19 June, 2024

Blog

බොහෝ දේ සිදු වුවද කිසිවක් වෙනස් නොවන්නේ ඇයි?

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩ වර්ජනය අවසන් විය. සාර්ථක ලෙස රට පුරාම එය ක්‍රියාත්මක වූ බව සැබෑය. නමුත්, වැඩ වර්ජකයින්ගේ ඉල්ලීම් පිළිබඳව වික්‍රමසිංහ පාලනය තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. දින කිහිපයකට පෙර පොලීසියේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විසින් කරන ලද විරෝධයද මර්දනයට ලක් කෙරිණ. මානව හිමිකම් කොමිසම පොලිසිය භාර ඇමතිවරයා වෙත කරන ලද කැඳවීම නිසි ආකාරයට සිදු නොවූයේය යන හේතු දැක්වීම මත සරලව නොතකා හරින ලදී. කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී ජාතික ජන බලවේගයේ අති සාර්ථක ජන රැළියක් පැවැත්විණ. නමුත්, එහි ප්‍රධාන ඉල්ලීමක් වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන පාලනාධිකාරය තවමත් නිහඬය.

මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සිටින්නේ ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගය පමණක් නොවේ. රාජපක්ෂ කඳවුරේ අවශේෂ කොටස් ලෙස සැලකිය හැකි උත්තර ලංකා සන්ධානය, නිදහස සන්ධානය, ශ්‍රීලනිපය සහ මෑතකදී ජනරජ පක්ෂය ලෙසින් නම වෙනස් කරගත් චම්පික රණවකගේ කණ්ඩායම යන පිරිස්ද නාමිකව හෝ මැතිවරණයක් පිළිබඳ ඉල්ලීමට දායක වෙමින් සිටිනු දක්නට ලැබේ. (වත්මන් ආර්ථික සහ සමාජ ව්‍යසනයට විශාල වශයෙන් දායක වී තිබෙන පසු කී කණ්ඩායම්වල සුජාතභාවයද දැන් වික්‍රමසිංහ/රාජපක්ෂ කඳවුරේ සුජාතභාවය තරමටම අර්බුදයට ගොස් තිබේය යන්න වෙනම කාරණයකි). සරදම්ජනක ලෙස, මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙස ප්‍රකාශ නිකුත් කරන කණ්ඩායම් අතර අස්ගිරි-මල්වතු මහානායක දෙපළ සේම කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයද හඳුනාගත හැකිය! නමුත්, සියල්ල එසේ තිබියදීත්, ඒ මදිවාට මැතිවරණයට අදාළ මුදල් නිකුත් කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබී තිබියදීත් එය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා විවිධ හේතූන් ඉදිරිපත් කෙරෙමින් තිබේ.

මීට අමතරව, දිනෙන් දින උග්‍ර වන ජීවන වියදම හමුවේ සෑම දිනකම රටේ විවිධ තැන්වල විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙයි. නමුත්, ඒවායෙහි ඉල්ලීම් ඉටු නොකෙරෙනවා පමණක් නොව ඒවාට සවන් දීමක් පවා ආණ්ඩුවේ පාර්ශවයෙන් සිදු වන බවක් නොපෙනේ. ඇස් පනාපිට බොහෝ දේ සිදුවෙමින් තිබුණද හරයාත්මකව කිසිවක් වෙනස් වන හැඩක් පෙනෙන්නට නැත. මේ ගෙවී යමින් තිබෙන නිමේෂය එබඳුය.

දෘෂ්ටිවාදය සහ පොදුජන අවබෝධය

මේ තත්ත්වය අප තේරුම් ගත යුත්තේ කෙසේද? බොහෝ විශ්ලේෂකයින් මෙය තේරුම් කරන්නේ වික්‍රමසිංහ පාලනය ජන මතයට කන් නොදෙන උද්දච්ච පාලනයක් බැවින් මෙවන් චර්යාවක් ප්‍රකට කරනවාය යනුවෙනි. නමුත්, අප එවන් ආත්මීය වර්ගීකරණයක් මත රඳා නොපවතී නම්, ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ වික්‍රමසිංහ පාලනයට මේ තරම් දුරට බහුතර ජන මතය නොතකා හරින්නට හැකියාව ලැබී තිබෙන්නේ කෙසේද යන්නයි. ජනතා අනුමැතියක් නොමැතිව, මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ මත අධික ලෙස රඳා පවතිමින් සහ විවෘතවම ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතා අනුව ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය ද්විතීයික තැනට ඇද දමමින් බලයේ හිඳින්නට වික්‍රමසිංහ-රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයට හැකියාව ලැබී තිබෙන්නේ කෙසේද? මා මින් ඉහතදීද පෙන්වා දී ඇති පරිදි, එය හුදෙක් රාජ්‍ය මර්දනයේ පිහිටෙන් බලය දැරීමක් ලෙස පමණක් තේරුම් කිරීම අතිසරල වූවකි. මහජන කැමැත්ත නොහොත් අවනතභාවය ගොඩ නැංවීමත් මර්දනයත් අතිනත් ගෙන යයි. මර්දනයේ පැතිමානය වෙතට අධි-අවධාරණයක් යොමු කරන විපාක්ෂික බලවේගවලට ඇතැම් විට මග හැරී යන කාරණයක් වන්නේ වත්මන් ප්‍රභූ තාන්ත්‍රික පාලනයෙහි දෘෂ්ටිවාදීමය කැමැත්ත ගොඩ නැංවීමේ මානයයි.

සැබවින්ම දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයෙහි වික්‍රමසිංහ පාලනය සිටින්නේ අතිශය අවාසිදායක තත්ත්වයකය. ඔහුගේ පාලනයට සෘජුව සහාය දක්වන බුද්ධිමය සහ සදාචාරමය නායකත්ව ශ්‍රේණිය ඉතාම පටු එකක් වීම ඔහු මුහුණ දෙමින් සිටින ප්‍රධාන අභියෝගයකි. දැනට වික්‍රමසිංහ පාලනයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පැතිමාන පවා දෘෂ්ටිවාදීමය ලෙස සාධාරණීකරණය කරමින් සිටින බුද්ධිමතුන් කණ්ඩායම් දෙකක් අඩු තරමින් හඳුනාගත හැකිය. එනම්, ඔහු අනුයන නව-ලිබරල් ආර්ථික මාවතට සෘජුව සහාය දක්වන ආර්ථික-දක්ෂිණාංශික බුද්ධිමතුන් සහ තවමත් ඔහුව දේශපාලන ලිබරල්වාදියෙකු ලෙස චිත්‍රණය කොට පෙන්වන්නට අසාර්ථක ප්‍රයත්නයක යෙදෙමින් සිටින කුඩා ‘ලිබරල්වාදී’ බුද්ධිමය තීරුවයි. මේ දෙවන බුද්ධිමය තීරුව සමන්විතව ඇත්තේ කලක් මානව අයිතීන් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකීම වැනි නිෂ්ටාවන් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීව සිටි පිරිස්වලින් වීම සරදම්ජනකය. නමුත්, මේ දෙපිරිසම පොදුජන මනස හැඩ ගැස්වීම පැත්තෙන් එතරම් බලපෑම් සහගත හැකියාවක් තිබෙන අයවළුන් නොවේ. විශේෂයෙන්ම දෙවන බුද්ධිමය තීරුව වික්‍රමසිංහ පාලනයට සුජාතභාවයක් ලබා දීමට වඩා දැන් තමන්ගේම සුජාතභාවය අහිමි වී යාමේ අර්බුදයකට මුහුණ දෙමින් සිටින සෙයකි.

නමුත්, දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ මෙවන් අවාසිදායක තත්ත්වයක් පැවතියදීත් ඇතැම් විට පාලක බල හවුලට තම ලෝක දැක්ම සමාජයේ පොදු දැක්ම බවට පරිවර්තනය කළ හැකිය. 1977 දී ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන විටදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුහුණ දුන් තත්ත්වය ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය පිළිබඳ දෘෂ්ටිවාදයට විශාල සමාජ පැවැත්මක් තිබූ ඒ අවධියේ ජයවර්ධනගේ ආර්ථික වැඩ පිළිවෙලට ජනතා සහයෝගයක් ලබා දිය හැකි ප්‍රබල දේශීය බුද්ධිමය තීරුවක් සිටියේ නැත. ජයවර්ධනගේ චරිතාපදානයේ කතුවරුන් පවසන පරිදි 1960 දශකයේ අග භාගයේදී නිදහස් වෙළඳපළ ප්‍රතිපත්තීන්ට සහාය දක්වන ආර්ථික විද්‍යාඥයෙකු ඔහුට ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකින් සොයා ගත නොහැකි විය. සියළුම ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු තුළ සිටියේ මාක්ස්වාදී බුද්ධිමතුන්ය. නමුත්, ජයවර්ධනගේ ආර්ථික දැක්ම සමාජයට පිළිගැන්වීම සඳහා වෙනත් උපායක් සොයා ගත හැකි විය. එනම්, ජනයාගේ දෛනික ජීවිතයේ විශ්වාසයන්, ආකල්ප සහ සිතුම් පැතුම්වලට සෘජුව ආමන්ත්‍රණය කිරීමේ මාධ්‍යයන් සොයා ගැනීමයි (නිදසුනක් ලෙස, පෝලිම් යුගය වෙනුවට වෙළඳපළ භාණ්ඩවලින් පිරුණු යුගයක් පිළිබඳ චිත්‍රය). අලුත හඳුන්වා දුන් රූපවාහිනිය නමැති දෘෂ්ටිවාදී උපකරණය පාරිභෝජනවාදී ලෝක දැක්මක් ගොඩ නැගීමේ වඩා කාර්යක්‍ෂම මාධ්‍යයක් බවට පත් විය. මෙම ක්‍රියාන්විතය සමීප වන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චි කතා කළ දෘෂ්ටිවාදී අරගලයට වඩා ඔහුගේ පොදුජන අවබෝධය (common sense) වෙනස් කිරීමේ අරගලයටය.

මගේ අදහස නම්, ස්වකීය ලෝක දැක්ම සමාජයේ හෙජමොනික දැක්ම බවට පරිවර්තනය කිරීමේදී වත්මන් වික්‍රමසිංහ පාලනය වැඩි වශයෙන් රඳා පවතින්නේ එයට සහාය දක්වන සීමිත බුද්ධිමය ස්ථරය මත නොව, පොදු ජන අවබෝධයට ආමන්ත්‍රණය කිරීමට සමත් ඊනියා මත සකසන්නන් (opinion makers) මත බවයි. වත්මන් මාධ්‍ය ලෝකය අරක්ගෙන සිටින්නේ එවන් මත සකසන්නන් සමූහයක් විසිනි. වික්‍රමසිංහ පාලනය වාත්තු වී සිටින පොදුජන අවබෝධය හැඩ ගස්වා ඇත්තේ වැඩි වශයෙන්ම ඔවුනගේ දායකත්වයෙනි. (සරදම්ජනක ලෙස, සජබ ආර්ථික විශේෂඥයා ලෙසින් හඳුන්වනු ලබන හර්ෂ ද සිල්වාද ඒ අතුරින් ප්‍රමුඛයෙකු ලෙස හඳුනාගත හැකිය). එසේ හැඩ ගස්වා ඇති පොදුජන අවබෝධයට අනුව වත්මන් ආර්ථික අර්බුදයට එකම සහ අනභියෝගී විසඳුම වන්නේ අයි.එම්.එෆ් වැඩ පිළිවෙළ වන අතර, එය වඩාත් හොඳින් ක්‍රියාවට නැගිය හැක්කේ වික්‍රමසිංහ හටය. මේ අදහස බොහෝ විට ඉදිරිපත් වන්නේ උපන්‍යාසයක් ලෙසින් වුවද, පොදුජන අවබෝධය නමැති සටන් බිම තුළ එය අභියෝගයට ලක් නොවන තාක් කල් එය නිගමනයක් සේ ක්‍රියා කරයි. කොටින්ම, යමෙකු මෙම මූලික උපන්‍යාසය රහසිගතව හෝ පිළිගන්නේ නම්, මේ මොහොතේදී වික්‍රමසිංහ/රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයට එරෙහි ජන අරගලය වෙත ඔහුගේ/ඇයගේ පා එසවෙතැයි අපේක්ෂා කළ නොහැකිය. ඉනුත් ඔබ්බට ගොස් මේ පිළිගැනීම අනුව සැබවින්ම අරගලකරුවන්ව දකිනු ලබන්නේ ආර්ථිකය ගොඩ ගැනීමේ අසීරු මෙහෙයුමකට බාධා කරන කඩාකප්පල්කාරීන් පිරිසක් ලෙසයි. වික්‍රමසිංහගේ ආර්ථික මෙහෙයුම අවසන් වන තෙක් දේශපාලනය අඩස්සිගත කළ යුතුය යන ඉල්ලීමේ හරය වන්නේ එයයි.

ප්‍රභූ තන්ත්‍රයේ මාර්ග සිතියම

වික්‍රමසිංහ පාලනයේ පැවැත්ම වියහැකියාවක් වන්නේ කෙසේදැයි වටහා ගැනීමේදී වත්මන් දේශපාලන නිමේෂයට අදාළ වැදගත් සන්ධානගත වීම් දෙකක් වෙතද අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න වන්නේ ස්වදේශීය වශයෙන් වික්‍රමසිංහ සහ රාජපක්ෂ බල-ජාලය අතර පවත්නා සන්ධානයයි. දෙවැන්න වන්නේ බාහිර වශයෙන් වික්‍රමසිංහ පාලනය සහ අයි.එම්.එෆ් ඇතුළු ඇමෙරි-ඉන්දීය භූ-දේශපාලනික අක්ෂය අතර පවත්නා සන්ධානයයි. බැලූ බැල්මට පරස්පර යැයි පෙනුණද ප්‍රයෝජ්‍යතා දේශපාලනයේ වුවමනාකම් අනුව ගත් කල මෙවන් අබූතරූපී සන්ධාන නිර්මාණය වීම පුදුමයට කරුණක් නොවේ. රාජපක්ෂ බල-ජාලයේ පැත්තෙන් ගත් කල වික්‍රමසිංහගේ නිර්-ප්‍රජාතාන්ත්‍රික පාලනයේ ආරක්ෂාව එයට තවදුරටත් අවශ්‍ය වේ. මන්ද යත්, විශාල වශයෙන් සුජාතභාවය පිරිහී තිබෙන ඔවුනගේ ප්‍රභූ බලය දැන් නව දේශපාලන බලවේගයක අභියෝගයට ලක්ව පැවතීම නිසාය. මේ මොහොතේ මැතිවරණයකට මුහුණ දුනහොත් තමන්ට අත් වීමට ඉඩ තිබෙන ඉරණම ගැන ඔවුන් නොදන්නවා විය නොහැකිය. උදා වී තිබෙන නව තත්ත්වය තුළ තමන් රාජපක්ෂ බල-ජාලයෙන් දුරස් වූවන් යැයි පෙන්වීමට හැකි තරම් ප්‍රයත්න දරමින් සිටින විමල්-ගම්මන්පිල-ඩලස්-මෛත්‍රීපාල-චම්පික-ඩිව්-වාසු ඇතුළු ප්‍රභූ-තන්ත්‍රයේ අවශේෂ කොටස්වල තත්ත්වයද මීට වෙනස් නැත. සමගි ජන බලවේගය සහ දේශපාලන ප්‍රභූවේ සම්බන්ධය අමුතුවෙන් කිව යුතු නැත. සජබ පිළිබඳ එකම වෙනස වන්නේ ඉහත කී සියළු කණ්ඩායම් ප්‍රසිද්ධියේ කුමක් කීවද තම දේශපාලන ගණන් බැලීම් අනුව ඔවුන් මේ මොහොතේදී මැතිවරණයක් ප්‍රිය නොකිරීමත් සජබට තවමත් මැතිවරණයකට මුහුණ දීමේ හැකියාවක් පැවතීමත්ය.

වික්‍රමසිංහ පාලනයේ භූ-දේශපාලනික සන්ධානය (සහ එහි දේශපාලන ගම්‍යයන්) වෙනම විශ්ලේෂණය කළ යුතුය. සංක්ෂිප්තව කිව හොත්, වික්‍රමසිංහ/රාජපක්ෂ සන්ධානයේ පැවැත්ම ගැන විශේෂ වුවමනාවක් අයි.එම්.එෆ් සංවිධානයට ඇතැයි සිතිය නොහැකිය. මැතිවරණයකින් තහවුරු වූ බහුතර ජන බලයක් සහිත ආණ්ඩුවක් ඔස්සේ තම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි නම්, ඔවුන් වඩා කැමති වනු ඇත. එම නව ආණ්ඩුව බලයට පත් වන්නේ ජනප්‍රිය වේදිකාව මත අයි.එම්.එෆ් විවේචනයට ලක් කරමින් වුවද, ඔවුනට එය ගැටළුවක් විය නොහැකිය (ග්‍රීසියේ සිරිසා අත්දැකීම වැන්නක්). ඒ සමගම, ආර්ථිකමය තලයෙහි කාරණා එසේ වුවද දේශපාලනික බලපෑමේ ක්ෂේත්‍රය තුළ බොහෝ විට වඩා බලවත් රාජ්‍යයන් ප්‍රිය කරන්නේ මූලෝපායික වශයෙන් වැදගත් කුඩා රටවල දුර්වල පාලන තන්ත්‍රයන් පවතින තත්ත්වයක් බවද අප අමතක නොකළ යුතුය. ශක්තිමත් ජන වරමක් නොමැති වූද, බරපතල ලෙස පැවැත්ම පිළිබඳ අරගලයක යෙදී සිටින්නා වූද පාලනාධිකාරයක් තම භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා අවනත කරගැනීම වඩා පහසු බව ඕනෑම ගෝලීය හෝ කලාපීය බලවතෙකු දනී.

මෙවන් සුවිශේෂී පැවැත්මේ කොන්දේසි මත රඳා පවතින ප්‍රභූ තන්ත්‍රයක් කිසිසේත්ම සාමාන්‍ය ‘තරඟයේ රීතීන්’ අනුව ක්‍රීඩා කරාවි යැයි අපේක්ෂා කළ හැකිද? දැන් අනතුරට ලක්ව තිබෙන්නේ එක් හෝ තවත් පක්ෂයක පැවැත්ම පමණක් නොව සංස්ථාපිත දේශපාලන ප්‍රභූවේම පැවැත්ම බව එහි ප්‍රමුඛ නායකයින් (විශේෂයෙන්ම වික්‍රමසිංහ) නොදන්නවා විය හැකිද? සමූහයක් ලෙස ස්වකීය පැවැත්ම අභියෝගයට ලක්ව තිබෙන වාතාවරණයක් තුළ මෙම දේශපාලන ප්‍රභූව කිසියම් පොදු විඥානයක් ගොඩ නගා ගනිමින් සිටිනවා විය නොහැකිද? ඇතැම් විට, වෙනස් සංධර්භයක් තුළ ඩේවිඩ් හාවී පවසනවා සේ දැන් පාලකයින්ගේ පැත්තෙන් පන්ති විඥානයක් ක්‍රියාත්මක වනවා යැයි කිව නොහැකිද? එම සාමූහික විඥානය ක්‍රියාත්මක වන්නේ තම අහිමි වූ සුජාතභාවය සහ හෙජමොනිය නැවත අත්පත් කරගැනීමේ කිසියම් අප්‍රකාශිත මාර්ග සිතියමකට අනුව විය නොහැකිද? පළමුව අයි.එම්.එෆ් ණය සහතිකය ලබා ගැනීම, දෙවනුව යළිත් ණය චක්‍රයට ඇතුල් වීම, තෙවනුව රට තුළ අනුග්‍රාහක දේශපාලන යාන්ත්‍රණය යළිත් පණ ගැන්වීම, සිව්වෙනුව තමන්ට වඩා වාසිදායක මොහොතක ජනාධිපතිවරණය පැවැත්වීම යනාදී ලෙස එම මාර්ග සිතියම එළෙනු ඇතැයි යන්න මගේ උපන්‍යාසයයි. සංකේතීය පිළිවෙළෙහි පැවැත්ම අධික ලෙස විශ්වාස කරන නායකත්වයකට මේ මාර්ග සිතියම හකුළා ඒ වෙනුවට තම මාර්ග සිතියමක් ආදේශ කිරීම පහසු නොවනු ඇත. මන්ද යත්, දැන් අරගලය ඇත්තේ දේශපාලනය තුළ නොව දේශපාලනිකය තුළයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    කුණු ගොඩවල් සුද්ද කරන්න පුළුවන් වෙන්නේ ඒ අවට ජීවත් වන මිනිසුන්ගේ ජීවනෝපාය ගැන අවබෝධයක් ලබා ගත්තොත් විතරයි. තුන්වන ලෝකයේ දේශපාලනය දියුණු ජාතීන්ට ද විශාල ප්‍රහේලිකාවකි. තවද එහි සංකීර්ණත්වය විවිධ බාධක සමඟ බැඳී ඇත. සමාජ හා සංස්කෘතික බාධක ඔවුන්ට ඉදිරියට යාමට ඉඩ නොදෙනු ඇත. මිනිසුන් තුළ ස්ථාපිත වී ඇති විෂ සිතුවිලි සියල්ලන්ගේම පිළිකාව වේ. අපේ අපායේ හංවඩු ගහලා තියෙන්නේ “සිංහල බෞද්ධ ආධිපත්‍යය තිබුණත් යථාර්ථය නම් වෙන දෙයක්” කියලා.
    එම කුණු ගොඩවල් පැවතීම ඇතැම් දේශපාලනඥයන්ට සහ ධනවත් ව්‍යාපාරිකයන්ට වාසනාව ගෙන දෙයි. එය දකුණු ආසියානු මානසිකත්වයේ මිථ්‍යා කථා සමඟ හොඳින් ගැලපේ. SA කලාපයේ ලෝක ජනගහනයෙන් 1/4 ක් දරිද්‍රතා රේඛාවට වඩා පසුගාමී වීමට හේතුව මෙයයි.

    කෙනෙකුට එය දුර සිට හෝ බාහිර ලෝකයෙන් වටහා ගත නොහැක.

    එවැනි පරිසරයක කිසිදා ජීවත් නොවූ අයට නොගැලපෙන නාසය සහ ඉන්ද්රියයන් ඇති වැසියන්ට අමතරව. මේ සරල දේවල් ජවිපෙ නායකයන්ට යා යුතුයි. එවිට ඔවුන් පරිණත වීමට හැරෙනු ඇත.

    එසේම ශ්‍රී ලංකාව යළි පණ ගැන්විය හැක්කේ එම සමාජය තුළ පවතින යථාර්ථයන් අධ්‍යයනය කිරීමෙන් පමණි. ඒවා සියල්ලම සංකීර්ණයි. එය සාමාන්‍ය පුරවැසියන් කෙරෙහි ඔවුන්ගේ පහසු සිනහවට වඩා බෙහෙවින් සංකීර්ණ ය. සාපරාධී මානසිකත්වය තිබියදී ලංකාවේ සහ තායිලන්තයේ භික්ෂූන් වහන්සේ නමකට ඉහළ ගෞරවයක් දක්වන්නේ මන්දැයි යුරෝපීයයන්ට නොතේරේ. ඔවුන් තවදුරටත් පහත් තත්ත්වයට පත්වුවද බලධාරීන් ඊට ඉඩ නොදෙයි. එය යුරෝපීය චින්තනයට විරුද්ධ ය. ඒක නිසා වෙන්න ඇති එයාලට අහුවෙන්නෙ නැත්තේ.
    නිසි අධ්‍යාපනයක් ඇති වර්තමාන ශ්‍රී ලාංකීය තරුණයන් පවා ඒ ගැන හරස් ප්‍රශ්න කරන්නේ නැත. ඒ ස්වභාවය තියෙන්නේ එයාලගේ DNA වල. ඒ නිසා තමයි දේශපාලනඥයන් අසාර්ථක වුණේ.
    ඒ කාර්යය අද්දැකීම් අඩු කිසිම දේශපාලනඥයකුට කරන්න බැහැ. ගෝඨා සියල්ල ඔප්පු කළේය. අපට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.
    මට කියන්න පුළුවන් නීතිය හා සාමය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි කියලා, නමුත් ඇත්තටම ඒ සමාජය තුළ ඒක කරන්න යනවා නම් ඒක කරන්න බැහැ.
    ප්‍රශ්නවල බරපතළකම දන්නේ තමන්ගේ හැකියාවෙන් වැඩුණු අය පමණයි. අපට පහසුවෙන් විවේචනය කළ හැකි නමුත් විවේචනය පමණක් ඉදිරියට නොයයි. අවාසනාවට අදටත් එතනින් එහාට දකින්න තරම් JVP පරිණත නැහැ. ඔවුන්ට මොළයෙන් ආශීර්වාද ලැබේවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.