9 August, 2020

Blog

රතු පැහැති හිස් වැසුම් ගලවා දැමිය යුතුමද?

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ශ්‍රී ලංකාවේ දේශපාලන සම්මුඛ සාකච්ජාවලදී ප්‍රශ්න විචාරකයින් විසින් බොහෝ විට වාමාංශික ක්‍රියාකාරීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයක් තිබේ. එනම්, “දැන් වාමාංශික දේශපාලනයේ වලංගුතාව අහෝසි වී ගොස් තිබෙනවා නොවේද” යන්නයි. පළමුව කිව යුත්තේ මෙය 1990 දශකයට අයත් ප්‍රශ්නයක් බවයි. විශේෂයෙන්ම 2008 න් පසු ලෝක දේශපාලනයේ හැඩ ගැසීම් ගැන අවබෝධයක් ඇති කිසිවෙකුත් මෙවන් ප්‍රශ්නයක් නොඅසනු ඇත. කිසිදු වාමාංශික නායකයෙකු මේ ප්‍රශ්නය ඉදිරියේ අපහසුතාවට පත් විය යුතු නැත. මන්දයත්, අනූව දශකයේදී ඉතාම වලංගු යැයි පෙනී ගිය මේ ප්‍රශ්නය සමකාලීන ලෝකය තුළ කිසිසේත්ම වලංගු වූවක් නොවන බැවිනි. මා මින් පෙර බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇති පරිදි නව-ලිබරල් ගෝලීයකරණයේ අර්බුදය සමග ලොව පුරා ප්‍රශ්න කිරීමට ලක් වූයේ ධනවාදයේ වලංගුතාව මිස වාමාංශික සමාජවාදී දේශපාලනයේ වලංගුතාව නොවේ.

නව-ලිබරල් සංස්ථාපිතය දැන් ලෝකයේ බොහෝ තැන්වල පරාජයට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉදිරි මහා මැතිවරණයෙන් පසුව එම ඓතිහාසික යථාර්තය අත් දකිනු ඇත. එසේම, නව-ලිබරල්වාදයේ අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් ලෙස ට්‍රම්ප් වර්ගයේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී ප්‍රවණතා ලොව බොහෝ තැන්වල මතුවෙමින් තිබේ. බ්‍රසීලයේ බොල්සනාරෝ, තුර්කියේ එර්දොගන්, හංගේරියාවේ වික්ටර් ඕබන්, ඉන්දියාවේ මෝඩි සහ අමිත් ෂා එහි ප්‍රකට නිදර්ශකයන් අතර වේ. (ඔවුන් නව-ලිබරල් ප්‍රතිපත්තීන්වලට විරුද්ධ වන්නේ ඒවා අහෝසි කොට දැමීමේ හෝ වෙනස් කිරීමේ අරුතින් නොව එම ප්‍රතිපත්තීන්වල දුර්-විපාක ජනවාර්ගික සහ ආගමික සුළුතරය හෝ සංක්‍රමණිකයන් මත පැටවීමේ අරුතිනි!). නමුත්, එම අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයන්ට ප්‍රතිපාක්ෂිකව අනෙක් පසින් හිස ඔසවමින් සිටින්නේ කවරෙක්ද? ඒ අන් කවරෙකුවත් නොව විවිධ ආකාරයේ වාමාංශික දේශපාලන ධාරාවන්ය.

කෝබින්-සැන්ඩර්ස් මොහොත

එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම මතු වූ බර්නි සැන්ඩර්ස්ගේ මධ්‍ය-වාමාංශික ජනතාවාදය වටා එක් රොක් වූයේ ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ය. සැන්ඩර්ස් තම ව්‍යාපෘතිය නම් කළේ “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය” ලෙසයි. එක්සත් ජනපදයේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ තමන් සමාජවාදී යැයි හඳුන්වා ගන්නා ප්‍රවණතාවක් පැන නගීවිය කියා දැනට දශකයකට පෙර සිතන්නට පවා හැකි විණිද? සැන්ඩර්ස් හට ජනාධිපති අපේක්ෂකත්වය අහිමි වුවද ඔහුගේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල වටා එතරම් විශාල තරුණ බලවේගයක් ඒකරාශී වීමේ දේශපාලන ඇඟවීම කිසිවෙකුටත් නොතකා හැරිය නොහැකිය. එක්සත් රාජධානියේ ජෙරමි කෝබින් සම්බන්ධයෙන්ද කිව යුත්තේ එයමය. කෝබින්ද තමන් සමාජවාදියෙකු ලෙස හඳුන්වා දීමට කිසිසේත්ම පැකිලුණේ නැත. ඔහු කම්කරු පක්ෂය ටෝනි බ්ලෙයාර්ගේ නව-ලිබරල් සම්මුතිකවාදයෙන් ඉවතට හැරවීය. සැන්ඩර්ස් ජනාධිපති අපේක්ෂක තරඟයෙන් ඉවත්වීමට මද කලකට පෙර කෝබින් කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බැව් සැබවි. නමුත්, ඔවුන් දෙදෙනා වටා පෙළ ගැසුණේ නව-ලිබරල් ප්‍රතිපත්තීන් හමුවේ පීඩනයට, කළකිරීමට සහ රැඩිකල්කරණයට ලක්වෙමින් සිටි තරුණ බලවේගයකි.

එම බලවේගයේ දේශපාලන මූලයන් අඩු තරමින් 2011 වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය සහ ලන්ඩනය අල්ලා ගැනීමේ ව්‍යාපාරය තරම් දුරට දිව යයි. “කෝබින්-සැන්ඩර්ස් මොහොත” යනු එම රැඩිකල් තරුණ බලවේගයේ විරෝධය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවක් ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට ප්‍රයත්න දැරුණු මොහොතක් ලෙස තේරුම් කළ හැකිය. එම ප්‍රයත්නය අසාර්ථක වූයෙන්, බොහෝ විට ඉදිරියේදී එම විරෝධය වෙනස් ආකාරවලින් සංවිධානය වීමට ඉඩ තිබේ. ඇතැම්විට, ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ පොදුවේ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව මතු වූ මහා ජනතා නැගී සිටීමෙන් සංකේතවත් වන්නේ එය විය හැකිය.

ඉහත ප්‍රවණතා විසින් අපට දෙනු ලබන පොදු පණිවිඩය වන්නේ මෙයයි: අන්ත දක්ෂිණාංශික ජාතිකවාදයේ අභියෝගය භාර ගැනීමට ලොව විවිධ තැන්වල විවිධ ස්වරූපවලින් බල සම්පන්න ලෙස ඉදිරියට එමින් සිටින්නේ වාමාංශික දේශපාලන ධාරාවන්ය. අවලංගු වෙමින් පවතින්නේ නව-ලිබරල් සංස්ථාපිතයයි. නිදසුනක් ලෙස, අපගේ ආසන්න අසල්වැසියා වන ඉන්දියාව තුළ හින්දූත්වවාදී මෝඩි-ෂා බලාධිකාරයේ බලය අභියෝගයට ලක් කරන්නට රාහුල් ගාන්ධිගේ නව-ලිබරල් සංස්ථාපිතය සමත් නොවීය. නමුත්, සංශෝධිත පුරවැසි පණතට එරෙහිව පෙළ ගැසුණු බලවත් සිසු-ජන ව්‍යාපාරය හමුවේ මෝඩි-ෂා කඳවුර සසැලුණි. මෙහිදී අවධානයට ලක් විය යුතු තවත් වැදගත් කාරණයක් නම්, මෙකල ජනතාවගේ බහු-විධ ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීමේ ඒජන්තයා බවට පත්ව තිබෙන්නේද වාම-ජනතාවාදී බලවේගම බවයි. අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදය විසින් මැඩලනු ලබන ප්‍රජාතන්ත්‍රීය නිදහස වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින්නේ ජනතාවාදී වාමාංශයයි. වෙනත් වචනවලින් කිවහොත්, දැන් ඔබට බහු-විධ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඔබ හැරිය යුත්තේ වමටය. තවදුරටත් ආර්ථික නිදහස්වාදය, දේශපාලන නිදහස්වාදය සමග අත්වැල් බැඳගෙන නොයයි.

වාම ජනතාවාදයක් සඳහා

දැන් අපි ශ්‍රී ලංකාව වෙතට හැරෙමු. මෙරට පසුගිය ජනාධිපතිවරණයේදී මෙරටටම සුවිශේෂී ලක්ෂණ සහිත අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී බලාධිකාරයක් ස්ථාපිත විය. ඒ අතිශය අධිකාරිවාදී දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයක්ද අතැතිවය. එම පාලනාධිකාරයට (regime), ආණ්ඩුවෙන් (government) ස්වායත්තව වර්ධනය වීමට අවශ්‍ය තත්ත්වයන් කොරෝනා වෛරස් වසංගතය විසින් නිර්මාණය කර දෙනු ලැබිණ. මීට සමාන්තරව මෙතෙක් කලක් මෙරට නව-ලිබරල් සංස්ථාපිතයේ ප්‍රධාන කඳවුරක් වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ විය. දැන් අප වෙසෙන්නේ වසංගතය සහ ඒ ආශ්‍රිතව ගොඩ නැගෙන ගැඹුරු ආර්ථිකමය සහ සමාජමය අර්බුදයන් අතරට ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක්ද එක් වූ වාතාවරණයක් තුළය. ඉදින්, බලවත් වාමාංශික ජනතාවාදී නායකත්වයක නැගීම සඳහා මීටත් වඩා කදිම වාතාවරණයක් තිබිය හැකිද? එසේ නම්, තවමත් එවැනි වාම ජනතාවාදයක් පැන නොනැගීම අප තේරුම් කරන්නේ කෙසේද? එවැන්නක් ගොඩ නැගීමේ කිසියම් හෝ මාර්ගයක් තිබේද? දේශපාලන න්‍යාය අවශ්‍ය වන්නේ මෙහිදීය. න්‍යායකින් තොර හුදු ක්‍රියාවාදී දේශපාලනය යනු අඳුරේ අතපත ගෑමකට වැඩි යමක් විය නොහැකිය.

ජනතාවාදය (populism) පිළිබඳ විශිෂ්ටතම මෑතකාලීන න්‍යායවේදියා වූයේ අර්නෙස්ටෝ ලැක්ලාවූ නම්, එම න්‍යාය ප්‍රායෝගිකව අදාළ කරමින් යුරෝපීය වාම-ජනතාවාදයක් පිළිබඳ දේශපාලන අදහස ඉතාම නිරවුල්ව සහ ඒත්තු යන සුළු ආකාරයෙන් පැහැදිලි කළ න්‍යායවේදිනිය වන්නේ ශන්තාල් මූෆ්ය. ඇය ලියූ “For a Left Populism” (2019) නමැති මාහැඟි කෘතිය මෙහිදී ඉතාම වැදගත්ය. එම කෘතියෙන් ඇය පෙන්වා දුන්නේ දැන් යුරෝපය “ජනතාවාදයේ නිමේෂයකට” පිවිස සිටින බවයි. යුරෝපයේ අන්ත-දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීමට උචිත පරිසරය සකස් කරන ලද්දේ නව-ලිබරල්වාදී ප්‍රතිපත්ති මගින්මය. නව-ලිබරල්වාදය තුළ ගිලිහී ගිය වැදගත් ප්‍රජාතාන්ත්‍රික ඇගයුම් දෙකක් වන්නේ ජනතා නියෝජනය සහ සමානත්වයයි. අන්ත-දක්ෂිණාංශය පෙරට එන්නේ එලෙස නියෝජනය අහිමි වූ ජනතාවගේ විරෝධයන් සංවිධානය කරමින්ය. නමුත්, එය ජනතාව අර්ථවත් කරන්නේ ජනවර්ගවාදී සහ ආගම්වාදී ලෙසය.

මූෆ් යෝජනා කරන්නේ මෙම ප්‍රවණතාව පරාජය කළ හැක්කේ වාමාංශික ජනතාවාදයක් මගින් බවයි. එහිද “හිස් හැඟවුම්කාරකය” වන්නේ ජනතාවයි. එය ප්‍රජාතාන්ත්‍රික නියෝජනය පිළිබඳ ගැටළුවට ප්‍රවේශ වන්නේ ජනතාවගේ ආර්ථිකමය සහ සෙසු අයිතීන්, සමාජ යුක්තිය සහ සමානත්වය පිළිබඳ අභිලාෂයන් නියෝජනය කරමින්ය. එය සීමිත ආයතනික සහ නෛතික ප්‍රතිසංස්කරණ වෙත දිශානත වූ නව-ලිබරල් යහපාලනවාදයකට ඔබ්බෙන් යන්නක් විය යුතු බැව් අමුතුවෙන් කිව යුතු නැත. කොටින්ම, ජනතාවාදී වාමාංශිකයා අපගේ ඇත්ත ප්‍රශ්න සහ අභිලාෂ නියෝජනය කරන අපේ එකෙක් බව පීඩිත පොදු මහා ජනතාවට හැඟී යා යුතුය. අවධාරණය විය යුත්තේ “ඇත්ත මිනිස්සු” නොව “ඇත්ත ප්‍රශ්න”ය.

මූෆ්ගේ විග්‍රහය අපට ගෝලීය දකුණේ ශ්‍රී ලංකාවට යාන්ත්‍රිකව ගැලපිය නොහැකිය. නමුත්, අපට අප හමුවේ ඇති අභියෝග සහ අවස්ථා සංකල්පගත කර ගැනීම සඳහා යුරෝපීය සංධර්භය තුළ ඇය කරන විශ්ලේෂණයෙන් උගත හැකි පාඩම් තිබේ. අපගේ සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත න්‍යායක් ගොඩ නගා ගත යුත්තේ අපමය.

වාම-ජනතාවාදයක් පිළිබඳ බොඳ වූ අපේක්ෂාව

පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති ජාතික ජන බලවේගයේ පළමු ගෝල්ෆේස් රැළිය දුටු අප බොහොමයක් දෙනාට ලාංකීය ජනතාවාදී නිමේෂය තුළ වාමාංශික ජනතාවාදයක වියහැකියාව පිළිබඳ යම් හැඟීමක් ඇති විය; ප්‍රාර්ථනාවක් ඇති විය. නමුත්, ඒ සමගම මා අවධාරණය කළේ ජනතාවාදයේ නිමේෂය ග්‍රහණය කර ගන්නට නම් ජාතික ජන බලවේගය යල් පිනූ යහපාලන ලිබරල්වාදී දෘෂ්ටිවාදී රාමුවෙන් පිටතට පැමිණිය යුතු බවයි. ඉහත කී ගෝල්ෆේස් රැළියට පසු සතියේ “රාවය” පුවත්පතට මම මෙසේ ලියූවෙමි.

“ඇතැම්විට, දක්ෂිණාංශික ජනතාවාදය වඩා බලගතුව මතු වීමට ඉඩ තිබේ. එහෙත්, එහි අභියෝගය භාර ගත හැක්කේ 2015 වර්ගයේ ලිබරල්වාදී එකතුවකට නොවේ. ජනතාවාදී නායකත්වයකට පමණි. ජාතික ජන බලවේගයට මේ සුවිශේෂී දේශපාලනික මොහොත ග‍්‍රහණය කර ගන්නට අවශ්‍ය නම්, එහි නායකත්වය යල් පිනූ යහපාලන ලිබරල්වාදී රාමුවෙන් මිදී වාමාංශික ජනතාවාදය දෙසට ස්ථිරසාර ලෙස හැරිය යුතුය.”

එසේ කළ හැක්කේ කෙසේද? පැහැදිලිවම ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ඉල්ලීම් “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” වැනි යහපාලනවාදී දෘෂ්ටිවාදී දවටනයක් තුළ ඔතා ඉදිරිපත් කිරීමෙන් එය කළ නොහැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසුව පවා මේ දෘෂ්ටිවාදී දවටනය වලංගු වූවක් බැව් පෙනී ගියද, කොරෝනා වෛරසයේ යුගය තුළ එය පීඩිත ජනතාවට කෙසේවත් අදාළ නැත. එහෙයින්, මෙහිදී සියල්ලට ප්‍රථම ඊනියා ජනවාරි විප්ලවයේ උරුමයක් වූ යහපාලනවාදී දෘෂ්ටියේ සීමිතභාවය අවබෝධ කරගත යුතුය. එම සීමිත දෘෂ්ටියට පෙනෙන නාගරික සිවිල් සමාජ තීරුවට ගැලපෙන දේශපාලන කතිකාවක් ගොඩ නැගීමෙන් වාම-ජනතාවාදයක් කරා යා නොහැකිය. මම පසුගිය ජනාධිපතිවරණයට පෙර මෙසේද ලියූවෙමි.

“නමුත්, ඒ අවස්ථාව ග‍්‍රහණය කරගත හැක්කේ මහජනයා ඉලක්ක කොටගත් පැහැදිලි ජනතාවාදී ප‍්‍රතිපත්ති මාලාවක් සහ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම මගිනි. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ නව-ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති මගින් පීඩනයට, නොතකා හැරීමට සහ අසාධාරණයට ලක් වූ කම්කරුවන්, ගොවියන්, ධීවරයන්, ශිෂ්‍යයන්, විරැකියාවෙන් හෝ ඌණ සේවා නියුක්තියෙන් පෙළෙන තරුණ තරුණියන්, කාන්තාවන්, පහළ හා මැදි ආදායම් ලබන්නන් යනාදී ජන කණ්ඩායම් වෙත සෘජුව ආමන්ත‍්‍රණය කළ හැකි විකල්ප ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීම මගිනි. මේ සඳහා හිස පැළඳ ගත යුත්තේ යහපාලන ලිබරල්වාදීන් ජවිපෙට ගලවා දමන ලෙසට උපදෙස් දෙන වාමාංශික හිස් වැසුම් මිස අන් කුමක්ද?”

“උදා වී ඇති ජනතාවාදී නිමේෂය ග‍්‍රහණය කර ගැනීමට නම් ජාතික ජන බලවේගයේ ලිබරල් යහපාලනවාදී බුද්ධිමය ශ්‍රේණියේ ග‍්‍රහණයෙන් මිදී වාමාංශික ජනතාවාදී දිශාවකට ස්ථිරසාර ලෙස හැරෙන්නට ජවිපෙ සමත් විය යුතුව ඇත.”

එකම කාරණය නැවත නැවත අවධාරණය කරන බවක් පෙනී යා හැකි වුවද, මේ කාරණයේ දේශපාලනික වැදගත්කම සලකා මම ඉදිරි සතියේදී මේ ගැන තවදුරටත් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.