19 April, 2024

Blog

අරගලයේ විමුක්ති අවකාශය තුළින් නව ජනරජයක සිහිනය කරා

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

මේ වනවිට ගාලු මුවදොර ගෝඨාගෝගමේ ස්ථිර පදිංචිකරුවෙකු වී සිටින මා මිත්‍ර සුජිත් රත්නායක මෑතකදී තම මුහුණු පොතේ මෙවන් සටහනක් ලියා තිබුණි. “අරගල බිමට එන්න. ඔබ දශක දෙකකින් තරුණ වනු ඇත. මමත් දැන් විසි ගණන්වල එළ කොල්ලෙක්.” අපේ පරපුරේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියා නොහොත් හුංගම බාසුන්නැහැ කියන මේ කතාවේ කිසියම් සත්‍යතාවක් ඇතැයි ගෝඨාගෝගමේ වෙසෙන මැදිවයසේ ගම්වාසීන් කිහිපදෙනෙකු දෙස බැලීමෙන් මටද ප්‍රත්‍යක්ෂ වී තිබේ.

උමතුභාවය සහ රැකවරණය

සුජිත්ගේ කතාව තරමක් වෙනස් කොට අපට මෙසේද පැවසිය හැකිය. “මේ මොහොතේ ඔබට පියවි සිහියෙන් ඉන්නට අවශ්‍ය නම් අරගල බිමට පැමිණෙන්න. නැතිනම්, ඔබට නිසැකවම පිස්සු හැදේවි.” මේ වත්මන් අර්බුද සමය ඉන් පෙර පැවති තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේදැයි පැහැදිලි කළ හැකි සරල ආකාරයකි. මින් පෙර අරගලවල නිරත වීමට කිසියම් උමතුභාවයක් (එනම් කිසියම් මනෝරාජික විශ්වාසයක්, න්‍යායික අදහසක්, සමාජ සම්මතයට හැඩ ගැසෙන්නට බැරිකමක් වැනි කවරාකාර හෝ අසාමාන්‍ය ගති ලක්ෂණයක්) වුවමනා විය. නැතිනම්, අධිපති කතිකාව තුළ අරගලකාරීන්ව දකින ලද්දේ ඒ ආකාරයෙනි. නමුත්, දැන් අප සමාජයේ අති බහුතරයකට තමන් වටා ඇති ඊනියා සාමාන්‍ය තත්ත්වයට හැඩ ගැසීමම තමන්ව උමතුභාවයට පත් කරන අත්දැකීමක් වී නොමැතිද? පෙනෙන මානයේ කිසිදු ආලෝක ධාරාවක් නොමැති අන්ධකාර උමගක අවසානයක් නොමැතිව පහතට ඇද වැටෙමින් තිබෙන සමාජයක යමෙකුට උමතු නොවී සිටිය හැකිද? එක්කෝ දැන් සමාජයේ බහුතරයක් දෙනා උමතුභාවයට පත්ව ඇති නිසා සමස්ත සමාජයම අරගල බිමක් බවට පත්වෙමින් තිබෙනවා විය යුතුය. නැතිනම්, සාමාන්‍ය සමාජ පර්යායට මුහුණ දීමම ක්ෂතිමය අත්දැකීමක් වී තිබෙන නිසා යමෙකුට පියවි සිහියෙන් සිටිය හැකි එකම තැන අරගල බිම පමණක් වී තිබෙනවා විය යුතුය.

ඉහත දෙවන වියහැකියාව ගැන කිව යුතු තවත් කාරණයක් තිබේ. එනම්, දැන් ගාලු මුවදොර සහ තවත් බොහෝ තැන්වල නිර්මාණය වී තිබෙන කල් පවත්නා අරගල බිම් තම දෛනික ජීවිතයේ නේකවිධ පීඩනයන්ට මුහුණ දෙමින් සිටින සමාජ කොටස්වලට එක්තරා ආකාරයක විමුක්තිදායක අවකාශයන් බවට පරිවර්තනය වෙමින් තිබීමයි. ඒවා බාහිර ලෝකය තුළදී අපට මුහුණ පෑමට සිදුවන ජනවාර්ගික, ආගමික, සමාජ ලිංගික සහ සංස්කෘතික පීඩනයන්ගෙන් මොහොතකට හෝ අත් මිදී පොදු මිනිස් සමූහයක් සමග එක්වීමට ඉඩකඩක් විවර කර දෙයි. නිදසුනක් ලෙස, සංක්‍රාන්ති ලිංගික එකතූන්වලටද ගාලු මුවදොර අරගල බිමේ පොදු අවකාශය සමානව බෙදා ගත හැකිව තිබේ. කෙසේ වුවද, අරගල බිම් තුළ මෙම විමුක්තිදායක ශක්‍යතාව වනාහී අසීරු සහ නිරන්තර අභ්‍යන්තර අරගලයක් මගින් දැනුවත්ව පවත්වාගත යුත්තකි. එය තර්ජනයට ලක් වන වාර කොතෙකුත් තිබේ. නමුත්, දැනට ටික කලකට පෙර කොළඹ ආශ්‍රිත ඊනියා දාර්ශනික කවයක් තුළ ස්ත්‍රීන්ට එල්ල වන ලිංගික හිංසන ගැන පවා වාර්තා වූ පසුබිමක ගෝඨාගෝගම් තුළ නිර්මාණය වෙමින් පවතින බහුවිධ විමුක්තිදායක ශක්‍යතාව යනු අගය කළ යුතු වූත් ආරක්ෂා කරගත යුතු වූත් ජයග්‍රහණයකි. දිගුකාලීන වාමාංශික සංස්කෘතියක් ගොඩ නැගී පවතින ලොව ඇතැම් තැන්වල මෙවන් විමුක්තිකාමී මහජන අවකාශ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබයි. ඒවා තුළ විවිධාකාර විකල්ප සංස්කෘතික වැඩ, බුද්ධිමය සංවාද, කියැවීම් කව මෙන්ම නව සමාජ පර්යායක් පිළිබඳ අත්හදාබැලීම් පවා සිදු කෙරෙයි. මේ වනාහී වමේ දේශපාලනයට දිගු ඉතිහාසයක් තිබෙන ලංකාව තුළ කවර හේතුවක් නිසා හෝ මෙතෙක් දිනාගත නොහැකිව තිබූ ඉතාම වැදගත් ඓතිහාසික ජයග්‍රහණයකි.

විශේෂයෙන්ම වත්මන් සමාජ වියවුල තුළ රැකවරණයක් පිළිබඳ සමාජ අයැදුමට සාර්ථකව ආමන්ත්‍රණය කිරීමට රාජ්‍ය අසමත් වීම හමුවේ අරගල බිම නමැති විමුක්තිදායක අවකාශයට ඒ සඳහා කළ හැකි දායකත්වයක් තිබේ. පසුගියදා ගාල්ල ගෝඨාගෝගමේ පොදු කුස්සිය ගැන නිවේදනය කරමින් පළ කර තිබූ සමාජ මාධ්‍ය පෝස්ටුවක දැක්වුණේ කවර සාගතයක් හමුවේ වුවද ගාල්ලේ ජනතාවට නිරාහාරව සිටින්නට අරගලකරුවන් ඉඩ නොදෙන බවයි. අද දිනයේ පුළුල් මහජන සහායක් දිනාගත හැක්කේ මහජනයා සමග එක්ව විකල්ප විසඳුම් නිර්මාණය කරන්නට සමත් ප්‍රතිජනනාත්මක දේශපාලනයක නිරත වන්නා වූ එවන් ව්‍යාපාරයකටය. නොඑසේව, ඔබ අපව බලයට පත් කළ හොත් ඔබේ ප්‍රශ්නවලට අප සතුව විසඳුම් තිබේ යැයි ප්‍රභූන් පමණක් අසුන් ගත් වේදිකාවල සිට ශපථ කරන්නා වූ පැරණි දේශපාලනය දැන් ප්‍රතික්ෂේප වී යමින් පවතී.

කෙසේ වුවත්, අරගල බිම බහුවිධ විමුක්තිදායක අවකාශයක් වීමේ ජයග්‍රහණය අගය කරන අතරම අප සිහි තබා ගත යුතු තවත් අභියෝගයක්ද ඇත. එනම්, අරගල බිම නමැති විමුක්තිදායක අවකාශයත් එයට බාහිරින් ඇති ලෝකයත් අතර ඓන්ද්‍රීය සම්බන්ධය ලිහිල් වී යාමට නොදී පවත්වා ගැනීමේ අභියෝගයයි. මාක්ස්ගේ වචනයෙන් කිව හොත්, අරගල බිම “පීඩිතයාගේ දුක් සුසුම, හදවතක් නැති ලෝකයේ හදවත සහ නිර්ධනයාගේ අබිං” බවට පත් වීමට ඉඩ නොදීමේ අභියෝගයයි. මගේ නිරීක්ෂණය වන්නේ මහනුවර, ගාල්ල වැනි පරිවාරයේ නගරවල අරගල බිම් සම්බන්ධයෙන් මේ ගැටළුව එතරම් අදාළ නොවන බවයි. ඒවා ප්‍රමාණාත්මකව කුඩා ඒවා වීම නිසාම නගරයේ පොදුජන ජීවිතය සමග ඇති ඓන්ද්‍රීය සම්බන්ධය ඒවාට එතරම් ගිලිහී නොයයි. ගාලු මුවදොර අරගල බිම සම්බන්ධයෙන් ගත් කල, මේ අභියෝගය ජය ගත හැක්කේ විවිධ පීඩිත සමාජ කොටස් අතුරින් පැන නගින විරෝධතා ව්‍යාපාර මගින් අරගල බිමට දේශපාලන ශක්තීන් නිරන්තරව එන්නත් කිරීම මගිනි. එසේම, අරගල බිම සංස්කෘතික වශයෙන් වේගයෙන් පොහොසත් වෙමින් පැවතුණද බුද්ධිමය වශයෙන් තව බොහෝදුරට වර්ධනය විය යුතුව තිබේ. ජන අරගලයේ මීළඟ රැල්ලට පෙර අරගල බිම් තුළ දේශපාලන සහ බුද්ධිමය සංවාදය පුළුල් කරගැනීම වැදගත්ය.

අළුත් කතන්දරයක් අවශ්‍ය වී තිබේ

වත්මන් ජන අරගලය සම්බන්ධයෙන් වාමාංශික නායකත්වයන් මුහුණ දෙමින් සිටින තවත් අභියෝගයක් වන්නේ අළුත දේශපාලනීකරණය වූ නාගරික මධ්‍යම පන්තික කොටස් සහ අරගලයේ නිරත පරිවාර පීඩිත ප්‍රජාවන් අතර ඓන්ද්‍රීය බැම්මක් ගොඩ නගන්නේ කෙසේද යන්නයි. ඉදිරි ප්‍රති-හෙජමොනික දේශපාලනයක ජයග්‍රහණය සඳහා එවන් බැම්මක් ගොඩ නැගීම වැදගත්ය. දැනට පෙනෙන්නට තිබෙන පරිදි පෙසප ප්‍රමුඛ රැඩිකල් වාමාංශය පරිවාර පීඩිත ප්‍රජාවන් සංවිධානය කිරීමේ යුහුසුළු වෑයමක් දරමින් සිටියි. ජවිපෙ ප්‍රමුඛ ජාජබ තම සුපුරුදු දුෂණ විරෝධී සටන් පාඨ අතැතිව නාගරික සහ අර්ධ-නාගරික උගත් වැදගතුන් මුල් කොටගත් ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටින බව පෙනේ. පළමු පිරිසට පවත්නා ක්‍රමය ගැන කළකිරී සිටින නාගරික මධ්‍යම පන්තික කොටස්ද, දෙවන පිරිසට පරිවාරයේ පීඩිත ප්‍රජාවන්ද මග හැරී යයි. අවශ්‍යව ඇත්තේ මේ බලවේග අතර පාළමක් තැනීමට සමත් ශක්තිමත් ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයකි.

එය කරන්නේ කෙසේද? ඒ සඳහා අළුත් කතාන්දරයක් අවශ්‍ය ය. එම කතාන්දරය අරගලයේ නිරත සියළු බලවේගවලට සරලව ඒත්තු ගැන්විය හැකි වූවක් විය යුතුය. එය අප සියළුම දෙනා දැන් ඇද වැටී සිටින අන්ධකාර පත්ලෙන් ගොඩ ඒමේත්, වඩාත් විමුක්තිකාමී නව ජනරජයක් පිළිබඳ සිහිනය සැබෑ කිරීමේත් සාමූහික අරමුණෙහි සම කොටස්කරුවන් වන්නට අපට ඇරයුම් කරන ආකර්ෂණීය කතාන්දරයක් විය යුතුය. වමේ නායකත්වයන්ට දැනටමත් ඔවුනගේ සියළුම ක්‍රියාකාරීත්වයන්ට අරුතක් ලබා දෙන්නා වූත්, ඒවා එකිනෙකට තර්කානුකූලව සම්බන්ධ කරන්නා වූත්, ඔවුනගේ සියළුම කාඩර්වරුන් හට හොඳින්ම ඒත්තු ගියාවූත් කතාන්දරයක් තිබෙන බව සැබෑය. නමුත්, එම කතාන්දරය ඔවුනගේ පක්ෂවලින් පිටත සිටින පුළුල් බහුජන කොටස්වලටද එලෙසින්ම ඒත්තු ගැන්විය නොහැකි බැවිනි, අද වමට නව කතාන්දරයක් අවශ්‍යව ඇත්තේ. මේ පිළිබඳව මීළඟ ලිපියේදී විස්තරාත්මකව ලියන්නට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    සුමිත්, මෙතන තියෙන්නේ අමුතුම කතාවක් නේ? මගේ වසර 30 ගණනක ශ්‍රී ලාංකීය අත් දැකීම් අනුව නම් GGG කියන්නෙ අමුතු ම ප්‍රපංචයක්. අපේ සාම්ප්‍රදායික සංස්කෘතික මතවාද මත හෝ දේශපාලනික ගතික ලක්ෂණ මත හෝ තිබෙන්නා වූ ලාංකීය අනන්‍යතාවයක් GGG තුළ දකින්න නෑ නේ? බහුතර සාම්ප්‍රදායික බෞද්ධ සංකල්ප මේ ගමේ නෑනේ! එක අතකින් සියළු ආගම් සහ ජාතීන් එකට වැළඳ ගන්නා පරිචවයක් තිබෙන අතර දූෂිත පොදු සතුරාට විරුද්දව සාමකාමී අරගලයක් දියත් කිරීම නේද මෙහිදී සිදු වන්නේ?? එහිදී බුද්ධාගම හෝ කතෝලික හෝ ඉස්ලාම් ආගම් නෙවෙයිනේ වැදගත් වෙන්නේ. තරුණ පිරිස් ඉල්ලන්නේ, හොයන්නේ, සමාජ සාධාරනත්වයනේ? ඒකට පාරම්පරික ගතික දේශපාලනය අදාළ නෑනේ? වාමාන්ශිකද නැත්නම් දක්ෂිනාන්ශිකද කියන එකට වඩා මේ තරුණ පිරිස් සොයන්නේ සරල, අදූෂිත පොදු එකඟතාවයක් නොවෙයිද? අදට වඩා හොඳ හෙටක් අප හැමෝටම උදා කිරීම නොවෙයිද? ඉතිං මේ නිවහල් ප්‍රපංචය කොතෙක් දුරට මේ සමාජයේ ගමන් කල හැකිද කියන එකයි ප්‍රධාන ප්‍රශ්නය!

    • 2
      0

      අපක්ෂපාතී නිර්පාක්ෂික අපි අරගලයෙන් අලුත් නායකයෙක් බිහිවීමට සිහින දකිමු, නමුත් මගේ හෘද සාක්ෂිය නැවත නැවතත් පවසන්නේ එවැනි අපේක්ෂකයින් තවමත් එහි නොමැති බවයි. ශිෂ්‍ය නායකයින් නියෝජනය කරන එම විශ්ව විද්‍යාලය රාජ්‍යයේ භූගත යථාර්ථයන් පිළිබඳ මූලික තොරතුරු නොමැති තරම් මෝඩ ලෙස පෙනේ. රාජපක්ෂලාට පක්ෂව ප්‍රචාරය කරන දේ ඔවුන් දිගටම කරගෙන යමින් සිටින්නේ අදටත් ශ්‍රී ලාංකේය මාධ්‍ය වාතාවරණය ඉතා ඉහළින් ස්ථාපිත කරමිනි. රාජපක්ෂ හිතවාදී දැවැන්ත ප්‍රචාරක ටෂ්මාෂා විප්ලවයක් ඇති කළ නමුත් ඔවුන්ගේ හෙජමොනියට ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ අසත්‍ය මත පදනම් වූ නමුත් ඔවුන්ට පක්ෂව පමණි.
      tbc

      • 2
        0

        LM ඔබ හරි. දැනට පෙනෙන විදියට, අද දිනය වන තුරුත් නිර්පාක්ෂික, ආකර්ෂණීය (charismatic) නායකයකු හෝ නයුරු පෙළක් GGG හි ජනනය වෙලා ද කියන ප්‍රශ්ණය මට තියෙනවා. අතරින් පතර ජවිපෙ හෝ පෙරටුගාමීන් ඉස්මතු වී තිබුණත් ඔවුන් බහුතර ලාංකිකයන්ට හෝ ලාංකීය ආර්ථිකයට අවශ්‍ය නායකත්වය නොවේ. විශේෂයෙන්ම පෙරටුගාමීන් ගේ දැඩි වාමවාදයත්, තුච්ඡ නවක වද කාමීත්වයත් බහුතර ශ්‍රී ලාංකිකයන්ට කොහෙත්ම ගෝචර වන්නක් නොවෙයි. ජවිපෙ තවමත් කකුල් බාගයක් දකුණට තියාන හිටියත් වැඩියම ඉන්නෙ වමට බර හොර ගල් අහුලන න්‍යායක් උඩ. ඉතින් කොහෙද මේ ගොල්ලන් ලංකාව දැනට තියෙන අගාධයෙන් ගොඩ ගන්නේ? ලංකාවට තවත් Venezuela වක කාබන් පිටපතක් වෙන්ට කොහෙත්ම බෑ දැනටමත් බංකොලොත් වෙලා ඉන්න තත්වයක් තුළ. ඉතින් තවත් Hugo Chávez ලාව ගේන්න හදන එක පට්ට තකතීරු වැඩක්!! අනික GGG මුල් කාලයේදී ප්‍රබල ලෙස ඉස්මතු වී සිටි කොළඹ හා උප නාගරික මධ්‍යම පාංතිකයන් ගේ මානසික තත්වය තමා බොහෝ ලාංකීය තරුණයන් හට තියෙන්නේ. සුළු ධනේශ්වර චින්තනය මත පදනම් වූ බලාපොරොත්තු තමා ඔවුන්ට තියෙන්නේ. ඒ මත ගොඩ නැගුනු සාධාරණ, දූෂණයෙන් තොර ව්‍යවසායකත්වයක් හෝ ඉහල රැකියාවක් සමඟ සැපවත් ජීවිතයක් ගත කිරීම මිස දෘඪ සමාජවාදයක් කර පින්නාගෙන සමූහ ගොවි පොළවල් වල වැඩ කරන්න නෙවෙයි. ඉතින් මේ කොට්ටාශයට නායකත්වයක් දීමට තවම කිසිම දේශපාලන ව්‍යාපාරයක් ලංකාව තුළ බිහිවී නැති එකයි අරගළය හමුවේ අද තියෙන ඉතාම දැඩි ප්‍රශ්නය!!

  • 2
    0

    continuing.
    .
    “බැඳුම්කර බැංකු මගඩිය” නියම කළ මහ මොළකරු වූ රාජපක්ෂලාට අනුව ඊනියා “බැඳුම්කර මගඩිය” ගෙන්වා ගැනීමට තවමත් බලයේ සිටින රජය අසමත් වී නැත: ඊනියා “බැඳුම්කර බැංකු මගඩිය” බව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි රාශියක් තිබේ. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බැංකු අධිපති කබ්රාල් යටතේ නීතිවිරෝධී ක්‍රමානුකූල අසාර්ථකත්වයකින් ආරම්භ විය. කෙසේ වෙතත්, මෙම බැංකු විෂමතා නිසා එවකට පැවති ප්‍රධාන විපක්ෂය කොන් කිරීමටත්, වත්මන් පාර්ලිමේන්තුවට තනි ආසනයක් ඉතිරි කර සම්පූර්ණයෙන්ම පරාජය වීමටත් හේතු විය.
    මුස්ලිම්වරුන් සිංහල බෞද්ධයන්ට එරෙහි වීම මත පදනම් වූ තවත් එවැනිම හෝ විවිධ ආකාරයේ තවත් මතයක් ගොඩනැගුණු අතර, ශ්‍රී ලාංකික මුස්ලිම් ශල්‍ය වෛද්‍යවරයකු වූ වෛද්‍ය සාෆිට පහර දීමෙන්, බලය ලබා ගැනීම සඳහා කිසිදු අනුකම්පාවකින් තොරව, …. යුක්තිය, වෛද්‍ය සාෆිට එරෙහි සියලුම අධිකරණ නඩු ඔහුගේ චෝදනාවලට එරෙහිව ක්‍රියා කළ අතර ඔහුගේ චෝදනාවලින් ඔහු නිදහස් කළේය.
    ලැජ්ජ නැති රාජපක්ෂලාට සිදුවූයේ දොස්තර සාෆිට පක්ෂව අධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුව ඉදිරියේ දණින් වැටී සිටීමට සිදුවූයේ, එය සැබවින්ම ජාතිවාදය මත පදනම් වූවක් බවත්, රාජපක්ෂලා බලය ඩැහැගැනීමට ගිය ආණ්ඩුවේ ජාතිවාදීන්ගේ ඡන්දයෙන් බව මුළු ලෝකයටම හෙළිකරමිනි.

    • 1
      0

      මම හිතන්නේ ජාතියේ මේ අතිශය තීරණාත්මක අවධියේදී ජනතාව සියලු දෙනාම එකතු විය යුතුයි. එසේ නොකරන්නේ නම්, එය රෝගියෙකු දැඩි සත්කාර ඒකකයේ තබාගෙන සිටින නමුත් වඩාත්ම තීරණාත්මක පියවර නොගැනීම හා සමාන ප්‍රතිවිපාකවලට ළං වනු ඇත.

      විමල් බුරුවන්සේ සහ වයෝවෘද්ධ වසීදේව අද ලොකු ප්‍රකාශ කරනවා, හරියට ඔහු තව ටික කලක් යන තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවීය. මේ මිනිස්සු මෑතක් වෙනකම්ම හැසිරුනේ කුණු ගොඩවල් උඩ ඉඳගෙන වගේ. එම කුඩා පක්ෂ නියෝජිතයන් සියල්ලටම ප්‍රධාන පක්ෂ සමඟ ඔවුන්ගේ සභාග සබඳතා නොමැතිව ජීවිතයක් නැත. ඔවුන් එය හොඳින් දන්නා නමුත් ඔවුන් නිරන්තරයෙන් මේ රටේ අවදානමට ලක්වූවන් නොමඟ යවයි. මම විශ්වාස කරනවා, මේ බැල්ලිගේ පුතාට ප්‍රසිද්ධියේ කතා කිරීම තහනම් කළ යුතුයි. ඔවුන් සියල්ලන්ම පුවත්පත්වලින් ඈත් කළ යුතුයි, එය ජනතාවගේ දුක්ඛිත මානසිකත්වයේ තුවාල සුව කිරීමට උපකාරී වේ.

      බලය අල්ලා ගත් පසු රාජපක්ෂ සහෝදරයන්ව “මහතීර් මොහොමඩ් සහ ලීක්වාන්යු” ලෙස හඳුන්වන්නට මේ බගර් විසින් ඉතා අවදානමට ලක් වූ මිනිසුන්ට සැලැස්වූ ආකාරය මතකද…. ? මෙය නව යොවුන් වියේ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ ඕනෑම දෙයක් සම්මත කර ගැනීමට සිහින දකිනවාක් මෙනි. සත්‍යය එය නම්, දුක්විඳින ජාතියේ උන්නතිය සහ උන්නතිය සඳහා ඔවුන්ගේ අතිශය භයානක ප්‍රශ්න කෙරෙහි පවා අවධානය යොමු කරන කුඩා යෝජනා කිසිවක් සම්මත කර ගැනීම පහසු නැත. මේ රට පිරී ඇත්තේ ජාතිය තුළම නොයෙකුත් ආකාරයේ රස්තියාදුකාරයන් සහ වැරදිකරුවන්ගෙනි… මේ අවුලට දොස් පැවරිය යුත්තේ දේශපාලකයන්ට පමණක් නොව මිනිසුන්ටයි. පූර්ණ රුධිර පාරවිලයනය රුධිර පිළිකා රෝගියෙකුට ජීවිතයක් ලබා දෙන බැවින්, මෙම සමාජය ඉහළ සිට පහළට හෝ අනෙක් අතට නැවත ගොඩනැඟිය යුතු බව මම තවමත් විශ්වාස කරන්නේ එබැවිනි. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ සාකච්ඡා කරලා සම්මත කරගෙන ඒවා හොඳ ක්‍රම එක්ක හඳුන්වා දෙන්න.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.