ. අවසාන වශයෙන් කිව යුත්ත වන්නේ මෙවන් ගිවිසුමක් සේවා ආවරණය වන ලෙස අත්සන් කිරීමට පෙර මෙරට සේවාවන්හි තත්වයන් සහ සැපයුම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබේ. එය කල හැක්කේ දිගු කාලීනව වෛද්‍ය, ඉංජිනේරු, ශිල්පිය සහ වෙනත් සේවාවන ශක්තිමත්ව සැපයිය හැකිවන පරිදි අධ්‍යාපන විය හියදම් වැඩි කොට එහි ගුණාත්මක බව ප්‍රවර්ධනය කිරීමෙන් ය. එසේ නොවේනම් මෙවන් ගිවිසුමක් හේතු කොටගෙන අප රටේ සීමිත විශේෂඥ සේවා සපයන්නන් තව දුරටත් මේරට රැදී සිටීම වෙනුවට ඉහල වැටුප් තල ඇති රටවලට සංක්‍රමණය වීම ය. නතර කරගත යුතු බුද්ධිගලනය තව දුරටත් ශක්තිමත් වීම ය. ශ්‍රී ලංකාවේ පරායත්තබාවය තවදුරටත් ප්‍රවර්ධනය වීම ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.