9 August, 2020

Blog

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසි

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

මෙරට බොහෝ දේශපාලන විශ්ලේෂණයන්හි ඇති පොදු ගැටළුවක් වන්නේ ඒවා ජාතිකමය රාමුවක් තුළ සිරගතව පැවතීමයි. මෙය ජාතිකවාදීන්ට පමණක් අදාළ වූ ගැටළුවක් නොවේ. ඇතැම්විට, ඇතැම් ලිබරල්වාදීන්ගේ විශ්ලේෂණද ලාංකීය ජාතික රාජ්‍යය නමැති රාමුවෙන් පිටතට ගමන් කිරීමට අසමත් වී ඇති බව පෙනේ. නමුත්, අද අප ජීවත් වන්නේ කිසිසේත්ම ගෝලීය සහ කලාපීය දේශපාලන වර්ධනයන් සහ ප්‍රවණතා සැලකිල්ලට නොගෙන ලාංකීය දේශපාලනයේ හැඩ ගැසීම් තේරුම් කළ නොහැකි වාතාවරණයක් තුළය. මා මෙහිදී “ගෝලීයකරණය හමුවේ ලෝකයම තනි ගම්මානයක් බවට පරිවර්තනය වී තිබේය” යන අතිසරල වාගාලාපය පුනරුච්ජාරණය කරනවා නොවේ. සමකාලීන ලංකාව ගෝලීය දේශපාලනය සමග සම්බන්ධ වීමේ ආකෘතිය ආශ්‍රිත ගැටළු සැබවින්ම ඊට වඩා බොහෝ සංකීර්ණය. කොටින්ම අද අප ජීවත් වන්නේ අනාගතයේ මහා බලවතුන් අතර නිර්මාණය විය හැකි ගැටුමක සංග්‍රාම භූමියක් බවට පරිවර්තනය විය හැකි භූ-දේශපාලනික කලාපයක් තුළය. මේ කාරණය ඉදිරියේදී පැහැදිලි කිරීමට ඉඩ තබා ප්‍රථමයෙන් වෙනත් ආසන්න ගැටළුවක් ඔස්සේ සාකච්ජාව ආරම්භ කිරීමට මම කැමැත්තෙමි.

එනම්, ලාංකීය ප්‍රජාතාන්ත්‍රික නිදහසේ පැවැත්ම සඳහා මහෝපකාරී විය හැකි කලාපීය සාධකයක් වන ඉන්දු-ලංකා සබඳතාව පිළිබඳ කාරණයයි. ඉන්දීය සාධකය නොතකා හැරීම වෙනුවෙන් ලාංකීය පාලකයින් හට ගෙවන්නට සිදු වූ මිළ කොතරම්දැයි වටහා ගන්නට නම්, යමෙකු සිහියට නගා ගත යුත්තේ 1977 සිට 1988 දක්වා දිවුණු ජේ.ආර්. ජයවර්ධන පාලන සමයයි. එබැවින්, අපි එම අර්බුදකාරී අසූව දශකයෙන් පටන් ගනිමු.

ඉන්දීය සාධකය

දකුණු ආසියාතික භූ-දේශපාලනික කලාපයේ ප්‍රධාන සුවිශේෂතා දෙකක් ගැන ඔබේ අවධානය යොමු කිරීමට මට ඉඩ දෙන්න. පළමුවැන්න වන්නේ තනි මහා කලාපීය බලවතෙකුගෙන් සහ දුර්වල අසල්වැසි රාජ්‍යයන් කිහිප දෙනෙකුගෙන් මෙම කලාපය සමන්විත වීමයි. කවර ක්ෂේත්‍රයකින් වුවත් ඉන්දියාව සමග කරට කර සිටින්නට සමත් අන් කිසිදු බල පුළුවන්කාරයෙකු මේ කලාපයේ නොමැත. සාක් කලාපය මේ අරුතින් යුරෝපා සංගමය සහ ආසියාන් සංවිධානය වැනි සෙසු බොහෝ කලාපීය එකතූන්ගෙන් වෙනස්ය. දකුණු ආසියාතික කලාපයේ අනෙක් සුවිශේෂී ලක්ෂණය වන්නේ විවිධ ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් රටවල දේශසීමා විනිවිද පැතිර ගොස් තිබීමයි. ඒ අනුව, පාකිස්තානය සහ බංගලාදේශය මුස්ලිම් ජන බහුතරයකින් යුත් රටවල් වුවද ඉන්දියාව තුළද අති විශාල මුස්ලිම් ජනතාවක් වාසය කරයි. ශ්‍රී ලංකාවේ උතුරුකරයේ වෙසෙන දෙමළ ජනතාවට වඩා වැඩි දෙමළ ජනතාවක් දකුණු ඉන්දියාව තුළ වාසය කරයි. මේ ජන විසරණයේ සංකීර්ණ ස්වභාවය කරණ කොටගෙන ඉන්දියාව තුළ ඇති වන හින්දු-මුස්ලිම් ගැටුමක් ඉතාම ඉක්මනින් පාකිස්තානයේ සහ බංගලාදේශයේ අභ්‍යන්තර දේශපාලනය කෙරෙහි බලපෑම් ඇති කරයි; භූතානයේ බෞද්ධ-මුස්ලිම් ගැටුමක් අසල්වැසි නේපාලයේ අභ්‍යන්තර ගැටළුවක් බවට පත් වේ. 1971 ට පෙර බටහිර පාකිස්තානය සහ නැගෙනහිර පාකිස්තානය අතර ඇති වූ උර්දු-බෙංගාල ගැටුම ඉන්දීය මැදිහත්වීමක් සඳහා මග සකසනු ලැබීය. අප කව්රුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සිංහල-දෙමළ ගැටුම පහසුවෙන්ම ඉන්දීය මැදිහත්වීමක් සඳහා යුක්ති සහගතභාවය ලබා දෙන සාධකයක් බවට පරිවර්තනය වේ.

ජේ.ආර්. ජයවර්ධන විසින් මුරණ්ඩු ලෙස නොතකා හරින ලද කලාපීය දේශපාලන යථාර්ථය වූයේ ඉහත කී සුවිශේෂී දේශපාලන සැකැස්ම තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සතුව පවතින බලපෑම් සහගතභාවයයි. ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තිය හැඩ ගැසුණේ නව-ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් ඔගස්තෝ පිනෝචේගේ චිලී රාජ්‍යය තුළ අත්හදා බැලීමෙන් සිව් වසරකට පසුව එම ප්‍රතිපත්තීන් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමේ ඔහුගේ උත්සුකභාවය සමගිනි. නව-ලිබරල්වාදයේ පෙරටුගාමීන් වූ මාගරට් තැචර් සහ රොනල්ඩ් රේගන් සමග එක පෙළට සිට ගත් ඌණ සංවර්ධිත දකුණු ආසියාතික නායකයා තම විදේශ ප්‍රතිපත්තියද ඒ අනුව හැඩ ගැස්වීය.

නමුත්, විශේෂයෙන්ම 1980 දී ඉන්දිරා ගාන්ධි නැවත වරක් අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමත් සමග ඉන්දීය පාලනාධිකාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකමය සහ විදේශ ප්‍රතිපත්තිය දෙස සැකමුසු නෙතින් බැලීම වර්ධනය විය. ඒ වනවිට තුෂ්ණි යුද්ධය නිමා වී නොතිබුණු අතර (විශේෂයෙන්ම කොංග්‍රස් පාලනය යටතේ) නොබැඳි ඉන්දියාව වඩාත් සෝවියට් හිතවාදී වූ බැව් අපි දනිමු. එක්සත් ජනපද හිතවාදී ජයවර්ධන ප්‍රබල ඉන්දියාව සමග හොඳ හිත පළුදු කරගත්තා පමණක් නොවේ; ඔහු ඒ සමගම තම රටට ඉන්දීය අත පෙවීමක් සිදු වීමට අවශ්‍ය පරිසරය සැකසෙන ආකාරයෙන් ජාතික ප්‍රශ්නයද අවුළුවා ගත්තේය. ඉන්පසුව, පෙළ ගැසුණු ඓතිහාසික සිදුවීම් සමුදාය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියාව තුළ පුහුණුව ලැබූ දෙමළ සන්නද්ධ ව්‍යාපාරවල නැගීම, 1987 ඉන්දීය මැදිහත්වීම, දකුණේ ජවිපෙ නායකත්වයෙන් සිංහල ජාතිකවාදය සන්නද්ධ මුහුණුවරකින් වර්ධනය වීම, උතුර සේම දකුණද ලෙයින් නැහැවී යාම සහ අවසන් වශයෙන් ජයවර්ධනලාගේ පාලක ස්ථරයේ සුජාතභාවය අන් කවරදාවත් නොවූ විරූ පරිදි අර්බුදයට පත් වීම…

මෙරට බිහි වූ පරිණතම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස බොහෝ විට වැරදි ලෙස හඳුන්වනු ලබන ජේ.ආර්. ජයවර්ධන ඔහුගේ වරද්දා ගැනීම තුළින් අපට ඉගැන්වූ ඓතිහාසික පාඩම මෙයයි. ශ්‍රී ලංකාවේ නොවිසඳුණු ජාතික ප්‍රශ්නය සහ ඉන්දීය භූ-දේශපාලනික අභිලාෂයන් සමග එම ප්‍රශ්නය ගැට ගැසෙන ආකාරය දෙස නොබලා අප රටේ අභ්‍යන්තර දේශපාලනයේ ස්ථායීතාව ගොඩ නැගීමේ උපාය මාර්ගයක් පරිකල්පනය කළ නොහැකිය. හොඳයි. මේ කාරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික නිදහස පිළිබඳ ගැටළුවේදී අදාළ වන්නේ කෙසේද?

සුළුතර ජනවර්ග, ප්‍රජාතාන්ත්‍රික විපක්ෂය සහ ඉන්දීය අක්ෂය

මා මෙහිදී අවධානය යොමු කරන්නේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය පිළිබඳ කිසිදු පරමාදර්ශී හෝ ප්‍රතිමානාත්මක අදහසක් ගැන නොවේ. හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ඉතාම සක්‍රීය සහ දැනුවත් සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බවට සැකයක් නොමැත. නමුත්, අද අප හමුවේ ඇති ආසන්න අභියෝගය වන්නේ එවන් ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න නොවේ. අප රටේ යම් තරමකින් හෝ ඉතිරි වී තිබෙන සමාජ සහ දේශපාලන නිදහස අහෝසි කොට දමන්නා වූ අධිකාරීවාදී පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අනතුරක් දැන් මතුව ඇත. සියල්ලට පෙර ඒ අනතුරට මුහුණ දීමේ ප්‍රායෝගික උපාය මාර්ග ගැන කල්පනා කළ යුතුව තිබේ. එහිදී මා කලින් ලිපියේද පෙන්වා දුන් පරිදි බලය, පසමිතුරුතාව සහ ගැටුම් යනාදියෙන් සමන්විත “සැබෑ දේශපාලනය” කෙරෙහි අවධානය යොමු කරන්නට සිදුවේ. ඒ අනුව, මේ ලිපියෙන් මට පෙන්වා දෙන්නට අවශ්‍ය වූයේ මෙරට ප්‍රජාතාන්ත්‍රික නිදහස පවතින්නේ (හෝ පැවතිය හැක්කේ) කවර අභ්‍යන්තර සහ බාහිර බල-දේශපාලනික කොන්දේසි මතද යන කාරණය පමණි.

අසූව දශකයේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය සම්බන්ධයෙන් ගැටළුකාරී බලපෑම් එල්ල කළ සාධකයක් අද වන විට මෙරට ඇති අවම ප්‍රජාතාන්ත්‍රික නිදහසේ බාහිර කොන්දේසියක් බවට පත්ව තිබේය යන්න මගේ උපන්‍යාසයයි. එම සාධකය වන්නේ මෙරට සුළුතර ජනවාර්ගික නායකත්වය, ප්‍රජාතාන්ත්‍රික විපක්ෂය සහ ඉන්දීය සාධකය අතර ගොඩ නැගෙන අක්ෂයයි. මෙම අක්ෂය කිසියම් ආකාරයකින් මෙරට බහුතර ජනවර්ගය තුළින් පැන නගින අධිකාරිවාදී දේශපාලන ධාරාව පාලනයට ලක් කෙරෙන බාහිර ලීවරයක් ලෙස ක්‍රියාත්මක විය හැකිය. මෙය සැබවින්ම අළුත් කාරණයක් නොවේ. අඩු තරමින් රනිල් වික්‍රමසිංහ මේ කාරණය මනාව දැන සිටි බව මගේ විශ්වාසයයි. ඔහු මෙරට සුළුතර ජනවාර්ගික නායකත්වයන් සහ ඉන්දීය (මෙන්ම යුරෝ-ඇමරි) සාධකයන් අතර මැදිහත්කාරී භූමිකාවක් රඟ දක්වන්නට පවා සමත් විය. දේශපාලනිකව කොතරම් උන්නතිකාමී වුවද සිංහල-බෞද්ධ අධිකාරිවාදී නායකත්වයන්ට කලාපීය සහ ගෝලීය බල සබඳතා ඉදිරියේ දමනය වන්නට සිදු වන බව ඔහු දැන සිටියේය. (මේ කාරණයේදී නම් ඔහු ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයෙකු නොවේ; කෙසේ වුවත්, ඔහුට වැඩ කරන්නට සිදු වූයේ වෙනස් තත්ත්වයන් තුළය). නමුත්, නව-ලිබරල් සංස්ථාපිතයේ කොටස්කරුවෙකු වූ වික්‍රමසිංහ ජනතා ද්‍රෝහී ආර්ථික ප්‍රතිපත්ති මගින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහිමි කිරීමට දායක විය; ඒ සමගම මෙකල ලොව බොහෝ තැන්වල සිදු වන්නාක් සේ නව-ලිබරල් සංස්ථාපිතයට එරෙහිව ආකර්ෂණීය විකල්පයක් ලෙස මතු වන්නට අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයට මග විවර කරනු ලැබුවේද ඔහුගේ “ජනවාරි විප්ලවය” විසිනි.

කෙසේ වුවද, ඉදිරියේදී මෙරට ප්‍රධාන දේශපාලන බල කඳවුර ලෙස තම බලය යළි තහවුරු කර ගැනීමට ඉඩ ඇත්තේ බහුතර ජනවාර්ගික අධිකාරිවාදීවාදයයි. එයට එරෙහිව ප්‍රජාතාන්ත්‍රික විපක්ෂ කඳවුරක් නිර්මාණය වීමේ විභවතාවක් සැබවින්ම පවතී. එම ප්‍රජාතාන්ත්‍රික කඳවුර තුළ සුළුතර ජනවාර්ගික නායකත්වයන්ගේ වැදගත්කම ඉතාම තීරණාත්මකය. දේශපාලන යහගුණයන් පිළිබඳ අපගේ දෘෂ්ටිවාදී ඒත්තුගැනීම් මදකට පසෙකින් තැබූවද, සැබෑ-දේශපාලනය පිළිබඳ ඉහත විස්තර කළ යථාර්ථය අනුව හෝ මේ කාරණය පිළිගැනීමට ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික නායකත්වයන්ට සිදු වේ. සුළුතර ප්‍රජාවන්ගේ සහයෝගය දිනා ගැනීමෙන් තොරව ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසි සක්‍රීයව පවත්වා ගත නොහැකිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Please provide English translation. thank you.

  • 1
    0

    කෙසේ වෙතත්, නුදුරු අනාගතයේ දී, බහුතර ජනවාර්ගික අධිකාරීවාදය රටේ ප්‍රධාන දේශපාලන බල කඳවුර ලෙස සිය බලය යළි තහවුරු කිරීමට ඉඩ තිබේ. සමාජයේ සමහර කොටස්වල වර්ගවාදයට හා අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අප සියලු දෙනාම එකම කඹයක් ලෙස නැගී සිටිය යුතුය. 2014 අවසානයේදී ඔවුන් කළ ආකාරයට සියලු විවිධ බලවේග එක්ව සිටියහොත් එයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂ කඳවුරක් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබේ. අවදානමට ලක් වූවන් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා දවසේ තරුණ තරුණියන් වැඩි දායකත්වයක් ලබා දිය යුතුය. මනස සකස් කිරීම. දිගු දශක 3 ක් දක්වා පැවති සිවිල් යුද්ධයකින් පසු සමාජය නැවත ගොඩනැඟීම දැවැන්ත කාර්යයකි. සමාජීය වෙනසකට නිසි හා සෞඛ්‍ය සම්පන්න මානව ගොඩනැඟිල්ලක් තුළින් ඉන්ධන සැපයිය හැකි නම් ඕනෑම දෙයක් කළ හැකිය. මේ අනුව, මගේ කාරුණික ඉල්ලීම නම්, වෘත්තිකයන් සහ උගත් ආගමික නායකයින් දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම පෙරමුණ ගන්නා ලෙසයි. සෑම ගමේ කොනකම, ඔවුන් පණිවිඩය සහ අන්තරාය අප ඉදිරියට ගෙන ආ යුතුය. අපේ සෞඛ්‍ය සම්පන්න තරුණයින් රටේ අනාගතයයි.

    එම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ සුළුතර ජනවාර්ගික නායකත්වයේ වැදගත්කම ඉතා වැදගත්ය. දේශපාලන ගුණධර්ම පිළිබඳ අපගේ දෘෂ්ටිවාදාත්මක විශ්වාසයන් පසෙකට දමමින්, ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂ නායකයින්ට මෙම කාරණය පිළිගැනීමට සිදුවී ඇත. සුළුතර ප්‍රජාවන්ගේ සහයෝගය දිනා නොගෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ බාහිර තත්වයන් සක්‍රියව පවත්වා ගත නොහැකිය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.