30 November, 2022

Blog

මැතිවරණවාදය තුළ ගිලිහෙන දෛනික ජීවිතයේ දේශපාලනය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කළ සාකච්ජාවකදී ස්ලේවෝයී ශිෂෙක් වැදගත් ප්‍රශ්නයක් අසයි. එනම්, මේ රැඩිකල් මහජන නැගී සිටීම තුළ මිනිස් සම්බන්ධතාවල නව ආකෘතියක් ගොඩ නගන්නට අප කිසිවෙකුත් සැබවින්ම සමත් වී තිබේද යන්නයි. මේ ප්‍රශ්නය අප ලංකාවට අදාළ කරගෙන තවදුරටත් පැහැදිලි කරගත යුතු යැයි මම සිතමි. අපගේ දැනට පවතින මිනිස් සම්බන්ධතා යම් යම් ආකාරවලින් ආකෘතිගත වී පවතී. රාජ්‍යය, වෙළඳපළ, ජාතිය, ආගම යනාදිය එවන් මහේක්ෂ ආකෘතීන්ය. එම මහේක්ෂ ආකෘතීන්වලට අමතරව මිනිස් සබඳතාවල වඩාත් ක්‍ෂුද්‍ර නොහොත් පරමාණුක ආකෘතීන්ද පවතී. එකී මහේක්ෂ ආකෘතීන් සහ ක්‍ෂුද්‍ර ආකෘතීන් අතර පවතින්නේ සංකීර්ණ සම්බන්ධයකි.

අප ජීවත් වන යුගයේ අධිපති පරමාණුක ආකෘතියක් වන විෂම ලිංගික පවුල නිදසුනක් ලෙස ගනිමු. පවුල නමැති ආකෘතියේ ඇති වැදගත්කම වන්නේ එය එක්විටම ධනවාදය, ජාතිය, පීතෘමූලික සංස්කෘතිය යනාදී මහේක්ෂ ආකෘතීන් ගණනාවක පරමාණුක ලක්ෂණ කැටි කරගෙන සිටීමයි.

පවුල නොහොත් පාරිභෝජනවාදයේ රන් දෙවොළ

පවුල සහ ධනවාදය අතර ඇති සම්බන්ධය වටහා ගැනීමට තිබෙන පහසුම ආකාරය වන්නේ මෙකල පොදු ජන අවබෝධය හැඩ ගැස්වීමෙහිලා විශාල බලපෑමක් කරන වෙළඳ දැන්වීම් දෙස අවධානය යොමු කිරීමයි. එම වෙළඳ දැන්වීම් බහුතරයක ඉලක්කය වන්නේ පවුලයි. එසේම බහුතරයක් වෙළඳ දැන්වීම් තුළ පෙන්වනු ලබන පවුල් වනාහී විෂම ලිංගික මධ්‍යම පන්තික පවුල්ය. පොදු ජන අවබෝධය තුළ එවන් පවුල් හඳුනාගනු ලබන්නේ සාර්ථක පවුල් ලෙසයි. එම පවුල් වාසය කරන්නේ නවීන නාගරික නිවාස තුළය. බොහෝ විට එම නිවාස ඉදිරිපස මෝටර් රථයක් නවත්වා තිබේ. වෙළඳ දැන්වීම් අපට ප්‍රදර්ශණය කරන්නේ එවන් පවුල්වල අය පාරිභෝජනය කරන භාණ්ඩ මොනවාද යන්නයි. එම භාණ්ඩ අප මිළදී ගත යුත්තේ අපගේ පවුලේ සාමාජිකයින් වන සහකරුවන්, දරුවන් හෝ දෙමාපියන් සතුටු කරනු පිණිසය. එමගින් අපටද සාර්ථක නොහොත් දියුණු සමාජයේ තලයට නැග ගත හැකිය යන මිත්‍යාව වෙළඳ දැන්වීම් මගින් අප තුළ ගොඩ නංවනු ලැබේ.

පවුල සහ රාජ්‍යය අතරැති සම්බන්ධය වටහා ගැනීමද අපහසු නැත. ෆ්‍රෙඩ්රික් එංගල්ස් රාජ්‍යය ඇති වූ සැටි තේරුම් කරන්නට යන විට ඔහු එය පවුල සහ පෞද්ගලික දේපළ ඇතිවීමේ කතාව සමග සම්බන්ධ කිරීමෙන් පෙනී යන්නේ මෙම ක්‍ෂුද්‍ර සහ මහේක්ෂ ආකෘතීන් අතරැති සංකීර්ණ සම්බන්ධය ගැන විදර්ශනාවක් ඔහුට තිබූ බවයි. මේ මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදායේ වලංගුතාව ප්‍රශ්න කරන පඬිවරුන් හට පහසුවෙන් මග හැරී යන මානයකි. නූතන රාජ්‍යයේ මූලික කාර්යයක් වන්නේ පුද්ගලික දේපළ අයිතිය ආරක්ෂා කිරීමයි. ඒ සඳහා නීති, අධිකරණ, පරිපාලන යාන්ත්‍රණ යනාදිය සකස් කොට තිබේ. නැපෝලියානු නීතිය මගින් පීතෘමූලික පවුලට නෛතික පැවැත්මක් දෙනු ලැබුවේ දේපළ අයිතිය පවුල කේන්ද්‍ර කොටගෙන පවතින ආකාරයෙනි. කිසියම් පුද්ගලයෙකු මිය ගිය විට ඔහු හෝ ඇය සතුව තිබූ දේපළ ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයෙකුටම හිමි විය යුතුය යන්න කොතරම් අභව්‍ය නීතියක්ද? නමුත්, දැන් එය අපගේ පොදු ජන අවබෝධය තුළ සොබාවිකකරණය වී පවතී.

පවුල නමැති ආයතනය රාජ්‍යය සහ පුද්ගලික දේපළ ක්‍රමය සමග දක්වන සංකීර්ණ සම්බන්ධය ලුවී අල්තුසර් විසින් කදිමට පැහැදිලි කොට තිබේ. ඔහු පෙන්වා දෙන පරිදි කිසියම් නිෂ්පාදන මාදිලියක් පවත්වා ගැනීම පිණිස එකී නිෂ්පාදනයට අවශ්‍ය භෞතික කොන්දේසි (තාක්ෂණය, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර යනාදිය) පුනර්-නිෂ්පාදනය විය යුතු පරිදිම, නිෂ්පාදන සම්බන්ධතාද පුනර්-නිෂ්පාදනය විය යුතුය. සරලව කිව හොත්, මිනිසුන්ව කම්කරුවන්, නිලධාරීන්, කළමණාකරුවන්, පාරිභෝගිකයින් යනාදී ලෙස නැවත නැවත නිෂ්පාදනය විය යුතුය. දෘෂ්ටිවාදයේ කාර්යභාරය වන්නේ එයයි. අල්තුසර් ඉතාම නිවැරදිව පෙන්වා දෙන පරිදි, පවුල යනු ධනවාදී රාජ්‍යයේ ප්‍රධානතම දෘෂ්ටිවාදී උපකරණයකි. පවුල විසින් මිනිසුන්ව පුද්ගලික ලාභය (මෙය බොහෝ විට දෘෂ්ටිවාදීව වෙස් ගැන්වෙන්නේ පවුලේ දියුණුව ලෙසයි) හඹා යන පරමාණුක සත්ව වර්ගයක් ලෙස පුනර්-නිෂ්පාදනය කරන ආකාරය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. අනෙක් පවුල්වල දරුවන්ව පසු කර යමින් දියුණුව නොහොත් සාර්ථකත්වය නමැති දෘෂ්ටිවාදී පඩිපෙළෙහි ඉහළට නගින්නට අපව පුහුණු කරවන ප්‍රධාන වැඩපළක් වන්නේ පවුලයි. ඒ අරුතින් පවුල යනු සමකාලීන පාරිභෝජනවාදයේ රන් දෙවොල ලෙස හැඳින්විය හැකිය. මාගරට් තැචර් “සමාජය යනුවෙන් දෙයක් පවතින්නේ නැත; සැබවින්ම පවතින්නේ පුද්ගලයින් සහ ඔවුනගේ පවුල් පමණක්” යැයි පැවසීම මේ අනුව පුදුමයට කරුණක් නොවේ.

පවුල නමැති ක්‍ෂුද්‍ර ආකෘතිය එපරිදිම ජාතිය, සංස්කෘතිය, ආගම යනාදී මහේක්ෂ ආකෘතීන් සමගද සම්බන්ධය. ගැටවර වියේදී ආගමක් ධර්මයක් නැති වුන් ලෙස හැසිරුණු බොහොමයක් දෙනා පවුලක් ගොඩ නගන්නට පටන් ගත් වහාම පන්සල්, පල්ලි, දේවාල ගානේ දුවන්නට ගන්නේ එබැවිනි. සිංහල පොදු ජන අවබෝධය තුළ එන “පවුලක් පන්සලක් වෙනවා”ය යන කියමන මේ අරුතින් සත්‍යයට ඉතාම සමීපය. අප සමාජයේ පුද්ගලයින් ලෙස නිරාගමික විය හැකි වුවත් පවුල් ලෙස නිරාගමික වීම අතිශයින් අසීරුය. මෙරට අධිපති පවුල් ආකෘතිය සකස්ව ඇත්තේම පීතෘමූලික සහ ගතානුගතිකවාදී සමාජ සිතීම් සහ චර්යාවන් පුනර්-නිෂ්පාදනය වන ආකාරයෙනි. එය කන්‍යාභාවය පරීක්ෂා කිරීම වැනි අවමානුෂික ගෝත්‍රික චාරිත්‍රවල සිට තවත් පුද්ගලයෙකු කෙරෙහි ජීවිතාන්තය තෙක් නෛතික හිමිකාරත්වයක් පවත්වා ගැනීමේ බලහත්කාරී සහ අවිචාරවත් ක්‍රියාව දක්වා දුරට විහිඳෙන ගතානුගතිකත්වයකි.

ගතානුගතිකත්වය පුනර්-නිෂ්පාදනය වීම

මෙයින් පෙනී යන්නේ ධනවාදය, රාජ්‍යය, ජාතිය වැනි මහේක්ෂ ආකෘතීන් අප දැන හෝ නොදැන අපගේම දෛනික ජීවිතය තුළ පුනර්-නිෂ්පාදනය කරමින් සිටින බවයි. අප එසේ කරන්නේ පවුල වැනි පරමාණුක ව්‍යුහයන් තුළ සාමාන්‍යයීකරණය වී ඇති ජීවිතය වැළඳගැනීමෙනි. අප කරමින් සිටින දෛනික ජීවිතයේ දේශපාලනය එයයි. මා ආරම්භයේදී උපුටා දැක්වූ ශිෂෙක්ගේ ප්‍රශ්නය වැදගත් වන්නේ මෙනිසාය. ඔහු විමසන්නේ අප ඉතාම රැඩිකල් යැයි කල්පනා කරන වෝල් වීදිය අල්ලා ගැනීම වැනි මහජන නැගී සිටීමක් තුළ පවා මෙම දෛනික ජීවිතයේ දේශපාලනය වෙනස් කිරීම සඳහා ඉවහල් විය හැකි ආකාරයේ වෙනස් සබඳතා ආකෘතීන් තනා ගන්නට අප සමත්ව තිබේද යන්නයි.

පවතින අධිපති සමාජ ආකෘතිය අභියෝගයට ලක් කළ හැක්කේ අප එසේ අසම්ප්‍රදායික සහ විමුක්තිකාමී ආකෘතීන් තනන්නට සමත් වේ නම්ය. නිදසුනක් ලෙස, පුද්ගල හිමිකාරත්වය ප්‍රධාන කොට සලකන සමාජ සිතීමට වෙනස්ව යන දරුවන් නිර්මාණය කළ හැක්කේ කවර ආකාරයේ සමාජ-ලිංගික ආකෘතියක් තුළද? මේ ප්‍රශ්නය බරපතලව ගත් ලොව ඇතැම් දේශපාලන ව්‍යාපාර වෙනස් ආකාරයේ ලිංගික සබඳතා ආකෘතීන් හඳුන්වා දෙන්නට ප්‍රයත්න දරා තිබේ. හිපි ව්‍යාපාරය එක් නිදසුනකි. නොඑසේනම්, සමාජ ව්‍යාපාරයක් තුළ ගොඩ නැගෙන මිත්‍රත්වයන්, සහෝදරත්වයන්, අන්‍යොන්‍ය ආදරය සහ කැපවීම යනාදිය වත්මන් පුද්ගලවාදී ජීවන නිෂ්ටාවන් අභියෝගයට ලක් කරන භාවිතයන්ය. ඒවා සමාජයීය පොදු දෙය අරමුණු කොටගත් සබඳතා රටාවන් ය. මහජන සමාරම්භකත්වය තුළින්ම එවන් නව සමාජ ආකෘතීන් ගොඩ නැංවීමේ ක්‍රියාවලියක් අපට පසුගිය මාස කිහිපයේදී අරගල බිම් තුළ නිරීක්ෂණය කළ හැකි විය. සමාජය වෙනස් කිරීමේ දේශපාලනය දිශානත වන්නේ එදෙසටය.

නමුත්, සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයේදී මේ කිසිවක් අදාළ නොවේ. එහිදී අදාළ වන්නේ වැඩි වශයෙන් මහජනයා ආකර්ෂණය කර ගැනීමට උචිත වන පහසු උපක්‍රම මොනවාද යන්නයි. මා මින් පෙරද තර්ක කොට ඇති පරිදි, ජන්ද දිනීමට දරන උත්සාහයේදී බොහෝ විට සමාජයේ දැනටමත් පවතින අධිපති සබඳතාවලට අනුගත වන්නට සිදු වේ. එනයින්, එම සබඳතා රටා පුනර්-නිෂ්පාදනය කරන්නටද සිදු වේ. මේ දිනවල මුහුණු පොත තුළ කිසියම් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ජවිපෙ/ජාජබ නායකයෙකු විහාරයක කොතක් පැළඳවීමට යාමේ පුවතින් කියැවෙන්නේ එවැන්නකි. මින්පෙරද අනුර කුමාර දිසානායක මල්වතු-අස්ගිරි විහාර වඳින්නට යාම ගැන ඇතැම් වාමාංශික කණ්ඩායම් අතුරින් විවේචන එල්ල විය. මා සිතන්නේ ජාජබ මැතිවරණ දේශපාලන ගමන තුළ වඩාත්ම බරපතල ගැටළුව වන්නේ මෙසේ අධිපති සංස්කෘතික සහ ආගමික ආකෘතීන් පුනර්-නිෂ්පාදනය වීමට වඩා පවතින ධනවාදී සබඳතා පුනර්-නිෂ්පාදනය වීම බවයි.

මේ දිනවල ජාජබ විසින් සංවිධානය කරන ඔවුනගේ ප්‍රාදේශීය බල මණ්ඩල රැස්වීම්වල වේදිකා දෙස බැලීමෙන් මෙය මනාව වටහාගත හැකිය. එම වේදිකාවලට ඇරයුම් ලබන්නේ පිළිවෙලට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ වෙනත් වෘත්තිකයින් යන අයයි. (කම්කරු, ගොවි, ධීවර නියෝජිතයින් සිටී නම් ඔවුන් එන්නේ ලැයිස්තුවේ අගටය). මේ සියලුම දෙනා අප සමාජයේ සාර්ථක මධ්‍යම පන්තික ජීවිත පිළිබඳ ජීවමාන නිදසුන්ය. රැස්වීම් පවත්වනු ලබන්නේද රාජ්‍ය උත්සවවල ආකෘතිය අනුයමින් ඉතාම ගරු ගාම්භීර සහ විධිමත් ලීලාවෙනි. එතුළ කැරළිකාරීත්වයකට, රස්තියාදුකමකට නොහොත් අසංවරකමකට ඉඩක් නොමැත. මේ වනාහී පවත්නා අධිපති සබඳතා රාමුව මැතිවරණ දේශපාලනය තුළ පුනර්-ක්‍රියාත්මක වීම පිළිබඳ සංදර්ශනාත්මක නිදර්ශකයකි.

මෑතකදී උදාන් ප්‍රනාන්දු ජාජබ වේදිකාව මත මා මිත්‍ර සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාපා ලියනගේ ගීතයක් ගැයූ ආකාරය ගැන උපහාසාත්මක සඳහනක් සිදු කොට තිබිණ. ඔහු එම දෙදෙනාව හඳුන්වා තිබුණේ මැදි වයසට ආසන්න යුවලක් ලෙසිනි. නමුත්, මගේ අදහස නම් කලා භාවිතය තුළ තරුණයින් වන සමනලී සහ චාපා පෙනී සිට ඇත්තේ මැදි වයසේ (සහ මැද පන්තියේ) දේශපාලන වේදිකාවක් මත බවය. එම වේදිකාවත් ඔවුන් දෙදෙනාගේ ගීතමය සංදර්ශනයත් අතර උදාන්ට කිසියම් නොගැලපීමක් පෙනෙන්නේ එබැවිනි. එතැන එඩ්වර්ඩ් ජයකොඩි වැනි ගායකයෙකු සිටියේ නම් උදාන්ට එවන් නොගැලපීමක් නොපෙනෙන්නට ඉඩ තිබිණ. “සියල්ල විනාශ කරන්න” යන රැඩිකල් සටන් පාඨය සඳහන් ටී ෂර්ට් එකක් හැඳ ජාජබ වේදිකාවේ පෙනී සිටීම මා මිත්‍ර උදාන්ගේ සිනහවට ලක් වීම නම් මට හොඳින්ම තේරුම් ගත හැකිය.

මැතිවරණ ඉලක්ක කරගත් ජවිපෙ/ජාජබ දේශපාලනය තුළ අප සමාජයේ අධිපති සමාජ සබඳතා පුනර්-ක්‍රියාත්මක වීම වඩාත්ම බරපතල ලෙස දිස් වන්නේ ආර්ථිකමය තලයේය. මන්දයත්, දැන් ඔවුනගේ ප්‍රධානතම පණිවිඩය බවට පත්ව තිබෙන්නේ ධනවාදය වඩාත්ම හොඳින් කළමනාකරණය කළ හැකි පක්ෂය තමන්ය යන්නයි. එම පණිවිඩය ඔවුන් මුලින්ම ඉදිරිපත් කළේ 2019 ජනාධිපතිවරණයේදීය. නමුත්, එයට කිසියම් ජනතා ආකර්ෂණයක් හිමිවෙමින් තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයේ පසුබිම තුළය. මෙය වත්මන් යුගයේ ධනවාදයේ හොඳම කළමනාකරුවන් බිහිව ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය තුළින්ය යන ශිෂෙක්ගේ ප්‍රකාශය සිහි ගන්වයි. වත්මන් අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ ධනවාදය දේශපාලනිකව කළමනාකරණය කිරීම සඳහා නව නායකත්වයක් වුවමනාය යන මතය දැන් මෙරට වෘත්තික ශ්‍රේණීන් තුළින් සේම ඇතැම් විදේශීය මැදිහත්කරුවන් තුළින්ද මතුවෙමින් තිබේ. දැනට එම දේශපාලන කළමනාකරණ භූමිකාව සඳහා වන තරඟයට ජවිපෙ/ජාජබ සාර්ථකව ප්‍රවේශ වී සිටින බව පෙනේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයනකරුවන්ගේ සංගමය, ව්‍යාපාරික හවුල් පමණක් නොව එක්සත් ජනපද සහ චීන තානාපති කාර්යාල පවා ජවිපෙ/ජාජබ මුණ ගැසී සාකච්ජා කිරීමට උත්සුක වන එක් හේතුවක් විය හැක්කේ මෙයයි. මෑතකදී ජාජබ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුව දැන් අයි.එම්.එෆ් සමග යාම හැර වෙනත් විකල්පයක් අපට නොමැති බව නිවේදනය කළ අතර, එම කමිටුවේ ඇතැම් සාමාජිකයින් ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තීන් වෙනුවෙන් විවෘතවම පෙනී සිටින බව රහසක් නොවේ.

දෛනික ජීවිතයේ දේශපාලනය

ඉහත විශ්ලේෂණය සාරාංශ කොට පැවසුවහොත්, අපගේ පරමාණුක සබඳතාවල ආකෘතීන් ඔස්සේ රාජ්‍යය, ජාතිය, පීතෘමූලිකත්වය, ජනවාර්ගිකත්වය යනාදී අධිපති බල සබඳතා පුනර්-නිෂ්පාදනය වන අතර බොහෝ විට මැතිවරණ ජයග්‍රහණ මූලික කොටගත් දේශපාලනය තුළ එම ආකෘතීන් වෙනස් කිරීම වෙනුවට ඒවා සමග අනුගත වීමේ නැඹුරුවක් නිරීක්ෂණය කළ හැකිය. එසේනම්, දෛනික ජීවිතයේ දේශපාලන අරගලය පිළිබඳ නව ප්‍රවේශයක් අපට වුවමනා වේ. ‘දෛනික ජීවිතයේ ජනතාවාදය’ පිළිබඳ න්‍යායික සංවාදය සිදුවන්නේ එම අරමුණ වෙනුවෙනි. එම සංවාදය සඳහා කිසියම් අවකාශයක් විවර කරගත හැක්කේ මහජනයාගේ සෘජු දේශපාලන සහභාගීත්වය අවධාරණය කරන මහජන කවුන්සිල ගොඩ නැගීමේ ප්‍රවේශය තුළ බව මගේ අදහසයි.

ඒ අතරම මහජන කවුන්සිලවල නියෝජනයක් පාර්ලිමේන්තුව තුළද පැවතීම තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමේදී ඉතාම වැදගත්ය. දේශපාලන පක්ෂවලට වෙනස්ව යමින් තම නියෝජිතයින් ආපසු කැඳවීමේ බලය අදාළ මහජන කවුන්සිලවලට හිමි වන ක්‍රමවේදයක් ගැන අප කල්පනා කළ යුතුය. ඉදිරි ලිපියකදී මේ කාරණය පුළුල්ව සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.