2 October, 2020

Blog

වාම ජනතාවාදයක් කරා – පළමු කොටස

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

මා පසුගිය කාලයේ ලියූ වාම ජනතාවාදයක් පිළිබඳ අදහස මේ වන විට යම් තරමක හෝ අවධානයකට ලක්ව තිබේ. ඒ කොතෙක්ද යත්, පසුගිය මහා මැතිවරණයට පෙර සතියේ පළ වූ “තිත්ත දේශපාලනයේ ඇත්ත ප්‍රශ්න” නමැති මගේ ලිපිය මෑතකදී කොළඹ පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන තේමාවක් බවට පත්ව තිබෙන බව මට දැන ගන්නට ලැබිණ. එම සම්මන්ත්‍රණයේදී එක් කතිකයෙකු තම කතාවට පදනම් කොට ගෙන තිබුණේ මගේ ලිපිය පිළිබඳ ස්වකීය විවේචනයයි. එය එතරම් ප්‍රබල විවේචනයක් නොවූවද ඊට කිසියම් ප්‍රතිචාරයක් දැක්වීමේ ප්‍රයෝජනයක් ඇතැයි මට හැඟේ. ඒ වාම ජනතාවාදය පිළිබඳව න්‍යායික සහ දේශපාලනික සංවාදයක් ගොඩ නැගීමට එයින් මග පාදා ගත හැකි නිසාය. මෙම ලිපියේ අරමුණ වන්නේ එයයි.

මෙහිදී පළමුව සිහිපත් කළ යුතු කාරණයක් නම් ජාතික ජන බලවේගයේ ජනතාවාදී ශක්‍යතාවල සීමාව මා මහා මැතිවරණයට පෙරම කිහිප වතාවක්ම පෙන්වා දුන් බවයි. ජාතික ජන බලවේගයට මැතිවරණ දේශපාලනයේදී අත් පත් කර ගත හැකි සාර්ථකත්වය පිළිබඳව එහි සාමාජිකයන් හට සේම එයට සහාය දැක් වූ ඇතැම් බුද්ධිමතුන් හටද තිබුණේ අධි තක්සේරුවක් යැයි කීම සාධාරණය. තමන්ට සැබවින්ම ලැබුණු ප්‍රතිපලය තමන් අපේක්ෂා කළ තරමට වඩා අඩු එකක් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හටද පසුව පිළි ගන්නට සිදු විය. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු සාපේක්ෂ අඩු ජන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් එහි සාමාජිකයින්ගේ සේම එයට සහාය පළ කළ බුද්ධිමතුන්ගේද ප්‍රධාන පැහැදිළි කිරීමක් වූයේ ජනාධිපතිවරණය ප්‍රධාන තරඟකරුවන් දෙදෙනෙකු අතර සටනක් බවට පරිවර්තනය වීම නිසා අනුර කුමාර දිසානායක හට ලැබිය යුතුව තිබූ සැලකිය යුතු ජන්ද ප්‍රමාණයක් ඔහුට අහිමි වූ බවය. එබැවින් මහා මැතිවරණයේදී ජාජබට හිමි වන ජන්ද සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කෙරිණ. මෙම පැහැදිලි කිරීමේ ප්‍රධාන ඇඟවීම වූයේ ජනාධිපතිවරණයේදී ලැබුණු ප්‍රතිපලය මගින් ජාජබහි සැබෑ ජනතා පදනම නිරූපණය නොවන බවයි.

දත්ත පවසන දේ

නමුත්, දැන් අප ඉදිරියේ ඇති සංඛ්‍යාත්මක දත්ත විසින් අපට අතැඹුලක් සේ පැහැදිලිව පෙන්වා දෙනු ලබන්නේ කුමක්ද? ජාජබ ජනාධිපතිවරණයේදී ලැබූ ජන්ද සංඛ්‍යාවත් මහා මැතිවරණයේදී ලැබූ ජන්ද සංඛ්‍යාවත් අතර සැලකිය යුතු තරමේ වෙනසක් නොමැත. එපමණක් නොවේ. මෙවර ජාජබ ලබා ගත්තේ දැනට යන්තම් වසර දෙකකට ඉහතදී එනම් 2018 පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී ලබා ගත් ජන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ දෙක හමාරකටත් වඩා අඩු ජන්ද සංඛ්‍යාවකි. එයින් කියැවෙන්නේ 2018 දී ජවිපෙට ජන්දය දුන් නමුත් 2019 ජනාධිපතිවරණයේදී ජවිපෙන් වියෝ වූ ජන්දවලින් අති බහුතරයක් නැවත තමන් වෙත දිනා ගන්නට එය සමත් වී නොමැති බවයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන ජන්දයකදී වැඩි වාසියක් ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ බලය දරන හෝ එහි බලය දිනා ගැනීමට වැඩිම ශක්‍යතාවක් ඇති පක්ෂවලටය. කෙසේ වුවත්, 2018 පළාත් පාලන මැතිවරණය එකල පැවති සුවිශේෂී දේශපාලන වාතාවරණය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක ස්වරූපය ගත්තේය. ඒ එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික මට්ටමින් තම බලය උරගා බැලූ පළමු අවස්ථාව වූ බැවිනි. එහිදී ජන්දය භාවිතා කිරීම ආසන්න වශයෙන් 80% මට්ටමේ පැවතිණ. සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් පිළිබඳ පොදු විරෝධය උච්චස්ථානයට රැගෙන ආ පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් සිදුව තිබුණේ නැත. ජවිපෙ වැනි තුන්වන ධාරාවේ දේශපාලන පක්ෂයකට වාසි සහගත වන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීමක් සිදුව තිබුණේද නැත. එවන් වාතාවරණයක් තුළ පවා ජවිපෙ තනිවම ආසන්න වශයෙන් ලක්ෂ හතක ජන්ද ප්‍රමාණයක් දිනා ගන්නට 2018 දී සමත් විය.

නමුත් දෙවසරක් වැනි කෙටි කාල පරිච්ජේදයක් තුළදී එය ලක්ෂ හතර හමාරක් දක්වා පහත බසින්නේ ජවිපෙ වාම-ලිබරල් සිවිල් සමාජ තීරුවක සහයෝගයද සහිතව මැතිවරණ සාර්ථකත්වයක් පිළිබඳව විශාලතම අපේක්ෂාවන් සහිතව වැඩ කළ තත්ත්වයක් තුළය. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම හමුවේ ජවිපෙ/ජාජබ වැනි කණ්ඩායමකට විපාක්ෂික අවකාශය තුළ විශාල වාසිසහගත දේශපාලන වාතාවරණයක්ද උදාව තිබියදීය. ප්‍රධාන ධනේශ්වර නායකත්වයන් කෙරෙහි කළකිරීමට පත්ව සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිස් තමන් වෙත දිනා ගන්නට තබා දෙවසරකට පෙර තමන්ට ජන්දය දුන් අති විශාල පිරිසක් නැවත ආකර්ෂණය කර ගන්නට පවා ජාජබ යටතේ තරඟ කළ ජවිපෙ අසමත් විය. එම අසාර්ථකත්වය අප තේරුම් ගන්නේ කෙසේද?

යහපාලනවාදී මග සහ වාම ජනතාවාදී මග

මෙය රාජපක්ෂ ව්‍යාපෘතිය නමැති මහා සුනාමිය හමුවේ සෙසු පක්ෂවලට මුහුණ දෙන්නට සිදු වූ සාමාන්‍ය ඉරණමක් ලෙස අර්ථකථනය කිරීම අති සරල වූවක් බැව් මගේ අදහසයි. රාජපක්ෂ ව්‍යාපෘතියේ දෙවන නැගීම සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් ඇති කර ගැනීමට නම් අප එය අවතක්සේරු නොකළ යුතුවාක් සේම අතිශයෝක්තියට නැංවීමද නොකළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයේදී ලබා ගත් ජන්ද සංඛ්‍යාව 2018 දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගත් ජන්ද සංඛ්‍යාවන්හි එකතුවට වඩා වැඩි වූයේ ලක්ෂ හයක පමණ ප්‍රමාණයකිනි. සැබවින්ම 2018 ට සාපේක්ෂව තම ජන්ද සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් අත් පත් කරගන්නට සමත් වූයේ සජිත් ප්‍රේමදාසය. මෙවර මහා මැතිවරණයේදී ශ්‍රී.ල.පො.පෙ ජන්ද සංඛ්‍යාව 2019 ට සාපේක්ෂව වර්ධනය වී නොමැත. සැබවින්ම සිදුව ඇත්තේ එහි කුඩා පහත වැටීමකි. මේ අනුව, “රාජපක්ෂ සුනාමිය” පිළිබඳ අලංකාරිකයෙන් ජාජබ අසමත්භාවය පැහැදිළි කළ නොහැකිය.

පසුගිය මහා මැතිවරණයට පෙර ලියූ ලිපි ගණනාවක් මගින් මා පෙන්වා දුන්නේ ජවිපෙ/ජාජබ වැනි කණ්ඩායමකට වාසි සහගත ලෙස යොදා ගත හැකි ජනතාවාදී නිමේෂයක් (populist moment) ශ්‍රී ලංකාව තුළ උදාව තිබූ බවත් එම නිමේෂය ග්‍රහණය කර ගැනීම සඳහා ජවිපෙ/ජාජබ අනුගමනය කරමින් සිටි ලිබරල්-යහපාලනවාදී ප්‍රවේශය වෙනුවට වාම-ජනතාවාදී ප්‍රවේශයක් කරා මාරු විය යුතු බවත්ය (මෙම ප්‍රවේශයන් අතර වෙනස මා වත්මන් ලාංකීය දේශපාලනයට අදාළව සිදු කරන්නකි. වෙනස් තත්ත්වයන් තුළ යහපාලන ඉල්ලීම් ජනතාවාදී ආකෘතියක් තුළ ප්‍රකාශයට පත් විය හැකිය). “ඇත්ත මිනිස්සු වෙනුවට ඇත්ත ප්‍රශ්න කතා කරන දේශපාලනයක්” අවශ්‍ය වේය යන්නෙන් මා අදහස් කරන්නේ මෙයයි. මා දිගින් දිගටම පෙන්වා දුන් කාරණයක් නම් නව-ලිබරල් යහපාලනවාදී ප්‍රවේශය යනු ව්‍යවස්ථාමය, නෛතිකමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අධි-අවධාරණයක් දක්වනු ලබන සීමිත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් බවයි. දූෂණය පිටු දැකීම, යහපත් ආණ්ඩුකරණය, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සහ පිරිසිදු ජනතා නියෝජිතයන් ගැන මෙම ප්‍රවේශය ඔස්සේ කෙරෙන ආමන්ත්‍රණය බොහෝ දුරට එල්ල වන්නේ ලිබරල් අධ්‍යාපනයක් සහිත නාගරික මධ්‍යම පංතික ශ්‍රේණීන් වෙතය. නමුත්, ඊට වෙනස්ව ජනතාවාදී දේශපාලනයේදී වැඩි අවධානයක් යොමු වන්නේ විවිධ ජන කණ්ඩායම්වල ආර්ථිකමය සහ සමාජමය පීඩනයන් ආමන්ත්‍රණය කිරීම කෙරෙහිය. යහපාලනවාදී ප්‍රවේශයේදී නිර්-දේශපාලනීකරණය කෙරෙන ආර්ථිකමය සබඳතා ජනතාවාදී ප්‍රවේශය තුළ පුනර්-දේශපාලනීකරණය කරනු ලැබේ.

කෙසේ වුවත්, ප්‍රායෝගික භාවිතයේදී යම් පක්ෂයක් යහපාලනවාදී ඉල්ලීම් සේම ජනතාවාදී ඉල්ලීම්ද එකවර නියෝජනය කරනවා විය හැකිය. ජවිපෙ/ජාජබට අදාළව ගත් කල එය ප්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ. නමුත්, යමෙකු තම දේශපාලන ව්‍යාපෘතිය දෘෂ්ටිවාදීමය ලෙස රාමුගත කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී ඉතාම තීරණාත්මකය. යම් දේශපාලන ව්‍යාපෘතියක් තුළ කුමක් වඩා කේන්ද්‍රීය වන්නේද සහ කුමකින් කුමක් නිර්වචනය වන්නේද යන කාරණය හෙජමොනික දේශපාලනයේදී ඉතාම තීරණාත්මකය. මන්ද යත්, එම ව්‍යාපෘතියේ ග්‍රාහක ජනයා වනු ඇත්තේ කව්රුන්ද යන්න එමගින් නිශ්චය කෙරෙන බැවිනි. මගේ තර්කය වූයේ ජාජබහි දෘෂ්ටිවාදී ආමන්ත්‍රණය යහපාලනවාදී ප්‍රවේශයට අනුව හැඩ ගැසුනක් වූ බවත් පවතින පාලනය කෙරෙහි කලකිරුණු පුළුල් පරාසයක ජන කණ්ඩායම් ආකර්ෂණය කර ගන්නට එම ආමන්ත්‍රණය අසමත් බවත්ය. අනුර කුමාර දිසානායක යටතේ ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය පවා යහපාලන දෘෂ්ටිවාදය වැළඳගෙන සිටින බැව් රහසක් නොවේ. මෙහි අරමුණ වූයේ ඔවුනගේ ජන්ද පදනම පුළුල් කරගැනීම වුවත්, සැබවින්ම එම ව්‍යාපෘතියේ ජනතාවාදී ශක්‍යතා දුබල විය හැකි බව මම මැතිවරණයට පෙරම පෙන්වා දුන්නෙමි.

ගමට යාමේ මිත්‍යාව

අවසන් වශයෙන් කිව යුත්තේ මෙම යහපාලන ප්‍රවේශයේ සිට වාම-ජනතාවාදී ප්‍රවේශයක් කරා විතැන් වීම යන්නෙන් අදහස් වන්නේ හුදෙක් නගරයෙන් ගමට යාම වැනි අතිසරල විසඳුමක් නොවන බවයි. විශේෂයෙන්ම වත්මන් කොරෝනා වෛරස් වසංගතය පසුබිමෙහි නාගරික මධ්‍යම පංතික ශ්‍රේණීන් සිටින්නේද නව ආර්ථිකමය සහ සමාජමය පීඩනයන් මාලාවකට මුහුණ දෙමිනි. 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලවලට සාපේක්ෂව ගත් කල ජවිපෙ/ජාජබ ප්‍රතිපලවල පසුබෑමක් සිදුව ඇත්තේ හුදෙක් දරිද්‍ර ග්‍රාමීය පෙදෙස්වල පමණක් නොවේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ සිදුව ඇති පසුබෑම ඊටත් වඩා බරපතලය. එබැවින් මෙය සරලව යළිත් ගමට යාම මගින් විසඳාගත හැකි ගැටළුවක් නොවේ. ඒ වෙනුවට අවශ්‍ය වනුයේ ජවිපෙ/ජාජබ දේශපාලනික දෘෂ්ටිවාදීමය ප්‍රවේශයේම බරපතල පරිවර්තනයකි.

මා වාම-ජනතාවාදයක් යනුවෙන් අදහස් කරන්නේ ආර්ථිකය දේශපාලනීකරණය කරන්නා වූත්, ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු විවිධ ධාරාවල වාමාංශික කොටස් අතර පුළුල් සහයෝගීතාවක් ගොඩ නගා නගන්නට සමත් වන්නා වූත්, “කළ හැක්කේ කුමක්ද?” යන අදේශපාලනික ප්‍රශ්නය වෙනුවට “කළ යුත්තේ කුමක්ද?” යන දේශපාලනික ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන්නා වූත්, ජනයාගේ හැඟීම් සංවිධානය කිරීමට සමත් වන්නා වූත් පුළුල් මහජන ව්‍යාපාරයකි. ජවිපෙ/ජාජබ වත්මන් භාවිතය එවන් වාම ජනතාවාදයකින් වෙනස් වන්නේ කෙසේද යන්න ඒත්තු ගැනීමට කිසිවෙකුටත් විශේෂ දේශපාලනික සාක්ෂරතාවක් අවශ්‍ය වෙතැයි මම නොසිතමි. කෙසේ වෙතත්, වාම-ජනතාවාදී දේශපාලනයේ සුවිශේෂකත්වයන් පිළිබඳව මේ ලිපි පෙළේ ඉදිරි කොටස් තුළ සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.