30 November, 2022

Blog

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය: ඇමති වි⁣ජේදාසට අභියෝගයක්

කරුණාරත්න පරණවිතාන​ –

කරු පරණවිතාන​

අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ. එහෙත් ඔහුම ඒ ගෞරවය කෙළෙසා ගන්නා ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බව සමාජ මාධ්‍ය තුළින් දුටුවෙමි. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද නීති යොදා ගනිමින් ජනමාධ්‍යකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙනි.

අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව ⁣හෙළා දකින අතර එවැනි ක්‍රියාමාර්ගයකට එ⁣රෙහිව පාර්ලිමේන්තුවත් ජනමාධ්‍ය ප්‍රජාවත්, ජනතාවත් උපරිම විරෝධය දැක්විය යුතුය.

අධිකරණ ඇමති වරයා ජනමාධ්‍ය කරුවන් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඇත්තේ තමාගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් අහිතකර අන්දමින් බලපාන මාධ්‍ය වාර්තා ඇතැම් මාධ්‍ය විසින් පළ කර තිබීමය. මෙ රටේ ජනමාධ්‍ය ආයතන වලත් බොහෝ ජනමාධ්‍යකරුවන්ගේත් වෘත්තිකභාවය තුට්ටු දෙකට වැටී ඇති බව ඇත්තකි. දුෂ්ට ජනමාධ්‍ය ප්‍රහාර නිසා නිකරුනේ ප්‍රතිරූපවලට හානි සිදු වූ දේශපාලනඥයන් ඇතුලු ප්‍රසිද්ධ චරිත ගණනාවක්ම අපට නමින්ම පෙන්වා දිය හැකිය. එහෙත් මේ ජනමාධ්‍ය අවභාවිතාවට පිළියම් සෙවිය යුත්තේ ඊටත් වඩා දරුණු ලෙස රටේ නීතිය අවභාවිත⁣ කරමින් නොවේ. විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ එවැනි දරුණු නීති අවභාවිතාවකි.

ජනතා නියෝජිතයන් ලෙස මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇත. උදාහරණයක් ලෙස අපහාස වරදකට හසුවීමේ බියකින් තොරව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කතා කිරීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සීමා බන්ධන වලට යටත් නොවී කතා කළ යුතු බව පූර්ව නිශ්චිත කරුණක් බැවිනි.

එහෙත් මන්ත්‍රී වරප්‍රසාද යනු දෙවියන් වහන්සේගේ නීතිය නොවේ. ඒවාද ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක වටිනාකම් මත පදනම් විය යුතුය. හැම නීතියක් මෙන්ම වරප්‍රසාද නීතියද ස්වභාවික යුක්තියේ නීති මූලධර්ම වලට (narural justice principles) එකඟ විය යුතු බව එවැනි වැදගත් හරයාත්මක වටිනාකමකි. කිසිම තැනැත්තෙක් තමන්ගේම නඩුවේ විනිශ්චය කරුවා නොවිය යුතුය යන්න ස්වාභාවික යුක්තියේ ගැඹුරු මූල ධර්මයකි. (Nemo Judex in Causa Sua)

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය මිස අධිකරණය නොවේ. නීතිය අනුව නඩු අසා දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස ව්‍යවස්ථාදායකයට නොවේ. විජේදාස රාජපක්ෂ මහතා මේ අනියමින් යෝජනා කරන්නේ නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකරණය සතු ඇති බලය පාර්ලිමේන්තුව විසින් යළි පැහැර ගත යුතු බව නොවේද? මෙය ස්වාභාවික යුක්තියේ වැදගත් මූල ධර්මයකට පයින් ගැසීමකි. එසේම මෙයට ඉඩ දුනහොත් යුක්තිය උල්ලංඝනය වීම මෙතැනින් නතර වන්නේද නැත.එහෙයින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට අප එක හඬින් එරෙහි විය යුතුය.
සමාජයේ වැඩි දෙනෙකු එරෙහි වන බවට සැකයක් නැත. අප බලා සිටින්නේ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් තම වරප්‍රසාද වලට ඉහලින් ස්වාභාවික යුක්තිය තබමින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට එරෙහිව කටයුතු කරන්නේද යන්න පිළිබඳවය.

*කරු පරණවිතාන, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Mr Paranawithana,
    .
    https://www.youtube.com/watch?v=j9ILKaAkDok
    .
    This country is a mess today.

  • 3
    0

    තමන්ට පුළුවන්ද තමන්ට ලැබෙන පොඩි පොඩි පුද්ගලික වාසි අත ඇරලා පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටින්න? පුද්ගලික බැඳියාවන් අමතක කරලා පොදු දෙයක් වෙනුවෙන් කෙළින් හිටගන්න?
    තමන්ට පුළුවන්ද ප්‍රතිලාභවලට, ආණ්ඩුවේ රස්සාවලට, හිතවත්කම්වලට, කුල සම්බන්ධකම්වලට, උඩු රැවුලට, ළමයි ඉන්නවට, බඩට තට්ටු කරන එකට, මූණ ඉඹින එකට වහල් වෙලා ඡන්දය නොදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න?
    තමන්ට පුළුවන්ද දැන හැඳුනුම්කම් පාවිච්චි කරන්නේ නැතුව, පගා දෙන්නේ නැතුව, පෝලිම් පනින්නේ නැතුව ආණ්ඩුවේ කාර්‍යාලයකින් විධිමත් ක්‍රමයට වැඩක් කරගන්න?
    තමන්ට පුළුවන්ද බොරු කරන්නේ නැතුව, වංචා කරන්නේ නැතුව, කට්ටි පනින්නේ නැතිව තමන් ගේ රාජකාරිය අකුරට ම ඉටු කරන්න?
    ලංකාවේ එහෙම මිනිස්සු බිහිවුණු දවසට කොහොමටත් ඔය කියන ‘සිස්ටම් චේන්ජ්’ එක වෙනවා. එතකල් මොන චේන්ජ් එක කරන්න ගියත් අවසානයේ කැරකෙන්නේ එක ම තැනකමයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.