9 August, 2020

Blog

නොනිදහස පැතීමේ නිදහස

සරත් ද අල්විස් –

සරත් ද අල්විස්

ඉතිහාසය යළි සිදුවෙතැයි කියනු ලැබේ. එය කෙසේ වුව ද ඉතිහාසයෙන් උගත හැකි පාඩම් තිබේ. වසර සහස්‍ර ගණනක සිට මිනිස්සු ආඥාදායක අධිකාරවාදී නායකත්වයන් පිළිගත්හ. ආඥාදායක නායකයන් පත් කරගැනීම මගින් තමන් මර්ධනය කරනු ලැබීමෙහි ලා ස්වකීය දායකත්වය ලබා දීමට අමතරව ඔවුහු ඒ පිළිබඳ උනන්දුවෙන් ද ක්‍රියා කළහ. 

අධිකාරවාදී නායකයන් කෙරෙහි වූ බැඳීමකින් හා ගෞරවයකින් ද යුතුව ඔවුන් තෝරා පත් කරගැනීමට මිනිසුන් පෙළැඹෙන්නේ ඇයි ? ප්‍රතිවිරොධී මත ප්‍රකාශයන් විෂයෙහි නොසැලකිලිමත් වන්නා වූ නිර්ලජ්ජිත හා හේතු සහගත භාවයකින් තොර කල්ලි මානසිකත්වය පිළිබඳව ලබා දිය හැක්කේ කිනම් විග්‍රහයක් ද? එකී කල්ලි මානසිකත්වය අසාධනීය ආකාරයෙන් මෙන් ම කිසිදු නැමියාවකින් ද තොරව විරෝධාකල්පයන් නොඉවසන්නේ ඇයි ? 

මෙම ලිපියෙහි අරමුණ වන්නේ එළැඹෙන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී අප මුහුණ දෙන විකල්පයන් පිළිබඳ විමර්ශනයක යෙදී ම ය. යම් යම් යොග්‍යතාවන් පිළිබඳව නිගමනයනට එළැඹීම අවශ්‍ය ය. අපි දැන් ලුහු කරුණුවලින් බැහැරව සෘජුව ම ප්‍රස්තුතය වෙත එළැඹෙමු. 

විරෝධාකල්ප සහිත දේශපාලන අංශයන් හි එකමුතුවෙන් ආකර්ෂණීය සාර්ථකත්වයක් සහිතව ප්‍රබල සන්ධානයක් නිර්මාණය කරමින් ද ජනප්‍රිය වූත්  බලවත් වූත් උදාරත්වය ප්‍රදර්ශනය කරන්නා වූත් ජනාධිපතිවරයකු බලයෙන් පහ කරමින් ද 2015 දී නැගුණු ජයග්‍රාහී හඬ පවා සිහිපත් කළ හැකි වන්නේ අවඥා සහගත සිනහවක් ද පහළ කරමිනි. යහපාලනයක් සහ සාධාරණ සමාජයක් පිළිබඳව එසේ එකාවන්ව නැගූ හඬ 2020 දී අමු ම අමු කුණුහරුපයක් බවට පත් වී තිබේ. 

සාධාරණ සමාජය කෙසේ වුවත් සිය සාක්ෂාත්කරණයනට නොසෑහෙන උඩඟු බවක් ප්‍රදර්ශනය කළ අග්‍රාමාත්‍යවරයකු ද තමනට නොසෑහෙන ඉහළ තැකෙට පත් ජනාධිපතිවරයකු ද විසින් ජනතාව ඉදිරියෙහි කරන ලද්දේ රැවැටිලිකාර දේශපාලන සන්දර්ශනයක් මවා පෑම ය. විනාශයක් වෙත රට තල්ලු කරමින් එම සන්දර්ශනය අවුරුදු හතරහමාරක් පැවතිණ.

ජාතිය සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ගුණගරුක හා විනයගරුක වූ සංවර්ධිත සමාජයක් වෙත ජාතිය රැගෙන යාම පිණිස ශක්තිමත් නායකයෙක් ප්‍රමාණාත්මක බලයක් ඉල්ලා සිටී. 

ඉදිරි පියවර තැබිය යුතු වන්නේ අප දැන් සිටින තැන හඳුනාගැනීමෙන් අනතුරුව ය. 2015 සිට 2020 දක්වා කාලය තුළ සිදු වූයේ මොනවා ද ? සාධාරණ සමාජයක් පිළිබඳ සන්දර්ශනයට මුළුමනින් ම වෙනස් වූ සුරක්ෂිත සමාජයක පොරොන්දුව දුන් ශක්තිමත් නායකයකු වෙත අපේක්ෂා දැල්වීමට ජනතාව පෙළැඹුණේ ඇයි ?

පෙර සඳහන් කරන ලද පරිදි ඉතිහාසයෙන් උපදෙස් ලබාගැනීමට අපට සිදු වන්නේ ය. දෙවැනි සියවසෙහි විසූ ග්‍රීක ඉතිහාසඥයකු වූ පොලිබියස්, ඇතන්ස් හි පැවැති ප්‍රජාතන්ත්‍රවාදයේ අක්‍රමවත් හා විකාර ස්වරූපයත් අධිරාජ්‍යවාදී රෝමයේ පැහැදිලි ලෙස පෙනෙන්ට තිබුණු කාර්යක්ෂමතාවත් අතර වෙනස පෙන්වා දුන්නේ ය. පොලිබියස් විසින් දෙවැනි සියවස තුළ දී විස්තර කරනු ලැබ තිබෙන්නේ ද විධායක ජනාධිපති ක්‍රමය බැහැර කිරීමේ අරමුණ ඇතිව අප ක්‍රියාවට නැංවූ ‘යහපාලන’ සන්දර්ශනය  පිළිබඳව ය. 

ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය වනාහි බොහෝ සෙයින්  නියමුවකකු රහිත නෞකාවක් බඳු . සතුරු උපද්‍රවයකට හෝ කුණාටුවකට හෝ මුහුණ දෙන්නට එබඳු නෞකාවකට සිදු වූ විටෙක එකාවන්ව හබල් කරුවනට අවනතව නාවුකයන් කටයුතු කළහොත් සියල්ල යහපත් ලෙස සිදු වනු ඇත. එහෙත් එකී බියෙන් මිදී එක මතයක පිහිටා ක්‍රියා  නොකොට සිය නිලධාරීන් ගේ මත පිළිබඳ තැකීමකින් තොරව නොනවත්වා නෞකාව ඉදිරියට යාත්‍රා කරවීමට එක් පිරිසක් ක්‍රියා කරද්දී වහා නැංගුරම් ලන ලෙස තවත් පිරිසක් නෞකාව පදවන්නන් ගෙන් ඉල්ලා සිටිත් නම්, ඇතැමුන් රුවල් රැහැන් මුදා හරින්නට තැත් කරද්දී තවත් පිරිසක් රුවල් හකුළන්නට වෙර දරත් නම්, ඔවුන් ගේ අසංගත භාවය  දකින්නන්  හමුවෙහි මවන්නේ විකාර දර්ශනයකි. එසේ එක මුහුදු යාත්‍රාවෙහි යෙදෙමින් සිටින සෙසු පිරිස එහි දී අවදානමකට පත් වන අතර පරක් තෙරක් නොපෙනෙන මහ මුහුදෙහි හා චණ්ඩ මාරුතයෙහි අවදානමෙන් මිදුණත් වන විට නෞකාව කැඩී බිඳී විනාශයට පත්ව තිබෙනු ඇත.”

දර්ශනයක් සහිත ජනාධිපතිවරුන් ගේ හා යහපත් ආඥාදායකයන් ගේ කාර්යයන් හි යහපත් මෙන් ම අයහපත් ප්‍රතිඵල චිරාත් කාලයක සිට දක්නට ලැබී ඇත. මෙහි තිබෙන්නේ ඒකාධිපතිත්වය පිළිබඳ ගැටලුවයි. වචනයක් ලෙ ගත් කල ආඥාදායකත්වය යනු අයහපත් දෙයක් නොවේ. ආඥාදායකයා යනුවෙන් හඳුන්වනු ලබන්නේ  අවනත කරවාගැනීමෙහි ලා රාජ්‍යයක් සතු ශක්තිය ක්‍රියාවට නැංවීමට පසුබට නොවන හා බිය නැති පාලකයෙකි. අරමුණ සහ දිශාව හඳුනාගැනීමේ අවශ්‍යතාව හසරක් නොදකින සමාජයක් ඉදිරියෙහි තිබේ.

ආඥාදායක නායකයන් වෙත අවනත වීමෙහි ලා අප කැමැත්තෙන් ම දායකත්වය දැක්වීමට හේතුව පහදා දීම සඳහා වසර දසදහස් ගණනක් තිස්සේ දාර්ශනිකයන් සහ දේශපාලන න්‍යායවේදීන් ප්‍රයත්න දරා තිබේ. 

ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත වියැකී යමින් පවතින විට, මිරිඟුවක් පසුපස කැරැකෙන අඳුරු පටලය පිළිබඳ අවබෝධය බුද්ධිමතුන් තුළ පහළ වෙමින් ද ජනතාව මුළා කරගත හැකි ආකාරයේ චාටු බස් දෙඩීමෙහි සමත් දේශපාලකයන් ගේ මටසිලුටු වදන් හමුවෙහි නොදැනුවත්කමින් යුතු ජනතාව අවනත වෙමින් ද මේ ගත වන්නේ  කිනම් වූ හෝ කැප කිරීමක් කොට ස්ථාවරත්වය සහ සමාජ සාමය උදා කරගත යුතු අවස්ථාවයි. ඒ සඳහා ‘ශක්තිවන්තයා’ ට අවස්ථාව ලබා දිය යුතු ය.

ග්‍රීක දාර්ශනිකයකු වූ ප්ලේටෝ මෙම ගැටලුව විස්තර කරයි. ඒ ඖෂධීය ගුණ ආරෝපණය සහිතව පිටි ආහාර නිපදැවීම උදාහරණ ලෙස ගනිමිනි. 

ආඥාදායකත්වය පිළිබඳ අදහස් පළ කළ ප්‍රථම පිළිගත් දාර්ශනිකයා ප්ලේටෝ ය. ‘ජනරජය’ යන ශීර්ෂය සහිත සිය ලේඛනයෙහි හෙතෙම සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ආඥාදායකත්වය කරා ගමන් කරමින් සිටින බවයි. ස්වකීය අවශ්‍යතාවන් වෙනුවෙන්  මටසිලුටු ආකාරයෙන් පළ කරන අදහස්වලට රැවැටෙන්නා වූ සීමාන්තික්‍රාන්ත නිදහසක් සහිත ශික්ෂණයකින් තොර ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයේ රජයන් විසින්  නිර්මාණය කරනු ලැබ තිබෙන බව ඔහු ගේ විශ්වාසයයි. 

දේශපාලකයන් විසින් පොදු ජනතාව මෝහනයට පත් කරවන ආකාරය ප්ලේටෝ විස්තර කරන්නේ මෙසේ ය.

පොදු යහපත පිළිබඳ තැකීමකින් තොරව ඔවුහු නිෂ්ඵල වූ බලාපොරොත්තු ඇති කරවති. සිය නිෂ්පාදනයන් ශරීරයට හිතකර බව කියමින් බේකරි කරුවා කරන්නේ පිටි ආහාරයනට වෙස් මුහුණක් බැඳීම .  කුඩා දරුවන් හෝ කුඩා දරුවන් හා සමාන බුද්ධි මට්ටමක මිනිසුන් හෝ ඉදිරියෙහි දී ආහාරවල යහපත් අයහපත් බව පිළිබඳ වඩා හොඳ දැනුමක් පවතින්නේ  කවුරුන් තුළ දැයි නිගමනය කිරීමේ තරගයකට බේකරිකරුවෙක් හා වෛද්‍යවරයෙක් එළැඹියහොත් වෛද්‍යවරයාට සිදු වන්නේ කුසගින්නේ මියැදීමට .” 

නූතන සමාජ විද්‍යාවෙහි පියා වූ මැක්ස් වෙබර් ගේ ගවේශනයට භාජන වූයේ ද මෙම වැදගත් විෂයක්ෂේත්‍රය ම ය. ‘ආකර්ෂණීය බලාධිකාරය’ මැක්ස් වෙබර් විසින් හඳුනාගනු ලැබූ සංකල්පයකි. ‘ආකර්ෂණීය නායකයා’ යනු මැක්ස් වෙබර් ගේ අතිශයින් ම නිරවද්‍ය වූ සංකල්පයකි. 

ස්වාභාවිකත්වය ඉක්මවන්නා වූ අධි මානුෂීය ශක්තියක් හෝ යටත් පිරිසෙයින් කිසියම් සුවිශේෂ වූ බලයක් නැතහොත් ගුණයක් ආකර්ෂණීය බලාධිකාරී නායකයකු සතුව තිබිය යුතු ය.  

එබඳු වූ නායකයකු සතු බලය වන්නේ ස්වකීය අනුගාමිකයන් ගේ කැප වීමයි. ආශ්චර්යයන් සිදු කිරීමේ හා තම ජීවිතවල පරිවර්තනයන් ඇති කිරීමේ හැකියාවක්  ස්වකීය නායකයා සතුව තිබේ යයි අනුගාමිකයෝ විශ්වාස කරති. 

එය සිදු වන්නේ කෙසේ ද? එයට වෙනස් සහේතුක චින්තනයක් සහිත පාර්ශ්වයන් පවා අවනත කරවාගැනීමෙහි සමත් ඒ බලය කුමක් ද?

එයට පිළිතුර සොයාගනු ලබන්නේ මනෝ විද්‍යාවෙහි නියමුවා වූ ඔස්ත්‍රියානු ජාතික සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් විසින් ය. මැක්ස් වෙබර් ගේ ‘ආකර්ෂණීය බලාධිකාරි නායකයා’පිළිබඳ රහස නිරවුල් කොට හෙළි කිරීමේ කාර්යයට සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් අතගැසුවේ ය. 

1921 දී ප්‍රකාශයට පත් කරන ලද “සමූහ මානසිකත්වය සහ ස්වීයත්වය(ego) පිළිබඳ විශ්ලේෂණය” නමැති සිය සාරගර්භ අධ්‍යයනය තුළින් හෙතෙම මෙම සංකල්පය විස්තර කිරීමෙහි යෙදෙයි.

බලාධිකාරි නායකයන් වෙත ආකර්ෂණය වන පුද්ගලයන් විසින් ඔවුන් පරමාදර්ශී භාවයට පත් කරවනු ලබති යි යන්න ෆ්‍රොයිඞ් ගේ නිගමනයයි. එසේ ආකර්ෂණය වන්නන් විසින් නායකයා සලකනු ලබන්නේ කිසිදු දෝෂයකින් තොර වූ ද ආදර්ශමත් වූ ද වීරත්වයෙන් හෙබියා වු ද චරිතයක් වශයෙනි. 

‘ආදර්ශවත් පුද්ගලයා’ යන යෙදුම තුළින් තමන් විසින් හඳුන්වනු ලබන චරිත ස්වභාවය ස්වකීය නායකයා වෙත ආරෝපණය කිරීමට අනුගාමිකයෝ පියවර ගන්නා බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙයි. ‘ආදරශවත් චරිතය‘ වනාහි ජීවිතයකට මග පෙන්වන වටිනාකම්වලින් සැදුම්ලත් පුද්ගලයකු පිළිබඳ මානසික ප්‍රතිරූපයයි. කළ යුතුව පවතින්නේ මොනවා ද, නොකළ යුතුව පවතින්නේ මොනවා ද, යන්න පිළිබඳව කෙනෙකු තුළ වූ විශ්වාසයන් ගෙන් එකී ප්‍රතිරූපය සමන්විත වන්නේ ය.

නායකයකු ගෙන් අපේක්ෂා කැරෙන තත්ත්වය අබිබවන ස්ථානයකට නායකයා එවිට පත් වෙයි. යහ චර්යාවන් පිළිබඳව සිය අනුගාමිකයන් ගේ මග පෙන්වන්නා වන්නේ ඔහු ය. අනුගාමිකයන් ගේ හෘදය සාක්ෂිය බවට පත් වන බලාධිකාරි නායකයා ගේ හඬ ඔවුන් ගේ ද හෘද සාක්ෂියේ හඬ බවට පත් වනු ඇත. නායකයා ගේ අපේක්ෂාව හෝ අවශ්‍යතාව කුමක් වුව ද නිවැරැදි ලෙසත් අවශ්‍යතාව ලෙසත් අනුගාමිකයන් විසින් පිළිගැනෙනු ඇත්තේ එයයි.

අසමානතාව හා අසාධාරණය සඳහා පිළියම් යෙදීමෙහි දී ප්‍රජාතන්ත්‍රවාදය අසරණ වී ඇති බව අවිවාදාත්මක ය. එහෙත් කලින් කලට එන මැතිවරණයන් හමුවෙහිත් ස්වෛරීත්වය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ම පමණක් ය’ යන ව්‍යාජොක්තිය හමුවෙහිත් අප මුලාවට පත් විය යුතු වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වන්නේ පුද්ගල නිදහසත් සාමූහික අපේක්ෂාවන් ප්‍රකාශ කිරීමේ නිදහසත් පවතින්නේ නම් පමණි.

ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් තුළ නිදහස ද සෞභාග්‍යය ද ජීවන තෘප්තිය ද අසීමිතව පවතිතැයි යන්න අප අතර මුල් බැසගෙන තිබෙන දුර්මතයකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් තුළ දූෂණයන් ද වංචාවන් ද ආඥාදායක ලක්ෂණ ද ඉහවහා ගිය අවස්ථාවන් ඉතිහාසයෙහි එමට තිබේ. 

අත්‍යවශ්‍ය මූලධර්මයන් වූ නිර්බාධිත්වය සහ නිදහස යන සාධකයන් ගෙන් තොර වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය නිෂ්ඵල සංකල්පයක් වන්නේ ය. 

ආඥාඳාායකත්වය සහ විසි වැනි සිය වස තුළින් අපට උකහාගත හැකි පාඩම් විස්සක් පිළිබඳ කුඩා ප්‍රමාණයේ අත්පොතක් යේල් විශ්ව විද්‍යාලයෙහි ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු වූ ටිමති ස්නයිඩර් විසින් සම්පාදනය කරනු ලැබ තිබේ. ආඥාදායක පාලනයන් විසින් භාවිත කරනු ලබන්නේ තමනට ම විශේෂ වූ භාෂාවකි. ‘ජනතාව’ යනුවෙන් අදහස් කරනු ලබන්නේ ඇතැමුන් විනා සමස්ත ජනතාව නොවේ. අරගල හැඳින්වෙන්නේ ප්‍රතිවාදීන් ලෙසිනි. අමිහිරි සත්‍යයන් ආඥාදායක පාලනයක දී තර්ජනයන් ලෙසින් හැඳින්වේ. වෙනස් ආකාරයකින් ලෝකය වටහාගැනීමට දැරෙන ප්‍රයත්නයන් බුද්ධිමත් නායකයා ගේ විකෘත ප්‍රකාශයන් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. 

ආඥාදායකත්වය තුළ දී බොහෝ බලතල ලැබෙන්නේ බාධාවකින් තොරව ය. අපි ඒවාට පමණ ඉක්මවා අවනත වන්නෙමු. බලයට කළ හැකි දෑ උගන්වන්නේ ඊට අනුගත වන ජනතාව ය. 

අප ගේ ස්ථාපිත ව්‍යවහාරයන් ආරක්ෂා කරගැනීමෙහි ලා අප අසමත් වන විට ආඥාදායකත්වය හිස ඔසොවන්නේ ය. ස්ථාපිත ව්‍යවහාරයන් ආරක්ෂා වීම ඉබේ සිදු වන්නක් නොවේ. තර්ජනයට භාජන වන පළමු ස්ථාපිත ව්‍යවහාරය ආරක්ෂා කරගැනීමට අප අසමත් වුවහොත් ඒවා එක පිට එක බිඳ වැටෙනු ඇත. 

විරුද්ධවාදීන් මර්ධනය කිරීමෙහි ලා දේශපාලන පක්ෂ සාර්ථක වීම තුළින් පෙනී යන්නේ ඒක පාක්ෂික ආධිපත්‍යයක් නිරිමාණය වන බවයි. රහසින් එකමුතුව කරන දේශපාලනය වනාහි වෙස් වලාගත් ඒක පාක්ෂිකත්වයකි. 

නිදහස පාගා දැමෙන විට නොසලකා නොහරින්න. මර්ධනකාරි පාලන ක්‍රමයට හුරු වීම සුදුසු නොවේ. පෙළට සිටගෙන සිටීම පහසු ය. එසේ නොකොට පෙළට පිටින් සිටගන්න. විරුද්ධ හඬක් තනිව නැගීම අපහසු කාර්යයක් සේ දැනී යා හැකි ය. එහෙත් එකී අසහනකාරී අපහසුතාවට මුහුණ නොදුනහොත් නිදහස හමු නොවනු ඇත. සත්‍යය කෙරෙහි විශ්වාසය තබන්න. යථාර්ථය ඉවත ලීම යනු නිදහස ඉවත ලීමයි. ටිමති ස්නයිඩර් ආඥාදායකත්වය පිළිබඳ සිය පාඩම එසේ පැහැදිලිව උගන්වයි. යථාර්ථයෙන් තොරව බලය විවේචනය කිරීම කිසි සේත් කළ නො හැක්කකි. බලය විවේචනය කිරීමට නම් ඒ සඳහා පදනමක් තිබිය යුතු බැවිනි. සත්‍යයෙන් තොර වන සියල්ල ඇස් බැන්දුමක් ම පමණි. අතිශය දීප්තිමත් ආලෝකයෙහි පිරිවැය විශාලතම මුදල් පසුම්බිය විසින් දැරෙනු ඇත.

පාද සටහනකි:  මා මෙම ලිපිය ලිවීම ආරම්භ කෙළේ දැඩි ආවේගයකින් ද අප්‍රසාදයකින් ද එසේ ම කැප වීමකින් ද යුතුව ය. අගෝස්තු පස් වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පසු වී සතියක් ගත වන විට මම සැත්තෑ අට වැනි විය සපුරන්නෙමි. සූවිංශතියක් පිරෙන්නට එවිට තවත් ගත විය යුත්තේ දෙවසරක් පමණි. එම කාලය මා ගත කොට ඇත්තේ පාපතරයන් ගෙන් සැදි ලෝකයක ය. ඉන් ගැලවෙන්නට දරනු ලබන ප්‍රයත්නය ඉදිරියෙහි නපුරක අවදානමක් තිබේ. මගේ ආදරණීය දරුවන් දෙදෙනෙකු ගේ අදහස වන්නේ ශක්තිමත්ව තීරණ ගන්නා නායකයකු අපට අවශ්‍යව ඇති බව ය. නායකයකු වෙතින් ඔවුන් කුමක් අපේක්ෂා කරන්නේදැයි ඔවුහු ද නොදනිති. ඔවුන් වෙතින් ප්‍රකාශ වන්නේ යුගයේ අසංතෘප්තියයි. ජනාධිපති ක්‍රමය සහ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය අප වැළැඳගැනීමෙන් පසු ගත වුණු පරම්පරා දෙකක අප්‍රසාදයයි.

මම බලවත් සේ අපහසුවට පත්ව සිටිමි. යාත්‍රාවට පිවිසීමේ කාලය පැමිණි විට කිසිවකු ගේ දණහිසින් මගේ ගෙල නොමිරිකෙන පරිදි ඊට පිවිසීමට මම කැමැත්තෙමි. මියැදෙන මෙහොත තෙක් නිදහසේ නැවුම් වාතය ආශ්වාස කිරීම මගේ අපේක්ෂාවයි. 

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    ආදරණීය මාස්ටර් අල්විස්, ඔබ විශාල දෙයක් කර ඇත. ලබාගත් දැනුම භාවිතා කරමින් තමන්ගේම අයට සේවය කිරීම සැබවින්ම කුසලතා එකතු කිරීමේ දෙයකි. ඒ නිසා ඔබ වසර ගණනාවක් පුරා වැඩි කුසලතා එකතු කර ඇත. ඔබ සැමවිටම ඔබේ දායකත්වය ලබා දී ඇති බව මම දැක ඇත්තෙමි. සමාජය වෙනස් කළ යුතු නම් මිනිසුන්ගේ අවදිවීම ඉතා වැදගත්ය. සෑම කෙනෙකුම සහ සමාජයේ සෑම කෙනෙකුම ඔහුගේ හෝ ඇයගේ දායකත්වය ලබා දිය යුතුව තිබුණි.
    ඔබට වඩා අවුරුදු කීපයක්වත් බාල නැත, මහින්ද රාජක්ෂේගේ සිතුවිලි ඔබේ ගුණාත්මක භාවයෙන් බොහෝ දුරස් ය. ඔහු ජනතාව කෙරෙහි බලය භුක්ති විඳීමට අධික ලෙස කෑදර බවක් පෙනෙන්නට තිබේද? වාසිදේව හෝ ඒ හා සමාන නරකම ය. මම ඔබට කියමි, මල බද්ධ සාමාන්‍යයෙන් නිල් මැස්සන්ගෙන් පිරී ඇත. wise ානවන්ත මෙන්ම, ශෝචනීය දේශපාලනය බලයේ කෑදර ඉහළ අපරාධකරුවන් විසින් වට කර ඇත. මෙය ව්යාධිජනක ය, එවැනි වැඩිහිටි දේශපාලන .යන්ගේ ක්රියාවන්ට පෙර මිනිසුන් එවැනි නායකයින්ට හා අනතුරට එරෙහිව නැගී සිටිය යුතුය. ඔවුන්ට අවස්ථාවක් ලබා දී තිබූ අතර ඔවුන්ට ජාතිය වෙනුවෙන් තවත් බොහෝ දේ කළ හැකිය. ඔවුන් අසමත් වූයේ නම්, දැන් ඔවුන් වෙනත් කෙනෙකුට අවස්ථාවක් ලබා දිය යුතුය. කිසියම් සිහිකල්පනාවක් ඇති ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් වටහා ගත හැකිය.
    මම දැනට විදේශයක ජීවත් වුවද, කිසිදු සෞඛ්‍ය ගැටලුවකින් තොරව ඔබ හෝ කාරුණික සැබෑ ශ්‍රී ලංකාවන්ට සුබ පතමි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.