18 June, 2026

Blog

දේශපාලන යුග පෙරළිය සහ අතීතයේ ආමන්ත්‍රණ

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

1977 මහා මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පැරණි වාමාංශික ව්‍යාපාරය මුහුණ දුන් අර්බුදය කෙබඳු ද? අද දිනයේ සමගි ජන බලවේගය ප්‍රමුඛ මෙරට දක්ෂිණාංශික ව්‍යාපාරය මුහුණ දී සිටින්නේද එවන් අර්බුදයකට ය. මේ සැසඳීම කෙනෙකුට එක්වරම ඒත්තු නොයාම සාධාරණ ය. මන්ද යත්, ලාංකීය දකුණ නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂවල පාර්ලිමේන්තු සහ දේශපාලන නියෝජනය තවමත් සැලකිය යුතු මට්ටමකින් පවතින බැවිනි. ඊට වෙනස්ව, ’77 දී ශ්‍රීලනිපය ආසන අටටත් පැරණි වමේ පක්ෂ බිංදුවටත් වැටුණා නොවේදැයි යමෙකු විමසිය හැකිය.

නමුත්, මෙහිදී අප සිහි තබා ගත යුතු කාරණයක් වන්නේ දේශපාලන නියෝජනයේ ස්වභාවයද 1977 ට සාපේක්ෂව ගත් කල අද දිනයේ විශාල වෙනසකට ලක්ව ඇති බවය. පළමුව, එකල පැවති සරල බහුතර නියෝජන ක්‍රමය වෙනුවට අද ක්‍රියාත්මක වන්නේ ඉතාම අඩු ජන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂයකට පවා පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගත හැකි ආකාරයේ සමානුපාතික නියෝජන ක්‍රමයකි. ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තු නියෝජනයක් හිමි කරගැනීම සඳහා කිසියම් පක්ෂයක් ලබා ගත යුතු අවම ජන්ද ප්‍රතිශතය 12.5% ක් විය. මේ ප්‍රතිශතය 5% දක්වා පහත හෙළන ලද්දේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම පරිදි ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි. නියෝජන ක්‍රමයෙහි මෙවන් පරිවර්තනයක් සිදු නොවූයේ නම්, වත්මනෙහි විපක්ෂ කණ්ඩායම්වල පාර්ලිමේන්තු නියෝජනයේ මට්ටම කෙබඳු වනු ඇත්දැයි සිතා බලන්න.

2024 මහා මැතිවරණයේදී විපක්ෂයේ විශාලතම පක්ෂය වන සමගි ජන බලවේගයට පවා ලබා ගත හැකි වූයේ 17.66% ක ජන්ද ප්‍රතිශතයක් පමණි. ඊට සාපේක්ෂව, 1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 29.72% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ’77දී ලංකා සමසමාජ පක්ෂය 3.61%ක ප්‍රතිශතයක් ලැබූ අතර 2024 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබුවේ 3.14% ජන්ද ප්‍රතිශතයකි. එක්සත් ජාතික පක්ෂය සිටින්නේ 1%ටත් පහළිනි. මෙයින් කියැවෙන්නේ කුමක්ද? වත්මන් දක්ෂිණාංශික විපක්ෂය කෙරෙහි වන ජන සහයෝගයේ බිඳ වැටීම 1977දී ශ්‍රීලනිපය සහ පැරණි වම කෙරෙහි වූ ජන සහයෝගයේ බිඳ වැටීමටත් වඩා විශාල එකක් බවය. නමුත් එම පරිහානියේ තරම අදාළ පක්ෂවල පාර්ලිමේන්තු සහ සෙසු නියෝජනයන් තුළ පැහැදිලිව දෘෂ්‍යමාන නොවන්නේ මෙරට නියෝජන ක්‍රමයෙහි සිදුව ඇති වෙනස්කම් නිසා බවය.

දක්ෂිණාංශික විපක්ෂයේ අර්බුදය එක්වරම පැහැදිලි නොවීමට බලපාන තවත් සාධකයක් තිබේ. එනම්, පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති අතිමහත් ව්‍යාප්තිය හේතු කොටගෙන මාධ්‍ය තුළ වන නියෝජනයේ දේශපාලන බලපෑම වර්ධනය වීමයි. නිදසුනක් ලෙස, වත්මන් යුගයේදී කිසියම් දේශපාලන පක්ෂයක සංවිධානාත්මක බලපෑම අතිශය අවම මට්ටමක පැවතියදී වුවත් එම පක්ෂයට මාධ්‍ය අවකාශය තුළ නිරන්තර පෙනී සිටීමක් පවත්වා ගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මාධ්‍ය අවකාශය තුළ පවතින එම නියෝජනය අනිවාර්ය ලෙසම එම පක්ෂය කෙරෙහි වන ජනතා සහයෝගීතාවේ මට්ටම නිරූපණය කරන්නේ නැත. ඒ වෙනුවට සැබෑ දේශපාලන පොළෝ තලය මත තම පැවැත්ම මුළුමනින්ම අහෝසි වී ගිය පක්ෂයකට වුවත් මාධ්‍ය අවකාශය තුළ අතථ්‍ය (virtual) පැවැත්මක් අත්පත් කරගැනීමේ හැකියාවක් ලැබී ඇත. මෙය ’80 දශකයේදී පැරණි වමේ ව්‍යාපාරය අර්බුදයට ලක් වනවිට නොපැවති ආකාරයේ නව තත්ත්වයකි. වත්මන් යුගයේදී දකුණේ සැබෑ අර්බුදය නොපෙනී යාමට මෙසේ මාධ්‍ය තුළ ගොඩ නැගෙන නියෝජනයේ නව ස්වරූපයන්ද හේතු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

යුග පෙරළියට අන්ධ වීම

දක්ෂිණාංශික විපක්ෂය කෙරෙහි ඇති ජනතා ආකර්ෂණය බිඳ වැටීම එම විපක්ෂයේ අර්බුදය ප්‍රකාශයට පත් වන එක් ආකාරයක් පමණි. ඊට අමතරව, 2022 ජනතා අරගලයෙන් සහ 2024 ජනාධිපතිවරණයෙන් සිදු වූ දේශපාලන පරිවර්තනය අවබෝධ කරගන්නටත් එයට ප්‍රතිචාර දක්වන්නටත් විපක්ෂයේ සියළු කණ්ඩායම් අසමත් වීම නමැති කාරණයෙන්ද අපට විපක්ෂයේ අර්බුදය තේරුම් කළ හැකිය. තම දෙපා යටින් දේශපාලන පොළෝ තලය වෙනස් වී තිබේය යන්න අවබෝධ කරගන්නට අසමත් අයෙකු ක්‍රියා කරනු ඇත්තේ පැරණි ලෝකයේ නියෝජිතයෙකු ලෙසිනි. ඔහු පැරණි සටන් පාඨ, පැරණි දේශපාලන උපාය මාර්ග, වැඩ පිළිවෙලවල් සහ ප්‍රවේශයන් තවදුරටත් ක්‍රියාවේ යොදවන්නට ප්‍රයත්න දරනු ඇත. ඒවා එතරම් පල නොදරන විට ඔහු පවසනු ඇත්තේ යම් යම් අහඹු සුවිශේෂී හේතු නිසාවෙන් එසේ වන බවය. නොඑසේනම්, නව පාලනය විසින් ජනයා රවටනු ලැබ තිබේයැයි ඔවුන් චෝදනා කරනු ඇත. නමුත්, ඔවුන් වටහා ගන්නට අසමත් වන කාරණය වන්නේ පෙර පැවති දේශපාලන සන්දර්භය තුළ සාර්ථක වූ දේශපාලන සටන් පාඨ, දෘෂ්ටිවාද සහ උපාය උපක්‍රම දැන් පල නොදරන්නේ සමස්ත දේශපාලන සන්ධර්භයම කිසියම් පරිවර්තනයකට ලක්ව තිබීම නිසාය යන කාරණයයි.

මේ සඳහා කදිම නිදසුන් ගණනාවක් පසුගිය නොවැම්බර් 21 වනදා නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ නුගේගොඩ රැස්වීම තුළින් සොයා ගත හැකිය. එහිදී එක් අතකින් රාජපක්ෂ වටා ප්‍රබල අනුගාමිකයින් කණ්ඩායමක් සිටින බව හුවා දක්වමින්ද (ඔහු රැස්වීම අමතන විටත් ඒ පිරිස ඔහු පසුපසින් සිටගෙන සිටිනු දක්නා ලදී), ඔහුට සංකේතාත්මක ප්‍රෞඪත්වයක් ආදේශ කිරීමෙන්ද, ඔහු ඔහුගේ පියාගේ කැරිස්මැටික නායකත්වයේ උරුමකරුවෙකු ලෙස භෞතීස්ම කිරීමෙන්ද (එජාපයේ හරීන් ප්‍රනාන්දු ඔහුව හැඳින්වූයේ ‘වේදිකාවේ කුමාරයා’ ලෙසිනි) පොදු ජනතාවට ඉහළින් සිටින ප්‍රභූ නායකත්වයක් පිළිබඳ පිළිබඳ පැරණි ප්‍රතිරූපය ප්‍රතිස්ථාපනය කරන්නට ප්‍රයත්න දැරිණ. අනෙක් අතින්, රැස්වීම තුළ විශාල අවධානයකට ලක් වූ තරුණ කතිකාවියකගේ කතාව තුළ මනාව කියැවුණු පරිදි ජවිපෙ/ජාජබ නායකත්වය රාජ්‍ය පාලනය සඳහා සුදුසුකම් නොමැති සමාජ පන්තියකින් පැවත එන්නේය යන්න අවධාරණය කරන්නට ප්‍රයත්න දැරිණ. ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක හැඳින්වූයේ “තඹුත්තේගම රම්බණ්ඩාගේ පුතා” යනුවෙනි. මේ ප්‍රකාශය විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අවකාශය තුළ ජනපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට හේතු විය. ඒ මන්ද? පෙර පැවති දේශපාලන සන්ධර්භය තුළ ආකර්ශනීය සහ ජනප්‍රිය එකක් වන්නට ඉඩ තිබුණු රාජපක්ෂගේ සංකේතීය ප්‍රභූ රඟ දැක්වීම විහිළුවක් බවට පත් වීමේත්, අනුර කුමාර දිසානායකගේ නිර්-ප්‍රභූ පසුබිම ඔහුගේ ජනප්‍රියත්වයේ සාධකයක් බවට පත් වීමේත් නව සන්ධර්භයකට අප ඇතුළු වී සිටින නිසාය. මෙම ඓතිහාසික පරිවර්තනය අවබෝධ කොට නොගෙන දේශපාලනයේ යෙදෙන සහ දේශපාලනය විශ්ලේෂණය කරන කවරෙකුගේ හඬක් වුවද අද ඇසෙන්නේ අතීතයේ හඬක් ලෙසිනි.

ඉතිහාසයේ පාඩම්

ඓතිහාසික පෙරළියකින් පසුව දේශපාලනය නැවත සකස් වන්නේ කෙසේදැයි වටහාගන්නට අපට ලාංකීය නූතන දේශපාලන ඉතිහාසයෙන් නිදසුන් කිහිපයක් ගෙන හැර දැක්විය හැකිය. එම පළමු යුග පෙරළිය 1956 දේශපාලන පරිවර්තනය වූ අතර ඒ සමග ගොඩ නැගුණු යුගය 1977 දක්වා කලක් පැවතිණ. දෙවන යුගය ’77 සිට 1994 දක්වාත්, තෙවැන්න ’94 සිට 2024 දක්වාත් සලකුණු කළ හැකිය. 2024 දී සිදුවූ යුග පෙරළිය නිසැකවම ඉන් පෙර වූ සියලු පෙරළිවලට වඩා ගැඹුරු හා තීව්‍ර වූවකි. අතීතයේ වූ සෑම යුග පෙරළියකටම පසුව විපාක්ෂික කණ්ඩායම්වලට යළි නැගී සිටීමට හැකි වූයේ තමාව ස්වයං-පරිවර්තනයකට ලක් කර ගැනීමේ ක්‍රියාවලියකට පසුවය. සරලව, 1977දී යළි බලය දිනාගත් එජාපය පැරණි එජාපය නොවූ අතර, 1994දී බලය දිනාගත් ශ්‍රීලනිපයද පැරණි ශ්‍රීලනිපය නොවීය. 2024 දී බලයට පත් ජවිපෙ පැරණි ජවිපෙය නොවන බව නොදන්නෝ කවරහුද? මේ ලිපියේ ඉතිරි අඩ තුළ ඉහත කී පළමු යුගය තුළ විපාක්ෂික දේශපාලනය යළි හැඩ ගැසුණේ කෙසේදැයි කෙටියෙන් සලකා බලන්නට මම ප්‍රයත්න දරමි.

මෙහිදී පළමුව ’56 පෙරළියේ ඓතිහාසික පසුබිම ගැන යමක් කිව යුතුව ඇත. මෙරට නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හැඩ ගැසීමේ ආරම්භක අවධියේ (එනම් 1930 දශකයේ මුල් භාගය) පටන් 1956 දක්වා කාල පරිච්ජේදය තුළ දේශපාලන ලෝකය ආධිපත්‍යයට ගෙන තිබුණේ යටත් විජිත ප්‍රභූ පැලැන්තියක් විසිනි. නූතන බහුජන පක්ෂ (mass parties) නිර්මාණය වූයේ පසුකාලීනවය. සිත් ගන්නා සුළු කාරණයක් නම් මෙරට පළමු දේශපාලන පක්ෂ දෙකම (ලංකා කම්කරු පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය) දක්ෂිණාංශික බහුජන පක්ෂ නොවීය යන්නයි. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ප්‍රාදේශීය පක්ෂ ශාඛා ජාලයන් සමග ජාතිකව සංවිධානය වූ බහුජන පක්ෂ බවට පරිවර්තනය වූයේ 1956 දේශපාලන පරිවර්තනයෙන් පසුව බව ලාංකීය දේශපාලනය පිළිබඳ විශ්ලේෂකවරියක් වූ උර්මිලා පද්නිස් පෙන්වා දී තිබේ. ’56 මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රාදේශීයව මෙහෙයවන ලද්දේ බෞද්ධ ආගමික ආයතන විසින් බව ප්‍රකටය.

’56 පරිවර්තනය විවිධාකාරයෙන් තේරුම් කරනු ලැබ ඇති බව සැබෑය. නමුත්, ඒ ඕනෑම තේරුම් කිරීමක් තුළ පොදුවේ පිළිගනු ලබන කාරණයක් වන්නේ ලාංකීය දේශපාලනය බහුජනකරණය වීම එම පරිවර්තනයේ මූලික පැතිමානයක් වූයේය යන්නයි. සරලව, පොදුජන අවබෝධය (common sense) තුළ ‘ජනතා ආණ්ඩුවක්’ ලෙස පළමුවෙන් සටහන් වූයේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවයි. බහුජනයා දේශපාලන අවකාශයට කඩා වැදීම සහ ඔවුන් දේශපාලන පක්ෂ ක්‍රමයට අවශෝෂණය කරගැනීම මෙම බහුජනකරණයේ නිර්වචනාත්මක සාධකය විය. මෙහිදී දේශපාලනයේ ප්‍රභූ ආධිපත්‍ය අහෝසි නොවූ අතර ඒ වෙනුවට සිදු වූයේ ගතානුගතික ප්‍රභූ නායකත්වය යම් යම් බහුජන දේශපාලන පැන නැගීම් සමග සන්ධානගත වීමය. එම සන්ධානය ගොඩ නැගීමේ දෘෂ්ටිවාදී බදාමය නිර්මාණය කරන ලද්දේ සිංහල බෞද්ධ ජනවාර්ගික ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණියක් විසිනි. (අන්තෝනියෝ ග්‍රාම්ස්චි දෘෂ්ටිවාදය එකිනෙකට වෙනස් සමාජ කණ්ඩායම් අතර බැම්මක් නිර්මාණය කරන්නා වූ බදාමයක් ලෙසද තේරුම් කරයි). ඒ අතරම එකල දේශපාලන කතිකාව තුළ ආධිපත්‍ය දැරූ මධ්‍ය-වාමාංශික රාජ්‍ය සුභසාධනවාදී දෘෂ්ටිවාදයන් ස්වකීය කතිකාවට සුසම්බන්ධ කරගන්නටද බණ්ඩාරනායක ව්‍යාපෘතිය සමත් විය. ඒ අනුව, ’56 පරිවර්තනය සමග ගොඩ නැගුණු අධිපති දේශපාලන කතිකාව වාම-ජාතිකවාදී කතිකාවක් ලෙස හඳුනාගත හැකිය. 1964දී ලංකා සමසමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග සන්ධානගත වීම මේ කතිකාමය අවකාශය තුළ වියහැකියාවක් වීම පුදුමයට කරුණක් නොවේ.

මෙසේ ස්ථාපිත වූ වාම-ජාතිකවාදී හෙජමොනිය 1970 දශකයේ අගභාගය දක්වා පැවති බව අපට නිරීක්ෂණය කළ හැකිය. 1965-70 කාල පරිච්ජේදය තුළ ආණ්ඩු බලය හෙබවූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව පවා ’56 පරිවර්තනය සමග අනුගත වූවා මිස වාම-ජාතිකවාදීන් විසින් සිදුකරන ලද ව්‍යුහාත්මක පරිවර්තන කිසිවක් ආපස්සට හරවන්නට සමත් වූයේ නැත. මෙකී හෙජමොනික සැකැස්ම බිඳ දමන්නට දක්ෂිණාංශය සමත් වූයේ 1977දීය. ඒ 1973 වසරේ පටන් ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ එජාපය ස්වයං-පරිවර්තනයකට ලක් වීමේ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙසිනි. ’70 දශකයේ ආර්ථික අර්බුදය, ආර්ථිකය එක තැන පල්වීම සහ ඒ හා බැඳුණු සමාජ නොසන්සුන්තා යනාදී සාධක රාශියක් හේතු කොටගෙන වාම-ජාතිකවාදී සැකසුම බිඳ වැටීමේ තත්ත්වයන් සකස්ව තිබූ බව සත්‍යයකි. නමුත්, එම පරිවර්තනයේ ඒජන්තයා නොහොත් කතෘකයා බවට පත්වීමට ජයවර්ධනගේ එජාපය සමත් වූයේ එම පක්ෂය තුළම සිදුකරන ලද අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙසිනි. එකී ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වූයේ අන් කිසිවක් නොව එජාපය ප්‍රභූ පැලැන්තියක නියෝජනයක් නොව ශ්‍රීලනිපය හා වමේ පක්ෂ වැනි බහුජන පක්ෂයක්ය යන ආකල්පය ගොඩ නැංවීමයි.

ස්වයං-පරිවර්තනයේ දේශපාලන වැදගත්කම

එජාපයේ සිදු වූ මෙම පරිවර්තනයේ ප්‍රධාන පැතිමාන කිහිපයක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න නම්, ’56 පරිවර්තනයත් ඉනික්බිති ගොඩ නැගුණු වාම-ජාතිකවාදී කතිකාමය ආධිපත්‍යයත් සරලව ප්‍රතික්ෂේප කර දැමීම වෙනුවට එය නව දේශපාලන යථාර්තයක් ලෙස බාර ගැනීමයි. දෙවනුව, තමන් හට දේශපාලනය කරන්නට සිදුවන්නේ ඩී.එස් සේනානායක ඇතුළු තම පක්ෂයේ පූර්වගාමීන් දේශපාලනය කළ ඓතිහාසික සන්ධර්භය තුළ නොවන බව අවබෝධ කරගන්නට ජයවර්ධන සමත් විය. තෙවනුව, වාම-ජාතිකවාදී හෙජමොනියට මුහුණ දිය හැක්කේ තම පක්ෂයම බහුජනකරණය කිරීමෙන් බවත්, ඒ සඳහා පක්ෂයේ සංවිධාන ව්‍යුහයේ සහ ප්‍රතිරූපයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතු බවත් ජයවර්ධන වටහා ගත්තේය. සිව්වෙනුව, වාම ජාතිකවාදයේ ඇතැම් ජනප්‍රිය සංඝටක අවශෝෂණය කර ගන්නටද ජයවර්ධනගේ එජාපය පසුබට නොවීය. නිදසුනක් ලෙස ජයවර්ධන තමාව හඳුන්වා ගත්තේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙකු ලෙසින් වූ අතර රාජ්‍ය සුභසාධනවාදයේ ඇතැම් අංග දිගටම පවත්වාගෙන යන්නට ඔහු තීරණය කළේය. අනෙක් අතින්, වාම ජාතිකවාදී කතිකාව තුළ කිසියම් දුරකට හීලෑ කොට තිබූ ජනවාර්ගික ජාතිකවාදී අභිලාෂයන් රැඩිකල්කරණය කොට ඒවා ඉතාම විනාශකාරී අන්තයකට රැගෙන යන්නටද එජාපය ක්‍රියා කළේය. පස් වෙනුව, ’70 දශකයේ ආර්ථික අර්බුදය සහ සමාජ පීඩනය පසුබිම් කොටගෙන පැන නැගුණු සමාජයීය අසහනයන්ට ආමන්ත්‍රණය කරමින් ඒවාට දක්ෂිණාංශික විසඳුම් පැකේජයක් ඉදිරිපත් කරන්නට ජයවර්ධන සමත් විය.

ඉහත නිදසුනෙන් පැහැදිලි වන්නේ අප කිසියම් යුග පෙරළියක් ඔස්සේ නව දේශපාලන සන්ධර්භයකට ඇතුල් වූ පසුව තවදුරටත් පැරණි යුගයේ සටන් පාඨ, සංවිධාන ආකෘති සහ දේශපාලන උපායමාර්ග ඔස්සේ ඉදිරියට යා නොහැකි බවය. එසේම, නව දෙය අභියෝගයට ලක් කළ හැක්කේ එය තුළම ගොඩ නැගෙන වර්ධනයන් සහ ප්‍රතිවිරෝධතා නිර්මාණශීලී ලෙස ආමන්ත්‍රණය කිරීම මගින්ය යන්නයි. ඓතිහාසික පරිවර්තන වටහා ගැනීමේ න්‍යායික උපකරණ සතු වාමාංශිකයින් මේ කාරණය ඉතාම හොඳින් දනී. සිදුව ඇත්තේ ආණ්ඩු මාරුවක් පමණක් යැයිද නුදුරු කාලයකදී එය ආපස්සට හරවන්නට තමන්ට හැකි වේයැයිද කල්පනා කරන සරලමතික දක්ෂිණාංශිකයින් අවබෝධ කොට නොගත් කාරණය වන්නේ ජන සමාජය තමන් පසුකොට ඉදිරියට ගමන් කරමින් සිටින්නේය යන්නයි. එම නව ජන සමාජයට දැන් දක්ෂිණාංශික විපක්ෂයේ ආමන්ත්‍රණය ඇසෙන්නේ අතීතයට අයත් හඬවල් ලෙසිනි. හරියට 1980 දශකයේ මුල් භාගයේදී මෙරට පැරණි වාමාංශයේ ආමන්ත්‍රණය ජන සමාජයට ඇසුණු ලෙසින්මය. නමුත්, 2024 ජනාධිපතිවරණය සමග සිදු වූයේ පාලන තන්ත්‍රයේ වෙනසක් නොව දේශපාලන යුග පෙරළියක් බව ජවිපෙ/ජාජබ නායකයින් අවබෝධ කොටගෙන ඇති බව පෙනේ. ඔවුන් මුලසිටම දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්නට සූදානම් වෙමින් සිටීමෙන් ගම්‍ය වන්නේ එයයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.