14 June, 2024

Blog

හෙජමොනික අර්බුදය සහ රාක්ෂසයන්ගේ සමය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

“පැරණි ලෝකය මිය යමින් පවතී; නමුත්, නව ලෝකය තවමත් ඉපදී නොමැත.” අන්තෝනියෝ ග්‍රාම්ස්චි මෙසේ පැවසුවේ ඉතාලියානු ෆැසිස්ට්වාදයේ නැගීම සිදු වූ අර්බුද වසරවලදීය. ඒ දැනට සියවසකට පමණ පෙරය. බිඳ වැටෙන පැරණි ලෝකයත් නිර්මාණය වන්නට යන නව ලෝකයත් අතර පවතින්නේ ගැඹුරු ඛණ්ඩණයේ නිමේෂයකි. මාක්ස්වාදියෙකු වූ ග්‍රාම්ස්චි එකල පැවති ගතානුගතික මාක්ස්වාදයෙන් කොතරම් දුරස් වුවද, ගොඩ නැගෙන්නට නියමිත නව ලෝකයේ ස්වභාවය පිළිබඳ කිසියම් පැහැදිලි අපේක්ෂාවක් ඔහුට තිබෙන්නට ඇත. ඒ ධනවාදයේ අර්බුදයෙන් පසුව සමාජවාදී විප්ලවයේ පැමිණීමක් පිළිබඳ විශ්වාසය එකල කවර ධාරාවක වාමාංශිකයෙකු විසින් වුවත් බෙදා ගනු ලැබීම නිසාය. සමාජවාදයේ අනිවාර්ය පැමිණීම න්‍යායිකව පිළි ගත්තා වුවත් නැති වුවත් එය ඒ යුගයේ සමාජවාදීන්ගේ පොදු විශ්වාසයක්ව පැවතිණ.

නමුත්, ග්‍රාම්ස්චිගේ ඉහත කියමන සියවසකට පමණ පසුව අප පුනරුච්ජාරණය කරන විට එයින් හැඟවෙන්නේ වෙනස් අරුතකි. මන්ද යත්, ඉපදෙන්නට නියමිත නව ලෝකයක් පිළිබඳ සාමූහික විශ්වාසයක් වත්මන් යුගයේ වාමාංශිකයින් අතර නොපවතින නිසාය. ධනවාදී අර්බුදය විසින් සමාජවාදී පරිවර්තනයක් කරා මාවත විවර කරන්නේය යන විශ්වාසය න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවද අභියෝගයට ලක්ව ඇත. එබැවින්, අද අපට කියන්නට සිදුව තිබෙන්නේ ඇතැම් විට නව ලොවක් නිර්මාණය වනු ඇති නමුත් එය කවරක් වුවද විය හැකිය යනුවෙනි. පළමු ලෝක යුද්ධයෙන් හා 1929 මහා ආර්ථික අවපාතයෙන් පසුව යුරෝපය තුළ කම්කරු ව්‍යාපාරය යටපත් කරමින් ෆැසිස්ට්වාදය හිස එසවූ බව අප මෙහිදී අමතක නොකළ යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, පැරණි පර්යායේ අර්බුදය විසින් අපව අස්ථාවර, අනිශ්චිත සහ අභව්‍ය කාලයක් වෙත හෙළනු ලබයි. මෙතෙක් කලක් සිදු විය නොහැකි යැයි අපට පෙනුණු බොහෝ දේ දැන් සිදු විය හැකි දේවල් බවට පරිවර්තනය කරනු ලබයි. දේශපාලන විය හැකියාවන්ගේ කලාපය පුළුල් කරනු ලබයි. එම කලාපය ග්‍රහණයට ගන්නට ඇතැම් විට ප්‍රගතිශීලී නොහොත් වාමාංශික බලවේගයක් සමත් විය හැකිය. නමුත්, එය එසේ වන්නට නියමිත නැත. ඇතැම් විට, ඉතාම ප්‍රතිගාමී අන්ත-ජාතිකවාදී නොහොත් දක්ෂිණාංශික බලවේගයක් ඉහළට මතුව ආ හැකිය. අර්බුද සමයකදී විවෘත වන දේශපාලනික විය හැකියාවන්ගේ බහුවිධත්වය පිළිබඳ විචිත්‍ර අවබෝධයක් ග්‍රාම්ස්චි ඔහුගේම ඓන්ද්‍රීය අත්දැකීම් තුළින් උකහා ගත් බව නිසැකය. මන්ද යත්, ඔහු තම ප්‍රකාශයට මෙබඳු එකතු කිරීමක්ද සිදු කළ බැවිනි; “මේ රාක්ෂසයන්ගේ කාලයයි.”

අර්බුදයේ සමාජමය මානය

අප දැන් අවතීර්ණ වී සිටින්නේ ලාංකීය රාක්ෂසයන්ගේ පැන නැගීම සිදු වන කාල පරිච්ජේදයකටය. අපේක්ෂා කළ යුතු පරිදිම එම රාක්ෂසයන් මතු වන්නේ ආගම්වාදී, ජනවර්ගවාදී සහ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදී වේෂයන්ගෙනි. ආර්ථික අර්බුදයත් ඒ සමග අත්වැල් බැඳ ගත් බහු-විධ දේශපාලනික හා සමාජමය අර්බුදයත් හමුවේ නිමක් නොපෙනෙන අනාරක්ෂිතතාවකට මුහුණ දී සිටින පුද්ගලයින් හට එම රාක්ෂසයන් පවසන්නේ කුමක්ද? අපගේ ආගම, ජාතිකත්වය සහ සංස්කෘතිය විශාල අනාරක්ෂිතතාවකට සහ ආපදාවකට ලක්ව තිබෙන බවය. එනයින් තම ජීවන පැවැත්ම සම්බන්ධයෙන් අනාරක්ෂිත බවකට හෙලනු ලැබ සිටින පුද්ගලයින් සාමූහික ආරක්ෂාව පිළිබඳ නව අරගලයක් වෙතට කැඳවනු ලැබේ. නිදසුනක් ලෙස ආගමේ ආරක්ෂාව සඳහා කරන අරගලය මගින් ඔවුනගේ පුද්ගලික අනාරක්ෂිත භාවයේ හැඟීම සඳහා දෘෂ්ටිවාදී විසඳුමක් තිලිණ කරනු ලැබේ. තමන්ට ඇතුලාන්තයෙන් දැනෙන පුද්ගලික අනාරක්ෂිත භාවය පිළිබඳ හැඟීම බහීෂ්කරණය කොට එය සාමූහික අනාරක්ෂිත භාවයක් බවට රූපාන්තරණය කරනු ලැබේ. දැන් ආපදාවට ලක්ව ඇත්තේ තමන් පමණක් නොව තමන් අයත් සමූහයට කිසියම් ඒකාග්‍රතාවක් ලබා දුන් තම ආගමද අනතුරට ලක්ව ඇතැයි ඔවුන්ට එවිට පෙනෙනු ඇත.

ගැඹුරු අර්බුදවලට මුහුණ දුන් බොහෝ සමාජවල ෆැසිස්ට්වාදී ගති ස්වභාවයන් සහිත ආගම්වාදී, ජනවර්ගවාදී සහ සංස්කෘතික මූලධර්මවාදී ව්‍යාපාර පැන නගින්නේ මන්ද? මේ කාරණය පැහැදිලි කිරීමේදී අප පළමුවෙන් අවධාරණය කළ යුතු දෙයක් නම් ෆැසිස්ට් ව්‍යාපාරවල නැගීමට ආර්ථික අර්බුදය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ආර්ථික අර්බුදය හා සමගාමී වන දේශපාලන අර්බුදය වුවත් ඒ සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. වඩා බලපෑම් සහගත වන්නේ ආර්ථිකමය සහ දේශපාලනික අර්බුද සමග අතිපිහිත වූ සමාජමය අර්බුදයයි. පුදුමයකට මෙන් සමාජ අර්බුදය පිළිබඳ මේ වැදගත් තේමාව තවමත් අප අතර ප්‍රමාණවත් සාකච්ජාවකට ලක්ව නොමැත. ඒ පිළිබඳව කිසිදු ශාස්ත්‍රීය සංවාදයක් හෝ සාකච්ජාවක් සිදු වන බවක් නොපෙනේ. (මෙරට සමාජ විද්‍යා විද්‍යාර්ථීන් කුමක් කරමින් සිටිනවාදැයි මම නොදනිමි). නමුත්, මේ ඉවසිය නොහැකි බුද්ධිමය නිහඬතාව හමුවේ අපගේ දෙපා යටින් සමාජමය පොළෝ තලය ඉරි තලා යමින් පවතී.

එය වටහා ගන්නට එතරම් දුරක් යා යුතු නැත. කොවිඩ් 19 අර්බුදය සමයේ සිට මේ දක්වාම මෙරට පාසැල් අධ්‍යාපනයට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි විමසීම ප්‍රමාණවත්ය. පොදු අධ්‍යාපනය යන්න නිදහසින් පසු ලාංකීය සමාජ සැකැස්ම හැඩ ගැසීමේ ප්‍රධානතම යාන්ත්‍රණයක්ව පැවතිණ. විශේෂයෙන්ම ආන්තික සහ පරිවාර ප්‍රදේශවල ඉපදෙන පුද්ගලයින් හට ජාතිකමය තලයට ඇතුල් වීම සඳහාත් පන්තිමය ලෙස ඉහළට නැගීම සඳහාත් තිබූ ප්‍රධානතම යාන්ත්‍රණයක් වූයේ නිදහස් අධ්‍යාපනයයි. එය මෙරට පාලක ප්‍රභූව සහ බහුතර කෘෂිකාර්මික ප්‍රජාව අතර පැවති සමාජ සම්මුතියේ ප්‍රධාන අංගයක් ලෙසින්ද සැලකිය හැකිය. ග්‍රාම්ස්චියානු අරුතින් ගත හොත්, මෙරට රාජ්‍ය පරිපාලනය, අධ්‍යාපනය, නීතිය යනාදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිරුණු සාම්ප්‍රදායික බුද්ධිමතුන් පදාසය (විධායක නිළධාරීන්, ලිපිකරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් යනාදී වශයෙන්) දෘෂ්ටිවාදීව හැඩ ගස්වනු ලැබ ඇත්තේ පාසැල් අධ්‍යාපන යාන්ත්‍රණය මගිනි. කව්රුන් කොතෙක් ප්‍රයත්න දැරූවද ආර්ථික විවෘතකරණයෙන් දශක හතරකට පසුව පවා මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයට ලක් කිරීම අසීරු වී ඇත්තේ මෙනිසාය. සංක්ෂිප්තව කිව හොත්, අධ්‍යාපනයේ අර්බුදයක් විසින් ඇති කෙරෙන ආසන්න සමාජ බිඳ වැටීම සහ දිගුකාලීන සමාජ විපාක අතිශයින්ම බරපතලය.

ෆැසිස්ට්වාදයේ වැඩ බිම

මීට සමගාමීව පොදු සෞඛ්‍ය සේවය අර්බුදයට පත් වීම, සුභසාධක සේවා අවම වීම, ආර්ථික සංකෝචනය හමුවේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බිඳ වැටීම, ඉහළ යන විරැකියාව සහ ජීවන වියදම යනාදී එකිනෙක ගැට ගැසුණු අර්බුදයන්ගේ විසම චක්‍රයකට අපි මුහුණ දී සිටිමු. මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ අපගේ සාමූහික ජීවිතයට සේම පුද්ගලික ජීවිතවලටද අරුතක් සපයන සමාජ ව්‍යුහයන්ද බිඳ වැටීමට ලක් වන බවයි. පශ්චාත්-මාක්ස්වාදී දේශපාලන කතිකා විශ්ලේෂණ න්‍යාය අපට උගන්වන පරිදි සමාජ ව්‍යුහයන්ගේ අර්බුදයක් යනු පුද්ගල අනන්‍යතාවන්ගේ අර්බුදයක්ද වෙයි. මන්ද යත්, අප කව්රුන්ද යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ, එසේ නැතිනම් අපගේ අනන්‍යතා ගොඩ නැංවෙන්නේ සමාජ ව්‍යුහයන් මගිනි. එබැවින්, සමාජයීය අර්බුදයකට මුහුණ දෙන පුද්ගලයින් හට ඉමහත් අසරණකමක්, අපේක්ෂා භංගත්වයක්, හුදෙකලා භාවයක් සහ මං මුලා වූ හැඟීමක් ඇති වීම අපේක්ෂා කළ යුතුය. ෆැසිස්ට්වාදීන්ගේ වැඩ බිම වන්නේ එයයි. ෆැසිස්ට්වාදයේ මනෝ විද්‍යාව තේරුම් කරමින් විල්හෙල්ම් රයික් පෙන්වා දෙන පරිදි වඩා වැදගත් ගැටළුව වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුකාලීන ඉතාලිය සහ ජර්මනිය තුළ ෆැසිස්ට්වාදයේ ආමන්ත්‍රණයට ආකර්ෂණය වන අන්දමේ සමාජ මානසිකත්වයක් නිර්මාණය වූයේ කෙසේද යන්නයි. ෆැසිස්ට්වාදයේ හෝ නාසිවාදයේ මූලයන් ඇත්තේ හිට්ලර්ගේ හෝ මුසොලිනීගේ චරිත ව්‍යුහය තුළ නොව එකල ජර්මනියේ සහ ඉතාලියේ බහුජන (විශේෂයෙන්ම මධ්‍යම පන්තික) චරිත ව්‍යුහය තුළ බැව් රයික් මෙන්ම එරික් ෆ්‍රොම්ද පෙන්වා දෙයි.

මා පවසන්නේ සියවසකට පෙර යුරෝපයේ පැවති ආකාරයේ අධිකාරීමය දේශපාලන ප්‍රවණතා වත්මන් ශ්‍රී ලංකාව තුළද ඒ ආකාරයෙන්ම නිර්මාණය වීමේ ශක්‍යතාවක් තිබේය වැනි කතාවක් නොවේ. ඉතිහාසය එසේ පුනරාවර්තනය වන්නේ නැත. නමුත්, අපට ඉතිහාසයේ පැවති සංසිද්ධීන් සහ ක්‍රියාවලීන් ඇසුරින් ඉගෙන ගත හැකි පාඩම් තිබේ. සමාජ අර්බුද හමුවේ නිර්මාණය වන්නා වූ අනන්‍යතා අර්බුද දෙසත් ඒ හා අත්වැල් බැඳ ගත් බහුජන චරිත ව්‍යුහයන් දෙසත් අප අවධානය යොමු කළ යුතුව තිබේ. බිඳ වැටෙන සමාජය ආරක්ෂා කරන්නට සමත් ප්‍රගතිශීලී ව්‍යාපාරයක් නොමැති විටෙක ආගම්වාදී, ජනවර්ගවාදී සහ කොන්සර්වේටිව්වාදී ව්‍යාපාර අර්බුදයට ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරමින් පෙරට පැමිණීමේ අවධානමක් තිබේ. එවන් ව්‍යාපාර සතුව ඇති විශේෂ වාසියක් වන්නේ ජන සමාජයේ කාලාන්තරයක් පුරා මුල් බැසගත් වර්ගවාදී හා ආගම්වාදී දෘෂ්ටිවාදයන්ට ආමන්ත්‍රණය කිරීමට හැකි වීම පමණක් නොවේ. බොහෝ විට ලෞකිකවාදී වන වාමාංශික ව්‍යාපාරවලට වෙනස්ව යම් යම් ආධ්‍යාත්මික පණිවිඩ මූලධර්මවාදී ආකෘතියකින් යුතුව ඉදිරිපත් කරන්නට ඒවා සතු හැකියාවද ඉහළය. අනන්‍යතා අර්බුද හමුවේ අහිමි වූ ජීවිතයේ තේරුම් සොයමින් සිටින පහළ මධ්‍යම පන්තික පුද්ගලයාගේ මානසික ව්‍යුහය ග්‍රහණය කර ගන්නට ඒවා සමත් වන්නේ එබැවිනි. එවන් ෆැසිස්ට් විභවයන් සහිත ව්‍යාපාර ආරම්භයේදී මතු වන්නේ සාමාන්‍යයෙන් සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍රයකින් විය හැකිය. ජාතික දේශපාලනයේ නිරත පක්ෂ හා සංවිධාන මුලින් ඒවා එතරම් ගණනකට නොගන්නේද එනිසාය. නමුත්, ඉතිහාසය සාක්ෂි දරන පරිදි එවන් නොතකා හැරීම් වෙනුවෙන් ගෙවන්නට සිදු වන මිළ අතිශයින් අධිකය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.