21 April, 2026

Blog

ජනවාර්ගික ජාතිකවාදී විපක්ෂය සහ ආණ්ඩුවේ දෘෂ්ටිවාදී දුබලතා

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

ලිබරල්වාදියෙකුගේ සම මතුපිට මදක් සූරා බැලූ විට යටින් සිටින ජාතිකවාදියා මුණ ගැසෙනු ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් වරක් පැවසීය. ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තු විපක්ෂය සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කදිමට ගැලපේ. මෙරට ලිබරල්වාදීන්ගේ සහ පශ්චාත් නූතනවාදීන්ගේ ආදර්ශ පක්ෂය ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂය මේ දිනවල නිරත වෙමින් සිටින්නේ ජාතික දේශපාලනය තුළ නාමල් රාජපක්ෂව ඉහළට ඔසවා තැබීමේ සංදර්ශනයක් බවට පත්වීමට නියමිත නොවැම්බර් 21 රැස්වීම සාර්ථක කරගැනීමේ ප්‍රයත්නයකය. සැබවින්ම මෙය කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. 2022 අරගලයෙන් පසුව ජන්දයෙන් තේරී පත් නොවූ ජනාධිපතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පාලනය කළේ පොහොට්ටු පක්ෂයේ සක්‍රීය සහයෝගය ඇතිවය. තමන්ට සහාය ලබා දෙන අයව තමන් ආරක්ෂා කරන බව වික්‍රමසිංහ එකල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඔහු පෙරට ගෙන යන එජාපයේ ජයවර්ධන සම්ප්‍රදාය යනු ජනවාර්ගික හිංසනය සහ රාජ්‍ය ත්‍රස්තවාදය සමග අතිනත ගත් ආර්ථික ලිබරල්වාදී සම්ප්‍රදායකි. මෑත දිනෙක පාර්ලිමේන්තු විවාදයකදී බිමල් රත්නායක අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි එජාප ආණ්ඩුව 1981 යාපනය පුස්තකාලය ගිනි තබමින් ජන්ද මංකොල්ලයක යෙදුනේත් 1983 ජනවාර්ගික සංහාරයක් ක්‍රියාත්මක කළේත් එම ජයවර්ධන දේශපාලන සම්ප්‍රදාය අනුවය. එය 1980 දශකයේ එක්සත් රාජධානිය තුළ මාගරට් තැචර් සහ එක්සත් ජනපදය තුළ රොනල්ඩ් රේගන් විසින් ක්‍රියාත්මක කරන ලද දේශපාලන මොඩලයට සමානය. ඩේවිඩ් හාවී කදිමට පෙන්වා දෙන පරිදි නව-ලිබරල්වාදය නව-ගතානුගතිකවාදී දේශපාලනය සමග අතිනත ගෙන යයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ජනවාර්ගික ජාතිකවාදය සම්බන්ධයෙන් දරන ස්ථාවරය වික්‍රමසිංහගෙන් වෙනස් වන්නේද? මේ දිනවල ඇතැම් සජබ හිතවාදී ලිබරල් බුද්ධිමතුන් උත්සාහ දරන්නේ එය එසේ යැයි පෙන්වා දෙන්නටය. කොටින්ම ජාතිකවාදී විපක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය යනුවෙන් විපක්ෂ කඳවුරු දෙකක් පවතින බව පෙන්වා දෙන්නට ඔවුහු විශාල ප්‍රයත්නයක යෙදෙති. මේ කියන ජාතිකවාදී විපක්ෂ කඳවුර නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂ කඳවුර නියෝජනය කරන්නේ සජබ බවත් හඟවනු ලැබේ. (එජාපය දැනටමත් රාජපක්ෂවරුන් සමග ඇති තමන්ගේ සම්බන්ධය හෙළිදරව් කොට ඇති බැවින් එයට ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි හැන්දවීම අසීරු යැයි සිතෙනවා විය යුතුය!) රාජපක්ෂලාගේ කිළිටි සෝදාගැනීම ඔවුනටම පවරා ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ස්වාධීනව කටයුතු කළ යුතු යැයි පවසන ලාංකීය ලිබරල්වාදීන්ගේ ආයාචනය යොමුවන්නේ සජබට බව සිතා ගැනීම අපහසු නැත.

නමුත් සජබ හිතවාදී ලිබරල්වාදීන්ගේ අවාසනාවට, රාජපක්ෂලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත නුගේගොඩ රැස්වීම කෙරෙහි ඇති සජබ පක්ෂපාතීත්වය කිහිපවරක්ම ප්‍රසිද්ධියට පත්ව අවසන්ය. සජබ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම එම රැස්වීමට තමන් සහභාගී විය යුතු බව ආරම්භයේ සිටම ප්‍රකාශ කළහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශකවරයාද ඒ අතර විය. සජබ නායකත්වය අදාළ රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් පසුවත් පක්ෂයේ ඇතැම් ඉහළ පෙළේ ප්‍රකාශකයෝ තවමත් එයට සුබ පැතුම් එක් කරමින් සිටිති. (ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘දිනන දකුණ’ බුද්ධිමය කවයද නොවැම්බර් 21 රැස්වීමට සුබ පැතුම් නිකුත් කළේය! ඔවුන් දකුණ දිනවන්නට යන්නේ නාමල් රාජපක්ෂ පෙරමුණෙහි තබාගෙන විය යුතුය).

ජනවාර්ගික සුළුතරයේ විපක්ෂ විරෝධය

මෙසේ එජාපය සහ සජබය රාජපක්ෂ කඳවුර දෙසට සමීප වීමට සමාන්තරව ලාංකීය පක්ෂ දේශපාලනයට අදාළව තවත් වැදගත් නව ප්‍රවණතාවක් පසුගිය සතිය තුළදී නිරීක්ෂණය කළ හැකි විය. එනම්, මෙතෙක් කලක් එජාපය හෝ සජබය සමග සන්ධානගත වීමට වැඩි නැඹුරුතාවක් දැක්වූ සුළුතර ජනවාර්ගික පදනමක් සහිත පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින් ජාජබ ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වීමට යොමු වීමයි. ඔවුන් ඇතැමෙකු එජාප/සජබ නායකත්වය දැඩිව විවේචනයට ලක් කරන තරම් දුරකට ගියහ. මෙම ප්‍රවණතාව පසුගිය සතියේ දේශපාලන ලෝකය තුළ විශාල අවධානයකට ලක් වූ සිද්ධීන් දෙකක් ඇසුරින් පැහැදිලි කළ හැකිය.

පළමුවැන්න, ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණයට සජබ මන්ත්‍රීවරුන් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් එහි ප්‍රතිපලයක් ලෙස මෙතෙක් කලක් සජබට සහාය දැක්වූ වතුකරයේ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ සජබෙන් දුරස් වීමත්ය. සජබ මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ආණ්ඩුවේ තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසමට පැමිණිලි කරන තරම් දුරකට ගමන් කළාය. ඔවුනගේ තර්කය වූයේ පුද්ගලික සමාගම් විසින් ගෙවිය යුතු වැටුප්වලින් කොටසක් ගෙවීම සඳහා ජනතා බදු මුදල් වැය කිරීම වැරදි ක්‍රියාවක් බවයි. බැලූ බැල්මට ජනතාවාදී යැයි පෙනෙන මෙම කියා පෑම ගැඹුරින් විමසා බැලූ කල එසේ නොවන බව වටහා ගැනීම අසීරු නැත. පළමුව, ආණ්ඩුව ජනතා බදු මුදල් මගින් ගෙවන දීමනාව එකතු කරනු ලබන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුපටය. ආණ්ඩුව මේ සඳහා ජනතා බදු මුදල් වැය නොකරන්නේ නම් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ ඒ සඳහා සමාගම්වලට බල කිරීමය. එසේ කිරීම සඳහා ජවිපෙ/ජාජබට වඩා දේශපාලන අධිෂ්ඨානයක් සජබ සතුව ඇතැයි විශ්වාස කළ හැකිද? සජබ අනුයන නිදහස් වෙළඳපළ ප්‍රතිපත්තිය තුළින් එවැන්නක් අපේක්ෂා කළ හැකිද? වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා එම කම්කරු ප්‍රජාවට ඒත්තු යන සුළු ආකාරයේ විකල්ප ක්‍රියාමාර්ගයක් යෝජනා කිරීමෙන් තොරව ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් සජබ මන්ත්‍රීන් අපේක්ෂා කළේ කුමක්ද?

ඔවුන් කුමක් අපේක්ෂා කළද ඔවුනට ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන පක්ෂ වෙතින් ලැබිණ. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා සජබට වටහාගත නොහැකි වූ දේශපාලන යථාර්ථයක් කදිමට පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ සියවස් දෙකක පමණ කාලයක් පුරා සූරාකෑමට ලක් වූ වතු කම්කරු ප්‍රජාවට වැටුප් වැඩි කිරීම සඳහා ජනතා බදු මුදල් වැය කිරීමේ ඇති ගැටළුව කුමක්ද යනුවෙනි. මේ කාරණය දෙස අප බැලිය යුත්තේ ඓතිහාසික යුක්තිය ඉටු කිරීමේ දෘෂ්ටියෙන්ය යන්න දිගම්බරම්ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. නමුත්, සජබ ප්‍රතිචාරයෙන් ප්‍රකාශමාන වූයේ මෙතෙක් කලක් තමන් සමග සන්ධානගතව සිටි වතුකරයේ ප්‍රජාව නියෝජනය කරන නායකත්වයන්ගේ හැඟීම් සහ අභිලාෂයන් වටහා ගන්නට පවා සජබ නායකත්වය අසමත් වූ බවයි. එහි ප්‍රතිපලය වූයේ කුමක්ද? දිගම්බරම්, මනෝ ගනේෂන් සහ වී. රාධක්‍රිෂ්නන් යන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පමණක් නොව එජාපය සමග සන්ධානගතව සිටි ජීවන් තොණ්ඩමන් පවා ආණ්ඩුවේ අයවැය යෝජනාවලට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ. වතු කම්කරු ප්‍රජාවේ දේශපාලන ප්‍රතිචාරය වඩාත් තියුණු එකක් විය. ඔවුනගේ නියෝජිතයන් මෙතෙක් කලක් සහාය දැක්වූ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ නායකයින්ගේ පඹයන් පුළුස්සා දමන තරම් දුරකට ඔවුහු ගමන් කළහ. තමන් වතු කම්කරු වැටුප් වැඩි කිරීමට පක්ෂ යැයි පසුව විපක්ෂ නායකයා ප්‍රකාශයට පත් කළද එවිට ඔහු බොහෝ ප්‍රමාද වැඩිය. 1970 දශකයේ අග භාගයේ පටන් මෙරට දක්ෂිණාංශික දේශපාලනයේ ප්‍රධාන ධාරාව සමග අඛණ්ඩව සන්ධානගතව සිටි වතු කම්කරු ප්‍රජාව පළමු වරට තීරණාත්මක ලෙස දකුණට එරෙහිව සිට ගත් මොහොතක් එළැඹි බව ඇතැම් විට ඔහු තවමත් වටහාගෙන නොමැතිවා වන්නට පුළුවන. කෙසේ වුවද, මෙය ලාංකීය පක්ෂ දේශපාලනයේ වෙනස් වන ගතිකතා පිළිබඳව සටහන් කරගත යුතු තරම් වටිනා සංසිද්ධියකි.
ත්‍රිකුණාමලයේ ජනවර්ගවාදී ප්‍රසාංගිකත්වය

මෙරට ප්‍රධාන විපක්ෂය සහ සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් අතර සබඳතා පළුදු වීමට තුඩු දුන් දෙවන ආසන්න සිද්ධිය පැන නැගුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බෞද්ධ පන්සලක් පිහිටි ස්ථානයක අනවසර ඉදි කිරීමක් ඉවත් කිරීමට පොලිසිය මැදිහත්වීමෙනි. එහිදී නිර්මාණය වූ ආන්දෝලනය ආණ්ඩු විරෝධී මාධ්‍ය සංදර්ශනයක් බවට පරිවර්තනය කරන්නට කිසියම් පිරිසක් දැනුවත්ව හා සංවිධානාත්මකව ප්‍රයත්න දරා ඇති බව පෙනෙන්නේ සිද්ධියට සම්බන්ධ ඇතැම් භික්ෂූන් ජාතිවාදී උසි ගැන්වීම් සඳහා කුප්‍රසිද්ධ අයවළුන් වීම නිසාය. පිටත සිට පැමිණ සිද්ධියට මැදිහත් වූ බව පෙනෙන එම චීවරධාරීන් හට රාජපක්ෂවරුන් සමග ඇති දේශපාලන සම්බන්ධය කිසිවෙකුටත් රහසක් නොවේ. මෙම සිද්ධියට මාධ්‍ය අවධානය යොමු වීමත් සමග සජබ නායක සජිත් ප්‍රේමදාස සහ දයාසිරි ජයසේකර එය පාර්ලිමේන්තුවේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් කර ගත්හ. ඔවුන් දෙදෙනා සමග එක්ව සර්වජන පක්ෂයේ දිලිත් ජයවීර බෞද්ධ සාසනයට එරෙහි මර්දනයක් පිළිබඳ ඉපැරණි කතාන්දරය යළි නිර්මාණය කරන්නට ප්‍රයත්න දැරීය. මෙම විවාදයේදී සජිත්, දයාසිරි සහ දිලිත් විසින් පුනරුච්චාරණය කරන්නට යෙදුණු දෘෂ්ටිවාදී භාෂාව වනාහි රාජපක්ෂවරුන්ගේ භාෂාවමය.

මෙම පාර්ලිමේන්තු විවාදයේ අතිශය අවධානයට ලක් වූ කාරණයක් බවට පත් වූයේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ශානකියන් රාසමනිකම් විසින් කරන ලද ප්‍රකාශයයි. තමන් අසල හිඳගෙන සිටි දිලිත් ජයවීරගේ නමද සඳහන් කරමින් ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ත්‍රිකුණාමලයේ සිද්ධිය ජාතිවාදී ගැටුමක් බවට පරිවර්තනය කර නොගන්නා ලෙසයි. එම සිද්ධිය නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිත නොවැම්බර් 21 රැස්වීමට සෙනග ගෙන්වීමේ අරමුණින් නිර්මාණය කරන ලද්දක් විය හැකිය යන්න ඔහුගේ අදහස විය. ඔහුගේ ප්‍රකාශයේ දේශපාලන අරුත වූයේ සජිත්, දයාසිරි සහ දිලිත් ඇතුළු පිරිස ආණ්ඩු විරෝධී ජන මතයක් ගොඩ නැගීම සඳහා සිංහල-බෞද්ධ ජනවාර්ගික ජාතිකවාදී දෘෂ්ටිවාදය පුනරුච්චාරණය කරන විටදී දෙමළ නායකයින් ඊට වෙනස් ස්ථාවරයක් ගැනීමට පසුබට නොවන බවයි. මෙම සිද්ධියේදීද සජබ සහ සජබට මෙතෙක් සහාය දැක්වූ දෙමළ දේශපාලන නියෝජිතයින් අතර සංකේතාත්මක දුරස්ථභාවය කැපී පෙනෙන ලෙස සටහන් විය. ශූර දේශපාලන නායකයෙකු වන අනුර කුමාර දිසානායක කිසිදු ප්‍රමාදයකින් තොරව උතුරේ ගැටළු සාකච්ජා කිරීම සඳහා දෙමළ දේශපාලන නායකයින් සමග හමුවක් සංවිධානය කළේය.

යුද්දෙට නැති දෘෂ්ටිවාදී කඩු

ඉහත සිද්ධීන් දෙකම සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් සහ ප්‍රධාන විපක්ෂය එකිනෙකින් දුරස් කරන්නා වූ ඒවා වුවත් ආණ්ඩුව ඒවාට ප්‍රතිචාර දැක්වූ ආකාරය එතරම් සාර්ථක යැයි කිව නොහැකිය. වතුකරයේ විපක්ෂ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු අය වැය යෝජනාවලට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම යනු හුදෙක් විපක්ෂය අන්ද මන්ද කිරීමට තමන් සමත් විණැයි පවසා උදම් ඇනීමෙන් නතර විය යුතු ආකාරයේ සිද්ධියක් නොවේ. මෙරට වඩාත්ම පීඩාවට පත්ව සිටින වතුකරයේ ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පොදු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ආණ්ඩුව දැන් එම සුළුතර ප්‍රජාවේ නායකයින් හට ආරාධනා කළ යුතු නොවේද? තොන්ඩමන්ගේ වතු කම්කරු සංගමය තුළ කෙසේ වෙතත් මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තුළ මධ්‍ය-වාමාංශික ව්‍යාපාරයක් විසින් සලකා බැලිය යුතු ආකාරයේ ජනතාවාදී අන්තර්ගතයක් නොපවතීද? විශේෂයෙන්ම වතුකරයේ සහ කොළඹ නගරයේ ආන්තිකකරණයට ලක්ව සිටින සුළුතර කම්කරු ප්‍රජාවගේ සුභසාධන අයිතීන් දිනා ගැනීමේදී ඔවුනගේ දායකත්වය මග හැරිය නොහැකිය. ඔවුන් දැන් සජබ සමග වැඩ කරමින් සිටියද ඉතිහාසයේ නොයෙක් අවස්ථාවලදී වාමාංශික ව්‍යාපාරය සමග සමීපව කටයුතු කර තිබේ.

ජවිපෙ/ජාජබ වඩාත්ම දුබලභාවයක් ප්‍රකට කරන ලද්දේ ත්‍රිකුණාමලයේ ජාතිවාදී ඇවිලවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදීය. එය නිසැකවම දෘෂ්ටිවාදී අරගලය පිළිබඳ ක්ෂේත්‍රයේදී ජවිපෙ දක්වන දුබලතාවක පැහැදිලි ප්‍රකාශමාන වීමක් ලෙස සැලකිය හැකිය. ආරම්භයේදී දෘෂ්ටිවාදී තලයේ ජයග්‍රහණය හිමි වූ බව පෙනුනේ රාජපක්ෂ හිතවාදී චීවරධාරීන් කිහිපදෙනා ප්‍රමුඛ ජාතිවාදී ගිනි අවුලවන්නන් හටය. එයට සෘජුව හා ප්‍රබලව අභියෝග කරන්නට ආණ්ඩුව පසුබට වන විට දෘෂ්ටිවාදී අරගලය තම අතට ගෙන මෙහෙයවූයේ ආණ්ඩුවට පිටතින් සිට සහාය දක්වන ‘ජන බලය’ සංවිධානය, සහ අරගලයේ උරුමය නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වැනි කණ්ඩායම්ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයින්ද ජාතිවාදී ප්‍රකෝපකරුවන්ට නොබියව ප්‍රහාර එල්ල කළහ. ජනවාර්ගික ජාතිකවාදී විපක්ෂයට දෘෂ්ටිවාදීමය තලය තුළ මුහුණ දීම සඳහා වත්මන් මධ්‍ය-වාමාංශික ආණ්ඩුවට පිටතින් සිට සහාය දක්වන විවේචක බුද්ධිමය, සදාචාරමය ධාරාවක් අවශ්‍ය වේය යන්න මේ සිද්ධියේදී හොඳින්ම පැහැදිලි විය.

වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව තමන් සතු දෘෂ්ටිවාදී යාන්ත්‍රණ හසුරුවන්නට දක්වන අසමත්කම දෙස බැලූ විට මට සිහියට නැගෙන්නේ “යුද්දෙට නැති කඩුව කොස් කොටන්නදැයි” සිංහල ජන වහරේ එන ප්‍රශ්නයයි. ආණ්ඩුව සතුව ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා දෙකක් ඇතුළු බලවත් දෘෂ්ටිවාදී උපකරණ රාශියක් පවතී. ඊට අමතරව ලුවී අල්තුසර්ගේ ‘දෘෂ්ටිවාදය සහ දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ’ නමැති ලියැවිල්ලත් නෝම් චොම්ස්කිගේ ‘කැමැත්ත නිර්මාණය කිරීම’ (manufacturing consent) නමැති කෘතියත් ඉංග්‍රීසියෙන් කියවා වටහාගත හැකි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරියක්ද (ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න) සිටී. මෙවන් තියුණු දෘෂ්ටිවාදී ශක්‍යතා සහිත මධ්‍ය-වාමාංශික ආණ්ඩුවක් මෙරට ජනවාර්ගික ජාතිකවාදී උත්සන්නියක් ඇති කිරීමට ප්‍රයත්න දරන කණ්ඩායම්වලට මුහුණ දීමේදී අතිශය පැරණි මොට උපකරණ අදක්ෂ ලෙසත් අකාර්යක්ෂම ලෙසත් භාවිත කරන්නේ මන්දැයි සිතා ගත නොහැකිය. ඉදිරි දේශපාලනයේදී දෘෂ්ටිවාදී අරගල ක්ෂේත්‍රයේ වැදගත්කම තවත් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ආණ්ඩුවේ පරිබාහිර දෘෂ්ටිවාදීමය ආරක්ෂකයින්ගේ භූමිකාව අතිශය තීරණාත්මක එකක් වනු ඇත.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.