15 June, 2024

Blog

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පවරා දීම සහ 13 වැනි සංශෝධනය – අවසාන කොටස

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ප්‍රතිසංස්කරණ

රාජ්‍යයේ පන්ති ස්වභාවය තර්ජනයට ලක්වන හැම විටකදීම, එහි පළමු ආරක්ෂක වළල්ල වනු ඇත්තේ පොලිස් බලකායයි. ඔවුන් විසින් ඔවුන්ට බාධා කරන අන්දමේ ඕනෑම දෙයක් විනාශ කරන මෙම සංසිද්ධිය අපි ශ්‍රී ලංකාවේ නැවත නැවතත් දැක ඇත්තෙමු. මූලික අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක් සඳහන් කළත්, පාලන තන්ත්‍රයේ පැවැත්මට තර්ජනයක් වූ සැණින් ම, එම විධිවිධානද ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුණු කූඩයට විසි කර දමනවා ඇත. පැරිස් කොමියුනයේ සිට සෝවියට් සමාජවාදී විප්ලවය හරහා අරාබි වසන්තය දක්වා බොහෝ රටවල, ඒ සමාජයන් භාජනය වූ සමාජ කැළඹිළිවල ස්වභාවය සහ ගැඹුර නොසළකා, සිදුවූයේ එයයි.

මෙම ලිපිය රටේ වැඩි යහපත වෙනුවෙන් ගැඹුරු දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් පිළිබඳව වන්නකි. එහෙත් දිගුකාලීනව, බරපතල පොලිස් ප්‍රතිසංස්කරණයක් සිදු කරනු නොලැබුවහොත්, පාලක ප්‍රභූ පැලැන්තියේ දේශපාලන ස්ථාවරත්වය තර්ජනයට ලක් වන විට එවැනි දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ පවා කනපිට හැරවිය හැකිය. ක්‍රම පද්ධතිය එවැනි තර්ජනවලට නිරාවරණය වන තෙක් ඇතැම් නිදහස් අත් විඳින්නට ඉඩකඩ ලබා දී තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල, යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කළ හැකිය. විවිධත්වය පිළිගැනීමෙන් හා ඒ කෙරෙහි දක්වන සංවේදී භාවයෙන් යුක්තව මෙන්ම, අන්තර්ග්‍රාහී ලෙසත් සමානාත්මතාවයෙන් යුතුවත් සළකන්නට බහුවිධ සමාජයක පවතින අවශ්‍යතාවය පිළිබඳව වඩා හොඳ දැනුවත්භාවයක් ඇති කරන්නට සහ මනෝමූල තත්ත්වයන් වැඩිදියුණු කර ලන්නට ද එම ප්‍රතිසංස්කරණ උපකාරී වනවා ඇත. එවැනි ප්‍රතිසංස්කරණ සහ එම ප්‍රමිතීන් නොවෙනස්ව තබා ගැනීම සඳහා කරන අරගල මගින් සමාජය වඩාත් රැඩිකල් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවනවා ඇත.

බහුතරමය නොවන ප්‍රජාවන් රැකීම (policing) සම්බන්ධයෙන් අවබෝධයක් හා දැනුවත්භාවයක් නොමැති වීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි බහුත්වවාදී සමාජවල බරපතල ප්‍රතිවිපාක ඇති කොට තිබේ. එයින් පොලිසිය සහ ඔවුන්ගෙන් සමාජයට සැපයිය යුතුයයි සිතන ආරක්‍ෂාව පිළිබඳව තිබෙන විශ්වාසය පළුදු කරනවා පමණක් නොව, සමාජයේ සියළු දෙනා සමඟ, විශේෂයෙන් ගැටුම් කාලවලදී, ඵලදායි ලෙස සම්බන්ධ වී කටයුතු කරන බලවේගයක් වශයෙන් ස්වයංමයව අක්‍රීය බවටත් බෙලහීන බවටත් පත් වේ. උදාහරණ වශයෙන්, ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලි සංහාරය; ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ට එරෙහි 2020 ‘භීෂණ පාලනය‘; සහ දිවයින බංකොලොත් බවට පත් කළ ආර්ථික අවකළමණාකරණය, දූෂණය සහ අධිකාරීවාදය සම්බන්ධයෙන් වග වෙන ලෙස ඉල්ලා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැන නැඟි ස්වයංමය ජනතා සටන (අරගලය) අවසාන කර දැමූ පොලිස් චරියාව ගත හැකියි.

මෙම සිදු වීම් විසින් පොලිසියට තම යුතුකම් හා වගකීම් සාධාරණ ලෙසත්, ඵලදායී ලෙසත් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය පළුදු කර දමා ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල පමණක් නොව වෙනත් බොහෝ රටවල්වල අපරාධ යුක්ති ක්‍රම පද්ධතිය ඒවායේ සියළුම පුරවැසියන් වෙත සමාන මට්ටමේ සේවාවක් දැනට සහතික නොකරයි; ඉදිරියට සහතික කරන්නේ ද නැත. මේ නිසා පොලිසියත්, පුරවැසියනුත් සමස්ත සමාජයමත් ඒ වෙනුවෙන් වන්දි ගෙවති.

ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය වැනි රටවල, බහුතරය නොවන ප්‍රජා කණ්ඩායම් පිළිබඳව අධ්‍යාපනය, පුහුණුව සහ සංවර්ධන වැඩසටහන් සලසා දීම තුළින් සමාජයේ පවතින විවිධත්වයේ ස්වභාවය පිළිබඳ දැනුවත්භාවය අඛණ්ඩ පදනමක් මත ඇති කරවනු ලැබේ. කිසි කෙනෙකුට සමාජ අගතිගාමිත්වය හා ආකල්ප ශූන්‍යව පවතින පරමාදර්ශී පරිසරයක් සහතික කළ නොහැකි වුවද, මෙයින් වඩා යහපත් ලෙසත්, වෘත්තීයමය වශයෙනුත් ක්‍රියා කිරීමට පොලිසියට හැකියාව ලබා දෙයි.

හැඟීම් සහ බාධාවන්

ශ්‍රී ලංකාව ජන ප්‍රජාවන් 19 කින් සමන්විත බහුවිධ සමාජයක් වන අතර ඉන් හතරක්, එනම් සිංහල, දෙමළ, මුස්ලිම් සහ කඳුකර දෙමළ යන ජන ප්‍රජාවන් ප්‍රධාන ඒවා වේ. බලය පවරා දීම යනු සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම සඳහා සැලසුම් කරන ලද ක්‍රියාවලියකි. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය අනවශ්‍ය ලෙස බලය තහවුරු කර ගැනීමෙන් ප්‍රචලිත අධිකාරවාදයන් බිහි කරන්නට නොකඩවා මඟ පාදා දී ඇත. බල රහිත ප්‍රජාවන්ට තමන්ටත් තම අනාගත පරම්පරාවන්ටත් බලපාන කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී තම අදහස් ඉදිරිපත් කරන්නට හැකියාව ලබා දීම අරමුණ කර ගන්නා බලය පැවරීම හා සමග මෙය ගැලපෙන්නේ නැත.

බහුල ලෙස සාක්ෂි තිබියදී පවා, සිංහල පක්ෂපාතී අනුග්‍රාහකයන් දිගටම පවසන්නේ දෙමළ ජනයා විඳ දරා ගන්නා ලද සහ දිගටම විඳ දරා ගනිමින් සිටින පීඩාවන් ශ්‍රී ලංකාවේ සියළුම ජන ප්‍රජාවන් ලක්ව සිටින පොදු දුක් ගැනවිලිවලට වඩා වෙනස් එවා නොවන බවයි. මෙම මතය සාවද්‍ය මෙන්ම වේදනාකාරී ද වන අතර එහි දේශපාලන ප්‍රතිවිපාක ඛේදජනක වනු ලැබ ඇත. අන් අය මුහුණ දෙන ප්‍රශ්න සබුද්ධික ලෙස අවබෝධ කරන ගන්නේ නම් පමණක් අපට සහජීවනයෙන් එකට ජීවත් විය හැකි බව අප පිළි ගත යුතුය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත පටවන ලද ව්‍යවස්ථාදායක නිර්මිතයක් වන බැවින් සහ එහි ප්‍රතිඵලයක් ලෙස පිහිටුවන ලද පළාත් සභා දූෂිත, අකාර්යක්ෂම, නාස්තිකාර සහ අවකළමණාකරණයට ලක් ව තිබෙන සුදු අලි වන බැවින් ඒවා අහෝසි කළ යුතු බවට බොහෝ දෙනා තර්ක කරති. අපට එම තර්කයම, ඒ හා සමානවම මධ්‍යම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද දිගු කළ හැකිද? මධ්‍යම ආණ්ඩුව දූෂිත, අකාර්යක්ෂම, නාස්තිකාර සහ අවකළමනාකරණයට ලක්ව තිබෙන බැවින් එය අහෝසි කරන ලෙස අප ඉල්ලා සිටිනවාද?

බලය පවරා දීමේ ආකාර

ගෝලීය වශයෙන් ගත්විට, ඉඩම් සහ පොලිස් බලතල පිළිබඳ බලය පරිධිය වෙත පවරා දෙන ලද බලය පවරා දීමේ අත්දැකීම් සහිත බොහෝ පාලන ක්‍රම පද්ධති තිබේ. මෙම පද්ධති ඒ ඒ රටවල ප්‍රමාණවත් අන්දමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාවේ ද, මෙතෙක් පවරා නොමැති පොලිස් සහ ඉඩම් බලතල, අවශ්‍ය අන්දමට නීතිරීති සම්පාදනය කොට පළාත් සභාවලට පවරා දීමෙන් 13 වැනි සංශෝධනය මුළුමණින් ක්‍රියාත්මක කිරීම වැඩදායක වනවා ඇත. පළාත් සභාවල අකාර්යක්ෂමතාවයට හේතුකාරක වී තිබෙන කරුණු කාරණා තහවුරු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් දේශපාලන සංස්ථාපිතය උපදේශනාත්මක ලෙස කරුණු සෙවීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුය. පවතින ව්‍යුහාත්මක විධිවිධාන යටතේ පළාත් සභාවල කාර්යක්‍ෂමතාවය හෝ එහි ඌනතාවය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමටත්, ක්‍රම පද්ධතිය වඩා ඵලදායී කිරීම සඳහා දේශපාලන සංස්ථාපිතය විසින් ගත යුතුව තිබෙන ක්‍රියාමාර්ග මොනවාදැයි නිර්දේශ කිරීමටත් ආයතනයක් පිහිටුවිය යුතුය.

ස්වාධිපත්‍යය (autonomy) යන්නෙහි විවිධ බලය පවරා දීමේ උපකරණ අන්තර්ගත වෙයි. යම් නිශ්චිත අනන්‍යතාවයක් ඇති කණ්ඩායමකට තමන්ගේම වන්නාවූ විශේෂ කටයුතු සෘජු ලෙස පාලනය කරන්නට ඒ උපකරණවලින් ඉඩ සලසා දෙන අතර, ඒ සමඟම බහුතර ප්‍රජාවට සමස්ත සමාජයේ විශ්වයීය අවශ්‍යතා පාලනය කරන්නට ඉඩකඩ සපයා දෙයි. එයට මධ්‍යම ආණ්ඩුවට සමාන සම්බන්ධතාවක් පවත්වා ගනිමින් සියලුම කලාප සමාන බලතල (සමමිතික) භුක්ති විඳින සන්ධීය ස්වරූපය ගත හැකිය. ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ තත්වය මෙසේ වෙයි. එසේ වුවද, ඕස්ට්‍රේලියානු අගනුවර භූමිප්‍රදේශය (ACT) සහ උතුරු භූමිප්‍රදේශය (NT) වැනි ඕස්ට්‍රේලියාවේ භූමිප්‍රදේශ, බලය පවරා දී තිබෙන එහෙත් ෆෙඩරල් පාලනයට නතු ස්වතන්ත්‍ර කොට්ඨාශ වේ. එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශ, උදාහරණ ලෙස කොලොම්බියාව, සෘජුවම ෆෙඩරල් රජයට නතු වන එහෙත් විවිධ මට්ටමේ ස්වාධිපත්‍යය සහිත ඒවා වෙයි. බොහෝ බහුත්වවාදී රටවල සියලුම කලාප එක හා සමාන බලතල භුක්ති නොවිඳින (අසමමිතික) අවස්ථාවන් ද පවතී. උදාහරණ වශයෙන්, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව, ස්පාඤ්ඤය, රුසියාව සහ මැලේසියාව ගත හැකිය.

රටකට ආමන්ත්‍රණය කිරීම සඳහා ඇත්තේ යම් නිශ්චිත කරුණු කිහිපයක් පමණක් නම්, ෆෙඩරල් ආකෘතිය අවශ්‍ය නොවන බව සැලකිය හැකිය. එවැනි තත්වයන් යටතේ, කලාපීය ස්වාධිපත්‍යය ලබා දෙනු ලැබේ. නිදසුනක් ලෙස, ෆින්ලන්තයේ ඇලන්ඩ් දූපත්, ඉතාලියේ දකුණු ටයිරෝල්, පැරණි යුගෝස්ලාවියාවේ කොසෝවෝ, පිලිපීනයේ කෝඩිලේරා සහ මින්ඩනාවෝ, එක්සත් ජනපදයේ පුවර්තො රිකෝ, ටැන්සානියාවේ සැන්සිබාර්, චීනයේ හොංකොං සහ මැකාවෝ, ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කයේ ෆැරෝස්. , ප්‍රංශයේ නිව් කැලිඩෝනියාව සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තය ගත හැකිය.

එහෙත්, බලතල පවරා දීම නීත්‍යානුකූල වශයෙන් සහ ප්‍රමාණවත් අන්දමින් ආරක්ෂා කළ නොහැකි නම්, (ඉතාලියේ) ප්‍රාදේශීයත්වය, (ප්‍රංශයේ) විමධ්‍යගතකරණය සහ (නයිජීරියාව, ස්පාඤ්ඤය, ෆින්ලන්තය සහ ජර්මනියේ) ආණ්ඩුවේ තුන්වන ස්ථරයක් ලෙස පළාත් පාලන ආයතන ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කිරීම වැනි වෙනත් විධිවිධාන භාවිතා කරනු ලැබේ. එවැනි ගැටළු විසඳීම සඳහා වෙනත් බොහෝ විධිවිධාන ද භාවිතා කොට ඇත. උදාහරණ වශයෙන්, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ ආසියාවේ සමහර ප්‍රදේශවල රක්ෂිත ප්‍රදේශ ගත හැකිය. මෑත කාලයේදී රක්ෂිත ප්‍රදේශ ස්වයං පාලක ප්‍රදේශ බවට පරිවර්තනය කිරීමෙන් ආදිවාසී ජනතාවගේ අභිලාෂයන් සහ ඓතිහාසික අයිතිවාසිකම් හඳුනාගෙන ඇත. උදාහරණයක් ලෙස කැනඩාව සහ පිලිපීනය ගත හැකිය.

වත්මන් ඒකීයවාදීවන විධායක ජනාධිපති ක්‍රමය යටතේ, බහුතරමය නොවන ජන ප්‍රජාවෝ හැමවිටම ස්වෝත්තමවාදී දේශපාලන හා නිලධාරිවාදී සටකපටකම්වල විපාක අත් විඳිමින් සිටිති. දේශපාලන නායකයන් විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වෙනස්කම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කර ගැනීමට යෝජනා කරන ආකාරය පැහැදිලි කර දිය යුතු අතර පොලිසිය කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව මහජන සාමය ආරක්ෂා කරන බවට ද සහතික විය යුතුය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බල තුලනය මධ්‍යම ආණ්ඩුවට වාසිදායක වන ලෙස විශාල ලෙස බැර කිරීමේ හේතුවෙන් බලය පවරා දීමට බාධා පමුණුවා තිබේ. බලය පැවරීමේ අරමුණුවලට බාධා කිරිම සඳහා මධ්‍යම ආණ්ඩුව සමගාමී ලැයිස්තුව භාවිතා කරයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය විධිවිධානය ගැන සඳහන් 2 වැනි වගන්තියට අනුකූල බවට අධිකරණ තීන්දුවක් තිබියදීත්, පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල පවරා දීමට තරම් දේශපාලන අධිෂ්ඨානයක් නොමැතිකම හේතුවෙන් බලය පවරා දීම මුළුමණින් ක්‍රියාත්මක කොට නැත.

නිගමනය

ආණ්ඩුව නීති රීති පනවමින් ඉහළ සිට පහළට ප්‍රවේශ වීම මඟින් ජාතිය ගොඩනැගීම කළ නොහැකිය. පොදු දේශපාලන අභිමතාර්ථයක් හැඩගැස්වීම සඳහා සාමාන්‍ය පුරවැසියන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ත්, ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් ඒ සඳහා අවශ්‍ය වේ. පාලක ආයතන දේශීය අවශ්‍යතා සහ අභිලාෂයන් කෙරෙහි වඩා ප්‍රතිචාරාත්මක විය යුතුය. “ජාතිය ගොඩනැගීම යන්නෙන් තවදුරටත් අනන්‍යතාවය, සාරධර්ම සහ ඉලක්ක අතින් බෙදාහදා ගත් ගුණාංගවලට මග පාදන සමාජසංස්කෘතික ව්‍යුහගත කිරීමේ හා ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් උපකල්පනය කරයි.” තීරණාත්මක වන්නේ මේ ගුණාංගවල සමජාතීයතාවය නොවේ; විෂමජාතියතාවය පිළිගැනීම සහ ඉවසීමත්, අන්තර්ග්‍රාහී කර ගැනීමට පහසුකම් සැලසීමත් ය. [ANU Briefing Note – No.1 / 2007, The Twin Processes of Nation Building and State Building]

13 වැනි සංශෝධනයේ ප්‍රධාන අරමුණ වූයේ ජාතික ප්‍රශ්නයට දේශපාලන සහ ව්‍යවස්ථාමය විසඳුමක් ලබා ගැනීමයි. සන්නද්ධ ගැටුම අවසාන වී වසර 14කට පසුවත්, 13 සෘණ සහ 13 ධණ යන වාචාල දෙඩවිලි අතර දෝලනය වෙනවා හැරෙන්නට සංශෝධනයේ විෂය පථය පිළිබඳ කිසිදු බරපතල එකඟතාවකට තවමත් පැමිණ නැත. යටත් විජිතවාදීන් අපට ශේෂ කර ගිය ඒකීය ක්‍රම පද්ධතිය වෙත ආපසු යන්නට වුවමනා අයගේ සිට, 13 වැනි සංශෝධනයේ අඩුපාඩුකම් ආමන්ත්‍රනය කොට වැඩිදියුණු කරන ලද එකකට පක්ෂ වන අයත්, ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අයත්, උතුරු නැගෙනහිර ජනමත විචාරණයක් පැවැත්වීම මඟින් වෙන් වෙන්නට ඉල්ලා සිටින අයත් දක්වා සාකච්ඡා පරාසය පෙළ ගැසේ.

තවද, මධ්‍යම ආණ්ඩුව සතු විධායක බලය මගින් පූර්ණ බලය පවරා දීම කඩාකප්පල් කොට ඇත. මෙය බලය පවරා දීමේ ජීව ගුණයට විරුද්ධ වනවා පමණක් නොව, ඊට පටහැනි වන්නේ ද වේ. මේ බල ගැටුම නිසා පළාතකට අදාළ වන වැදගත් කරුණුවල සිට නොවැදගත් කරුණු දක්වා මැදිහත් වීමට පවා ජනාධිපතිවරයාටත් මධ්‍යම ආණ්ඩුවටත් ඉඩකඩ ලබා දෙයි [Sections 11 and 15 (2) of the Provincial Councils Act, No. 42 of 1987, the Provincial Councils (Payment of Salaries and Allowances) Act, No. 37 of 1988, and Provincial Councils Pensions Act, No. 17 of 1993]. එසේම, පළාත්වල ප්‍රචලිත දේශපාලන සංස්කෘතිය සහ ව්‍යුහයන් මධ්යගත ක්‍රම පද්ධතිය පිළිබිඹු කරමින් ඊට අනුබල දෙයි. මේ ව්‍යුහාත්මක මානසිකත්වය වෙනස් විය යුතුව තිබේ. ඊට අමතරව ගත් විට, පළාත් සභා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන සේ බලගැන්වීම මගින්, ධනවත් ඩයස්පෝරා ප්‍රජාවේ ඉහළ හිනිපෙතිවලට ළඟාව සිටින අයගෙන් සහ ආයෝජකයින්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා ගත හැකි වනු ඇත. වත්මන් ආර්ථික ව්‍යපීඩාවන්ගෙන් රට ගොඩ ගැනීමට ඊට ඇති හැකියාව සුළු කොට තැකිය නොහැකිය.

13 වැනි සංශෝධනයේ පවතින දුර්වලම මුහුණතක් වන, ප්‍රමාණවත් අන්දමේ ආදායමක් උපදවා ගැනීමට පළාත් සභා සතු බලය අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වෙයි [See the reports of the respective Provincial Councils in CPA (2008) Strengthening the Provincial Council System, where a prominent ground of complaint is with regard to the fiscal and financial aspects of the Thirteenth Amendment]. පළාත් සභා ක්‍රමයේ අකාර්යක්ෂමතාවයට හේතු සොයා බැලීමටත්, 13 වැනි සංශෝධනය යටතේ ලබා දී ඇති පරිදි බලය පවරා දීමේ තරම ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුවේ පාලන කෙටුම්පත් සමාලෝචනය කිරීමට හා ප්‍රතිව්‍යුහගත කිරීමටත් කැප වෙන්නට තරම් එකදු දේශපාලන සංස්ථාපිතයක්වත් කැමැත්තක් දක්වා නැත.

මෙම ඇනහිටීමේ තත්වයෙන් ගොඩ ඒම සඳහා යොදා ගත හැකි සබුද්ධික ආරම්භයක් වන්නේ අපට බහු වාර්ගික ජාතියක් වශයෙන් වඩා යහපත්, සාධාරණ සහ සමානාත්මවාදී ශ්‍රී ලංකාවක් සාක්ෂාත් කර ගත හැකි වන අන්දමට, බලය පැවරීමේ ප්‍රතිලාභ අත් කර ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි වටිනා උරුමයක් ලෙස සමාජය විසින් අපගේ සංස්කෘතික විවිධත්වය පිළි ගනු ලැබීමයි. මේ සඳහා අපට අපගේම වන වටිනාකම් පද්ධති මෙන්මඅනෙකාපිළිබඳව අපට තිබෙන අවබෝධය විචාරයට ලක් කිරීමෙන් දුෂ්කර තෝරා ගැනීම් සිදු කළ යුතුව තිබේ. විවිධත්වය තුළ ඒකීයත්වය ගොඩනැගීමටත්, විවිධත්වය ඒකීයත්වය සමඟ සමපාත කිරීමටත් අපට මාවත් සොයා ගත හැක්කේ එසේ කළහොත් පමණකි. මූර්තිමත් මෙන්ම නිර්මාණශීලී ලෙස අප හැම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළ හැකිය. යුක්තිය, සමානාත්මතාවය සහ සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමටත්, තිරසාරව, සාමූහිකව සහ සියළු දෙනා ඇතුලත් කර ගන්නා අන්දමට ජීවිතය උත්කර්ෂයෙන් සැමරීම සඳහා මාවත් සොයා ගැනීමටත් අපට බලාපොරොත්තු විය හැක්කේ එවිට පමණකි. එසේම, ජාතිය ගොඩනැගීමේ කටයුත්ත වඩා පහසු එකක් බවට පත් වනවා ද ඇත.

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස VI

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස V

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස IV

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස III

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස II

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.