25 September, 2020

Blog

ප්‍රජාතාන්ත්‍රික අරගලය සහ නිර්-ප්‍රජාතාන්ත්‍රික දුර්මත

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය, බංගලාදේශය, ඊජිප්තුව, ලිබියාව, දකුණු කොරියාව වැනි සෙසු බොහෝ ගෝලීය දකුණේ රටවල මෙන් හමුදා ආණ්ඩු පැවතී නොමැත. නිදහසින් පසු යුගයේ මේ දක්වාම ආණ්ඩු බලය මාරු වූයේ සාපේක්ෂව සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් ඔස්සේය. කොටින්ම මෑතකාලීනව බලයේ සිටි වඩාත්ම ජනප්‍රිය දේශපාලන නායකයා වශයෙන් සැලකිය හැකි මහින්ද රාජපක්ෂ පවා මැතිවරණයකින් පරාජයට පත් වී විපක්ෂයේ අසුන් ගත්තේය. එසේම, අනෙක් අතින්, එම ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය සුළු ජනවර්ග සහ පහළ සමාජ පංතීන් රාජ්‍යයෙන් බැහැර කිරීමේත් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අභ්‍යාස කිරීමේත් ඉතාම නිශේධාත්මක චරිත ලක්ෂණද අන්තර්ගත කර ගත්තකි.

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය වඩා ආසන්න වන්නේ ෆරීඩ් සකාරියා වැනි දේශපාලන න්‍යායවේදීන් “ලිබරල්-නොවන ප්‍රජාතන්ත්‍රවාදය” (illiberal democracy) යනුවෙන් හඳුන්වන ප්‍රවර්ගයටය. සකාරියා මෙම යෙදුමෙන් අදහස් කළේ සිවිල් නිදහස සීමා වී පවතින නමුත් ව්‍යවස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික ආයතන ක්‍රියාත්මක වන්නා වූ දේශපාලන සැකසුම්ය. දේශපාලන විද්‍යා ශබ්ද කෝෂය තුළ “හරයාත්මක නොවන නමුත් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන රාජ්‍යයන්” යන්නෙන් අදහස් වන්නේද මෙවන් තත්ත්වයකි. සරලව, ලාංකීය ප්‍රජාතන්ත්‍රයේ බරපතල ගැටළු පවතී. නමුත්, කවර ගැටළු මධ්‍යයේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් පැවතීම අත්තනෝමතික මිලිටරි පාලනයක් නිර්මාණය වීමට වඩා යහපත් යැයි පිළිගන්නා මහජන මතයක් කාලාන්තරයක් තිස්සේ අප සමාජයේ මුල් බැසගෙන තිබිණ. මේ වන විට මෙරට දේශපාලන දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය තුළ ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින මෙකී ප්‍රජාතාන්ත්‍රික පොදු ජන අවබෝධය (common-sense) නැවත නගා සිටුවීමේ බරපතල අභියෝගයක් දැන් වාමාංශික ප්‍රජාතාන්ත්‍රික බලවේග හමුවේ මතුව තිබේ.

මන්ද යත්, පසුගිය “රාවය” පුවත් පතට දුන් සම්මුඛ සාකච්ජාවකදී දයාන් ජයතිලක නිවැරදිව පවසා තිබූ පරිදි මෙරට සෘජු මිලිටරි පාලනයක් ගොඩ නැගීමට ඉඩක් නොමැති වුවත්, කිසියම් ආකාරයක “සිවිල්-මිලිටරි පාලනාධිකාරයක්” ගොඩ නැගීමේ කිසියම් අනතුරක් දැන් මතුව තිබෙන බැවිනි. එවන් පාලනයක් නිර්මාණය වුව හොත් එයින් කෙළෙසී යනු ඇත්තේ ආර්ථිකමය වශයෙන් දිළිඳු නමුත් දේශපාලනික වශයෙන් පොහොසත් ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායක් පවත්වා ගැනීමෙන් අප ලද කිර්ති නාමයයි. පූර්ණ හෝ අර්ධ මිලිටරි පාලනය යනු ලාංකීය උරුමයක් නොවේ.

දක්ෂිණාංශික ජනතාවාදයේ දුර්මත

මෙම අභියෝගය වටහා ගැනීමේදී අප පළමුව සැලකිල්ලට ගත යුතු කාරණයක් නම් සමකාලීන ලාංකීය මිලිටරිවාදය හුදෙක් බලහත්කාරය මතම පමණක් පදනම් වූවක් නොවන බවයි. ඒ පිටුපස ඉතාම ශක්තිමත් දෘෂ්ටිවාදී ව්‍යාපාරයක්ද තිබේ. එය සරලව ප්‍රකාශයට පත් වන්නේ සමස්තයක් ලෙස පාර්ලිමේන්තුව නොහොත් ව්‍යවස්ථාදායකය පිළිබඳව ක්‍රමානුකූලව ගොඩ නැගුණු මහජන විරෝධය තුළිනි. “අපට සැබවින්ම පාර්ලිමේන්තුවක් අවශ්‍යද?”, “පාර්ලිමේන්තුවකින් තොරව සාර්ථකව රට පාලනය කළ නොහැකිද?”, “පාර්ලිමේන්තුව ජෙෆ්රි බාවාගේ කෞතුකාගාරයක් බවට පත් කළ යුතු නොවේද?” වැනි ජනප්‍රිය ප්‍රකාශ මගින් ගම්‍ය වන්නේ එම විරෝධයයි.

මෙහිදී මුලින්ම සඳහන් කළ යුතු කාරණයක් නම් විශේෂයෙන්ම වත්මන් පාලනාධිකාරයේ දෘෂ්ටිවාදී නියමුවන් විසින් ප්‍රචලිත කරමින් තිබෙන මෙම පාර්ලිමේන්තු-විරෝධය තාර්කිකව ඉතාම දුර්වල වූවක් බවයි. ඔවුන් බොහෝ විට ඉස්මතු කොට පෙන්වන කාරණයක් වන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන් බහුතරයක් ඉතාම දූෂිතයින් වී ඇති බැවින් පාර්ලිමේන්තුවට වඩා විධායකයේ බලය ශක්තිමත් විය යුතු බවයි (නිශ්චිතව කිව හොත් 19 වන සංශෝධනය අහෝසි කිරීම). සරදමකට මෙන් මීළඟ මහා මැතිවරණයෙන් තමන්ට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින්නේ පළමුව ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව පාර්ලිමේන්තුවේ බලය අඩු කර දැමීම සඳහාය. ඒ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තුවට තේරී පත් වන්නන් (එනම් ඔවුන්ම) දූෂිතයින් බව ඔවුන් දන්නා බැවිනි!

දෙවනුව, මෙරට දේශපාලනය තුළ දූෂණය මෙතරම් ඉව වහා ගිය තත්ත්වයක් නිර්මාණය වූයේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවය යන ඓතිහාසික කාරණය ඔවුන් පහසුවෙන් නොතකා හරිති. දූෂණය ආයතනගත වීමට ජේ.ආර්. ජයවර්ධනගේ විධායක අත්තනෝමතිකත්වය මුල් කොට ගත් පාලන මාදිලිය විශාල වශයෙන් මහෝපකාරී විය. ඔහු මන්ත්‍රීවරුන්ට වෙන් කරන විමධ්‍යගත වැය ක්‍රමයක් හඳුන්වා දීමෙන් මෙරට අනුග්‍රාහක දේශපාලනය ආයතනගත කළේය. එතැන් සිට අද දක්වාම මන්ත්‍රීවරුන්ට මහා පරිමාණයෙන් දූෂිත ආර්ථික කටයුතුවල යෙදිය හැකි වූයේ විධායක ජනාධිපති ධූරයේ සෘජු හෝ වක්‍ර ආශීර්වාදය සහිතව පමණි. එබැවින්, යමෙකු දූෂණයට එරෙහි වීමේ නාමයෙන් පාර්ලිමේන්තුව බැහැර කරන අතර විධායකය වර්ණනා කිරීම මුළුමනින්ම පදනම් විරහිතය.

අනෙක් අතට, නූතන ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමයේ මූලධර්මයක් වන බලය වෙන් කිරීම (separation of power) යන්න ඔවුන් අර්ථ කථනය කරන්නේද ඉතාම සරලමතික ආකාරයෙනි. 17 වන සියවසේ අග භාගයේ පටන් 18 වන සියවසේ මැද භාගය දක්වා විසූ ප්‍රංශ ජාතික දේශපාලන චින්තකයෙකු වූ මොන්ටෙස්කියු පෙන්වා දුන්නේ නූතන රාජ්‍යයේ මූලික කෘත්‍යයන් තුනක් වන නීති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීම සහ නීති පසිඳලීම/අර්ථ කථනය කිරීම එකිනෙකින් වෙනස් කණ්ඩායම්වලට පැවරිය යුතු බවයි. වෙනත් වචනවලින් කිව හොත්, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන එකිනෙකින් සාපේක්ෂ ස්වායත්තතාවක් සහිතව ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ මන්ද? එසේ නොමැතිව මේ සෑම බලයක්ම එකම පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වුව හොත් ඉතාම අත්තනෝමතික පාලනයක් නිර්මාණය විය හැකි බැවිනි.

මෙහිදී අවධාරණය විය යුතු වැදගත්ම කාරණය වන්නේ මෙසේ බලයේ එකිනෙක අංගයන් එකිනෙකින් වෙන්ව පැවතිය යුත්තේ එම බලය දරන්නන් හොඳ අයවලුන් වීම නිසා නොව නරක අයවලුන් වීම නිසාය යන්නයි. බලතල බෙදීමේ න්‍යාය පදනම් වන්නේ ස්වභාවයෙන්ම බලකාමී මිනිසුන් අතර නිදහස පවත්වා ගැනීමේ ප්‍රයෝජ්‍යතාවාදී වුවමනාව මතය. 19 වන සියවසේදී ඉතාලියේ උපන් ඇක්ටන් සාමිවරයාගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් මෙසේය; “බලය දූෂණය ඇති කරයි; පරම බලය පරම ලෙසම දූෂණය ඇති කරයි.”

මේ අනුව, මෙරට ආණ්ඩුක්‍රමික ආයතන දූෂිත පුද්ගලයන්ගෙන් පිරී ඇතැයි යමෙකු කල්පනා කරන්නේ නම් එම දූෂණය අවම කිරීම සඳහා කළ යුත්තේ සමස්ත බලය එක් ආයතනයක සංකේන්ද්‍රණය කිරීම නොවේ; ඊට සපුරාම වෙනස්ව බලයේ වෙනස් අංග හැකිතරම් එකිනෙකින් වෙන් කිරීමයි; ඒ එක් බලයක් අනෙක් බලයන්ගෙන් පරීක්ෂාවට සහ තුලනය වීමට සලස්වන අයුරිනි. ප්‍රායෝගිකව ගත් කල පාර්ලිමේන්තුව “හොඳ” පුද්ගලයන්ගෙන් පිරවීමේ මනෝරාජික ප්‍රයත්නයට වඩා මෙම ප්‍රවේශය යථාර්ථවාදීය. නමුත්, තවමත් ජනතා විමුක්ති පෙරමුණද ඇතුළු මෙරට බොහෝ දේශපාලන කණ්ඩායම් පුන පුනා ප්‍රකාශයට පත් කරමින් සිටින්නේ පූර්ව-මොන්ටෙස්කියානු අදහසක් වන පාර්ලිමේන්තුවේ “නරක” පුද්ගලයන් වෙනුවට “හොඳ” පුද්ගලයන් පත් කළ යුතුය යන්නයි. ඒ වෙනුවට මොන්ටෙස්කියුගේ ප්‍රයෝජ්‍යතාවාදී න්‍යාය ගොඩ නැගෙන්නේ අධික බලයක් ලැබෙන ඕනෑම පුද්ගලයෙකු “නරක” වීමේ විභවයක් සහිත බව අප පිළිගන්නා ප්‍රවේශයක් මතය. එබැවින් “හොඳ” පුද්ගලයින් තෝරා පත් කිරීමේ මනෝරාජික ප්‍රයත්නයක යෙදීම වෙනුවට එයින් යෝජනා කෙරෙන්නේ අත්තනෝමතික බලයක් නිර්මාණය වීම වැලැක්වීමේ ප්‍රායෝගික විධි ක්‍රමයක් සැකසීමය. එහි මූලික අරමුණ සමාජ නිදහස පවත්වා ගැනීමය. මේවා ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රම න්‍යායේ මූලිකාංගය.

වමේ අභියෝගය

අවසන් වශයෙන් සඳහන් කළ යුත්තක් නම් ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රචලිත ඇතැම් වාමාංශික දුර්මතීන්ද පවතින බවයි. ඒ අතුරින් මේ දිනවල යම් යම් වාම කව තුළ සාකච්ජාවට ලක් වෙමින් තිබෙන මතයක් නම් පාර්ලිමේන්තුව නමැති ධනපති ආයතනය මුළුමනින්ම බැහැර කොට පැරණි රුසියාවේ සෝවියට් සභා සහ ඉතාලියේ ෆැක්ටරි සභා වැනි විකල්ප නියෝජන ආයතන ගොඩ නැගීමට වාමාංශය තම මුළු අවධානයම යොමු කළ යුතුය යන්නයි. මෙය ලෙනින්ගේ සහ ග්‍රාම්ස්චිගේ න්‍යාය පිළිබඳ ඉතාම සදොස් කියැවීමක්ය යන්න මදකට අමතක කළද, මේ වනාහී වමේ දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල සාමූහිකව සිය දිවි නසා ගැනීමේ යෝජනාවක් බව වටහා ගැනීම අසීරු නැත.

ලෙනින් සහ ග්‍රාම්ස්චි පමණක් නොව ට්‍රොට්ස්කි පවා විසි වන සියවසේ මුල් භාගයේදී නැග එමින් තිබූ ෆැසිස්ට් බලය පරාජය කිරීම වාම දේශපාලනයේ න්‍යාය පත්‍රයේ මුළටම පැමිණ තිබූ බව පිළි ගත්හ. එපමණක් නොව, ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා 1920 දශකයේදී එකිනෙකින් වෙන්ව සිටි ඉතාලියානු සමාජවාදී පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය යළිත් එක්සත් විය යුතුය යන යෝජනාව ලෙනින් ඇතුළු තුන් වන ජාත්‍යන්තරයේ නායකයින් නැවත නැවතත් ඉදිරිපත් කළහ. අවාසනාවකට ග්‍රාම්ස්චි ඇතුළු කොමියුනිස්ට් නායකයින් තමන් කලින් සාමාජිකත්වය දැරූ සමාජවාදී පක්ෂය සමග නැවත එක් වන්නට මැළිකමක් දැක්වූහ. පසුව, සමාජවාදී පක්ෂය ෆැසිස්ට්වාදීන් සමග අනතුරුදායක සම්බන්ධයක් පැවැත්වීම කරා යොමු වූහ. එම තීරණාත්මක මොහොතේ ප්‍රජාතාන්ත්‍රික නිදහස වෙනුවෙන් වාම සහයෝගීතාවක් ගොඩ නගා ගැනීමට ඉතාලියානු සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අසමත් වීම වෙනුවෙන් ඔවුනට ගෙවන්නට සිදු වූ මිළ කොතරම්දැයි අපි දනිමු. ඉන්පසුව ටියුරිනයේ ෆැක්ටරි සභාවලට තබා වාමාංශික පුවත් පත්වලට හෝ පවතින්නට ඉඩක් ඉතිරි වූයේ නැත.

මේ ඉතිහාසය අපට උගන්වන පාඩම වන්නේ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ස්වාධීන නියෝජන ආයතන ගොඩ නැගීම ඉතාම අවශ්‍ය වූවක් වන අතරම බාහිර ලෝකයේ පුළුල් දේශපාලන ගතිකයන් මුළුමනින්ම නොතකා හැර තම මනෝරාජික සමූහ ගොවිපළවල් තුළ ඒවා ගොඩ නැගිය නොහැකි බවයි. එබැවින්, මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ලෝකය පුරාම මතුව තිබෙන දක්ෂිණාංශික අධිකාරීවාදය පරාජය කිරීම වාම දේශපාලනයේ හදිසි කර්තව්‍යයක් බවට පත්ව තිබේ. එම අධිකාරීවාදයේ දණහිස් වාමාංශිකයින්ගේ ගෙල මතට පහත් වීමට වැඩි කලක් ගත වන්නේ නැත. පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් කරනු ලැබූ අනතුරු හැඟවීම එයයි.

කෙසේ වුවත්, දැනට මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකි සුබවාදී ප්‍රවණතාවක්ද තිබෙන බව කිව යුතුව ඇත. එනම්, අපද කලක පටන් යෝජනා කරමින් තිබූ පරිදි පුළුල් වාම-ප්‍රජාතාන්ත්‍රික සහයෝගීතාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දක්වා ඇති සාධනීය ප්‍රතිචාරයයි. අනුර කුමාර දිසානායක එය පහත වචනවලින් කදිමට පැහැදිළි කළේය: “ඇතැම් දේශපාලන සංසිද්ධීන් ඇතැම් දේශපාලන චලනයන් වෙනස් කරයි.” කුමාර් ගුණරත්නම් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉතාම පුළුල් එකතුවකට ඇරයුම් කිරීම මගින් තමන් වාමාංශයේ පරිණත නායකත්වයක් බව පෙන්වීමට සමත් විය. මේ සහයෝගීතාවයේ අනපේක්ෂිත පණිවිඩය අඳුරු වලා අතරින් එක්වරම දිස් වූ රිදී ආලෝකයක් බඳුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.