10 October, 2024

Blog

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදය

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගිය අනිද්දා කලාපයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම සහ මතුපිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දේශපාලන විද්‍යා න්‍යායට අනුව අගනා විග්‍රහයක් කර තිබුණි. බටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ මතුපිට ප්‍රජාතන්ත්‍රවාදය එනම් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ප්‍රභූ පන්තියේ සුළුතරයක් අත පැවතීමත් තමන් පත්කරන නියෝජිතයන්ගේ දේශපාලන තීරණ පිළිබඳව බලපෑමක් කිරීමට නොහැකියාව බව ඔහු සඳහන් කර තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම යනු එය ග්‍රහණය කරගෙන සිටින ප්‍රභූ තන්ත්‍රයේ බලයට සංවරණයක් හා තුලනයක් ලෙස ජනතාවගේ සහභාගිත්වය ගොඩනගන දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සිතීමයි. 

ලිපිය කියවූ මට බටහිර සහ පෙරදිග ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව පහත දැක්වෙන ප්‍රවාදය ඉදිරිපත් කිරීමට සිතුණි. මෙය දේශපාලන විද්‍යා න්‍යායකට අනුව ඉදිරිපත් කෙරෙන්නක් නොව මවිසින් කියවන ලද සහ මට සිතෙන දේවල් අනුව ඉදිරිපත් කෙරෙන්නකි.

ලොව දැනට විවිධ රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් අභාසය ලැබූ ඒවාය. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවූයේ රාජාණ්ඩු ක්‍රම වලට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගල වලින් ලබන ලද පන්නරය උපයෝගී කර ගෙනය. මෙම අරගල හරහා බටහිර රටවල් විසින් ගොඩනගා ගෙන ඇති හර පද්ධතියක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ මෙම සක්‍රිය ක්‍රියාවලියට දායක නොවූ එමෙන්ම  බටහිර රටවල යටත් විජිතයන්ව සිට නිදහස ලබන විට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු සහ ලෝකයේ වෙනස් වීම අනුව ප්‍රජාතන්ත්‍රවාදයට හැඩගැසුණු රටවල පවතින සම්ප්‍රදායික හර පද්ධතීන් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා අරගල කළ රටවල පවතින හර පද්ධතීන්ට වඩා වෙනස් වේ. විවිධ රටවල මෙම  සම්ප්‍රදායික හර පද්ධතීන් මත ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර රටවල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනස් මුහුණුවරක් ගනී.

ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධව බටහිර හර පද්ධතියේ මූලික වටිනාකම් නිදහස (Liberty) සමානාත්මතාව (Equality) සහ යුක්තිය (Justice) ලෙස හඳුනා ගත හැක. රාජාණ්ඩු වලට එරෙහිව අරගල කළ ජනයා  විසින් ගොඩනංවන ලද මෙම වටිනාකම් ඒ ආකාරයෙන් ම වෙනත් රටවල නැත. උදාහරණයක් වශයෙන් ලිබර්ටි යන ඉංග්‍රීසි වචනයට සරිලන සිංහල වචනයක් අපට නැත. එය නිදහස නොවේ. නිදහස, ෆ්‍රීඩම් (freedom) යන ඉංග්‍රීසි වචනයෙන් අදහස් වේ. මා දන්නා තරමට දෙමළ භාෂාවේද ලිබර්ටි  යන ඉංග්‍රීසි වචනයට සරිලන වචනයක් නැත. එය දෙමළට පරිවර්තනය වන්නේ  சுதந்திரம் වශයෙනි. එහි අර්ථය නැවතත් නිදහසයි.

බටහිර සමානාත්මතාවයෙන් අදහස් කරන්නේ සියලු පුරවැසියන් සම මට්ටමේ අයවියයුතු බව නොවේ. පුරවැසියන් සියලු දෙනාටම සමාන අවස්ථා තිබිය යුතු බවයි. එනම් අවස්ථා සඳහා ඔවුන්ගේ ජන්මය ඇතුළු අනෙක්  කාරණා නෙසැලකිය යුතු අතර හැකියාව පමණක් සැලකිය යුතුය. යුක්තිය යන්නෙන් සැමට සාධාරණය ඉෂ්ට විය යුතු බව අදහස් කෙරේ.

ෆ්‍රීඩම්  හෙවත් නිදහස යන ඉංග්‍රීසි වචනයේ අරුත කිසිවකු ගේ බාධාවකින් තොරව තමාට කැමති දෙයක් කීමට හෝ කිරීමට හෝ ඇති අයිතියයි. ලිබර්ටි යන ඉංග්‍රීසි වචනයේ අර්ථය ආණ්ඩුවෙන් හෝ වෙනත් අධිකාරියකින් හෝ ඇතිවන බොහෝ සීමා කිරීම් වලින් තොරව තමා තෝරාගත් ආකාරයට ජීවත්වීමට ඇති නිදහසයි. ජස්ටිස්  හෙවත් යුක්තිය යන වචනයේ තේරුම සාධාරණ ලෙස මිනිසුන්ට සැලකීමයි.

ලිබර්ටි යන්නෙහි නිසි අර්ථය දත් පුද්ගලයා තමා මෙන්ම අනෙක් අයටත් එය අදාල වන බවත් තමා තෝරාගත් ආකාරයට ජීවත්වීම අනෙක් අයට බාධාවක් නොවිය යුතු බවත් දනී. මෙවැනි සමාජ වල පුද්ගලයන් අතර ඇති බැඳීම ලිහිල්ය. ඔවුහු තමන්ගේ වැඩක් බලාගනිති. ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි දෙනාගේ කැමැත්තයි. වැඩිදෙනා ගේ කැමැත්ත විසින් සුළුතරය පාගා නොදැමිය යුතු බව ලිබර්ටි  යන්නෙහි නිසි අර්ථය දත් පුද්ගලයා දනී. එබැවින් එක්තරා විදියකට ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවීමට එය හේතුවේ.

ලංකාවේ හෝ පෙරදිග බොහෝ රටවල හෝ තමා තෝරාගත් ආකාරයට ජීවත්වීමට නිදහසක් මිනිසුන්ට නැත. දෙමවුපියන්ගෙන් සමාජයෙන් සහ තමන අයත් වන විවිධ කණ්ඩායම් වලින් බලපෑම් එල්ල වේ. උපතේ සිටම ඔවුහු විවිධ සම්බන්ධතා ජාල සමඟ බැඳී සිටිති. යුක්තිය (Justice) පිලිබඳ වන සංකල්පය මෙම ජාල තුළ සිටින අයට එක ආකාරයකටත් ජාල  වලින් පිටත සිටින අයට තවත් ආකාරයකටත් ක්‍රියාත්මකවේ. මෙම ජාල ජනවාර්ගිකත්වය, ආගම, කුලය, ඉගෙනගත් පාසැල ආදී වශයෙන් ඇතිවිය හැක. මහින්ද රාජපක්ෂ මෙම ආකාරය මැනවින් අවබෝධකරගත් අයෙකි. ඔහු තමන්ගේ මිනිහාට සැලකීම  හොඳ දෙයක් බව ප්‍රසිද්ධියේ කියා සිටියේය. මක්නිසාද යත් එය ජනතාව අනුමත කරන දෙයක් බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදයට මේ ආකාරයට අසාධාරණ ලෙස ක්‍රියාත්මක විය නොහැක.

ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩි බලයක් හිමිකරගත් පක්ෂ විසින් සුළුතරයේ අයිතිවාසිකම් පාගා දැමීම බොහෝ විට දක්නට ලැබේ.එසේ වන්නේ පාලකයන්ට සහ ජනතාවට ලිබර්ටි  සහ ජස්ටිස්  හෙවත් සාධාරණ ලෙස මිනිසුන්ට සැලකීම යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්ප පිලිබඳ අවබෝධයක් නොමැති නිසාය. අවබෝධයක් තිබුනත් සිය සංස්කෘතික බලපෑම මත එසේ කල යුතු යයි නොහැඟෙන නිසාය.

මෙම සුළුතරය ජනවාර්ගික සුළුතරය හෝ දේශපාලන පක්ෂ අනුව වන සුළුතරය හෝ විය හැක. මෙහි එක ප්‍රතිඵලයක් වන්නේ මෙම සුළුතරය ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම අනුගමනය කිරීමට පෙළඹීමයි. ලංකාවේ ප්‍රචණ්ඩ කැරලි තුනක් ඇතිවීම මේ අනුසාරයෙන් තේරුම් ගත හැක.

ප්‍රංශය වැනි බටහිර රටවල ජනතාව විසින් ඉතා බලපතළ විරෝධතා පවත්වනු ලැබේ. එනමුත් ප්‍රංශයේ ජනතාව විරෝධතා ව්‍යාපාර වලින් හෝ අරගලයකින් හෝ රාජ්‍යයේ බලය අල්ලා ගැනීමට කල්පනා කරන්නේ නැත. එක වතාවක වර්තමාන ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ඔහුගේ පළමු ධුර කාලයේ ඇතිවූ විරෝධතා ව්‍යාපාරයකදී ජනතාව සමග සංවාද කරමින් සිය මතය තහවුරු කිරීම පිණිස විවිධ පළාත් වලට ගියේය.

ලංකාවේ සන්නද්ධ කැරලි වල අරමුණ වූයේ රාජ්‍ය බලය ලබා ගැනීමයි. එසේ නැතහොත් සිය ප්‍රදේශය තුල රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන්ම නවතා දැමීමයි. පසුගියදා පැවති අරගලයේ මුල් අවස්ථාවේදී  රාජ්‍යයේ මූලික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි නමුත් අවසාන අදියරේදී රට අරාජික වන ස්වභාවයක් මතුවිය.

ලංකාවේ සහ අප වැනි තවත් රටවල ආණ්ඩුවට වැඩි බලයක් ලැබෙන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අධිකාරිවාදී ස්වභාවයකට තල්ලු වන අතර ආණ්ඩුවේ බලය අඩුවන විට අරාජක තත්ත්වයක් ඇතිවේ. ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම ස්වභාවය ඇතිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම් වලට අනුව අපේ සමාජය හැඩ ගැසී නොමැති නිසා සහ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ අපේ සංස්කෘතික වටිනාකම් වලට අනුව නිසා මෙහි ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් බැවිනි.

නියම ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල ආණ්ඩුවට වැඩි බලයක් තිබෙන විට ආණ්ඩුව කාර්යක්ෂම වේ. බලය අඩුවන විට නීති සම්මත කර ගැනීමට ඇතිවන බාධා නිසා කාර්යක්ෂමතාව අඩුවේ. එවැනි රටවල මේ අක්ෂය ක්‍රියාත්මක වන්නේ කාර්යක්ෂමතාව සහ අකාර්යක්ෂමතාව පිලිබඳ අක්ෂයේ වන අතර ලංකාව වැනි රටවල එය ක්‍රියාත්මක වන්නේ අධිකාරිත්වය සහ අරාජකත්වය පිලිබඳ අක්ෂයේය.

මේ දිනවල බංග්ලාදේශයේ විරෝධතා ඇතිවී තිබේ. කලකට පෙර ෂීක් හසිනා සහ ඛලිඩා ෂියා මාරුවෙන් මාරුවට අගමැතිවූ යුගයේ රට අරාජක වන මට්ටමට විරෝධතා වැඩි විය. ප්‍රංශයේ විරෝධතා නිසා රට අරාජක තත්ත්වයට පත් නොවේ.

රටේ නීතියේ අධිපත්‍යය පිහිටුවීමට නොහැක්කේ අපගේ සමාජයේ ඉහළ  සිට පහළට ඇති හිතවතුන්ට සැලකීමේ සංස්කෘතික ගුණාංගය නිසාය. නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයකි. රජුන්ගේ යුගයේ අධිපත්‍යය තිබුනේ රජුන්ටය. නීතියට අධිපත්‍යය පැවරුනේ ඉන් පසුවය. බුදුන් තමන් ගෙන් පසු ආධිපත්‍යය පැවරුවේ ධර්මයටයි.

ලිබර්ටි, සමානාත්මතාව සහ යුක්තිය බුදුදහම සමඟ බොහෝ සෙයින් එකඟ වන අතර ඒවා සමඟ ලාංකික සංස්කෘතියේ එකඟතාවක් නැත. මේ අනුව බුදු සමය සහ ලාංකික සංස්කෘතිය අතර පැහැදිලි ගැටුමක් පෙනෙන්නට තිබේ. ඒ අනුව අප විසින් කර ඇත්තේ අපට ගැලපෙන බුද්ධාගමක් නිෂ්පාදනය කර ගැනීමයි. මේ බුද්ධාගම රැකීමට අපි ඕනෑම අයකු සමඟ ගැටුමකට සුදානම්ය. එමෙන්ම මේ බුද්ධාගම බුදුන් වදාල දහමට පටහැනිය.

නීතියේ අධිපත්‍යය සමානාත්මතාවට (equality) එකඟයි. අපි අපේ මිතුරන්ට සලකමු. එවිට ජනාධිපති ද ඔහුගේ මිතුරන්ට සලකයි. ජනතාව උත්සාහ කරන්නේ ඔහුගේ මිතුරන් වීමටය. අපේ සංස්කෘතික නැමියාව වෙනස් කර සමානාත්මතාව දෙසට ගමන් කිරීමට නොවේ.

මේ අනුව අප ඉන්නේ උගුලකය. සිංගප්පුරුවේ ප්‍රථම අගමැතිවරයා දැඩි නීති පැනවීමෙන් මෙම සංස්කෘතික නැමියාව වෙනස් කළේය. මහත්මා ගාන්ධි ඉන්දීය නිදහස් අරගලයේදී ජනතාවගේ සංස්කෘතික දුර්වලකම් ගැන ප්‍රසිද්ධියේ කථා කළේය. අපට කළ හැක්කේ කුමක්දැයි අප විසින් විමසා බැලිය යුතුවේ.

අපේ ප්‍රජාතන්ත්‍රවාදයට නියම අර්ථයක් ලබා ගැනීමට නම් ජනතාව අතර මෙම මූලික වටිනාකම් එනම් ලිබර්ටි, සමානාත්මතාව සහ යුක්තිය  වර්ධනය කළ යුතුය. එමෙන්ම ආර්ථික දියුණුවට සමාන්තරව මෙම වටිනාකම් වර්ධනය වීමේ ප්‍රවනතාවක්ද තිබේ.  

Latest comments

  • 0
    0

    හර්ෂ, ඉතා හොඳ ලිපියක්!
    මා සිතන ආකාරයට liberty සහ freedom යන වචන දෙකේ ඇති වෙනසක් නෑ. “ලිබර්ටි” යන වචනය විකාශනය වන්නේ “ලිබර්ටේටම්” [libertatem] කියන ලතින් වචනයෙන් වන අතර එහි තේරුම නිදහස යන්නයි. එය ඉංග්‍රීසි භාෂාවට එන්නේ පැරණි ප්‍රංශ වචනයක් වන “ලිබර්ටේ” [liberte] හරහාය, එහි නිසි අර්ථය නම් “නිදහස” යන්නයි. ඔය මොන වචනයෙන් කීවත් අවසන් අරුත නම් මනුෂ්‍ය චින්තනයට අවශ්‍ය නිවහල් භාවයක් යම් සමාජයක් විසින් හරවත් ලෙස ඇති කර තියෙනවාද කියන කාරණයයි. එනම්, අනුමත වූ නීතිමය රටාවකට අනුකූලව මිනිසෙකුට තමාගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය යම් කිසි සමාජයක් විසින් ඇති කර තිබේද යන්නයි. ඒ අනුව මගේ පිළිගැනීම නම් මේ දෙකම එකම අර්ථයක් ඇති වචන දෙකක්.

    දැන් අපි ගමු ලාංකීය සමාජ රටාවන්, චර්යා ධර්ම, ඉතිහාසය, ආගමානුකුල පිළිවෙත් හා මේ සියල්ලේ ඇති විෂම සම්බන්ධතාවයන්. මා කියන්ට යන තර්කය දූපත් චින්තනයෙන් බැහැර වූ ඉන් පෝෂණය නොවූ, වෙනත් රටවල මිනිසුන් ජීවත් වන ලෝක ධර්මතාවෙන් පෝෂ්‍ය වූ එකක් කියල මුලින්ම කියන්ට ඕනා. අපිට පැහැදිලිවම පේනවා නේද පවතින ලාංකීය සමාජ ගත චාරිත්‍ර හෝ වටිනාකම් බොහොමයක් පදනම් වී ඇත්තේ සාමූහිකවාදී සමාජ ධර්ම (collectivist) මත කියලා? වැඩිහිටි ගරු පිළිවෙත්, පවුල් පන්සල් යනාදී කටයුතු වල සාමුහික තීරණ ගැනීම්, ආගමාණුකූල වත් පිළිවෙත්, පන්සල හා ඇති දැඩි බැඳීම්, අත්තම් ක්‍රමය වැනි ආර්ථික කටයුතු…. මේ සියල්ල සාමුහික සමාජයක දක්නා වැදගත් ලක්ෂණයන්. වෙනත් විදියට කියනවානම්, තමාට රුචි පරිදි තීරණ ගැනීමට පුද්ගලයෙකුට ඇති නිදහස ඉතාම අවම වීම හෝ කොහෙත්ම නැති වීම මේ සමාජයන් තුල ඉතා සුලභ දෙයක්. විශේෂයෙන්ම පුරුෂ ආධිපත්‍ය බලවත් වූ මේ සමාජ ක්‍රමය තුල කාන්තාවන්ට ඇති අයිතීන් හෝ නිදහස ඉතා සීමිත වීම.

  • 0
    0

    Contd….. හැබැයි, පහුගිය දශක පහක විතර කාලයේ ලංකාව දිහා බැලුවොත් අපි බොහොමයක් නූතන බටහිර පාරිභෝගික සමාජ ක්‍රමයට දැඩි ඇල්මක් දක්වනවා කියන එක මැනවින් පේනවා නේද? හැමෝටම සිංහල දෙමළ කෙසේ වෙතත් ඉංගිරිසි ඉගෙන ගන්ට දැඩිවම අවශ්‍යයිනේ? මානව අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය, චන්ද බලය, පුද්ගලික නිදහස, කාන්තා විමුක්තිය, ලිංගික නිදහස, දේශපාලන නිදහස යනාදී කාරනා අද ඉතා වැදගත් කාරනා නේද? හැබැයි මේ එකක්වත් අපේ සිංහල රාජාණ්ඩු ක්‍රමයේ හෝ සිංහල සංස්කෘතියේ තිබු ලක්ෂණ නොවෙයිනේ? ඒ ගැන කීයෙන් කී දෙනාද දැනුවත් වන්නේ? මේ කාරනා ගැන අපේ පරම්පරාගත නිර්ණයන් ඉතා දැඩි ලෙස සංවාදයට ලක් වෙලා තියෙනවා නේද? අද ජීවත් වන ජනගහනය පරණ යල් පිනූ මතවාද සෑහෙන දුරකට ප්‍රතික්ෂේප කරනවා නේද? ඒ කියන්නේ බටහිර සමානාත්මතාවාදී (egalitarian) වටිනාකම් ඔස්සේ හඹා යන බවත් පැහැදිලිවම පේනවා නේද? ඒ තමා බටහිර සමානාත්මතාවාදී (egalitarian) ප්‍රවේණිගත ලක්ෂණ!

    මෙන්න මේ සංඝටකය තමා අද ලාංකීය සමාජය විපරිත, තුෂ්ණිම්භූත භාවයට ඇද දාලා තියෙන්නේ. අපේ ජනතාව බොහෝ දෙනෙක් මේ ප්‍රපංචයන් දෙකේ වෙනස දන්නේ නෑ. වසර 2500 රාජාණ්ඩු ක්‍රමයේ සිට අවුරුදු 443 විදේශීය පාලනයන් හා ඊට පසු 70 වසරක වෙස්මිනිස්ටර් ප්‍රජාතන්තරවාදයක වෙනස විසඳා ගන්ට බැරි තත්වයක් නේ මේ තියෙන්නේ? උදාහරණයක්, අපේ ප්‍රවේණිගත සමාජය රාජාණ්ඩු පාලනයකින් මෙහෙය වූ ක්‍රමයක්. ඒ කියන්නේ රජුන්ට හෝ ඔවුන්ගේ බිසවුන්ට හෝ රජුන්ගේ හිතවත් අදිකාරම් ලාට අභිමත පරිදි ගෙන ගිය සමාජ ආර්ථික ක්‍රමයක්. රජුන්ට දොළ පිදේනි දුන්නොත් ඔක්කොම ගොඩ! නමුත් සුද්දන් අපිට ගෙනාවේ ඊට හාත් පසින්ම වෙනස් පුද්ගලික හා මානව හිමිකම් ඇති ක්‍රමයක් නේ?

  • 0
    0

    Cntd…..චන්ද ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, රස්සා දීමේ ක්‍රමය…මේ ඔක්කොම දේවල් වලට ජාති, ආගම් කුල බේද වලංගු උනේ නෑනේ. අද ලංකාව අපේ පරම්පරාගත collectivist ක්‍රමය එක්ක බටහිර egalitarian ක්‍රමයත් පටලෝගෙන නේ ඉන්නේ. පුද්ගලික වාසි වෙනුවෙන් රාජපක්ෂ (පවුල නොවේ) ක්‍රමයට දැඩි ලෙස ආ වඩන අතරම පුද්ගලික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ඒ ගැනත් කෑ ගහනවා. මේ දෙක දෙකක්! එකක් නොවේ! රජුන්ට පක්කලිකම් කර තානාන්තර ගන්නා අතර පුද්ගලික නිදහසත් අත් විඳින්ට බෑ !! රස්සාවල් ගන්ට, පෙට්‍රල් ෂෙඩ් එකක් ගන්ට, අරක්කු තැබෑරුමක් ගන්ට රජුන්ට පන්දම් අල්ලලා ඊට පස්සේ පුද්ගලික නිදහස ඉල්ලන්ට විදියක් නෑ ඒ ක්‍රමයේ. මේ අන්ත දෙක hybrid කරන්ට කිසිම විදියක් නෑ! ඒක තමයි වෙස්මිනිස්ටර් එංගලන්තෙයි සිංහල බෞද්ධ ලංකාවෙයි වෙනස!

    අද ලාංකිකයන් මේ දෙකොනම පටලාගෙන ඉන්නා බවත්, ඉන් කිසිම විසඳුමක් ලැබෙන්නේ නැති බවත් කියමින් මේ සටහන අවසන් කරමි. දොන් නම් දොන් – සිමන් නම් සිමන් කියන්නේ මේවාටය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.