25 September, 2020

Blog

යුගයක නිමාව සහ නව යුගයක ඇරඹුම

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි: ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාව තුළද දක්ෂිණාංශික ජනතාවාදී දේශපාලන ව්‍යාපෘතියක හිස එසවීමක් සිදුවෙමින් පවතී; එය අපට රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැකිය (“රාජපක්ෂවාදය” නොවේ); මෙම දේශපාලන ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ව්‍යාපාරය සහ බොරිස් ජොන්සන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි සහ අමිත් ෂා, තුර්කියේ තයීප් එර්දොගන්, හංගේරියාවේ වික්ටර් ඕබන්, බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ, පිලිපීනයේ රොද්‍රිගෝ ඩුටාටේ, ප්‍රංශයේ මරීන් ලපෙන් යනාදීන් ඔස්සේ වෙනස් ආකාරවලට ප්‍රකාශ වන ගෝලීය ප්‍රවණතාවක ලාංකීය “සදෘශ්‍යය” ලෙස සැලකිය හැකිය; නමුත්, එය ගෝලීය ප්‍රවණතාවක ලාංකීය “ප්‍රකාශනය” ලෙස ගැනීම අතිසරල වටහා ගැනීමක් බවද මම නොයෙක් වර පෙන්වා දුන්නෙමි.

ගෝලීය ප්‍රවණතාවක් ලෙස සමකාලීන දක්ෂිණාංශික ජනතාවාදය පැන නගින්නේ නව-ලිබරල්වාදයේ පොදු අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් ලෙසය. නමුත්, ඒ සමගම හුදෙක් එම ගෝලීය අර්බුදය ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් වනවා හෝ පරාවර්තනය වනවා නොවේ. ලාංකීය දේශපාලනයෙහි ආවේණික සුවිශේෂතා පවතී. එම සුවිශේෂතා නිර්මාණය වී සහ හැඩ ගැසී ඇත්තේ අප සමාජයන්හි දේශපාලනයේ ඓතිහාසිකත්වය අනුවය. එබැවින්, ලාංකීය සුවිශේෂකත්වයන් වෙනස් වන ගෝලීය සහ කලාපීය තත්ත්වයන් සමග දක්වන දයලෙක්තික සම්බන්ධය අපගේ පරීක්ෂාවට ලක් විය යුතුය. ලෙනින්ගේ වචනයෙන් කිව හොත්, “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” ගොඩ නැගිය හැක්කේ එලෙසය.

න්‍යායික රාමුව

තවද, එවන් සංයුක්ත දේශපාලන විශ්ලේෂණයකදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් මානයක් තිබේ. එනම්, දේශපාලන න්‍යාය සහ දර්ශනය තුළ සිදුවෙමින් පවතින සමකාලීන සංවාදයයි. මෙහිදී විශේෂයෙන්ම න්‍යාය සහ දේශපාලනය අතරැති සම්බන්ධතාව ගැනද යමක් කිව යුතුය. ඒ “ප්‍රායෝගික දේශපාලනයට න්‍යාය අවශ්‍ය නැත” වැනි විකාර සහගත අදහස් මෙකල ප්‍රචාරය වෙමින් පවතින නිසාවෙනි. දේශපාලන න්‍යායන් යනු හුදෙකලා මනෝ ලෝකවල පවතින දේ නොව “මේ දැන් මෙතැන” පවතින තත්ත්වය වටහා ගන්නට (සහ වෙනස් කරන්නට) උපකාරී වන ප්‍රායෝගික දැනුම්ය. එවන් විශිෂ්ට සමකාලීන න්‍යායික ධාරාවක් නියෝජනය කරන ශන්තාල් මූෆ්ගේ මෑතකාලීන ලිවීම් අපගේ විශ්ලේෂණයන් තුළ බහුල වශයෙන් පරිශීලනය කෙරිණ.

යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම පෙර දකින්නට මූෆ් සමත් වූවාය. ඇය විසින් පෙන්වා දෙන ලද වැදගත් කාරණයක් නම් එම දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සඳහා වාසි සහගත වූ තත්ත්වයන් නිර්මාණය කර දෙන ලද්දේ එතෙක් රාජ්‍ය බලය ඉසිලූ නව-ලිබරල් පාලක හවුල විසින්ම බවය. ඒ කෙසේද යත්, නව-ලිබරල් ප්‍රවේශය තුළ ලිබරල් අයිතීන් ගැන කොතරම් අවධාරණය වුවද ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික නියෝජනය සහ සමානත්වය පිළිබඳ ඉල්ලීම් එමගින් නොතකා හැරිණ; එය “ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ලිබරල්වාදයකි.” මෙනිසා තමන්ව නියෝජනය නොකරන ප්‍රභූ පාලක පැලැන්තිය කෙරෙහි එල්ල වන්නා වූ පොදු විරෝධය මේ යුගයේ පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. එම විරෝධය සංවිධානය කරන්නට වාමාංශය අසමත් වන විට විපාක්ෂික දේශපාලනයේ හිඩැස පුරවනු ලබන්නේ දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී ප්‍රවණතා විසිනි. ඒ බොහෝ විට සුළු ජනවර්ග විරෝධය ඇතුළු නව-ගතානුගතිකවාදී දෘෂ්ටිවාදයන් මගින් ජනයා බල මුළු ගැන්වීම මගිනි. ලොව විවිධ තැන්වල ගොඩ නැගෙමින් පවතින දක්ෂිණාංශික ජනතාවාදී ප්‍රවණතාවල ආවේණික සුවිශේෂතා පැවතියද, ඒවා තේරුම් ගැනීමේදී මූෆ්ගේ න්‍යායෙන් ලැබිය හැකි ඉමහත් ආලෝකයක් තිබේය යන්න මගේ අදහසයි.

රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ පළමු නැගීම

මූෆ්ගේ (හෝ වෙනත් කිසිවෙකුගේ) න්‍යායික අදහසක් කෘතීමව මෙරට දේශපාලනය තේරුම් කිරීම සඳහා අදාළ කළ නොහැකිය. නමුත්, අපගේ සමකාලීන දේශපාලන චලනයන් වටහා ගැනීමේ පර්යේෂණ කාර්යයේදී ඇයගේ න්‍යායන්හි අදාළත්වය පරීක්ෂා කොට බැලිය හැකිය. නැතිනම්, ඒවායින් කිසියම් විදර්ශනාත්මක ආලෝකයක් ලබා ගැනීමට ප්‍රයත්න දැරිය හැකිය. ඇතැම්විට, එමගින් න්‍යාය වඩා වැඩි දියුණු වීමටද හැකිය. මේ ප්‍රවේශය තුළ න්‍යාය සහ විශ්ලේෂණය අතර, (එමෙන්ම, විශ්ලේෂණය සහ භාවිතය අතර) ඇත්තේ එකිනෙක පරීක්ෂාවට ලක් වන සහ එකිනෙක පෝෂණය කෙරෙන සම්බන්ධයකි.

මගේ යෝජනාව වන්නේ මූෆ් යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇතැම් නිරීක්ෂණ සමකාලීන ලංකාවේ රාජපක්ෂ ව්‍යාපෘතියේ (දෙවන) නැගීම තේරුම් කිරීම සඳහාද ප්‍රයෝජනවත් වන බවය. රාජපක්ෂ ව්‍යාපෘතියේ පළමු නැගීම සඳහා පසුබිම් වූයේ 1994 සිට 2004 දක්වා කාල පරිච්ජේදය තුළ චන්ද්‍රිකා-රනිල් දෙපළගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ නව-ලිබරල් සම්මුතිවාදී දේශපාලනයයි; ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වයෙන් එක්සත් රාජධානිය තුළ සිදු වූවාක් සේ ශ්‍රී ලංකාවේද ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක අතර වෙනස මැකී යාම මෙම යුගය තුළ මානව දැක ගත හැකි විය. මෙහිදී ශ්‍රී ලංකාවට අදාළ සුවිශේෂකත්වයක් වන්නේ අධිපති සිංහල බෞද්ධ ජාතිකවාදය ගතානුගතික ධනේශ්වර පක්ෂවලින් සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව සංවිධානය වීමයි. මේ දෙආකාරයෙන්ම සිදු වූයේ ගතානුගතික ප්‍රභූ පක්ෂ නායකත්වයන්හි හෙජමොනිය අර්බුදයට ලක් වීමයි. ප්‍රධාන ධාරාවේ පක්ෂයක් තුළින්ම ජනතාවාදී නායකත්වයක් හිස එසවීමට හැකි තත්ත්වයන් සැකසුණේ එසේය.

ගෝඨාගමනයේ මූලය “ජනවාරි විප්ලවයයි”

අප දැන් අත් දකිමින් සිටින්නේ රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ දෙවන නැගීමයි. එය ආකාර කිහිපයකින්ම පළමුවැන්නෙන් වෙනස්ය. මෙවර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ සංවිධානය වූ සිංහල ව්‍යාපාරික පංති ස්ථරයක්, වෘත්තීයවේදී ශ්‍රේණියක් සහ මිලිටරි නිළධාරී තන්ත්‍රයක් විසින් ඉදිරිපත් කෙරුණු විධිමත් උපාය මාර්ගික වැඩ පිළිවෙලකින් සමන්විතය. එම වැඩ පිළිවෙලෙහි ආදර්ශය ලෙස ගැනෙන්නේ නැගෙනහිර ආසියාතික අධිකාරීමය ධනවාදී සංවර්ධන මොඩලයයි.

එසේම මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන්නේ එක්සත් ජනපදය විසින් 1990 දශකයේ ආරම්භයේදී දියත් කරන ලද ලිබරල් ජාත්‍යන්තර පර්යාය අර්බුදයට ගියා වූත්, චීනය සහ එක්සත් ජනපදය අතර තුෂ්ණි යුද්ධයක් ආරම්භ වෙමින් පවතින්නා වූත්, ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපය එම තුෂ්ණි යුද්ධයේ පරිධි-බිම බවට පරිවර්තනය වී තිබෙන්නා වූත්, ලොව පුරා දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී ප්‍රවණතා හිස ඔසවමින් තිබෙන්නා වූත්, මේ සියල්ලටමත් වඩා කොරෝනා වෛරස් වසංගතය හමුවේ අධිකාරීවාදී රාජ්‍යවාදී දේශපාලනයට නව සුජාතභාවයක් හිමි වෙමින් පවතින්නා වූත් වාතාවරණයක් තුළය. වෙනත් ලෙසකින් කිවහොත්, දේශීයව මෙන්ම ගෝලීයවද ජාතිකවාදී අධිකාරීවාදී දේශපාලන ධාරාවන්ට ඉතාම හිතකර තත්ත්වයන් සැකසෙමින් තිබේ. මෙරට යම් තරමකට හෝ ඉතිරිව තිබෙන ලිබරල් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දැන් අනතුරට පත්වෙමින් තිබේය යන්න වටහා ගැනීමට කිසිවෙකුටත් සුවිශේෂී දේශපාලන විද්‍යා දැනුමක් අවශ්‍ය වන්නේ නැත.

නමුත්, ප්‍රශ්නය නම් මෙම රාජපක්ෂ ව්‍යාපෘතියේ දෙවන නැග්ම සඳහා උචිත තත්ත්වයන් සකසන ලද්දේ කව්රුන්/කුමක් විසින්ද යන්නයි. මෙහි පළමු “චූදිතයා” විය යුත්තේ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය බව මගේ අදහසයි. යහපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ප්‍රචලිත විවේචනය වන්නේ නව පාලකයින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වීම නිසා ඔවුන් මහජන විරෝධයට ගොදුරු වූවාය යන්නයි. නමුත්, යහපාලන ව්‍යාපෘතියේ අර්බුදයේ මූලයන් ඊට වඩා ගැඹුරට දිව යයි. එහි අර්බුදයේ මූලයන් පවතින්නේ එහි සමාරම්භය තුළමය. ඒ අන් කිසිවක් නොව මාදුළුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් ආරම්භ වූ එම ව්‍යාපාරයේ ආරම්භයේදීම මහජනයාගේ ආර්ථිකමය සහ සමාජමය ඉල්ලීම් ප්‍රජාතාන්ත්‍රික කතිකාවෙන් බැහැර කරනු ලැබීමය. ඒ විසින් ඉදිරිපත් කරන ලද්දේ ව්‍යවස්ථාමය, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට සීමා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවකි. 2015 ජනවාරියේදී බලයට පත් ආණ්ඩුව ආර්ථිකමය ලෙස නියෝජනය කළේ නව-ලිබරල් සංස්ථාපිතයයි. ආර්ථිකය නිර්-දේශපාලනීකරණය කිරීම නව-ලිබරල් බලාධිකාරයේ ප්‍රධාන ගති ලක්ෂණයකි.

මේ අනුව, එම පාලකයින් තමන්ගෙන් දුරස් වූ, තමන්ව නියෝජනය නොකරන සහ තමන්ට සතුරු වූ පිරිසක් ලෙස බහුතර ජනයා විසින් දකිනු ලැබීම පුදුමයට කරුණක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාලකයින්ට එරෙහි පොදු විරෝධය එහි උච්චස්ථානයට පත් විය. දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී නායකත්වයක් ලෙස රාජපක්ෂ ව්‍යාපෘතියට නැවත මතු විය හැකි වූයේ මේ වාතාවරණය තුළය.

මැතිවරණ දඬුවම

මෙවර මහා මැතිවරණයේ ප්‍රතිපල දෙස බැලූ විට අන් සියල්ලට පෙර එක් කරුණක් ඉතාම පැහැදිළිය. එනම්, 2015 ජනවාරි යහපාලන ව්‍යාපෘතියට නියමින් හෝ අනියමින් සම්බන්ධ වූ සියලුම පක්ෂ අති බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවය. ඒ අතුරින් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ ඒමට නොහැකි තරමේ අගාධයකට හෙළනු ලැබ ඇත. දෙමළ ජාතික සන්ධානයේ ගතානුගතික නායකත්වය විශාල පසුබෑමකට ලක්ව ඇත. යහපාලන ව්‍යාපෘතියට සම්බන්ධ වී සිට පසුව එයින් වෙන් වූ නාගරික වාම-ලිබරල් බුද්ධිමය ශ්‍රේණියක් සමග සන්ධානගත වූ ජනතා විමුක්ති පෙරමුණ බරපතල බසුබෑමකට ලක්ව තිබේ. එය ජවිපෙ තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ජන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ දෙක හමාරක් පමණ අඩු ජන්ද සංඛ්‍යාවකි. බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කොට ඇත්තේ ජවිපෙට වඩා ජාතික ජන බලවේගය බැව් පෙනේ.

කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.