15 July, 2024

Blog

ජනපතිවරණ සංදර්ශනය සහ වික්‍රමසිංහගේ ගේම් පොලිටික්ස්

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

දැන් ජනප්‍රිය දේශපාලන සංවාද තලය තුළ ඉදිරියට පැමිණ තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයක් පිළිබඳ මාතෘකාවය. ජනපතිවරණ අපේක්ෂකයින් තේරීමේ සහ සූදානම් කිරීමේ අප්‍රකාශිත මෙහෙයුම් ආරම්භ වී තිබේ. රනිල් වික්‍රමසිංහ සේම අනුර කුමාර දිසානායකද තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට දැනටමත් නිවේදනය කොට අවසන්ය. සජබෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බව පැවසුවද කැබලිවලට බෙදී ඇති විපක්ෂයේ විවිධ කණ්ඩායම්වල සහාය ලබාගත හැකි පොදු අපේක්ෂකයෙකු පිළිබඳ අදහසද කනින් කොනින් ඇසේ. දැන් මා මිත්‍ර නිර්මාල් දේවසිරිද ඔහුගේ මුහුණු පොතේ වැඩි ඉඩකඩක් වෙන් කරමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාරගේ ජයග්‍රහණය සහතික කිරීමේ වැදගත්කම පැහැදිලි කර දීම සඳහාය. (පසුගිය වසරේ අරගලයට ආසන්න කාලයේ ඔහු පවසමින් සිටියේ 2024 ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ඇති බවයි). මේ සියලු සූදානම් වීම්, අනාවැකි කීම් සහ කලබගෑනි සිදුවෙමින් පවතින්නේ ජනාධිපතිවරණය මැතිවරණ දේශපාලන න්‍යාය පත්‍රයේ මුලට පැමිණේය යන විශ්වාසය මුල් කොටගෙනය. (ඒ, හරියට මේ වසර මුලදී ළඟ ළඟම එන පළාත්පාලන මැතිවරණයක් පිළිබඳ විශ්වාසය වටා දේශපාලන ලෝකය බ්‍රමණය වූවා සේමය!).

ගේම් චේන්ජ් දේශපාලනය

පසුගියදා පැවති එජාප සම්මේලනයේදී වික්‍රමසිංහද ලබන වසර අවසානයේ නියමිත පරිදි ජනපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි සඳහන් කළේය. ඒ සමගම ඉන්පසුව පැමිණෙන මහා මැතිවරණයක් ගැනද ඔහු සඳහන් කළේය. නමුත්, ජනප්‍රිය මනෝ විශ්ලේෂණාත්මක උද්දෘතයක් භාවිත කළහොත් මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ “ඔබ සැබවින්ම ජනපතිවරණයක් වෙත යන්නේ නම්, ඔබ ජනපතිවරණයක් වෙත යන්නේ යැයි පවසන්නේ මන්ද” යන්නයි. වික්‍රමසිංහගේ දේශපාලන ගුරුවරයා වූත් ඔහුගේ පියාගේ (එනම් එස්මන්ඩ් වික්‍රමසිංහගේ) සමීපතම ගමන් සගයා වූත් ජේ.ආර්. ජයවර්ධනගේ උපදේශයක් සහ ආදර්ශයක් නම් දේශපාලනය තුළ ඔබ ඉදිරියේදී කරන්නට යන දේ කිසිසේත්ම කිසිවෙකුටත් කලින් හෙළිදරව් නොකළ යුතුය යන්නයි. වික්‍රමසිංහගේ දේශපාලන චර්යාව දෙස බලන විට පෙනී යන්නේ මේ උපදෙස ඔහු අකුරටම ක්‍රියාවට නගන බවයි. පසුගිය වසරේ අරගලයේ වඩදිය බැස යාමෙන් පසුව වික්‍රමසිංහ අත්පත් කරගෙන තිබෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් වන්නේ දවසේ දේශපාලන න්‍යාය පත්‍රය තීරණය කිරීමේ හැකියාව තමන් සතු කරගෙන සිටීමයි. දේශපාලන බලය යනු ඇමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකු වූ රොබර්ට් ඩාල් පැවසූ පරිදි යමෙකු නොකරනු ඇති දෙයක් ඔහු/ඇය ලවා කරවීමට ඇති හැකියාව සහ එහි විලෝමය, එනම් යමෙකු කරනු ඇති දෙයක් නොකිරීමට සැලැස්වීම පමණක් නොවේ. දවසේ දේශපාලන න්‍යාය පත්‍රය සකස් කිරීමට ඇති හැකියාව දේශපාලන බලයේ තවත් වැදගත් පැතිමානයකි.

එසේම, අර්නෙස්ටෝ ලැක්ලාවූ පවසන පරිදි සියලු දේශපාලන ක්‍රියාකාරීන් නිරතව සිටින්නා වූ තරඟයේ රීතීන් සැකසීමද දේශපාලනිකය. එසේ රීතීන් සැකසීමේ සහ වෙනස්කිරීමේ ක්‍රියාවෙහි නිරත වන්නා ස්ථානගතව සිටින්නේ දේශපාලනයේ වඩාත්ම රැඩිකල් මානය වන දේශපාලනිකය (the political) තුළයි. වික්‍රමසිංහ ජනපති ධූරයට පත් වූදා සිට කරමින් සිටින්නේ ‘ගේම් ප්ලේ’ කිරීමේ දේශපාලනයක නොව සෙසු තරඟකරුවන් අනපේක්ෂිත වියවුලකට ඇද වැටෙන ආකාරයෙන් ‘ගේම් රූල්ස්’ වෙනස් කිරීමේ දේශපාලනයකය. වීඩියෝ ගේම් භාෂාවෙන් කිව හොත්, සෙසු තරඟකරුවන් සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටින විට, නැතහොත් ඔවුන් ක්‍රීඩාවට සූදානම් වන විට වික්‍රමසිංහ කරන්නේ ගේම් එක ‘රීසෙට්’ කිරීමයි. ඉදිරි ජනපතිවරණයක් පිළිබඳ ඔහුගේ ප්‍රකාශය වටහාගත යුත්තේ මේ ‘ගේම් රීසෙට් කිරීමේ’ ගේම් එකේ කොටසක් ලෙසින්ය යන්න මගේ අදහසයි.

ප්‍රයෝජ්‍යතාවාදී ගණන් බැලීම්

මැතිවරණ පැවැත්වීමේ සමකාලීන ලාංකේය ක්‍රමවේදය කදිමට පැහැදිලි කරන ප්‍රකාශයක් පසුගියදා ධම්මික පෙරේරා විසින් සිදු කොට තිබිණ. එනම්, තමන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ට එයින් ජය ගත හැකිය යන සහතිකය ඇතොත් පමණක්ය. යන්නයි. මේ මූල්‍ය කතිපයාධිකාරීන් ඊනියා වෙළඳපල තරඟය ගැන කල්පනා කරන ආකාරයමය. නිදහස් තරඟයේ මූලධර්මය යනු හුදෙක් ධනවාදයේ වැදගත්කම අවධාරණය කිරීමටත් රාජ්‍ය සුභසාධනය ගැන කතා කරන වාමාංශිකයින්ට පිළිතුරු දීමටත් තිබෙන උද්දෘතයක් පමණි. වෙළඳපළේදී සේම මැතිවරණ දේශපාලනයේදීද නිදහස් තරඟයට වඩා අද වැදගත් වන්නේ ජයග්‍රහණය පිළිබඳ පූර්ව-සහතිකයක් තිබීමය. දේශපාලනයට නවකයෙකු වන ධම්මික පෙරේරා එළිපිට කියූ මේ කාරණය මෙරට ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික දේශපාලන පක්‍ෂ සියල්ලම අප්‍රකාශිතව පිළිපදින ධර්මයක් නොවේද? සැබවින්ම ඔවුන් මැතිවරණවලට ඉදිරිපත් වීම නොව, මැතිවරණ පැවැත්වීම පවා තීරණය කරන්නේ තම ජයග්‍රහණය කලින්ම සහතික කරගත හැකි ආකාරයේ කොන්දේසි හැකිතරම් දුරට සැකසීමෙන් පසුවය. රාජපක්ෂ හෙජමොනිය පැවති කාල පරිච්ජේදය තුළ මෙසේ ජයග්‍රහණය කලින්ම සහතික කරගැනීමේ තාක්ෂණය කොතරම් දුරට ගමන් කළාද කිව හොත්, පළාත් සභා මැතිවරණ කොටස් වශයෙන් පවත්වන ක්‍රමයක් පවා අනුගමනය කරන ලදී.

තමන්ට ජයග්‍රහණය කළ හැකි නම් පමණක් තරඟ පැවැත්වීමේ ක්‍රමවේදය වික්‍රමසිංහ හටද කිසිසේත්ම ආගන්තුක වූවක් නොවේ. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය අරභයා වසර ගණනාවක් පුරා පැවති අභ්‍යන්තර අරගලවලට ඔහු මුහුණ දුන් ආකාරයෙන් එය මනාව අවබෝධ කරගත හැකිය. පසුගිය අරගල සමයෙන් පසුව උදා වූ සුවිශේෂී දේශපාලන වාතාවරණය තුළ ‘ජයගැනීම සඳහා පමණක් පවත්වන තරඟ’ පිළිබඳ ලාංකේය දක්ෂිණාංශික ප්‍රවේශයේ තවත් පැතිමානයක් දැකගත හැකි විය. එනම්, තම පක්ෂයට ජයගත නොහැකි නම් අඩු තරමින් තමන් අයත් දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ වෙනත් කණ්ඩායමක් අතට හෝ බලය මාරු කරගත හැකිය යන සහතිකය නොමැතිව මැතිවරණ කරා යා යුතු නැත යන්නයි. මන්දයත්, අරගලයෙන් සියලුම ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික නායකත්වයන් අභියෝගයට ලක් වීම නිසාත් 1977 න් පසුව ගොඩ නැගුණු සමස්ත ප්‍රභූතන්ත්‍රයම ස්වකීය පැවැත්ම පිළිබඳ අර්බුදයකට ලක් වීම නිසාත්ය. නිසැකවම මැතිවරණ දේශපාලනය තුළ ලාංකේය දේශපාලන ප්‍රභූතන්ත්‍රයට විශාලතම අභියෝගය වූයේ ජවිපෙ/ජාජබ නැගීමය. මේ නව තත්ත්වය තුළ වික්‍රමසිංහ ඇතුළු ප්‍රභූතන්ත්‍රයේම තෝරාගැනීම වූයේ පළාත්පාලන මැතිවරණ නොපවත්වා සිටීමය. නියමිත පරිදි පළාත්පාලන මැතිවරණ නොපවත්වා සිටීම වික්‍රමසිංහගේ තෝරාගැනීමක් ලෙස පමණක් තේරුම්කිරීම වැරදිය. මැතිවරණ නිසිපරිදි පවත්වන්නට බලකරන ව්‍යාපාරයක් දියත් නොකර සිටින්නට සජබ ඇතුළු දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ සෙසු කොටස්ද ප්‍රවේසම් විය. ලාංකේය ලිබරල් සිවිල් සමාජය තම නිෂ්ක්‍රීයත්වය මගින් එම තෝරාගැනීමට සහාය දැක්වීය.

සෙසු මැතිවරණවලට පෙර ජනාධිපතිවරණය පෙරට ගැනීමේ උත්සුකය ආරම්භ වූයේ කිසිදු දක්ෂිණාංශික පක්‍ෂයකට සිය අහිමි වූ ජනතා සුජාතභාවය යළි පිළිසකර කරගත නොහැකි වීමේ පසුබිම තුළය. පළාත්පාලන මැතිවරණ නොපවත්වන බව ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ජනාධිපතිවරණය දේශපාලන න්‍යායපත්‍රයේ මුලට ඒමේ කතාව ආරම්භ විය. ඒ නිමේෂය තුළ දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ ප්‍රධාන කොටස්කරුවන් අතර කිසියම් අප්‍රකාශිත මාර්ග සිතියමක් පවතින බවද පෙනී ගියේය. මහා මැතිවරණයකට වෙනස්ව ජනාධිපතිවරණයකදී ප්‍රධාන දෙපිළකට ජන්ද බෙදී යාමේ රටාවක් නිර්මාණය වන බැවින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ප්‍රභූතන්ත්‍රයේ අයවලුන් වන තාක් දුරට ඔවුනගේ පැවැත්ම පිළිබඳ අභියෝගය සමනය කරගත හැකිය. පළාත්පාලන මැතිවරණයකදී, පළාත්සභා මැතිවරණයකදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකදී ජවිපෙ/ජාජබ කෙරෙන් එල්ල විය හැකි අභියෝගය ජනාධිපතිවරණයකදී ඒ ආකාරයෙන්ම එල්ල නොවනු ඇතැයි ඔවුන් කල්පනා කරන්නට ඇත. ජනාධිපතිවරණයකදී තීරණාත්මක වන සුළුතර ජනවර්ගවල ජන්ද දිනාගැනීමට ජවිපෙ/ජාජබ විශේෂ ප්‍රයත්නයක් නොදරන වාතාවරණයක මේ ගණන් බැලීම වටහාගත හැකිය.

නමුත්, මේ අතරම කිව යුත්තේ වික්‍රමසිංහ හට ඔහුගේම මාර්ග සිතියමක්ද පැවතියා විය යුතු බවයි. එනම්, අයි.එම්.එෆ් වැඩපිළිවෙළ මගින් ජනිත කෙරෙන සමාජ විරෝධතා විශාල කැළඹීමක් කරා ගමන් කිරීමට පෙර තෝරාගත් පදනමක් යටතේ දරිද්‍ර ජනයාට මූල්‍ය සහ සෙසු ආධාර බෙදා හැරීමේ වැඩසටහනක් යළි ආරම්භ කිරීමත්, එමගින් බිඳ වැටුණු තම අනුග්‍රාහක ජාලයන් ප්‍රතිසංස්කරණය කරගැනීමත්, වැඩිම මහජන කෝපයකට ඉලක්ක වූ ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය කිසියම් දුරකට නිෂ්ක්‍රීයව තබා ගැනීමත්, ආර්ථික යුද්ධය ජයගත් නායකයා ලෙස දෘෂ්ටිවාදීව තමාවම මූර්තිමත් කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ඔහුගේ මුල් මාර්ග සිතියමේ අංග විණැයි අනුමාණ කළ හැකිය. මා එසේ කියන්නේ සැබවින්ම වසරේ මැදභාගය වන විට ක්‍රියාවට නැගෙමින් පැවතියේ එවන් මාර්ග සිතියමක් බවට කරුණු ඉදිරිපත් කළ හැකි බැවිනි. වික්‍රමසිංහ 13 වන සංශෝධනය පිළිබඳ සාකච්ජාව පෙරට ගැනීමෙන්ද සජබ ශ්‍රේණීන්ට ආමන්ත්‍රණය කිරීමෙන්ද පෙනී යන්නේ ඔහු ඉදිරි මැතිවරණයකදී පොහොට්ටු පක්ෂයේ සහයෝගය මත පරායත්තව සිටින්නට කැමැත්තක් නොදැක්වූ බවයි. ඒ වෙනුවට සුළුතර ජනවර්ගවල ආකර්ෂණය දිනාගැනීමටත්, බලයට පත්ව දිගු කාලයක් යනතෙක් ඔහුට සංචාරයක් නොදුන් මෝඩි ආණ්ඩුවේ අවධානය දිනාගැනීමටත්, සාම්ප්‍රදායික එජාප ජන්දවලට ආමන්ත්‍රණය කොට ඒවා සක්‍රීය කිරීමටත් වික්‍රමසිංහ ප්‍රයත්න දරමින් සිටියේය. (පසුගිය මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කරන විට හඳුනාගත හැකි වැදගත් ජන්ද චර්යාවක් නම් පක්ෂය පසුබෑමට ලක්වන තත්ත්වයන් තුළ බොහෝ ‘එජාප ජන්ද’ ජන්දපොළට ගමන් නොකරන්නේය යන්නයි. එම ජන්ද දෝලනය වීමට වඩා නිෂ්ක්‍රීයව සිටින්නට ප්‍රිය කරයි).

දිගින් දිගටම එල්ල වූ ආණ්ඩුවේ අභ්‍යන්තර පීඩන හමුවේ වුවත් වික්‍රමසිංහ පොහොට්ටු නායකයින් හට අමාත්‍ය ධූර නොදීමද මෙහිදී අපගේ අවධානයට ලක් විය යුතුය. මේ කාරණයේදී තවමත් පාර්ලිමේන්තුව තුළ බල ක්‍රීඩා මෙහෙයවීමේදී පොහොට්ටු ජන්ද වැදගත් වුවත්, මහජන සහයෝගය අතින් ගත් කල පොහොට්ටුව බිමට සමතලා වී තිබේය යන කාරණය ඇතැම්විට ඔහුගේ සැළකිල්ලට ලක්වන්නට ඇත. එසේම, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එජාප අමාත්‍ය මණ්ඩලයක් ඉදිරියේ පත් වූවා වැනි තත්ත්වයකට මුහුණ නොදීමට ඔහුට අවශ්‍ය වන්නට ඇත. දැනට වික්‍රමසිංහ හට සහාය දක්වන සීමිත බුද්ධිමය ශ්‍රේණිය සමන්විත වන්නේ ලාංකේය ප්‍රවර්ගයේ ලිබරල්වාදීන් සහ ඊනියා පශ්චාත්-නූතනවාදීන් අතලොස්සකගෙන් වුවත් රාජපක්ෂ බල-ජාලයෙන් කිසියම් දුරක් පවත්වාගෙන යන්නට (අඩු තරමින් දෘෂ්ටිවාදීමය තලයෙහි) එයද හේතුවක් විය හැකිය. මේ සියල්ලටමත් වඩා වික්‍රමසිංහ නිරතව සිටින ආර්ථික මෙහෙයුමත් ඒ සමග ගැට ගැසුණු එක්සත් ජනපද-ඉන්දීය භූ-දේශපාලනික මෙහෙයුමත් අනුව ගත් කල රාජපක්ෂ කඳවුර සමග දුරක් තබාගැනීම අවශ්‍ය කොන්දේසියකි.

මහා මැතිවරණයක ඉඟි

වත්මන් තත්ත්වය වටහා ගැනීමේදී වික්‍රමසිංහ යනු දැන් හුදෙක් එජාප නායකයා පමණක් නොව ඉන්දු-පැසිෆික් කලාපයේ භූ-දේශපාලනික ගැටුම තුළ වැදගත් පුද්ගල සාධකයක් බවට තමාවම පරිවර්තනය කරගෙන සිටින අයෙකු බව සිහි තබා ගත යුතුය. ශ්‍රී ලංකාව තම බලපෑමේ කළාපය තුළට ඇතුල් කරගැනීමේ ඉන්දීය ව්‍යාපෘතිය වික්‍රමසිංහ යටතේ සාර්ථකව ක්‍රියාවට නැගෙමින් පවතී. මා මින් ඉහතදීද සඳහන් කොට ඇති පරිදි පසුගිය සියවසක ඉතිහාසය සාක්‍ෂි දරන පරිදි කිසියම් පරිවාරයේ රටක ප්‍රජාතන්ත්‍රවාදයත් එම රට තුළ පවතින තම භූ-දේශපාලනික අභිලාෂයනුත් යන දෙකින් එකක් තෝරාගන්නට සිදු වන තත්ත්වයක් තුළ බටහිර බලවතුන් විසින් තෝරාගනු ලබන්නේ දෙවැන්නයි. නමුත්, ඒ සමගම අභ්‍යන්තර දේශපාලන විරෝධයන් කළමනාකරණය කරගැනීමේ යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාපටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම ඔවුන් අවතක්සේරු කරන්නේ නැත. ආසියා-අප්‍රිකා ලෝකයේ පැරණිතම නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ශ්‍රී ලංකාව ලතින් ඇමෙරිකානු ‘බනානා රිපබ්ලික්’ පාලනය කළ ආකාරයෙන්ම පාලනය කළ නොහැකි බව එක්සත් ජනපද භූ-දේශපාලනික උපායවේදීන් නොදන්නවා විය නොහැකිය. විශේෂයෙන්ම ප්‍රබල මහජන නැගිටීමක මතකය තවමත් එතරම් දුරස් වී නොමැති දේශපාලනිකව සක්‍රීය ප්‍රජාවක් සිටින රාජ්‍යයක් තුළ සොමෝසා පන්නයේ සෙල්ලම් දැමීමට ඉඩක් නොමැත.

එසේනම්, සිදුවිය හැක්කේ කුමක්ද? සමාජ පීඩනය තුලනය කෙරෙන මාධ්‍යයක් වශයෙන් මැතිවරණ පැවැත්වීම අවශ්‍ය වන්නේ නම් සහ එම මැතිවරණයෙන් දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ආර්ථිකමය සහ භූ-දේශපාලනික මෙහෙයුම බාධාවට ලක් නොවිය යුතු නම්, එම මැතිවරණය ජනාධිපතිවරණයක් විය නොහැකිය. දැනට දේශපාලන පක්ෂවල පවතින දරුණු කැඩී බිඳී යාම් හමුවේ ජනාධිපතිවරණයකින් පැහැදිලි ජයක් අපේක්ෂා කළ හැකි කිසිවෙකුත් පෙනෙන තෙක් මානයක නැත. ප්‍රංශයේ මෙන් ජනාධිපතිවරණයේ දෙවන වටයක් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ නොපවතින අතර කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ජන්ද ලබා නොගන්නා තත්ත්වයක් තුළ අපේක්ෂා කළ හැක්කේ අතිශය වියවුල් වාතාවරණයකි. මෙරට දේශපාලන සංස්කෘතිය හැඩ ගැසී පවතින ආකාරය අනුව දෙවන මනාපය යනු ප්‍රායෝගික විකල්පයක් නොවේ. මේ සියල්ලටමත් වඩා විපක්ෂයේ ජන්ද බෙදී යාමට සැලසෙන පරිදි ජවිපෙ/ජාජබ ජනප්‍රියත්වයේ කිසියම් නැගීමක් වික්‍රමසිංහ අපේක්ෂා කළේ නම්, දැන් එම නැගීම ඔහු ඇතුළු ප්‍රභූ තන්ත්‍රයේ අපේක්ෂාවන් තියුණු ලෙස ඉක්මවා යන මට්ටමක පවතී.

ඒ වෙනුවට, කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබාගත නොහැකි පරිදි දරුණු ලෙස බෙදී ගිය පාර්ලිමේන්තුවක් දකින්නට වික්‍රමසිංහ කැමති වනු ඇතැයි සිතීම සාධාරණය. විධායක ජනාධිපති ධූරයේ බලතල භාවිත කරමින් එවන් පාර්ලිමේන්තුවක් සමග ගැසිය හැකි ගේම කුමක්දැයි අන් කවරෙකුටත් වඩා හොඳින් ඔහු දනී. ඒ සඳහා පළමුව යා යුත්තේ මහා මැතිවරණයකට බව ඔහු නොදන්නවා විය නොහැකිය. බොහෝ විට, සෙසු සියලු දේශපාලන පක්ෂ, ක්‍රියාකාරීන් සහ විශ්ලේෂකයන් ජනාධිපතිවරණයක් පිළිබඳ සංවාදයේ නිරතව සිටින අතර වික්‍රමසිංහ මවිතකර ලෙස අදින්නට සූදානමින් සිටින කොළය විය හැක්කේ එයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.