28 March, 2024

Blog

රතන හිමි නැවතත් කරළියේ; කෝකටත් තෛලය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ද? 

මාස් එල්. යූසුෆ් –

මාස් එල්. යූසුෆ්

ප්‍රසිද්ධ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින්ම මේ කොලම ඇරඹීම උචිතයැ’යි මම විශ්වාස කරමි. ලේඛකයා සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය (ACJU – ස.ලං.ඉ.වි.ස) නියෝජනය නොකරන අතර, එය ආරක්ෂා කිරීමේ හෝ වගඋත්තර සැපයීමට මෙහි දී උත්සුක නොවේ, තවද, මෙය සිදුවීම්වල දළ විශ්ලේෂණයක් පමණි. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය වසර 100කට ආසන්න කාලයක් පුරා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන අතර, 1924 වසරට ආසන්න කාලයක දී ආරම්භ කෙරුණි. එබැවින් එය හතු පිපෙන්නාක් මෙන් බිහිවූ තවත් නිකම්ම නිකම් ආගමික සංවිධානයක් නොවේ. එමෙන්ම එය සමන්විත වන්නේ ඉස්ලාමීය දැනුමින් පරිපූර්ණ විද්වතුන්ගෙනි. එමෙන්ම ඉස්ලාමයේ පූජ්‍ය පක්ෂයක් නොමැති බව ද මෙහිදී අවධානයට ලක්කළ යුතු වැදගත් කරුණකි. එම නිසා, ආගමික හො වෙනත් කුමන හෝ ආකාරයකින් එක් මිනිසෙකුට ඉහළ මට්ටමකින් තවත් මිනිසෙකුගේ ස්වාමීත්වය පැවතීම ඉස්ලාමයේ ඉගැන්වීම් කිසිවක දක්නට නොලැබේ.

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ආකාර දෙකකින් විවේචන සඳහා ඉලක්ක වේ. පළමුව, ඔවුන් මුස්ලිම් ප්‍රජාවේම සමහර සාමාජිකයන්ගේ දැඩි විවේචනයට නතු වේ. එම විවේචන ද බොහෝ විට එල්ල වන්නේ එහි නායකත්වය ඉලක්ක කරගනිමිනි. සාමාන්‍යයෙන් නම් කිසිදු මනුෂ්‍යයෙකු පරිපූර්ණ නොවේ. නායකයෙකු වුවද, එවැනි යම් යම් අඩුපාඩුකම් සහිත වීම ස්වභාවික නියතයකි. නායකයෙකු ද ස්වභාවයෙන්ම මනුෂ්‍යයෙකු හෙයින්, තාර්කිකව ගත් කල පරිපූර්ණ මිනිසෙකු විය නොහැක. නායකයන් හැසිරෙන ආකාරය, ඔවුන්ගේ කාර්යශූර බව, ඔවුන්ගේ දූෂිත බව ආදී නොයෙකුත් කාරණා පිළිබඳව අපි දනිමු. එසේ වුවද, හොඳ නායකයෙකු බව තහවුරු කරන ආකාරයේ වගකීම් සමහරක් සෑම නායකයෙකුම ඉටුකළ යුතු බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. තව ද, සෑම නායකයෙකුම ඔහුව නායකත්වයෙහි ලා පිළිගන්නා අනුගාමිකයන්ගේ අපේක්ෂා මුදුන්පත් කිරීමේ කාර්යභාරය ද ඉසිලිය යුතු ය. කෙසේ වුවත්, මෙය පුද්ගලික මතවාදයක් වන අතර, මේ කොලමෙන් ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට අදහස් නොකෙරේ.  

මෙම දැඩි විවේචනවල දෙවැනි ප්‍රවර්ගය එල්ල වන්නේ සමස්තයක් ලෙස එම මුළු සංවිධානයට ම ය. බොහෝ විට භික්ෂූන්ගේ සහයෝගය ද ඇතිව මේ

සඳහා නායකත්වය දෙන්නේ අන්තවාදී දක්ෂිණාංශික දේශපාලකයන් සහ ජාතිවාදී කණ්ඩායම් ය. ඔවුන් විසින් එල්ල කරන චෝදනා ඇත්ත වශයෙන්ම චෝදනා පමණක්ම වන අතර, ඒවාට කිසිම ප්‍රතිපත්තිමය අරමුණක් හෝ යම් කාර්යභාරයක් සාක්ෂාත් කරගැනීම උදෙසා හේතුවක් නැත. ඉන් පරිබාහිරව, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තර්ජනාංගුලිය දිගුකර, එකිනෙකා බියට පත්කර, බියපත් මානසිකත්වයක් සියලු දෙනා තුළ තහවුරු කර, වෛරය පතුරුවමින් ඒ හරහා ප්‍රචණ්ඩත්වය පැතිරවීම බව පෙනේ. 

විවේචන සහ රිසි සේ පහරදීමට ලක්වන සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය

අදාළ අනෙකුත් ගුණාංග අතර, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සඳහා පාදක වන මූලික ගුණාංගයක් වන්නේ ‘සමානාත්මතාව’යි. මෙහි දී සමානාත්මතාව රටේ පුරවැසියන් හා සම්බන්ධ වේ. යම් බලවේගයක් නිසා සමානාත්මතාව උල්ලංඝනය වේ නම් හෝ ඊට බාධා ඇති වේ නම්, එහි දී ඊට විරුද්ධව ගැටුම් පැනනැගීම ස්වභාවික ය. මෙම මූලධර්මය උල්ලංඝනය කිරීම සඳහා වගකිවයුතු බලවේගය අඛණ්ඩවම එසේ කරන අතර, ඒ නිසා සමානාත්මතාව අත්දකින්නට නොලැබෙන පුද්ගලයන් ද එම අයිතිය ලබාගැනීම සඳහා අඛණ්ඩව සටන් වදිති. මෙම අසමානතාව නිසා ඇති වන අසමබරතාව සමාජීය ජීවිතයේ සියලු මට්ටම් තුළ නිරූපණය වේ.  

මේ සන්දර්භයට අනුව, සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට එරෙහි උග්‍ර, දීර්ඝ දෝෂ විවේචන විශ්ලේෂණය කර බැලීමේ දී පැහැදිලිව පෙනීයන්නේ බෙදුනු සමාජයකට උරුම සුවිශේෂී ලක්ෂණයන් ය. ඇත්ත වශයෙන්ම, සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය තරම් නොයෙක් ආකාරයෙන් විවේචනයට සහ අභූත චෝදනාවන්ට ලක් වූ වෙනත් කිසිදු ආගමික සංවිධානයක් මෙරට නොමැත. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය වෙත එල්ල වන කූඨ, අමූලික සහ අභූත චෝදනා ගණන අතිමහත් ය. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට එරෙහිව නොයෙක් අවස්ථාවන් හි දී අන්තවාදීන්, ත්‍රස්තවාදීන්ට උදව් සපයන්නන්, ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් බවට පත්කිරීමට උත්සාහ කිරීම, හීන්සීරුවේ ෂරී’ආ නීතිය මෙරටට හඳුන්වා දීම සහ වෙනත් මෙකී-නොකී මනංකල්පිත සහ ඉහළ චිත්තෝත්පාදක චෝදනා එල්ල වී තිබේ. මේවා ඉතාම කාලානුරූපීව ඉස්මතු වන චෝදනා වන අතර, පරිස්සම් සහගතව, තෝරා-බේරාගත් වදන් සහ වාග්කෝෂයක් භාවිතා කරමින්, මහජනතාවගේ හැඟීම් හා සංවේදනවලට ආයාචනා කෙරෙන අයුරින් නිර්මිත වන අතර, ඊටම සමගාමීව යන වාක්‍ය ඛණ්ඩ මඟින් ඉතාම පහසුවෙන් එම සංවේදන උද්වේගයට පත්කර, උත්තේජනය කළ හැක. 

මේ ව්‍යායාමය නැවත නැවතත් කලින් කලට ඉස්මතු වෙද්දී තවත් යමක් ඉන් විදහා දැක්වේ – එනම් මේ නිස්සාර ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන්ගේ චරිතය යි. මෙවැනි පුද්ගලයන් දේශප්‍රේමීන් හෝ නියම ජාතිකවාදීන් නොවන අතර, ඊට අදාළ භික්ෂු ‍සන්දර්භය ගත් කල ඔවුහු ගෞතම බුදු රජාණන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයෙන් වියුක්තව ගමන් කරන බව පැහැදිලි වේ.

විනෝදාස්වාදය නොමිලේ!

කිසිදු පූර්ව විනිශ්චයකින් තොරව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන මාධ්‍ය, දේශපාලකයන් සහ භික්ෂූන් ඉදිරිපත් කළ විසූක දස්සන සමග වර්තමාන තත්ත්වය සසඳමු. කොළඹ අග්‍රබිෂොප්තුමා ට අයත් දියෝකීසයේ කතෝලික පූජ්‍ය පක්ෂය සමග එක්ව කොළඹ අතිරේක බිෂොප්වරුන් පවා අදාළ ප්‍රකාශය ගැන ඔවුන්ගේ බරපතල සංවේගය පළකරමින් ප්‍රකාශ නිකුත්කළහ. 

අපි තවත් මතවාදයක් මෙහි දී විමසා බලමු. කෙනෙක් කැමැති හෝ අකැමැති වේවා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා යනු සමහර භික්ෂූන්ගේ හැසිරීම පිළිබඳ සිය පිළිකුළ සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීමේ දී වදන් මිශ්‍ර කර නොගන්නා, පටලා නොගන්නා පුද්ගලයෙකි. සමහර කුප්‍රකට භික්ෂූන් සම්බන්ධයෙන් ඔහු පළකරන මතවාදයන්ගේ දැඩි සත්‍යවාදී බව පසෙක තබා, ඔහු ගැන වූ විවිධ මතිමතාන්තර පළකරමින්, අදාළ කුප්‍රකට භික්ෂූන්ව නිර්ලජ්ජිතව ආරක්ෂා කරමින් දේශපාලකයන්, භික්ෂූන්  සහ මාධ්‍ය රිසි සේ රඟති.

නිරීක්ෂණවලින් හෙළිදරව් වන්නේ බොහෝ විට මේ නාටකවල යෙදෙන්නේ උග්‍ර ජාතිකවාදීන්, අන්ත දක්ෂිණාංශික දේශපාලකයන් සහ දේශපාලනිකව බංකොලොත් භික්ෂූන් බවයි. ඇටයේත්, පොත්තේත් වෙනස දන්නා බොහෝ අය සඳහා ඔවුන් නොමිලේ විනෝදාස්වාදය සපයමින් සිටිති. නමුත් මෙහි ඇති භයානක අනතුර නම්, බහුතරයක් ජනයා මේ චෝදනා විශ්වාස කරමින් ඔවුන් තුළ අභූත බිය සහ සැකසංකා වර්ධනය කරගැනීම යි. මේ සැක-සංකා ඉතාම පහසුවෙන් ප්‍රකාශිත වෛරයක් දක්වාත්, එහි ප්‍රතිඵල ලෙස ඇති වන ප්‍රචණ්ඩත්වය දක්වාත් විහිදිය හැක.

එන්ටර් ඩ්‍රැගන්

බරපතල වාචික අතීසාරයකින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෑතක දී සිට පෙලෙන බවක් පෙනෙන්නට තිබේ. මහජනතාවගේ සාමාන්‍ය මතවාදය විමසීමේදී පැහැදිලි වන්නේ ආණ්ඩුව ඔහු කෙරේ කිසිදු උනන්දුවක් යොමු නොකරන බැවින් ඔහු කොන් වී ඇති බවයි. සමාජය තුළ වැඩිදුරටත් කතාබහ වෙන්නේ පූජ්‍ය අතුරලියේ හිමි සිය දේශපාලන කල් ඉකුත්වීම ළංකරගෙන ඇති බවත්, එනිසා දේශපාලන පොරපිටියේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නට වලිකන බවත් ය. වත්මන් දේශපාලන සන්දර්භය තුළ, ඔහුට ඉතිරිව ඇති හොඳම තේරීම නම් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය වෙත පහර කිහිපයක් එල්ලකිරීම යි. මක්නිසාද යත්, මේ දිනවල මුස්ලිම්වරුන්ට එරෙහිව කවුරුන්, විශේෂයෙන් ජාතිවාදී භික්ෂූන් කුමක් කිව්වද, කුමක් කළද එය වගවිභාගයකින් තොරව සාධාරණීකරණය කෙරෙන බැවිනි.

‘එන්ටර් ද ඩ්‍රැගන්’ නම් චිත්‍රපටයේ (යැයි මම සිතන) දර්ශනයකට මගේ සිත දිවයයි. එහි දී බෲස් ලීගේ ප්‍රතිවාදියා තරග කවය තුළ සිට සිය බලය විදහා දක්වන අයුරින් ලී පුවරුවකට කරාටේ ශෛලියෙන් පහරක් එල්ල කර එය කඩාදමයි. බෲස් ලී සන්සුන්ව ඔහුට පිළිතුරු දෙන්නේ “ලී පුවරු හරවා පහර නොදෙයි” යනුවෙනි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද මුෂ්ටි පහර එල්ල කිරීම සඳහා වන සිය ඉලක්කය (එනම්, සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය) තමන්ට හරවා පහර නොදෙන බව දන්නේය. වැඩිමනත් පවසන්නේ නම්, අති උතුම් කාදිනල්වරයා වෙනුවෙන් හෝ සමහර භික්ෂූන් වෙනුවෙන් ඉදිරිපත් වන මාධ්‍ය, දේශපාලකයන් හෝ භික්ෂූන් වැනි කවරෙකුත් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය වෙනුවෙන් ඉදිරිපත්ව කතා නොකරනු ඇත.

පොළව පැලෙන බොරු

බෞද්ධ දර්ශනයේ සිව්වැනි ශීලය ‘මුසාවාදා’ හෙවත් බොරු කීම පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරයි. වඩාත් පුළුල් අර්ථයෙන් ගත් කල, ඉන් සියලුම ආකාරයේ වැරදි සහ හානිකර භාෂණ ආවරණය කරයි. ගරුතර මහා සංඝරත්නය විසින් විස්තර කර ඇති ආකාරයට, මීට අයත් වන්නේ තණ්හාව, වෛරය හෝ වෙන යම් හානිකර දෙයක් නිසා සිදුකෙරෙන රළු, අසත්‍ය භාෂණය යි. ඒ අනුව, අසන්නාට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන සහ වේදනාව දනවන නොමඟ යවන සුළු වාද-විවාද, වාචික හිංසනය, ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීම, අධික කෝපය, වේගවත් ප්‍රකාශ, ද්වේෂසහගත අවමන් කිරීම් සහ නුසුදුසු වචන භාවිතයෙන් කරන ප්‍රකාශවලින් වැළකිය යුතු ය.

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට එරෙහිව පූජ්‍ය රතන හිමි විසින් කළ මෑතකාලීන අභූත හෝ අමූලික ප්‍රකාශ පාලි භාෂාවේ “මුසාවාද” නම් වචනය හා සම්බන්ධ බව පෙන්වාදිය හැක. ඒ බොරුවල තරම! එය කොයිතරම්දැ’යි කිවහොත්, ඊට වඩාත් ගැලපෙන සිංහල යෙදුම වන්නේ “පොළව පැලෙන බොරු” යන්නයි. මෙහි බරපතලම කරුණ නම් මේවා දෙසා වදාරන්නේ ද මුසාවාදයෙන් වැළකෙන ශීලයේ පිහිටුවන ස්වාමීන් වහන්සේ නමක් වීමයි. මේ වතාවේ එල්ල වී ඇති චෝදනා අතුරෙන් විශේෂ එකක් වන්නේ සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය විසින් සම්පත් බැංකුව වර්ජනය කරන මෙන් සියලුම මුස්ලිම්වරුන්ට උපදෙස් දුන් බව කියාපෑමයි. බොරුව තිතටම, අතටම හසු විය. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය විසින් කිසිදිනෙක එවැනි උපදෙසක් ලබානොදුන් අතර, ඔවුහු ඒ බරපතල ව්‍යාජ පුවත ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

වැඩියෙන්ම අපයෝජනයට ලක්වන ශීලය

සිව්වන ශීලය අපයෝජනයට ලක්වන තරම අප්‍රසන්න ය, පිළිකුළ දනවන සුළු ය. විශේෂයෙන්ම එය එතරම්ම අප්‍රසන්න වන්නේ මෙසේ සිදුවන්නේ දෛනිකව වාර ගණනාවක් ගුවන් විදුලියේ, රූපවාහිනියේ, පන්සල්වල සහ මහමඟ හැම හන්දියකම පාහේ පංචශීලය නැවත නැවතත් විකාශය වන රටක වීම නිසා ය. එමෙන්ම, එවන් පහත් වාචික අපයෝජන සිදුකෙරෙන්නේ ගරුතර මහා සංඝරත්නයෙන් වන විට ඒ පිළිකුළ දරාගත නොහැකි මට්ටමකට පැමිණේ. එය අප්‍රසන්න දර්ශනයක් වන අතරම, එමෙන්ම අසත්‍යය වැපිරීම චීවරය දරාගත් පුද්ගලයෙකු ට තරම් නොවේ. භික්ෂූන් වහන්සේ නම් සද්ගුණය හා ශීලය සඳහා උතුම්ම ආදර්ශය විය යුත්තාහ. ඔවුහු බුදුරදුන් පෙන්වාදුන් මාර්ගයේ ගමන් කිරීම තෝරාගෙන ඇති හෙයින් ගිහියන් ඔවුන්ව මහත් භක්තියෙන් අනුගමනය කරති. බුදුන් වදාළ ධර්මය ගිහියන්ට අනුශාසනා කරන්නේ භික්ෂූන් වහන්සේ ය. එහෙයින්, ඔවුහු අනුශාසනා කරන දේ වෙනුවෙන් පෙනීනොසිටින විට හෝ ඒවා ක්‍රියාවෙන් ඔප්පු නොකරන විට හුදී ජනයාට ඒ පිළිබඳව කලකිරීමක් ඇති වීම අතිශයින්ම ස්වභාවික ය. නමුත් මේ ගණයට වැදගත්, ගරුකටයුතු භික්ෂූන් වහන්සේ අදාළ නොවන බව ද සිහිකැඳවිය යුතු ය.

මේ රටේ නියම සතුරන් වන්නේ බොහෝ විට ජාතිකවාදය පිළිබඳ ව්‍යාජ සංවේදීතාවක් සහිතව නිකුත් කරන ඊනියා ආගමික සහ ජාතිවාදී වාගලංකාර දොඩනා ශාපලත් පුද්ගලයන්ය. ඔවුන් රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. මෙවැනි රැවටිලිකාරයන්ගේ ක්‍රියාකලාපයන් වහාම නතර කළ යුතු අතර, එවැන්නන්ගේ ඉදිරි ගමන නතර කළ හැක්කේ මේ රටේ ශිෂ්ට මනැසකින් යුත් පුරවැසියන්ගෙන් පමණි. එනම් එය කළ හැක්කේ මෙය විවෘත මනැසකින් කියවන ඔබටත්, මටත් ය. මෙවැනි අවස්ථාවාදී හා ව්‍යාජක දේශප්‍රේමීන්ගේ බොරු නාටක පිළිකෙව් කරන සාතිශය බහුතරයක් තවමත් අප ශ්‍රී ලංකාවේ වෙසෙති – දෙවියන්ට ස්තුති වේවා!

අසත්‍ය භාෂණය දුරුකිරීම

භේද ඇති කරවන සුළු භාෂණය දුරුකිරීම

ආක්‍රෝශ පරිභව සහගත භාෂණය දුරුකිරීම

හිස් වචන භාවිතය දුරුකිරීම

“වාචික ක්‍රියාව මඟින් යමෙකු පාරිශුද්ධත්වයට පත්වන්නේ මේ සිව් මාර්ගයන් හරහා ය.”

— අංගුත්තර නිකාය 10.176

මෙරටේ නීතිගරුක පුරවැසියන් උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ අසතුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු කාලය එළඹ ඇත්තේ දැන් නොවේද? අපේ අනාගත දරු පරපුර උදෙසා වන සදාචාරාත්මක වටිනාකම් කිසිවක් අපි ඉතිරි නොකරමු ද? 

*Colombo Telegraph වෙබ් අඩවියේ පළ වූ “Rathana at it again” නම් ලිපියේ සිංහල පරිවර්තනය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.