20 April, 2024

Blog

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම

නම්රටා වර්ගීස් –

පොඩ්ඩක් මෙහෙම හිතන්න. ඔයා මහ මුහුද මැද පාරුවක ඉන්නවා. ඔයත් එක්ක තව ඉන්නවා සමාගමක විධායක නිලධාරියෙක්, වෛද්‍යවරයෙක්, සංගීතඥයෙක්, ශිෂ්‍යයෙක් සහ රැකියාවක් නැති කෙනෙක්. පාරුවේ යට හිලක් තියෙනවා. ඉතින්, හෙමින් හෙමින් පාරුවට වතුර පිරෙනවා. ඒකට දරාගන්න පුළුවන් මිනිස්සු පස් දෙනෙක්ගේ බර විතරයි. ඔයාල අතරින් එක්කෙනෙක් අයින් වෙන්න වෙනවා. ඔයා මුහුදට දාන්නේ කාවද?

නම්රටා වර්ගීස්

මේ වගේ තත්ත්වයකදී අපි ගන්න තීරණයෙන් ගොඩක් දුරට කියවෙනවා අපි කාගේ ජීවිතද වැදගත් කියලා හිතන්නේ සහ අපි එහෙම හිතන්නේ ඇයි කියන එක. ඒ තර්කණය ගෝලීය තලයට ව්‍යාප්ත කළොත් ඒක තමයි මට අනුව, මරණ-දේශපාලනය (necropolitics) කියන්නේ. ඒ කියන්නේ ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද සහ මැරෙන්න ඕන කවුද කියන කාරණය පිටිපස්සේ තියෙන ගණනය කිරීම.

‘necro’ කියන වචනේ එන්නේ ‘nekros’ කියන ග්‍රීක වචනෙන්. ඒකෙ තේරුම ‘මළ මිනිය’ කියන එකයි. එතකොට ‘necropolitics’ කියන එක ‘මරණය පිළිබඳ දේශපාලනය’ කියලා පරිවර්තනය කරන්න පුළුවන්. ඇචීල් ම්බෙම්බේ කියන දාර්ශනිකයා මරණ-දේශපාලනය නිර්වචනය කරන්නේ “වටින්නේ කාවද නොවටින්නේ කාවද, ඉවත දමන්න පුළුවන් කාවද ඉවත දමන්න බැරි කාවද කියන දේ නිර්වචනය කරන්න තියෙන හැකියාව” කියලයි. වෙන වචනවලින් කියනවා නම්, මරණ-දේශපාලන කියන්නේ රාජ්‍යයන් මානව ජීවිතවලට එකිනෙකට වෙනස් වටිනාකම් දෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න පුළුවන් ආකෘතියක්. ඔයා අධිපති බලයට ලං වෙන තරමට ඔයාගේ ජීවිතේ වටිනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේදී ඔයා විෂම ලිංගිකයෙක් නම්, සුදු ජාතිකයෙක් නම්, නිරෝගී කෙනෙක් නම්, උපතින් ලැබුණු ලිංගයම භාරගත් කෙනෙක් නම්, සල්ලිකාරයෙක් නම්, ක්‍රිස්තියානි මිනිහෙක් නම් මේක ඔයාට හොඳ ප්‍රවෘත්තියක්. ඒත් ඔයා මේ වරප්‍රසාදය මනින මිණුම් දඬුවලින් පහළින් ඉන්න තරමට මරණ-දේශපාලනයේ තර්කණයට අනුව ඔයාගේ ජීවිතේ වටිනාකම අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ පැවැත්මේ අස්ථිරත්වය වැඩි වෙනවා.

ඔයා මරණ-දේශපාලනය කියන වචනේ මීට කලින් කවදාවත් අහලා නැති වුනත් ඔයාට සමහරවිට දැනටමත් ඒක ඉවෙන් වගේ දැනිලා ඇති. ඔයා කවදහරි අහල තියෙනවද “අවශේෂ හානි” කියන වචනේ. ඒක අපි මැද පෙරදිග කලාපයේ කෙරෙන එක්සත් ජනපද බෝම්බ ප්‍රහාර එක්ක සම්බන්ධව නිතර පාවිච්චි කරන වචනයක්. ඒකෙ අදහස තමයි කිසියම් වියුක්ත සමාජ යහපතක් වෙනුවෙන් සමහර මිනිස්සුන්ට මැරෙන්න වෙනවා කියන එක. මේ බෝම්බවලට ගොදුරු වෙන ගොඩක් අය සුදු ජාතිකයින් නොවීම, සල්ලිකාරයන් නොවීම, ක්‍රිස්තියානු භක්තිකයන් නොවීම, ඒ වගේම ඇමෙරිකානුවන් නොවීම අහම්බයක් නෙමෙයි. ‘අවශේෂ හානි’ කියන එකෙන් කළු සහ දුඹුරු හම තියෙන මිනිස්සු මිලියන් ගාණක් මරණ එක යුක්තිසහගත කරනවා. අපේ ආණ්ඩු ඒ අයගේ මරණ තර්කානුකූල කරන්නේ එයාල මැරෙන එක අපිට හොඳ ජීවිත ගත කරන්න තියෙන එකම මාධ්‍යය බව පෙන්වීමෙන්. මට අනුව, මරණ-දේශපාලනයේ හදවත මේකයි: එක පුද්ගලයෙක්ගේ ජීවිතය වෙනුවෙන් ඊට වඩා ගොඩක් අසරණ පුද්ගලයෙකුගේ ජීවිතය කැප කිරීම. නැත්නම්, ම්බෙම්බේගේ වචනවලින් කිව්වොත්, “ජීවිතයේ ගණනය කිරීම ගලා යන්නේ අනෙකාගේ මරණය තුළින්.”

මරණ-දේශපාලනයේ තර්කණයෙන් අපේ සමාජය ව්‍යුහගත වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයා දැක්කම ඔයාට ඒක නොදැක ඉන්න බැහැ. අපි අපිට ගොඩක් සමීප උදාහරණයකින් මේ ආකෘතිය දිහා බලමු. ඒ තමයි මේ පවතින කොවිඩ්-19 වසංගතය. අද වෙනකොට එක්සත් ජනපදයේ මිනිස්සු මිලියන් බාගයකට වඩා කොවිඩ්-19 න් මැරිලා තියෙනවා.
අනුපාතයක් අනුව ගත්තම ආන්තික ප්‍රජාවන් වසංගතයේ බලපෑමට වැඩියෙන් ලක් වෙලා තියෙනවා. වයිරසයෙන් මැරෙන කළු මිනිස්සු ගාන සුදු මිනිස්සු ගානට වඩා ගොඩක් වැඩියි. සුදු මිනිස්සුන්ට වඩා දෙගුණයකටත් වඩා වැඩි අනුපාතයකින් ස්වදේශික ජනයා මැරෙනවා. ඒ වගේම ඒක ගණනය කරලා තියෙන්නෙත් අඩුවෙන්. වර්ණ හම තියෙන ප්‍රජාවන් එන්නත් ක්‍රියාවලියෙනුත් හැලිලා තියෙනවා. පහුගිය වසන්තයේදී ‘නිව් රිපබ්ලික්’ සඟරාවට ලියපු ලිපියකදී වර්ගය පිළිබඳ විවේචනාත්මක න්‍යායවේදියෙක් වන කිම්බර්ලි විලියම්ස් ක්‍රෙන්ෂෝ මේ කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිවිපාකවල වාර්ගික අසමානුපාතික බව හෙළා දකින්නේ “නරක දේශපාලනික ගණන් බැලීමක්” විදියටයි. ඒක දුප්පත් සුදු-නොවන ප්‍රජාව අතර සිදු වන මරණ සංඛ්‍යාව ‘පිළි ගත හැකි ප්‍රමාණයක්ය’ කියන ගණන් බැලීම වටා කරකැවෙන්නක්.

කොවිඩ්-19 ආන්තික ජන කොටස්වලට අසමානුපාතික විදියට බලපාන්නේ ඇයි? මම හිතන්නේ උත්තරේ තියෙන්නේ මරණ-දේශපාලනය තුළයි. ආන්තික ජන කොටස්වලට සෞඛ්‍ය සේවය ලබා ගැනීමේදී, අධ්‍යාපනය ලබා ගැනීමේදී වගේම වෘත්තීය වශයෙන් ඉහළට යාමේදී බාධාවන් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සංස්කෘතික විචාරකයෙක් වන හෙන්රි ජිරොක්ස් “නව-ලිබරල්වාදයේ ත්‍රස්තයට එරෙහිව” කියන ඔහුගේ පොතෙන් හෙළිදරව් කරන දෙයක් තමයි එක්සත් ජනපදයේ ඉන්න ගොඩක්ම අසරණ මිනිසුන්ව සලකන්නේ “ඉවත දමන්න පුළුවන් අය, රජයේ භාණ්ඩාගාරයට අනවශ්‍ය බරක් වෙන අය සහ ආරක්ෂාව ලබා ගන්නා අය” විදිහටයි කියන එක.

කොවිඩ්-19 අර්බුදයෙන් මේ අසමානුපාතික බව වැඩි වර්ධනය වෙලා තියෙනවා. සංකීර්ණ වෙලා තියෙනවා. වෛද්‍ය සුසෑන් මුවර්ගේ හද සසල කරවන කතාව ගැන පොඩ්ඩක් හිතන්න. වෛද්‍ය වෘත්තිකයෙක් වන මුවර් කොවිඩ්-19 ට ප්‍රතිකාර ගන්න අතරේ නිකුත් කරපු වීඩියෝ එකක් ගොඩක් ජනප්‍රිය වුනා. එයාගේ සුදු ජාතික වෛද්‍යවරයා එයාගේ සිද්ධිය හසුරුවපු විදිය ගැන ඒ වීඩියෝ එකෙන් හෙළිදරව් කෙරුණා. එයා කියන විදියට එයා තමන්ගේ ශාරීරික වේදනාව ගැන ඒ වෛද්‍යවරයාට පැමිණිලි කළාම වෛද්‍යවරයා කියල තියෙන්නේ එයාට තවත් වේදනා නාශක දෙන එක ඔහුට අපහසුවක්, ඒ නිසා රෝහලෙන් පිටවෙලා යන්න කියලයි. මුවර් මෙහෙම කියනවා; “මගේ ඇඟ වෙව්ලුවා. ඔහු මම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන කෙනෙක්ය කියන හැඟීම ඇති කළා.” මුවර් තවදුරටත් මෙහෙම කියනවා. “මම විශ්වාස කරනවා මම සුදු කෙනෙක් වුනා නම් මට එහෙම දේකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා.” සති දෙකකට පස්සේ මුවර් කොරෝනා වයිරසයට අදාළ සංකුලතාවලින් මරණයට පත් වුනා. (මේ වෙන කොට මුවර් රෝගියෙක් විදියට ප්‍රතිකාර ගත්ත රෝහල් පද්ධතිය වුන ‘ඉන්ඩියානා විශ්ව විද්‍යාල සෞඛ්‍යය’ නමැති ආයතනයේ ප්‍රකාශකයෙක් ‘නිව්යෝර්ක් ටයිම්ස්’ සඟරාවට කියලා තියෙනවා පවතින පුද්ගලික රහසිගතභාවය ගැන නීති අනුව එයාලට මුවර්ගේ විශේෂ සිද්ධිය ගැන මොනවත් කියන්න බැහැ කියලා. ඒකට එයා එකතු කරනවා එයාලගේ සංවිධානය මේ වෙනස් කොට සැලකීම ගැන තියෙන චෝදනා ගැන පරීක්ෂණයක් කරනවා, “සමානත්වය වෙනුවෙන් කැපවෙනවා සහ සෞඛ්‍ය සේවයේ වාර්ගික අසමානත්වය අඩු කරනවා” කියලත්). මරණ-දේශපාලනය විසින් මුවර්ගේ වගේ කතා සාමාන්‍ය දේවල් බවට පත් කරවනවා. වෛද්‍ය සේවයේ පක්ෂග්‍රාහීත්වය කළු ගැහැණුන්ට මාරාන්තික වෙන්න පුළුවන්.

මම දකින්නේ මරණ-දේශපාලනය ඒකෙ හරයෙන්ම ධනවාදයේත් ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩ ආයතනවලත් ප්‍රකාශමාන වීමක් කියලයි. ඒ ආයතන තමයි සුදු අධිපතීත්වය, බන්ධනාගාර-කාර්මික සංකීර්ණයන්, විෂම-ලිංගික පීතෘමූලිකත්වය සහ යටත් විජිතවාදය. ධනවාදය අපි හැමෝටම තුවාල කරනවා; අපේ ජීවිත ගණන් කරනවා; අපේ මරණය කලින්ම නිශ්චය කරනවා. මේ ලිපියේ ආරම්භයේදී කියපු ගිලෙන පාරුවේ කතාවට ගියොත්, මම තර්ක කරන්නේ ධනවාදියෙක් ඕනෑම මොහොතක ඔයාගේ හෝ මගේ ජීවිතයට වඩා තෝරා ගන්නේ සමාගම් කළමනාකරුවාගේ ජීවිතය කියලයි. ධනවාදය මරණ-දේශපාලනය ඉදිරියට අරන් යන්නේ හිඟතාවය පිළිබඳ මිථ්‍යාව හරහා යි. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ ගෝලීය වසංගතය තුළ සරලව අපි හැමෝටම ප්‍රමාණවත් තරම් සම්පත් නැහැයි කියන එක. ඉතින්, අපි අතරින් සමහර අය මැරෙන්න ඕන කියන එක. ඒත් ඒක ඇත්තක් විය යුතු නැහැ. අපි ධනය බෙදා හැරීමට සහ එකිනෙකාව ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දුන්නොත් අපි හැමෝටම ප්‍රමාණවත් තරම් දේවල් තියේවි. පෝලියෝ එන්නත නිර්මාණය කරපු ජොනෑස් සල්ක් එයාගේ සොයා ගැනීමට පේටන්ට් බලපත්‍ර ගන්න එක ප්‍රතික්ෂේප කළා. ඒ ජීවිත රැක ගන්නා එන්නත් අඩු මිළට ලබා ගන්න පුළුවන් දෙයක් බවට පත් කිරීම සඳහායි. කොවිඩ්-19 එන්නත්වලට සමාගම් පේටන්ට් අයිතිය ගන්නවා වෙනුවට අපි සල්ක් කළා වගේ එන්නත් කියන්නේ මිළදී ගන්න තියෙන භාණ්ඩයක් නෙමෙයි “පොදු සම්පතක්” කියලා කල්පනා කළා නම්? ඒත් ඇත්තටම මේ සිතුවිලි මාත්‍රය ධනවාදී පුද්ගලවාදී තර්කණය එක්ක ගැලපෙන්නේ නැහැ.

කොවිඩ්-19 වසංගතය අපට මරණ-දේශපාලනය ක්‍රියාත්මක වෙන විදිහ ගැන ගැලපෙනම සමකාලීන නිදසුනක් ලබා දුන්නත්, ඒක කොහෙත්ම එකම නිදසුන නෙමෙයි. අපි ඉතිහාසයේ ඒ වගේම දේශපාලන ගණනය කිරීමක් දැකලා තියෙනවා එච්.අයි.වී/ඒඩ්ස් අර්බුධය අතරතුරදී. ඒකෙදි මිලියන් ගණනක් මිනිස්සු අවශ්‍යයෙන්ම මැරෙන්න ඉඩ හැරියා; ඒ අතරින් බොහොමයක් දෙනා සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් සහ වර්ණ මිනිසුන්. බන්ධනාගාරවල බලහත්කාරයෙන් කරන වඳ කිරීම් තුළ අපි ඒක දැක්කා; ගොඩක් මෑතකදී සංක්‍රමණිකයන්ට වෙන් වුන රැඳවුම් කඳවුරුවල අවශ්‍යතාවක් නැතිව කරන ගර්භාෂ ඉවත් කිරීම් තුළ අපි ඒක දැක්කා; ඒක ජනගහණ පාලනය පිළිබඳ දේශපාලනයට තියෙන ප්‍රජනන විද්‍යාත්මක ප්‍රවේශයක්. අද අපේ (එක්සත් ජනපදයේ) ආණ්ඩුව ව්‍යසනකාරී මහජන සෞඛ්‍ය අර්බුධයක් අතරතුරදී තමන්ගේ පුරවැසියන්ට ආධාර කරනවා වෙනුවට සිරියාවට බෝම්බ දාන එකටයි සංක්‍රමණිකයන්ව පිටුවහල් කිරීමටයි ප්‍රමුඛත්වය දීමෙන් තමන්ගේ සම්පත් හසුරුවන ආකාරය තුළ අපි ඒක දකිනවා. හැම දේටම වඩා මේ ලිපියෙන් අවධානයට ලක් වෙන්නේ එක්සත් ජනපද සංධර්භය වුනත්, මරණ-දේශපාලනය ගෝලීය තලයට රැගෙන යන්න පුළුවන් ආකෘතියක් බවත් කියන්න ඕනි. නිදසුන් විදියට චීනයේ උයිගර් මුස්ලිම් ජනයාට වෙන් වුනු රැඳවුම් කඳවුරු සහ රුසියාවේ සමලිංගිකයන් මරා දැමීම වගේ. ඉන්දියානු සංක්‍රමණිකයෙක් විදියට මම මගේ උපන් රට දිහා බලනකොට හින්දු ජාතිකවාදයේ නාමයෙන් මුස්ලිම් ජනයා සමූල ඝාතනය කිරීමෙන් පන ගැන්වෙන මරණ-දේශපාලනය මට දකින්න ලැබෙනවා.

මේ උදාහරණවලින් හෙළිදරව් වෙන්නේ මරණ-දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ වසංගතයක් තුළදී විතරක් නෙමෙයි කියන එකයි. ඒක නිරන්තරයෙන්ම පවතින දෙයක්. ඒක අපි හැමෝම දන්න ඒ වගේම අපි හැමෝම ජීවත් වෙන සමාජයේ මේ පවතින තත්ත්වය පවත්වාගෙන යන බලවේගය යි. මරණ-දේශපාලනය කියන්නේ මන්දගාමී ප්‍රචණ්ඩත්වය යි. ඒක අද්දරට තල්ලු වුනු බොහොමයක් මිනිසුන්ට උපතේ ඉඳන්ම උරුම කරලා තියෙන මරණයට පත්වෙමින් ජීවත් වීමේ තත්ත්වය හඳුන්වන නමක්. අධිපති පිළිගැනීම්වලින් දුරස්ත වූ මිනිසුන් ම්බෙම්බේ කියන “මරණයේ ලෝකයට” ගොදුරු වෙනවා. ඒ කියන්නේ “අති විශාල ජන කොටසකට මළ ගිය ජීවිතවල ස්ථානය උරුම කර දෙන්නා වූ ජීවන තත්ත්වයන්ට ඔවුන්ව යටත් කරනු ලබන සමාජ පැවැත්මේ රටාවක්.”

මරණ-දේශපාලනය ප්‍රයෝජනවත් රාමුවක් වන්නේ එය අපට “බලයේ මාරාන්තික ක්‍රියාකාරීත්වය” හඳුනා ගන්න උගන්වන නිසයි. ඒ වගේම ඒක නීරස එකක් බවත් කියන්න පුළුවන්. ඒ වගේ අති විශාල බලයකට මුහුණ දීලා ඉන්න අපට කරන්න පුළුවන් මොනවද? අපි කොහෙටද හැරෙන්නේ? ඔයා කොහොමද ඔයාගේ මරණය ප්‍රකාශයට පත් කරපු ලෝකයක් තුළ ජීවත් වෙන්නේ? නිකම් වචන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි පහුගිය සතියේදී දැකපු විදියට තමන්ගේ විශ්ව විද්‍යාලයීය නිබන්ධනයේදී මරණ-දේශපාලනය ගැන ලියපු කර්ස්ටන් සිනෙමා කියන මන්ත්‍රීවරිය එක්සත් ජනපද සන්ධීය රාජ්‍යය තුළ අවම වැටුප ඉහල දැමීමේ යෝජනාවට විරුද්ධව ජන්දය දීමේදී මරණ දේශපාලනයේ මාරාන්තික තර්කණය ඉදිරියට ගෙන යාමෙන් ඇයව වලකන්න ඇයගේ නිබන්ධනයට පුළුවන් උනේ නැහැ. සමහර විට, එකම උත්තරේ වෙන්න පුළුවන් මේ ලෝකය අවසන් කරලා අලුත් ලෝකයක් හදන්න පටන් ගන්න එකයි. “අපි වැනසී යන්නට නියමිතයි; ඒත් අපිව ඉවත දමන්න බැහැ.” එහෙම කියන්නේ බන්ධනාගාර-කාර්මික සංකීර්ණ අහෝසි කළ යුතුයි කියලා තර්ක කරන සංක්‍රාන්ති සමලිංගික ශාස්ත්‍රඥවරියක් වන චේ ගොසෙට්. “අපේ දේශපාලන පරිකල්පනයන් නිදහස්.”

අහෝසි කිරීම කියන්නේ රැඩිකල් ව්‍යාපෘතියක්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ අපි ඉබේම ලැබුණු දේ කියලා විශ්වාස කරන ධනවාදය, බන්ධනාගාර, දේශ සීමා වගේ දේවල් ගැන නැවත සිතීමයි; ඒ වගේම බලය ඇතිව ඉපදුණු අය වෙනුවෙන් විතරක් නෙමෙයි අපි හැමෝම වෙනුවෙන් පවතින ලෝකයක් පරිකල්පනය කිරීමයි. ඒක පහසු දෙයක් වෙන්නේ නැහැ. ඒක දවසකින් දෙකකින් සිදු වෙන දේකුත් නෙමෙයි. ඒත් ඒක සිදු වෙන්න බැරි දෙයක් නෙමෙයි. අපට අද වුනත් පුළුවන් මේ අලුත් ලෝකය මොන වගේද වේවිද කියන එක ගැන යම්කිසි ජායා මාත්‍රයක් දකින්න. මෑතකදී ටෙක්සාස්වල තිබුණු බහුජන උද්ඝෝෂණවලදී (ඒක ධනවාදයේ අර්බුදයක්) අන්‍යොන්‍යව උපකාර කරන සංවිධාන ජාලවලට පුළුවන් වුනා මිනිස්සු සිය ගාණකගේ ජීවිත රැක ගන්න. දේශපාලකයින්ටයි පොලිසියටයි වඩා මිනිස්සු තමයි එකිනෙකාව රැක ගත්තේ. අරුන්දතී රෝයි කියන විදියට, “වෙනත් ලෝකයක් පවතින්න පුළුවන් විතරක් නෙමෙයි, ඇය අප වෙත එමින් සිටිනවා. නිහඬතාවයේ ගිලුණු දවසක ඇය හුස්ම ගන්නා හඬ මට ඇහෙනවා.” (පවතින තත්ත්වය) අහෝසි කරන එක තමයි අලුත් සහ වඩා හොඳ ලෝකයක්, මරණයෙන් නොව ජීවිතයෙන් පිරුණු ලෝකයක් නිර්මාණය කිරීමේ මාර්ගය වන්නේ. ඒක ගිළෙන පාරුවෙන් අපි හැමෝගෙම ජීවිත බේරා ගන්න පුළුවන් ලෝකයක්; කව්රුවත් මුහුදට ඇද දමනවා වෙනුවට අපි තවදුරටත් පවත්වාගෙන යන්න බැරි පාරුව අත ඇරලා එකිනෙකාට වෙරළට පීනන්න උදව් කරමු.

*පරිවර්තනය: සුමිත් චාමින්ද (මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.teenvogue.com/story/what-is-necropolitics)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.