28 March, 2024

Blog

අහිමි වූ නිෂ්ටාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

“හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනව. මේ හුයන්න හරියන්නේ නෑ මුං එක්ක. පුළුවන් එකෙක් අඩුම තරමෙ තමුන්ගෙ ගේ ඉස්සරහ පාරට හරි බැහැපල්ලා.” එක්තරා සමාජ ජාල පිටුවක මේ ප්‍රකාශය පළව තිබුණේ පසුගිය වසරේ මාර්තු 29 වෙනිදාය. ඉනික්බිති උදා වූ සති කිහිපය තුළදී නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ විශාලතම මහජන නැගී සිටීම සිදු වනු ඇතැයි එය ලියූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති තරුණ සමාජ ක්‍රියාකාරිකයා දැන නොසිටින්නට ඇත. ගාලු මුවදොරට ගලා එන ලක්ෂ ගණනක ජන ගඟක් ගැන ඒ මොහොතේ පරිකල්පනය කළ හැකිව තිබුණේ කා හටද? නමුත්, ඒ ඓතිහාසික සංසිද්ධියට තුඩු දුන් සාමූහික සමාජ මනෝභාවය අද අප හැර ගොස් සිටින බුද්ධි ප්‍රබෝධගේ ප්‍රකාශය තුළ මනාව සංගෘහිතව තිබිණ. ඒ අරුතින් ඔහු කිසිවෙකුටත් නිශ්චිතව පෙර දැකිය නොහැකි වූ දේශපාලනික සංසිද්ධියක පළමු සාක්ෂිකරුවන් කිහිප දෙනාගෙන් අයෙකු විය. සැබවින්ම ඔහු එම ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු පමණක් නොව එහි නිර්මාපකයෙකුද විය.

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

බුද්ධි ප්‍රබෝධගේ ප්‍රකාශය (සහ මැදිහත්වීම) අපට ඉතිහාසය තුළ මිනිසාගේ විෂයීය මැදිහත්වීම (subjective intervention) පිළිබඳ කදිම න්‍යායික පාඩමක් උගන්වයි. ඔහු කාටත් තේරෙන භාෂාවෙන් පවසා ඇත්තේ කුමක්ද? පවත්නා දේශපාලන සංස්ථාපිතය ගැන තවදුරටත් විශ්වාසය රැඳවිය නොහැකිය යන්නයි. මෙතැන අප මදක් නතර වී විමසා බැලිය යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, බුද්ධි ප්‍රබෝධ ඇතුළු අතිවිශාල ජනතාවකගේ කළකිරීමට ලක් වූ දේශපාලන බලාධිකාරය වනාහී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ රීතීන්ට පිටතින් ගොඩ නැගුණක් නොවූයේය යන්නයි. කවුරුත් දන්නා පරිදි, එය හැට නම ලක්ෂයක කැමැත්ත නියෝජනය කළ එකක් විය. එසේම, එය බලය අභ්‍යාස කරමින් සිටියේ විධිමත් ආයතනික රාමුවක් මගිනි. එය නෛතික සහ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව ක්‍රමවත්ව තෝරා පත් කරගනු ලැබූ ආණ්ඩුවක් විය. එම පාලනය කෙරෙහි ජනතා විශ්වාසය (සහ එනයින් සුජාතභාවය) ගොඩ නැගුණේ එය පදනම් වූ කතා ආඛ්‍යානයන් දෙකක් මුල් කොට ගනිමිනි. පළමු කතා ආඛ්‍යානය නම් රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයේ සුපුරුදු ජාතිකවාදී සහ සංවර්ධන ආඛ්‍යානයයි. දෙවැන්න වඩා මූලධාර්මික වූවකි. එනම්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳ ‘පදනම් කතාන්දරයයි.’ සරලව, යමෙකු කිසියම් ආණ්ඩුවක් විශ්වාස කිරීමට පෙර එම ආණ්ඩුව බලයට පත් වන ක්‍රමවේදය විශ්වාස කළ යුතුය. තමන් එය මුළුමනින්ම විශ්වාස නොකළද, අන් අය එය විශ්වාස කරන බව විශ්වාස කළ යුතුය. මන්ද යත්, අප විශ්වාස කරන්නේ අනෙකාගේ විශ්වාසයයි. මෙම සාමූහික විශ්වාසය රාමුගත වී පවතින්නේ කිසියම් කතාන්දරයක ස්වරූපයෙනි. නිදසුනක් ලෙස, “ස්වාධිපති බලය පවතින්නේ ජනතාව සතුවය, එම ජනතාව අතර සම්මුතියක් පවතීය, එම සම්මුතිය අනුව ජනතාව තම බලය ක්‍රියාවට නැගීමට තම නියෝජිතයින් තෝරා පත් කර ගන්නේය” යන කතාන්දරය ගත හැකිය. අන් කවර කතාන්දරයක් සේම මෙම කතාන්දරයද ප්‍රබන්ධයකි. නමුත්, අප එම ප්‍රබන්ධය යථාර්තයක් යැයි සාමූහිකව විශ්වාස කරන තාක් දුරට එය අර්බුදයකින් තොරව ක්‍රියාත්මක වේ. ඉතිහාසයෙහි ඊනියා සාමාන්‍ය කාලවල පවතින තත්ත්වය එයයි. නමුත්, අර්බුද සමයකදී සිදුවන්නේ එතෙක් කලක් දේශපාලන ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය ගොඩ නැංවූ කතාන්දරය ගැන සැක සංකා පහළ වීමයි; එකී කතාන්දරයේ අස්ථාවරත්වය හෙළිදරව් වීමයි; එහි ප්‍රබන්ධමය ස්වරූපය ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගැනීමයි.

පසුගිය වසරේ මහජන නැගී සිටීමෙන් සංකේතවත් වූයේ රාජපක්ෂ පාලනාධිකාරයට සුජාතභාවයක් ලබා දුන් කතා ආඛ්‍යානය කෙරෙහි පැවති පොදු විශ්වාසය බරපතල ලෙස බිඳ වැටීමයි. නමුත්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ‘පදනම් කතාන්දරය’ කෙරෙහි වූ විශ්වාසය තවමත් ඉතිරිව පැවතිණ (රැඩිකල් වාමාංශය තුළ හැර). මෑතක් වන තුරු පැවති ජවිපෙ/ජාජබ සහ සජබ මැතිවරණ රැල්ලෙන් ගම්‍ය වූයේ එයයි. අඩු තරමින් සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් මගින් කිසියම් අවම දේශපාලන පරිවර්තනයක් හෝ දිනා ගත හැකි යැයි සැලකිය යුතු ජන සමූහයක් විශ්වාස කළ බව එයින් හැඟේ. ජනතාවටත් වඩා එවැන්නක් විශ්වාස කළේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නායකත්වයන්ය. විශේෂයෙන්ම මෙරට තුළ නියෝජන ප්‍රජාතාන්ත්‍රික ආයතන, නෛතික විධිවිධාන සහ ක්‍රියා පටිපාටීන් තවදුරටත් නිසියාකාරව ක්‍රියාත්මක වෙතැයි ජවිපෙ/ජාජබ නායකත්වය විශ්වාස කළ බව පෙනේ. මැතිවරණයක් දිනා ගැනීම සඳහා වුවත් ජනතා අරගලයක් අවශ්‍ය බවත් එවන් අරගලයක් තනි පක්ෂයක නායකත්වය යටතේ ප්‍රායෝගිකව දියත් කළ නොහැකි බවත් පළාත් පාලන මැතිවරණ ආන්දෝලනය පැවති පසුගිය සතිවලදී බොහොමයක් විචාරකයින් පෙන්වා දුන්නද, ජවිපෙ/ජාජබ නායකත්වය එය එතරම් ගණනකට ගත්තේ නැත. ඒ වෙනුවට, ඊනියා සාමාන්‍ය ක්‍රමවේදය අනුව මැතිවරණය ලැබෙන්නට නියමිත යැයි ඔවුන් විශ්වාස කළ සෙයකි.

සරදම්ජනක ලෙස, අරගලයෙන් පසු අදියරේදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නමැති කතාන්දරයේ ප්‍රබන්ධමය ස්වභාවය ප්‍රතීයමාන කරමින් සිටින්නේ කිසිදු විපාක්ෂික නායකත්වයක් විසින් නොව වික්‍රමසිංහගේ දක්ෂිණාංශික නායකත්වය විසිනි. එය දැන් අප හමුවේ ඉදිරිපත් කොට තිබෙන උභතෝකෝටිකය වන්නේ කිසිදු ජන වරමකින් තොරව, මැතිවරණ පැවැත්වීමෙන්ද තොරව, ආන්තික සමාජ කණ්ඩායම් වඩ වඩාත් පීඩනයට ලක් වන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තීන්ද ක්‍රියාවට නගමින් බලයේ රැඳී සිටිය හැක්කේ කෙසේද යන්නයි. මේ වියහැකියාව තේරුම් කරන්නට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා ආඛ්‍යානය අසමත්ය. මන්ද යත්, එම ආඛ්‍යානයට අනුව දැන් ජන වරමකින් තොර පාලනයට එරෙහිව වීදි මහජනයාගෙන් පිරී තිබිය යුතුය. එය හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් යැයි යමෙකු පැවසිය හැකිය. නමුත්, වත්මන් තත්ත්වයේ සුවිශේෂකත්වය තේරුම් කරන්නට එවන් ප්‍රතිචාරයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ වෙනුවට, එය තේරුම් කළ හැක්කේ දේශපාලනය තුළ පවතින සියළු ප්‍රබන්ධමය කතාන්දරවලට (ජාතිකත්වය, සංවර්ධනය, සමාජ සම්මුතිය යනාදී) ඔබ්බෙන් පවතින බලය සහ පසමිතුරුතාව රජයන නග්න දේශපාලනිකයේ කලාපය ගවේෂණය කිරීම මගිනි.

අරගලය සමයේදී එකී දේශපාලනිකයේ කලාපය ග්‍රහණයට ගෙන තිබුණේ බුද්ධි ප්‍රබෝධලා විසිනි. “මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනවා” යැයි ඔහුට පැවසිය හැකි වූයේ එබැවිනි. ඔහු එසේ පැවසුවේ තමන් අබිමුව තිබෙන (තමන්ද අයත්) සහ තමන් විශ්වාස කළ යථාර්තය වනාහී හුදෙක් ප්‍රබන්ධයක් පමණක් බව පසක් කළ නිමේෂයකය. අර්නෙස්ටෝ ලැක්ලාවූ පැවසූ පරිදි, මිනිස් විෂය (subject) පැන නගින්නේ අප යථාර්තය යැයි හඳුන්වනු ලබන සංකේතීය පිළිවෙළෙහි අස්ථාවරත්වය අපට අභිමුඛ වූ විටය. අරගලය වියහැකියාවක් වූයේ බුද්ධි ප්‍රබෝධලා සංකේතීය යථාර්තයෙහි රීතීන් ඉක්මවා ගොස් තමන් යථාර්තය අළුතින් ගොඩ නගන්නන් බවට තමන්වම පරිවර්තනය කර ගත් මොහොතේදීය. නමුත්, දැන් සිදුවෙමින් පවතින්නේ මධ්‍ය-වාමාංශයද ඇතුළු ප්‍රගතිශීලී නායකත්වයන් සංකේතීය යථාර්ථයෙහි රීතීන් අධික ලෙස විශ්වාස කරමින් දේශපාලනිකව අකර්මණ්‍යව සිටින අතර දේශපාලනිකයේ කලාපය දක්ෂිණාංශයේ ග්‍රහණයට ලක් වීමයි. එනයින්, සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වෙමින් පැවතීමයි. අරගලය තුළ ප්‍රකාශයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා ගැඹුරු හා හරයාත්මක පරිවර්තනයක් පිළිබඳ නිෂ්ටාව වෙනුවට පාරිභෝජනවාදී සිහිනය ආදේශ වීමයි. බුද්ධි ප්‍රබෝධලා හට සිය දිවි හානි කරගන්නට සිදු නොවන ආකාරයේ සිස්ටම් චේන්ජ් එකක් සඳහා අරගලයේ අවසන් නොවූ නිෂ්ටාවන් වෙත අප සමාජයක් ලෙස ආපසු හැරිය යුතු නොවේද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.