26 April, 2024

Blog

වත්මන් දේශපාලන අ/සමතුලිතතාවෙහි ඇතැම් පැතිමාන

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

යළිත් දේශපාලන ලෝකයේ හාත්පස ඉතා නිහඬය. මෙවර ඒ නිහැඬියාව බියකරුය. පළාත් පාලන මැතිවරණය නිල නොවන අන්දමින් කල් දමනු ලැබ තිබේ. නමුත් සෘජුවම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ හැර සෙසු පක්ෂ අඛණ්ඩව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටී. ඒවාට සැලකිය යුතු මහජන සහභාගීත්වයක්ද ලැබෙමින් පවතී. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට හිමි වෙමින් පවතින ඉහළ මහජන ආකර්ෂණය ඒ අතුරින් කැපී පෙනෙයි. ප්‍රාදේශීය මට්ටමින් ජාජබ වෙත හැරෙමින් පවතින ජන රැල්ල, නිසැකවම මෙරට මැතිවරණ දේශපාලනයෙහි වැදගත් හැරවුමක් ඉඟි කරයි. පසුගිය වසරේ සුවිසල් ජන අරගලයත් සමග සමාජ-දේශපාලනික තලයෙහි සිදුව ඇති පරිවර්තනය මැතිවරණ දේශපාලනය කෙරෙහි බලපෑම් නොකර සිටීමට හේතුවක් නැත.

මහජන තලයෙහි සිදුවන බල පරිවර්තනයක් හුදෙක් නෛතික, ආයතනික සහ කාර්ය-පටිපාටිමය ආවරණ මගින් වැඩි කලක් නවතා තැබීමට නොහැකිය. දැන් පවතින තත්ත්වය වන්නේ බහුජන තලයෙහි පවත්නා බල සමතුලිතතාව නෛතික සහ ආයතනික තලය තුළ නියෝජනය නොවීමයි. ඒ කොතෙක් දුරටද යත්, බහුජන තලයෙහි අති විශාල පසුබෑමකට ලක්ව තිබෙන පාලක සන්ධානයට පාර්ලිමේන්තුව තුළ තවමත් තුනෙන් දෙකකට ආසන්න බහුතර බලයක් තිබේ. අනෙක් අතින්, ජවිපෙ/ජාජබ මහජන රැස්වීම්වලට වැල නොකැඩී සෙනඟ එන තත්ත්වයක් තුළ ඔවුනගේ පාර්ලිමේන්තු නියෝජනය ආසන තුනකට සීමා වී පවතී. මේ තලයන් දෙක අතර නිර්මාණය වී පවතින බරපතල අසමතුලිතතාව විසඳීමට දැනට ඇත්තේ මාර්ග දෙකකි. එනම්, බහුජන අරගලය සහ මැතිවරණයයි. ඒ කවර ක්‍රමයකින් හෝ ඉක්මනින් නව දේශපාලන සමතුලිතතාවක් නිර්මාණය කර ගන්නට අප අපොහොසත් වනවා යනු එක පෙළට ආ අර්බුද රැසකින් බැට කමින් සිටින අපගේ ජන සමාජය ප්‍රචණ්ඩත්වයේ, හිංසනයේ සහ මර්දනකාරීත්වයේ යුගයකට ඇද වැටීමේ අනතුරක් පවතිනවාය යන්නයි. සමකාලීන දේශපාලන අ/සමතුලිතතාව පිළිබඳ මේ ගැටළුව වටහා ගන්නට නම් අප නෛතික ගැටළු, පාර්ලිමේන්තු කතා, පාලකයින් විසින් හැඩ ගස්වන න්‍යාය පත්‍ර (නිදසුනක් ලෙස 13 වන සංශෝධනය පිළිබඳ ආන්දෝලනය), වාණිජ මාධ්‍ය විසින් ඔසවා තබන මාතෘකා යනාදියට සීමා වූ දේශපාලන විශ්ලේෂණවලින් ඔබ්බට යා යුතුය. ඒ වෙනුවට, සමාජයීය සහ ආර්ථිකමය තලයෙහි සිදුවෙමින් පවතින පරිවර්තනයන් දෙසත් ඒවායෙහි දේශපාලන ගම්‍යතා දෙසත් තියුණු අවධානය යොමු කළ යුතුය.

ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය

සිත් ගන්නා සුළු කාරණයක් වන්නේ මැතිවරණයකදී ප්‍රකාශයට පත් වූ ජනවරමකින් තොරව හුදෙක් ව්‍යවස්ථාමය විධිවිධාන මත පමණක් පදනම් වී ජනාධිපති පුටුවේ වාඩි වී සිටින රනිල් වික්‍රමසිංහද මේ දිනවල කතා කරමින් සිටින්නේ ජන සමාජයට සෘජුව බලපාන ආර්ථිකමය තලයේ ගැටළු ගැන වීමය! එහිදී ඔහු ඔහුට සහාය දක්වන දේශපාලන විශ්ලේෂකයින්ට වඩා විශ්ලේෂණාත්මක හැකියාවක් ප්‍රකට කරයි. මේ මොහොතේ බහුජන දේශපාලනයේ ගුරුත්ව කේන්ද්‍රය ඇත්තේ දේශපාලන-ආර්ථිකමය තලයේ මිස 13 වන සංශෝධනය, ජනවාර්ගික ගැටුම, නෛතික විවාද, දූෂණ විරෝධය හෝ මාධ්‍ය විසින් ඔසවා තබනු ලබන කිසිදු දෘෂ්ටිවාදී තේමාවක් තුළ නොවේ. පසුගියදා පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදී වික්‍රමසිංහ නැවත වරක් තමාව හඳුන්වා ගත්තේ ආර්ථික අර්බුදයට විසඳුම් ගෙනෙන ‘අර්බුදකාලීන ජනපතිවරයෙකු’ ලෙසයි. “මැතිවරණය කල් දැමීමක් නොමැත්තේ කල් දැමීමට මැතිවරණයක් නොමැති නිසා” යැයි පැවසීමට තරම් ඔහුට නිර්භය විය හැක්කේ මෙම ‘අර්බුදයට විසඳුම් ගෙනෙන ජනපතිවරයා’ පිළිබඳ දෘෂ්ටිවාදී ප්‍රතිරූපය තවමත් ප්‍රමාණවත් තරමින් අභියෝගයට ලක්ව නොමැති නිසාය.

පවතින එකම විසඳුම වන්නේ අයි.එම්.එෆ් මාර්ග සිතියම අනුව යාම යැයි ඔහු නොපැකිළව ප්‍රකාශ කරයි. එම විසඳුම ක්‍රියාත්මක කිරීමේදී ජන සමාජයට විශාල වේදනාවක් දැරීමට සිදුවන බවද නොසඟවයි. ඔහු සෘජුව නොපවසන එකම කාරණය වන්නේ බරපතල වේදනාවන්ට මුහුණ දීමට සිදු වනු ඇත්තේ සමාජයේ වඩාත්ම දරිද්‍ර සහ ආන්තික ජන කොටස්වලට බවත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් ඇතුළු ධන කුවේරයින් හට එතරම් හිංසා පීඩාවක් සිදු නොවනු ඇති බවත්ය. මේ වනාහී දුර්වලයින් මරණයට නිරාවරණය කරමින් අර්බුදය තරණය කිරීමේ මරණ-දේශපාලනයේ තර්කණය නග්න ලෙස ක්‍රියාවේ යෙදවීමක් මිස අන් කිසිවක් නොවේ. කාරණය නම්, එම අයි.එම්.එෆ්-වික්‍රමසිංහ විසඳුම් මාර්ගය දැනටමත් ක්‍රියාවේ යෙදවෙමින් පවතින බවයි. එය පැහැදිලි භූ-දේශපාලනික පැතිමානයකින්ද යුක්ත වේය යන්න රහසක් නොවේ. පැහැදිලිවම එය ඉන්දු-පැසිෆික් කලාපයේ සීතල භූ-දේශපාලනික ගැටුම තුළ එක්සත් ජනපද-ඉන්දීය අක්ෂය සමග අනුගතව යයි.

බහුජන දේශපාලන තලයෙහි සැලකිය යුතු සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටින සජබ සහ ජවිපෙ/ජාජබ ඉහත කී විසඳුම් මාර්ගයෙන් තමන් වෙනස් වන්නේ නම් ඒ කෙසේද යන්න පැහැදිලි කිරීමට එතරම් සමත් වී නොමැත. තම විසඳුම වන්නේද වික්‍රමසිංහ මග ගැනීම යැයි ඇතැම් සජබ ප්‍රකාශකයින් විවෘතව පවසා තිබේ. ජාජබ ප්‍රතිපත්ති සම්පාදක කව තුළ නව-ලිබරල් බුද්ධි ජීවීන්ගේ බලපෑම වරින් වර ප්‍රකාශයට පත් වේ. නමුත්, ඒ අතරම, ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික පක්ෂ විසින් කාලාන්තරයක් පුරා බෙලහීන කර දමන ලද ඇතැම් සමාජ සුභසාධනවාදී ව්‍යුහයන් නැවත පණ ගැන්වීමටද සංවර්ධනයෙහි ප්‍රජා සහභාගීත්වය සහතික කිරීමටද ඉහවල් වන යෝජනා ජවිපෙ/ජාජබ වෙතින් ඉදිරිපත් වෙමින් පවතින බව පිළිගත යුතුව ඇත. කෙසේ වුවත්, වික්‍රමසිංහ මග දෘෂ්ටිමය ලෙස ප්‍රමාණවත් තරමින් අභියෝගයට ලක් වී නොමැති තත්ත්වයක් තුළ ඔහුට අවශ්‍ය ‘අර්බුද සමයේ ජනපති’ ප්‍රතිරූපය පොදු ජන අවබෝධයෙහි (common sense) තලය තුළ තවමත් වැඩ කරන බව පෙනේ. ඇතැම් විට වත්මන් අ/සමතුලිතතාවට අදාළව කුතුහළය දනවන එක් ගැටළුවකට විසඳුම ඇත්තේ ඉහත කාරණය තුළ විය හැකිය. එම ගැටළුව වන්නේ මෙතරම් සුවිසල් මහජන නැගී සිටීමකට පසුවත් ජනප්‍රිය-නොවන ආර්ථික ප්‍රතිපත්ති සමුදායක් ක්‍රියාවට නගන්නට කිසිදු ජනවරමක් නොමැති පාලකයෙකු හට හැකියාව ලැබී තිබෙන්නේ මන්ද යන්නත්, තවමත් එම පාලකයාට එරෙහි පුළුල් මහජන නැගී සිටීමක් සිදු නොවන්නේ මන්ද යන්නත්ය. සැබවින්ම පීඩාකාරී පාලනයකට එරෙහිව ප්‍රමාණවත් තරමේ මහජන නැගී සිටීමක් තවමත් නොමැති වීමම වත්මන් දේශපාලන අ/සමතුලිතතාව පිළිබඳ කදිම සංකේතයකි.

නිර්-පාක්ෂික ජනතාව පාක්ෂික-ජනතාව බවට පත් වීම

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ පුරුද්ද මුල් බැසගත් ජන සමාජයක් තුළ පාලනාධිකාරයට එරෙහි මහජන නැගී සිටීමක් ඉතාම පහසුවෙන් විපක්ෂයේ මැතිවරණ රැළි බවට රූපාන්තරණය විය හැකි වීමද මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. වෙනත් ආකාරයකින් කිව හොත්, සජබ සහ විශේෂයෙන් ජවිපෙ/ජාජබ ජන රැළි මගින් නිරූපණය වන්නේ වත්මන් ප්‍රභූ පාලනාධිකාරයට එරෙහි බහුජන විරෝධය මිස අන් කිසිවක් නොවේ. තවත් සරලව කිව හොත්, දැන් ගාලු මුවදොර ජනයා උතුරන්නේ නොමැත්තේ මන්ද යන්නට ඇති එක් පිළිතුරක් වන්නේ එම ජනයා දැන් සිටින්නේ විපක්ෂයේ මැතිවරණ රැළි තුළ නොවේද යන්නයි. නමුත්, ඒ අතරම, අරගලය තුළ මහජන ක්‍රියාකාරීත්වයත් මැතිවරණ රැළි තුළ මහජන සහභාගීත්වයත් අතර මූලධාර්මික වෙනසක් පවතින බවද මෙහිදී සිහිකටයුතුය. පළමුව අරගලය තුළ දේශපාලන පක්ෂ, පාට යනාදිය තාවකාලිකව වියැකී ගොස් ‘ජනතාව’ නමැති පොදු භාවය නිර්මාණය වුවද, මැතිවරණ රැළි තුළ යළිත් පාක්ෂික අනන්‍යතාව ඉස්මතු වී ‘පක්ෂ-ජනතාවක්’ බවට එය විපරිණාමය වේ. දෙවනුව, අරගලය තුළ ජනතාව ක්‍රියාත්මක වන්නේ සක්‍රීය දේශපාලන ඒජන්තයින් ලෙස වුවත් මැතිවරණ රැළි තුළදී ඔවුන් හුදෙක් තම නායකයින්ට අත් පොළොසන් දෙමින් සිටින අක්‍රීය සහභාගී වන්නන් පිරිසක් බවට පරිවර්තනය වේ. (වෙනත් වචනවලින් කිව හොත්, ඔවුන් නිර්-දේශපාලනීකරණයට ලක් වේ).

පාක්ෂික අනන්‍යතාව ඉස්මතු වීම මගින් වත්මන් දේශපාලන අසමතුලිතතාවට බලපාන තවත් සාධකයකට පදනම වැටේ. එනම්, මැතිවරණ නොපැවැත්වීමට වත්මන් ප්‍රභූ තන්ත්‍රය දරන ප්‍රයත්නය පරාජය කිරීම සඳහා බහු-පාක්ෂික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වුවද, දැනටමත් තම ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කොට තිබෙන පක්ෂ එවන් පොදු ක්‍රියාකාරීත්වයක් සඳහා සූදානමක් නොදැක්වීමයි. දැනටමත් සජබ සහ ජවිපෙ/ජාජබ වේදිකා මත ප්‍රධාන වාචික ප්‍රහාර එල්ල වෙමින් තිබෙන්නේ ඔවුනොවුන්ට එරෙහිවය.

අවසන් වශයෙන්, ඉදිරියේදී නිර්මාණය විය හැකි බල සමතුලිතතාවක සාධනීය හා නිශේධනීය පැතිමාන දෙකක් ගැන අපගේ අවධානය යොමු විය යුතු යැයි මම සිතමි. සාධනීය පැතිමානය වන්නේ යම් හෙයකින් ජවිපෙ/ජාජබ ප්‍රමුඛ වාම-ලිබරල් ධාරාවත් සජබ සහ සුළුජනවාර්ගික නියෝජනයන් ඇතුළත් මධ්‍ය-දක්ෂිණාංශික ධාරාවත් දේශපාලන ක්‍රියාවලියෙහි මධ්‍යයට පැමිණෙන්නේ නම්, ඒ සමග රාජපක්ෂ ධාරාව මෙන්ම රාජපක්ෂ ධාරාවේ රොඩු බොඩු ලෙසින් සැලකිය හැකි උත්තර ලංකා සන්ධානය, නිදහස සන්ධානය සහ ශ්‍රීලනිපය යම් තාක් දුරට හෝ අද්දරට තල්ලු කළ හැකි වීමයි. නිශේධනීය පැතිමානය වන්නේ සජබ මෙන්ම ජවිපෙ/ජාජබද වත්මන් අයි.එම්.එෆ්-වික්‍රමසිංහ විසඳුම් මාර්ගයෙන් පැහැදිලි ඛණ්ඩනය වීමක් සලකුණු නොකරන තත්ත්වයක් තුළ ඉදිරියේදී ගොඩ නැගෙන නව සමතුලිතතාව අවසන් අරුතින් ගත් කල ගෝලීය ප්‍රාග්ධනයේ නියෝජිතයින් විසින් අපේක්ෂා කරනු ලබන දේශපාලන සමතුලිතතාවම විය නොහැකිද යන්නයි. පැහැදිලි බහුජන පදනමක් සහිත නායකත්වයක් විසින් තම විසඳුම් මාර්ගය ක්‍රියාවට නැගෙනවා දකින්නට අයි.එම්.එෆ් මෙන්ම එක්සත් ජනපද-ඉන්දීය අක්ෂයද නිසැකවම වඩා කැමති වනු ඇත. එවිට ප්‍රශ්නය වන්නේ අඩු තරමින් ඉදිරියේදී ඔවුන් සමග වඩා ප්‍රබලව හා අධිෂ්ඨාන සහගතව කේවල් කළ හැකි පාලනයක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්නයි. ආරම්භයේ සිටම ඔවුන් හා අවිවේචනාත්මක එකඟතාවක් ප්‍රකට කරමින් යන ගමනක් මගින් කිසිසේත්ම එවන් අන්තයකට ළඟා විය නොහැකිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.