17 October, 2021

Blog

රනිලාගමනයෙන් සහ බැසිලාගමනයෙන් පසු

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කොට වත්මන් ආර්ථික අර්බුදය විසඳාගත යුතු බව පැවසීය. දෙවැන්නා හට වුවත් ගන්නට සිදුවන්නේ ඒ මගම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කළ බව වාර්තා විය. මේ ජවනිකා පෙළට පසුබිමින් මංගල සමරවීර චීනයේ ඉතිහාසය පිළිබඳ සාරගර්භ විශ්ලේෂණයක්ද සමග වත්මන් ශ්‍රී ලංකාව චීන ආර්ථික ග්‍රහණයට ලක් වීමේ අනතුර නිවේදනය කරමින් ලිපියක් පළ කළේය. (නව-ලිබරල් යහපාලනවාදයේ නොහොත් ජනවාරි විප්ලවයේ උපාය මාර්ගික මනස වූ චන්ද්‍රිකා කුමාරතුංගද මේ සිදුවීම් ජාලයෙහි පෙනෙන නොපෙනෙන මානයේ සිටිනවා විය යුතුය).

තමන් විසින් ගොඩ නගන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආදර්ශ රූප වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයත් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයත් බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ. සරදම්ජනක ලෙස, ඔහු තම නව ධූරය භාර ගන්නේ හරියටම ඔහුගේ ආදර්ශ පක්ෂ දෙකේ නායකයින් ශ්‍රී ලංකාව අරභයා වූ තරඟයක නියැලී සිටින මොහොතකදී ය! එක්සත් ජනපද පුරවැසියෙකුද වන නව මුදල් ඇමතිවරයා හට ඔහුගේ නව ධූරයේ වැඩ කරන්නට සිදුවන්නේ චීනය දෙසට නැඹුරු වෙමින් සිටින තම සහෝදර ජනාධිපතිවරයා සමගය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් “චීනයේ කේන්ද්‍රීය භූ-දේශපාලනික අභිලාෂයන් සඳහා දැඩිව සහාය දක්වන බව” චීන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කොට ඇති බව මෙහිදී සිහි තබා ගත යුතුය.

ගෝලීය බලවතුන් අතර මෝරමින් තිබෙන අභිලාෂයන්හි ගැටුමක් කුඩා රටක පාලක පවුලක අභ්‍යන්තර සබඳතා තුළ ප්‍රතිරාව නැංවීමක්! එකී ගෝලීය බලවතුන්ගේ ගැටුම කෙරෙන් මතු වන ජාතිකමය ආතතීන් පාලක පවුලේ අභ්‍යන්තර හැසිරවීම් මගින් කළමනාකරණය කරන්නට උත්සාහ දැරීමක්!! මේ නාට්‍යය දිවෙනු ඇත්තේ බොහෝ විට ප්‍රහසනමය ශෝකාන්තයක් කරාය.

පාලක බල හවුලේ අවුල

බැසිලාගමනයට සහ රනිලාගමනයට සමාන්තරව ආණ්ඩු සංධානයේ පාර්ශව දෙකක් තවදුරටත් බල කේන්ද්‍රයෙන් අද්දරට තල්ලු වෙමින් පවතින බවක්ද නිරීක්ෂණය කළ හැකිය. පළමු පාර්ශවය වන්නේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු සිංහල-බෞද්ධ අන්ත ජාතිකවාදී පාර්ශවයයි. එම පාර්ශවය වෙත සෘජුව සහාය දක්වන ප්‍රබල ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණියක්ද සිටින බැවින් ඔවුනට දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නියෝජනයක් තිබේ. අනෙක් පාර්ශවය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවට සම්බන්ධ පැරණි වමේ කොටස් ය. මෙම පාර්ශවයේ පැහැදිලි දේශපාලනික දෘෂ්ටිවාදීමය ඒකාග්‍රතාවක් නොමැත. නමුත්, මෙකී පාර්ශ්ව දෙක හෝ ඒවායෙහි පතුරු සමග විපක්ෂයේ ඇතැම් කොටස් සංකලනය වීම දැන් පවතින්නේ විය හැකියාවන්ගේ රේඩාර් තිරය මතය.

මේ අනුව, වත්මන් අර්බුධයේ එක් පැතිමානයක් වන්නේ පාලක බල හවුලේම කොටස් අතර තීව්‍ර වෙමින් පවතින ආතතීන් සහ ගැටුම්ය. මේ තත්ත්වය සංකල්පගත කර ගැනීම සඳහා අපට නිකෝස් පෝලන්සාස්ගේ ‘පාලක බල හවුල’ පිළිබඳ සංකල්පය උපයෝගී කර ගත හැකිය. පෝලන්සාස් පෙන්වා දුන්නේ පාලක පන්තිය සැකසී ඇත්තේ සමජාතීය කොටස්වලින් නොවන බවයි. විශේෂයෙන්ම නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික පාලන ආකෘතිය තුළදී අපට පාලක පන්තියේ විවිධ කොටස් හඳුනාගත හැකිය. දේශපාලනයේ ඇතැම් සංධිස්ථානමය මොහොතවලදී පාලක බල හවුලේ සංයුතිය වෙනස් වීමටද හැකිය.

ශ්‍රී ලංකාවේ 1956 දේශපාලන විපරිවර්තනය සම්බන්ධයෙන් නිව්ටන් ගුණසිංහ විසින් කරන ලද එක් වැදගත් නිරීක්ෂණයක් මේ සඳහා නිදසුනක් ලෙස දැක්විය හැකිය. ගුණසිංහ පෙන්වා දුන්නේ ’56 විපරිවර්තනයේදී සිංහල-බෞද්ධ සුළු ධනේශ්වර බුද්ධිමය ශ්‍රේණියක් පාලක බල හවුලට ඇතුල් වූ බවයි. ඉන්පසුව රාජ්‍යයේ දෘෂ්ටිවාදී උපකරණ මෙහෙයවමින් රාජ්‍යයේ දෘෂ්ටිවාදී නිර්මිතය හැඩ ගැස්සවීමට ඔවුනට හැකියාව ලැබුණු බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

මෙයින් පෙනී යන්නේ පාලක බල හවුලේ සංයුතිය සැමදා එක ලෙස නොපවතින බවයි. එය වෙනස්වීම්වලට ලක් වේ. එපමණක් නොව පාලක බල හවුලේම කොටස් අතර විවිධ ආතතීන් සහ ගැටුම් ඇති වීමටද හැකිය. දේශපාලන අර්බුධ සමයක එක් ලක්ෂණයක් වන්නේ එම ආතතීන් සහ ගැටුම් වඩා තීව්‍ර වීමයි. දැන් අප රටේද නිරීක්ෂණය කළ හැක්කේ එවන් තත්ත්වයකි.

ආණ්ඩුව සහ පාලනාධිකාරය

පාලක බල හවුලේ වත්මන් අර්බුධය වටහා ගැනීමේදී එක් මූලික කාරණයක් පළමුව පැහැදිලි කර ගත යුතුය. එනම්, පසුගිය ජනාධිපතිවරණයේදී බලයට පත් ගෝඨාභය පාලනාධිකාරය 2005 සිට 2015 දක්වා පැවති මහින්ද රාජපක්ෂ පාලනාධිකාරය සමග මුළුමනින්ම සාම්‍ය කොට සැලකීම දේවල් අතිසරල කිරීමක් බවයි. ගෝඨාභය පාලනාධිකාරයට එයටම සුවිශේෂී වූ ගති ලක්ෂණ තිබේ. ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය විසින් සුසම්බන්ධ කෙරුණු සමාජ පන්තීන් සහ කණ්ඩායම් අතර නව සිංහල ධනේශ්වර කොටස්, වෘත්තීයවේදී කණ්ඩායම් සහ මිලිටරි ශ්‍රේණීන් වඩා ආධිපත්‍යයික විය. එම ව්‍යාපෘතියට වියත් මග වැනි සංවිධාන මගින් නියෝජනය වූ නව බුද්ධිමය නායකත්වයක් තිබිණ. ගෝඨාභය ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී රාමුව සැකසුණේ සිංහල-බෞද්ධ ජාතිකවාදය, ධනවාදී සංවර්ධනවාදය, සමාජ විනය සහ පර්යාය පිළිබඳ මිලිටරිමය ප්‍රවේශයක් සහිත අදහස් යනාදියේ සංකලනයක් මගිනි. ආර්ථික සංවර්ධනය පිළිබඳ එහි දැක්ම සකස් වී ඇත්තේ නැගෙනහිර ආසියාතික අධිකාරීමය ධනවාදය ආදර්ශ කොට ගනිමිනි. ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය කැප කළ යුතුය යන්න අධිකාරීමය ධනවාදයේ ඉගැන්වීමයි.

නව ජනාධිපතිවරයා බලයට පත්ව කෙටි කලක් ගත වන විට ඉහත දැක්ම නියෝජනය කළ බුද්ධිමය ශ්‍රේණියත් ඔහු වටා ගොණුව සිටි වෘත්තීයවේදී සහ මිලිටරි කොටසුත් රාජ්‍ය බලයට වඩා සමීප වීම පුදුමයට කරුණක් නොවේ. විශේෂයෙන්ම මෙරට ක්‍රියාත්මක වන ජනාධිපති ක්‍රමය තුළ ජනාධිපතිවරයා කේන්ද්‍ර කොටගත් විධායක බලය ක්‍රියාත්මක කරන බල කවයක් නිර්මාණය වීම 1978 සිටම අපට නිරීක්ෂණය කළ හැකි විය. එම බල කවය පාලක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට පවා ඉහළින් ක්‍රියාත්මක වනු අප කොතෙකුත් දැක තිබේ. නමුත්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත් විධායකයත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයත් අතර ව්‍යුහාත්මක බැම්මක්ද පවත්වා ගනු ලැබීමයි. එසේ කෙරෙනුයේ එක් අතකින් අමාත්‍ය මණ්ඩලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගනු ලැබීමෙනි. අනෙක් අතින්, ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව ආණ්ඩු පක්ෂයේ නායකයාද වීමෙනි.

නමුත්, මේ දෙවන කාරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනස්ය. ඔහු පාලක පොහොට්ටු පක්ෂයේ නායකයා නොවේ. එබැවින් පාලක පක්ෂයේ ජනතා නියෝජිතයින් සමග සාම්ප්‍රදායික දේශපාලන බැඳීම් සහ වගවීම් ඔහුට ඇත්තේ නැත. මෙමගින් ඔහුට තමා වටා විධායක බල කේන්ද්‍රයක් ගොඩ නගා ගැනීමේදී මෙතෙක් මෙරට බලය දැරූ සෙසු ජනාධිපතිවරුන්ට නොතිබුණු ආකාරයේ අමතර වාසියක්ද ලැබී ඇතැයි කිව හැකිය.

නව ජනාධිපතිවරයා වටා අධිකාරීමය ලක්ෂණ සහිත විධායක බල කවයක් නිර්මාණය වීමේ හැකියාව 2019 නොවැම්බරයේදීම නිරීක්ෂණය කළ හැකිව තිබිණ. මෙරට කීර්තිමත් දේශපාලන විද්‍යාඥයින් සහ විචාරකයින් කිහිප දෙනෙකු විසින්ම එය ඒ කාලයේදීම පෙන්වා දී තිබිණ. ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මිලිටරි ශ්‍රේණීන් පාලක බල කවය තුළට ඇතුළු වීමේ වියහැකියාවද ඒ කාලයේදීම හඳුනා ගනු ලැබිණ. කොරෝනා වයිරස් වසංගතය විසින් එකී නිශේධනීය ප්‍රවණතා වෙත අමතර වාසියක් නිර්මාණය කෙරුණු බවද රහසක් නොවේ. වසංගතය හමුවේ අධිකාරීමය රාජ්‍ය මැදිහත්වීම් සඳහා ඉඩ කඩ විවර වීම පසුගිය දෙවසර තුළ ලොව පුරාම නිරීක්ෂණය කළ හැකි තත්ත්වයකි. මහජන සෞඛ්‍ය පිළිබඳ අර්බුදයක් විසඳීම සඳහා මිලිටරි යාන්ත්‍රණයන් යොදවන තරම් දුරට ගිය ශ්‍රී ලංකාව එම ගෝලීය ප්‍රවණතාවේ කදිම ප්‍රකාශනයක් බවට පත් වූ බව කිව හැකිය.

ජනවාර්ගික ජාතිකවාදයේ වෙනස් ප්‍රබේධ

මේ අනුව, ජනාධිපතිවරයා කේන්ද්‍ර කොටගෙන ගොඩ නැගෙන පාලනාධිකාරයත් ආණ්ඩුවත් අන් කවර කලෙකටත් වඩා එකිනෙකින් දුරස් වීමක්ද දැන් නිරීක්ෂණය කළ හැකිය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළදී විධායක බලයේ කේන්ද්‍රය සමග සෘජුව සම්බන්ධ විය හැකි වූ ඇතැම් කණ්ඩායම්ද දැන් එයින් දුරස් කරනු ලැබ පවතී. වත්මනෙහි විධායකයේ ඇතැම් තීරණ සහ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේම ඇතැම් කොටස් විවෘතව විවේචන එල්ල කිරීම වටහාගත යුත්තේ මේ පසුබිම තුළය.

එසේම ඔවුනගේ විවේචන තුළ ඇති එක්තරා උභතෝකෝටිකයක්ද මෙයින් ලිහා ගත හැකිය. එනම්, ඔවුන් එක් අතකින් ජනාධිපතිවරයා ඇතුළු විධායක බලයේ කේන්ද්‍රය විවේචනයට ලක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන අතරම අනෙක් අතින් ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ නායකත්වය භාර ගත යුතු යැයි පවසන්නේ මන්ද යන උභතෝකෝටිකයයි. බොහෝ දෙනෙකු මේ ප්‍රශ්නයට පිළිතුර ලෙස දකින්නේ සරලව විමල්-බැසිල් ගැටුම වැනි පුද්ගලික බල අරගල පිළිබඳ කතාන්දරයි. නමුත්, එවන් බල අරගල පසුපස පවා වෙනස් දේශපාලන අභිලාෂයන් පිළිබඳ වැදගත් පණිවිඩ ගැබ්ව තිබේ.

මගේ අදහස නම්, විශේෂයෙන්ම විමල්, උදය සහ සෙසු සිංහල බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ නායකත්වය භාර ගත යුතු යැයි ඉල්ලා සිටීම ඔවුනගේ පැත්තෙන් සබුද්ධික තීරණයක් බවයි. මන්ද යත්, එයින් පොහොට්ටු නායකත්වය තුළ බැසිල් රාජපක්ෂගේ බලපෑම මද වශයෙන් හෝ තුලනයට ලක් කෙරෙන අතරම ජනාධිපතිවරයා සහ පාලක සන්ධානයේ නියෝජිතයින් අතර කිසියම් බැම්මක් ගොඩ නැංවීමටද ඉඩ කඩ විවර වන බැවිනි. වෙනත් වචනවලින් කිවහොත්, එය ඔවුනගේ දෘෂ්ටිවාදී බලපෑම සහිත කලාපයක් වෙතට ජනාධිපතිවරයා කැඳවා ගැනීමට දරන වෑයමකි. මේ වනාහී ඔවුන් කලක් භුක්ති විඳින ලද වරප්‍රසාදයක් වූ විධායක බලයේ කේන්ද්‍රය සමග සෘජුව ගණුදෙණු කිරීමේ හැකියාව යළිත් ලබා ගැනීමට දරන ප්‍රයත්නයකි.

නමුත්, බැසිලාගමනය මගින් ගම්‍ය වන ආකාරයට විමල් සහ උදය නියෝජනය කරන සිංහල බෞද්ධ බුද්ධිමය ශ්‍රේණියේ ඉහත කී ප්‍රයත්නය දැන් සාර්ථක වන සෙයක් නොපෙනේ. නමුත්, මෙය සිංහල බෞද්ධ ජාතිකවාදය පරයමින් අධිකාරීමය ධනවාදී සංවර්ධනවාදය ජය ගැනීමක් ලෙස සරලව නිගමනය කළ යුතුද නැත. ගෝඨාභය ජනාධිපතිවරයා වටා සිටින නව සිංහල ධනේශ්වර කොටස්ද පෙනී සිටින්නේද සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවෙනි. ඔවුනගේ ජාතිකවාදය මිලිටරිවාදී නොහොත් රණකාමී අදහස් සමගද මුසු වූ ජනවාර්ගික ජාතිකවාදී ප්‍රවණතාවක් යැයි කිව හැකිය. එම ජාතිකවාදය තුළ නිදහස් වෙළඳපළ ක්‍රමය, පුද්ගලික ව්‍යවසායකත්වය, පොදු දෙය හුවමාරු භාණ්ඩ බවට හැරවීම, පාරිභෝජනවාදය යනාදිය ගැන ඇත්තේ ඉතාම සුබවාදී ආකල්පයකි. එය වඩා සමීප වන්නේ ගුණදාස අමරසේකරගේ වර්ගයේ ගතානුගතික ජාතිකවාදයකට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වර්ගයේ නව-ජාතිකවාදයකටය; නැතහොත්, මහාචාර්ය නලින් ද සිල්වාගේ ජාතික චින්තනවාදයටය.

විය හැකියාවන් සහ විය හැකියාවන්හි සීමාවන්

අපි යළිත් බැසිලාගමනයේ දේශපාලන ගම්‍යතා පිළිබඳ ප්‍රශ්නයට එමු. දැනටමත් පෙනෙන්නට තිබෙන පරිදි ශ්‍රීලනිපය, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය සහ ආණ්ඩුවට සම්බන්ධ පැරණි වමේ කොටස් විධායක බල කේන්ද්‍රයෙන් තවදුරටත් දුරස් කිරීමක් මෙයින් ගම්‍ය වේ. ඒ සමගම ප්‍රාදේශීය තලය දක්වා විහිඳුණු පොහොට්ටු පක්ෂයේ අනුග්‍රාහක-සේවාදායක ජාලය පන ගැන්වීම මගින් ගෝඨාභය පාලනාධිකාරය වෙතින් ගිලිහී යමින් තිබෙන ජනප්‍රියත්වය යළි ගොඩ නැගීමටද ප්‍රයත්න දැරෙනු ඇත. ශ්‍රී ලංකාවේ වසංගත දේශපාලනය අනුග්‍රාහකවාදී රාමුවක් තුළ ක්‍රියාත්මක වන්නක් වීම හොඳටම අපේක්ෂා කළ හැකි තත්ත්වයකි.

නමුත්, ඇතැම් විශ්ලේෂකයින් පවසන පරිදි දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ සහයෝගය වත්මන් පාලනාධිකාරය වෙත දිනා ගැනීමට බැසිල් රාජපක්ෂ හට හැකි වේය යන්න දේවල් අතිශයෝක්තියට නැංවීමක් බවයි මගේ අදහස. මන්ද යත්, අනුග්‍රාහක දේශපාලන මාධ්‍යයන් මගින් කළමණාකරණය කළ නොහැකි තරමට මෙරට සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ දේශපාලන අභිලාෂයන් ප්‍රබලය. එසේම, මාස කිහිපයකට පෙර පැවති ‘P to P’ පා ගමනින් සංකේතවත් වූ පරිදි මෙරට සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ දේශපාලනය කෙරෙහි වන ඉන්දීය බලපෑමේ තීව්‍ර වීමක්ද ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. ජේ.ආර් දශකයේදී මෙන්ම වත්මනෙහිද ලංකාවේ පාලනාධිකාරයේ විදේශ සබඳතාවල නැඹුරුතා සෘජුවම මෙරට ජනවාර්ගික දේශපාලනයේ දිශානතිය කෙරෙහි බලපානු ඇත.

දැන් ලංකාවේ අභ්‍යන්තර දේශපාලන චලනයන් අන් කවර කලෙකවත් නොවූ විරූ පරිදි කලාපීය සහ ගෝලීය දේශපාලනයේ නැඹුරුතා සමග ගැට ගැසී ඇත. සැබවින්ම රනිලාගමනය සේම බැසිලාගමනයද එම බාහිර සාධකයන් නොතකා හැර තේරුම් කළ නොහැකිය. මෙය කෙසේවත් කුමන්ත්‍රණ න්‍යායක් නොවේ. බාහිර දේශපාලන හැසිරවීම් වුවත් දැන් සිදුවෙමින් පවතින්නේ රහසිගත කුමන්ත්‍රණ ලෙසින් නොව ඉතාම විවෘත සහ විනිවිද පෙනෙන ආකාරයෙනි. නිදසුනක් ලෙස, කොළඹ වරාය නගරය පිළිබඳ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දිනවල ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද සහ චීන තානාපති කාර්යාල අතර සිදු වූ වාග් සංග්‍රාමය අඩු තරමින් රාජ්‍ය තාන්ත්‍රික අලංකාරෝක්තීන් තුළ හෝ සඟවා දැමූවක් නොවීය.

බැසිලාගමනයත් සමග අද්දරට තල්ලු වන පාලක බල හවුලේ සියළුම කොටස් වත්මන් පාලනාධිකාරයේ චීනය වෙතට වූ හැරවුමට ආශීර්වාද කළ අයවළුන් බව රහසක් නොවේ. මෙරට චීන හිතවාදයේ ප්‍රධාන දෘෂ්ටිවාදී ප්‍රකාශකයෙකු වන්නේ විමල් වීරවංශයි. නමුත්, එවන් කොටස් ආන්තිකකරණය කළ පමණින් හෝ එක්සත් ජනපද පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු මුදල් අමාත්‍ය ධූරයට පත් කළ පමණින් ගෝඨාභය පාලනාධිකාරයේ විදේශ සබඳතාවල ‘යූ’ හැරවුමක් සිදු වනු ඇතැයි අපේක්ෂා නොකළ යුතුය. මන්ද යත්, පුද්ගල ආදේශ කිරීම්වලින් හැසිරවිය නොහැකි තරමට දැන් මෙරට විදේශ සබඳතා ක්ෂේත්‍රයත් අභ්‍යන්තර දේශපාලන පෙළ ගැසීමුත් අතර ව්‍යුහාත්මක බැමි නිර්මාණය වී තිබේ. නිදසුන් ලෙස, මෙරට සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ අභිලාෂයන් සමග නව දිල්ලියේ සහ තමිල්නාඩුවේ දේශපාලන අභිලාෂයන් සමපාත වීම, ජිනීවා මානව අයිතීන් කවුන්සිලයේ මැදිහත්වීම සමග පාලනාධිකාරයේ වුවමනාකම් පරස්පර වීම, පාලක බල හවුලේ නව සිංහල ධනේශ්වර කොටස්වල දේශපාලන අභිලාෂයන් කෙරෙහි චීන හැරවුම වඩා වාසිදායක වීම යනාදී කාරණා ගත හැකිය. මේ කිසිවක් පුද්ගල ආදේශ කිරීම් මගින් පරිවර්තනය කළ හැකි දේ නොවේ.

නමුත්, ග්‍රාම්ස්චි සඳහන් කළ පරිදි සුජාතභාවයේ අර්බුධයකට මුහුණ දෙමින් සිටින පාලනාධිකාරයක් ස්වකීය පක්ෂ ආකෘතීන් වෙනස් කරමින්, නව-සන්ධාන ගොඩ නගමින්, විපාක්ෂික පැන නැගීම් අවශෝෂණය කර ගනිමින් සහ “ඉරණමේ මිනිසුන්” සොයා ගැනීමෙන් නව තත්ත්වයන්ට හැඩ ගැසෙන්නට ප්‍රයත්න දරනු ඇත. අර්බුධයට එවන් විසඳුමක් සොයා ගත නොහැකි වූ විට ඉතිරි වන්නේ මර්දනකාරීත්වයේ විසඳුමයි. මගේ හැඟීම නම් අප දැන් ගමන් කරමින් සිටින්නේ ඒ දිශාවට බවයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.