17 January, 2026

Blog

‘දිත්වා’ සුළි කුණාටුවෙන් පසු දේශපාලන කාලගුණය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

මහජන මතයේ කැළඹීම

ජවිපෙ/ජාජබ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පළමුවරට දේශපාලන අභියෝගයකට මුහුණ දෙමින් සිටී. මා කතා කරන්නට යන්නේ වත්මන් ආණ්ඩුව ආරම්භයේ සිටම මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයේ අභියෝගය ගැන නොවේ. මෑතකදී දිත්වා සුළි කුණාටුව විසින් ජනිත කෙරුණු ස්වභාවික​ ආපදාවේ අභියෝගය ගැනද නොවේ. ඒ වෙනුවට ඉහත දෙවැන්න පසුබිම් කොටගෙන නිර්මාණය වෙමින් පවතින දේශපාලන අභියෝගය ගැනයි.

තමන් ඉදිරියේ කිසිදු දේශපාලන අභියෝගයක් නැතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයින් තවමත් විශාල ආත්ම විශ්වාසයකින් යුක්තව පවසනු ඇති බවට සැකයක් නැත. මන්ද යත්, ඉදිරි මැතිවරණයක් හෝ ජනතා ව්‍යාපාරයක් මගින් ආණ්ඩුවේ බලය බිඳ දැමීමට තරම් හැකියාවක් පෙන්වන කිසිදු විපාක්ෂික දේශපාලන බලවේගයක් තවමත් පේන තෙක් මානයක නොමැති බැවිනි. ආණ්ඩුව බලයට ගෙන ඒමට යම් යම් ප්‍රමාණවලින් සහාය දැක්වූ විවිධ සිවිල් සමාජ කණ්ඩායම් සහ පුද්ගලයින් දැන් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන තැනකට පැමිණ තිබුණද, ඒ කිසිවෙකුත් විපක්ෂයේ කිසිදු පක්ෂයක් වෙත තම දේශපාලන පක්ෂපාතීත්වය මාරු කොට නොමැත. එවන් හැරවුමක් මෑත අනාගතයේදී අපේක්ෂා කිරීමටද නොහැකිය.

නමුත්, එසේ තිබියදීත් ආණ්ඩුව දේශපාලන අභියෝගයකට මුහුණ දෙමින් තිබේය යන්න මගේ අවබෝධයයි. ඒ මන්ද යත්, වත්මන් යුගයේ දේශපාලන බලය සම්බන්ධ තීරණාත්මක සටන් වළල්ල බවට පත්ව තිබෙන්නේ මහජන මතය (public opinion) ගොඩ නැගීමේ, වෙනස් කිරීමේ සහ හැඩ ගැස්වීමේ දෘෂ්ටිවාදීමය කලාපය බැවිනි. අද දවසේ දේශපාලන අභියෝග නිර්මාණය වන්නා වූ වඩාත් සංවේදී කලාපය වන්නේ එයයි. ආණ්ඩුව බලයට පත්ව මේ වන තෙක් මෙම මහජන මතය පිළිබඳ සටන් බිම තුළ එයට කිසිදු අභියෝගයක් පැවතුණේ නැත. නමුත්, දිත්වා සුළි සුළඟ විසින් මෙතෙක් කලක් ආණ්ඩුවට පක්ෂපාතීව හැසුරුණු මහජන මතය නමැති වායු ගෝලය තුළ කිසියම් කැළඹීමක් නිර්මාණය වූ අයුරු නිරීක්ෂණය කළ හැකි විය. එම කැළඹීම ගමන් කළේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ අදියර දක්වා පමණි. එය කිසිසේත්ම සුළි කුණාටු තත්ත්වයක් කරා වර්ධනය වූයේ නැත. නමුත්, මෙතෙක් කලක් ආණ්ඩුවට වාසි සහගත ලෙස කැළඹීමකින් තොරව පැවති මහජන මතය නමැති වායු ගෝලය තුළ කිසියම් අවපාත තත්ත්වයක් නිර්මාණය වූයේ පළමු වතාවටය. එබැවින්, එය විශ්ලේෂණයට ලක් කළ යුතු තරමේ වැදගත් සංසිද්ධියකි.

දේශපාලන අවිඥානය

මහජන මතයෙහි සිදුවන වෙනස්වීම් අපට මතුපිට තලයෙහි නිරීක්ෂණය කළ හැකිය. හරියට ජලාශයක මතුපිට දියෙහි නැගෙන රැළි මෙනි. නමුත්, ඇතැම්විට එම මතුපිට රැළි පැන නැගෙනුයේ වඩා ගැඹුරු දියෙහි සිදුවන කිසියම් කැළඹීමක් තුළින් විය හැකිය. එම ගැඹුරු තලය වටහා ගැනීමට අප මහජන මතය නොහොත් දේශපාලනයේ සවිඥානක කලාපයේ සිට එහි අවිඥානක කලාපය වෙත පිවිසී බැලිය යුතුය. පුද්ගලයින් යම් යම් දේශපාලන තෝරා ගැනීම් කරන්නේ හුදෙක් දෘෂ්‍යමානයට හසුවන සබුද්ධික තීරණ, අදහස්, තර්ක, ප්‍රතිපත්ති යනාදිය පාදක කොටගෙන පමණක් නොවේ. බොහෝ විට ඔවුනගේ තෝරා ගැනීම් ඔවුන්ද නොදන්නා සැඟවුණු ආශාවන්, සාංකාවන්, භීතීන් යනාදී ආවේග විසින් හැඩ ගැසීමට ලක්වේ. එම ගැඹුරු නොහොත් සැඟවුණු ආවේග නිර්මාණය වීමට බලපාන්නේ ඔවුන් මුහුණ පා ඇති දරාගත නොහැකි පීඩනයන්, මර්දනයන් හෝ ක්ෂතිමය අත්දැකීම් යනාදියයි.

‘දිත්වා’ සුළි කුණාටුව නමැති සොබාවික ව්‍යසනය වනාහී පුද්ගලයින් ලෙසත් ජන සමාජයක් ලෙසත් අප මුහුණ දුන් එවන් දරාගත නොහැකි අත්දැකීමකි. එබැවින්, එම අත්දැකීමට අප සබුද්ධිකව මුහුණදීමට පෙර අප කෙරෙන් ඇතැම් ආවේගාත්මක ප්‍රතිචාර මතුවීම වැලැක්විය නොහැකිය. ව්‍යසනකාරී අත්දැකීමක් හමුවේ මිනිසුන් තුළ ප්‍රාථමිකව ඇති වන්නේ අනාරක්ෂිතතාව පිළිබඳ හැඟීමකි. ඔවුනගේ පළමු අවිඥානක නැඹුරුතාව වන්නේ ආරක්ෂාව සහ රැකවරණය ඉල්ලා සිටීමයි. එය ආපසු ළමා වියේ විඳි දෙමාපිය රැකවරණය සොයා ගමන් කිරීම වැන්නකි. නමුත්, මෙහිදී ප්‍රධාන ගැටළුව වන්නේ සොබාවික ව්‍යසනය හමුවේ දෙමාපිය භූමිකාව ඉටු කරන්නේ කවුරුන්ද යන්නයි. ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතිය තුළ එම භූමිකාව ඉටු විය යුතු යැයි සලකනු ලබන්නේ රාජ්‍යය විසිනි. එබැවින්, මෙහිදී එක්වරම රාජ්‍යය කෙරෙහි විරෝධයක් මෙන්ම රාජ්‍යයේ වඩා ශක්තිමත් මැදිහත්වීමක් පිළිබඳ වුවමනාවක්ද නිර්මාණය විය හැකිය. විරෝධය පදනම් වන්නේ රාජ්‍යය අපව ආරක්ෂා කරන්නට අසමත් වූවාය යන ආවේගය මතය. රාජ්‍යය වඩා බලවත් හා ශක්තිමත් විය යුතුය යන වුවමනාව මතුවන්නේ තමන්ව බාහිර ආපදාවලින් රැකගත හැක්කේ එවන් රාජ්‍යයකට බැවිනි. රාජ්‍යය පුරවැසියන්ට රැකවරණය සැපයීමේ පීතෘ භූමිකාව නිසි ලෙස ඉටු කරන්නේ යැයි ඒත්තු ගිය හොත් එම රාජ්‍යයේ බලයට අවනත වීමටත් යටත් වීමටත් එම පුරවැසියන් වැඩි දෙනෙකු කැමති වනු ඇත. ආපදාවක් ඉදිරියේ පැන නැගෙන තවත් අවිඥානක වුවමනාවක් වන්නේ එක්සත්භාවය සඳහා වූ වුවමනාවයි. එම වුවමනාවට සාර්ථකව ආමන්ත්‍රණය කරන්නට රාජ්‍ය බලය දරන නායකත්වය සමත් වුව හොත් ආපදාවෙන් ගොඩ ඒමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහාය නොදක්වන සියළුම දෙනා පොදු සමාජ යහපතට එරෙහි ආත්මාර්ථකාමී බලකාමී පිරිස්ය යන මතය ගොඩ නගන්නට හැකියාවක් ලැබෙනු ඇත.

සුළි කුණාටුවේ ප්‍රහාරය එල්ල වූ පළමු මොහොතේ ආණ්ඩුවට එරෙහි මහජන මතයක් ගොඩ නැගීමට විපාක්ෂික කණ්ඩායම් සමත් වූයේ මන්දැයි ඉහත විශ්ලේෂණය ඇසුරින් වටහාගත හැකිය. ආපදාව හමුවේ පැන නැගුණු අනාරක්ෂිතතාව පිළිබඳ අවිඥානක ආවේගය ආණ්ඩුවට එරෙහිව හැරවීම කිසිසේත්ම අසීරු කාර්යයක් නොවීය. කළ යුතු වූවේ ආණ්ඩුව අනාරක්ෂිතතාවට වග කිව යුතු සංකේතීය චරිතය බවට පත් කිරීම පමණි. ඒ සඳහා අවශ්‍ය ප්‍රබන්ධය කලක පටන් ජනවර්ගවාදී සහ ආගම්වාදී මත ගොඩ නැංවීමේ පුහුණුව ලත් පුද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර දෙන ලදී. එම මාධ්‍ය ප්‍රබන්ධය සමග බොහෝ දෙනෙකු සම්බන්ධ වන්නේ සබුද්ධිකව නොවන බව මෙහිදී සිහි තබා ගැනීම වැදගත්ය. මන්දයත්, එය ඔවුනගේ අවිඥානක වුවමනාවක් සමග ගැඹුරු ලෙස සම්බන්ධ බැවිනි. එබැවින් එම ප්‍රබන්ධයේ සාවද්‍ය බව පෙන්වා දීමෙන් පමණක් ආණ්ඩුවට මෙම ගැටළුව විසඳාගත නොහැකිය.

එසේම තමන් දැන් මුහුණ දී සිටින්නේ මෙතෙක් කලක් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ගොඩ නගන ලද මහජන මතවලට වඩා දේශපාලනික බලපෑමක් සහිත මහජන මතයකට බවද ආණ්ඩුවේ නියමුවන් සිහි තබා ගත යුතුය. නිදසුනක් ලෙස, ආණ්ඩුව මර්දනයකට සැරසෙන්නේය, ආණ්ඩුව ජවිපෙ බළල් අන්ඩක් බවට පත්ව තිබේය, ආණ්ඩුව අන් මත නොඉවසන්නේය යනාදී ලෙස විපක්ෂය විසින් මෙතෙක් නිර්මාණය කරන ලද කිසිදු මතයක් ජන සමාජයේ අවිඥානක ආවේගයන් ආමන්ත්‍රණය කරන්නට සමත් වූ ඒවා නොවීය. 2022 අරගලය සමයේ සිට මෙරට දේශපාලනයට අදාළ මහජන මත සැකසීමේදී ප්‍රධාන අවිඥානක සාධකය වූයේ ප්‍රජා පීඩක දූෂිත පාලක පැලැන්තියක් මතට ප්‍රක්ෂේපණය කරන ලද ජනතා විරෝධයයි. එම ප්‍රභූ පාලක පැලැන්තියේ සංකේතීය නියෝජනයන්ට (නිදසුනක් ලෙස රනිල් වික්‍රමසිංහ) එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු දැකීමෙන් ලබන්නා වූ අවිඥානක විනෝදයද අපි අත් විඳිමින් සිටියෙමු. නමුත්, දැන් ප්‍රථම වතාවට අවිඥානක මහජන විරෝධයක් ජවිපෙ/ජාජබ ආණ්ඩුවට එරෙහිව හැරවීමේ හැකියාව ලැබී ඇත. මේ වනාහී ගුණාත්මකව නව තත්ත්වයක් බව ආණ්ඩුවේ දෘෂ්ටි සම්පාදකයින් වටහාගත යුතුව ඇත. නමුත්, ආණ්ඩුවේ ඇතැම් නියමුවන්ගේ චර්යාවන් දෙස බලන විට නිරීක්ෂණය වන්නේ ඔවුනට මේ නව තත්ත්වය පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති බවයි.

කලබලකාරී ප්‍රතිචාර

මහජන මතය පළමු වරට තමන්ට අවාසි සහගතව හැසිරෙන බව හඳුනාගන්නට ආණ්ඩුවේ ඇතැම් නායකයින් අසමත් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණ. එය පුදුමයට කරුණක් නොවේ. දේශපාලනයේ නිරත වෙමින් සිටින අයෙකුට තමන්ද කොටසක් වන්නා වූ දේශපාලන ක්‍රියාවලිය දෙස මධ්‍යස්තව බලා නිගමනවලට එළැඹීම පහසු කාර්යයක් නොවන බැවිනි. එය යමෙකු පෙරහැරක ගමන් කරන අතරම පෙරහැර නිරීක්ෂණය කිරීම බඳු දුෂ්කර කාර්යයකි. අන්තෝනියෝ ග්‍රාම්ස්චි දේශපාලන ක්‍රියාකාරීන් හට බුද්ධියේ සර්ව අසුබවාදයක් අවශ්‍ය යැයි යෝජනා කළේ එබැවිනි. එයින් අදහස් වන්නේ තමන් දේවල් විශ්ලේෂණය කිරීමේදී තමන් දකින්නට ආශා කරන දෙය හැකිතාක් දුරට එයින් බැහැර කළ යුතුය යන්නයි. එය එක්තරා ආකාරයක ස්ව-පීඩාකාරී ව්‍යායාමයක් පවා විය හැකිය. ග්‍රාම්ස්චි යෝජනා කළේ අප දේශපාලන උපායමාර්ග සකස් කිරීමේදී ඇති විය හැකි නරකම තත්ත්වය උපකල්පනය කළ යුතු බවය. දිත්වා සුළි කුණාටුව සමග නිර්මාණය වූ දේශපාලන කැළඹීමට මුහුණ දීමේදී එවන් මධ්‍යස්ත බවක් හෝ බුද්ධිමය සාවධාන බවක් පවත්වා ගන්නට ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ ඇතැම් නායකයින් අසමත් වූ බව ඉතාම පැහැදිලිය. (ආණ්ඩුවෙහි සෘජු කොටස්කරුවන් නොවී සිටිමින් එයට සහාය දක්වන බුද්ධිමය නායකත්වයක වැදගත්කම මනාව පැහැදිලි වන්නේ මෙවන් අභියෝගකාරී නිමේෂවලදීය).

ආණ්ඩුවේ ඇතැම් නායකයින්ගේ ප්‍රතිචාර තුළ ආරම්භයේදී ප්‍රදර්ශනය වූයේ අනපේක්ෂිත ප්‍රහාරයකින් අසරණභාවයට පත්ව දක්වන කලබලකාරීත්වයකි. ආපදා කළමනාකාරීත්ව විෂයෙහි ආණ්ඩුවේ අසමත්භාවය සහ අකාර්යක්‍ෂමභාවය පිළිබඳ විවේචන හමුවේ ඔවුන් පළමු වරට ආක්‍රමණකාරී පැත්තේ සිට ආරක්ෂාකාරී පැත්තට මාරු කරනු ලැබ තිබිණ. එම විවේචනවල සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න මෙහිදී වැදගත් නොවේ. දේශපාලනිකව වැදගත් වන්නේ ඒවා මහජන මතය හැඩ ගැස්වීමෙහිලා බලපෑම් සහගත වීය යන කාරණය පමණි. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යළිත් වරක් ‘සංකේත දේශපාලනයට’ අදාළ වරදක් කළේය. මාධ්‍ය අවකාශය තුළ විශාල කාලයක් පෙනී සිට ඇති ජ්‍යෙෂ්ට දේශපාලන නායකයෙකු සමකාලීන යුගයේ මාධ්‍ය දේශපාලනයේ ගති ලක්ෂණ අවබෝධ කර නොගැනීම පුදුම සහගතය. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ආණ්ඩුවේ විවේචකයින්ට එරෙහිව මර්දන නීති භාවිත කරන්නට තමන් සූදානම් යැයි කළ තර්ජනය අතිශය අඥාන ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එලෙස මර්දන නීති පෙන්වා විවේචකයින්ට තර්ජනය කිරීම වනාහී දෘෂ්ටිවාදීමය සටන් බිමේ තම දුර්වලකම සහ අසමත්කම ප්‍රකාශයට පත් කිරීමක් මිස අන් කිසිවක් නොවේ.

ආපදා ධනවාදී නැඹුරුතා

මෙවන් කලබලකාරී ප්‍රතිචාරවලටද වඩා තමන්ට හානිකර වූ තවත් ප්‍රතිචාරයක් ආණ්ඩුවේ ප්‍රධානීන් කෙරෙන් නිරීක්ෂණය කළ හැකි විය. එනම් පසුගිය මැතිවරණවලදීත් ඉන් පසුවත් තමන්ට සහාය දක්වමින් සිටි ඇතැම් සමාජ කණ්ඩායම්වල විශ්වාසය බිඳ දමන ආකාරයේ ක්‍රියා මාර්ගවලට එළැඹීමයි. වත්මන් ආපදා තත්ත්වය තුළ ආණ්ඩුව පාර්ශවයෙන් ගත් කල වඩා වැදගත් අවශ්‍යතාවක් වන්නේ තමන්ව බලයට ගෙන ඒමට විවිධාකාර මට්ටම්වලින් සහයෝගය දුන් කණ්ඩායම්වල විශ්වාසය අඛණ්ඩව පවත්වා ගැනීමයි. තමන් විරුද්ධවාදීන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වන මොහොතකදී තම කඳවුර තුළ එක්සත්භාවයක් පවත්වා ගත යුතු බව සිහි කල්පනාව ඇති කවර සෙනෙවියෙකු වුවත් දනී. දක්ෂිණාංශික විපක්‍ෂයේ ප්‍රහාරය හමුවේ වත්මන් ආණ්ඩුව ආරක්ෂා කරන්නා වූ වාම-ලිබරල් සිවිල් සමාජ ධාරාවක් පවතින බව ආණ්ඩුවේ සෙනෙවිවරුන් නොදන්නවා විය නොහැක. එම සිවිල් සමාජ ධාරාව එක් අතකින් වත්මන් මධ්‍ය-වාමාංශික ආණ්ඩුවේ දෘෂ්ටිවාදී හැඩරුව සකසන්නට දායක වේ. අනෙක් අතින් ආණ්ඩුව වටා බැඳුණු බුද්ධිමය සදාචාරමය ආරක්ෂක පවුරක් ලෙසින්ද ක්‍රියාත්මක වේ. තම පාලන සමයෙහි මුහුණ දුන් ප්‍රබලතම විපාක්ෂික ප්‍රහාරයට මුහුණ දෙමින් සිටින ආණ්ඩුවක් තමා වටා බැඳී ඇති එම බුද්ධිමය සදාචාරමය ආරක්ෂක පවුර බිඳ දමා ගන්නා ආකාරයේ ක්‍රියාවක නිරත වේ නම් එය සැලකිය යුත්තේ දේශපාලනික අඥානකමක් ලෙසින් පමණි. ජවිපෙ/ජාජබ ආණ්ඩුව එවැනි ඇතැම් අදූරදර්ශී ක්‍රියාකාරකම්වල යෙදී සිටින්නේ තම මිත්‍ර පිරිවරෙහි සහයෝගය ඉහළින්ම වුවමනා වී තිබෙන මොහොතක එකී මිත්‍ර පිරිවරට එරෙහිව ආයුධ මොළවන සිහි කල්පනාවක් නැති යුද සෙනෙවියෙකු මෙනි.

මේ සඳහා කදිම නිදසුනක් වන්නේ ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට සූදානම් වන විශ්වවිද්‍යාල සංශෝධන පණත යි. එම පණතේ එන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය ගැන මෙරට විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ පවා අවබෝධයක් නැත. මන්ද යත්, එය ගෙනෙන්නට යන්නේ අධ්‍යාපනික ප්‍රජාව අතර සංවාදයකින්, මත විමසීමකින් හෝ එකඟතාවකින් තොරවය. මෙතරම් හදිසියේ අධ්‍යාපනය නමැති සංවේදී ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ගෙන ඒමට අවශ්‍ය වන්නේ මන්ද? එය සකසා ඇත්තේ අප සියලු දෙනාට – විශේෂයෙන් අනාගත පරපුරට – යහපත් වන්නේ කුමක්දැයි අපට වඩා හොඳින් දත් විශේෂඥ පැලැන්තියක් විසින්ද? ආණ්ඩුව මෙසේ තම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ප්‍රභූවාදීව ඉහළ සිට බිමට බස්සන්නට ප්‍රයත්න දරන්නේ සොබාවික ආපදාව විසින් ජනනය කෙරුණු සමාජ ආතතිය පසුබිම් කොටගෙන නොවේද? එසේනම්, එය සැලකිය යුත්තේ ‘ආපදා ධනවාදී’ නැඹුරුතාවක් ලෙසයි. නයෝමි ක්ලයින් ආපදා ධනවාදය ලෙසින් හඳුන්වන ලද්දේ සාමාන්‍ය තත්ත්වයක් තුළ ක්‍රියාවට නැගිය නොහැකි ජනප්‍රිය-නොවන නව-ලිබරල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම සඳහා ආපදාවක් විසින් නිර්මාණය කෙරුණු සමාජ නිර්වින්දනාත්මක පරිසරය භාවිත කිරීමය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ‘ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ’ අරමුදලක් ආරම්භ කිරීම ව්‍යසනය හමුවේ ගනු ලැබූ බුද්ධිමත් තීන්දුවක් වුවද, එම අරමුදලේ කළමනාකරණය සඳහා කරන ලද ඇතැම් පත්කිරීම්ද ආණ්ඩුවට සහාය දක්වන සිවිල් සමාජ කණ්ඩායම් තුළ විශ්වාසය පළුදු කිරීමක් ලෙස පෙනී යාම සාධාරණය. එම පත්කිරීම් අතර අති බහුතරය සමන්විතව ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගෙනි. අඩු තරමින් ව්‍යාපාරික නියෝජනය සෙසු නියෝජනයන්ගෙන් තුලනය කිරීමට පවා ප්‍රයත්න දරා නොමැත. මෙම කළමනාකරණ කමිටුව පත් කරනු ලැබ ඇත්තේ හුදෙක් අරමුදල් එකතු කිරීම සඳහා පමණක් යැයි හේතු දක්වා එය සාධාරණීකරණය කරන්නට ජනපතිවරයා පසුව ප්‍රයත්න දැරීය. නමුත්, අරමුදලේ මුදල් වැය කිරීම පිළිබඳ ප්‍රමුඛතාවන් හඳුනා ගැනීමද අදාළ කමිටුවේ ප්‍රකාශිත කාර්යභාරයකි. ප්‍රමුඛතා තීරණය කිරීම යන්නෙන් පැහැදිලිවම ආධාර එකතු කිරීම නමැති තාක්ෂණික කාර්යභාරයට වඩා ප්‍රතිපත්ති හැසිරවීමේ කාර්යභාරයක් ගම්‍ය වේ. මගේ හැඟීම නම් මෙම නැවත ගොඩ නැගීමේ අරමුදල ස්ථාපිත කළ ආකාරය තුළද ආණ්ඩුව ආපදාවට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රදර්ශනය කළ කලබලකාරීත්වය නිරීක්ෂණය කළ හැකි බවය.

ඉහත කාරණයේදී ආණ්ඩුව අසමත්ව ඇත්තේ ආපදා කළමණාකරණ විෂයෙහි නොව දේශපාලන කළමණාකරණ විෂයෙහිය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නියාමකයින් හමුවේ ඇති ඉදිරි අභියෝගයක් වන්නේ ආපදා කළමණාකරණයත් දේශපාලන කළමණාකරණයත් අතර මනා තුලනයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ‘ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ’ අරමුදල ස්ථාපිත කිරීම ආපදා කළමණාකරණයට අදාළව ගත යුතුව තිබූ හදිසි පියවරක් ලෙස වටහාගත හැකිය. නමුත් එය ස්ථාපිත කළ ආකාරය තුළ දේශපාලන කළමණාකරණ විෂයෙහි ගැටළු නිර්මාණය කර ඇති බවද ඒ සමගම පිළිගන්නට සිදු වේ.

කැළඹීම පහව යාම

කෙසේ වුවත්, ‘දිත්වා’ සුළි කුණාටුවේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් දෙසතියක් ඉක්ම යන විට නිරීක්ෂණය වන්නේ ආරම්භයේදී ආණ්ඩුවට එරෙහිව කැරකෙමින් තිබූ මහජන මතයේ වායු කැළඹීම දැන් පැහැදිලිවම සමනය වෙමින් පවතින බවයි. එය සපුරාම අනෙක් අතට කැරකීමේ විභවතාවක් පවා පෙන්නුම් කරයි. මේ පරිවර්තනය අපට සමකාලීන දේශපාලනය පිළිබඳ වැදගත් පාඩම් උගන්වයි. සොබාවික සුළි කුණාටුවලට වෙනස්ව මහජන මතයේ වායු ගෝලීය කැළඹීම් හැඩ ගස්වනු ලබන්නේ දේශපාලන ක්‍රියාකාරකම් විසිනි. එබැවින්, මුළදී ආණ්ඩුවට අවාසි සහගත ස්වරූපයක් පෙන්නුම් කළ මහජන මතය දෙසතියක් තුළදී යළි ආණ්ඩුවට වාසි සහගත අතට හැරුණේ කවර නම් දේශපාලන ක්‍රියාකාරීත්වයන් කරණ කොටගෙනදැයි විමසා බැලීම ප්‍රයෝජනවත්ය. මෙහිදී පසුගිය දෙසතිය තුළදී ආණ්ඩුව සහ විපාක්ෂික නායකත්වයන් මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වූ ආකාර විමසුමට ලක් කළ යුතුය.

කුණාටුව දේශපාලන ලෝකයට කඩා වැදුණු වහාම අපේක්ෂා කළ හැකි පරිදිම වේදිකාව විවෘත වූයේ විපක්ෂයේ කණ්ඩායම්වලටය. ඔවුහු එයින් හැකිතාක් දේශපාලන වාසි අත්පත් කරගන්නට ප්‍රයත්න දැරූහ. නිර්මාල් දේවසිරි නිවැරදිව පවසා ඇති පරිදි එහි ඇති වරදක් නැත. දේශපාලනය කරන්නේ අර්බුදයක් හෝ ආපදාවක් තුළදී නොවේනම් අන් කොතැනකද? මාවෝ සේතුං අර්බුදයේ නිමේෂයකදී විවර වන්නා වූ දේශපාලන වියහැකියාවන් ගැන හඟවමින් වරක් මෙසේ පැවසීය. “දෙව්ලොව යට සියල්ල මහා වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” නමුත්, මෙයට යමක් එකතු කරන්නට නිර්මාල්ට සහ මාවෝට අමතක විය. එනම්, අර්බුදයකින් දේශපාලන වාසි අත්පත් කරගැනීමේදී ප්‍රධාන සටන් පාඨය විය යුත්තේ “අර්බුදයෙන් දේශපාලන වාසි නොගනු!” යන්න බවයි. විශේෂයෙන්ම ආපදා තත්ත්වයකදී කරන දේශපාලනය සාර්ථක වන්නේ එය දේශපාලනයක් නොවන බව ජනතාවට ඒත්තු යන තාක් දුරට පමණි. මන්ද යත්, මා ඉහත පැහැදිලි කොට ඇති පරිදි ආපදාව හමුවේ මහජනයා තුළින් පැන නැගෙන ප්‍රබල අවිඥානික වුවමනාව වන්නේ ආරක්ෂාව සහ රැකවරණය සොයා ගැනීමයි. එම වුවමනාව ප්‍රකාශයට පත් වන එක් ආකාරයක් නම් සියළු වාද බේද පසෙක තබා එක්සත්ව වැඩ කරන සමාජයක් පිළිබඳ ෆැන්ටසියයි. දේශපාලනය වනාහී නිර්වචනාත්මකවම සමාජයේ ඇති බෙදීම් නිරූපනය කරන්නකි. ආපදා මොහොතකදී දේශපාලනය බැහැර කළ යුතුය යන මතයට විශාල ආකර්ෂණයක් හිමි වන්නේ මෙනිසාය.

විපක්ෂය වරද්දා ගත් තැන මෙයයි. පළමු මොහොතේදී විපක්ෂයේ විවේචන දෙසට මහජනයා තුළින් කිසියම් සාධනීය නැඹුරුතාවක් ඇති වුවද, එම විවේචනවල සැබෑ අරමුණ කෙසේ හෝ බලය අත්පත් කරගැනීමය යන හැඟීම ප්‍රචලිත වූ වහාම එම නැඹුරුතාව ආපස්සට හැරිණ. ආපදාවට මුහුණ දීමට ආණ්ඩුව අසමත් බැවින් තමන්ට රට බාර දෙන්නැයි විපක්ෂ නායකවරයා විසින් කරන ලද ප්‍රකාශය සමග ඔවුනගේ බල අරමුණුවල නග්නභාවය සැඟවිය නොහැකි විය. “මේ මොහොතේදී අන්තර්-වාර පාලනයක් අවශ්‍යයි” යන ප්‍රකාශයද ඊට සමානය. පැවති තත්ත්වය තුළ විපක්ෂයේ පැත්තෙන් දේශපාලනිකව වඩාත්ම අඥාන ක්‍රියාව සිදුකරන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි. එනම්, දක්ෂිණාංශික විපක්ෂයේ නායකයින් පමණක් සහභාගී වන ඊනියා සර්ව-පාක්ෂික රැස්වීමක් කැඳවීමයි. ආණ්ඩු පක්ෂය එම කැඳවීමට ප්‍රතිචාර නොදක්වන බව ආරම්භයේදීම දැන සිටිය යුතු විය. තුනෙන් දෙකක මහජන වරමක් හිමි පක්ෂයක් සියයට එකකවත් ජනතා සහයෝගයක් නොමැති නායකයෙකු විසින් කැඳවනු ලබන සර්ව-පාක්ෂික සාකච්ජාවකට සහභාගී වන්නේ කුමකටද? කෙසේ වුවත්, මෙහි ප්‍රතිපලය වූයේ එය දක්ෂිණාංශික විපක්ෂයේ නායක රැස්වීමක් බවට පත් වීමයි. ව්‍යසනයට එක්සත්ව මුහුණ දීම සඳහා වූ පොදු මහජන මතයක් නිර්මාණය වෙමින් පැවති මොහොතක විපක්ෂයේ නායකයින් වෙනම සංවිධානය කිරීමට දැරූ එම ප්‍රයත්නය සමාන වූයේ දේශපාලන සිය දිවි නසා ගැනීමකටය. ආපදා කළමනාකරණයේදී ආණ්ඩුව අකාර්යක්‍ෂම වීය යන චෝදනාව යටතේ නඩු පැවරීමට වික්‍රමසිංහ ප්‍රමුඛ දක්ෂිණාංශික විපක්ෂය දරන්නා වූ ප්‍රයත්නයෙන්ද ගම්‍ය වන්නේ ජාතික එක්සත්භාවයක් සඳහා සැබෑ වුවමනාවක් ඔවුනට නොමැති බවයි. මේ දිනවල විපක්ෂ නායකවරයා ආපදාවට ලක් වූ ප්‍රදේශවල සංචාරය කරමින් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩවල ඇද කුද සොයමින් යාමෙහි ප්‍රතිපලය වනු ඇත්තේ විපක්ෂයේ ප්‍රතිරූපය බිඳ වැටීමට අමතරව එය හාස්‍යයට පවා ලක් වීමය.

වාමාංශික ජනතාවාදී විසඳුම

‘දිත්වා’ කුණාටුවේ ප්‍රචණ්ඩ සැඩ පහරට මුහුණ දෙමින් ආධුනික නාවිකයන්ගෙන් සමන්විත ආණ්ඩුවේ නෞකාව බේරාගෙන එය නිවැරදි දිශාවට යාත්‍රා කරවීමේ ගෞරවය මුළුමනින්ම හිමි විය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක හටය. මේ අසීරු මෙහෙයුමේදී ඔහු ප්‍රකට කළ දේශපාලන පරිණතභාවය සහ නායකත්ව ශක්‍යතාව කැපී පෙනේ. දේශපාලන මනෝ විද්‍යාවේ ඇසින් බැලුව හොත් ජනාධිපතිවරයාගේ සාර්ථකත්වයේ රහස වන්නේ මේ මොහොතේ ජන සමාජයේ දේශපාලන අවිඥානය ග්‍රහණය කරගැනීමයි. සොබාවික ව්‍යසනය හමුවේ මෙරට ජන සමාජය තුළ ස්වෙච්ජාවෙන් ගොඩ නැගුණු සාමූහිකත්වය සහ අන්‍යොන්‍ය සහකම්පනය පිළිබඳ සමාජ මානසිකත්වය හඳුනාගන්නටත් එහි දේශපාලන වැදගත්කම නිශ්චය කර ගන්නටත් ඔහු සමත් විය. සුළි කුණාටුවෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව ඇමතීමේදී ඔහු පළමුව ස්තුතිය පළ කළේ ස්වේච්ජාමය මහජන මැදිහත්වීම්වල යෙදුණු පිරිස්වලටය. එසේම, අසරණභාවයට පත් සමාජ කොටස්වලට රැකවරණය සැලසීම රාජ්‍යයේ කාර්යයක්ය යන සමාජ මානසිකත්වයට ඔහු සාර්ථකව ආමන්ත්‍රණය කළේය. ඔහුගේ ආපදා සහන පැකේජය විපක්ෂයේ කිසිවෙකුට තරඟ කළ නොහැකි මට්ටමේ එකකි. මෙහිදී අනාරක්ෂිතතාව හමුවේ ජන සමාජය රැක බලා ගන්නා පීතෘ භූමිකාවක් සඳහා වූ අවිඥානක ඉල්ලීමට සාර්ථකව ආමන්ත්‍රණය කරන්නට සමත් වූයේ අනුර දිසානායක සහෝදරයා ය.

මේ සියල්ලටමත් වඩා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ආපදාව හමුවේ බෙලහීනතාවට ඇද වැටුණු ජන සමාජයට නව අපේක්ෂාවක්, ධෛර්යයක් සහ නිෂ්ටාවක් ලබාදීමට සමත් වීම යන කාරණයෙනි. මිනිසුන්ගේ හැඟීම් සංවිධානය කිරීමට සමත් වන්නේ පවත්නා සංකේතීය යථාර්තයෙන් ඔබ්බෙහි වූ ‘වඩා දෙයක්’ වෙත ජන සමාජය ඉලක්කගත කළ හැකි නායකත්වයකටය. වත්මන් නිමේෂයේ පොදුජන මානසිකත්වය තුළ පෙරට පැමිණ තිබෙන සාමූහිකත්වය හා එක්සත්භාවය පිළිබඳ වුවමනාකම් ගොනු කොටගෙන ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ නිෂ්ටාව පුළුල් මහජන සහභාගීත්වයකින් යුත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්නට ආණ්ඩුව සමත් වුවහොත් එය දේශපාලනික සාර්ථකත්වයේ ගමනක් වනු ඇත. මෙහි අදහස එක්සත්භාවයේ නාමයෙන් විපක්ෂයේ සියළු පක්ෂ එක් කරගත යුතු බව නොවේ. දැනටමත් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ නගන්නට ව්‍යසනයේ නිමේෂය භාවිත කරමින් සිටින විපක්ෂ කණ්ඩායම් සමග එවන් ගමනක් යා නොහැක. යා යුතුද නැත. ඒ වෙනුවට ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ ව්‍යාපාරය සමග එක්වීමට කැමති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ක්‍රියාකාරීන්ට ඒ සඳහා ඉඩ විවර කළ යුතුය. නිදසුනක් ලෙස වතුකර ප්‍රදේශ නැවත ගොඩ නැගීමේ ව්‍යාපෘතීන්වලදී පසුගිය අය වැය සඳහා වූ ජන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වැනි කණ්ඩායම් සහභාගී කරගැනීම වැදගත්ය. ඇතැම් දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් උතුරු නැගෙනහිර ප්‍රදේශ නැවත ගොඩනැගීමේදී හවුල් කරගත හැකිය. උනන්දුවක් දක්වන සජබ සහ පොහොට්ටුවේ ඇතැම් ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් හැකිතරම් දුරට මේ පොදු වැඩපිළිවෙලට දායක කරගත හැකිය. ඒ අතරම බිඳ වැටුණු රට නැවත ගොඩ නැගීමේ ව්‍යාපාරය කලාකරුවන්, බුද්ධිමතුන්, විවිධ විෂය ප්‍රවීණයින්, වෘත්තික ප්‍රජාව, රාජ්‍ය සේවකයින්, පෞද්ගලික ව්‍යවසායකයින් හා සේවකයින්, ගොවි-කම්කරු-ධීවර සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ජන මාධ්‍ය ආයතන, ග්‍රාමීය සමාජය තුළ සක්‍රිය රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සංවිධාන යනාදීන් ඇතුළත් කරගත් පුළුල් බහුජන ව්‍යාපාරයක් ලෙසින් දිගුකාලීන ඉලක්කයක් හා වැඩ පිළිවෙළක් සහිතව ගොඩ නැගිය යුතුව ඇත. එමගින් යළි හිස ඔසවන්නට ප්‍රයත්න දරන අතීත දූෂිත පාලක පැලැන්තිය තවදුරටත් ආන්තිකකරණය කළ හැකිය. කළ යුතුය. අර්බුදයට වාමාංශික ජනතාවාදී විසඳුම වන්නේ එයයි. ජනතා ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ එදෙසිනි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.