28 October, 2020

Blog

වාම ජනතාවාදයක් කරා – නම වන කොටස

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ලාංකීය ප්‍රජාතන්ත්‍රයේ අභ්‍යන්තර සහ බාහිර පැතිමාන

“රාජපක්ෂ බල හවුල” යනු සමජාතීය කොටස්වලින් සුසැදි යමක් නොවේ; එය මනා අභ්‍යන්තර තුලනයකින් යුත් සමස්තයක් ද නොවේ. ඒ වෙනුවට එය වෙනස් අභිලාෂයන් සහිත කණ්ඩායම් කිහිපයක එකතුවක් ලෙස හැඳින්විය හැකිය. එකී කණ්ඩායම් අතර ගොඩ නැගෙන අසමතුලිතතා සහ ගැටුම් තම වාසියට හරවා ගන්නට මෙරට වාම ප්‍රජාතාන්ත්‍රික බලවේග සමත් විය යුතුය. එම බල හවුල විසින් පෙරට ගෙන එමින් පවතින අධිකාරීවාදී න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහාත් මේ මොහොතේ අප රටේ ලිබරල් ප්‍රජාතන්ත්‍රික නිදහස වෙනුවෙන් ඉටු කළ යුතු ආසන්න කර්තව්‍යයක් වන විසි වන ආණ්ඩුක්‍රම සංශෝධන යෝජනාව පරාජය කිරීම සඳහාත් එවන් උපායික ප්‍රවේශයක් වුවමනා වේ. පසුගිය සතියේ මා ලියූ ලිපියේ ප්‍රධාන අවධාරණය වූයේ එයයි.

විස්ස ගැන විවේචන

මේ සතිය වන විට විස්සට එරෙහිව ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන්ම එල්ල වන විවේචනවල කැපී පෙනෙන වර්ධනයක් දැක ගත හැකිය. විස්ස විවේචනය කරන “වි”යනු තුන (විමල්, විදුර, විජේදාස) දැන් විවෘතවම විපක්ෂයේ කාර්ය භාරය භාර ගෙන ඇති සෙයකි. ඔවුනගේ විවේචන අපේක්ෂා කළ හැකි පරිදිම සීමිත ඒවා වුවත්, ඒවායින් හැඟවෙන දේශපාලන පණිවිඩය වැදගත්ය. එනම්, විස්ස සහ විස්සෙන් නියෝජනය වන දේශපාලන න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවක් රාජපක්ෂ බල හවුල තුළ පවා නොමැති බවයි. මීට සමාන්තරව පසුගිය මැතිවරණවලදී රාජපක්ෂ බල ව්‍යාපෘතියට සහාය දැක් වූ ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන් අතුරින්ද විස්ස ගැන විවේචන මතුවෙමින් තිබේ. ඇල්ලේ ගුණවංශ හිමි, මැඩිල්ලේ පඤ්ඤ‍ාලෝක හිමි වැනි ආගමික නායකයෝ ද ඒ අතර වෙති. වඩාත් කැපී පෙනෙන සිද්ධිය වූයේ විසි වෙනි සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙසට ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් කරන ලද නිවේදනයයි. කතෝලික රදගුරු සම්මේලනයේ නිවේදනය ද ඒ සමගම වාගේ එළි දැක්විණ.

මෑතකදී ආචාර්ය දයාන් ජයතිලක පවසා තිබුණු කාරණයක් නම් විසි වෙනි සංශෝධන යෝජනාව ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනය හිටපු-හමුදා නිලධාරියෙකු දකිනු ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රචනා කරන ලද්දක් ලෙසින් බවයි. මන්ද යත්, විස්ස මගින් තැනෙන අති බලැති ජනාධිපතිවරයාගේ කිසියම් හෝ අනීතික ක්‍රියාවකට එරෙහිව තම දුක් ගැණවිලි ඉදිරිපත් කිරීමට මහජනයාට හැකියාවක් නොලැබුණ හොත් ඔවුනට ඇති එකම විසඳුම රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගැනීම යැයි එම නිවේදනයේ සඳහන් වන බැවිනි. නමුත්, දයාන් නිවැරදිව පෙන්වා දෙන පරිදි එහි දැක්වෙන්නේ විප්ලවකාරී වාමාංශික ඉගැන්වීමක් නොව ජෝන් ලොක්ගේ සම්භාව්‍ය ලිබරල්වාදී ඉගැන්වීම යි. එපරිදිම, කෙනෙකු ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ නිවේදනය ලිබරල්වාදී ශාස්ත්‍රඥයෙකු විසින් රචනා කරන ලද්දක් යැයි පවා සිතිය හැකිය. මන්ද යත්, එය බලතල වෙන් කිරීමේ සහ එක් බලයක් සෙසු බලයන්ගෙන් පරීක්ෂාවට ලක් වීමේ මොන්ටෙස්කියුගේ න්‍යාය කදිමට සම්පිණ්ඩනය කොට දක්වන ලියැවිල්ලක් බැවිනි. නමුත්, මෙරට සංස්ථාපිත බෞද්ධාගමේ ප්‍රධාන ශාඛාවක් වෙතින් ඉදිරිපත් වන එම නිවේදනයෙන් නියෝජනය වන්නේ අප සමාජයේ මුල් බැස ගත් ප්‍රජාතාන්ත්‍රික පොදු ජන අවබෝධය (common sense) යැයි කල්පනා කළ හැකිය.

ප්‍රජාතාන්ත්‍රික පැවැත්මේ භූ-දේශපාලනය

ඉහත දක්වා ඇත්තේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සම්බන්ධයෙන් වාසිදායක වූ අභ්‍යන්තර සාධක කිහිපයකි. මෙවර ලිපියෙන් මා අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ එතරම්ම වැදගත් බාහිර සාධක කිහිපයක් ද ලාංකීය වාම ජනතාවාදීන්ගේ සැලකිල්ලට ලක් විය යුතු බවයි. මෙහිදී සැබවින්ම වඩා වැදගත් වන්නේ බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක අතර පවත්නා දයලෙක්තික සම්බන්ධය කෙබඳු ද යන්නයි. මෙහිදී අපගේ අවධානයට ලක් විය යුතු එවන් “බාහිර-අභ්‍යන්තර” සාධකයක් නම් ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් කලාපීය භූ-දේශපාලනය සමග ගැට ගැසී ඇති ආකාරයයි.

මේ කතන්දරය හැකි තරම් සරලව සහ කෙටියෙන් පවසන්නේ නම් මෙසේය; ලංකා දූපත තුළ අධිකාරීවාදී පාලනයක් ගොඩ නැංවීමේ හැකියාවක් තිබෙන්නේ බහුතර සිංහල බෞද්ධ ජනයාගේ සක්‍රීය හෝ අක්‍රීය කැමැත්ත සහිතවය. එම කැමැත්ත සංවිධානය කිරීම සඳහා දැනට තිබෙන ප්‍රධාන මාධ්‍යය වනුයේ බහුතර ජනවර්ගයේ ජාතිකවාදය යි. කෙසේ වෙතත්, එවන් අධිපති ජාතිකවාදයක් මත පදනම් වූ පාලනයක් මගින් මෙරට දෙමළ ජනයාගේ දේශපාලන අපේක්ෂාවන් මර්දනයට හෝ නොසලකා හැරීමට ලක් වන්නේ කොතරම් දුරකටද, ඒ තාක් දුරට එය දකුණු ආසියාවේ කලාපීය බලවතා වන ඉන්දියාවේ සැලකිලිමත්භාවයට ලක් වේ. ඉන්දියාවේ බලයේ සිටින්නේ කවර පක්ෂයක් වුවද මේ කාරණයේ එතරම් වෙනසක් නොවනු ඇත.

ආසන්න නිදසුනක් මෙසේය; මෑත දිනෙක පළාත් සභා අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසියම් ආන්දෝලනයක් ආණ්ඩුවේ පාර්ශවයන් අතුරින්ම මතු විය. නමුත්, ඉන් දින කිහිපයකට පසුව මෙරට අග්‍රාමාත්‍යවරයා සමග රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉතාම පැහැදිලිව අවධාරණය කළ කාරණයක් නම් මෙරට තුළ 13 වන සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවයි. දැන් තවදුරටත් පළාත් සභාවල පැවැත්ම පිළිබඳ ආන්දෝලනයක් නැත. ඒ වෙනුවට ඉදිරියේදී සියලු පක්ෂ පළාත් සභා මැතිවරණ සඳහා සූදානම් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය!

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ප්‍රශ්නය

මේ අනුව, කලාපීය මහා බලවතෙකුගේ ආසන්නයේ සිටින කුඩා සහ දුර්වල රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ බිහි වන කොතරම් විජිගීෂාවකින් යුත් පාලකයෙකුට වුවද කලාපය තුළ “ලොකු සෙල්ලම්” දැමිය නොහැක. එපමණක් නොවේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දෙමළ දේශපාලනයත්, විපාක්ෂික බලවේගත්, පරිබාහිර ඉන්දීය සාධකයත් අතර ගොඩ නැගෙන බැම්ම, මේ දූපත තුළ බහුතර ජාතිකවාදය මත පදනම් වූ අධිකාරීවාදී පාලනයක් ශක්තිමත් වීමට බාධා කරන බාහිර ලීවරයක් ලෙස ක්‍රියාත්මක විය හැකිය. මේ අරුතින් ගත්තද, මෙරට අධිකාරීවාදී පාලනයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගත් සුළුතර ජනවාර්ගික කණ්ඩායමුත් අතර පවතින සම්බන්ධය තීරණාත්මක ය.

තවදුරටත්, අප ඉන්දීය සාධකය නොතකා හැරියද, මෙරට එවන් ප්‍රජා-පීඩක පාලනයකට එරෙහි අරගලයේදී සුළුතර ජනවාර්ගික සහ සුළුතර ආගමික ප්‍රජාවන්ගේ දායකත්වය අතිශයින්ම තීරණාත්මක බව පිළිගන්නට සිදු වේ. ප්‍රායෝගිකව ඉදිරියේ එන ප්‍රජාතාන්ත්‍රික අරගලයක නායකත්වය හිමි වනු ඇත්තේ සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ විශ්වාසය සහ සහයෝගය දිනා ගත හැකි විපාක්ෂික බලවේගයකට පමණි. මේ අරුතින්, ඉදිරි විපාක්ෂික අරගලයේ නායකත්ව භූමිකාවක් ඉටු කිරීමට ජවිපෙට/ජාජබට බාධා කරන ප්‍රධාන සාධකයක් වනුයේ ජාතික ප්‍රශ්නය සඳහා බලය බෙදීමේ විසඳුමක් පිළිගැනීමට එහි නායකත්වය දක්වන මැළිකමයි. මූලධාර්මිකව, ජාතික ප්‍රශ්නය සඳහා ප්‍රජාතාන්ත්‍රික විසඳුමක් ඉදිරිපත් නොකොට ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ කාර්ය භාරයන් සැපිරිය නොහැකිය.

ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණිය

ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමයේ පැවැත්ම ගැන සාකච්ජා කිරීමේදී සැලකිල්ලට ලක් විය යුතු තවත් වැදගත් “බාහිර-අභ්‍යන්තර” සාධකයක් නම්, මෙරට ලිබරල් සිවිල් සමාජ ශ්‍රේණීන් සහ ලිබරල් ජාත්‍යන්තර පර්යාය (liberal international order) අතරැති සම්බන්ධයයි. මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් සහ ලිබරල් ශාස්ත්‍රඥයින් ශ්‍රේණියක් මුල් කොටගත් ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණියක් ගොඩ නැගීම 1980 දශකයෙන් පසුව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. එම බුද්ධිමය ශ්‍රේණියේ ප්‍රභවය සහ විකාශනය ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකයේ සිදු වූ එක්තරා හැරවුමක් සමග ද සම්බන්ධ ය. එනම්, එක්සත් ජනපදයේ ආධිපත්‍ය සහිත ගෝලීය මූල්‍ය ආයතනවල ආධාර ප්‍රතිපත්තිවල ඇති වූ වෙනසකි. ගෝලීය දකුණේ රටවල් තුළ තම ණය සහ ආධාර වැඩ පිළිවෙලවල් අසාර්ථක වීමට බලපෑවේ “දේශපාලනමය අසමත්භාවයක්” යැයි එම ආයතන තීන්දු කළහ. එයින් අදහස් වූයේ එම රටවල අධිකාරීවාදී සහ දූෂිත පාලනාධිකාරයන් විසින් විදේශ ආධාර අයථා ලෙස පරිහරණය කරන්නේය යන්නයි. මෙයට විසඳුම ලෙස ඉදිරිපත් වූයේ එම රටවල රාජ්‍ය නොවන සංවිධාන වෙත වඩ වඩාත් ආධාර ලබා දීමයි.

ශීත යුද්ධයේ නිමාවත් සමග එක්සත් ජනපද පාලකයින් ඒක-ධ‍්‍රැවීය ලෝක පර්යායක් ගොඩ නැගීමට දැරූ ප්‍රයත්නය සමග ද මේ වැඩ පිළිවෙල කදිමට ගැලපිණ. ඒ අනුව, පැවති නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සමග ඉස්මතු වූ සිවිල් සමාජය පිළිබඳ සීමිත අර්ථකථනය මත පදනම් වී “සෙසු ලෝකයේ”ද සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹිණ. විදේශ ආධාර ලබන සිවිල් සමාජ කණ්ඩායම් අප රටේ ද වර්ධනය වූයේ මෙම පරිවර්තනයට සමගාමීවය. එම නව සිවිල් සමාජ කණ්ඩායම් ඔස්සේ යුරෝපීය සහ එක්සත් ජනපද අත්දැකීම් මත පදනම් වූ ලිබරල්වාදී දෘෂ්ටිවාදයක් ව්‍යාප්ත කරණ ලද බව රහසක් නොවේ.

කෙසේ වුවත්, මෙරට අධිපතිව පවතින ජනවාර්ගික ජාතිකවාදී දෘෂ්ටිවාදය වෙත ඇතැම් වාමාංශික පක්ෂ සහ සංවිධාන පවා අනුගත වෙමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පද්ධතියක් සමාජගත කිරීමට කුමන ආකාරයකින් හෝ මෙම ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් දායක වී තිබේ. සමාජ සහ පුද්ගල නිදහස ගැනත්, සමාජ බහුවිධත්වය ගැනත්, ජාතික ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක අවශ්‍යතාව ගැනත්, ස්ත්‍රී අයිතීන් ගැනත් කිසියම් සමාජ කතිකාවක් ගොඩ නැගීමට ඔවුන් දායක වී තිබේ. නමුත්, ඒ සමගම ඔවුන්ගේ පැවැත්මේ කොන්දේසි අනුව අපේක්ෂා කළ හැකි පරිදිම ඔවුන්ගේ ලිබරල්වාදී මැදිහත්වීම සීමිත ආයතනික සහ ව්‍යවස්ථාමය තලයකට සීමා වී තිබේ. සමාජයීය තලයෙහි පුළුල් ප්‍රජාතන්ත්‍රීයකරණයක් හෝ නිදහස්කරණයක් සඳහා වන සමාජ ව්‍යාපාර බවට පරිවර්තනය වන්නට ඔවුන් සමත් වී නොමැත. ඔවුන් අතුරින් සැලකිය යුතු පිරිසක් ආර්ථික ලිබරල්වාදය (නව-ලිබරල් ප්‍රතිපත්තීන්) ආරක්ෂා කරන්නන් ලෙසද විවෘතවම පෙනී සිටියහ. අප අද දන්නා පරිදි 1994 දී මෙන්ම 2015 දීද ආණ්ඩු පෙරළීමේ ව්‍යාපෘතීන්හි යම් යම් භූමිකාවන් රඟ දක්වන්නට මේ ලිබරල්වාදී කොටස් සමත් වී තිබේ. 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියට සහාය දැක්වූ එම බුද්ධිමය ශ්‍රේණියෙන් එක් කොටසක් පසුව එජාපය සහ සමගි ජන බලවේගය සමග එක් වූ අතර වාමාංශික නැඹුරුවක් සහිත කොටස ජවිපෙ සමග එක් විය.

බුද්ධිමතුන්ගේ කාර්ය භාරය

මෑතක් වනතුරුම ජවිපෙ ඇතුළු “සිංහල වාමාංශය” මෙම ලිබරල් බුද්ධිමය ශ්‍රේණිය සැලකුවේ බටහිර ගැති කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් ලෙසය. නමුත්, අප මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නයක් නම් වමේ ව්‍යාපාරයේ අවකාශයට පිටතින් මෙවන් ලිබරල් බුද්ධිමය ශ්‍රේණියක් මතු විය හැකි වූයේ කෙලෙසකද යන්නයි. එය පුද්ගල සහ සමාජ නිදහස, සමාජ බහුවිධත්වය, සුළුතර ජන කොටස්වල අයිතීන් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානතාව යනාදී අරමුණු වෙනුවෙන් පෙනී සිටින සමාජ විපර්යාසකාරකයෙකුගේ භූමිකාව භාර ගන්නට වමේ ව්‍යාපාරය අසමත් වීමේ ප්‍රතිපලයක් යැයි කිව නොහැකිද? ලිබරල් සිවිල් සමාජ කොටස් විසින් පුරවන ලද්දේ වමට මග හැරුණු එම අවකාශය නොවේද? එබැවින්, ජාතිකවාදයට විකල්ප කතිකාව ලෙස ලිබරල්වාදය තහවුරු වීමේ ඓතිහාසික තත්ත්වය කෙරෙහි වාමාංශය ද වග කිව යුතු නොවේද?

කෙසේ වුවද, මෙරට ඉදිරි ප්‍රජාතාන්ත්‍රික අරගලයකදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික බුද්ධිමය ශ්‍රේණියකට වැදගත් කාර්ය භාරයක් පවතින බව අවසන් වශයෙන් අවධාරණය කරන්නට මම කැමැත්තෙමි. ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි යම් යම් සමාජ පංතීන් සහ කණ්ඩායම් අතර බැඳීම් ගොඩ නගනු ලබන්නේ බුද්ධිමතුන් විසිනි. මෙරට සුළුතර ජනවාර්ගික නායකත්වයන් වරෙක චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය සමගත් වරෙක රනිල් වික්‍රමසිංහගේ නායකත්වය සමගත් සම්බන්ධ කිරීමට ඉහත කී ලිබරල් බුද්ධිමය ශ්‍රේණිය අඩු වැඩි වශයෙන් දායක වී තිබේ. (සමාජ කණ්ඩායම් එසේ එක් කොට බැඳිය හැක්කේ දෘෂ්ටිවාදය නමැති බදාමයෙනි). මෙරට ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ සතුව තමන්ගේම ඓන්ද්‍රීය බුද්ධිමතුන් නොමැති වීම එයට එක් හේතුවකි.

දැන් ප්‍රජාතාන්ත්‍රික අරගලය දෙසට හැරී සිටින ජවිපෙද, ඒ සඳහා තමන්ගේම ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක් නිර්මාණය කර ගන්නට අසමත් වූ බැවින් වාම-ලිබරල් බුද්ධිමය හිසක් පිටතින් පැළඳ ගැනීමට සිදුව තිබේ. නමුත්, මේ ලිපියේ මුල් කොටසින් අවධාරණය කළ අවශ්‍යතාව සපුරා ගන්නට ජවිපෙ අසමත් වන තුරු, එනම් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයේ කේන්ද්‍රීය අංගයක් ලෙස ජාතික ප්‍රශ්නය භාර ගන්නට අසමත් වන තුරු, එයට සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් සමග දෘෂ්ටිවාදී බැඳීමක් ගොඩ නගා දෙන්නට කවර බුද්ධිමය ශ්‍රේණියක් වුවත් සමත් නොවනු ඇත. ඒ තාක් කල් ප්‍රජාතාන්ත්‍රික අරගලයේ නායකත්වය අත් පත් කර ගන්නට ද එය සමත් නොවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.