21 April, 2026

Blog

මහානාහිමිවරු ද ඇන්දවූ රට ගිනිලන්නට සැරසුන පිළිම මගඩිය

උතුරුවැහැර තිස්ස –

පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධියක් ලෙස සමාජගතවූ ත්‍රිකුණාමලේ පිළිම සිද්ධිය තුළ බරපතල ශාසනික හා ජාතික ගැටලුවක් ඉස්මතුව දක්නට ලැබිණි. ඒ වෙන කිසිවක් නොව මහනායක ධූරය දැඩි ලෙස හෑල්ලුවට ලක්වීම සහ මහනායක ස්වාමින්වහන්සේලා යනු ඕනෑම ජඩ චරිතයක් විසින්  මනාසේ ඇන්දවිය හැකි පිරිසක්ය යන්න තහවුරු වීමයි. එහෙත් එය රටම ගිනිගන්නට ඉඩතිබූ තත්වයක් ය යන්න පැහැදිලිවන විට එය මහානා හිමිවරු ඇන්දවීමට පමණක් ලගුකළ නොහැක. එය ඊට එහා ගිය තලයක තේරුම්ගත යුතුව තිබේ.

මේ වන විට සබුද්ධික සියලු දෙනාම පැහැදිලිවම දන්නා දේ වන්නේ  පිළිමයක් මුල්කොටගෙන  ත්‍රිකුණාමලයේ සිදූ වූයේ ආගමික ගැටලුවක් නොව ජූස් බාර් එකක් මුල්කරගත් සිද්ධියක් බවත් එයට බුදුහාමුදුරුවන් පටලවලන්නේ ජඩ තක්කඩි කංඩායමක් විසින්ය යන්නත්ය. එය ඩ්‍රාමා එකක් බවත් එහි නලුවන් වූයේ කුප්‍රකට ගලගොඩඅත්තේඉත්තෑකන්දේ, අක්මීමන සහ කස්සප ඇතුළු චරිත කීපයක් බවත් පැහැදිලිවම දකින්නට ලැබිණි. ඔවුන්ගේ අරමුණ තිබුනේ පටු දේශපාලන ඉලක්කයක් බව ද පැහැදිලිවම දකින්නට තිබිණි. එමෙන් ම බුද්ධිඅංශ වාර්තාකර තිබුණේ මෙම සිදුවීමට සති තුනකට පෙර සිට අටදෙනෙකුගෙන් සමන්විත කංඩායමක් දුම්රියෙන් යාපනයටත්‍රිකුණාමලයට, මඩකලපුවට වශයෙන් දිනාපතා ගමන් කළ බවයි. ඔවුන් එසේ සැරි සැරුවේ මළකුණක් සොයාගෙනය. නැතිනම් ගැටුමක් හදන්න පුලුවන් තැනක් හොයාගෙනය.  රාජපක්ෂ නිකායේ අමිපිටියේට පවා කිසිම ගැටුම් සාධකයක් සොයාගත නොහැකිව ඔවුන් නන්නත්තාරව සිටියහ. ඒ අතර ඔවුන්ට හමු වූ කුණුමස් කෑල්ල වූයේ ජූස් බාර් එකයි

බුද්ධශාසනයට අයත් මේ ඉඩම ආගමික කටයුත්තකට යොදානොගෙන ව්‍යාපාරයකට යොදවන්නේ පංසලයි. කාගේ හෝ චෝදනාවක් තිබුණා නම් තිබුනේ ඒ සම්බන්ධවය. ජුස්බාර් එකට ද නීතිමය අංශවලින් ගැටලුවක් නොතිබිණි. ජූස්බාර් එකට එල්ලව තිබු චෝදනාව වූයේ අනුමත සැලසුමෙන් පරිබාහිරව තවත් අනවසර ඉදිකිරිමක්කර තිබීමයි.  බලධාරීන් ක්‍රියාත්මකව තිබුනේ ඒ සම්බන්ධවයි. අනවසර කොටස ඉවත් කිරීම යනු ද විහාරස්ථානයේ භූමිය පවරාගැනීමක් නොවේ. සිදුවන්නට නියමිතව තිබුනේ අනීතික කොටස ඉවත්කිරීමයි. ඒ අනුව  නීතිමය වශයේ විහාරයට අයිති  භූමිය ඒ ලෙස ම ඉතිරි වෙන අතර ජූස් බාර් එකේ ද අනවසර කොටස පමණක් ඉවත්ව නිත්‍යානුකූල කොටස ඉතිරිවන්නට තිබුණි.  (යම් හෙයකින් මෙම ස්ථානයේ පැවතියේ අගමික ගොඩනැගිල්ලක් නම් නිලධාරීමේ මෙම බලපෑමද නොකර ඉන්නට ද තිබුණි)  එවන් පසුබිමක වරද සිදුව තිබුනේ පංසලේ පාර්ශයෙන් සහ  ජූස්බාර් ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙනි. ඔවුහුද කලකට පෙර දේශපාලන බලය අත්තනෝමතිකව පාවිච්චිකළ පිරිසකි.

ගැටුමක් හොයමින් කුණුමස් කෑල්ලකට ඉව අල්ලමින් ගිය අටදෙනාගේ කල්ලියට මේ ඇටකෑල්ල හමුවිය. ඔවුන්ට සැබෑ ශාසනික උවමනාවක් තිබුණි නම් ඔවුන් කළයුතුව තිබුනේ වහම ජූස්බාර් එකේ ආම්පන්න ඉවත්කර එය විහාරයකට පරිවර්තනය වන ආකාරයට බුදුපිළිමයක් තැම්පත් කිරීමයි. එහෙත් පංස්ලේ හාමුදුරුවන්ගේ ඒකායන අරමුණ තමන්ගේ වාණිජ ව්‍යාපාරය පවත්වාගෙන යෑම බැවින් ඔවුන් වෙනත් ඉදිකිරීමක් කරන්නට පටන්ගෙන තිබුණි. එහි දී තවත් නීතිවිරෝධි ක්‍රියාකාරකම් කීපයක් ම සිදුවේ. මන්ද එයද අනවසර ඉදිකිරීම් වන නිසාවෙනි. නීතිවිරෝධීව කටයුතු කරණ මේ පිරිසට අවශ්‍ය වූයේ බුදුපිළිමය එහි තැම්පත් කිරීම සහ එයට හානිකරවාගැනීම හෝ තමන් ම හානිකිරීමයි. (මේ ඩ්‍රාමා කල්ලියට මේවා අලුත් දේවල් නොවේ. ඔතන ප්‍රධාන නලුවා වූ කස්සප හිමි ගෝල්ෆෙස් අරගල භූමියේ ද මෙවැනිම ගැටුමක් නිර්මාණය කරන්නට උත්සාහ කළේය) පොලිසියද දුරදිග නොබලා පිළිමය රැගෙන ගියේ එහි ආරක්ෂාව සඳහාය. එහෙත් පොලිසිය මීට වැඩිය බුද්ධිමත් වූවානම්  කළ යුතුව තිබුනේ පිළිමයට ආරක්ෂාව ලබාදීමයි. එසේ විනි නම් සම්පූර්ණයෙන් ම අමාරුවේ වැටෙන්නේ විහාරස්ථානයේ හාමුදුරුවෝ සහ කඩාකප්පල්කාරී නඩයයි. එසේ අමාරුවේ වැටෙන්නට පළමු හේතුව එහි ගැටුමක් නැතිවීමයි. දෙවැන්න බුදුපිළිමයක් තිබෙන තැනක (ජූස් ?) බාර් එකක් පවත්වාගෙන යා නොහැකිවීමයි. ඒ අනුව නිර්මාණය වන්නට තිබුනේ සම්පූර්ණයෙන් ම වෙනස් තත්වයකි. එහෙත් පොලිසියේ අධූරදර්ශී භාවය හේතුවෙන් කඩාකප්පල්කාරීන්ට නොතිබූ  අවස්ථාව ලැබිණි.

මේ අවස්ථාව හරියට ම කළමනාකරණය කරගත්  ඔවුහු වහම කොළඹ සිය හාන්පුතුන්ට දැනුම් දුන්නේ දැන් ගිණිපුපුර හරි රට අව්ලවන වැඩේ පටන් ගන්න කියායි. මේ වැනි පනිවිඩයක් කොයි වෙලාවක හෝ එන බව දැන සිටි හාම්පුතුන්ගේ නඩය සිය අණ ලබාදුන්නේය. ඒ අනුව එය මාධ්‍ය නාලිකාවල සහ අන්තර් ජාලයේ මාතෘකාවක් විය. එම ප්‍රවෘත්තිය තුළ කියැවුනේ ත්‍රිකුණාමලයේ විහාරස්ථානයකට අන්‍යාගමික සහ අන්‍යජාතික තර්ජනයක් එල්ලව ඇතිබවත් නිරාගමික (බෞද්ධ විරෝධි) ආංඩුව විහාරයක් කඩාබිඳ ඉවත්කර ඇති බවත්ය. බැලූ බැල්මට එය බරපතල තත්වයකි.

එසේ වූවද රට ඇව්ලුනේ නැත. මහජනතාව නිහඬව සිටියේය. හේතුව වෙනකිසිවක් නොව මෙතන සිටි නඩය කව්ද යන්න ජනතාව දන්නා බැවිනි. එමෙන්ම පාටපක්ෂ හෝ ආගමික ජාතික භේධයකින් තොරව ලංකාවේත් රටෙන් පිටත් ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට මේ චරිත අප්‍රසන්න බැවිනි. එමෙන් ම ජනතාවට වහම වැටහුනේ මෙය ඉදිරි දිනකීපයකින් එන දේශපාලන රැස්වීමක් ඉල්ලක්ක කොටගත් මෙහෙයුමක් බවයි. (මේ ගැටලුව නිර්මාණය කළ අයට එය ප්‍රතික්ෂේප කළ හැක. ඒත් ජනතාව තේරුම් ගත්තේ ඒ ලෙසය.)

ජනතාව ඒ ලෙස පරිනත ව කටයුතු කරද්දි  තත්වය යම් ආකාරයකට වෙනස් වන්නේ  අමරපුර මහසංඝ සභාවේ උත්තරීතර මහනායක මා හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව ලිපියක් කරලියට ඒමත් සමගය. එම ලිපිය දුටු බොහොදෙනෙකු සිතුවේ ජඩකංඩායමක් මෙහි පෙරමුණගෙන සිටියත් මහනායක හාමුදුරුවන් විසින් ප්‍රකාශයක් නිකුත්කිරීමට තරම් බරපතල සිද්ධියක් මෙහි තිබෙනවා ඇතැයි යන්නයි. එමෙන් ම එම ලිපියේ අන්තර්ගතය ද බරපතල විය. එහි තෙවන ඡේදයෙන් කියැවුනේ භික්ෂූන්වහන්සේලා පිරිසක් බරපතල ආකාරයෙන් පහරකෑමට ලක්ව රෝහල් ගත ව ඇති බවයි. එමෙන්ම පහරකෑමට ලක්වූ පිරිසගේ තත්වය ද බරපතල බවයි. ඊටත් අමතරව මහනා හිමියන්ගේ ප්‍රකාශයෙන් ජනාධිපතිවරයාට  නියෝගකොට තිබුණේ විරස්ථානයේ ගොඩනැගිලි කඩාබිඳදැමීම වහම නතර කරණ ලෙසයි. ඇත්තම තත්වය එය නම් එය බරපතල සිදුවීමකි. බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා එකාවන්ව නැගී සිටිය යුතුව තිබේ.  ඒ අතර චෝදනාව අන්‍යාගමික අන්‍යජාතිකයින් වෙතට ද තල්ලුවෙමින් තිබිණි.

අමරපුර නිකායේ උත්තරීතර මහනායක මා හිමිපාණන් යනු එසේ මෙසේ කෙනෙකු නොවේ. උන්වහන්සේ සමස්ත අමරපුර නිකායේ ම උත්තරීතර තනතුර දරණ අභිනව නා හිමිපාණන් වහන්සේය යන ගෞරවයට අමතරව තවත් විටිනාකම් රැසක් හිමිකරගත් යතිවරයන් වහන්සේ නමකි. ඒ අතරින් වැදගත්ම දේ උන්වහන්සේ ලෝපතල ආනන්ද මෛත්‍රේය නා හිමියන්ගේ අනුප්‍රාප්තිකයානන් වහන්සේ වීමයි.  ගිහිපැවිදි බෞද්ධ සමාජය තුළ අභිනව මාහා නාහිමිපාණන් වහන්සේ ගෞරවයට පත්ත්වෙන් ඒ පසුබිම යටතේ වන අතර බෞද්ධ සමාජය උන්වහන්සේ පිළිබඳව දැඩිබලාපොරොත්තුවක් ද තබා සිටිති. සෙසු නිකාය තුනේ දැනට සිටින මහානායක මාහිමිපාණන් වහන්සේලා දැඩි වයෝවෘද්ධ තත්වයක පසුවන පසුබිමක් යටතේ අනාගතයේ දී අමරපුර උත්තරීතර මහනාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා භික්ෂූ සමාජය තුළ ජ්‍යෙෂ්ඨතම භික්ෂූව බවට ද පත්වන්නට නියමිතය.උන්වහන්සේගේ අත්සනින් යුතු ලිපියක සමාජ බලපෑම අපතේරුම් ගතයුතුවන්නේ එවන් පසුබිමක් තුළය. කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මාහා නා හමිපාණන් යනු මෙතෙක් කිසිම ආකාරයක දේශපාලනික චරිතයක් නොව් ඒ නිසාම සම්භාවනාවට පත්වූ හිමිනමකි. මේ පසුබිම තුළ සමාජයේ වගකිව යුතු භික්ෂූන් වහනේසෙලා දහඅතට කථාකරමින් තොරතුරු විමසන්නට පටගන් ගත්තේ බරපතල ඇවිලීමකට පසුබිම සකසමිනි.

මේ අතර තවත් පරාජිත දේශපාලඥයින් දෙදෙනෙක් ප්‍රකාශ කළහ. එයින් එක්කෙනෙක් සුමන්දිරන්ය. ඔහු  ත්‍රිකුණාමලයේ පිළිමය තැබීම ද්‍රවිඩජනතාවට එරෙහි ක්‍රියාවක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කළේය. එම ප්‍රකාශය කළේ දෙමළෙන් නොව සිංහලයෙනි. ඒ සිංහල ජනතාව ඇවිස්වීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිවම දක්නට ලැබිණි. එය සමගාමීව සිංහල පාර්ශ්වයෙන් ප්‍රකාශය නිකුත් කළේ චම්පික රණවකයි.  චම්පික රණවකට නොතේරුණ දේ වන්නේ මේ ව්‍යාපෘතිය තමන්ගේ හතුරන්ගේ වැඩක් බවත් තමන් අනුන්ගේ උගුලකට හසුවූ බවත්ය. ලෝකයම දන්වා යයි සිතා සිටින බොහො දෙනාට  තමන්ගේ පියවර තිබෙන්නේ කොතැනකද යන්න නිනව්වක් නැතය යන්න යථාර්ථයකි. ඒ කෙසේ වෙතත් මේ දෙදෙනාගේ ( සුමන්දිරන් චම්පික) ප්‍රකාශ දෙක රට ගිනිලෑමට ඉඩ තිබිණි.

ඒ අතර අතීතයේ  ත්‍රිකුණාමලයේ දී බුදුපිළිමයක් බේරාගෙන කීර්තියක් හිමිකරගත් දැන් දේශපාලනයේ නියුතු විශ්‍රමික නාවික නිලධාරියෙකු තමන්ගේ නාවික මෙහෙයුම ඇරඹුවේය. ඒ අනුව තමන් මීට පෙර එම් සී සී විරෝධය ඇවිලවීම සඳහා උපවාසයකට වඩිකරවාලූ භික්ෂුව ම  මේ කාර්ය සඳහාත් වහම ත්‍රිකුණාමලයට යැවීය. ත්‍රිකුණාමලය වෙත ගිය එම භික්ෂූවට දකින්නට ලැබුනේ වෙනස්ම තත්වයකි. එතන පංසලක් නැත. තාවකාලීකව ඇටවූ බස්හෝල්ට් එකක් වැනි තැනක බුදුපිළිමයක් පමණක් තිබේ. එහි වන්දනාමාන කරන ස්ථානයක් බවට සලකුණක් නැත. අසලම ජූස් බාර් එකක් තිබේ.  තවදුරටත් කරුණු විමසා බලන එම හිමියන්ට වැටහී තිබුණේ මෙතන බරපතල ආකාරයෙන් බොරුවක් නිර්මාණය වෙමින් තිබෙන බවයි. එමෙන්ම මිට ටික කලකෙට පෙර තමන් ද අන්දවා මාරාන්තික උපවාසයකට වාඩිකරවාලූ මේ කංඩායමේ පැටිකිරියට පිළිබඳව ද උන්වහනේසේට අවබෝධයක් තිබුණි. ඒ අනුව වහම රාමඤ්ඤනිකායේ මහනායක මා හිමිපාණන් ඇමතු උන්වහන්සේ යථා තත්වය පැහැදිලි කළේය. ඒ වන විට ද මහනායක මා හිමිපාණන් වහන්සේලා සිව්නමගේම අත්සනින් යුතුව පළකිරීම තවත් ලිපියක් කෙටුම්පත් වෙමින් පැවතිනි. ඒ අනුව එම ලිපිය නිකුත් කිරීම අතිහිටවිනි. එය එසේ නොවන්නට තත්වය තවත් බරපතල වන්නට තිබුණි. කෙසේ හෝ තවත් පැය කීපයකින් රට ම දැනගත් සත්‍ය නම් ත්‍රිකුණාමලයේ සිද්ධිය කඩාකප්පල්කාරී පිරිසක් විසින් නිර්මාණය කළ බොරුවක් බවයි.

දැන් ගැටලුව පැනනගින්නේ අමරපුර නිකායේ උත්තරීතර මහානායක මා හිමිපාණන් වහන්සේ රැවටුවේ කව්ද යන්නයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් මහනායක හාමුදුරුවෝ ඇන්දුවේ කව්ද යන්නයි.

මහානායක මහා හිමිපාණන් වහන්සේ ඇන්දවීමේ පාපකර්මය පිටුපස සිටින්නේ මින් පෙර ද මෙවැනි ක්‍රියාවලට ප්‍රකඨ නමේ අගට  වංශ සහ පිල තිබෙන දෙපලකි. ලිපිය ලියන ලද්දේ බණ්ඩාර කෙනෙකි.  ඔවුන් බලාපොරොත්තු වූයේ එම ලිපියට මහානාහිමිවරු සිව්දෙනාගේම අත්සන ලබාගැනීමයි. එහෙත් එම කාර්යට ගතවන කාලය දීර්ඝය. දින දෙකක්වත් අවශ්‍ය වේ. ඒ අතර ත්‍රිකුනාමලයේ බොරුවේ ඇත්ත එලියට එනු ඇත. ඒ නිසා වහම කළ යුතු දෙයක් කළ යුතුව තිබිණි.  මේ වෙලාවේ ඔවුන්ගේ සිහියට එන්නේ අමරපුර නිකායේ මහාලේකම් ධූරය දරණ බලපිටියේ සීවලී හිමියන්ය. උන්වහන්සේ රාජපක්ෂ නිකායේ ද ප්‍රභල චරිතයක් වන නිසා මේ කාර්ය පහසුවිය.  ඒ අනුව ලිපියත් සමග සීවලී හිමියන් බංලන්ගොඩ යවා තිබේ. බලංගොඩ ගිය පිරිස මහා නාහිමියන්ට තත්වය විකෘතිකොට පෙන්වමින් බරපතල තත්වයක් මවාපෑවේය. අදාල පංසල අමරපුර නිකායට අයත් බැවින් නිකාය මේ සම්බන්ධව වහාම මැදිහත් විය යුතුයයි කියා තිබුණි. ඒ අනුව මහානාහිමිපාණන් වහන්සේ ලිපියට අත්සන් තබා තිබේ. මහා නා හිමියන් ද ඇන්ද වූ ඔවුහු  මේ ජඩ වැඩෙන් පසුව තව මොහොතක්වත් එහි නොරැඳී වහා විහාරස්ථානයෙන් එලියට බැස්සේය. එහෙත් මහනාහිමියන් සිතා සිටියේ ලිපිය ඉතාම සුරක්ෂිතව ජනාධිපතිවරයා අතට පත්වනු ඇතැයි යනුවෙනි. මන්ද එම ලිපිය රටේ උත්තරීතර තනතුරු දරණ දෙදෙනෙක් අතරේ හුවමාරු වන ලිපි ගනුදෙනුවකි. මෙහි දී මහා නා හිමියන්ට ද අල්පමාත්‍ර සැකයක් නොතිබුනේ ලිපිය රැගෙන යන්නේ නිකායේ මහලේකම් හිමියන් නිසාය. ඒත් සිදුවන්නේ අනිකකි.  ලේකම් හිමියන් සමග සිටි කිසිවෙකු මහානා හිමියන්ගේ  ලිපියේ ඡායාරූපයක් සිය දුරකථනයෙන් ලබාගත්තේය. එම ඡායාරූපය ඒ වෙලාවේම බංලංගොඩ  ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මංත්‍රිවරයෙකු අතට පත්විය. ඒ අනුව එය ඔහු විසින් අන්තර්ජාල ගත කෙරිනි.  ලිපිය රැගෙන ගිය අය කොළඹට එන්නටත් පෙර ලිපිය ලෝකය වටේ සැරිසරන්නට පටන් ගෙන තිබුනේ ඒ අනුවයි. කීර්තිමත් මහනායක මා හිමිපානන් වහන්සේ නමක් කොල්ලන්ගේ බල්ලන්ගේ සිට මහචාර්යවරු තෙක් සමාජයේ නිර්දය විවේචනයට ලක්වන්නට පටන්ගන්නේ මේ අනුවය. එම විවේචන නම් උපෙක්ෂාවේ ඉවසා වැදෑරිය හැකිය. එහෙත් නිර්මාණය වන්නට තිබූ ගැටලුව ඉතා බරපතලය. යම් විධිහකින් මේ කඩාකප්පල් කාරීන්ගේ සැලසුම ඒ විදිහටම ක්‍රියාත්මක වී රට ඇවිලී ගියේ විනිනම් ඉතිහාසයේ ප්‍රථමවතාවට මහානායක මා හිමිපාණන් වහන්සේ නමකට සියධූරයෙන් ඉල්ලා අස්වන තැනට මෙය පත්වන්නට වුව ද ඉඩ තිබුණි.

මේ බරපතල අත්වැරැද්දේ වග උත්තරකරුවන් බොහො දෙනෙකු සිටිති. ඒත් එහි අංක එකට වගකීම බාරගත යුත්තා වන්නේ අමරපුර නිකායේ මහා ලේකම් හිමියන්ය. මේ මහලේකම් හිමියන් පත්වීමට එරෙහිව උසාවියේ නඩුවක් ද පැවතිනි. එහි චෝදනාව වූයේ උන්වහන්සේගේ පත්වීම ව්‍යවස්ථානුකූල සහ විනයානුකූල නොවන බවත්,  මහා ලේකම් ධූරය වැනි තනතුරක් දැරිීමට උන්වහන්සේ පරිනත නැති බවත්ය. මේ සිදුවීම සමග පැහැදිලි වන්නේ ද තහවුරු වන්නේ ද මහාලේකම් හිමියන් එම තනතුර දැරීමට කිසිසේත් සුදුසු නැතය යන්නයි.

පසුගිය යුගයේ දේශපාලනය තුළ සිදු වූ  පෙරලිවලින් පසුව සම්පූර්ණයෙන් යටපත්ව වැලේ වැල්නැතිව සිටි ඉහත ද නම් සඳහන්කොට ඇති චීවරධාරීන් කංඩායම යලින් කරලියට ආවේ ජඩ දූෂිත දේශපාලකයින්ගේ ඔක්ෂිජන්වලින්ය. දැන් ඒ සර්පයින් ගොදුරු සොයමින් ඇවිදිති. ඔවුන් ඉදිරියේ දී මාරාවේශව බිලිගන්නට ද සැරසෙනු ඇත. ඒ සියල්ල අතර සිදුවන අවාසනාවන්තම සිදුවීම නම් මහජනයා මහානායක මා හිමිපාණන් වහන්සේලාගේ වචනයක් තුට්ටු දෙකකට මායිම් නොකරන තැනට පත්වීමයි. ඒ අතර තවත් අන්තවාදී  කොටසක් මහානායක මා හිමිපාණන් වහන්සේලා අතිශය නින්දිත වචනවලින් ආමන්ත්‍රණය කරනු දක්නට ලැබේ. මේ වැනි සිදුවීම්වලින් ඔවුන්ට තව තව හයිය ධෛර්ය ලැබෙනු ඇත. ඒ අතර ඇතිවන බරපතල ම සිදුවීම වන්නේ ඉදිරියේ දී රජය කුමනාකාරයේ හෝ ශාසනික විරෝධි ක්‍රියාවක් කළ ද ජනතාව ඒ දෙස හැරිලාවත් නොබලන තත්වයක් උදාවීමයි. එය එසේ තිබිය දී මගේ මිතුරෙකු ප්‍රකාශ කළේ  මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මේ ආංඩුව කිසිම බෞද්ධ විරෝධි ක්‍රියාවක් නොකරන බවත් ඒ නිසා  විපක්ෂ දේශපාලනය මෙවැනි තුට්ටු දෙකේ ජඩවැඩ කරණවා යන්නයියනුවෙනි.  එම ප්‍රකාශය ඇත්තක් නොවේද? යම් විදිහකින් ආංඩුව බෞද්ධ විරෝධී වැඩක් කරණවානම් මේ බුදුදහමේ ආරක්ෂකයෝ එතන අරගල කළයුතුය. මහානායක මා හිමිවරු ප්‍රකාශ නිකුත් කළ යුතුය. නිකායික ලේකම්වරු වහා වහා ක්‍රියාත්මක විය යුතුය. ඒත් එවැන්නක් නම් අපට ද දක්නට නැත.

Latest comment

  • 0
    0

    “…ජුස්බාර් එකට ද නීතිමය අංශවලින් ගැටලුවක් නොතිබිණි…”

    අන්න ඔතන තමයි ප්‍රශ්නේ!!

    මුලින්ම කියන්ට ඕනා බුද්ධ දහම ජූස් බාර් සඳහා යෙදවීම නීතියෙන්ම තහනම් කල යුතු බවත් ඒ සඳහා නීති රීති ගෙන ආ යුතු බවත්! මේ වන විට එහෙම නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා තිබුනා නම් මෙහෙම විගඩමක් අද අපිට දකින්ට වෙන්නේ නැති බවත්.

    කෙසේ වෙතත් ඔබේ ලිපිය ඉතාමත් සුපිරි! කියන්ට ඕන දේ අමුවෙන්ම කියල තියෙනවා. මම නම් දන්නේ නෑ ඔබ නම් වශයෙන් සඳහන් කල තට්ට කහ රෙදි රඳවනයන් වපුරන ජාතිවාදී විෂ නවතන්නේ කොහොමද කියලා. බහුතරයක් ඔවුන්ගේ ජරාව අහන්නේ නැති උනත් යම් පමණක වහල්ලු ටිකක් ඔවුන්ගේ අශූචි සමාජ මාධ්‍ය වල පතුරනවනේ? ඒවා මොන ආකාරයකට සමාජගත වෙනවාද කියලා අපි දන්නේ නෑනේ?

    දැන් ඉතින් කරන්ට තියෙන්නේ ජාතිවාදී ද්වේශය පැතිරීම කියන වරද යටතේ ඔබ කිවූ හොර තක්කඩි තට්ටයෝ ටිකට නඩු පවරා වැලිකඩ කූරු ගනින්නට යොදවන එකයි!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.